Hot!

යහපාලනයේ අඩුපාඩු නිසා අධිකාරීවාදියෙකු තේරාගන්නවාද ? (2)





- මනිලාල් දිසානායක -




දණ්ඩමුක්තිය

දේශපාලනික න්‍යාය පත්‍රයක් ඔස්සේ සිදු නොකරන ලද තවත් අපරාධ තිබුණි. ඒවා ක්‍රියාත්මක කෙරුණේ හමුදා නිලධාරීන් විසිනි. මේ අපරාධ ගැන රාජපක්ෂ ආණ්ඩුව අහක බලාගෙන සිටියේය. උදාහරණයක් වශයෙන්, මේ වන විට පොලිස් පරීක්ෂණ මගින් හෙළිදරව් කරගෙන තිබෙන, නාවික හමුදාවේ නිලධාරීන් කිහිප දෙනෙකු විසින් කප්පම් ලබා ගැනීම සඳහා පොහොසත් පවුල්වල දරුවන් පස් දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධිය ගත හැකිය. මෙවැනි අපරාධ සඳහා නාවික හමුදාවේ ඉහළ තැන්වලින් අපරාධකරුවන්ට රැකවරණය සහ අනුග්‍රහය ලැබුණු බව පොලිස් විමර්ශන වාර්තා පෙන්වා දෙයි. දරුවන් නිදහස් කොට එවන බවට පොරොන්දු වෙමින් පැහැරගත් දරුවන්ගේ දෙමාපියන්ගෙන් යම් කාලයක් තිස්සේ මේ අපරාධකරුවන් කප්පම් ලබාගෙන තිබේ. එහෙත් කිසිදාක ඒ දරුවන් නිදහස් කෙරුණේ නැත. මේ දරුවන් පස් දෙනා ඇතුළු තරුණයන් 11 දෙනෙකු පැහැරගෙන ගොස් නීති විරෝධීව රඳවා තබා ගැනීමෙන් අනතුරුව ඔවුන් සියල්ලන් ඝාතනය කොට ඇති බවට සාක්ෂි තමන් සතුව ඇතැයි පසුගිය දා පොලීසිය මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

වාර්ගික අසමගිය දේශපාලනික අවියක් වශයෙන් 

රාජපක්ෂ ආණ්ඩුව තමන්ගේ දේශපාලනික වාසි සඳහා හමුදා කොටස් පාවිච්චි නොකරන අවස්ථාවල කෙළේ, සමාජය භේද භින්න කරවන වෛරය වැපිරීමේ බීජ රෝපණය කිරීමයි. ඊට කැපී පෙනෙන උදාහරණය සැපයෙන්නේ, ගෝඨාභය රාජපක්ෂගෙනි. එවකට ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ය. ‘බොදුබල සේනා’ සහ ‘රාවණා බලය’ නමැති ජාතිවාදී සංවිධානවලට එදා ඔහු ප්‍රසිද්ධියේම සහ සක්‍රීයව ආධාර අනුබල දුන්නේය. එපමණක් නොව, ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති අරමුදල් පාවිච්චි කරමින් ‘තව්හීඞ් ජමාත්’ ඉස්ලාම් අන්තවාදී සංවිධානයේ ක්‍රියාකාරීකයන්ව නඩත්තු කෙළේය. මේ කාරණය ඔහුගේ වර්තමාන ප්‍රකාශකයාම පසුගිය දා රූපවාහිනී වැඩසටහන් සංවාදයකදී පිළිගත්තේය.

අදටත් ගෝඨාභය රාජපක්ෂ කරන්නේ සුළුතර ප්‍රජාවන්ට එරෙහි වෛරය වපුරන අන්තවාදී භික්ෂුන්ට ආධාර උපකාර කිරීමයි. පසුගිය ඔක්තෝබර් 7 වැනි දා ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ ජනාධිපති නාමයෝජනා පත්‍ර භාර දීමට පිටත්වීමට කලින් ඔහුගේ නිවසේ ආගමික ආශීර්වාද වතාවත් කිරීමට වැඩම කරවනු ලැබුවේ ‘රාවණා බලය’ නමැති සිංහල අන්තවාදී සංවිධානයේ ප්‍රධානී ඉත්තෑකන්දේ සද්ධාතිස්ස භික්ෂූන් වහන්සේවයි. ඒ අනුව, එක පැත්තකින් මූලධර්මවාදී ඉස්ලාම් අන්තවාදී සංවිධාන සහ පුද්ගලයන් පෝෂණය කරන අතරේම අනිත් පැත්තෙන් මෙවැනි සිංහල අන්තවාදී සංවිධානත් පෝෂණය කිරීම ඔහු එදා සිටි සිය ප්‍රතිපත්තිය කරගෙන ඇති බව පෙනේ. ‘බොදුබල සේනා’ සහ ‘රාවණා බලය’ දකුණේ විවිධ මුස්ලිම්-විරෝධී ප්‍රචණ්ඩකාරීත්වයන් සහ හිංසනයන් ඇති කිරීමට ඉවහල් විය. ඒ ප්‍රහාරයන්, අනිත් අතට, ‘තව්හීඞ් ජමාත්’ සංවිධානය සහ සහරාන් වැනි මුස්ලිම් අන්තවාදී කොටස්වලට සිය අනුගාමිකයන් ආකර්ශනය කර ගැනීමටත්, පාස්කු ඉරිදා වැනි ප්‍රති-ප්‍රචණ්ඩත්වයන් දියත් කිරීමටත් හේතුකාරක විය.

පාස්කු ඉරිදා ප්‍රහාරය: ගෝඨාභය ලබාගත් තල්ලුවක් ? 

හිතාමතා හෝ අහම්බෙන් හෝ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ රාජපක්ෂවාදී පාලන කාලයේදී පෝෂණය කරන ලද යක්ෂයන් අවසානයේදී ඔහුගේ ජනාධිපති අපේක්ෂාවට රුකුලක් වී ඇත. ‘ජාතික තව්හීද් ජමාත්’ සංවිධානය දියත් කළ පාස්කු ඉරිදා ප්‍රහාරය නිසා, ත්‍රස්තවාදීන් මර්දනය කළ හැකි සහ ආරක්ෂා සහිත රටක් ගොඩනැගිය හැකි ‘ශක්තිමත් නායකයෙකු’ ඉල්ලා සිටින තත්වයක් රටේ නිර්මාණය කෙරුණි. 

ඒ මහා ත්‍රස්තවාදී විනාශයෙන් පසුව සන්සුන් වන ලෙස සහ ත්‍රස්තවාදයට එරෙහිව එක්සත් වන ලෙස සියලු පක්ෂ නායකයන් රටෙන් සහ ජනතාවගෙන් ඉල්ලා සිටිද්දී ගෝඨාභය රාජපක්ෂ පෙරට විත් කීවේ, රටේ ආරක්ෂාව භාරව තමා සිටියේ නම් එවන් විපතක් කිසිසේත් සිදු නොවන බවට වගබලා ගැනීමට තිබූ බවකි. ඒ ත්‍රස්ත ප්‍රහාරයෙන් අහිංසක පුරවැසියන් 258 දෙනෙක් ඝාතනය වූහ. ඒ මහා ඝාතනයෙන් සතියක්වත් ගියේ නැත. තමා ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කොට සිටියේය. ජාතික ආරක්ෂාව සහ අන්තවාදය මර්දනය කිරීම තමාගේ ප්‍රමුඛ කාර්යභාරය වන බව එහිදී ඔහු කියා සිටියේය. එයින් පෙනී යන්නේ කුමක්ද? මුළු රටක්ම විපතට පත්ව හැඬූ කඳුළෙන් සිටින මොහොතක් පවා තමාගේ දේශපාලනික අභිලාෂයන් මුදුන්පත් කර ගැනීමට ගෝඨාභය රාජපක්ෂ අවස්ථාවක් කරගත් බවයි. ඇත්ත වශයෙන්ම එම කාරණය, එනම් යමෙකුගේ ජනාධිපති අපේක්ෂාවක් මුදුන්පත් කරගැනීම සඳහා එකී ත්‍රස්ත ප්‍රහාරය දියත් කෙරුණේද යන කාරණයත්, එම සිද්ධිය පිළිබඳ සොයා බැලීමට පත්කළ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ සැලකිල්ලට යොමු විය. දැන් ඔහුගේ ජනාධිපති අපේක්ෂකත්වය ප්‍රකාශයට පත්කිරීමත් සමගම සිදුව ඇත්තේ තත්වය තවත් බරපතල වීමයි.  

දණ්ඩමුක්තිය සැපයෙන බවට ගෝඨා ප්‍රතිඥා දීම 

අනුරාධපුරයේ පැවති තමාගේ මංගල රැළිය අමතමින් ගෝඨාභය රාජපක්ෂ කීවේ කුමක්ද? තමා බලයට පත් වූ සැණින්, දැනට අත්අඩංගුවේ සිටින හමුදා නිලධාරීන් ‘නිදොස් කොට නිදහස් කරන’ බවයි. මේ කියන හමුදා නිලධාරීන් කිසිවෙකු, යුද පිටියකදී ඔවුන් කළ යම් ක්‍රියාවක් හේතුවෙන් බන්ධනාගාරගතව සිටිනවා නොවේ. ඔවුන් චෝදනා ලැබ සිටින්නේ, ජනමාධ්‍යවේදීන් ඝාතනය කිරීම සහ ඔවුන්ට පහරදීම, රගර් වැනි ක්‍රීඩාවේදී තමන්ගේ ප්‍රතිවාදීන් වශයෙන් සිටි පුද්ගලයන් මරා දැමීම, දේශපාලන විරුද්ධවාදීන් සහ ප්‍රතිවාදීන් පැහැරගෙන යාම ආදී අපරාධ සම්බන්ධයෙනි. හමුදා කොටස් විසින් කරන ලද මේ අපරාධ සියල්ලම පාහේ, යම් දේශපාලනික අවශ්‍යතාවක් මත සිදු කරන ලද ඒවා ය. එසේ නොමැතිව, ලසන්ත වික්‍රමතුංග වැනි මාධ්‍යවේදියෙකු ඝාතනය කිරීමට තරම්, ප්‍රගීත් එක්නැලිගොඩ වැනි මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් අතුරුදහන් කැරැවීමට තරම්, කීත් නොයාර් වැනි මාධ්‍යවේදියෙකු පැහැරගෙන ගොස් වධබන්ධනයට පැමිණවීමට තරම් පුද්ගලික වෛරයක් හෝ කෝන්තරයක් යුද හමුදාවේ මේජර්වරයෙකුට තිබිණැයි කෙසේ නම් විශ්වාස කරන්නද? (මේ අතරේ සිටින එක් සැකකරුවෙකු හමුදා මේජර්වරයෙකි). 

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව 2017 දී අධිකරණය වෙත වාර්තාවක් සපයමින්, ගෝඨාභය රාජපක්ෂ යටතේ එදවස හමුදා ඝාතක කල්ලියක් ක්‍රියාත්මක වූ බවට තමන් වෙත සාක්ෂි ලැබී ඇතැයි දන්වා සිටියේය. එම කල්ලි ක්‍රියාත්මක කෙරුණේ ප්‍රතිවිරුද්ධ දේශපාලනික මතධාරීන් මර්දනය කිරීමට බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. මේ සඳහා පාවිච්චි කෙරුණු හමුදා නිලධාරීන් වනාහී දේශපාලඥයන්ගේ අරමුණු ඉෂ්ට කරගැනීම සඳහා පාවිච්චි කෙරුණු ඉත්තන් ය. රාජපක්ෂලා කෙළේ තමන්ගේ අරමුණු ඉටු කරගැනීම සඳහා මේ හමුදා නිලධාරීන්ව අපරාධවලට තල්ලු කිරීමයි. ඉතිං, තමන් බලයට පත්වූ වහාම ඔවුන්ව නිදහස් කරන බව දැන් ගෝඨාභය කීම පුදුමයක්ද? එසේ නොකියන්නේ නම් ඒ හමුදා නිලධාරීන් රාජපක්ෂලා පිළිබඳ සියල්ල වැමෑරිය හැකි බව ගෝඨාභය හොඳින්ම දනී.  

ඔවුන් ‘නිදොස් කොට නිදහස් කරන’ බවට ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වූවත්, ව්‍යවස්ථානුකූලව එසේ කිරීමේ හැකියාවක් ඔහුට නැත. එසේ නිදොස් කොට නිදහස් කරන්නේ නම් එය කළ හැක්කේ අධිකරණයට පමණි. ගෝඨාභයගේ පුරවැසිභාවය අභියෝගයට ලක්කරමින් පැවරුණු නඩුව පසුගිය දා වීසි කළ පසු රාජපක්ෂලාම කී නිදහස් අධිකරණයට පමණි. එදා පාලක පැලැන්තියේ වෛරයට ලක්වූ පුද්ගලයන් ඝාතනය කිරීම සහ පැහැරගෙන යාමේ සිද්ධීන්ට සම්බන්ධ විත්තිකරුවන් තමන් බලයට පත්වීමෙන් පසුව දාම, එනම් නොවැම්බර් 17 වැනි දාම ‘නිදොස් කොට නිදහස් කරන’ බව ගෝඨාභය කීමෙන් පෙනී යන්නේ, අධිකරණ බලයත් තමන් විසින්ම ක්‍රියාත්මක කරන බවයි. එසේ නැතහොත් අඩු වශයෙන්, අධිකරණයට තර්ජනය කොට ඒ ලවා එසේ කරවා ගැනීමට තමන් කටයුතු කරන බවයි. ඒ වනාහී, තමා යටතේ විධායක බලය අවභාවිත කෙරෙන සැටි ගෝඨාභය දැන් තියාම කියාපෑමකි. 

නිදහස් අධිකරණයක් යනු, ප්‍රජාතන්ත්‍රවාදයකට නැතිවම බැරි ආයතනයකි. නීතියේ ආධිපත්‍යය සහ නිසි ක්‍රියාපටිපාටිය එවැනි රටකට අත්‍යාවශ්‍ය කෙරේ. සියලු පුරවැසියන් නීතිය ඉදිරියේ සමානයන් සේ සැලකිය යුතු බව අපේ ව්‍යවස්ථාවේම සටහන් කොට තිබේ. දැන් මේ ගෝඨාභය කියන්නේ ඒ අධිකරණය තමන් බලයට පත්වූ පසු හීලෑ කරගන්නා බවයි. නීතිය තමන්ට අවශ්‍ය සහ තමන් කැමති පරිද්දෙන් ක්‍රියාවේ යොදවන බවයි. එනම්, තමාට කිට්ටුවන්තයන්ට භුක්තිවිඳිය හැකි වරප්‍රසාදලාභී තත්වයක් තමන් නිර්මාණය කරන බවයි. ඔවුන්ගේ අපරාධවලට දණ්ඩමුක්තිය (නිදහසේ අපරාධ කිරීමේ වරප්‍රසාදය) පවා පිරිනැමෙන බවයි. 

බිහිසුණු ඉරණම කාටත් පෙනෙන සේ ලියැවී තිබේ

ගෝඨාභයගේ හෙංචයියන්ගේ ස්වභාවය, බලයේ නොසිටින මොහොතක පවා, අරුම පුදුම ස්වභාවයක් ගනී. සිවිල් සමාජ ක්‍රියාධරයන් දෙන්නෙක් ගෝඨාභයගේ ලංකාවේ ද්විත්ව පුරවැසිභාවයේ වලංගුභාවය පසුගිය දා අධිකරණය ඉදිරියේ ප්‍රශ්න කළහ. එවිට ඔහුගේ හෙංචයියන් කෙළේ ඒ සිවිල් ක්‍රියාධරයන් දෙන්නාට මරණ තර්ජන එල්ල කිරීමයි. වෙනස් අදහස් ඉවසීම අරභයා ගෝඨාගේ තරම එසේ ය. කිසිවෙකු විසින් අධිකාරය ප්‍රශ්න කිරීම ඔහුට ඉවසුම් නොදෙයි. 

ගෝඨාභය රාජපක්ෂ පොරොන්දු වන සංවර්ධනය, සමෘද්ධිය සහ ජාතික ආරක්ෂාව සහිත අලුත් යුගය එයාකාර ය. එය මොන තරම් බොල් අනාගතයක් ද/ නීතියේ ආධිපත්‍යය සහ අධිකරණයේ ස්වාධීනත්වයට ඇඟිලි ගසමින් ඇති කෙරෙන අවපාලනය මේ රටේ ආයෝජන අවස්ථාවන්ට කණකොකා හඬලන යුගයක් වනු ඇත. මානව හිමිකම් උල්ලංඝණයන් නිසා, ආර්ථික තහංචි පිළිබඳ තර්ජනය සහ ජාත්‍යන්තර කොන් කිරීම්වල අවදානම ගෙනෙනු ඇත.

නගර සංවර්ධනයේ නාමයෙන් දිළින්දන් ඔවුන්ගේ නිවාසවලින් බලහත්කාරයෙන් ඉවත් කිරීම තුළින් දුප්පතා සහ පොහොසතා අතර තව තවත් පරතරය පළල් කිරීමෙන් ඇති කෙරෙනු ඇත්තේ සමාජ ගැටුම්කාරී තත්වයකි. ගෝඨාභයගේ පාලනයක් තුළ නූල් සූත්තරවලින් මූල්‍ය සහ කොටස් වෙළඳපොල ගසාකනු ඇත. කෝටි ගණනින් පාඩු ලබන සුදු අලි ව්‍යාපෘති නැවතත් පටන් ගැනෙනු ඇත. තඩි මහාමාර්ග සහ හිස් ගුවන් තොටුපොළවල් දෙස කට අයාගෙන බලා සිටීමට ජනතාවට සිදුවනු ඇත. ඒ කිසිවක් රටේ ආර්ථිකයට වැඩදායක නැත. ඒ කිසිවකින් රටේ සමාජ ස්ථාවරත්වය සහතික කෙරෙන්නේ නැත. රාජපක්ෂ පොරොන්දු වන සංවර්ධනය එවැන්නකි. ජනතාවගේ නිදහස ඊට ඇතුළත් නැත. ජනතාවගේ අයිතිවාසිකම් ඊට ඇතුළත් නැත.

ගෝඨාගේ ආර්ථික (අව) කළමනාකරණයේ තරම 

ගෝඨාභය රාජපක්ෂගේ කාර්යක්ෂමතාව සහ නිවැරදි කළමනාකාරීත්වය පිළිබඳ මිත්‍යාවත් මේ අවස්ථාවේ ප්‍රශ්න කළ යුතුය. ඔහුගේ අධීක්ෂණය යටතේ පැවති ‘මිහින් ලංකා’ ගුවන් සේවය නට්ටම් විය. ‘ශ්‍රී ලංකන් ගුවන් සේවයේ’ කළමනාකාරීත්වයෙන් එමිරේට්ස් සමාගම ඉවත් කිරීමෙන් පසු එය පාලනය කෙරුණේ රාජපක්ෂ පවුල විසිනි. එතෙක් ලාබ ලබමින් තිබූ එම ගුවන් සේවය ඉන්පසු කෝටි ගණන් පාඩු ලබන තත්වයට පත්ව බංකොලොත් වී අද වන විට පවත්වාගෙන යා නොහැකි තත්වයට පවා පත්ව තිබේ. 

ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ධුරයට පත්වූවා පමණි. ඔහු ‘මිග් ගනුදෙනුවකට’ අතගැසුවේය. ඒ, ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙනුවෙන් ‘මිග් යානා’ හතරක් මිලදී ගැනීමට ය. මේ වන විට ඒ සම්බන්ධයෙන් සිදුකොට ඇති පොලිස් පරීක්ෂණ අනුව, මේ ‘මිග් යානා’ මිලදී ගැනීමේ ගනුදෙනුව සිදු වන්නේ රටවල් දෙකක රාජ්‍යයන් දෙක අතරේ (ශ්‍රී ලංකාව සහ යුක්රේනය) යැයි අඟවනු ලැබුවත් ඇත්ත වශයෙන්ම ශ්‍රී ලංකාවේ රාජ්‍යය මේ යානා සඳහා මුදල් ගෙවා ඇත්තේ ‘බි්‍රටිෂ් වර්ජින් අයිලන්ඞ්’ රටේ හොරට ලියාපදිංචි වී තිබූ ජාවාරම්කාර සමාගම් නාමයකට ය. එවැනි සමාගමක් තථ්‍ය වශයෙන් නොපවතින බව පොලිස් විමර්ශනවලින් මේ වන විට හෙළි වී තිබේ. මේ සඳහා ශ්‍රී ලංකාවේ ආණ්ඩුව ඩොලර් මිලියන 28 ක් ගෙවා ඇතත්, ගුවන් යානා හිමි යුක්රේනය දන්වා ඇති පරිදි ඇත්ත වශයෙන්ම ඔවුන්ට ලැබී ඇත්තේ ඒ මුදලින් අඩක් පමණි.

ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයා වශයෙන් සිටියදී, එතෙක් ලාභ ලබමින් ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් කරගෙන යමින් සිටි ව්‍යාපාරයක් නාවික හමුදාවෙන් ඉවත් කොට තමන්ට හිතවත් පෞද්ගලික සමාගමකට පැවරුවේය. ඒ සඳහා වන ‘කොන්ත්‍රාත්තුව’ එම පෞද්ගලික සමාගම සමග ආරක්ෂක අමාත්‍යංශය අත්සන් කොට ඇත්තේ කැබිනට් අනුමැතියක් නොමැතිව බව මේ වන විට සිදුකොට ඇති පරීක්ෂණවලින් හෙළිදරව් වී තිබේ. එයින් ශ්‍රී ලංකාවේ ආණ්ඩුවට අහිමිව ගොස් ඇති මුදල රුපියල් බිලියන 11 කට අධික ය. මේ ගැන රාජපක්ෂ ඇතුළු තවත් කිහිප දෙනෙකුට එරෙහිව දැන් නඩු පවරා තිබේ. 

තමන්ගේ මියගිය දෙමාපියන් සඳහා වන ස්මාරකයක් තැනීම සඳහා නගර සංවර්ධන අධිකාරියේ ප්‍රධානියා වශයෙන් ගෝඨාභය රාජපක්ෂ, ඒ යටතේ පැවති ‘ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලයට’ නියෝග කරමින්, රුපියල් මිලියන 80 ක් එකී මාපිය ස්මාරකය වෙනුවෙන් වැය කෙළේය. ඒ සඳහා වන ශ්‍රමය ඔහු සපයාගත්තේ ශ්‍රී ලංකා නාවික හමුදාවෙනි. රජයේ විගණකාධිපතිවරයා පෙන්වා දෙන පරිදි, ‘ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ මණ්ඩලය’ විටින්විට නාවික හමුදාවට අවශ්‍ය කරන ද්‍රව්‍ය මිලදී ගැනීම සහ වෙනත් වියදම් සඳහා විවිධ ගෙවීම් සිදු කොට තිබේ. ‘විනයගරුක සහ නීතියට අනුගත’ පුද්ගලයෙකු වශයෙන් මවාපාන ඒ ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ පෞද්ගලික කටයුත්තක් සඳහා මහජනතාවගේ කෝටි ගණනක් මුදල් කොල්ලකා ඇත්තේ එසේ ය. අල්ලස් හෝ දූෂණ කොමිසම මේ ගැන පරීක්ෂණ පටන්ගත් සැණින් ගෝඨාභය රාජපක්ෂ එකී මුදලින් අඩක් ආපසු රජයට ගෙව්වේය. ඒ, මේ ආණ්ඩුව බලයට පත්වීමෙන් පසුව 2016 දී ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් නීතිපති දෙපාර්තමේන්තුව ගෝඨාභය රාජපක්ෂ ඇතුළු තවත් හය දෙනෙකුට එරෙහිව සාපරාධී අයුතු අත්කරගැනීම පිළිබඳ චෝදනා යටතේ මේ වන විට නඩු පවරා තිබේ. 

දූෂණය සහ වංචාව පිළිබඳ අධිකරණය ඉදිරියේ චූදිතයෙකු වී සිටින පුද්ගලයෙකු ලංකාවේ ජනාධිපතිවරණයකට ඉදිරිපත් වන ප්‍රථම අවස්ථාව මෙයයි. ඔහුගේ එකී ක්‍රියාකාරකම්, ‘විනයගත’ හෝ ‘කාර්යක්ෂම’ රාජ්‍ය නිලධාරියෙකුගේ ලක්ෂණ නොපෙන්වයි. 

මූලික ප්‍රශ්නය

මේ සියලු කරුණු පරයා යන කාරණයක් එළැඹෙන ජනාධිපතිවරණයේදී අපට අභිමුඛ වෙයි. 

2015 ජනවාරියේදී මේ රටේ පුරවැසියන් මහත් වෙහෙසක් ගෙන දිනාගත් නිදහස සහ වෙනස් අදහස් දැරීමට ඇති අයිතිය, රාජපක්ෂ ගල්රෝල ඉදිරියට නැවත වරක් පැමිණ තිබේ. ආර්ථික අභිවෘද්ධියක සහ ‘ශක්තිමත් නායකත්වයක’ නාමයෙන් එකී නිදහස කෙසේ නම් පාවාදෙන්නද යන ප්‍රශ්නය අද රට ඉදිරියේ තිබේ. එම නිදහස පාවාදෙනු ලැබුවොත්, තව දශකයක් දෙකක් යන විට, මුහුණ සමග තරහ වී තමන් නහය කපාගෙන ඇති බව රටවැසියන් ප්‍රමාද වී තේරුම්ගනු ඇත.

මේ අවාසනාවන්ත තත්වයට රට පත්කොට ඇත්තේ වර්තමාන ආණ්ඩුවේ අසාර්ථකත්වයන් ය. 2015 දී දුන් පොරොන්දු බොහොමයක් ඉටු කොට නැත. බලපුලුවන්කාරයන්ගේ වගවීම සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් මේ කාලය තුළ අප අත්කරගෙන ඇතත්, දූෂණය තවමත් සහමුලින් දුරලා නැත. රාජපක්ෂ යුගයේ තිබුණාට වඩා ඉතා අඩු මට්ටමකින් වුවත්, දණ්ඩමුක්තියත් යම් පමණකින් ක්‍රියාත්මක වෙයි. එහෙත් ඒ සියලු අපේක්ෂාභංගත්වයන් සහ සිත් බිඳීම් අවසරයක් කරගෙන ඒකාධිපතියෙකුට බලයට ඒමට අප ඉඩ දිය යුතු නැත. රටේ පවතින ක්‍රමය සහ පාලන ක්‍රමවේද වෙනස් කර ගැනීම සඳහා වන සටන තුළ ප්‍රගතිය ලැබිය හැක්කේ ටිකෙන් ටික, ක්‍රම ක්‍රමයෙනි. ඒ දීර්ඝ සටන සඳහා යම් අවකාශයක් අප ආරක්ෂා කරගත යුතුය. දීර්ඝ කාලීන වෙනසක් අපේක්ෂා කළ හැක්කේ එකී අවකාශය ආරක්ෂා කරගැනීම තුළ පමණි. විටෙක, ප්‍රජාතන්ත්‍රවාදය මියැදෙන්නේ හෙමිහිට ය. ඇසට පෙනෙන නොපෙනෙන ගානට ය. එහෙත් ශ්‍රී ලංකාව අද මුහුණදී සිටින්නේ එවැනි තත්වයකට නොවේ. නොවැම්බර් 16 වැනි දා ගෝඨාභය රාජපක්ෂ මේ රටේ ජනාධිපතිවරයා වශයෙන් පත්කර ගැනුනොත්, මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය ඔල්වරසන් මධ්‍යයේ හදිසි මරණයකට පත්වනු නියති.

   නොවැම්බර් 16 වැනි දා ඡන්දය පාවිච්චි කිරීමේදී අප සිහියේ තබාගත යුතු වැදගත් කාරණයක් තිබේ. එනම්, ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කර ගැනීම සඳහා අප දැරිය යුතු යම් වියදමක් ඇති බවයි. ඒ වනාහී, නිරන්තර පුරවැසි සුපරීක්ෂාවයි. නිරන්තරයෙන් අවදිව සිටීමයි. එහිදී, දුර්දාන්ත රාජපක්ෂවාදයට අපේ දේශයේ මුල් ඇද ගැනීමට ඉඩ නොතැබීම සඳහා අපේ ඡන්දය පාවිච්චි කළ යුතුව තිබේ.





සබැඳි පුවත්


0 comments: