Hot!

'නොදුටු ඇස්', මේ නිශ්ශබ්දතාව කඩන්න ගත්තු උත්සහයක්' - කංචුකා




පර්යේෂණාත්මක බහුමාධ්‍ය නාට්‍යයක් වන, කංචුකා ධර්මසිරිගේ ‘නොදුටු ඇස්’ (Unseen Eyes) සැප්තැම්බර් 21 වනදා ප.ව 3.30 හා ප.ව 6.45 බොරැල්ල නාමෙල් – මාලිනී පුංචි තියටර්හිදී තිරගත වේ. කුමාරි කුමාරගමගේ සහ බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් විසින් ලියන ලද පද්‍ය ඇසුරින් කරන ලද රංග කලාත්මක ප්‍රතිනිර්මාණයක් වන ‘නොදුටු ඇස්’ Theater of the Melting Clock  නිෂ්පාදනයකි. මේ ‘නොදුටු ඇස්’ පිළිබඳව එහි අධ්‍යක්ෂිකාව වන කංචුකා ධර්මසිරි සමග කරන කෙටි පිළිසඳරකි.


නොදුටු ඇස් තුළ ඔබ මතුකරන්නේ බලය, යුද්ධය, ප්‍රචණ්ඩත්වය වැනි කාරණා. මේවා ලංකාවේ පොළවට ගැලපෙන්නේ කොයි විදිහට කියල ද ඔබ කල්පනා කළේ ?

අවුරුදු තිහක් තිස්සේ පැවතිච්ච යුද්ධයක් ඉවර වෙලා තවත් අවුරුදු දහයක් විතර ගිය කාලෙකනෙ අපි මේ ඉන්නෙ. අපි යුද්ධය ගැනත් එහි ජයග්‍රහණ ගැනත් කතා කළාට ඒ කාලය තුළ මිනිස්සුන්ට මොකද වුණේ කියන ප්‍රශ්නය අහනවා හරි අඩුයි. මොකක් හරි හේතුවක් නිසා අපි ජාතියක් විදිහට හරි මනුෂ්‍ය කොට්ඨාසයක් විදිහටහරි ඒ ප්‍රශ්නය අහන තැනට යන්නෙ නෑ.

ඒත් එක්කම ගෙවී ගිය අවුරුදු දහය හා වර්තමානය දිහා බැලුවාමත් ඉතාම ප්‍රචණ්ඩකාරී සිදුවීම් ගොඩක් සිදුවෙනවා. උතුරේ එල්ටීටීඊ එක පදනම් කරමින් දෙමළ මිනිසාට එරෙහිව ගොඩනැගුණු අදහස් දැන් වෙනකොට සියුම් විදිහට මුස්ලිම් අය වගේ වෙනත් පිරිසකට එරෙහිව ගොඩනැගෙනවා. තමන්ගේ පැවැත්ම උදෙසා කොහෙන් හරි අනෙකෙක් නිර්මාණය කරගැනීම පොදු සමාජයේ සාමාන්‍ය ලක්ෂණයක් වෙලා. දිවියෙක් මරපුවාම සමාජ මාධ්‍ය වගේ තැන්වල දිගින් දිගට විරුද්ධව කතා කරලා යුක්තිය ඉල්ලන අපි, මනුෂ්‍යත්වයට විරුද්ධව වන සිදුවීම් වලදී එහෙම වැඩ කරන්නෙ නෑ. කිසි දෙයක් වුණේ නෑ වගේ අපි එදිනෙදා ජීවිතය ගතකරනවා. අපි කරන්නේ අපරාධයන්ට ගොදුරු වුණ මිනිස්සු යට කළ පස් උඩ විශාල ගොඩනැගිලි ඉදි කරන එක. උස කුලුණු හදන එක.

මේ නිශ්ශබ්දතාව හරි භයංකරයි කියලයි මට හිතෙන්නේ. ඉතිං ඒ නිශ්ශබ්දතාව කඩන්න අවශ්‍යයි. පළවෙනි හා දෙවැනි ලෝක යුද්ධ ඉවරවුණාට පස්සේ ඔය ප්‍රශ්නයම ලෝකයට ආවා. ඩාඩාවාදීන්, අධියථාර්ථවාදීන් හා අභූත රූපවාදීන් වැනි නිර්මාණකරුවන් ඉරිදිපත් වුණේ ඒ භයංකර නිහඬතාව බිඳින්න. බ්‍රෙෂ්ට්ගෙ අදහස්වලටත් මේ පසුබිම බලපෑවා. ඒ කාලෙට වඩා වෙනස් කාලෙක අද අපි ජීවත් වුණත්, යුද්ධය වැනි අත්දැකීමකට මිනිස්සු විදිහට කොහොමද අපි මුහුණ දෙන්නෙ කියලා බලන්න ඕන.


මේ නාට්‍යය සඳහා ඔබ පදනම් කරගන්නේ කුමාරි කුමරගමගේගේ කවි හා බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ කවි. ලාංකික කිවිඳියකගේ හා බ්‍රෙෂ්ට් වැන්නකුගේ කාව්‍ය නිර්මාණ ගැලපීමේදීත්, ඒවා නාට්‍ය වැනි වෙනස් ම ප්‍රකරණයකට ගෙනඒමේදීත් මොනවද මතුවෙච්ච අභියෝග ?

ඇත්තටම අපි මේක ඉස්සෙල්ලාම පටන්ගත්තෙ කුමාරි කුමාරගමගේගේ කවි වලින්. ඇගේ කවි කියවපු ගමන්, මට රූප මැවෙන්න ගත්තා. නමුත් ඒ අසංවිධිත රූප මොන දිශානතියකට ද යන්නේ කියන එක මුල් අවස්ථාවේ මම දැනන් හිටියේ නෑ. ඊට පස්සේ අපි නළු නිලියෝ, සංගීතඥයෝ වගේ සමූහයක් එකතුවෙලා කවි දෙක තුනක් අරගෙන කිසියම් විදිහක ගවේෂණයක් කරන්න ගත්තා. ඒකෙ ප්‍රතිඵලයක් තමයි නොදුටු ඇස්.

රටවල් දෙකක, දෙවිදිහක නිර්මාණකරුවන්ගේ කවි කොහොමද වේදිකාවට ගේන්නේ කියන කාරණය අභියෝගයක් තමයි. කොහොම වුණත් අපි මේක පටන්ගෙන දැන් අවුරුද්දක් විතර කාලයක් වෙනවා. ඒ කාලෙදි අපි ඔබ මතු කළ ආකාරයේ අභියෝග එක්කම තමයි වැඩ කළේ. සමහර දවස්වල අපි පැය දොළහක් විතර වැඩ කළා. අන්තිමට හිතෙනවා මේක හරියන්නෙම නෑ කියලා. ඊට පස්සෙ හිස් අතින් ගෙදර යනවා. නමුත් ඒ විදිහේ වෑයමකින් කරපු හැම දේම එකතු වෙලා තමයි අන්තිම ප්‍රකාශනය හැදුනේ.

අපි මේ නාට්‍ය ගොඩනැගුවේ පිටපතක් තියාගෙන නෙමෙයි. නාට්‍ය ගොඩනගද්දි අපි ළඟ තිබ්බේ අදහසක් විතරයි. නලු නිලියෝ, සංගීතඥයෝ, වීඩියෝකරුවෝ සහ අධ්‍යක්ෂ වගේ ඔක්කොම එකතුවෙලා ඒ අදහස එක්ක පටන්ගන්නවා පර්යේෂණ කරන්න. ඒකට අපිට  Devised theatre  කියන සංකල්පය බලපෑවා. අපි පිටපතක් තියාගෙන නාට්‍ය නිර්මාණය නොකරපු නිසාම වෙන්න ඇති, මේ වෙලාවේ පෙන්නන්නේ කලින් පෙන්නපු නාට්‍ය දර්ශනවලට වඩා ටිකක් වෙනස් නාට්‍යයක්. මගේ කලින් නාට්‍යය වන තට්ට ගායිකාවට වඩා නොදුටු ඇස් වෙනස්වන ප්‍රධාන තැනක් ඒක.




කුමාරි කුමාරගමගේගේ කවි හරහා අධ්‍යතන ලාංකීය දේශපාලනය අල්ලගන්න ගමන්ම ඔබ බ්‍රෙෂ්ට් හරහා මේ නාට්‍යයට දාර්ශනික හා විශ්වීය පදනමක් දෙන්න උත්සාහ කරන බවක් පේනවා ?

ඔව්. එක්තරා විදිහට කුමාරි කුමාරගමගේගේ කවි වලට පාදක වෙන්නේ උතුරෙයි නැගෙනහිරයි සාමාන්‍ය දෙමළ මනුෂ්‍යයාට වෙන ඒ වේදනාවයි පීඩනයයි. නමුත් යුද්ධය වැනි කාරණා නිසා, විශේෂයෙන් සාමාන්‍ය මිනිස්සු අසරණ වීම ලංකාවට විතරක් පොදු එකක් නෙමෙයිනෙ. ඒ නිසා අපි හිතුවා මේක වෙනස් තලයකට යාකරන්න ඕන කියලා. ඒ තල දෙක යා කරන්න තමයි අපි බ්‍රෙෂ්ට් සම්බන්ධ කරගන්නේ.

එක අතකින් ගත්තාම බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ ‘දිරිය මව සහ ඇගේ දරුවෝ’ කියන්නේ යුද්ධය ගැන තියෙන ප්‍රබලම නාට්‍යයක්. යුද්ධය නිර්මාණය කිරීම සඳහා කොහොමද ආර්ථික, දේශපාලනික හා ආගමික ගතිකයන් වැඩ කරන්නෙ කියන කාරණය දිහා බ්‍රෙෂ්ට් සියුම්ව බලනවා.

උඩ සිටිනා උන් පවසයි මේ ලෙස
යුද්දෙයි සාමෙයි තැනී තිබෙන්නේ
වෙනස් වෙනස් හරයන් වලිනුයි
එනමුදු උන්ගේ සාමය
එනමුදු උන්ගේ යුද්ධය
කුණාටුවයි සුළඟයි වාගෙයි

උන්ගේ යුද්ධය මරා දමයි
උන්ගේ සාමය ඉතිරි කරපු සැම දේ
තාප්පයක ලියවුණේ ය යුද්ධය ඕනයි කියලා
ඒක ලියපු මිනිහා දැනටම යුද්දෙන් මැරිලා

වගේ අදහස් බ්‍රෙෂ්ට් හරහා මතුවෙන්නෙ ඒකයි. ඒ නිසා කුමාරි පෞද්ගලික තැනකින් ආරම්භ කරන ප්‍රබල තලයට බ්‍රෙෂ්ට් ගෙන ඒම මගින් තවත් තල ගණනාවක් එකතු වුණා කියන්න පුලුවන්.

කලින් කිව්වා වගේ බ්‍රෙෂ්ට්ගේ අදහස් සඳහා ලෝක යුද්ධ පිළිබඳ අත්දැකීම් බලපෑවා. ඒ කාරණා අතීතයට විතරක් අයිති දේවල් නෙවෙයි. වර්තමානය දිහා බැලුවහාම පේනවා, හැම මොහොතකම අපි ගත කරන්නේ තවත් යුද්ධයක් ඇති වීමේ අනතුර ඉදිරිපිට කියලා. ඒක ජාතික වශයෙන් සහ ගෝලීය වශයෙන් පවතින තත්වයක්. මේ මොහොත වනවිට ඇමරිකා එක්සත් ජනපදයේ හෙජමොනිය බිද වැටෙමින් පවතිනවා. අනික් අතට චීනය නව ගෝලීය ආර්ථික ප්‍රමුඛයෙකු වශයෙන් මතුවෙමින් සිටිනවා. නමුත් චීනය කේන්ද්‍ර කරගත් ගෝලීය හෙජමොනියක් හැදිලත් නෑ. ඒ වගේම යුරෝපා සංගමය බිද වැටෙමින් පවතිනවා. මේ නිසා මේ බලවත් රාජ්‍යයන් අතර විශාල බල ගැටුමක්, වෙළද යුද්ධයක් සහ ආතතියක් ගොඩනැගෙමින් තියෙනවා. උදාහරණයක් විදිහට, දකුණු චීන මුහුදේ ඇමරිකා එක්සත් ජනපදයේ යුධ නැව් රාශියක් දැනටමත් ස්ථානගත කරලයි තියෙන්නේ. චීනය සහ රුසියාව විසිනුත්, එක්සත් ජනපදය සහ අනෙකුත් යුරෝපීය රාජ්‍යයනුත් සිය යුධ අභ්‍යාස සහ මිලිටරිකරණය විශාල වශයෙන් පුළුල් කරමින් ඉන්නවා. මැද පෙරදිග කලාපයේ ගැටලු වලට, ඒ කියන්නේ ඉරානයේ න්‍යෂ්ටික අර්බුදය, සිරියාවේ සහ ලිබියාවේ සිවිල් යුද්ධ වගේ ප්‍රශ්නවලට එක්සත් ජනපදය, චීනය, රුසියාව වැනි බලවතුන් ප්‍රතිවිරුද්ධ පාර්ශ්ව වලින් මැදිහත් වී තිබෙනවා. වෙනිසුලාවේ තත්ත්වයත් එහෙමමයි. ඉන්දියාවයි පකිස්තානයයි අතර දැන් පැනනැගිලා තියෙන ආතතියෙනුත් මහා න්‍යෂ්ටික යුද්ධයක අවදානම මතුකරනවා.



මිනිසා මිනිසා සමග කරන යුද්ධයට අමතරව මිනිසා ස්වභාව ධර්මය සමග කරන යුද්ධයකුත් මේකට එකතු වෙලා තියෙනවා. සති ගණනක් ගිනිගන්නා ඇමසන් වනාන්තරය, අප්‍රිකා මහාද්වීපයේ ගිනි, ලෝකයේ විශාලම කොරල්පරයේ අවසානය, ග්ලැසියර් දියවීම, මිනිසා විසින් ගොඩනැගන සංවර්ධනය පිළිබඳ කතාන්දර වල ප්‍රතිඵලයක්. මේ සන්දර්භය ඇතුලේ උත්කර්ෂයට නංවන්නේ කොන්ක්‍රීට් වනාන්තර හා උසට ඉදිකරන මහා ගොඩනැගිලි. ඒවා ගොඩනැගෙන්නේ වනාන්තර විනාශ වෙලා ඉතිරි වන කාන්තාර මත, මිනිසුන් ලක්ෂ ගණනක් මරලා, ලේ වලින් තෙත් වුණු පස් මත. ඉතිං මිනිසුන් වශයෙන් අපි විශාල ව්‍යසනයක් අභිමුව නෙමෙයි ඉන්නෙ කියලා කාටවත් පුරෝකථනය කරන්න බෑ.


නොදුටු ඇස් ඔබ හඳුන්වන්නේ පර්යේෂණාත්මක බහුමාධ්‍ය නාට්‍යයක් නමින්. මේ පර්යේෂණාත්මක බහුමාධ්‍ය භාවිතාව මොකක්ද ?

මේ නාට්‍යය තුළ අපි ශානර කීපයක් එකතු කරනවා. Shadow theater  ම නොවුණත්, අපි මෙහිදී සෙවණැලි වෙනස් විදිහකට ගන්න බලනවා. ඒ වගේම පසුබිම සඳහා වීඩියෝ භාවිත වෙනවා. එකකින් එකක් මාරු වෙද්දී හිතාගන්න බැරිවිදිහට තිරය සහ සජීවී අවකාශය කළමනාකරණය කිරීම අපේ තියෙන සීමිතකම් එක්ක ගැටලුවක් තමයි. ඒ වගේම සංගීතය, චලනය වගේ විවිධ ශානරයන් නිර්මාණාත්මකව එකතු කරන්නේ කොහොමද කියලා අපි මේකෙදි අත්හදා බලනවා. නමුත් අපේ වැඩමුලු අවකාශය තුළත් බහු රූපී තත්ත්වයක් තියෙනවා.

අපි මේ නාට්‍ය ගොඩනගන්නේ අවම පහසුකම් යටතේ. මම ආචාර්ය උපාධිය කරන කාලේ මට අමතක නොවන අත්දැකීම් කිහිපයක් ලැබුණා. එකක් තමයි එඩින්බරෝ නාට්‍ය උළෙලට සහභාගී වීමට හැකි වීම. ඒකෙ දවසකට නාට්‍ය දෙදාහක් විතර පෙන්නනවා. ඉතිං අපි දවසකට ගිහින් නාට්‍ය හතරක් පහක් බලද්දි අපිට ලෝකයේ අලුත්ම නාට්‍ය පර්යේෂණ දකින්න ලැබෙනවා. අපේ රාජ්‍ය නාට්‍ය උළෙල, නාට්‍ය තරග වගේ ඒවගෙන් ගන්නවට වඩා සෑහෙන වෙනස් අත්දැකීමක් ඒක. ඉතිං අපිට තියෙන මේ සීමිත අවකාශයේ ඒ තාක්ෂණික අත්දැකීම් ඒ විදිහට ම ගන්න අමාරු වුණත්, ඒ දේවල් මෙතනදි වැදගත් වුණා.



සංවාදය - ප්‍රසාද් නිරෝෂ බණ්ඩාර (2019. 09. 22 'රාවය' පුවත්පතේ පළවූවකි)

0 comments: