Hot!

ජනාධිපතිවරණයේදී නොටා කොටුවට මාරු වුණොත් ?





 - වික්ටර් අයිවන් -


ජනපතිවරණය අත ළඟ

ජනාධිපතිවරණය කට ළඟටම පැමිණ ඇතත්, ඊළඟ ජනාධිපතිට තිබෙන බලය ගැන මහජනයාට ඇත්තේ ලොකු ව්‍යාකූල තත්ත්වයකි. ඉතාමත් අවලස්සන හා සටකපට ආකාරයකින් සිදුවී තිබෙන ව්‍යවස්ථා සංශෝධනයක් වුවත්, 19 වැනි සංශෝධනය නිසා ආණ්ඩුක‍්‍රමයේ ලොකු වෙනසක් ඇතිවී තිබෙන්නේ යැයි කිව හැකිය. එම සංශෝධනය සම්මත වී අවුරුදු හතරකට වැඩි කාලයක් ගතවී ඇතත්, ආණ්ඩුක‍්‍රමයේ ඇතිවී තිබෙන වෙනස්කම් පිළිබඳව මහජනයාට තබා දේශපාලකයන්ටවත් හරි අවබෝධයක් නැත. මේ අවාසනාවන්ත තත්ත්වයට වැඩියෙන්ම වගකිවයුත්තන් ලෙස සැලකිය හැක්කේ දේශපාලන විද්‍යාවට සිටින ශාස්ත‍්‍රාලයීය උගතුන්ය. එම සංශෝධනයෙන් පසු ආණ්ඩුක‍්‍රමයේ ඇතිවී තිබෙන වෙනස්කම් ඔවුන් විසින් සමාජයට පහදා දිය යුතුව තිබුණි.

එහෙත් ඔවුහු නිශ්ශබ්දව බලා සිටියා මිස ඒ ගැන සමාජය දැනුවත් කිරීමට කිසිවක් නොකළෝය. ඔවුන් එසේ කළේ එම ව්‍යවස්ථා සංශෝධනය ගැන හරි අවබෝධයක් ඔවුන්ට නොතිබුණු නිසාද නැතිනම් වගකීමෙන් තොර බව නිසාද යන්න පැහැදිලි නැත. මේ තත්ත්වය දේශපාලන විෂයෙහි පමණක් නොව, අන් හැම විෂයකමත් ලංකාවේ දක්නට තිබෙන අවාසනාවන්ත තත්ත්වයක් ලෙස සැලකිය හැකිය. ප‍්‍රචණ්ඩ ගැටුම් පැවති කාලයේදී සමාජයේ මිථ්‍යා විශ්වාසයන්ට තිබෙන පිළිගැනීමේ වේගවත් වර්ධනයක් ඇතිවූ අතර ජනමාධ්‍ය, මිථ්‍යා විශ්වාසයන් වෙළෙඳාමක් බවට පත්කර ගැනීම නිසා අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුත් ඒ තත්ත්වයෙහි නොකඩවා වර්ධනයක් ඇතිවිය. අද විභාගවලට පෙනී සිටින ළමුන් ජීවම් කළ පෑන්වලින් ලිවීම මෝස්තරයක් බවට පත්වී තිබේ. මෙම ප‍්‍රවණතාව සමාජයට ඇති කරමින් තිබෙන විනාශය අතිවිශාල වුවත් විද්‍යා විෂයයන්ට සිටින ශාස්ත‍්‍රාලයීය උගතුන් කිහිපදෙනකු හැර බොහෝ දෙනකු එම තත්ත්වයෙහි වෙනසක් ඇති කිරීමේ වගකීමක් තමන්ට ඇතැයි කියා කල්පනා කරන බවක් පෙනෙන්නට නැත.

මේ රට කාලකණ්ණි තත්ත්වයකට පත්ව ඇත්තේ දේශපාලකයන් නිසා පමණක් නොවේ. ලංකාවේ සමාජ චින්තනය දියුණු කිරීමෙහිලා ලංකාවේ ශාස්ත‍්‍රාලයීය උගතුන් ඵලදායී කාර්යභාරයක් ඉටු නොකිරීමද එම පසුගාමී තත්ත්වය කෙරෙහි බලපා තිබෙන වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. ලංකාවේ ශාස්ත‍්‍රාලයීය උගතුන් ඒ ගැන බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යා යුතුය.

ඓතිහාසික උරුමය

ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ දර්ශනය පිළිබඳව ලංකාවේ සමාජයට තිබෙන ඌන දැක්ම කෙරෙහි ඓතිහාසික හේතුද බලපා තිබෙනවා විය හැකිය. ජනාධිපතිවරණ සංවාදය ගැන සොයා බැලීමක යෙදෙන මේ අවස්ථාවේදී කෙටියෙන් වුවද ඒ ගැන ද සලකා බැලීම වැදගත්ය.

බි‍්‍රතාන්‍යයන් ලංකාව පූර්ණ යටත් විජිතයක් බවට පත්කර ගන්නා අවස්ථාවට පෙර ලංකා ඉතිහාසයේ දීර්ඝ කාලය තුළ ලියැවී තිබෙන පොත්පත් සලකා බැලූවහොත් ලංකාව බුදුන් ගැන හැර බුදුන් වහන්සේ ජීවත් වූ ශතවර්ෂයේ හෝ ඊට පසු ජීවත් වූ මහා ප‍්‍රාඥයින් ලෙස සැලකිය හැකි කිසිවෙකුත් ගැන දැන නොසිටි බව තේරුම් ගත හැකිය. ඒ කාලයේ ලියැවී තිබෙන සියලූ පොත්පත් ආගමිකය. විද්‍යාව ගැන, ලෝක ස්වභාවය ගැන හෝ මනුෂ්‍ය ස්වභාවය ගැන එකම පොතක්වත් ලියැවී නැත.

නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භය, එහි ව්‍යාප්තිය ගැන පැරණි ලංකා සමාජය දැන සිටියේ නැත. නූතන ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ ආරම්භක මහා ඓතිහාසික සංසිද්ධියක් ලෙස සැලකිය හැකි 1213දී බි‍්‍රතාන්‍යයේ ඇති කරගත් මැග්නකාටා, ප‍්‍රඥප්තිය හෙවත් අයිතිවාසිකම් ප‍්‍රඥප්තිය ගැන ලංකාව දැන සිටියේ නැත. කාලිංග මාඝගේ ආක‍්‍රමණය සිදුවන්නේ ඒ කාලයේදීය. වියළි කලාපයේ රජරට අතහැර සිංහල ජනයා තෙත් කලාපයට සංක‍්‍රමණය වූයේද, එහි සිටි දෙමළ ජනයා උතුරට සංක‍්‍රමණය වූයේද ඒ කාලයේදීය. 18 වන සියවසේදී යුරෝපයේ වැඩවසම් ක‍්‍රමයට එරෙහිව ඇතිවූ ජනතා නැගිටීම් ගැනද ලංකාව දැන නොසිටියේය. 1765-1783දී ඇතිවූ ඇමරිකන් විප්ලවය ගැන හෝ 1784-1797 දී සිදුවූ ප‍්‍රංශ විප්ලවය ගැනද ලංකාව දැන නොසිටියේය. ලංකාව ඒවා නාමමාත‍්‍රික වශයෙන් හෝ දැනගත්තේ ඉන් අවුරුදු 100කටත් පසුවය.

ලංකාවේ වැඩවසම් ක‍්‍රමයේ බිඳ වැටීම හෝ රාජාණ්ඩුක‍්‍රමයේ බිඳ වැටීම මහජන නැගී සිටීම් නිසා සිදුවූවක් නොව බි‍්‍රතාන්‍ය යටත්විජිතවාදයේ ප‍්‍රතිඵලයන් විය. 1927 ඩොනමෝර් කොමිසම ලංකාවට එනවිට ලංකාවේ ජාතික සංගමය ඇතුළු දේශපාලන ව්‍යාපාර ගණනාවක් බිහිවී තිබුණද ඒ කිසිවක් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ව්‍යාපාර නොවන බව ඩොනමෝර් කොමිසමේ නිරීක්ෂණය විය. ලංකාවේ නිදහස් ව්‍යාපාරය ඉන්දියාවේ නිදහස් ව්‍යාපාරය මෙන් ලිබරල් වටිනාකම් සමාජයට දායාද කළ ව්‍යාපාරයක් නොවීය. එක්සත් ජාතීන්ගේ සංවිධානයක් ඇතිවී නොතිබුණද 1933 වනවිටත් ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට දියුණු මානව හිමිකම් පිළිබඳ ප‍්‍රඥප්තියක් තිබුණද ලංකාවේ නිදහස් ව්‍යාපාරයේ සිංහල දෙමළ මුස්ලිම් නායකයන්ට මානව හිමිකම් සංකල්පය ගැන හරි අවබෝධයක්වත් නොතිබුණි. සිංහල දෙමළ මතභේද මුලදීම බේරා ගැනීමට නොහැකි වූයේද ඒ නිසාය.

මාක්ස්වාදී උරුමය

ප‍්‍රජාතන්ත‍්‍රවාදී ශික්ෂණයක් නොතිබුණු වැඩවසම් මනසකින් යුතු ජනතාවක් අතට මාක්ස්වාදය පත් කළ විට ඒ මගින් ඇතිවිය හැකි විකෘතිය ඉතා විශාලය. ඉන්දියාවේ මාක්ස්වාදීන් ගාන්ධිගේ ව්‍යාපාරය සමග එකතු වී එහි නූතන ජාතිය ගොඩනගා ගැනීමට බලවත් උත්සාහයක නිරත වන විට ලංකාවේ මාක්ස්වාදීන් වැදගත් කොට සැලකුවේ පන්තිය ගොඩනැගීම ගැනය. ලංකාවේ ගොඩනැගෙමින් තිබෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදී ආයතන ක‍්‍රම ඔවුන් දැක්කේද ධනේශ්වර විකාර ලෙසය. ඔවුන් සිහින දැක්කේ නිර්ධන පන්තියේ ආඥාදායකත්වයක් ගොඩ නැගීම ගැනය.

සම්භාව්‍ය ලිබරල් චින්තකයන්ගේ එකම පොතක්වත් සිංහල භාෂාවට පරිවර්තනය වී නොතිබුණි. මාක්ස්, එංගල්ස්, ලෙනින්, මා ඕ සේතුං වැනි මාක්ස්වාදී න්‍යායවාදීන්ගේ පොත් විශාල ප‍්‍රමාණයක් සිංහලට පරිවර්තනය වී ඒවා නොමිලේ හෝ ඉතා අඩු මිලකට තොග වශයෙන් සමාජගත කෙරෙන වැඩපිළිවෙළක්ද ක‍්‍රියාත්මක විය. අවසානයේ ලංකාවේ ග‍්‍රාමීය තරුණ පරපුර රුසියන් විපල්වය හා චීන විප්ලවය ගැන කටපාටමින් කියන්නට දැන සිටියේය. එහෙත් ඔවුහු ලෝකයේ ඇතිවූ විප්ලව වශයෙන් දැන සිටියේ සමාජවාදී විප්ලව ගැන පමණය. එංගලන්ත, ඇමරිකන් හෝ ප‍්‍රංශ විප්ලව ගැන දැන නොසිටියහ. ඉන්දියාවේ ගාන්ධිගේ නිදහස් ව්‍යාපාරය ගැන පවා ඔවුන්ට තිබුණේ අවඥාවකි. විජේවීර සේ ම ප‍්‍රභාකරන් ද ඉන්දියාවේදී වැදගත් කොට සලකන ලද්දේ ගාන්ධි නොව සුභාෂ් චන්ද්‍ර බෝස්ය. විජේවීර පෙනී සිටියේ සමාජවාදී රාජ්‍යයක් වෙනුවෙනි. ප‍්‍රභාකරන් මුල් කාලයේදී පෙනී සිටියේද සමාජවාදී ඊලාම් රාජ්‍යයක් වෙනුවෙනි.

ලංකාවේ ඇතිවූ සිංහල දෙමළ කැරලි කෙරෙහි වර්ගය, කුලය හා ආගම වැනි සාධක බලපෑවේය. නූතන ජාතිය ගොඩනගා ගැනීමට ලංකාව සමත් වී නම් එම කැරලි ඇති නොවන්නට ඉඩ තිබුණි. නූතන ජාතිය ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව දකින්නට ලංකාව අසමත් වූයේ ද ඉන්දියාවට මෙන් දියුණු දේශපාලන පරිකල්පනයක් ලංකාවට නොතිබුණු නිසාය. ඇතිවූ ප‍්‍රචණ්ඩ ගැටුම් හා ඒ ආශ‍්‍රයෙන් අප රටේ දීර්ඝ කාලයක් තිස්සේ පැවති අශීලාචාර වටපිටාව ලංකාවේ දේශපාලන පරිකල්පනය තවදුරටත් අවුල් කොට දුබල කිරීමට හේතුවිය. විශේෂ තරමේ බුද්ධියක් නොව, සාමාන්‍ය තරමේ හෝ බුද්ධියක් පාලකයන්ට තිබුණේ නම් දීර්ඝ අශීලාචාර කාලය තුළ රාජ්‍යයේ හා සමාජ ක‍්‍රමයේ ඇතිව තිබුණු මහා පරිහානිය සැලකිල්ලට ගනිමින් රාජ්‍ය හා සමාජ ක‍්‍රමය ප‍්‍රතිනිර්මාණය කරගැනීමට හේතුවන ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට රට යොමු කළ යුතුව තිබුණි. එහෙත් ඒ සඳහා අවශ්‍ය කරන දියුණු දේශපාලන පරිකල්පනයක් රාජපක්ෂ ආණ්ඩුවට නොතිබුණා සේ ම ඉන්පසු බලයට පැමිණි යහපාලන ආණ්ඩුවටද නොතිබුණි. ඒ නිසා ඇතිවූ ප‍්‍රතිඵලය වූයේ ප‍්‍රචණ්ඩ අරගල පැවති කාලයේදීවත් නොතිබුණු තරමේ විශාල අර්බුදයකට රට තල්ලූවීමය. දැන් රට තිබෙන්නේ පූර්ණ බිඳ වැටීමකට ආසන්න තත්ත්වයකය.

අභ්‍යන්තර යුද්ධය අවසන් කොට දැන් පවත්වන්නට යන්නේ තුන්වැනි ජනාධිපතිවරණයයි. ප‍්‍රතිසංස්කරණවලින් තොරව ගෙවී ගොස් තිබෙන කාලය වසර දහයක් තරම් දීර්ඝය. දැන් ලංකාව තිබෙන්නේ කඩා බිඳ වැටීමකට ආසන්න තත්ත්වයකය. රාජ්‍ය හා එහි ආයතන ක‍්‍රමය තිබෙන්නේ අකාර්යක්ෂම හා දූෂණයෙන් කුණුවූ තත්ත්වයකය. සමාජ ක‍්‍රමය තිබෙන්නේද අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. රට ආර්ථික වශයෙන් තිබෙන්නේද ඕනෑම මොහොතක බංකොළොත් තත්ත්වයකට පත්විය හැකි තත්ත්වයකය.

එහෙත් ජනාධිපතිවරණයේ කෙරෙන කතාබහ තුළ ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයේ යථාර්ථය ගැන හා එම අර්බුදයෙන් රට ගොඩගත යුතුව තිබෙන ආකාරය ගැන කිසිම හරවත් කතාබහක් ඇත්තේම නැති තරම්ය. හැමෝම කතා කරන්නේ ආගම ගැනය. දසරාජ ධර්මය ගැනය. පන්සල්, පල්ලි, කෝවිල්වලට ලබා දෙන්නට බලාපොරොත්තු වන අනුග‍්‍රහයක් ගැනය.

විවිධ විකල්ප ව්‍යාපාර වෙනුවෙන් කතා කරන්නන්ද දූෂණය ගැන කතා කරන මුත් රාජ්‍යය ප‍්‍රතිසංවිධානය කරන්නේ කෙසේද යන ප‍්‍රශ්නය ගැන හෝ සමාජයේ පවත්නා වර්ග, කුල, ආගම් ප‍්‍රශ්නය විසඳන්න යන්නේ කෙසේද කියා කියන්නේ නැත.

ව්‍යාජ බලයක් ආරෝපණය කිරීම

ඉතාමත් හාස්‍යජනක දේ වනුයේ ඊළඟ ජනාධිපතිවරයාට හිමි බලයේ ස්වභාවය ගැන ඒ කිසිවෙක් ඇත්ත කතා නොකිරීමය. ඇත්ත කතාව ඊළඟ ජනාධිපතිවරයාට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනට තරම් නොව මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාට හිමි බලය තරම් බලයක්වත් හිමි නොවීමය. එහෙත් ජනාධිපතිවරණයට තරග කරන්නන්ට ආධාරකරුවන් උද්යෝගිමත් තත්ත්වයක තබා ගැනීම සඳහා තමන් තරග කරන්නේ ලොකු බලයක් ඇති ධුරයකට බව පෙන්නුම් කිරීමට ඒ සියලූදෙනාට සිදුවී තිබේ.

ඔවුන් ඒ සඳහා ව්‍යවස්ථාවෙන් ගෙනහැර දක්වන ප‍්‍රධාන උද්ධෘතය වී ඇත්තේ 30 (1) ව්‍යවස්ථාවයි.

එහි මෙසේ සඳහන් වේ.

”ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානියාද, විධායකයේ ප‍්‍රධානියාද, ආණ්ඩුවේ ප‍්‍රධානියාද, සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකවරයාද වන්නේය.”

ව්‍යවස්ථා විෂය ගැන කිසිම අවබෝධයක් නැති පුද්ගලයකුට ඉහත සඳහන් උද්ධෘතය පෙන්නූ විට ඇත්ත තමයි ජනාධිපතිවරයා කොතරම් විශාල බලයක් ඇති කෙනෙක්ද යන හැඟීම ඇතිවිය හැකිය.

එහෙත් 1972 සිට 1977 දක්වා නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු ලෙස කටයුතු කළ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා සම්බන්ධයෙන් පළමුවැනි ජනරජ ව්‍යවස්ථාවේ (1972 ව්‍යවස්ථාවේ) ඔහුට හිමි බලය ගැන සඳහන් වී තිබෙන්නේද ඊට සමාන ආකාරයටය.

19 හා 20 වැනි වගන්තියේ එන සඳහන් දෙක මීට පෙර උපුටා දක්වන උද්ධෘතයට සමානය.

”19 ශ‍්‍රී ලංකා ජනරජයේ ජනාධිපතිවරයෙක් වන්නේය. ජනාධිපතිවරයා රජයේ ප‍්‍රධානියා වන්නේය.

20. ජනාධිපතිවරයා විධායකයේ ප‍්‍රධානයාද සන්නද්ධ සේවාවන්හි සේනාධිනායකයාද වන්නේය.”

දෙවැනි උපුටා ගැනීම අනුව දෙවැනි ජනරජ ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය දැරූ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයාටද එම ව්‍යවස්ථාවෙන් ලොකු ගාම්භීර පෙනුමක් ලබාදී තිබුණද ඔහු නාමමාත‍්‍රික ජනාධිපතිවරයකු පමණක් විය. ඊළඟ ජනාධිපතිවරයාගේ තත්ත්වයද බොහෝ දුරට ඊට සමානය. වෙනසකට ඇත්තේ විලියම් ගොපල්ලව ජනාධිපතිවරයා අගමැති විසින් නාමකරණයෙන් පත් කළ අයකු වීමත් ඊළඟ ජනාධිපතිවරයා මහජන ඡුන්දයකින් පත්වන කෙනකු වීමත් පමණය. මහජන ඡන්දයෙන් පත්වූ පලියට ව්‍යවස්ථාවෙන් නියම කර තිබෙන බලයක් මිස නියම නොකළ බලයක් ඊළඟ ජනාධිපතිවරයාට හිමිවන්නේ නැත.

ඊළඟ ජනාධිපතිවරයා තේරී පත්වීමත් සමග සිදුවන වැදගත්ම වෙනස්කම වනුයේ ඊළඟ ජනාධිපතිවරයා දිවුරුම දුන් මොහොතේ සිටම දැනට පවතින ජනාධිපති ආණ්ඩු ක‍්‍රමය පාර්ලිමේන්තු ආණ්ඩුක‍්‍රමයක් බවට මාරුවීමය. එතැන් සිට ක‍්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තුවේ ආණ්ඩු බලය හිමිකරගෙන සිටින පක්ෂයේ ප‍්‍රතිපත්ති හා වැඩපිළිවෙළවල්ය. ඊළඟට පැන නගින ප‍්‍රශ්නය වනුයේ ජනාධිපති සතුව තිබුණ බලය දෙන්නේ ව්‍යුහමය වශයෙන් ප‍්‍රතිසංස්කරණය නොකළ දූෂිත හා අකාර්යක්ෂම පාර්ලිමේන්තුවකට වීමය. ඒ නිසාද සිදුවන බලමාරුවෙන් ආණ්ඩුකරණයේ යහපත් වෙනසක් ඇතිවන්නේ නැත.

ප‍්‍රතිසංස්කරණවලට තල්ලූ කිරීම

දිගින් දිගටම ප‍්‍රතිසංස්කරණ මගහරින ප‍්‍රතිපත්තියක් රටට ඇති කළ හැකි විනාශය අතිවිශාලය. සමහරවිට ලංකාව දීර්ඝ කාලයකට ගොඩගත නොහැකි පූර්ණ කාලකණ්ණි තත්ත්වයකට පවා පත්විය හැකිය. ජනාධිපතිවරණයෙන් කවුරුත් බලයට ආවද ඒ තත්ත්වයෙන් කිසිදු වෙනසක් ඇතිවන්නේ නැත. ව්‍යුහමය ප‍්‍රතිසංස්කරණවලට රට යොමු කිරීමේ අවශ්‍යතාව ගැන රටේ දැනුවත් මහජනයා බැරෑරුම් ලෙස සලකා බලන තැනකට යොමුවිය යුතුය. මෙම ජනාධිපතිවරණය ඒ අරමුණට රට තල්ලූ කරන ජනාධිපතිවරණයක් බවට පත්කර ගැනීමේ හැකියාවක් නැද්ද ?

එම ඡන්ද පත‍්‍රිකාවට නොටා කොටුව ඇතුළත් කරගැනීම සඳහා දැනටමත් අභියාචනාධිකරණය ඉදිරියේ නඩුවක් පවරා ඇත්තෙමු. NOTA යන්නෙහි තේරුම None of the above හෙවත් ඉහත කිසිවකු නොවේ යන්නය. ඡන්ද පත‍්‍රිකාවේ සඳහන් අපේක්ෂකයන් කිසිවකු සුදුසු නොවන බව සිතන අයට ඡන්දය පාවිච්චි කිරීම සඳහා ලබාදී තිබෙන කොටුවකි. එම කොටුවට ලැබෙන ඡන්ද වලංගු ඡන්ද ලෙස සැලකේ.

නොටා මහත්තයා

මේ ක‍්‍රමය ඉන්දියාවේ ක‍්‍රියාත්මක වීම ආරම්භ වූයේ 2013දී අයිතිවාසිකම් පෙත්සමක් සලකා බලා ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිසමට දෙන ලද නියෝගයක් අනුවය. මැතිවරණවලදී ඡන්දය පාවිච්චි කිරීම ජනතාවට තමන් සතු පරමාධිපත්‍යය බලය ප‍්‍රකාශ කිරීමට ලබාදී තිබෙන එක ක‍්‍රමයකි. (ලංකාවේ නම් ඒ සඳහා තිබෙන එකම ක‍්‍රමය ලෙස සැලකිය හැකිය.) එසේ ඡන්දය පාවිච්චි කිරීමේදී තරග කරන අපේක්ෂකයන් සියලූදෙනා සුදුසු නැතැයි කල්පනා කරන ඡන්දදායකයන්ට අවස්ථාව ලබාදීම සඳහා යොදාගන තිබෙන ක‍්‍රමයක් ලෙස සැලකිය හැකිය. මෙම කොටුව ක‍්‍රමයට විරෝධය පෑම සඳහාද යොදා ගැනේ.

නොටා කොටුව ඉන්දියාවට අතිරේකව රුසියාව, ග‍්‍රීසිය, යුක්රේනය, ස්පාඤ්ඤය, උතුරු කොරියාව, කොලොම්බියාව, බංගලිදේශය යන රටවලද ක‍්‍රියාත්මක වේ. රුසියාවේ ජනතාව ව්‍යවස්ථාදායකයට මන්ත‍්‍රීවරුන් තෝරා පත්කර ගැනීම සඳහා 1991 පැවති මැතිවරණයේදී ඡන්ද කොට්ඨාස 50කට ආසන්න සංඛ්‍යාවකට තරග කළ කොමියුනිස්ට් පක්ෂ බලවතුන් පරාජය කිරීම සඳහා ඉතාමත් නිර්මාණාත්මක ආකාරයෙන් නොටා කොටුව යොදා ගත්තේය. කොමියුනිස්ට් පක්ෂයේ බලවතුන් තරග කළ ආසනවලට වෙනත් අපේක්ෂකයන් තරග කළේ නැත. එය ඉතාමත් සංවිධානාත්මක ආකාරයෙන් සිදුවූ වැඩපිළිවෙළක් බව පසුව හෙළිදරව් විය. නොටා කොටුව නිසා වෙනස් අපේක්ෂකයන් නැතිව තරග කළ කොමියුනිස්ට් බලවතුන් නිතරගයෙන් තේරී පත්වූයේද නැත. එම මැතිවරණයේදී කොමියුනිස්ට් බලවතුන් තරග කළ ආසනවලදී නොටා කොටුව ජයග‍්‍රහණය කරවීමට ඡන්දදායකයෝ සමත් වූහ. ඒ නිසා නොටා කොටුවට පරාජය වූ සියලූ බලවතුන් ඉවත් කොට එම මැතිවරණ කොට්ඨාස සඳහා නැවත මැතිවරණ පවත්වන්නට සිදුවිය. එම ප‍්‍රතිඵලය ගැන ජනාධිපති බොරිස් යෙල්සින් ප‍්‍රකාශ කළේ දූෂිත මැතිවරණ ක‍්‍රමයක් තිබියදීත් නොටා කොටුව යොදා ගනිමින් දේශපාලන බලවතුන් රැසක් පරාජය කිරීම මගින් රුසියානු ඡන්දදායකයන්ගේ බුද්ධිමත්භාවය හොඳින් ප‍්‍රදර්ශනය කරන ලද බවය. ඉන්දුනීසියාවේ මස්කාර් නගරයේ නගරාධිපති තෝරා ගැනීම සඳහා පැවති මැතිවරණයෙන්ද නොටා කොටුව අංක එකට ඒම නිසා පරණ තරගකරුවන් ඉවත් කොට අලූත් තරගකරුවන් සඳහා මැතිවරණයක් පැවැත්වීමට සිදුවිය.

නොටා කොටුවට ලැබෙන ඡන්ද සංඛ්‍යාව අඩු මට්ටමක තිබෙන තාක් එයට කළහැක්කේ සරල විරෝධය පළකිරීමක් පමණය. එහෙත් නොටා කොටුව පළමු තැන හෝ දෙවැනි තැන ගත් අවස්ථාවකදී එය පෙරළිකාරී බලපෑමක් ඇති කරයි.

අප ඉදිරිපත් කර තිබෙන නඩුව නිසා නොටා කොටුව ජනාධිපතිවරණ ඡන්ද පත‍්‍රිකාවට එකතු කරගැනීමට සමත් වෙතොත් නොටා කොටුවට පන්චස්කන්ධයක් නැතත්, එය ජනාධිපතිවරණයට තරග කරන අපේක්ෂකයකු බවට පත්වන්නේය. පන්චස්කන්ධයක් නැතත්, නොටා ද තරගකරුවකු බවට පත්වන නිසා ඔහුට නිකම්ම නොටා නොකියා ‘නොටා මහත්තයා’ ලෙස හැඳින්වීම සුදුසුය.

නොටා මහත්තයාට ආගමක් නැත. වර්ගයක් හෝ කුලයක් ද නැත. භාෂාවක් හෝ ස්ත‍්‍රී පුරුෂ භාවයක්ද නැත. ඒ නිසා නොටා මහත්තයා වටා භේදයකින් තොරව සියලූදෙනාට එකතු විය හැකිය.

වර්ග, ආගම් හා කුලභේද වලට තිබෙන පිළිගැනීම අවසන් වනවා දකින්නට කැමති සියලූදෙනා රටේ රජකරන දූෂණය පිටු දැකීමට කැමති සියලූදෙනාද, තමන්ගේ ජීවන වෘත්තින් හෝ මාර්ගවල යහපත් වෙනසක් ඇති කරගැනීමට කැමති සියලූදෙනාද දේශපාලන හා සමාජ ක‍්‍රමයේ ගැඹුරු වෙනසක් අපේක්ෂා කරන සියලූදෙනාද ක‍්‍රමයේ වෙනසක් ඇතිකර ගැනීම සඳහා යොදාගත හැකි මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනාගැනීමේ අරමුණ වෙනුවෙන් නොටා කොටුවට හෝ එය නොලැබුණහොත් වෙනත් සුදුසු ආකාරයකට ඡන්දය පාවිච්චි කරන තැනකට ගොස් මහජනයාගේ එම අපේක්ෂාවේ ඡන්ද ගොඩ අංක 01 හෝ දෙක බවට පත්කර ගැනීමට සමත් වෙතොත් එය ලංකාවේ සිදුවන මහා විපර්යාසයක ආරම්භක ලක්ෂය බවට පත්වනු නොඅනුමානය.




ඡායාරූපය - ෂෙහාන් ගුණසේකරගේ ෆේස්බුක් පිටුවෙනි 

0 comments: