Hot!

''වේදනාව අප විඳි සතුටේම දිගුවක් විතරයි'' - Call Me By Your Name





 - මහේෂ් හපුගොඩ - 



හමුවීම් හා වෙන්වීම් 

මීට ටික කාලයකට කලින් තිරගත වුන Call Me By Your Name (2017) චිත්‍රපටය ගැන ලංකාවේ යම් ප්‍රමාණයකට විචාර ලියවිලා තිබුණ. මම හිතන්නේ දේශපාලන කතිකාව ඇතුලේ ඉන්න අයත් තම තමන්ගේ මතවාද ඒ ගැන ඉදිරිපත් කරලා තිබුණා. ඒ නිසා මේ පහුවෙච්ච චිත්‍රපටය ගැන යමක් දැන් කියන්න යන්නේ ඇයි කියන ප්‍රශ්නේ මේ වෙලාවේ එන්න පුළුවන්. මේ හදන්නේ ඇත්තටම ඒ ගැන විචාරයක් කරන්න නෙවෙයි. ඒ චිත්‍රපටයේ තියන එක්තරා දෙබසක් ගැන විතරක් කතා කරන්න. මොකද මම කතාකරමින් යන සාකච්චාවට ඒක පහසුවෙන් අදාල කර ගන්න පුළුවන් නිසා. ඒ ඔස්සේ බටහිර සහ පෙරදිග කියන බෙදුම සහ බුද්ධාගම සහ යුදෙව් ක්‍රිස්තියානි කියන චින්තන පද්ධති දෙකේ ගැඹුරු වෙනස්කම් සහ එකඟවන්න පුළුවන් සම-ස්වරතා ගැන යම් අවබෝධයකට එන්න පුළුවන් නිසා. අවම වශයෙන් චින්තනමය තලයේ.

ඇත්තමට Call Me By Your Name චිත්‍රපටය රැගෙන එන්නේ කෙනෙක් කලින් නොසිතුව එකවරම ගොඩනැගුණු මිනිස් හමුවීමක් සහ වෙන්වීමක් ගැන. කතාව දිග හැරෙන්නේ යුරෝපීය පුනරුදයේ හදවත වන ඉතාලියේ ග්‍රාමීය ප්‍රදේශයක නිස්කලංකව ජීවත් වන යුදෙව් ඇමෙරිකානු පුරාවිද්‍යා මහාචාර්ය කෙනෙක් වෙතට වැඩිදුර අධ්‍යයනය සඳහා එන පශ්චාත් උපාධි අපේක්‍ෂකයෙක් ඒ පවුල සමග යම් කාලයක් ජීවත් වෙනකොට ඒ මහාචාර්ය වරයාගේ පුතා සමග ගොඩනැගෙන නොසිතූ සම්බන්දයක් පදනම් කරගෙන.


ආගන්තුක පශ්චාත් උපාධි ශිෂ්‍යයා වෙන්නේ ඔලිවර්. එයා එන්නේ යුදෙව් පසුබිමකින්. මහාචාර්යතුමා ගේ පුතා ඒලියෝ. ඒලියෝ සංගීතය ගැන හොඳ අවබෝධයක් තියන කෙනෙක්. එයා සම්භාව්‍ය සංගීතය අනු පිටපත් කරනවා (transcribe). පොත් කියවනවා. යුරෝපීය ඉතිහාසය ගැන දන්නවා. වෙලාවකට පියානෝ එක වාදනය කරනවා පවුලේ හැමෝගෙම රසවින්දනය වෙනුවෙන්. හිතුනාම පොඩි පොඩි වෙනස් කම් කරලත් play කරනවා. ආගන්තුක අයත් එයාගේ සංගීතය අහනවා. ඒ කියන්නේ එයා සාමාන්‍ය ඉතාලි පවුලක හැදෙන වැඩෙන පුතෙක් යුදෙව් පසුබිමක් තිබුණට. අමුත්තක් නැහැ. සාමාන්‍ය තරුණයෙක් ඉතාලි පෙම්වතියක් ඉන්න. හැබැයි සංවේදී කෙනෙක්.

මේ සාමාන්‍ය පවුල සහ සාමාන්‍ය තරුණයා වෙතට එන ඔලිවර් නම් ඉතින් යුදෙව්වෙක් ම තමයි. හරිම පුද්ගල බද්ධ මනුස්සයෙක්. ටිකක් තමන් ගැනම වූ මාන්නය වගේ යමක් තියනවා. ඒක ටිකක් තමන් අනෙකාගෙන් වෙන් කරන පුද්ගල කේන්ද්‍රීය බවක් වගේ දෙයක්. මේ සුවිශේෂ පුරුෂ යුදෙව් ගතියට (වෙනසට) තමයි ඒලියෝ එයාට බැඳෙන්නේ. එකට කතා කර කර ඉඳල 'අපි එහෙනම් පස්සේ හම්බවෙමු' (later) කියල ඔලිවර් අනික් අයගෙන් පටස් ගාල වෙන්වෙන එක කට්ටියට ම මුලින් ටිකක් අවුල් වගේ වුනත් පස්සේ මේ 'වෙනස' කට්ටියට තේරෙන්න ගන්නවා. ඒලියෝ නම් තේරුම් අරන් නතර වෙන්නේ නැහැ. එයා ඔලිවර් ගේ ආදරේ ඉල්ලා සිටින තැනට ම එනවා.

මුලින් ඔලිවර් ඒලියෝ ගේ ආදරේ ප්‍රතික්ෂේප කළත් ඔහුට ටික කාලයකින් සිද්ධ වෙනවා තමා වෙතට පිරිනැමුණු මේ ආදරේ ට හා කියන්න. ඒ වෙනකොට අපි දන්නවා ඒලියෝ ට ආදරවන්තියක් ඉන්නවා කියල. ඔලිවර්ටත් මේ ආපු ටිකට කෙල්ලක් සෙට් වෙලා. එයාගේ රටෙත් සමහර විට එයාට කෙනෙක් ඇති. මේ මානව සම්බන්දය ත්‍රිව වෙන තැනක් තමයි එයාල යන පාටි එක. පාටි එකේ වාදනය වන Psychedelic Furs ලගේ Love My Way සිංදුව සෑහෙන අර්ථයක් ගේනවා ඒ මොහොතේ මිනිස් මනසේ ශුන්‍ය බව සහ ව්‍යාකුල බව චිත්‍රණය කරන්න. මෙතන ව්‍යාකූල බව කියන්නේ එක් මිනිස් ආදරයක් සහ තවත් එවැනිම මිනිස් ආදරයක් අතර ඇතිවන සංක්‍රාන්ති තත්වය තුල ඇතිවන සාංකාවට (anxiety in transition). පරණ පවුලේ ඉඳන් අලුත් පවුලක් වෙත යනකොටත්, අලුත් රස්සාවකට යනකොටත්, අලුත් මානව සම්බන්දයකදී වුනත්, මේ රටෙන් තව රටකට මුලින්ම යනකොටත්, පක්ෂ මාරු කරන කොටත් මේ අනියත, අනාරක්ෂිත මානසික තත්වය මතුවන්න පුළුවන්. ඔලිවර් ගේ වියරු නැටුම මේ සඳහා හොඳ උදාහරණයක් (හැබැයි මම ඒ රිද්මයක් නැති නැටුමට ආස එයාගේ නැටුම තුල තියන ආත්මයේ හිස්බව විමෝචනය කිරීම නිසා). ඒ නැටුම ගෝලීය චිත්‍රපට රසික රසිකාවියන් අතර ගොඩක් ජනප්‍රියයි.

ඉතින් මේ ආපතික හමුවීම සිද්ධ වෙනවා. හරිම රොමැන්තික විදියට ඒක ගලා යනවා. උණුසුම් ආදරයක්. නිමේෂයෙන් නිමේෂය කැමරාව ග්‍රාමීය ඉතාලියේ සුන්දර තැන් හඹා යනවා. ඒලියෝ ට පලතුරු ගෙඩියක් උනත් පේන්නේ ඒ උණුසුම් ආදරයේ ආශා වස්තුවක් හැටියට. ආශාවට පූර්ණ ඇද වැටීමක් සනිටුහන් වෙන්නේ ඔලිවර් ඒලියෝ ගේ ශ්‍රුකානු සහිත ඒ පලතුරු ගෙඩිය ආශාවෙන් අනුභව කරන කොට. දෙවියන් ට කරන්න පුළුවන් හොඳම ගෞරවය ඒකයි එයාලගේ පැත්තෙන්. සම්බන්දය පැත්තෙන් එයාල පෙන්නනවා සමලිංගිකයින් හැටියට වුනත් එයාලට විෂම ලිංගිකයින් තරම්ම හෝ ඊටත් වැඩියෙන් ආදරය කරන්න පුළුවන් කියල. දෙවියන් ගේ වචනය ඉක්මවා යන්නේ ඔවුන් ආදරය හරහා ම යි. එනිසා සමලිංගික ආදරය ආදරයේ ගැඹුරේ නාමයෙන් පාපයක් වෙන්න බැහැ කියල.

සමරිසි නොවන සමරිසි ප්‍රේමය

ඇත්ත ප්‍රශ්නය වෙන්නේ මේ දෙන්නාම සමලිංගිකයින් නොවීමයි. ඒ ආදරේ ඇතුලේ එහෙම ඇද වැටුනට ඔලිවර් විෂම ලිංගික කෙනෙක්. ඒලියෝ උනත් එහෙමයි. නමුත් එක් නිශ්චිත ජගත් විෂයික නිමේෂයක (cosmic moment) ඒ දෙන්නා සමලිංගික වෙනවා. හරියට දෙන්නම සිගරට් බොන්නේ නැහැ වගේ. සාමාන්‍යයෙන් බොන්නේ නැහැ. ඒත් මේ නිශ්චිත නිමේෂයේ බොනවා. නිශ්චිත හේතුවක් දෙන්න බැහැ ඒ ක්‍රියාවට. ඒක පැවැත්මේ එක් ගැඹුරු කොස්මික නිමේශයක්. සාංද්‍රෘෂ්ටික නිමේෂයක්. සද්ගුරු මට වැදගත් මෙතන දී. පැවැත්මේ වචනයේ අර්ථය (logos) අහෝසි වන තැනදී. නොදැනුමේ නිමේෂයේ දී. ඇයි එහෙම වුනේ කියල කියන්න බැරි තැනදී. සම්භාව්‍ය විදියට කිව්වොත් අපේ දැනුමට ඔබ්බෙන් තියන ආපතික නිමේෂයේ දී.

අන්තිමට ඔලිවර් තමන්ගේ පර්යේෂණ වැඩ අවසන් කරලා ආපහු යන්න දවස පැමිණෙනවා. එතකොට ඒලියෝ අවුල් වෙනවා. එයා කියවන්න ගන්නේ දෙන්නා දෙන්නගේ නම් මාරු කරගෙන කතා කරපු හැටි. ආදරේ ඇතුලේ තමා අනෙකා තුල දියවෙලා ගිය හැටි. තමන්ගේ යුදෙව් පුද්ගල අහම අනෙකා තුල අහෝසි වෙලා ගිය හැටි. කඳු අතරේ රැව් පිළිරැව් දෙන විදියට එකිනෙකාගේ නම් තමන්ගේ නමින් අඬ ගහ ගත්ත හැටි. ආදරේ කියන්නේ එහෙම අරුම පුදුම දෙයක් මිසක් නිකම් ශුක්‍රාණු පහකිරීමේ සෙල්ලමක් නෙවේ කියල මේ සම්බන්දය ඔස්සේ අපිට ඔප්පු වෙනවා.

කෙසේ වුණත් මේ චිත්‍රපටය ගෝලීය අවධානය දිනා ගත්තේ මේ සියළු දේවල් වලට අමතරව චිත්‍රපටයේ අවසාන භාගයේ එළඹෙන එක් ආකාරයකට සායනික කියල කියන්න පුළුවන් ඒලියෝ සහ එයාගේ පියා අතර සිද්ධ වෙන අවසන් සංවාදය නිසා. මෙතන සායනික කියල කිව්වේ සුවපත් කියන අර්ථයෙන්. මේ යුගයේ හුඟක් අය සුවපත් වෙන්න කියන කොට බයයි. මොකද එයාල රෝග ලක්ෂණය විනෝද වෙන නිසා (enjoy the symptom). හරියට ම ධනවාදය ඉවර වෙන්නේ නැත්නම් ඔක්කොමල කැමතියි වගේ. නැති වුනොත් විනෝද වෙන්න දෙයක් නැති වෙනවනේ.

ග්‍රීක රෝම උරුමය ගැන සහ පුනරුද යුරෝපය ගැන හොඳ අවබෝධයක් තියන තාත්තා තමන්ගේ ආදරවන්තයා ගිහිල්ලා විතරක් නෙවෙයි යම් වරදකාරී බවකිනුත් පීඩා විඳින ඒලියෝ ට මෙහෙම කියනවා. 'අප නොසිතන ම වෙලාවක ස්වභාව ධර්මය කපටි විදියට අපගේ දුර්වලම තැන් වලින් රිංගනවා. ඊට පස්සේ ඔයාට ආයේ කිසිම දෙයක් දැනෙන්නේ නැති වෙන්න පුළුවන්. ඔයාට ආයේ කිසිම දෙයක් දැනෙන්න ඕනි නැති වෙන්නත් පුළුවන්. හැම දෙමව්පියකුටම ඕනි තමන්ගේ දරුවා කකුල් දෙකෙන් නැගිටිනවා දකින්න. නමුත් මට එහෙම ඕනි නැහැ. මම ඔබ උනානම් මමත් ඔබ අසලටම එන්න තිබුණා. නමුත් මට එහෙම සම්බන්දයක් තිබුණේ නැහැ.



 

  'වේදනාව කියන්නේ අපි ඒ වින්ද සතුටේම දිගුවක් විතරයි. ඒ නිසා වේදනාව මරන්න ගිහිල්ලා සතුටත් මරා දාන්න එපා'.

'ඔබට දැන් හැඟෙන විදියට ගත්තම දැන් ඔබට වේදනාවක් දැනෙනවා නම් ඒ වේදනාව තවත් ඇති දැඩි කර ගන්න. වේදනාවෙන් ඔබ පිච්චෙනවා වගේ කියල තේරෙනවා නම් ඒ ගිනි දැල්ල මිය යෑමට ඉඩ නොතබන්න. ඒ වේදනාව සමඟ සාහසික නොවන්න. දැන් සාහසික විදියට ඒ වේදනාව මර්ධනය කරන්න අප කරන සෑම දෙයකින් ම අවුරුදු තිහක් වෙනකොට වෙන්නේ අප ආශාවන් ගෙන් බංකොලොත් වෙලා යන එක. අලුතෙන් අපට හමුවන කෙනෙකුට දෙන්න තරම් ආදරයක් අප තුල ඉතිරි නොවන එක විතරයි දැන් ආශාවත් සමඟ කරන කෘර ගණුදෙනුවෙන් වෙන්නේ. හැඟීම් නිසා වේදනා උපදින නිසාවෙන්ම කිසිම දෙයක් නොහැඟෙන විදියට අපේ හැඟීම් මරල දැමීම කොතරම් අපරාදයක් ද?'

'වේදනාව කියන්නේ අපි ඒ වින්ද සතුටේම දිගුවක් විතරයි. ඒ නිසා වේදනාව මරන්න ගිහිල්ලා සතුටත් මරා දාන්න එපා'. ගිනි උඳුන ළඟ ඉද ගන්නා ඒලියෝ රූරා හැලෙන කඳුළු ඔස්සේ තමන්ගේ වේදනාව දියකරලා දානවා. මට සිහිවුනේ කවබතා ගේ 'කුඩා ඉශු නළඟන' කෙටි කතාව.

වේදනාව සුවපත් කරගන්න කෙටි පාර (short circuit) හැටියට අපි කරන්නේ වේදනාව ඇතිකරපු කෙනාට වෛර කරන එක. එයා දුන්න සතුටට වුනත් කෘර වෙන එක. හැබැයි ඒකෙන් විනාශ වෙන්නේ අපිමයි. වෛරය වෙනුවට ඉවසීම, මෛත්‍රිය, කරුණාව වගේ දේවල් දැන් බටහිර විසින් ම ගෝලීය තේමාවන් ලෙස විකසිත කරමින් සිටිනවා. මේ චිත්‍රපටය වුනත් ඒකට හොඳ උදාහරණයක්. මිනිස්සු විවිධ නිමේෂයන් ඇතුලේ ආපතික ලෙස විගලිත භාවය අත්විඳින නව ලෝකයක් මේක. ඇත්තටම තියෙන්නේ ආර්ථික-ශ්‍රම විගලිත බව විතරක් නෙවෙයි. නව ආත්ම මූලික අත්දැකීම මේ යුගයේ මිනිස්සු අත්දකිමින් ඉන්නවා. ඉශිගුරෝ, මුරකමි වගේ අය ගෝලීය සාන්දෘස්ටික කේන්ද්‍රයේ ගොඩක් ජනප්‍රිය මේ නිසා. මිනිස් අරගලය සුවිශේෂ සාන්දෘස්ටික බවක් අත්පත් කර ගනිමින් සිටිනවා. බහුත්වයන් ඉවසන සුළු, නූතන බවේ බහුවිධ විගලිතභාවයන් ඒකාත්මික ලෙස අවශෝෂණය කර ගන්න හැකියාව තියන පුළුල් ප්‍රජාතාන්ත්‍රික අවකාශයක් ගැන එසේනම් අපිට මේ යුගයේ හිතන්නට වෙනවා.

අනාගත අරගල භූමිය ගොඩක් සංකීර්ණයි කියන්නයි මට මේ චිත්‍රපටය හරහා ඕනි උනේ.


0 comments: