Hot!

ජන්ම දේශපාලනික දූෂණය



විජයදාස රාජපක්ෂ පාර්ලිමේන්තුව ගැන කී කතාව 

රටේ වඩාත්ම දූෂිත රාජ්‍ය ආයතනය වන්නේ පාර්ලිමේන්තුව බවට පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ පසුගිය දා කළ ප්‍රකාශය තැවුලක් කරගෙන ඇත්තේ සුළු පිරිසක් වුවත් එය සිතා බැලීමට තරම් වන කාරණයකි. විජයදාස රාජපක්ෂ මේ ප්‍රකාශය කරන්නේ චීන ආණ්ඩුව විසින් ලැප්ටොප් පරිගණක 225 ක් ලංකාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ප්‍රදානය කිරීම ‘අල්ලසක්’ වශයෙන් සලකමිනි.

අපූරු කාරණය වන්නේ, මේ ප්‍රකාශය පිළිබඳව විස්සෝපයට පත්ව පාර්ලිමේන්තුවේ රීති ප්‍රශ්නයක් මතු කොට ඇත්තේ විජයදාස රාජපක්ෂගේම විපක්ෂ මන්ත්‍රීවරයෙකු වන නිමල් ලන්සා වීමයි. තරමක අතීතය පිළිබඳ යම් මතකයක් ඇති කෙනෙකුට ලන්සා කවුදැයි සිහිපත් කරගත හැක: 2011 දී බස්නාහිර පළාත් සභා ඇමතිවරයෙකු වශයෙන් සිටියදී මීගමුවේ ඔහුගේ නිවස පොලිස් විශේෂ කාර්ය සාධක බලකාය මගින් වටලා පරීක්ෂාවට ලක්කරනු ලැබුණි. ඊට පසුව දාම, එදා ජනාධිපති මහින්ද රාජපක්ෂ හෙලිකොප්ටරයකින් තකහනියක්ම ගොස් ඔහුගේ නිවසට ‘ගොඩවුණි’. ඒ, ඔහුගේ හිත සැනසීමට සහ කිසිවකට බිය නොවන්නැයි ඔහුට සහතික කොට කීමට විය යුතුය. සුචරිතය පිළිබඳ එවැනි ඉතිහාසයක් ඇති ලන්සාට, විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශයෙන් කටු ඇනීම පුදුමයක් නැත. 

විජයදාසගේ ප්‍රකාශයෙන් කරූ සිත රිදීම

මේ ප්‍රකාශය පිළිබඳ හිත නරක් කරගත් දෙවැන්නා වුණේ කතානායක කරූ ජයසූරියයි. එසේ වීම පුදුමයට කාරණයක් නොවේ. තමන් දූෂිත නැතැයි ඔප්පු කර පෙන්වන තෙක් දූෂිතයෙකු වශයෙන් සලකනු ලැබීමේ ඉරණමට ගොදුරුව ඇති දේශපාලනික පැලැන්තියක් අතරේ වසර විසිපහකට ආසන්න කාලයක් තිස්සේ දූෂණයේ නාවර නොතැවරී සිටීමට කරූ ජයසූරිය සමත්ව තිබේ. පසුගිය වසරේ ඇති වූ ව්‍යවස්ථාමය අර්බුදය අවස්ථාවේ ඔහු කටයුතු කළ ආකාරයත් ඒ හා සමානවම ආදර්ශමත් ය. රාජ්‍යතාන්ත්‍රික ය. එවැනි පුද්ගලයන් දේශපාලඥයන් අතරේ අද වන විට ව්‍යතිරේකයක් පමණක් වෙතත්, තවමත් පාර්ලිමේන්තුවේ එවැන්නන් සිටීම රටට සහනයකි.

කරූ ජයසූරිය කතානායකවරයා විජයදාස රාජපක්ෂට මේ ප්‍රකාශය ගැන දොස් කීවේය. තමා කියන දෙන විජයදාස රාජපක්ෂ සැබවින්ම විශ්වාස කරන්නේ නම් ඔහු පාර්ලිමේන්තුවේ නොසිටිය යුතු බව කතානායකවරයා ඔහුට මතක් කර දුන්නේය. කෙසේ වෙතත්, විජයදාස රාජපක්ෂ වැනි පුද්ගලයෙකු අරභයා කතානායකවරයා දෙන අවවාදයක් ගඟට ඉණි කැපීමකට නොදෙවැනි වනු ඇත. මන්ද යත්, අලුත් ව්‍යවස්ථාවක් ඇති කර ගැනීම සඳහා පිහිටුවා ගත් පාර්ලිමේන්තු ව්‍යවස්ථා මණ්ඩලයේ මාස ගණනක් සාමාජිකයෙකුව සිට, අනතුරුව එම සභාවේ ‘මෙහෙයුම් කමිටුවේත්’ මාස ගණනක් සාමාජිකයෙකුව සිට, පසුව ආපස්සට හැරී ඒ සියල්ල නීති විරෝධී යැයි කීම ඔහුට මේ විජයදාස රාජපක්ෂට මහලොකු කජ්ජක් නොවුණු බැවිනි. 

පට්ටම නැතිවූ විට එළිදුටු දේශපාලනයේ ජම්ම පුරුද්ද 

අපූරුව වන්නේ, මේ උගත් ජනාධිපති නීතිඥවරයාට ඒ සියල්ල නීති විරෝධී බව පෙනෙන්ට පටන්ගත්තේ, එතෙක් තමා දැරූ ආණ්ඩුවේ ඇමති පට්ටම නැති වීමෙන් පසුව වීමයි. රටේ දේශපාලනයේ දූෂණය එයාකාරයේ ජම්ම පුරුද්දක් වී තිබීම අපේ අභාග්‍යයකි. විජයදාස රාජපක්ෂව පැත්තකින් තියන්න. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනම කියා ඇති පරිදි, 2018 ඔක්තෝබර් මාසයේ දියත් කෙරුණු ‘ව්‍යවස්ථා කුමන්ත්‍රණය’ අසාර්ථක වුණේ, එය සාර්ථක කර ගැනීම සඳහා විකිණීමට සිටි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ මිල රුපියල් මිලියන 500 ක් තරම් වන අධික අගයක් ගත් නිසාම පමණි. එක් මන්ත්‍රීවරයෙකු විකිණෙන මිල එතරම් අධික නොවිණි නම්, මන්ත්‍රීවරුන් 113 දෙනෙකුගේ ඡන්දය ලබාගෙන ආණ්ඩුව ගෙන යාමට මහින්ද රාජපක්ෂ සමත් විය හැකිව තිබුණු අතර, එසේ විණි නම් කිසි ‘අර්බුදයක්’ ඇති නොවනු ඇතැයිද ජනාධිපතිවරයා කීවේය.

ජනාධිපතිවරයාගේ එකී නිරීක්ෂණ අතරේ තබා බලන විට, විජයදාස රාජපක්ෂගේ ප්‍රකාශය ලොකු දෙයක් නොවේ. ඔහු කියන්නේ රුපියල් එක්ලක්ෂ පනස්දහසක් වැනි සොච්චමකින් අපේ මන්ත්‍රීවරුන්ව අල්ලසට නම්මවා ගත හැකි බවකි. එහෙත් ජනාධිපතිවරයාගේ තක්සේරුව ඊට වඩා අධික ය. මෙවැනි ප්‍රවණතාවක් ඇතිව තිබීමේ හේතු සොයා යන විට කෙනෙකුගේ නිතැතින් ඇස ගැසෙන එක කාරණයක් තිබේ. එනම්, කිසි ප්‍රධාන පක්ෂයකට ප්‍රමාණවත් වැඩි ආසන සංඛ්‍යාවක් ලබා නොදෙන වර්තමාන සමානුපාතික ඡන්ද ක්‍රමයයි. 

දූෂණය පිටුදකින්නට ආ පිරිස දූෂණයේ යෙදීම 

2001 දී සහ 2004 දී හැරුණු කොට, ගත වූ වසර 25 ක කාලය තුළ පිහිටුවා ගත් සෑම ආණ්ඩුවකටම තිබී ඇත්තේ 25 කට අඩු බහුතරයකි. එහි අදහස වන්නේ, දුසිමක පමණ මන්ත්‍රීන් සංඛ්‍යාවක් බිලිබා ගැනීමට විපක්ෂයට හැකි වෙතොත් තමන්ගේම ආණ්ඩුවක් පිහිටුවා ගැනීමට ඊට හැකියාව ඇති බවයි. කෙසේ වෙතත්, දූෂණය පවතින්නේ මෙසේ මුදලට පක්ෂ මාරු කිරීමට යම් මන්ත්‍රීවරයෙකුට/මන්ත්‍රීවරියකට ඇති හැකියාව නිසා පමණක්ම නොවේ. ටෙන්ඩර් පිරිනැමීම, පරීක්ෂණ අඩාල කිරීම, පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීම පහසු කැරැවීම ආදිය සඳහා දේශපාලඥයන් කරන සහ නොකර සිටින දේවල් ද ඊට අඩංගු ය. 

අවාසනාව වන්නේ, වර්තමාන ආණ්ඩුව යනු එවැනි දූෂණ දුරලීම සඳහාම පත්කර ගත් ආණ්ඩුවක්ව තිබියදී එම ආණ්ඩුවමත් රටම ගඳ ගස්සන මහබැංකු බැඳුම්කර වංචාවක පැටලීමත්, එකී අපරාධයේ වගකිවයුත්තන් තවමත් නිදැල්ලේ සිටීම සහ ඉන් සමහරෙකු තවමත් රජයේ උසස් බලධාරීන් වී සිටීමත් ය.

අපේ දේශපාලඥයන්ට එරෙහි කප්පරක් දූෂණ චෝදනා තිබුණත්, ඒ අරභයා නඩු දහයක් දොළහක් වැටී තිබුණත්, ඉන් කිසිවෙකු මේ වන තෙක් හිරේට ගොස් නොතිබීම අපේ දේශපාලනික සහ අධිකරණමය පද්ධතිවල ස්වභාවය සම්බන්ධයෙන් ඉතිරි කරවන්නේ කණගාටුදායක කැළලකි. එයින් සමහර නඩු, සාක්ෂිවල හිඟය නිසා වීසි කෙරේ. අනික් ඒවා, යුක්තියේ සකරෝදය ඔවුන් සම්බන්ධයෙන් ඈලියාවට කැරකෙන නිසා එක තැන පල් වෙයි.

අධිකරණ යුක්තියට වෙට්ටු දාන දේශපාලඥයින් 

මේ දක්වා අල්ලස සහ දූෂණය සම්බන්ධයෙන් වැරදිකරුවන් වශයෙන් අධිකරණයකින් තීන්දු වී ඇති ඉහළ පෙළේ පුද්ගලයන් දෙන්නා ජනාධිපතිවරයෙකුගේ ලේකම්වරයෙකු සහ ජනාධිපතිවරයෙකුගේ කාර්ය මණ්ඩල ප්‍රධානියෙකු පමණක් වීම, අපේ දේශපාලඥයන් සුපිරිසුදු පිරිසක් බවට පත්කරවන කාරණයක් වන්නේ නැත. නිලධාරීන් දෙන්නෙකු පමණක් වරදකරුවන් වී තිබීමෙන් කියැවෙන්නේ, දේශපාලඥයන් යනු අධිකරණමය යුක්තියට වෙට්ටු දැමීමේ කලාව වැඩියෙන් ප්‍රගුණ කොට ඇති පිරිසක් වන බව පමණි. මීට කාලයකට පෙර, හිටපු ක්‍රීඩා ඇමතිවරයෙකු වූ සී.බී. රත්නායක ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කෙළේය. එනම්, රටේ වඩාත් දූෂිත ආයතනවලින් තුන්වැනි ස්ථානය හිමිවන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වන බවයි. පළමු සහ දෙවැනි තැන් හිමිකරගෙන සිටියේ අධ්‍යාපන දෙපාර්තමේන්තුව සහ පොලිස් දෙපාර්තමේන්තුවයි.

මේ වසරේ මුල් භාගයේදී වර්තමාන ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මේ වර්ගීකරණය දැන් වෙනස් වී තිබිය හැකැයි කීවේය. ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලය ලෝකයේම ක්‍රිකට් ආයතන අතරින් වඩාත් දූෂිත ආයතනය වන බව ‘ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය’ තමන්ට කී බව ඔහු කීවේය. යම් ආකාරයක ලෝක ක්‍රිකට් ශූරයන් බවට අප පත්ව ඇති බව කෙනෙකුට යම් සහනයක් ගෙන දෙන කාරණයක් විය හැකි වෙතත්, සමහර පුද්ගලයන් පාර්ලිමේන්තුව මෙන්ම ශ්‍රී ලංකා ක්‍රිකට් මණ්ඩලයත් අපිරිසුදු කොට තිබීම හුදු අහම්බයක්ම නොවේ. 

ශ්‍රී ලංකාවේ ඡන්දදායකයාට නම් පේන තෙක් මානයක සැනසුමක් ගෙන දෙන කාරණයක් පෙනෙන්ට නැති කම අවාසනාවකි. ඊළඟ මහ මැතිවරණයක් තව මාස හයකට මෙහා පැවැත්වීමට නියමිතව නැතත්, යම් සහතිකයකින් දැන් තියාම කිව හැකි එක දෙයක් තිබේ. එනම්, එකී මැතිවරණයට ප්‍රධාන පක්ෂ දෙකෙන්ම ඉදිරිපත් කෙරෙන නාම යෝජනා අතර ‘සුපුරුදු බඩු’ සිටිය හැකි බවත්, එම මැතිවරණයත් සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වුණොත්, එයින් බොහෝ දෙනා ඊළඟ පාර්ලිමේන්තුවටත් නිසැකවම තේරී පත්වනු ඇති බවත් ය.

දූෂණය මැඩලීම සඳහා අවශ්‍ය නීතිරීති සහ අණපනත් පැනවීම මේ පුද්ගලයන්ගෙන්ම අප බලාපොරොත්තු වීම, සිංහල කියමනක් අනුව ගත්තොත්, හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් බඳු ය.





(2019 අගෝස්තු 11 වැනි දා Sunday Observer පුවත්පතේ පළවූ Endemic Political Corruption නමැති කතුවැකියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

0 comments: