Hot!

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රශ්නය ? (2)

                       

- ගාමිණී වියන්ගොඩ - 

අපේ ප්‍රධාන ධනපති පක්ෂ දෙක, එනම්, එක්සත් ජාතික පක්ෂය සහ පොදුජන පෙරමුණ (පොහොට්ටුව/ශ්‍රී ලංකා නිදහස් පක්ෂය) තුළ දෘෂ්ටිවාදීමය අඩංගුව වශයෙන් පවතින්නේ නව ලිබරල්වාදයේ සහ ජාතිකවාදයේ සම්මිශ්‍රණයකි. පොදුජන පෙරමුණ ජාතිකවාදය වැඩියෙන් තමන්ගේ පාවිච්චියට ගන්නා අතර, එක්සත් ජාතික පක්ෂය නව ලිබරල්වාදය වැඩියෙන් සිය ප්‍රයෝජනයට ගනී. එනම් මේ පක්ෂ දෙකෙන් එකක්වත්, නව ලිබරල්වාදය හෝ ජාතිකවාදය මුළුමණින් අතහැර නැති බවයි. අනිත් පැත්තෙන්, නව ලිබරල්වාදය නිර්දය විවේචනයට ලක්කරන සමාජවාදී විකල්පයක් ජනතා විමුක්ති පෙරමුණෙන් ඉදිරිපත් කෙරේ. එහෙත් ඒ පක්ෂය තවම රාජ්‍ය බලය හොබවා නැත. එබැවින් කිසි වියදමකින් තොරව හෙවත් චර්යාවෙන් ඔප්පු කොට පෙන්වීමේ බරකින් තොරව, පොදුවේ ජාතිකවාදයත්, විශේෂයෙන් නව ලිබරල්වාදයත්, පහසුවෙන් ප්‍රතික්ෂේප කළ හැකිය. ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ ප්‍රවාහය තුළ විකල්පය යනුවෙන් අද වරනැගෙන්නේ එයයි. ඒ විකල්පය තුළ, අලුත් වම ගොඩනැංවීමේ ආධ්‍යාශය ඇති බව ඔවුහූ කියති.  

ගෝඨාභයට පක්ෂව සහ විපක්ෂව රාජපක්ෂ කඳවුර ඇතුළේ පැවති බලවේග දෙකේ පසමිතුරු සබඳතාව, පාස්කු ත්‍රස්ත ප්‍රහාරය විසින් තීරණාත්මක වෙනසකට භාජනය කොට ඇත. එතෙක්, ගෝඨාභයගේ අපේක්ෂකත්වයක් පිළිබඳ යම් හෝ ප්‍රතිවිරෝධතාවක් පවුලේ සාමාජිකයන්ගෙන්ම එල්ල වී තිබිණි නම්, එය පාස්කු ප්‍රහාරයෙන් පසු තවදුරටත් පවත්වා ගැනීමට ඒ පවුල් සාමාජිකයන්ට පුළුවන් කමක් තිබුණේ නැත. එනම්, මේ සිද්ධියෙන් පසු, ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණය, පදනමක් ඇතිව හෝ නැතිව, දේශපාලනික සංවාදය තුළ ප්‍රධාන තැනකට ගෙනැවිත් ඇති බවයි. එහිදී, ගෝඨාභයගේ අත්‍යාවශ්‍යතාව එම කඳවුර තුළ ඊට පෙර නොවූ තරමට උත්සන්න කෙරුණි. තවත් විදිහකින් කිවහොත්, එතෙක් එම කඳවුර තුළ සිටි ඔහුට විරුද්ධ බලවේග පාස්කු ප්‍රහාරයෙන් පසු පරාජය කෙරුණු බව ය. 

මේ සම්බන්ධයෙන් උගත යුතු පාඩම වන්නේ, ජාතික ආරක්ෂාව පරදුවට වැටී ඇති බවට මතවාදයක් උවමනාවෙන් ගොඩනගන හෝ ඉබේ ගොඩනැගෙන ඕනෑම අවස්ථාවක, එක පැත්තකින් රාජ්‍යයත්, අනිත් පැත්තෙන් රාජ්‍ය පාලකයාත්, මර්දක අවියක් සහ මර්දකයෙකු වශයෙන් සමාජය විසින්ම ඉල්ලා සිටින තත්වයක් නිර්මාණය කළ හැකි බවයි. හෙවත්, එකී ජාතික ආරක්ෂාවේ අවශ්‍යතාව මගින්, රාජ්‍ය මර්දනය සඳහා වන සුජාතභාවයක් සමාජයෙන්ම සැපයෙන බවයි. මේ සම්බන්ධයෙන් අතීත පාඩම් කිහිපයක් අපට තිබේ. එකක් වන්නේ 1971 සහ 1987-89 දකුණේ තරුණ නැගිටීම් ය. ඒ දක්වා ඉතා ප්‍රාථමික මට්ටමේ තිබුණු ලංකාවේ ආයුධ සන්නද්ධ රාජ්‍යය ඒ නැගිටීම් අවසරයක් කරගනිමින් විශාල වශයෙන් නවීකරණය විය. වඩ වඩාත් බලධාරී විය. දෙවැනුව, දෙමළ තරුණ සන්නද්ධ ව්‍යාපාරය විසින්, ලාංකේය රාජ්‍යය තවත් තීව්‍ර කොට, පෙර නොවූ විරූ මහජාතිකත්වයකුත් ඊට එක්කාසු කෙළේය. දකුණේ සහ උතුරේ මේ නැගිටීම් දෙකේ අවසාන ප්‍රතිඵලය වී ඇත්තේ, රාජ්‍යය යන ආයතනය, වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම, අවශ්‍ය අවස්ථාවක පාවිච්චියට ගත හැකි කාර්යක්ෂම මර්දක යන්ත්‍රයක් වශයෙන් උස්මහත් කොට හදාවඩාගෙන ඇති බවයි. 

මෙය, ගෝඨාභයගේ අපේක්ෂකත්වය අරභයා රාජපක්ෂ පවුල් සාමාජිකයන් කාලයක් පවත්වාගෙන ගිය ‘විරෝධය’ කුරුවල් කිරීමට හේතු වූ පාස්කු ඉරිදා ප්‍රහාරයට සමාන ය. ‘වියත් මග’ සහ ‘එළිය’ වැනි ජාතිවාදී බුද්ධිමතුන් සහ විශ්‍රාමික ආන්තික හමුදා කොටස්වල පමණක් ආශිර්වාදයෙන් පැවතුණු ගෝඨාභයව තවදුරටත් ප්‍රතික්ෂේප කිරීමේ හැකියාව රාජපක්ෂ පවුලෙන් ඉන්පසු උදුරා ගැනුණි. පාඩම: නූතන රාජ්‍ය ක්‍රමය තුළ, ඕනෑම අතිධාවනකාරීත්වයක්, ක්ෂණිකව හෝ කාලයාගේ ඇවෑමෙන්, රාජ්‍යයේ මර්දනය මුවහත් කරන බව ය. ලිබරල් සහ ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයන් එවැනි අතිධාවනකාරී ව්‍යාපාර මගින්, ඉස්සරට වඩා කුරුවල් කරවන බව ය.

එසේ නොමැතිව, ඔහුගේ අපේක්ෂකත්වය සඳහා රාජපක්ෂ පවුල අවනත වීම අප කෙසේ නම් තේරුම්ගන්නද? මුලින්ම, පවතින 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ මහින්දට විධායක ජනාධිපති වීමේ ව්‍යවස්ථාමය පුළුවන්කමක් නැත. ඒ ප්‍රශ්නය නිරාකරණය කරගැනීමේ අවස්ථාවක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සාර්ථක කර ගැනීම හරහා ඔහුට අත්පත් කරගත හැකිව තිබුණි. ඇත්ත වශයෙන්ම, ඒ පිළිබඳ ඔහුගේ කැමැත්තත් විවිධ ආකාරයෙන් ප්‍රකාශයට පත්ව තිබුණි. එසේ තිබියදී, දැන් ගිය සතියේ නැවත වරක් ඒ 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ යෝජනාව ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් ඉදිරිපත් වන විට ඔහු ඊට විරුද්ධ වී තිබේ. ඒ සඳහා ඔහු දෙන හේතුව ළාමක ය. එනම්, ජනාධිපතිවරණයක් කට ළඟ තියාගෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට ඒ නායකයන් දෙන්නා තතනන්නේ ඔවුන්ගේ පෞද්ගලික අභිප්‍රායයන් සඳහා බවට ඔහු නගන චෝදනාවයි. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ සම්බන්ධයෙන් ඔහුගේ කතාව නිවැරදි ය. එහෙත් තර්කය වැරදි ය. මන්ද යත්, ඔවුන් දෙන්නා සම්බන්ධයෙන් පැවතිය හැකි යැයි මහින්ද කියන පෞද්ගලික අභිප්‍රායම මහින්ද සම්බන්ධයෙන්ද සත්‍යයක් විය යුතු බැවිනි. හේතුව, පවතින ක්‍රමය යටතේ ඔහුට ලබාගත නොහැකි වරමක් 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ලබා ගැනීමේ අවස්ථාව ඔහුටත් ලැබෙන බැවිනි. එහෙත් පාස්කු ත්‍රස්ත ප්‍රහාරය නිසා, අවසානයේදී ඔහු ගෝඨාභයගේ ජාතිකවාදී ගල් රෝලට දැන් හසුව සිටී. 

ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයට අමතරව, යහපාලන ආණ්ඩුව තමන් දුන් ප්‍රධාන පොරොන්දු දෙකම (විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ දූෂිතයන්/අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීම) කඩ කොට සිටීමට අමතරව, ආර්ථිකය කළමනාකරණය සම්බන්ධයෙන්ද කැපී පෙනෙන වෙනසක් ඇති කිරීමට සමත් නොවීම නිසා හටගෙන ඇති බලවත් ජනතා අප්‍රසාදයත් විසින්, ආණ්ඩුව නොවන්නා වූ වෙනත් විකල්පයක් දෙසට හැරීමේ තල්ලුව ජනතාවට සපයනු ලැබේ. එම රැල්ලෙන් ඉතා සොච්චමක් (නයි නටවන්නන් වශයෙන් මා හඳුන්වන) ආතක්පාතක් නැති පුහු පුද්ගල චරිත දෙසට බර විය හැකි අතර, අති විශාල පොදු ආකර්ශනය ඇති වනුයේ, පවතින ආණ්ඩුව නිශ්චිතව පරාජය කළ හැකි යැයි විශ්වාස කළ හැකි බලවේගය සහ පුද්ගලයා කෙරෙහි ය. ඒ ගෝඨාභය රාජපක්ෂයි. මුලින්, ඔබ ‘ජාතික ආරක්ෂාව’ පිළිබඳ අත්‍යාසන්න අවශ්‍යතාව ගොඩනංවයි. ඊළඟට, ගෝඨාභය නමැති ජාතික ආරක්ෂාව නිෂ්පාදනය කරන්නාව ඉදිරිපත් කරයි. 

ඔහුගේ අතීතයෙන්, ප්‍රජාතන්ත්‍රවාදියෙකුගේ නූල් පොටක්වත් සොයාගත නොහැකි බව රටම දනී. ඔහු ජනාධිපති වුවහොත් අගමැති වන්නේ මහින්ද රාජපක්ෂ නිසා, යම් තරමකට ඔහුව පාලනය කිරීමට මහින්ද අයියාට හැකි වනු ඇතැයි ඔහුගේ තවත් සහෝදරයෙකු වන බැසිල් රාජපක්ෂම කියා තිබීමෙන් පෙනී යන්නේ, ගෝඨාභයගේ තරම ඔහුගේම සහෝදරයා පවා ප්‍රතික්ෂේප නොකරන බවයි. ගෝඨාභය රාජපක්ෂව ජයග්‍රහණය කැරැවීමෙන් ජාතික ආරක්ෂාව, කාර්යක්ෂමතාව, දූෂණයෙන් තොර වීම ආදී අපේක්ෂා කිසිවක් සාධනය නොවේ. ඔහු අනිවාර්යයෙන්ම ෆැසිස්ට් පාලනයක් කරා ගමන් කරනු ඇති බවත්, බොහෝ විට මර්දක රාජ්‍ය යන්ත්‍රයක් හරහා, ලංකාවේ පෙර නොවූ විරූ ඒකාධිපතියෙකු සේ ස්ථාපිත විය හැකි බවත් පැහැදිලි ය.

ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදය අද්‍යතනයේ මුහුණදෙන අත්‍යාසන්න ප්‍රශ්නය වන්නේ ගෝඨාභයගේ ජයග්‍රහණය නතර කළ හැක්කේ කෙසේද යන්නයි. ඒ ප්‍රශ්නය සමග තව කාරණා කිහිපයක් ගැටගැසී තිබේ. එයින් ප්‍රධාන වන්නේ, තමාගේ ඡන්ද ගොඩ වැඩි කර ගැනීමෙන් නොව, (එක්සත් ජාතික පෙරමුණ ඇතුළු) ප්‍රතිපාර්ශ්වයේ ඡන්ද ගොඩ කඩාඉහිරවීමෙන් ගෝඨාභය ජයගත හැකිය යන කාරණයයි. 

ජනතා විමුක්ති පෙරමුණේ ජනාධිපති අපේක්ෂකත්වය මේ විග්‍රහයට අදාළ වන්නේ මෙහිදී ය. 2010 දී සහ 2015 දී ජනතා විමුක්ති පෙරමුණ පෙනී සිටියේ ‘තමන්ගේම නොවන’ පොදු අපේක්ෂකයෙකු වෙනුවෙනි. ඉන් පළමුවැන්නා, (සරත් ෆොන්සේකා) පරාජය විය. දෙවැන්නා, (මෛත්‍රීපාල සිරිසේන) ද්‍රෝහී විය. දැන් ජනතා විමුක්ති පෙරමුණේ එක් තර්කයක් මෙසේ විය හැකියි: එකම වරද, අවුරුදු නවයක් වැනි කෙටි කාලයක් තුළ, තුන් පාරක් කළ නොහැක. අනිත් අතට, තමන්ගේ පක්ෂයත්, විකල්ප වාම බලවේගයත් ගොඩනගා ගැනීම සඳහා මේ ජනාධිපතිවරණය පාවිච්චියට ගත යුතුය. 

මේ තර්කණයට ප්‍රතිපක්ෂව ගැටගැසෙන ඊළඟ ප්‍රශ්නය මෙසේ ය: පක්ෂය ප්‍රමුඛ විකල්ප වාම බලවේගය ගොඩනැගීම, ගෝඨාභය ජයග්‍රහණය කැරැවීමෙන් අත්කරගත හැකි වන්නේද? එසේ නොවෙයි නම්, ගෝඨාභය පරාජය කිරීම, පක්ෂය ප්‍රමුඛ කරගත් විකල්ප වාම බලවේගය ගොඩනැගීමේ ප්‍රධාන පූර්ව කොන්දේසියක් නොවන්නේද? මෙසේ ප්‍රශ්න කිරීම, එකම චක්‍රයක් වටේ නැවත නැවතත් කැරකීමක් බඳු වැඩක් බව ඇත්ත. ඒ නිසා, මේ චක්‍රයෙන් පිටට පැමිණ ඒ දෙස බැලිය යුතුව තිබේ.

විධායක ජනාධිපති ක්‍රමය යනු, ප්‍රධාන ධනපති පක්ෂ දෙක පමණක් බලයට පත්කැරැවීම ආයතනිකව අනිවාර්ය කෙරෙන යාන්ත්‍රණයකින් යුතු සැලැස්මකි. ඒ ක්‍රමය තුළ, මොන පක්ෂය සමග සන්ධානගත වුවත් නැතත්, ජනතා විමුක්ති පෙරමුණ වැනි ව්‍යාපාරයකට එම තරගය තුළ කරට කර සිටිය නොහේ. ජනාධිපතිවරණයක් යනු, විකල්ප පක්ෂයක් හෝ තුන්වැනි බලවේගයක් ගොඩනැගෙන පරිසරයක් නිර්මාණය කරවන අවස්ථාවක් නොවීම ඊට හේතුවයි. ඒ ක්‍රමය තුළ සිදුවන්නේ, තුන්වැනි බලවේග අඩුවැඩි වශයෙන්, සෘජුව හෝ වක්‍රව, ජනාධිපති යාන්ත්‍රණය තුළට ගිලගනු ලැබීමයි. එය, ජනතා විමුක්ති පෙරමුණ, ඉන් එක් පක්ෂයක් සමග සන්ධානගත වූවත් නැතත්, සිදුවන තත්වයකි. මේ නිසා, පක්ෂය ගොඩනැගීම සඳහා හෝ විකල්ප වාම බලවේගය ගොඩනැගීම සඳහා හෝ ජනාධිපතිවරණය අවස්ථාවක් කර ගැනීමට යත්න දැරීම, පතිවතක් පෙන්වීමට ප්‍රයෝජනවත් විය හැකි වෙතත්, කිසි දවසක මගුලක් සාර්ථක කර ගැනීමට නොහැකි වන තත්වයකි.  

ඇත්ත, අනිත් අතට, ජනාධිපතිවරණයේදී ප්‍රධාන පක්ෂ දෙකෙන් එකක මුක්කුවක් වීමත්, පක්ෂයක් වශයෙන් විනාශකාරී ය. මේ නිසා, විධායක ජනාධිපති ක්‍රමය නමැති උගුලෙන් ගැලවීම, අන් සියල්ලන්ට වඩා වැඩදායක වන්නේ ජනතා විමුක්ති පෙරමුණට බව පැහැදිලියි. එහෙත් අවාසනාවකට, 20 වැනි සංශෝධනය ඔවුන් ගෙනාවේ ගමේ මගුල් කපුවෙකු මෙනි. කපුවාගේ රාජකාරිය, කේන්දරයක් ගෙනැවිත් බාරදීම පමණි. 

දැන් අප ඉදිරියේ ඇඳෙන චිත්‍රය මෙයයි: ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීම, ජනාධිපති ක්‍රමය අහෝසි කෙරෙන බවට හෝ යහපාලනය සැබවින් ඇති කෙරෙන බවට හෝ තිරසර සහතිකයක් නොවේ. එහෙත් ඔහු ජයග්‍රහණය කැරැවීම යනු, ඒ සියල්ල නියතව ආපස්සට හරවන නොවරදින වට්ටෝරුව ය. එය අත්දුටුවයි. සත්තයි. 

අපි දැන් කුමක් කරමු ද?



සබැඳි පුවත් 



0 comments: