Hot!

සිංහරාජය වටා පිහිටි ප්‍රාථමික වනාන්තර සුරකිමු





සිංහරාජ ලෝක උරුමය‍ වටා ඇති ප්‍රාථමික වනාන්තර විනාශය: LRC භූමිවල ඇති ප්‍රාථමික වනාන්තර ආරක්ෂාකර ගැනීමට ප්‍රතිපත්තිමය මැදිහත්වීමක් අවශ්‍යයි



ශ්‍රී ලංකාවේ මධ්‍ය කඳුකරයේ වනාන්තර හරණය ආරම්භ වන්නේ බ්‍රිතාන්‍ය වතු වගාවක් සමඟය. වතු වගාව හේතුවෙන් මධ්‍ය කඳුකරයේ වනාන්තර පළමුව කෝපි වතු බවටත්, පසුව තේ වතු බවටත් පරිවර්තනය විය. අද වන විට මධ්‍ය කඳුකරයේ කඳු මුදුන්වල ශේෂ වී පවතින්නේ බ්‍රිතාන්‍ය පාලන සමයේ ඇති කරන ලද නීති තුළින් ආරක්ෂාව සපයන ලද වනාන්තර වේ. මැදරට තුළ ද ජල පෝෂක සහ දේශගුණික ආරක්ෂිත ලෙස කඳු මුදුන්වල වනාන්තර ඉතිරි කොට තිබෙන බව පැහැදිලිව හඳුනාගත හැකිය.

එසේ යටත්විජිත පාලකයන් විසින් ඉතිරි කරන ලද වනාන්තර පවා නිදහසින් පසුව මෙරට පාලකයන්ට, නිලධාරීන්ට ආරක්ෂා කරගන්නට නොහැකි වී තිබේ. රාජ්‍ය ආයතනවල ගැටුම් සහ නොහැකියාව හේතුවෙන් සිංහරාජ ලෝක උරුම වන භූමිය පර්යන්තයේ ඇති, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට අයත් භූමිවල ඉතිරි වී තිබෙන ප්‍රාථමික වනාන්තර සීඝ්‍රයෙන් විනාශ වෙමින් පවතී. මෙම විනාශය වැලැක්වීම සඳහා රාජ්‍ය ප්‍රතිපත්ති සහ ආයතනික එකාබද්ධකරණයක් වහා සිදු කළ යුතුව ඇත.

සිංහරාජ ලෝක උරුමය‍ 

සිංහරාජ අඩවියේ හෙක්ටයාර් 11,187 ක භූමියක් 1988 අංක 4 දරන ජාතික උරුම වන භූමි පනතට අනුව ජාතික උරුම වන භූමියක් ලෙසට ප්‍රකාශයට පත්කරන අතර 1989 දී යුනෙස්කෝව ශ්‍රී ලංකාවේ පළමු ස්වභාවික ලෝක උරුමය ලෙස ද සිංහරාජය නම් කරයි. ඒ එහි තිබෙන ජෛව විවිධත්වය සැලකිල්ලට ගැනීමෙනි. ඊටත් පූර්වයෙහි එනම් 1978 දී සිංහරාජය මිනිසා සහ ජෛවගෝල රක්ෂිතයක් ලෙස ද ප්‍රකාශයට පත්කර තිබුණි.

සිංහරාජ ලෝක උරුම වන භූමියට අයත් වන්නේ හෙක්ටයාර් 11,187 ක් වුව ද ඊට යාබදව සිංහරාජය තරම්ම හෝ ඊටත් වඩා ජෛව විවිධත්වයෙන් පොහොසත් වනාන්තර කොටස් රාශියක් මේ වන විටත් ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසම යටතේ මූලික වශයෙනුත්, වෙනත් වතු සමාගම් යටතේත් ඉතා අනාරක්ෂිත ව පවතී. මොරපිටිය - රෑනකන්ද, දෙල්ගොඩ, බෙරගල මූකලාන ආදිය යෝජිත රක්ෂිත ලෙස දීර්ඝ කාලයක් තිස්සේ නම්කර තිබෙන තවත් පරිවාර වනාන්තර කොටස් ය. ඊට අමතර ව රක්ෂිත ලෙස ප්‍රකාශයට පත් නොකරන ලද එහෙත් ජෛව විවිධත්වයෙන් පොහොසත්  වනාන්තර බිම් රාශියක් සිංහරාජ ලෝක උරුමය වටා විසිරී තිබේ.  ඒවා දිනෙන් දින ම තේ වගා බිම්, හෝටල් සහ වෙනත් විනාශකාරී ව්‍යාපෘති සඳහා යොදා ගනිමින් තිබේ. 

සිංහරාජ වනාන්තර පද්ධතිය

සිංහරාජ ලෝක උරුම වනාන්තරය සහ ඒ වටා පිහිටි වනාන්තර කොටස් “සිංහරාජ වනාන්තර පද්ධතිය” යන යෙදුමෙන් අරුත් ගැන්වේ. සිංහරාජ ලෝක උරුම වනාන්තරය වටා තිබෙන මෙම පර්යන්ත වනාන්තර සිංහරාජ ලෝක උරුමය ට එක් කිරීම මෙම තෙත් කලාපීය වනාන්තර සහ ඒවායේ ජෛව විවිධත්වය සංරක්ෂණය සඳහා අනිවාර්යයෙන් සිදු කළ යුත්තකි. දිනෙන් දින ම මෙම වනාන්තර, මාර්ග ඉදිකිරීම, ජනාවාසකරණය, තේ වගා බිම් සහ වෙනත් අනවසර ක්‍රියාවන් හේතුවෙන් කුට්ටිකරණය (forest fragmentation) වෙමින් තිබේ. 2004 ජූලි 22 වන දින, PS/CS/26/2004 දරණ අමාත්‍ය මණ්ඩල සංදේශය මගින් ඉල්ලා සිටියේ ජාතික උරුම වන රක්ෂිතයට යාව හෝ ඉන් කිලෝමීටර් භාගයක දුර ප්‍රමාණය ඇතුළත පිහිටි සියලුම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමට (Land Reform Commission - LRC) අයත් වනාන්තර ඉඩම්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට නිර්දේශ ලබා දෙන ලෙසයි. ඊට නිර්දේශය ලැබී තිබෙන නමුත් අද වන තෙක් ඒවා ක්‍රියාවට නැංවීම්ට අදාළ වගකීම් දරන ආයතන සමත් වී නැත. හෙක්ටයාර් 2500 කට වැඩි ප්‍රාථමික වැසි වනාන්තර ප්‍රමාණයක් සිංහරාජ ජාතික උරුම වන භූමියට එකතුවීමට නියමිතව ඇතත්, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් මෙම වනාන්තර තවමත් පවරාගෙන නැත.


තර්ජන

මේ වන විට මෙසේ සිංහරාජ ලෝක උරුම වන භූමියට එක් කිරීමට නියමිත වනාන්තර කොටස් තේ, ගම්මිරිස් සහ එනසාල් වගාව සඳහා හෙළි කරමින් තිබෙන අතර, තවත් ඉඩම් හෝටල් සඳහා හොර රහසේම බෙදා වෙන්කර ගනිමින් තිබේ. ඊට අමතරව සිංහරාජ ලෝක උරුම වනාන්තරය වටා තිබෙන අවශේෂ වනාන්තරයක් වන වළංකන්ද ප්‍රදේශයේ පැවැති නොයිදුල් වැසි වනාන්තර අක්කර 50 ක් පමණ මේ වනවිටත් කපා දමා තේ සහ ගම්මිරිස් වගා කොට තිබේ. ඊට අමතරව එම භූමියේම හෝටලයක් ඉදිකරමින් පවතින බව ද නිරීක්ෂණය විය. වඩා කණගාටුදායක තත්ත්වය වන්නේ, මේ වන විටත් JCB යන්ත්‍ර යොදා තවදුරටත් මේ නොයිදුල් වැසි වනාන්තරය විනාශකරමින් පැවතීමයි. මේ සියලු  වනාන්තර බිම් පිහිටා ඇත්තේ මුහුදු මට්ටමින් අඩි 3000 කට වඩා ඉහළින් වන අතර මේවායේ ජෛව විවිධත්වය පිළිබදව ප්‍රමාණවත් අධ්‍යයන තවමත් සිදුකර නැත. එසේම ජලපෝෂක ප්‍රදේශ ලෙස මෙම වනාන්තරවල වැදගත්කම කිසි ලෙසකින්වත් අවතක්සේරු කළ නොහැක. මේ වනවිට මෙම භූමිවල ගල් ගලවා දමා තිබේ. වර්ෂාව සමඟ පාංශූ ඛාදනය තීව්‍ර වී තිබෙන අතර එසේ සෝදාගෙන එන අවසාදිත නිසා ජල පහරවල ජිවත්වන මසුන්ට දැඩි තර්ජන එල්ල වී තිබේ. අවසානයේ ගංගාවල මෙම අවසාදිත තැන්පත් වීමෙන් දෙවැනි පෙළ උපද්‍රව රාශියක් ඇතිවීමේ අවදානමක් තිබේ. 

මේ එක් ඉඩමකට අයත් වන බිම් ප්‍රමාණය අක්කර 50 සිට අක්කර 300 පමණ දක්වා වන අතර ඒවායින් බොහොමයක මෙම ප්‍රාථමික වනාන්තර පැතිර අත්තේය. මේවායේ හිමිකරුවන් අදාළ ප්‍රදේශයේ පදිංචිකරුවන් නොවේ. ඔවුන් කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල ව්‍යාපාරිකයන් හෝ වෘත්තිකයන්ය. මෙම ඉඩම්වල අයිතිය පිළිබඳව ද නිරවුල් භාවයක් නොමැති බව ඔවුන්ගේ ක්‍රියාකාරකම් සහ හැසීරීමෙන් පැහැදිලි වේ. ඔවුන් දිනෙන් දිනම මෙම වනාන්තර හෙළිකරන අතර කිසිදු වගකිවයුතු ආයතනයක් මේ නොයිදුල් වනාන්තර ආරක්ෂා කරගැනීමට මැදිහත් වීමක් සිදුකර නැත. ගම්වැසියන් චෝදනා කරන්නේ, මෙම ව්‍යාපෘති වටා දූෂිත නිලධාරීන්ගේ සහ බලධාරීන්ගේ මැදිහත්වීම් රාශියක් ද පවතින බවයි.  ඉතා සංවේදී පරිසර පද්ධතියක එම සංවේදීතාව නොසලකා කෙරෙන මෙවැනි  ක්‍රියාකාරකම් නම් කළ හැක්කේ විනාශයක් ලෙස මිස සංවර්ධනයක් ලෙස නොවේ.

ඒ සියල්ලටම අමතරව වල්ලපට්ටා ජාවාරම, දඩයම් කිරීම, අනවසර දැව හෙළීම්, අනවසර මැණික් පතල්, වනාන්තර ගිනි තැබීම්, මෙම වනාන්තර වල පැවැත්මට එරෙහිව තිබෙන සුලභ සහ තීරණාත්මක බලපෑම්ය.

වගකිවයුතු ආයතනවල නිහඬතාවය

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අවශ්‍ය නම් මේ වනාන්තර බිම් තමන් යටතට පවරා ගත හැකිය. ඒ වෙනුවට ඔවුන් කරන්නේ කල් මැරීමයි; නැත්නම් මේ සියලු ප්‍රාථමික වනාන්තර කපා දමන තුරු නෑසූ කන්ව සිටීමයි. 2030 වනවිට ශ්‍රී ලංකාවේ වනාන්තර ආවරණය 32% දක්වා වැඩි කරන්නට ඔවුන් උත්සාහ කරන්නේ ඒ අයුරිනි; නැතිනම් තැන තැන සිදුකරන පැල සිටවීමේ සංදර්ශන වලිනි. අවධානයට ලක් කළ යුත්තේ, ඒ කිසිවකින් ජෛව විවිධත්වයෙන් ඉහළ මෙබඳු ප්‍රාථමික වනාන්තර නිර්මාණය කරන්නට කිසිවෙකුටත් නොහැකි බවයි.


එසේම ජාතික පාරිසරික පනතේ ප්‍රතිපාදන අනුව මධ්‍යම පරිසර අධිකාරියට හෙක්ටයාර එකකට වැඩි මෙවැනි ප්‍රාථමික වනාන්තර බිම් එළිකිරීම් නතර කිරීමට මැදිහත් විය හැකිය. එසේම ඒවා පාරිසරික ආරක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කළ හැකිය. පරිසර ඇමැතිවරයා ලෙස එය ජනාධිපතිවරයා කළ යුත්තකි. නමුත් ඒ කිසිවක් මේ වනාන්තර ආරක්ෂා කරගැනීම වෙනුවෙන් සිදු වන්නේ නැත. එම පනතේම විධිවිධාන අනුව සිංහරාජ ලෝක උරුම මායිමේ සිට ඒ වටා කිලෝමීටර් එකක ප්‍රමාණයක් ආවරණය කෙරෙන ප්‍රේරණ කලාපයක් නම් කොට ඒ තුළ සිදු කරන මානව ක්‍රියාකාරකම් පාලනය කිරීමට කටයුතු කරන ලෙස  පරිසර සංවිධාන විසින් දීර්ඝ කාලයක් තිස්සේ යෝජනා ගෙන ආ නමුත් අද වනතුරුත් ඒවා ක්‍රියාවට නැංවීමට මධ්‍යම පරිසර අධිකාරිය සමත් වී නැත.

වනජීවී සංරක්ෂණ  දෙපාර්තමේන්තුව ද මෙම කලාපයේ ක්‍රියාත්මක වන නමුත් මේ වන විනාශය නතර කිරීමට ඔවුන් මැදිහත් නොවන්නේ ඇයි ද යන්න ගැටලුවකි. සිංහරාජයේ අලි ඇල්ලීමට තිබෙන උනන්දුව හෝ ආදායම් උපදවන උද්‍යානවලට තිබෙන අවධානය සිංහරාජ වන අලින්ගේ නේවාසික වන මේ වනාන්තර ආරක්ෂාකර ගැනීම වෙනුවෙන් නොමැති බව පෙනෙන්නට තිබෙන ඛේදනීය තත්ත්වයයි. එම දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට මෙම කලාපය පිළිබඳ තිබෙන අල්ප උනන්දුව හොඳින්ම පැහැදිලි කරන උදාහරණයක් වන්නේ, මීට වසර කීපයකට පෙර එම දෙපාර්තමේන්තුවේ පහළ නිලධාරීන් පිරිසක් විසින් මෙම කලාපයේ තිබෙන ජෛව විවිධත්වය සුරැකීමට සහ අලි මිනිස් ගැටුමට විසඳුමක් ලෙස හඳපාන් ඇල්ල සහ වළංකන්ද යාකොට වනජීවී කලාපයක් ඇති කිරීමට කරන ලද යෝජනාව එම දෙපාර්තමේන්තුව විසින්ම ප්‍රතික්ෂේප කොට තිබීමයි.

වගකීමෙන් බැහැර විය නොහැක

මෙම කලාපයේ භූමි පරිභෝගය සහ අයිතිය පිළිබඳ තත්වය අතිශය සංකීර්ණ බව අපි පිළිගනිමු. එයින් අයුතු ප්‍රයෝජන ගත් ජාවාරම්කරුවන්, දේශපාලකයන්ගේ හා දූෂිත නිලධාරීන්ගේ සහයෝගයෙන් මෙම විනාශයන් සිදු කරන බව පැහැදිලිය. මෙබඳු පසුබිමක් යටතේ වුව ද කළ යුතු හදිසි කාර්යය වන්නේ ශ්‍රී ලංකාවේ භූමි පරිභෝගයෙන් සියයට අටක් පමණ වෙතැයි සැලකෙන මෙම ප්‍රාථමික වනාන්තර විනාශ කිරීම වහා නතර කිරීමයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ පාලනය යටතේ පවතින ඉඩම්වල ඇති ප්‍රාථමික වනාන්තර වහා වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට හෝ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට පවරා දී ඒවා රක්ෂිත ප්‍රදේශ ලෙස ප්‍රකාශයට පත් කළ යුතුය. ඒවායේ සිදුවන හෙළිකිරීම් නතර කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය මැදිහත් විය යුතුය. පරිසර අමාත්‍යාංශය හා ඉඩම් අමාත්‍යාංශය සහ ඒවායේ තිබෙන නියෝජිත ආයතනවල මැදිහත් වීමෙන් මෙය සිදු කළ හැකිය. ඇතැම් විට මෙම බිම්වලට අයිතිවාසිකම් කියන පිරිස ද ඊට සම්බන්ධ කර ගත හැකිය. සිදුකළ යුත්තේ මේ ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රාථමික වනාන්තර තවදුරටත් විනාශ නොකර ආරක්ෂා කරගැනීමයි. ඊට අමතරව ප්‍රදේශයේ ප්‍රකාශයට පත් නොකරන ලද වනාන්තර බිම් වහා ප්‍රකාශයට පත් කළ යුතු අතර ඒවායේ සීමා ලකුණු කිරීම ද කළ යුතුව ඇත.  

මෙම වනාන්තර ආරක්ෂා කර පවත්වා ගත යුත්තේ සංරක්ෂණ අරමුණු වෙනුවෙන් මිස සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනයට හෝ ජාවාරම්කරුවන් සහ ඔවුන් හා බැඳි දේශපාලකයන්ගේ සහ නිලධාරීන්ගේ පටු ලාභ අරමුණු සාධනයට නොවේ. කිසිදු අධීක්ෂණයක් නොමැතිව ඉදිවන හා ක්‍රියාත්මක වන සංචාරක හෝටල් සහ නිකේතන, කර්මාන්තශාලා සහ වගාවන් නියාමනය කිරීම හදිසි අවශ්‍යතාවයක් ලෙස සැලකිය යුතුය. වගකිවයුතු ආයතන ක්‍රියාත්මක විය යුත්තේ සංරක්ෂණ අරමුණු සාධනය සඳහා පහසුකම් සැලසීම වෙනුවෙනි; නව නිර්මාණශීලී සංරක්ෂණ ක්‍රමෝපායන් වෙත එළඹීම වෙනුවෙනි. පවත්නා ජරාජීර්ණ ක්‍රමයම ඇදගෙන යාමේ වැඩවසම් චින්තනයෙන් මිදී, නව ප්‍රතිපත්ති සහ ආයතනික එකාබද්ධකරණය අභ්‍යාස කළ යුතුය; ජෛව විවිධත්වයෙන් පොහොසත් ප්‍රාථමික වැසි වනාන්තර පාරිසරික සංවේදී කලාප ලෙස වහා නම් කර කඩිනමින් සංරක්ෂණය කළ යුතුය.


සටහන - රුහුණ විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය ඉන්දි අකුරුගොඩ හා රුහුණ විශ්වවිද්‍යාලයේ භූගෝල විද්‍යා අධ්‍යයනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, මංජුල කරුණාරත්න

0 comments: