Hot!

අයර්න් මවුන්ටන් වාර්තාව සහ සැප්තැම්බර් 11

අඛණ්ඩව යුද්ධය පවත්වාගෙන යෑමේ හැකියාව ස්ථාවර රජයක් සඳහා පදනමයි. දේශපාලන අධිකාරිය පොදුවේ පිළිගැනීමට එය පදනම සපයයි. 

කතුවැකිය 

ජනාධිපති ජෝන් එෆ්. කෙනෙඩි ඝාතනය වීමෙන් පසු එම ධූරයට පත් වූයේ ඔහුගේ උප ජනාධිපති ලෙස සේවය කළ ලින්ඩන් ජෝන්සන්ය. 1969 ජනවාරි 20 වැනිදින වන තෙක් ජනාධිපති ධූරය හෙබවූ ජොන්සන් එක්සත් ජනපදයේ තිස්හය වන ජනාධිපතිවරයා විය. මෙම කාලවකවානුවේදී, මහත් ආන්දෝලනයකට තුඩු දුන් කෘතියක් ප්‍රසිද්ධ විය. "රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මෞන්ටන්" නමින් හඳුන්වනු ලැබුවේ එම කෘතිය ලෙනාඩ් සී. ලෙවින් විසින් ලියනු ලැබීය. මෙම කෘතියේ කරුණු සී.අයි.ඒ. ඇතුළු පෙන්ටගනය නිල වශයෙන් ප්‍රතික්ෂේප කොට ඇතත්, එම කෘතිය ඔස්සේ මතු කරනු ලැබූ මූලික කාරණා සහ කෘතියට පාදක වී ඇති සිදුවීම් ගැන අදටත් ලෝකය පුරාම ව්‍යාප්ත වී ඇති විවාදයක් තිබේ. 


"රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මෞන්ටන්" ප්‍රසිද්ධ වූයේ 1967 දීය. 1963 දී ලින්ඩන් පරිපාලනය විසින් විශේෂඥයින් 15 දෙනෙකුගෙන් සමන්විත කමිටුවක්  පත්කොට එක්සත් ජනපදයේ මූලික ප්‍රතිපත්ති රාමුවක් සකස් කරනු ලැබීය. එක්සත් ජනපදය සදාකාලික සාමකාමී තත්වයකට ඇතුළු වුවහොත් ඇතිවිය හැකි ගැටලු මොනවාදැයි සොයා බැලීම මෙම  විශේෂ අධ්‍යයන කණ්ඩායමේ අරමුණ විය. ඔවුන් යකඩ කඳුකරය ( අයර්න් මවුන්ටර්න්) නමින් හැඳින්වූ භූගත න්‍යෂ්ටික බංකරයක (මෙන්ම ලොව පුරා වෙනත් ස්ථානවල) හමු වූ අතර වසර දෙකක් පුරා අදාළ අධ්‍යනය කරනු ලැබුහ. මණ්ඩලයේ සාමාජිකයෙකු වූ මිඩ්වෙස්ට්හි පිහිටි විද්‍යාලයක මහාචාර්යවරයකු වන “ජෝන් ඩෝ” ( මෙය අන්වර්ථ නාමයකි.) වාර්තාව මහජනයාට නිකුත් කිරීමට තීරණය කළේය. 

අදාළ කමිටුවේ සාමාජිකයින්, අවසානයේ මෙවැනි නිගමනයකට පැමිණියෝය. "ආණ්ඩුවට බලය රැක ගැනීමට අවශ්‍යය වන්නේ නම්, යුද්ධයක් හෝ ඊට සම්බන්ධ වූ දෙයක් අඛණ්ඩව පවත්වා ගැනීම අත්‍යවශ්‍යය වේ." අදාළ කෘතිය ලෝක අවදානය දින ගැනීම හේතුවෙන්, එහි කතුවරයාද තම කෘතිය හුදු ලියවිල්ලක් පමණක් බව 1972 දී ප්‍රසිද්ධියේ සඳහන් කරනු ලැබුවද අදටත් එහි අඩංගු කරණු ගැන බොහෝ දෙනෙකුට විශ්වාසයක් තිබේ. මන්ද, එක්සත් ජනපදයේ මූලික විදෙස් ප්‍රතිපත්තියේ  හැඩතලයන් වල පදනමේ ස්වභාවය මෙම කෘතියේ අඩංගු වී ඇති බැවිනි.

පාදසටහන් විශාල වශයෙන් භාවිතා කොට සකස් කළ මෙම වාර්තාව නිගමනය කළේ, සාමය යනු ස්ථාවර සමාජයක වුවමණාව නොවන බවය. කල්පවත්නා සාමය (ලාස්ටින් පීස්) “සාක්ෂාත් කරගත හැකි වුවද, එය සාක්ෂාත් කර ගැනීම  සමාජයේ යහපතට හේතු නොවන” බව එම කණඩායම නිගමනය කළේය. යුද්ධය ආර්ථිකයේ කොටසකි. එබැවින් ස්ථාවර ආර්ථිකයක් සඳහා යුද රාජ්‍යයක් පවත්වාගෙන යෑම අවශ්‍ය වේ. න්‍යායාත්මක වූ රජය, යුද්ධයකින් තොරව නොපවතින අතර, ජාතික රාජ්‍යයන් පවතින්නේ යුද්ධ කිරීමෙනි. සාමූහික ආක්‍රමණය වෙනතකට හැරවීමේ වැදගත් කාර්යය යුද්ධය විසින් ඉටු කරන ලදි. යුද්ධයේ ආර්ථික කාර්යය සිදු කිරීම සඳහා “විශ්වසනීය ආදේශක” සහ “ලේ මිලක්” ( බ්ලඩ් මනි) ගෙවීමට ඔවුහු නිර්දේශ කළහ. යුද්ධයට රජය විසින් සැලසුම් කරන ලද විකල්පයන් අතර පිටසක්වල ජීවීන් පිළිබඳ වාර්තා, “නවීන තාක්‍ෂණය හා දේශපාලන ක්‍රියාදාමයන්ට අනුකූලව වහල්භාවයේ "සුහදශීලී ස්වරූපයක්" නැවත හඳුන්වාදීම, සහ - සුහදශීලී ජනතාවගේ අවධානය දිනා ගැනීම සඳහා විශේෂයෙන්  "පරිසර දූෂණය කිරීමේ විපාකය" වැනි දෑ භාවිතා කළ හැකි බව අදාළ අධ්‍යනය නිර්දේශ කරනු ලබූහ.

නම් සඳහන් නොකළ එක්සත් ජනපද රජයේ නිලධාරියෙකු එම වාර්තාවේ යථාර්ථය සනාථ කළ බව ඇතැම් ඇමෙරිකානු මාධ්‍යය වාර්තා කරනු ලැබීය. එම වාර්තාව ගැන සඳහන් මාධ්‍යය වාර්තා කියවූ පසු ජනාධිපති ජොන්සන්ට දවල් තරු පෙනුණු බව සඳහන් වේ. ජනාධිපතිවරයා එම වාර්තාව ඇතුළත් කෘතිය වහාම රට තුළ තහනම් කරන ලෙස නියෝග කළේය. ඊට අමතරව,  එම පොත එක්සත් ජනපද රජයේ ප්‍රතිපත්තියට කිසිදු සම්බන්ධයක් නොමැති බව අවධාරණය කිරීමට ලොව පුරා පිහිටි එක්සත් ජනපද තානාපති කාර්යාල වෙත උපදෙස් දෙනු ලැබීය.

"යුද්ධය යනු පුළුල් ලෙස උපකල්පනය කර ඇති පරිදි, මූලික වශයෙන් ජාතීන් විසින් ප්‍රකාශිත දේශපාලන සාරධර්ම හෝ ඔවුන්ගේ ආර්ථික අවශ්‍යතා පුළුල් කිරීම හෝ ආරක්ෂා කිරීම සඳහා යොදා ගන්නා ප්‍රතිපත්තියේ මෙවලමක් නොවේ. එම ප්‍රකට තර්කයට පටහැනිව, සියලු නූතන සමාජයන් ගොඩනඟා ඇති සංවිධානයේ ප්‍රධාන පදනම යුද්ධයයි. යුද්ධයට පොදු ආසන්නතම හේතුව වන්නේ එක් ජාතියක ජාතියක අභිලාෂයන් සමඟ මැදිහත් වීමයි. එහෙත් ජාතික අවශ්‍යතාවයේ පෙනෙන සියලු වෙනස්කම්වල මුල වන්නේ වරින් වර සන්නද්ධ ගැටුම් සඳහා යුද පද්ධතියේ ගතික අවශ්‍යතාය. යුද්ධයට ඇති සූදානම සමකාලීන සමාජ පද්ධති ඔවුන්ගේ ආර්ථික හා දේශපාලන ව්‍යුහයන්ට වඩා පුළුල් ලෙස සංලක්ෂිත වේ." (උපුටා ගැනීම: රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මවුන්ටන්)

එය තවදුරටත් මෙසේද සඳහන් කරන්නේය. "අඛණ්ඩව යුද්ධය පවත්වාගෙන යෑමේ හැකියාව ස්ථාවර රජයක් සඳහා පදනමයි. දේශපාලන අධිකාරිය පොදුවේ පිළිගැනීමට එය පදනම සපයයි. එමඟින් අවශ්‍ය පංති වෙනස පවත්වා ගැනීමට සමාජයන්ට හැකි වී ඇති අතර, ජාතිකත්වය පිළිබඳ සංකල්පයට ආවේණික වූ ඉතිරිව ඇති යුද බලතල මගින් පුරවැසියා රාජ්‍යයට යටත් කිරීම සහතික කර තිබේ. බාහිර යුද තර්ජනයක අඛණ්ඩ විශ්වසනීයත්වය පවත්වා ගැනීමට අපොහොසත් වීමෙන් පසු කිසිදු නූතන දේශපාලන පාලක කණ්ඩායමක් සිය ඡන්ද කොට්ඨාශය සාර්ථකව පාලනය කර නැත. (උපුටා ගැනීම: රිපෝර්ට් ෆ්‍රොම් අයර්න් මවුන්ටන්)

මේ ආදී වශයෙන් මෙම වාර්තාව ලබා දෙන මූලික ඥාණයන් අතිශය තීරණාත්මක වේ. මෙම වාර්තාව ඇතුළත් කෘතිය ප්‍රසිද්ධ වූයේ අල්කයිඩා සංවිධානය විසින් ඇමෙරිකානු භූමිය මත සිදුකළ දරුණුතම ත්‍රස්තවාදී ප්‍රහාරයට වසර 34කට පෙරය. සැප්තැම්බර් 11  ප්‍රහාරය ලෙස හැඳින්වෙන එය පැවති සමාජ රටාව ක්‍රමිකව වෙනස් කරනු ලැබීය. 

අදාළ ප්‍රහාරය සිදුවන බවට අනතුරු ඇඟවීම් රාශියක් කොට තිබුණද එවකට බලයේ සිටි බුෂ් පරිපාලනයට එය වැළක්වීමට නොහැකි විය. ඉන් පසු, එක්සත් ජනපදය, ඇෆ්ගනිස්ථානයෙන් ආරම්භ කළ ආක්‍රමණය මේ වන විට සිරියාව දක්වා ඇදී තිබේ. ඒ අතර ලිබියාව ආදී රටවල පැවති පරිපාලනය වෙනස් කොට එක්සත් ජනපදය තම ප්‍රීතිය සමරනු ලැබීය. ලිබියානු ජනාධිපති ගඩාෆි මරාදැමීමෙන් පසු එහි ප්‍රීතිය ප්‍රසිද්ධ වේදිකාවට ගෙන එනු ලැබුවේ හිටපු රාජ්‍යය ලේකම් හිලරි ක්ලින්ටන්ය.  පැහැදිලි ලෙසම ඔහුගේ ඝාතනය යුධ අපරාධයක් වුවද, සාදාරනය සහ යුක්තිය ගැන සිදුකරන සියලු ඇමරිකානු කටවල් ඒඅම අපරාධය ගැන නිහඬය. මන්ද මරා දමා ඇත්තේ ඔවුන්ගේ,"සතුරාය".  මේ වන විට ලිබියාව පමණක් නොව ඉරාකය, ඇෆ්ගනිස්ථානය, සිරියාව මිහිපිට අපායන් බවට පත්කොට ඇත. ඇමෙරිකානු මැදිහත්වීමක් නොවනන්ට මෙම රටවල් "සොඳුරු ආඥාදායකයින්" යටතේ අදටත් සතුටෙන් සහ සාමයෙන් ජීවත් වනු ඇත. 

සැප්තැම්බර් 11 වැනිදින සිදු වූ ප්‍රහාරයට අදට වසර 18  කි. ගෙවී ගිය වසර 18 තුළදී සිදු වූ බොහෝ දෑ වලින් පෙනී යන්නේ 1967 දී ප්‍රසිද්ධ වූ අයර්න් මුවුන්ටන් වාර්තාවේ මූලික හරය එක්සත් ජනපදයේ අරමුණු දිනා ගැනීම සඳහා ඉතාම අවලස්සන ලෙස භාවිතා කොට ඇති ආකාරය නොවේද? ප්‍රජාතන්ත්‍රවාදය, ත්‍රස්තවිරෝධය, සහජීවනය, එකට විසීම, ආදී සුන්දර වචන වලින් සැබෑ ඇමෙරිකානු  පරිපාලනයේ ඝෝර ගති සඟවා ඇත.  සඟවා ඇති එම ඇත්ත තුළ මනුෂ්‍යත්වය හෝ සාමය නැත. ඇත්තේ බලය ව්‍යාප්ත කිරීම සහ ඉලක්ක කරගත් රාජ්‍යයන් තුළ අසමගිය පතුරුවා හැර තම අධිකාරිය පවත්වා ගැනීමේ අමනුෂ්‍ය කමයි.  අපි සියල්ලෝම එහි ගොදුරු මිස සැබෑ නිදහස හිමි මිනිසුන් නොවෙමු. 

බින් ලාඩන්ගේ ප්‍රහාරයෙන් වසර 18 කට පසුද, අප හමුවේ ඇති සදාතනික සත්‍යය එය නොවේද? 

0 comments: