Hot!

රුපවාහිනී නාලිකා ප්‍රවෘත්ති

සියත සහ ස්වර්ණවාහිනියේ පුවත් විකාශයන් වල ඇති ගුණාත්මකබාවයට අපේ ප්‍රණාමය


කතු වැකිය 

මෙරට රුපවාහිනී නාලිකා  විශාල ප්‍රමාණයක් තිබේ. ඉන් ප්‍රධාන පෙළේ සිංහල නාලිකා හතක් පමණ තිබේ. ඒවා සියල්ලම විවිධාකාරයේ වැඩසටහන් විකාශණය කරනු ලබන අතර, මෙරට ජනතාවගෙන් සැලකිය යුතු කාලයක් කුමන හෝ නාලිකාවක් ඍජුව හෝ එම නාලිකාව විසින් පවත්වාගෙන යන යූ ටියුබ් වැනි සමාජජාල වෙබ් අඩවික් විසින් ආකර්ශනය කරගනු ලබන්නේය.  එසේම, මෙරට නාලිකා වලින් නිපදවන වැඩසටහන් බොහෝමයක් රටේ ජනතාවගේ ආකල්ප සහ හැඟීම් සඳහා කුමන හෝ ආකාරයකින් බලපෑම් සිදු කරනු ලබයි. මේ නිසා මෙම සියලුම නාලිකා වලට ඇති වගකීම සුළුපටු නොවේ.


රූපවාහිනියේ ඉතිහාසය ආකර්ශනීයය. ලොව ප්‍රථම විද්‍යුත් රූපවාහිනිය නිර්මාණය කරන ලද්දේ 21 හැවිරිදි නව නිපැයුම්කරුවෙකු වූ ෆිලෝ ටේලර් ෆාන්ස්වර්ත් විසිනි. ෆාන්ස්වර්ත් වයස අවුරුදු 14 වන තෙක් විදුලිය නොමැති නිවසක ජීවත් වූ බව සඳහන් වේ. උසස් පාසලේ සිට ඔහු චලනය වන රූප ග්‍රහණය කර ගැනීමටත්, එම රූප කේත බවට පරිවර්තනය කිරීමටත්, එම රූප ගුවන් විදුලි තරංග ඔස්සේ විවිධ උපාංගවලට ගෙනයාමටත් හැකි ක්‍රමයක් ගැන සිතන්නට පටන් ගත්තේය. ඔහුට අමතරව, රුසියාවේ බොරිස් රෝසිං විසින් ෆාන්ස්වර්ත්ගේ පළමු සාර්ථකත්වයට වසර 16 කට පෙර රූප සම්ප්‍රේෂණය කිරීමේදී සරල අත්හදා බැලීම් කිහිපයක් සිදු කර ඇත. එසේම, සර්පිලාකාර රටාවකින් සකස් කර ඇති සිදුරු සහිත භ්‍රමණය වන තැටියක් භාවිතයෙන් රූප පරිලෝකනය කරන යාන්ත්‍රික රූපවාහිනී පද්ධතියක් එංගලන්තයේ ජෝන් ලොජි බෙයාඩ් සහ එක්සත් ජනපදයේ චාල්ස් ෆ්‍රැන්සිස් ජෙන්කින්ස් විසින් 1920 ගණන්වලදී නිරූපණය කරන ලදී.  

කෙසේ වෙතත්, ඒ දක්වා සොයාගත් ඕනෑම යාන්ත්‍රික රූපවාහිනී පද්ධතියකට වඩා ෆාර්න්ස්වර්ත් සැතපුම් ගණනක් ඉදිරියෙන් සිටියේය. ෆාර්න්ස්වර්ත්ගේ පද්ධතිය ඉලෙක්ට්‍රෝන කදම්භයක් භාවිතා කරමින් චලනය වන රූප ග්‍රහණය කර ගත්තේය. රූපවාහිනිය මගින් සම්ප්‍රේෂණය කළ පළමු රූපය සරල රේඛාවක් විය. පසුව, ෆාර්න්ස්වර්ත් ප්‍රසිද්ධියේ තම රූපවාහිනිය භාවිතා කරමින් ඩොලර් ලකුණක් සම්ප්‍රේෂණය කළේ ආයෝජකයෙකු ඔහුගෙන්, “ෆාර්න්ස්වර්ත්, අපි මේ සඳහා ඩොලර් කිහිපයක් දකින්නේ කවදාද?” යනුවෙන් ඇසූ පසුය.

1926 සිට 1931 දක්වා කාලය තුළ යාන්ත්‍රික රූපවාහිනී නව නිපැයුම්කරුවන් ඔවුන්ගේ නිර්මාණ අඛණ්ඩව වෙනස් කර පරීක්ෂා කළහ. කෙසේ වෙතත්, නවීන විදුලි රූපවාහිනී වලට සාපේක්ෂව ඒවා සියල්ලම යල්පැන ගොස් ඇත: 1934 වන විට, සියලු රූපවාහිනී විද්‍යුත් පද්ධතියට පරිවර්තනය කර තිබුණි. ඉන් පසු සිදු වූ විවිධ වෙනස්කම් සහ සොයා ගැනීම් ඔස්සේ, රූපවාහිනිය සමාජයේ මූලික මෙවලමක් බවට පත්විය. 

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට රූපවාහිනී නාලිකාවක් ආරම්භ කරනු ලැබුවේ, 1979 දීය. අනිල් විජේවර්ධන සහ ෂාන් වික්‍රමසිංහ විසින් ආරම්භ කළ 1979 අප්‍රේල් 15 වන දින විකාශනය ආරම්භ කළ රටේ ප්‍රථම රූපවාහිනී නාලිකාව ලෙස ස්වාධීන රූපවාහිනී ජාලය ආරම්භ කරන ලදී.  ඉන් පසු 1982 දී ජාතික  රූපවාහිනිය ආරම්භ විය.  පෞද්ගලික රූපවාහිනී නාලිකා විකාශනය කිරීමට අවසර දෙන තෙක් 1992 දක්වා රජය රූපවාහිනී විකාශනයේ ඒකාධිකාරයක් පවත්වා ගෙන ගියේය. නමුත්, කැපිටල් මහාරාජා සහ සිංගප්පූරු විදුලි සංදේශ සමාගම අතර හවුල් ව්‍යාපාරයක් ලෙස මහාරාජා ටෙලිවිෂන් (එම්ටීවී) පළමු පුද්ගලික රූපවාහිනී නාලිකාව ආරම්භ විය. එතැන් සිට ශ්‍රී ලංකාවේ බොහෝ නව රූපවාහිනී මධ්‍යස්ථාන ආරම්භ විය. ශ්‍රී ලංකාවේ චන්ද්‍රිකා ජාල ගණනාවක් ද ඇත. 
රූපවාහිනීය සහ ඊට පණිවිඩ ලබා දෙන නාලිකා තාක්ෂණික වශයෙන් සීඝ්‍රයෙන් ඉදිරිය ගොස් ඇති අතර ග්‍රාහකයා වෙත පණිවිඩ ලබාදීම ඉතාම වේගවත් කරමින් මිනිය නොහැකි තරගකාරීත්වයක් මෙම නාලිකා අතර නිර්මාණය වී තිබේ. කෙසේ නමුත්, බොහෝ නාලිකා වලින් නිපදවන වැඩසටහන් වල අන්තර්ගතය ඉතාම දුර්වල මට්ටමට වැටී තිබේ.එසේම බොහෝමයක් නාලිකා වල සේවය කරණ පුද්ගලයින්ට ලැබෙන වැටුප් ප්‍රමාණය සහ ඔවුහුට තම ජීවිකාව ගැටගසා ගැනීමට ඇති නිදහස ඉතාම සීමා කොට තිබේ. හේතු ගණනාවක් හේතුවෙන්, මෙම ක්ෂේත්‍රය විශාල කඩා වැටීමකට ලක්වී තිබේ. 

මීට දශක තුනකට පමණ පෙර මෙරට තිබු උසස් මාධ්‍යය භාවිතය ඉතාම කනගාටුදායක අන්දමින් සමාජයෙන් ගිලි හී ගොස් ඇත. ඒ වෙනුවට ඉතාම දුර්වල සහ ව්‍යාකූල මාධ්‍යය භාවිතයක් වෙතට සමස්ථ රටම තල්ලු කොට තිබේ. විශේෂයෙන් බොහෝ මාධ්‍ය ආයතන, තම යැපීම සඳහා විවිධ ආකාරයේ කොන්ත්‍රාත්තු භාරගෙන සිටින පුද්ගලයින්ගේ ගොදුරු බවට පත් වී ඇති අතර ඔවුහු බොහෝමයක් තම පටු අභිමතාර්ථයන් මුදුන් පමුණුවා ගැනීම සඳහා ජනමාධ්‍යය මෙවලමක් ලෙස භාවිතා කරනු ලබයි. 

රූපවාහිනී නාලිකා, ප්‍රචණ්ඩත්වය සහ ලිංගිග හැඟීම් උත්සන්න කරන අන්තර්ගතයන් වලට වැඩි නැඹුරුවක් දක්වන අතර කඳුලක් පෙන්වීමෙන් තොරව වැඩසටහනක් නිමා නොකිරීමට බොහෝ රූපවාහිනී නාලිකා කටයුතු කරති. අපරාධයක් සිදු වූ තැනක අපරාධය සිදු වූ ආකාරය පමණක් නොව එවැනි සංවේදී අවස්ථාවක වැළපෙන පුද්ගලයින්ට මූලිකත්වය ලබා දෙමින් තම වාර්තාකරණයේ යෙදෙති. මෙය, ඕනෑම මනුෂයෙකුට හිමි මූලික අයිතියක් වන තම පෞද්ගලිකත්වය ආරක්ෂා කර ගැනීමට ඇති අයිතිය දරුණු ලෙස උල්ලංඝණය කිරීමකි. එසේම, විවිධ දේශපාලන න්‍යාය පත්‍ර මුදුන් පමුණුවා ගැනීම සඳහා, ඕනෑම සිද්ධියක අන්තර්ගත කරුණු, තමන්ට අවශ්‍යය ආකාරයෙන් අරුත් ගැන්වීම නිතරම පාහේ අත්විඳිය හැකි කාරණයකි. 

මෑතකදී එක් චීන ජාතික මාධ්‍යයවේදියකු මෙරට මාධ්‍යය ගැන අපුරූ විග්‍රහයක් කරනු ලැබීය. මෙරට මාධ්‍යය ආයතන  පුවත් තැනීම සහ එය ග්‍රාහකයා වෙත ලබාදෙන ආකාරය පුදුම සහගත බවත් ඒ බොහෝමයක් පුවත් ඔවුහු එකිනෙකාගේ හුදු නිර්මාණයන් බවත් ඔහු සඳහන් කළේය. නමුත් චීනයේ එවැනි සෙල්ලම් කළ  නොහැකි බවත්, කරුණු ප්‍රකාරව ඕනෑම පුවතක් පල කිරීමට මාධ්‍යයට සහ සමාජ මාධ්‍යය ජාලා වලට ඉඩ ඇති බවත් ඔහු කියන්නේය. මේ රටේ පුවත් යනු ඇතැම් මාධ්‍යය වේදීන්ගේ සහ ඔවුහුට තොරතුරු සපයන මූලාශ්‍ර වල සිතුවිලි සහ මවාපෑම් මිස සත්‍යය තොරතුරු නොවන බව බොහෝ දෙනෙකුගේ හැඟීමය. මේ හේතුව නිසා මාධ්‍යයට සහ මාධ්‍යයවේදීන්ට තිබු පිළිගැනීම සහ ගරුත්වය ඉතාම පහත් මට්ටමට වැටී තිබේ.

අපට මෙම නාලිකා වලින් ඉල්ලීමට විශාල දෙයක් නැත. නමුත් මේවා ඉතාම වැදගත් අන්දමින් වෙනස්විය යුතුය. පුවතක් ලබා ගැනීම සඳහා, මාධ්‍යවේදීන් දේශපාලනඥයින්ගේ මෝටර් රථය පැමිණෙන තෙක් බලා සිටිති. එහි වීදුරුව පහත්කොට  යමක් මාධ්‍යයට කියන දේශපාලනඥයින්ගේ කතාව රටේ ප්‍රධාන පුවත බවට පත් වේ. මෙම සිද්ධිය දැකීමෙන්ම, වෘත්තිමය සහ පන්තිමය වශයෙන් සමාජයේ පැළපදියම් වී ඇති වහල්භාවයේ අප්‍රසන්න බව ඔප්පු වේ. මෙවැනි පුරුදු වෙනස් කළ හැක්කේ මාධ්‍යය ආයතන වලට සහ මාධ්‍යයවේදීන්ටමය. ඔවුහු විවිධ බේද පසෙකලා තම රැකියාවේ ගරුත්වය වෙනුවෙන් පෙළ ගැසිය යුතුය. එසේ පෙළ ගැසී ඔවුහු ඔවුන්ගේම වගවීම වලට නතු විය යුතුය. එසේ සිදු නොවී, විවිධාකාරයේ පන්දම්කරුවන් බවට පත්වීමෙන්, ඉතුරුවන්නේ පසුතැවීම පමණි. 

මෙම නාලිකා වල ඇති අගුණ එක රැයකින් වෙනස් කළ නොහැකිය. නමුත් සියලුම දෙනාට අවශ්‍යය වෙනස් වීම කොතැනකින් හෝ ආරම්භ විය යුතුය. එය ආරම්භ කල හැකි හොඳම තැන දිනපතා සිදුකරන පුවත් විකාශය යැයි අපට වැටහේ. තම පුවත් විකාශයන් වල ගුණාත්මක බාවය රඳවා ගැනීමට සියත සහ ස්වර්ණවාහිනී නාලිකා සමත් වී තිබීම පැසසිය යුතු කාරණයකි. ඔවුහු තම පුවත් විකාශයන් මනා ලෙස ලෙස හැඩගස්වා ඇති අතර මෑතක සිට ප්‍රචණ්ඩකාරී හැඟීම් ඇවිස්සීමෙන් වැළකීම, තවකෙකුගේ පෞද්ගලිකත්වයට හානී කිරීමෙන් වැළකීම, ආදී යහගුණ ප්‍රගුණ කරමින් සිටින ආකාරයක් දක්නට ලැබේ.   එවැනි මට්ටමකට, අනෙකුත් නාලිකා සියල්ලටම පැමිණිය හැකි නම්, රටේ මාධ්‍යය ක්ෂේත්‍රයේ වෙනස් විය යුතු මූලික  දෑ කෙරෙහි සාමුහික ප්‍රයන්තනයක් දැරිය හැකිය. එවැනි සාමූහික වැඩපිළිවෙලක් සමාජ ප්‍රගමණයට හේතුවේ. එසේම මාධ්‍යවේදියාගේ රැකියාවේ ගරුත්වයට එය ඍජුවම බලපාන්නේය.  එවැනි වැඩපිළිවෙලකින් හැර මේ මඩවලෙන් ගොඩ ඒමක් අපට නැත.  

0 comments: