Hot!

''අපි අපිම වෙනස් විය යුතුයි. අපෙන් පරිබාහිරව සමාජයක් නෑ'' - ලයනල් බෝපගේ




- ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර - 



ජ.වි.පෙ. හිටපු ප්‍රධාන ලේකම් ආචාර්ය ලයනල් බෝපගේ - ජනතා විමුක්ති පෙරමුණෙහි ආරම්භක නායකයකු වන ආචාර්ය ලයනල් බෝපගේ ජ.වි.පෙ. ප්‍රධාන ලේකම් වශයෙන් ද කාලයක් කටයුතු කළේ ය. පසුකලෙක ජ.වි.පෙ. දේශපාලනයෙන් ඉවත්වුවද ඔහු මෙරට දේශපාලනය කෙරෙහි විවිධාකාර බලපෑම් කරන සමාජ ක්‍රියාකාරිකයෙක් හා මත හසුරවන්නෙක් ලෙස මේ මොහොතේත් සක්‍රීය වැඩ කොටසක් කරන්නෙකි. හෙතෙම එහා ඉවුරට කැඳවීමට මූලික හේතුව එය වන අතර ප්‍රවීණ පරිවර්තක උපාලි රත්නායක විසින් පරිවර්තනය කෙරුණු ලයනල් බෝපගේගේ චරිතාපදානය වන “ඉතිහාසය හමුවේ ලයනල් බෝපගේ” (Rebellion, Repression, and the Struggle for Justice in Sri Lanka: The Lionel Bopage Story
Michael Colin Cooke) කෘතිය ද සැප්තැම්බර් 03 දා සවස 2.00 ට කොළඹ කේන්ද්‍රයේ දී එළි දැක්වීමට නියමිතය. මෙහි පළවන්නේ අද (2) දින 'දිනමිණ' පුවත්පතේ පළවූ සම්මුඛ සාකච්ඡාවකි. 


ඔබ ක්‍රමවිරෝධී දේශපාලනයට පිවිසුණු 60-70 දශකයේ රටේ පැවැති සමාජ දේශපාලනික තත්ත්වය කෙබඳු ද ?

රටේ තිබුණේ සංවෘත්ත ආර්ථිකයක්. රැකියා වියුක්තිය බරපතළ ප්‍රශ්නයක් ලෙස තිබුණා. උපාධි තිබුණත් ඉංජිනේරු පීඨයේ හැර අනෙක් පීඨවල අයට රැකියා අවස්ථා තිබුණේ නෑ. කෘෂිකාර්මික අංශයෙන් ඉඩම් හිඟයට, ජල හිඟයට විසඳුම් තිබුණේ නෑ. 1948 සිට පත්වුණු කිසිම ආණ්ඩුවකට ජාතික ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොතිබීම ඊට හේතුවයි. ඉටු වූයේ පාලක පැළැන්තිය බවට පත්ව සිටි දේශපාලන පංතියේ ඕනෑ එපා කම් පමණයි. කන්නන්ගරගේ අධ්‍යාපන ප්‍රතිපත්තිය, සෞඛ්‍ය ප්‍රතිපත්තිය හැරුණුවිට රටේ සාමාන්‍ය ජනයාට දැනෙන ප්‍රතිපත්තියක් නොතිබුණු තරම්. ඒ වෙද්දි ජාතික ප්‍රශ්නයත් මෝරාගෙන එමින් තිබුණා. සිංහලකරණයවීම තදින් දැනුණා. කොමියුනිස්ට් පක්ෂයෙන් පැමිණි රෝහණ විජේවීර සහෝදරයා, මම වගේම සමසමාජ පක්ෂයෙන් ආව අයත් හිටියා. ඒ අය අතර වුණත් මේ ප්‍රශ්නය ගැන පැහැදිලි අදහසක් තිබුණේ නෑ. මොකද ඒ ඒ පක්ෂ විසින් පවා ජාතික ප්‍රශ්නය මඟහැර තිබුණා. මේ ක්‍රමය මේ විදිහටම ගියොත් අපේ ප්‍රශ්න කිසි දෙයක් විසඳගන්න ලැබෙන්නෙ නැති බව අපි තේරුම් ගත්තා. ඒ නිසා මේ ක්‍රමය වෙනස් කළ යුතු බව පිළිගෙන ඒ අනුව සංවිධානය වුණා. ක්‍රියාත්මක වුණා.


ආපසු හැරී බලද් දී ඒ ක්‍රියාත්මකවීම ගැන අද මොකද හිතෙන්නේ ?

පසුතැවීමක් නෑ. ඒත් ඒ ක්‍රමය වෙනස් කිරීම ගැන එදා අපට තිබුණු වුවමනාව දෙස අද බලද්දී වැටහෙන්නෙ නම් ධනේශ්වර ක්‍රමයේ වර්ධනයේ දී කොයිතරම් පිරිහීමක්, අඩුපාඩු තිබුණත් ඒ වර්ධනය වීමේ දී අත්පත් කරගන්නා ඉලක්ක, වෙනස්වන තත්ත්වයන් සමාජවාදය ගොඩනැඟීමේදීත් රටේ ජනතාවගේ යහපත සඳහාත් ඉවහල් වන බවයි. ඒවා කොයිතරම් දුරකට අපේ දේශපාලන වුවමනාවන් ඉටුකර ගැනීමට භාවිත කළ හැකිද? යන්න පිළිබඳ එදා අපි එතරම් තැකීමක් කළේ නෑ. මේ ක්‍රමය පෙරළා විනාශ කර දැමිය යුතුයි කියන දැඩි ස්ථාවරයක තමා අපි හිටියේ. සමාජ ක්‍රමය කුඩුපට්ටම් කිරීමෙන් විතරයි අනාගතයක් තියෙන්නෙ කියන මතවාදයේ හිටියා. ඒක වැරදි බව අද පිළිගන්න වෙනවා.

77න් පසු ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය හා සිංගප්පූරුවේ ආර්ථික වර්ධනය ගැන සසඳමින් බොහෝ දෙනා බොහෝවිට උපුටා දක්වන දැඩි ජාතිකවාදී නායකත්වයක අවශ්‍යතාව ගැන ඔබේ අදහස මොකක්ද ?

එහි පැති ගණනාවක් තියෙනවා. සිංගප්පූරුව භූගෝලීය වශයෙන් වෙනස් පුංචි රටක්. හැමතැනම කර්මාන්ත. ග්‍රාමීය ස්වරූපයක් ඇත්නම් කුඩා ප්‍රදේශයක පමණයි. ලංකාව හාත්පසින්ම වෙනස්. මෙහි ප්‍රමුඛ වුණේ ගොවිතැන. ජනගහණයෙන් සියයට 70-80 ක් පමණ යැපුණේ ගොවිතැනින්. අනෙක් අතට සිංගප්පූරුවට මලයාවෙන් වෙන්වීමට පදනම් වුණු පීඩනයක් තිබුණා. මලයාවේ හිටපු චීන ජනතාවට ඒක තදින් දැනුණා. ඒ පීඩනය පුපුරායාමෙන් ‘තමන් නැඟිට සිටිය යුතු යි’ කියන හැඟීම ජාතික හැඟීමක් ලෙස තවදුරටත් වර්ධනය වුණා. ලංකාවේ එහෙම නෑ. ලංකාව නිදහස ලබන්නේ ඉන්දියාව ඇතුළු අවට රටවල් නිදහස්වීමේ අතුරු ඵලයක් විදිහටයි. ඒ වගේම සිංගප්පූරු නායකයන්ගෙයි අපේ රටේ නායකයන්ගෙයි දැක්ම අතර බරපතළ වෙනසක් තිබුණා.

ඒ අය අවංකව කල්පනා කළේ රටේ යහපත සඳහා රටේ පාලනය හසුරුවන්නේ කොහොමද කියන එකයි. ඒ නිසා භාෂා ප්‍රශ්න හෝ ජනවාර්ගික ප්‍රශ්න ඇති කරගත්තෙ නෑ. ඉන්දීය ජාතිය වගේම සිංගප්පූරුවත් ජාතියක් විදිහට ඉදිරියට යාමට කල්පනා කළා. ලංකාවෙ තත්ත්වය 48 සිටම වෙනස්. අපේ අය හිතුවේ හැකිතාක් මේ රටේ ජනයා භේදභින්න කොට ඒ තුළින් පාලක පංතියේ අවශ්‍යතා ඉටුකර ගැනීමටයි. පුංචිම කාලේ පාසලේ සිටම බෙදීම ආරම්භ වුණා. සිංහල, බෞද්ධ, ඉස්ලාම්, හින්දු හැටියට බෙදුණු පාසල්. එයිනුත් සිංහල බෞද්ධ-සිංහල ක්‍රිස්තියානි-කතෝලික ආදී පාසල්. ඊටත් පස්සෙ ජාත්‍යන්තර පාසල් හැටියටත් පංතිමය වශයෙනුත් බෙදිලා. ඒ විදිහට සමාජයම බෙදිලා. තම තමන්ගේ භාෂාවෙන් කටයුතු කිරීමේ නිදහස, ඒ අනන්‍යතාව සිංගප්පුරුවේ පිළිඅරන් තියෙනවා. අපේ රටේ තාමත් එහෙම තත්ත්වයක් නෑ. පිටරටින් සම්පත් ගෙනත් ඒවට අතිරේක වටිනාකම් එකතු කරලා, භාණ්ඩ නිෂ්පාදනය කොට ප්‍රති අපනයනය කිරීමෙන් තමා එරට ආර්ථිකය ගොඩනැඟුණේ. අපේ රටේ ඊට වඩා වෙනස්. 1970 ගණන් වෙද්දි වානේ සංස්ථාව, ටයර් සංස්ථාව වගේ කර්මාන්ත කීපයක් විතරයි අපට තිබුණේ.

77 දී ආර්ථිකය විවෘත කරද්දී මේ කර්මාන්ත සම්පූර්ණයෙන් කඩා වැටෙනවා. අනෙක් අතට ඒවා පෞද්ගලික අංශයට කොටස් විකුණලා විනාශ කරනවා. කෘෂිකාර්මික වශයෙන් ගනිද් දී එතෙක් සශ්‍රීක ව සිටි යාපනය ආදී ප්‍රදේශවල සිටි ගොවීන්ට කෘෂි නිෂ්පාදන අලෙවි කරගන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. අනිත් අතට මෙහේ විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නු ස්වරූපයයි ජපානය, කොරියාව, සිංගප්පූරුව වැනි රටවල් ඒ කාර්යය කළ ස්වරූපයයි වෙනස්. ජපානය-කොරියාව වැනි රටවල් අදටත් ඒ අයගේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම විවෘත කරලා නෑ. ප්‍රතිපත්තියක් හැටියට දේශීය කෘෂිකර්මාන්තය ආරක්ෂා කරනවා. ආනයනික කෘෂි නිෂ්පාදනවලට දේශීය වෙළෙඳ පොළ හා තරගකිරීමට ඉඩප්‍රස්ථාව ලබාදෙන්නෙ නෑ.

කර්මාන්තය ලෙස සැලකීමේ දී ජපානය හා කොරියාව වැනි රටවල් මුලින්ම තමන්ගේ රටේ කර්මාන්ත එක්තරා මට්ටමක දියුණුවක් අත්පත් කරගන්නා තෙක් ජාත්‍යන්තර ආයෝජන සඳහා ඉඩකඩ ලබාදුන්නේ නෑ. මෝටර් රථ කර්මාන්තය ගත්තත් ජපානයේ රට විශාල නිසාම රට අභ්‍යන්තරයේ වාණිජ තරගයක් ඇති කර ඒ තුළින් උසස් නිෂ්පාදන බිහිකොට එක්තරා මට්ටමකට ස්ථාවර වුණාට පසුවයි ජාත්‍යන්තර වෙළෙඳ පොළට විවෘත කළේ. අපේ රටේ එවැනි දෙයක් සිදුවුණේ නෑ.

එවැනි සමාජ ආර්ථික දේශපාලනික කොන්දේසි සපුරා නොතිබුණා වුණත් ජාතික ප්‍රතිපත්තියක්, ජාතික වැඩපිළිවෙළක් වෙනුවෙන් දැඩි මතධාරී ජාතිකවාදී නායකත්වයක් ඉල්ලා සිටින ස්වරූපයක් අද තියෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නෙ කොහොමද?

ආසියාතික රජවරුන්ගේ හා පාලන ක්‍රමයේ වෙනසක් තිබුණත් අපටත් තිබුණේ රාජාණ්ඩු හා වැඩවසම් ක්‍රමයක්. යටත් විජිත කාලයේ දී අපේ මිනිසුන් පෑගිලා පාලනය වෙන්න කැමැත්තෙන් හිටියා. 48න් පස්සෙත් රටේ සමාජයක් හැටියට අපි බලාගෙන හිටියේ ඉහළින් නියෝග ලැබෙන කල්. එසේ නොමැතිව සමාජයක් ලෙස ජන බලවේගයක් ලෙස සංවිධානය වී අපේ ප්‍රශ්න හඳුනාගෙන ක්‍රියාත්මක වෙන තත්ත්වයක් අපට පුරුදු නෑ. පත් වූ පාලකයනුත් තමන්ගේ පැවැත්මට එකී සමාජය ඒ අයුරින්ම පවත්වා ගත්තා. මේ පසුබිම මත කවුරුන් හෝ ගැලවුම්කාරයෙක් පැමිණ තමන් ගලවාගනීවි කියන හැඟීම අදටත් ලාංකේය සමාජයේ තියෙනවා. ජවිපෙ අපිත් ඒ කාලයේ එහෙම දෙයක් විශ්වාස කළා. සමාජය කෙරෙහි විශ්වාසය තැබීම වෙනුවට ජවිපෙ කෙරෙහි විශ්වාසය තැබිය යුතු බව අවධාරණය කෙරුණා.

ඒත් එතැන හිටියේ පුද්ගලයෙක් නෙවෙයි. සංවිධානයක්. ඒත් දැන් වෙද්දී යුද ජයග්‍රහණය, කොළඹ පිරිසුදු කිරීම වැනි කාරණාවක් දෙකක් දෙස බලා, අත්තනෝමතික ලෙස සීමාව ඉක්මවා කටයුතු කරන පුද්ගලයෙක් ආවොත් මේ කටයුත්ත කළ හැකියි කියලා ඇතැමුන් විශ්වාස කරනවා. ඒක නිවැරදි නෑ. සමාජයක් යහපත් බවට, විනයානුකූල බවට, නීතිය හා සාමය ආරක්ෂා කරන තැනට පත්වෙන්නේ අච්චුවකට දැමීමෙන්. කවුරුන් හෝ නායකයකු පැමිණ අච්චුවක් හදලා ඒකට රිංගවීමෙන් නෙවෙයි. සමාජය එතැනට පැමිණිය යුත්තේ සමාජය තුළින්ම මතුවෙන සංවාදයක් තුළින්. එසේත් නැතිනම් කතිකාවක් තුළින් සමාජයේම පිළිවෙතක් අනුවයි. ඒ තත්ත්වය වෙනස් කළ හැක්කේ සමාජය සබුද්ධික බවට පත්කිරීමෙන් පමණයි.

ඔබ අද විශ්වාස කරන සමාජය වෙනස් කළ හැකි ආකාරය කුමක් ද?

අපි අපිම වෙනස් විය යුතුයි. අපෙන් පරිබාහිරව සමාජයක් නෑ. ඒකට ප්‍රතිපත්තියක් වැඩපිළිවෙළක් ඕනෑ. අපට නැත්තෙම ඒකයි. අධ්‍යාපන ප්‍රතිපත්තියක් වගේ දේවල් වුණත් නමට තිබුණට කාලෙන් කාලෙට එන ඇමතිවරුන් හෝ ආණ්ඩු ඒවා තමන්ට ඕන විදිහට වෙනස් කරනවා. ජාතික ප්‍රතිපත්තියක් රටට කවදාවත් තිබුණේ නෑ. මොන ආණ්ඩු ආවත් මොන ඇමතිවරු ආවත් වෙනස් වෙන්නෙ නැති ජාතික ප්‍රතිපත්තියක් ඕනෑ. ඉන්දියාවෙ එහෙම එකක් තියෙනවා. ගැලවුම්කාරයා සංකල්පයට ආගම තුළිනුත් අපට සහයක් දීලා තියෙන නිසා ඒකට තවත් විශ්වාසයක් එකතුවෙලා තියෙනවා. ඒත් ඒක වෙනස් කළ යුතුයි. ගැලවුම්කාරයකු වෙනුවට අපගේම ක්‍රියාකාරිත්වය තුළින් ‘මේ තත්ත්වය වෙනස් කළ හැකියි’ කියන ස්ථාවරය තහවුරු කළ යුතුයි.

පහුගිය කාලයේ එවැනි ප්‍රතිපත්ති ප්‍රකාශන, ජාතික වැඩපිළිවෙළවල් කීපයක්ම එළිදැක්වූවා. ඔබ ඇතුළු කණ්ඩායමකුත් එවැන්නක් ඉදිරිපත් කළා. ඒත් එකතුවීමක් නැත්තේ ඇයි ?

අපේ ව්‍යාපාරවල නායකත්වයේ සිටින අයට පෞද්ගලික අවශ්‍යතාවන් හා රටේ අවශ්‍යතාවන් පැටලිලා. හැමතිස්සෙම රටේ හෝ සමාජයේ අවශ්‍යතාවන් ප්‍රමුඛ කොට කටයුතු නොකළහොත් අපට පොදු එකඟතාවක් හදාගන්නට බෑ. අපි ප්‍රතිපත්ති කෙටුම්පතක් එළිදක්වද් දී කණ්ඩායම් 20ක් විතර තිබුණා. එයින් බොහෝ දෙනෙක් සමඟ අපි සාකච්ඡා කළා. ඊට පස්සෙ තමා අපේ ජාතික ප්‍රතිපත්ති කෙටුම්පත ඉදිරිපත් කළේ. ඒක කෙටුම්පතක්. ඕනම කෙනකුට එහි අඩුපාඩු පෙන්වාදෙමින් ඒක සංශෝධනය කරලා වැඩිදියුණු කරන්නට අවස්ථාව තියෙනවා. මේක ගැන සංවාදයක් ඒ අය අතරම ඇති කරගත යුතුයි.

එයින් එකඟතාවට පත් වැඩපිළිවෙළක් ඒකාබද්ධව ප්‍රකාශයට පත්විය යුතුයි. නායකයින් හෝ පුද්ගලයින් ඉස්මතු වන වැඩපිළිවෙළක් නොවී වැඩපිළිවෙළම ඉස්මතු විය යුතුයි. ජවිපෙ ඉතිහාසය ගත්තම අපි ඒක 60 දශකය තුළ කරලා තියෙනවා. ඒ කාලෙ සමීපතම කිහිපදෙනා හැර කවුරුත් විජේවීර සහෝදරයා ගැන දැනගෙන හිටියේ නෑ. අපි ගමින් ගමට ගිහින් තරුණ පිරිස් එකතු කරගෙන කතා කළේ වැඩපිළිවෙළක් ගැන මිසක් නායකත්වයක් ගැන නෙවෙයි. ඒ කාලෙ ජවිපෙ වටා තරුණයින් එකතු වුණෙත් වැඩපිළිවෙළට මිසක් නායකත්වයට නෙවෙයි. ඒක මිනිස්සු අතර යම් කතා බහකට පිළිගැනීමකට ලක්වෙලා අන්තිමට සංවිධාන බලයක් හැටියට මතුවෙන්නේ ඒකයි.

එහි තිබුණු අඩුපාඩුවක් වුණේ පසුකාලීනව සංවිධානය තුළින් නායකත්වය ලෙස විජේවීර සහෝදරයා, මා ඇතුළු පිරිසක් මූලිකත්වය ගැනීමෙන් පසු අපි ජනතාවගේ ගැලවුම්කාරයින් ලෙස පෙනී සිටීමට හා ක්‍රියා කිරීමට පෙළඹීමයි. මේ ප්‍රතිපත්ති ප්‍රකාශන හෝ වැඩපිළිවෙළවල් සැලකුවාම ඒවා අතර ලොකු වෙනසක් දකින්න නෑ. පෞද්ගලික ප්‍රශ්න නැතිනම් විෂය ක්ෂේත්‍රයන් ගැන එකඟතාවක් හදාගෙන එක්වීමට බාධාවක් නෑ.

නිල වශයෙන් මැතිවරණයක් ප්‍රකාශයට පත්වී නැති වුණත් මේ මොහොතේ ඒ වෙනුවෙන් මැදිහත්වීම දකින්නට ලැබෙනවා. මේ පවතින තත්ත්වයෙන් හෙට දවස කොහොම වෙයිද?

ජනාධිපතිවරණයක් ගැන කතා කළාට ඒ සඳහා දින නියමයක් නෑ. නාමයෝජනා කැඳවලත් නෑ. මැතිවරණයක් තියාවිද නැද්ද දන්නෙත් නෑ. එහෙම තත්ත්වයක් තුළ සංවිධාන හැටියට, කුඩා කුඩා කණ්ඩායම් හැටියට වෙන්වීමට වඩා තවමත් එක බලවේගයක් හැටියට ගොනුවීමට හැකියාවක් පවතින බව මං විශ්වාස කරනවා. ඒ ගොනු කිරීම සඳහා උත්සාහ දැරීම අප හැමෝගෙම වගකීමක්. මං වුණත් කැපවෙන්නේ මැදිහත් වෙන්නේ ඒ වෙනුවෙන්. මට නම් පුද්ගලයා කවුද කියන එක ලොකු ප්‍රශ්නයක් නෙවෙයි. මැතිවරණයක් බලාගෙන ක්‍රියාකිරීමකට වඩා වැඩපිළිවෙළක් ලෙස ක්‍රියාකරනවා නම් ඉදිරියට යන්න පුළුවන්. ඒ ක්‍රියාමාර්ගය තුළ මැතිවරණ හමුවෙයි. ඒවා එයි. යයි. ඒත් ජනතාව බලවේගයක් ලෙස සංවිධානය කිරීමෙන් මොන ආණ්ඩුව ආවත්, අපේම ආණ්ඩුවක් ආවත් ජනතාවගේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නට බල කළ හැකි බලවේගයක් හෝ තත්ත්වයක් පැවතිය යුතුයි.

19 වන ව්‍යවස්ථා සංශෝධනය අනුව මීළඟ ජනාධිපතිවරයාගේ ස්වරූපය පිළිබඳ සැබෑ ප්‍රශ්නයක් තියෙනවා. මෙවැනි තත්ත්වයක සියලූ ශක්තිය යොදා ජනාධිපතිවරයකු තෝරාපත් කරගැනීම විසඳුමක් වෙයි ද?

ඔව්. ‘නාමමාත්‍රික ජනාධිපතිවරයෙක් වෙනුවෙන් මෙහෙම තරගයක් දෙන්නෙ ඇයි’ කියන එක එකක්. නමුත් දෙවෙනි ප්‍රශ්නය නම් වැරදිලා හෝ රාජපක්ෂ කඳවුර විසින් බලය ලබාගනු ලැබුවහොත් ඒ අය දැනටමත් ප්‍රසිද්ධියේ කියා තිබෙන කාරණය අමතක නොකළ යුතුයි. ඒ අය කියලා තියෙන්නේ පහුගිය 19 වන ව්‍යවස්ථා සංශෝධනය ආපසු හරවා නැවත මේ රට තුළ විධායක ජනාධිපති ධුරයක් ස්ථාපිත කරන බවයි. එසේ වුවහොත් එය ඉතාම අහිතකර තත්ත්වයක්. අපි මූලාරම්භයේ සිටම විධායක ජනාධිපති ධුරයට එරෙහිව සිටි අය. අනෙක් අතට විධායක ජනාධිපති ධුරය නොතිබුණත්, නාම මාත්‍රික ජනාධිපතිවරයකු හිටියා වුණත් එයාට ඊළඟ පාරලිමේන්තු මැතිවරණය පවත්වද් දී බලපෑමක් කළ හැකියි.

ජන කොටස් අතරෙ හැඟීමක් ලෙස, ආවේගයක් හෝ දැනවිය හැකියි. 2015 දි ජනාධිපතිවරණය දිනලා පාරලිමේන්තු මැතිවරණයක් ආසන්නයේම තිබ්බා නම් රටේ දේශපාලනයේ සෑහෙන වෙනසක් වෙන්න තිබුණා. එහෙම හිතුවම මේ ජනාධිපතිවරණයේ වැදගත්කමක් තියෙනවා. දැනට තියෙන සීමිත නිදහස හෝ ආරක්ෂා කළ යුතුයි. අපගේ දීර්ඝකාලීන ප්‍රතිපත්තිමය වේදිකාව ගැන කටයුතු සිදුකරමින් යද් දී කළ හැකි අවම මැදිහත්වීම හෝ උපරිම ශක්තියක් යොදා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ශක්තිමත් කිරීමට උරදිය යුතුයි.





0 comments: