Hot!

ඉසුරු සුභසිංහ ලංකාව දියුණු කරන්නේ කොහොමද ?



සංවර්ධනය කියන්නේ මේකද ? 

උදේ සවස පැය දෙකක් පුරාවට පෞද්ගලික බස් රථයකට නැගලා කොළඹ පිහිටි රජයේ කාර්යාලයට දිනපතා උදේ හවස ඇදෙන අතරමඟදී නිදිකිරා වැටි වැටී එන අතරේ ජීවිත අරගලයට පොර බදින මිනිස්සු වගේම ඉමක් කොණක් නොපෙනෙන ගොඩනැගිලි දකිද්දි මගෙන්ම ප්‍රශ්න කරන්නේ, සංවර්ධනය කියන්නේ පේනතෙක් මානේ පෙනෙන අහස උසට ඉදිවුණු ගොඩනැගිලි ද ?, හිස් ලූලූ අත ඇදෙන වාහන පේළි ද ?, නැත්නම් තැන තැන ගොඩගැහුණු ගඳ ගහන කුණු කඳු ද ?, උදේ සවස මූණේ සිනා පොදක් නොපෙනෙන (මාත් ඇතුළුව) ජීවිත අරගලය වෙනුවෙන් පොරකන මිනිස් හිස් ? පමණක්මද ? කියලා. 

ඇත්තටම, රටක දියුණුව කියන්නේ ඒ දේවල් පමණක්මද ?. මීට වඩා උසස් ජීවන තත්ත්වයකට යන ගමනේදී, මිනිස්සුන්ගේ ජීවන තත්ත්වය උසස් කරන්න 2020 ජනාධිපති අපේක්ෂකයෝ සතුව තිබෙන ප්‍රතිපත්ති මොනවාද ? ඒ ප්‍රතිපත්ති මෙරට සංවර්ධන මාවත කරා ගෙනයන්න හැකිවෙනවාද ? යන කාරණේ ගැන තමන්ගේ ඡන්දය පාවිච්චි කරන්න පෙරාතුව ඡන්ද දායකයෝ කීයෙන් කීදෙනෙක් නම් හොයාබලනවාද ?. 

මෙරට ආර්ථික ස්ථායිතාව ඇතිකරලා අතමිට සරු හෙටක් මිනිස්සුන්ට උරුම කරලා දෙන්න ලොකු ලොකු පක්ෂ වලින් වගේම ස්වාධීනව ඉදිරිපත් වන අපේක්ෂකයෝ තමන්ගේ ප්‍රතිපත්ති ප්‍රකාශන තුළ කෙතරම් ඉඩක් ලබාදීලා තියෙනවද ?. රටේ මූල්‍ය හා වෙළඳාම ගැන ඔවුන් දක්වලා තියෙන අවධානය කෙබඳුද ? කියලා හොයලා බලන්න හිතුවා. 

ජනපති අපේක්ෂකත්වය 

මේ ගැන හොයාබලන අතරතුරදී 2020 ජනාධිපතිවරණ උණුසුම සමාජ මාධ්‍ය පුරා පැතිර යද්දි ජනාධිපතිවරණයට තරඟ වදින්න සූදානමින් ඉන්න තරුණ අපේක්ෂකයෙකු වන ඉසුරු සුභසිංහ ඉදිරිපත් කරලා තියෙන ප්‍රතිපත්ති ප්‍රකාශනයේ අහම්බෙන් වගේ දකින්න ලැබුණා.

ඉසුරු සුභසිංහ සංවර්ධනය විදියට දකින්නේ, මිනිස්සුන්ට නිදහසේ සිනාසෙන්න හැකි, තුන්වේලම කුසට ආහාර ඇති, එකිනෙකාට ගරු කරන, අම්මාට, අක්කට, නංගිට, බිරිඳට තම පෙම්වතියට රෑ 10ට උනත් පාරේ බැහැලා තනියම යන්න පුළුවන්, දක්ෂයට නිසිතැන දෙන, වංචාව දූෂණය අවම වුණු, රටේ දේශපාලඥයාගේ ඉඳලා කම්කරුවා දක්වා වුණු පිරිස රජයේ රෝහලෙන් බෙහෙත් ලබාගන්න, මුළු ලංකාවම ආවරණය වෙන කාර්යක්ෂම පොදු ප්‍රවාහන සේවාවක් පාවිච්චි කරන, රටේ පොදු නීතියට යටත්, නිදහස් නිවහල් රටක්. 

ඉසුරු සුභසිංහගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ තිබෙන ප්‍රමුඛතම කාරණයක් වෙන්නේ ‘Made in Sri Lanka - ලංකාවට නිමි භාණ්ඩ ගෙන්වීම වෙනුවට ලංකාවේ නිෂ්පාදිත නිමි භාණ්ඩ ලෝකයේ හැමතැනටම බෙදාහැරීම කියන සංකල්පයයි.  

ඔහු ඉදිරිපත් කරන ආර්ථික විසඳුම ප්‍රධාන කොටස් තුනකින් සමන්විත වෙනවා.   

ඉන් පළමුවැන්න වන්නේ, ආර්ථිකය කඩිනමින් යථා තත්ත්වයට පත්කරන්න ආර්ථික විවිධාංගීකරණය හා ස්ථාවරත්වය ඇතිකිරීමයි, මූල්‍යමය හා සහන උත්තේජනය මගින් බාහිර වෙළඳාමේ ශේෂය වැඩි දියුණු කිරීම, රජයේ අනවශ්‍ය වියදම් කපාහැරීම, සමස්ත ලංකාවටම බලපැවැත්වෙන ලෙසට රජයේ සහ පුද්ගලික අංශයේ අනිවාර්ය බලශක්ති ඉතිරි කිරීමේ හා අනිවාර්ය මූල්‍ය ඉතිරි කිරීමේ වැඩපිළිවෙළක් දියත් කිරීම මේ අතරට ඇතුළත් වෙනවා. මෙහිදී විද්‍යාව හා නිසි තාක්‍ෂණය හැකි සෑම විටම භාවිතයට ගැනීමට යත්න දරන බවටත් ඔහු පොරොන්දු වෙනවා. 

දෙවැනි කරුණ වන්නේ, රටේ ප්‍රධාන සම්පත වන මිනිසුන්ගෙන් උපරිම දායකත්වය ලබාගැනීමට නව රැකියා නිර්මාණය හා සමාජ මට්ටම ඉහළ නැංවීමේ අරමුණින් මානව සම්පත් ආයෝජනය වැඩි කිරීමයි. සමාජ සුබසාධන වැඩසටහන් මගින් සමාජයේ දුප්පත්ම සාමාජිකයින්ට අඩු තරමින් මූලික පහසුකම් හෝ ලබා දීම වැදගත් වෙන බවත්, අධ්‍යාපන ක්ෂෙත්‍රයේ ප්‍රතිසංස්කරණ, 100% නිදහස් අධ්‍යාපනය තහවුරු කිරීම, හා ආර්ථික ක්‍රියාවලිය සඳහා තරුණ තරුණියන් සවිබල ගැන්වීම නව ආර්ථික සැලැස්මේ තවත් ප්‍රධාන අංගයක් වෙන බවත් ඔහු දක්වනවා. මෙම සැලැස්මට අනුව ව්‍යසායකත්වය (entrepreneurship) නව නිපැයුම් සඳහා උනන්දු කරවීමත්, ඉදිකිරීම් හා කෘෂිකාර්මික අංශවලට සම්බන්ධ වීමට තරුණ තරුණියන් දිරිමත් කිරීමත් සිදුවෙනවා. 

ආර්ථිකය තරඟකාරී කරවීමට අවශ්‍ය ප්‍රතිපත්ති යෝජනා කරන ඉසුරු සුභසිංහ සිය ප්‍රතිපත්ති තුළින් පෙන්වා දෙන්නේ ව්‍යාපාර පවත්වාගෙන යාමට සහ ආරම්භ කිරීමට ඇති අනවශ්‍ය බාධා ඉවත්කරමින් දුර්වල හෝ දැනට නොපවතින යටිතල පහසුකම් ආදියේ සංවර්ධනය ඇතිකිරීමයි. ඒවගේම, හැම දිස්ත්‍රික්කයකම වල පොදු යටිතල පහසුකම් සංවර්ධනය කෙරෙහි අවධානය යොමුකරන අතර  මේ මගින් සියලුම දිස්ත්‍රික්ක වල ආර්ථික මධ්‍යස්ථාන 25ක් සංවර්ධනය කරන්නටත් නියමිතයි. ‘ගෝලීය ව සිතන්න දේශීයව වැඩ කරන්න (Think Globally, Act Locally)’ කේන්ද්‍ර කරගත් ඒ ඒ දිස්ත්‍රික්ක වලට ආවේණික සාධක සහ නිෂ්පාදන මත පදනම්වූ ආර්ථික කලාපයන් පිහිටුවීම සහ මනාව පවත්වා ගෙන යාමත් මෙහිදී සිදුවෙනවා. ඒ විතරක් නෙමෙයි අලුත් ප්‍රවේශයකින් අපේ දේ අගයන අපේ දේ වලට ප්‍රමුඛත්වය දෙන ව්‍යාපාරික හිතකාමී වාතාවරණයක් ඇතිකරන්නත් ඔහු පොරොන්දු වෙනවා. 

ක්ෂුද්‍ර මූල්‍ය සමාගම් වලට මොකද කරන්නේ ? 

හතු පිපෙන්නාක් මෙන් බිහිවෙන මූල්‍ය සමාගම් බිහිවීමට හා ඒවායින් අධික පොළියකට ජනතාවට ණය පහසුකම් සපයන නිසාම දිළිඳු පවුල් වල කාන්තාවන්ට දැඩි අභියෝගයකට මුහුණදෙන්නට මෑතකාලයේදී සිදුවුණා. මේ නිසාම සියදිවිනසාගැනීම් මෙන්ම පවුල් කැඩී බිඳී යාමත් දක්නට ලැබුණා. මෙවැනි මූල්‍ය සමාගම් වලින් අධික පොළියට සිදුකරන ණය සැපයීම් වෙනුවට මූල්‍ය සමාගම් පනත සංශෝධනය කරන්නට ඉසුරු සුභසිංහ සූදානම්. ඒ අනුව තැන්පතු මෙන්ම ණය සඳහා ද අය කරන පොළිය ස්වභාවික ආර්ථික වර්ධන රටාවට සමගාමීව හා ණය මුදල ලබාගන්නා කාරණය තුළින් පහසුවෙන් නැවත ගෙවිය හැකි මට්ටමේ පොළී අනුපාතයක් ඇතිව මුදාහැරීම අනිවාර්ය කිරීමේ විධිවිධාන පනවනු ඇත. 

විනිමය පාලන ආඥා පනත ශක්තිමත් කිරීම 

විදෙස් රටවල ව්‍යාපාරිකයින් මෙරට තුළ සිදුකරන ආයෝජන වලින් වැඩි මුදලක් නැවත එම රටවලටම ඇදී යනවා. මෙවන් වරදක් නැවත සිදුනොවන්නට නම් විය යුත්තේ කුමක්ද ?. විදේශ ආයෝජකයින් අධෛර්යයට පත් නොකොට මෙරට තුළම මුදල් රඳවා තබාගැනීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමයි. විනිමය පාලන ආඥා පනත වඩ වඩාත් ශක්තිමත් කිරීම තුළින් ලංකාව තුළ අයකරන ආයෝජන වලින් ඉපයෙන ධනය විදේශයන් කරා පාලනයකින් තොරව ඇදී යාම සීමා කෙරෙන අතර මෙරටට පිටතින් සිදුකෙරෙන මුදල් තැන්පත් කිරීම හෝ ආයෝජනය අනුදැනුමකින් හා පාලනයකින් තොරව සිදුවීම වැළකෙනවා. 

ජනතාව තලා පෙළන බදු වෙනස් කරන්නේ කොහොමද ? 

මහජනතාවගෙන් අයකර ගන්නා බදු, ආර්ථිකයට දැවැන්ත ශක්තියක් ගෙනදුන්නත් ඉන් පීඩාවට පත්වන ජනතාව ගැන ජනාධිපතිවරණ අපේක්ෂකයින් ඇත්තටම සිතාබලනවද ? යන්න දැවැන්ත ගැටළුවක්. ඉසුරු සුභසිංහ අනාගත ජනාධිපතිවරණ අපේක්ෂකයාගේ බදු ප්‍රතිපත්ති මොනවාද ?. 2009 දී හඳුන්වා දුන් ජාතිය ගොඩනැගීමේ බද්ද සම්පූර්ණයෙන්ම අහෝසි කරන ජනතාවට හා ව්‍යාපාරිකයින්ට සහනයක් ලබාදීමටත් එම ආදායම පියවාගැනීමට දේශීය නිෂ්පාදනය ඉහළ නැංවීමටත් සූදානම්. 

අපි නොදැන කෙතෙක් නම් බදු අපෙන් අයවෙනවාද ?. බස් ප්‍රවේශ පත්‍රයෙන්, එළවළු, සහල් වලින් පවා බදු අයවුවත් නැවත ඒ බදු මුදල් මහජනයාගේ ජීවිත සුඛිත මුදිත කිරීමට ඔවුන් වෙත පැමිණෙනවාද ?. මේ ගැටළුවට පිළිතුරු යෝජිත බදු ප්‍රතිපත්තිය මගින් සැපයෙනවා. වැට් බද්ද ක්‍රියාත්මක වෙන විදිය, තෙල් මිල වැනි ජනතාවගේ ජීවන වියදමට සෘජු ලෙස බලපාන නමුත්, නොදැනුවත්ව ගෙවන්නට සිද්ධ වෙලා තියෙන බදු පිළිබඳ වඩා පුළුල් පරීක්ෂණයක් දියත් කර අවශ්‍යතාව සොයා බලා රජයේ වියදම් පියවාගැනීමට ජනතාවට සහන ලබාදිය හැකි අන්දම ගැන ඔහු සොයාබැලීමට නියමිතයි. තැලී පෙලෙන මිනිස්සුන්ගේ රසාස්වාදය සඳහා තිබෙන සිනමාශාලා වලින් අයකරන විනෝද බද්ද මුළුමනින්ම අහෝසි කිරීමට ද සූදානමින් ඉන්නවා.

රැකියා වෙළඳපලට මොකද කරන්නේ ? 

ජනපතිවරණයක් සමීප වන හැමවිටදීම දකින්න ලැබෙන්නේ ලංකාවේ රැකියා වෙළඳපල ජාත්‍යන්තර තලයට සරිලන ශිල්පීය හැකියාවන්ගෙන් සමන්විත නැති බවත් තමන් බලයට පත්වුණාට පස්සේ ඊට අවශ්‍ය වෙනස්කම් සිදුකරන බවටත් වුණු ව්‍යාජ කතා. නමුත්, මේ වෙනස කිසිදින සිදුනොවීම මහත් ඛේදවාචකයක්. මෙම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව රැකියා අවස්ථා හැකිතරම් දුරට අන්තර්කරණය කෙරෙන අතර රැකියා වෙළඳපලට සරිලන ලෙස හාම්පුතුන්ගේ මෙන්ම රැකියා අපේක්ෂකයින් තුළද ආකල්පමය වෙනසක් ඇතිවෙනවා. මෙරට රැකියා වෙළඳපල ගත්විට පිරිමින්ට පමණක් නියැලිය හැකි රැකියා හා කාන්තාවන්ට පමණක් නියැලිය හැකි රැකියා පමණක් යනුවෙන් ලිංගිකත්වය පදනම් කරගනිමින් රැකියා භේදයක් නිර්මාණය කිරීම සමාජ සම්මතය වෙලා තියෙනවා. නමුත්, ඇත්තටම කාන්තාවන්ද පිරිමින් වගේම ශක්තිසම්පන්නයි. විශේෂයෙන්ම, රටේ ආර්ථිකයට දැවැන්ත දායකත්වයක් දක්වන කාන්තාවන්ට සමහරවිට රැකියා ස්ථානයේදී පවා නිසි ගෞරවයක් නොලැබී යන අවස්ථා තිබෙනවා. මේ තත්ත්වය සමනය කරලා සමාජයේ තිබෙන වැරදි මත වෙනස්කර යහපත් ආකල්පමය වෙනසක් කරා යාම, විශේෂයෙන්ම, කාන්තාවන්ට වැඩබිම තුළ සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කරදීම නිසැකවම සිදුවේවි. 

මහ බැංකුවේ ධනාත්මක ප්‍රතිසංස්කරණ ඇතිකිරීම 

දත්ත පමණක් ඒකරාශී කරලා වාර්ෂික වාර්තා සකස් කර එළිදැක්වීම වෙනුවට අපේ රටේ ආහාර භෝග වගාව, භූමි භාවිතය හා කළමනාකරණය වගේ විෂයන් ගැන සොයාබලන අමාත්‍යංශ හා දෙපාර්තමේන්තු එක්ක සක්‍රිය ලෙස කටයුතු කරන අතරතුරදී උපදෙස් සපයන්න වගේම තීරණ ගන්න සහයවෙන්න මහ බැංකුවට ඇති වගකීම මීට වඩා පුළුල් කරන්න ඔහු සූදානම්. 

පාඩු ලබන රාජ්‍ය ආයතන මහ බැංකුවේ නියාමනයට යටත් කිරීම හා ඒවා ලාභ ලබන ආයතන බවට පත්කර කාර්යක්ෂම කිරීමේ අරමුණින් රාජ්‍ය ව්‍යවසායකත්වය හා ව්‍යාපාර සංවර්ධනය හා කළමණාකරණයට වෙනමම දෙපාර්තමේන්තුවක් මහ බැංකුවේ ස්ථාපිත වේවි. මේ ආයතන කළමණාකරණයේදී පුද්ගලික අංශයේ කළමණාකරණය මෙන් ශක්තිමත් කිරීමේ අභියෝගයට මුහුණ දෙන්න ඔහු සූදානම්. සහභාගීත්ව කළමණාකරණය ඉසුරු සුභසිංහ ප්‍රමුඛ රජයකින් ප්‍රවර්ධනය කිරීම මූලික අරමුණ වී තිබෙන අතර සේවකයෙකුගේ හෝ සේවක කණ්ඩායමකට එ‍රෙහිව කළමණාකාරීත්වය බොරු චෝදනා දක්වමින් ද්වේශ සහගත ලෙස තීරණ ගෙන ඇතැයි තාර්කිකව ඔප්පු කළහැකි අවස්ථාවකදී හැර කළමණාකරණ තීරණ වලට ධනාත්මක ලෙස මිස ඝෘණාත්මකව මැදිහත්වීමද වෘත්තීය සමිති වලට ද තහනම් වේවි. මේක කිසිසේත්ම මර්දනයක් නොවන වග සිහිතබාගත යුතුයි. මේ වගේ කටයුතු මගින් පටු දේශපාලන අරමුණු මුල්කරගෙන සේවකයින් තලා පෙලා දැමීමට ද වෘත්තීය සමිති වලට හැකියාවක් ලැබෙන්නේ නැහැ. 


 

  විදේශ ආයෝජන ප්‍රවර්ධනය 

පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් පස්සේ අපේ රට ගැන ජාත්‍යන්තරයේ දැඩි කතාබහක් මතුවුණා. විශේෂයෙන්ම, ආර්ථිකයට ශක්තියක් එක්කරන විදේශ ආයෝජන අහිමිවීමේ දැඩි අවධානමකට මුහුණදෙන්නටත් සිදුවුණා. අභියෝග හමුවේ නැවත නැගී ඉන්න දරන උත්සහයේදී විදේශ ආයෝජන ගෙන්වා ගන්න වුවමනා වෙන අපේ රටට වාසිදායක ප්‍රතිපත්ති සම්පාදනය කරලා ඒ මුදල් මෙරට තුළ රඳවා තබාගැනීම ද අත්‍යවශ්‍ය වෙනවා. මේ නිසාම ඉසුරු සුභසිංහ යෝජනා කරන්නේ සෘජු විදේශ ආයෝජනය ප්‍රවර්ධනය කරන නමුත්, සේවක සූරාකෑම වළක්වන හා සේවය සුරක්ෂිත වන අන්දමේ නීති දැඩි කරලා, සේවකයින්ගේ වගකීම ප්‍රවර්ධන කරන අතරතුර රැකියා අවස්ථා ඇතිකිරීමට රජය වඩා සක්‍රීයව මැදිහත් වන ප්‍රතිපත්තියක්. පුද්ගලික අංශයේ සේවකයින්ට බලපාන කම්කරු නීතීන්හි  විෂමතාවයන් හා සංකූලතා අවම කරන්න පියවර ගන්න නිසා අතිශය පීඩාකාරී පරිසරයක රාජකාරි කිරීමට සිදුවීම මඟහැරී යනවා. 

ආර්ථික දියුණුව වගේම පරිසරය ගැනත් හිතමු 

සංවර්ධනය වෙත යන ගමන්මඟේ තියෙන්නේ ලිපිය ආරම්භයේදී කිව්වා වගේ අහස උසට ඉදිවෙන දැවැන්ත ගොඩනැගිලි, වාහන දුමින් පිරුණු දැවැන්ත නගර, රසායනික පොහොර යෙදූ මිනිස්සුන්ට වසවිස කවන දැවැන්ත ගොවිබිම් පමණක්මද ?. මේ තුළ මිනිසුන්ගේ ජීවිතයට හිතකර දේවල් ඇත්තෙම නැද්ද ?. ඉසුරු සුභසිංහ යෝජනා කරන ප්‍රතිපත්ති තුළ අපි කන බොන දෑ සෞඛ්‍යාරක්ෂිත වීමේ වැදගත්කම ගැන පෙන්වා දී තිබෙනවා. සොබාවිකත්වයට ආදරේ කරන කෙනෙකුට මේ ප්‍රතිපත්ති මාලාව තුළ තිබෙන ආකර්ශණීයම ප්‍රතිපත්තිය විය හැක්කේ ද මේ කාරණේ වන බව නොඅනුමානයි. විශේෂයෙන්ම, රසායනික පොහොර නිසා පසට, ජල මූලාශ්‍ර වලට මෙන්ම භූගත ජලජ ජෛව විවිධත්වයට හානිගෙන දෙන බවත් මේ නිසාම රසායනික පොහොර භාවිතය අවම කරමින් පොහොර සහනාධාරය වැනි තිරසාර නොවන ක්‍රම අවම කිරීමට පියවර ගන්නා අතර මීට විකල්පයක් ලෙස රජය මගින් ස්වභාවික පොහොර කර්මාන්ත ශාලා ඇති කරනු ඇත. රජය මගින් ස්වභාවික පොහොර කර්මාන්ත ශාලා ගොඩනගා මෙවැනි විකල්ප ක්‍රම ගැන පර්යේෂණය වල නියැලෙන පිරිසට බදු සහන, 99 අවුරුදු බදු යටතේ ඉඩම් ආදී සියළු පහසුකම් සැපයීමට නියමිතය. දිගුකාලයක් ගතවන වැඩපිළිවෙලක් වන මෙය ගොවීන්ගේ ආකල්පමය වෙනස හරහා වසර කීපයක ඇවෑමෙන් සාර්ථකත්වයට පත්වෙනු ඇත. කෙසේ වුවත් මෙහි සැබෑ ප්‍රතිඵල අත්වන්නේ පරම්පරා දෙකකින් පසුව බව ප්‍රතිපත්ති ප්‍රකාශනයේ දක්වා තිබෙනවා.  

රටේ ආර්ථිකය ගැන හැමෝම කතාබහ කරන මොහොතක ලංකාව තිරසාර සංවර්ධන මාවතක් කරා ගෙන යා හැකි නායකයෙකු 2020 දී ජනපතිධූරයට පත්කළයුතු බව නිසැකයි. 2015 දී වෙනසක් බලාපොරොත්තුවෙන් ඡන්දය පාවිච්චි කළ අපට හෙට දිනයේදී අපේ මීළඟ පරම්පරාවට වුවමනා හැබෑම වෙනසක් වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන්න සිද්ධවෙනවා. ඉසුරු සුභසිංහගේ විශ්වාසය වන්නේ  ‘අපේ ජීවිත කාලය ඇතුළත මේ ඉලක්කයන්ට ළඟා වෙන්න පුළුවන්’ බවයි. තවදුරටත් අපට වැදගත් වන්නේ මාධ්‍ය මගින් හුවා දක්වන දැවැන්ත පුද්ගල චරිතද ? නැතිනම් මේ පොළව මත දළුලලන්නට හැකි  ප්‍රතිපත්තිද ? යන්න දෙවරක් සිතා බලන්න.   



0 comments: