to-add

ප්‍රගාමී තොරතුරු අනාවරණය - තොරතුරු අයිතිය පිළිබඳ ඉටුනොවූ වගකීම (1)



- විජයානන්ද ජයවීර -


තොරතුරු අයිතිය 19 න් හිමිවූ වගයි 

මහජන අධිකාරි භාරයේ ඇති තොරතුරු වලට ප්‍රවේශ වීම 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයත් සමග ලාංකේය පුරවැසියන්ගේ ව්‍යවස්ථාපිත අයිතිවාසිකමක් බවට පත් විය. මේ අයිතිය සාක්ෂාත් කර දීමේ වගකීම රජයට සමස්තයක් වශයෙනුත් 2016 අංක 12 දරන තොරතුරු අයිතිවාසිකම පිළිබඳ පනත මගින් නිර්ණය කර ඇති පොදු අධිකාරි වලට සුවිශේෂ වශයෙනුත් පැවරේ. තොරතුරු අයිතියේ නීත්‍යනුකූල හිමිකරුවන් වන පුරවැසියන්ට එම අයිතිය බාධාවකින් තොර ව භුක්ති විඳ ගැනීමට ඉඩ සැලසීමට එකී ආයතන සියල්ල නීතියෙන් ම බැඳී සිටී.

පොදු අධිකාරි සන්තක ව පවත්වා ගෙන යන තොරතුරු වලට ප්‍රවේශ වීම දෙයාකාරයකට කළ හැකිය. ඉන් එක් ක්‍රමයක් වන්නේ තමන්ට අවශ්‍ය කරන තොරතුරු මොනවා දැයි නිශ්චිත ව සඳහන් කරමින් පුරවැසියෙකු විසින් පොදු අධිකාරයකට යොමු කරනු ලබන අයදුම්පතකට පිළිතුරු ලෙස තොරතුරු ලබා ගැනීමයි. දෙවැනි ක්‍රමය වන්නේ එවැනි විශේෂ ඉල්ලීමක් නො ලැබුණ ද පොදු අධිකාරියක් සිය කැමැත්තෙන් ම තමන් සතු පළ කළ හැකි හැම තොරතුරක් ම ප්‍රගාමී ලෙස ප්‍රසිද්ධියේ ප්‍රකාශයට පත් කිරීම මගින් තොරතුරු ලබා ගැනීමයි. පළමු ක්‍රමය ප්‍රතික්‍රියක අනාවරණය (Reactive Disclosure) ලෙස ද පොදු අධිකාරියක් සිය කැමැත්තෙන් කල් තියා ම තොරතුරු ප්‍රසිද්ධ කිරීම ප්‍රගාමී අනාවරණය (Proactive Disclosure)ලෙස ද හැඳින්විය හැකිය.

ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය සම්බන්ධයෙන් ඉන්දියාව ඉදිරියෙන් 

තොරතුරු අයිතිය පිළිබඳ අපේ නීතිය ප්‍රතික්‍රියක අනාවරණය සම්බන්ධයෙන් නම් අතිශයින් ම ප්‍රබල ය. තොරතුරු ඉල්ලා සිටීම, ඉල්ලීම ඉටු කිරීමට නියමිත කාලය, හෙළි නොකරණ තොරතුරු (වඩා වැදගත් මහජන අවශ්‍යතාවක දී හැර), තොරතුරු ඉල්ලීම් පිළිබඳ ආරවුල් විනිශ්චය කිරීම, තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත උල්ලංඝනය කිරීමේ දී පැනවෙන දඬුවම් ආදී දෑ පිළිබඳ නිශ්චිත විධිවිධාන පනතේ වෙසෙසින් ම සඳහන් වේ. මෙලෙස තොරතුරු අයිතිය පිළිබඳ පනත ප්‍රතික්‍රියක අනාවරණය මුල් කොට සකසා ඇති නිසා හුදෙක් තොරතුරු අයිතිය භුක්ති විඳීමේ සම්මත ක්‍රමය විය යුත්තේ පුරවැසියන්ගෙන් ලැබෙන පුද්ගලික ඉල්ලුම් මත තොරතුරු සැපයීම හෙවත් ප්‍රතික්‍රියක අනාවරණය ම බව බොහෝ පරදු දරන්නන් (stakeholders) නිගමනය කර ඇති බවක් පෙනේ.

කෙසේ වෙතත් අපේ තොරතුරු අයිතිය පිළිබඳ නීතිය හා සසඳන විට ඉන්දියාවේ තොරතුරු අයිතිය පිළිබඳ නීතිය ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය සම්බන්ධයෙන් ද වඩා ප්‍රබල ස්ථාවරයක් ගනී. අපේ නීතියට අනුව පොදු අධිකාරියක් විසින් ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කළ යුතු ව තිබුණේ තොරතුරු අයිතිය ඉටු කර දීම සම්බන්ධයෙන් එකී පොදු අධිකාරිය විසින් ඉටු කරන ලද කටයුතු පිළිබඳ ව අර්ධ වාර්ෂික වාර්තා සහ පනත මගින් නිශ්චය කොට දක්වා ඇති පිරිවැය සීමා වලට අයත් ව්‍යාපෘති සම්බන්ධයෙන් අදාල ව්‍යාපෘතියේ බලපෑමට ලක් වන අයට ව්‍යාපෘතිය පිළිබඳ තොරතුරු කල් තබා දැන ගැනීමට සැලැස්වීමත් ය. ඒ හැරෙන විට ප්‍රගාමී තොරතුරු ප්‍රකාශනය ලෙස සැලකිය හැකි වෙන කිසිවක් අපේ මුල් පනතේ නො තිබුණි.

ප්‍රගාමී ලෙස තොරතුරු අනාවරණය කළයුතු තොරතුරු ඉන්දීය නීතියේ හතරවැනි වගන්තියෙන් 

එහෙත් ඉන්දීය තොරතුරු නීතිය එසේ නොවේ. හැම පොදු අධිකාරියක් විසින් ම ප්‍රගාමී ලෙස අනාවරණය කළ යුතු තොරතුරු වර්ග මොනාවාදැ’යි සවිස්තර ලෙස ඉන්දීය නීතියේ හතරවැනි වගන්තියෙන් දක්වා තිබේ. එලෙස නම් කර ඇති තොරතුරු වර්ග ආයතනික පාරදෘෂ්‍යභාවය සම්බන්ධයෙන් අතිශයින් වැදගත් ය. පනත සම්මත වූ දා සිට දින120ක් ඇතුළත දී පනතේ සඳහන් ප්‍රගාමී තොරතුරු අනාවරණය ඉටු කළ යුතු බව ද ඉන්දීය නීතියේ වෙසෙසින් දැක්වේ. ඒ අනුව ප්‍රගාමී තොරතුරු අනාවරණය සම්බන්ධයෙන් අපේ පනතේ තිබූ මේ මදි පාඩුව වටහා ගත් තොරතුරු කොමිසම යම් නිශ්චිත ආකෘතියකින් තොරතුරු සැපයීමට පොදු අධිකාරි වලට නියෝග කිරීමට තොරතුරු පනතේ 15(ඈ) වගන්තිය යටතේ එයට ලැබී තිබෙන බලතල වලට අනුව සෑම පොදු අධිකාරියක් ම ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු ලැයිස්තුවක් පනත යටතේ ගැසට් කරන ලෙස විෂය භාර ඇමතිවරයාට උපදෙස් දුන්නේ ය. ඒ අනුව 2017 පෙබරවාරි 03 වැනි දින සිට බලාත්මක වන පරිදි ප්‍රගාමී ලෙස හැම පොදු අධිකාරියක් ම ප්‍රකාශයට පත් කළ යුතු තොරතුරු වර්ග විස්තර කෙරෙන අංක 20 දරන රෙගුලාසිය ඇමතිවරයා විසින් තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනත යටතේ ගැසට් කරන ලදී. මේ රෙගුලාසියට අනුව ප්‍රගාමී ලෙස ප්‍රකාශයට පත් කිරීමට නියමිත තොරතුරු මොනවාද යන්න ප්‍රගාමී අනාවරණය සඳහා මනා මූලෝපායක් රජයට තිබිය යුතු ය යන කාරණය සාකච්ඡා කරන විට සවිස්තරව සලකා බලමු.

ඉන්දීය තොරතුරු පනතේ සිව්වැනි වගන්තියට අනුව තොරතුරු නීතිය පිළිපැදීමට ප්‍රගාමී තොරතුරු අනාවරණය අත්‍යවශ්‍ය වූ නමුදු එහි ප්‍රායෝගික අත්දැකීම පෙන්නුම් කරන පරිදි තොරතුරු නීතිය ක්‍රියාත්මක වී වසර හයක් ගත වූ පසුව ද ප්‍රගාමී ලෙස තොරතුරු ප්‍රකාශයට පත් කිරීම පැවතුණේ දුර්වල මට්ටමකයි. මේ ඌනතාවය සොයා බලා විසඳුම් යෝජනා කිරීමට ඉන්දීය රජය විසින් 2011 දී පත් කළ කාර්ය සාධක බලකා වාර්තාවට අනුව “ පනතේ සිව්වැනි වගන්තියෙන් බලාපොරොත්තු වන ප්‍රගාමී තොරතුරු අනාවරණය දුර්වල වීමට යම් පමණකට හේතු වී ඇත්තේ එම වගන්තියේ එන ඇතැම් කරුණු සවිස්තර ලෙස නො දැක්වීම සහ වගන්තිය මුලුමනින් ම බල ගැන්වීම පිණිස සුදුසු පිළිපැදීම් යන්ත්‍රණයක් නො වීමයි”. මේ අත්දැකීමෙන් පෙන්වා දෙන්නේ සුදුසු මූලෝපායකින් හා එය ක්‍රියාත්මක කළ හැකි පිළිපැදීම් යන්ත්‍රණයකින් තොර ව රෙගුලාසි අංක 20 සඳහන් පරිදි ප්‍රගාමී තොරතුරු අනාවරණ අවශ්‍යතා ඉටු කිරීමට නීතියෙන් ඇති බැදීමට අවම වශයෙන් අනුකූල වීම පවා බොහෝ පොදු අධිකාරි වලින් බලාපොරොත්තු වීම අසීරු බවකි.




(ලේඛකයා යුනෙස්කෝ ආයතනයේ සංනිවේදන ප්‍රවර්ධනය පිළිබඳ ජාත්‍යන්තර වැඩසටහනේ අධ්‍යක්ෂවරයා වශයෙන් කටයුතු කොට විශ්‍රාම ගත්තේ ය.) 





  සබැඳි ලිපි 

ප්‍රගාමී තොරතුරු අනාවරණය - තොරතුරු අයිතිය පිළිබඳ ඉටුනොවූ වගකීම (2)



Post a Comment

0 Comments