Hot!

''රටේ අමාරු කාලය දැන් අවසන් වෙලා'' - අගමැති


යුද්ධයෙන් පීඩාවට පත්වූ යාපනය ඇතුළු උතුරු ප්‍රදේශය යලි නගා සිටුවා පෙර පැවති අයුරින්ම යාපනය  ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගරයක් බවට පත්කිරීම තම අරමුණ බවත් ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා යාපනය කේන්ද්‍ර කොට ගෙන විශාල ආර්ථික ප්‍රබෝධයක් ඉදිරි වසර පහ තුළ ඇති කරන බව පසුගියදා (15) යාපනයේ මයිලිඩ්ඩි ධීවර වරායේ ප්‍රථම අදියර විවෘත කරලීමේ උත්සවයට එක්වෙමින් අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේය.


එහිදී තවදුරටත් අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ පැවසුවේ, 

මේ ධීවර වරාය සංවර්ධනය 2015 සැලසුම් වලට ඇතුළත් කර තිබුණා

''මෙම ධීවර වරාය සංවර්ධනය කිරීම 2015 වසරේ සිට අපේ සැලසුම්වලට ඇතුලත් කර තිබුණා. එදා ජනාධිපතිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල තැබීම සිදුවුණා. අද මෙම වරාය විවෘත කිරීමට අවස්ථාව මට උදා වුණා. මේ සමඟ නැවත පදිංචි කිරීම වෙනුවෙන් ඉදිකළ නිවාස 10ක් ජනතාවට ලැබෙන අතර මෙහි ඉතිරි නිවාස ඉදිකර නිවාස 200ක් ඉදිකිරීමේ ඉලක්කය සම්පූර්ණ කිරීමට අප පියවර ගන්නවා. 

ඒවගේම මෙහි රැස්ව සිටින ඇතැම් පිරිස් තවමත් ස්ථිර නිවාස නොමැතිව වෙනත් ස්ථානවල ජීවත් වෙනවා. ඔවුන්වත් නැවත පදිංචි කිරීමේ වැඩසටහන යටතේ නව නිවාස ඉදිකර මෙම ප්‍රදේශවල පදිංචි කිරීමට අවශ්‍ය සියලූ වැඩකටයුතු ඉදිරියේදී සිදු කරන බව සඳහන් කළ යුතුයි. මයිලිඩ්ඩි නිවාස 200 ඉදිකිරීමේ වැඩපිළිවෙලින් පසුව ඉතිරි නිවාස ඉදිකිරීමට කටයුතු සූදානම් කර තිබෙනවා. 

ධීවරයින් නොමැති වරායකින් රටට ප්‍රයෝජනයක් අත් වන්නේ නැහැ. ඒ නිසා වරාය වටා නිවාස ඉදිකර ඒවායේ ධීවර ජනතාව පදිංචි කිරීම අවශ්‍ය වෙනවා. ආරක්ෂාවට අවශ්‍ය ඉඩම් පමණක් තබාගෙන යුධ සමයේ අත්පත් කරගත් අනෙක් සියළු ඉඩම් නැවත ක්‍රමානුකූලව ලබාදීමට කටයුතු ආරම්භ කර තිබෙනවා. 2015 සිට අද දක්වා උතුරේ අක්කර 45,581 ක් නිදහස් කිරීමටත්, 2009 සිට 2015 කාලය දක්වා නැගෙනහිර ප්‍රදේශයේ ඉඩම් අක්කර 34,000ක් නිදහස් කිරීමටත් පියවර ගෙන තිබෙනවා. ඒ අනුව සම්පූර්ණයෙන් අක්කර 80,000 පමණ දැනට නිදහස් කර තිබෙන බව සඳහන් කළ යුතුයි. ඉතිරි වී තිබෙන අක්කර 2000 කින් අක්කර 900ක් යාපනය දිස්ත්‍රික්කයට අයත් වෙනවා. යාපනය දිස්ත්‍රික්කයට අයත් එම අක්කර 900 ක්‍රමානුකූල සැලසුමකට අනුව නිදහස් කිරීම සඳහා සාකච්ඡා කිරීමට මම බලාපොරොත්තු වෙනවා. 

හමුදාවේ ඉඩම් වල ආගමික ස්ථාන අළුත්වැඩියාවට වෙනම අරමුදලක් ඇතිකර තිබෙනවා 

නැවත පදිංචි කිරීම වෙනුවෙන් නිවාස ඉදිකිරීමට මුදල් සොයා ගැනීම අප මුහුණ දෙන මීළඟ ගැටළුව වී තිබෙනවා. හමුදාව සතු ඉඩම්වල තිබෙන ආගමික ස්ථාන අලූත්වැඩියා කිරීමට වෙනම අරමුදලක් ඇතිකිරීම පිළිබදව පසුගිය දිනයක අදාල අංශත් සමඟ මම සාකච්ඡා ආරම්භ කළා. 

ඒ වගේම පළාලි ගුවන්තොටුපල සංවර්ධනය සඳහාත් ඉඩම් අවශ්‍ය වී තිබෙනවා. කලාපීය හා ජාත්‍යන්තර ගුවන්තොටුපලක් වශයෙන් පළාලි ගුවන්තොටුපල සංවර්ධනය කිරීමට සැලසුම් කර තිබෙන බව කිව යුතුයි.

මේ වන විටත් යාපනය දියුණු කිරීම වෙනුවෙන් විශාල මුදලක් වෙන් කර තිබෙනවා. එහිදී ගම්පෙරළිය, අයිආර්බීපී වැඩසටහන, විමධ්‍යගත අයවැය යලි පදිංචි කිරීම, නිවාස ඉදිකිරීම, තල් සංවර්ධන මණ්ඩලය ඇතුළු විශාල වැඩකොටසක් මගින් උතුරු පළාත වෙනුවෙන් රුපියල් බිලියන 14ක් වෙන් කර තිබෙනවා. ඉඩම් හිමිකරුවන් විසින් ඉදිකරන නිවාස දස දහසක් වෙනුවෙන් මුදල් ආධාර ලබාදීමට පියවර ගන්නවා. මෙම සියලූ වැඩසටහන් මගින් නිවාස 1500ක් ඉදිකර අවසන් බව සඳහන් කරන්න කැමතියි. නිවසක අයිතිය නොමැති උතුරේ ජනතාවට උදාගම් වැඩසටහන මගින් නිවාස හිමිකම් ලබාදී තිබෙන බවත් මෙහිදි සඳහන් කළ යුතුයි. පසුගිය වසර කිහිපය තුල විශාල වැඩකොටසක් යාපනය සංවර්ධනය වෙනුවෙන් ඇති කිරීමට හැකි වූ බව මෙහිදී සඳහන් කිරීමට කැමතියි. 

උතුරේ අධ්‍යාපනය ඉහළ නැංවීමට පුහුණු ගුරුවරු 3000ක් 

උතුරු පළාතේ අධ්‍යාපනය ඉහල නැංවීම වෙනුවෙන් පුහුණු ගුරුවරු 3000ක් පමණ පාසල් සඳහා ලබාදී තිබෙනවා. ළඟම පාසල හොඳම පාසල වැඩසටහන යටතේ පාසල්වලට අවශ්‍ය ගොඩනැගිලි හා උපකරණ ලබාදීමට අප කටයුතු කළා. සුහුරු පන්ති කාමර 22ක් ලබාදීමත්, සෑම ජාතික පාසලකටම උසස් පෙළ හදාරණ දරුවන් සඳහා නවීන තාක්ෂණය සමග අධ්‍යයන කටයුතු සිදුකිරීමට අවශ්‍ය ටැබ් පරිගණක ලබන සැප්තැම්බර් මස අවසන් වීමට පෙර ලබාදීමටත් අප පියවර ගන්නවා. නව තාක්ෂණය සමග අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය යාපනයේ දරුවන්ටත් හිමිවන බව සඳහන් කරන්න කැමතියි. ඒවගේම පාසල්වලට අවශ්‍ය යටිතල පහසුකම් ලබාදීමටත් මෙහිදී අප පියවර ගන්නවා. 

ප්‍රදේශයේ සෞඛ්‍ය තත්වය ඉහල නැංවීම වෙනුවෙන්, යාපනය, පේදුරුතුඩුව, මාන්කුලම, වව්නියාව, කිලිනොච්චිය, මුලතිව් රෝහල් සඳහා අවශ්‍ය ගොඩනැගිලි උපකරණ ලබාදීමට අප කටයුතු කළා. ඒවගේම ඉදිරියේදීත් රෝහල් පහසුකම් තවත් නැංවීමට අප කටයුතු කරනවා. මෙවැනි සංවර්ධන වැඩසටහන් රාශියක් මෙම ප්‍රදේශයට ලබාදීමට අප පියවර ගෙන තිබෙනවා. යාපනය හා කිලිනොච්චිය ප්‍රදේශවලට අවශ්‍ය ජලය ලබාදීම හා අයිරෝඩ් ව්‍යාපෘතිය මගින් මහාමාර්ග ඉදිකිරීමත් උතුරු පළාත තුල සිදුවෙමින් පවතිනවා. 

මයිලිඩ්ඩි වරාය ව්‍යාපෘතිය අපට වැදගත් වෙනවා 

මේ සියල්ලටම වඩා මෙම මයිලිඩ්ඩි වරාය ව්‍යාපෘතිය අපට වැදගත් වෙනවා. පළමුවෙන්ම යාපනය ප්‍රදේශයේ ධීවර වරායන් දියුණු කිරීම පිළිබඳව අපේ අවධානය යොමු වී තිබෙනවා. සමාජ හා යටිතල පහසුකම් දියුණු කිරීම සදහා පසුගිය වසර කිහිපය තුල අප පියවර ගත් නිසා ආර්ථික දියුණුව ඇති කිරීමට මයිලිඩ්ඩි, ගුරුනගර්, පේදුරුතුඩුව, කරෙයිනගර් වරායන් දියුණු කළ යුතුයි. අප අද විවෘත කළේ මයිලිඩ්ඩි වරායේ පළමු අදියර වන අතර දෙවන අදියර වශයෙන් ශීතාගාර ඉදිකිරීමට සැලසුම් සකස් කර තිබෙනවා. කරෙයිනගර් වරායේ දෙවැනි අදියරේ සංවර්ධනය සිදු වන අතර අද සවස් වරුවේ ගුරුනගර් වරායේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා. මේ වසර තුල පේදුරුතුඩුව වරාය සංවර්ධනය කිරීමේ වැඩකටයුතු ආරම්භ කිරීමට අප සැලසුම් කර තිබෙනවා. පළමු අදියර වශයෙන් ධීවර වරායන් සංවර්ධනය කිරීමත් දෙවන අදියර වශයෙන් ගැඹුරු මුහුදේ යාත්‍රා කළ හැකි බෝට්ටු පහසුකම් ධීවර ජනතාවට ලබා දීමටත් අප පියවර ගන්නවා. 

ඒ සමඟ ආර්ථිකයේ එක් කොටසක් ආරම්භ කරනවා. ඉන්දීය ආධාර සමග කන්කසන්තුරේ වරායත් සංවර්ධනය කරන බව ප්‍රකාශ කරන්න කැමතියි. ඒ සංවර්ධන වැඩසටහනත් සමඟ කන්කසන්තුරේ වරාය ප්‍රධාන වරායක් බවට පත්වෙනවා. එම වරාය සහිත ප්‍රදේශයේ කර්මාන්ත කලාපයක් සමග සංචාරක කලාපයක් ඇති කිරීමට අප කටයුතු කරනවා. දැනට තිබෙන සිමෙන්ති කර්මාන්තශාලාවේ යකඩ ඉවත් කිරීම සඳහා ටෙන්ඩර් කැදවීමට කටයුතු කරන ලෙස රිෂාඩ් බදියුදීන් ඇමතිතුමාට මම උපදෙස් ලබා දුන්නා. එය ඉවත්කිරීමත් සමඟ සැලසුමකට අනුව නව කාර්මික හා සංචාරක කලාපය ඇති කිරීමට අප සැලසුම් කර තිබෙනවා. 

ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර පලාලි හා මඩකලපුව ගුවන්තොටුපොල දියුණු කිරීමට අප කටයුතු කරනවා. එම දියුණුවත් සමඟ ප්‍රදේශයේ සංචාරක ව්‍යාපාරය දියුණුවට පත්වන බව සඳහන් කළ යුතුයි. සංචාරක මණ්ඩලය සමඟ සාකච්ඡා කර බෝට්ටු සංචාර ක්‍රියාත්මක කිරීමත් ඇතුළුව සංචාරක ආකර්ශණය ඇතිවන අනෙක් වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට අප පියවර ගන්නවා. එහිදී පළමු සංචාරක කලාපය ඇති කිරීමට අවශ්‍ය ඉඩම් මන්නාරම හා පුනරීන් අතර හඳුනාගෙන තිබෙනවා. 

සමාජ අධ්‍යාපන,යටිතල සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමට කටයුතු කර තිබෙන නිසා ආර්ථික දියුණුවක් ඇතිකිරීමට ආර්ථික දියුණුව ඇතිකිරීමට අපි දැන් සැලසුම් සකස් කරනවා. තරුණයන්ට රැකියා ලබාදීම, ආදායම් ඉහල නැංවීම ඇතුළු විශාල ආර්ථික පිම්මක් මගින් ආර්ථිකය දියුණු කිරීමට ඉදිරියේදී අප කටයුතු කරන බව සඳහන් කරන්න කැමතියි. ඒ වැඩපිළිවෙල මූලික කරගෙන එක්ව කටයුතු කරන ලෙස ඔබ සියළු දෙනාගෙන්ම මම ඉල්ලා සිටිනවා. 

උතුරු පළාතට විශ්වවිද්‍යාල දෙකක් හිමිවෙනවා 

මෙරට වැදගත් ප්‍රදේශයක් ලෙස යාපනය හැදින්විය හැකියි. මම කුඩා කාලයේ කොළඹ, මහනුවර, යාපනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන නගර තුන වශයෙන් පැවතුනා. යුද්ධය නිසා යාපනය විනාශ වුණා. අපට නැවතත් යාපනය සංවර්ධනය කර එදා තිබුණු ආර්ථික තත්වයට ගෙන ඒමට අවශ්‍ය වී තිබෙන බව සඳහන් කරන්න කැමතියි. අධ්‍යාපන රාජ්‍ය ඇමති විජයකලා මහේෂ්වරන් මහත්මිය යෝජනා කළ අන්දමට යාපනය විශ්වවිද්‍යාලයේ වව්නියාව මණ්ඩපය තවත් විශ්වවිද්‍යාලයක් ලෙස පත් කිරීමට උසස් අධ්‍යාපන ඇමතිතුමාත් එකගතාව පළකර තිබෙනවා.  ඒ අනුව උතුරු පළාතට ඉදිරියේදී විශ්වවිද්‍යාල දෙකක් හිමිවෙනවා.

උතුර හා නැගෙනහිර පළාත්වල ධීවර ක්ෂේත්‍රයේ නවීකරණයක් ඇතිකිරීමට අප බලාපොරොත්තු වෙනව. වෙළඳකරණය හා නවීකරණය යන දෙකම මෙම ප්‍රදේශයේ ධීවර කටයුතු සඳහා ගෙන ඒමට අප බලපොරොත්තු වනවා. 21 වන සියවස නවීන කෘෂිකර්මාන්තයක්, නවීන වාරිමාර්ග පද්ධතියක් නවීන සත්ව පාලනයක් වන්නියට ලබාදීමට අප පියවර ගන්නවා. මෙම ප්‍රදේශයේ කර්මාන්ත ඉදිකිරීම වගේම විද්‍යා තාක්ෂණ වැඩකටයුතු සිදුකිරීමට අප කටයුතු කරනවා. රුපියල් මිලියන 1800 ක ඉන්දියානු ආධාර ලැබෙන සංස්කෘතික මධ්‍යස්ථානය හෙට නිරීක්ෂණය කිරීමට මා බලාපොරොත්තුවෙන් සිටිනවා. රටේ දියුණුව ඉදිරි වසර පහ තුල තවත් වේගවත් කිරීමට අප බලාපොරොත්තු වෙනවා.  


මෙම නවීකරණ කටයුතු සිදුකිරීම යාපනයට පමණක් සීමා කරන්නේ නැහැ. මහනුවර සිට හම්බන්තොට දක්වා මහාමාර්ග ඉදිකිරීමත්, උතුරු මැද හා නැගෙනහිර කෘෂිකර්මාන්තය නවීකරණයක් ඇති කර රටට අවශ්‍ය ආහාරත්, ඉන්දියාවේ වැඩිවෙන ජනගහනයට අවශ්‍ය ධීවර හා කෘෂිකර්ම නිෂ්පාදනත්, නිෂ්පාදනය කිරීමට අප සැලසුම් කරනවා. 

එවැනි තත්වයකට ගමන් කිරීමට අප අලූතින් සිතමින් 21 වන සියවසට ගැලපෙන පරිදි සැලසුම් සකස් කළ යුතුයි. පසුගිය වසර කිහිපය තුල සංහිදියාව ඇතිකිරීම, නිදහසේ ජීවත්විය හැකි වටපිටාවක් ඇතිකිරීම, ණය ගෙවීමට ඇති ආර්ථිකයක් ඇතිකිරීම ඇතුළු විශාල වැඩකොටසක් සිදුකිරීමට අපට හැකිවුණා. එම වැඩපිළිවෙල ඉදිරියට ගෙන ගොස් රට දියුණුව කරා ගෙන ආ යුතුයි.

උතුරේ සංවර්ධනය ඇතිකර ආර්ථිකය ශක්තිමත් කරන්න දැක්මක් තිබෙනවා 

උතුරේ සංවර්ධනය ඇතිකර නැවත ආර්ථිකය ශක්තිමත් කිරීමට අවශ්‍ය දැක්ම අප සතුව තිබෙනවා. මේ වන විට ඔබට අවශ්‍ය සහාය අප ලබාදෙනවා. නමුත් ඉදිරියේදි එම සහයෝගයත් ලබාගෙන තම උත්සාහයෙන් ඉදිරියට යාමට පියවර ගත යුතුයි. රටේ අමාරු කාලය දැන් අවසන් බව ප්‍රකාශ කරන්න කැමතියි. රට ඉදිරියට ගෙන යාමට අත්වැල් බැදගෙන කටයුතු කරන ලෙස මම ඔබෙන් ඉල්ලා සිටිනවා. 

මෙම ප්‍රදේශයේ ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කිරීමට කටයුතු කිරීම පිළිබඳව පී. හැරිසන් අමාත්‍යතුමාට හා දිලිප් වෙදආරච්චි නියෝජ්‍ය අමාත්‍යතුමාට මගේ ස්තුතිය පළ කරනවා. හැරිසන් ඇමතිතුමාට මෙම වැඩසටහන බාරදෙන අවස්ථාවේ දිලිප් වෙදආරච්චි ඇමතිතුමා සමඟ මෙම වැඩකටයුත්ත කෙසේ හෝ සිදුකරන බවට මට පොරොන්දු වුණා. 

ධීවර හා කෘෂි ක්ෂේත්‍රය නවීකරණය කරන අතර තුර අගෝස්තු 25 වනදා පහල මල්වතු ඔය ජලාශයේ වැඩකටයුතු ආරම්භ කරන බව සඳහන් කළ යුතුයි. එම ව්‍යාපෘතියෙන් ලැබෙන ජලය අනුරාධපුරය, මන්නාරම හා වව්නියාවට ලැබෙන අතර එය සිංහල, දෙමළ, මුස්ලිම් ඇතුළු සියළු දෙනාටම භාවිතා කිරීමට හැකි වන බව ප්‍රකාශ කරන්න කැමතියි. 

ශ්‍රී ලංකාව පුරා විශාල සංවර්ධනයක් සිදුකර 21 වන සියවසේ ඉදිරියට පැමිණීමට අප සියලූ දෙනා එක්ව කටයුතු කරමු යැයි ඔබෙන් ඉල්ලා සිටිනවා.'' යන්නයි. 



0 comments: