Hot!

අලුත් ජනාධිපතිගේ බලතල සහ කාර්යයන්




- ආචාර්ය අසංග වැලිකල -



අලුත් ජනාධිපති

2019 නොවැම්බර් 16 වැනි දා ශ්‍රී ලංකාව අලුත් ජනාධිපතිවරයෙකු පත්කර ගනු ඇත. එම ජනාධිපතිවරයා දැනට සිටින ජනාධිපතිවරයාවත්, දැනට සිටින අගමැතිවරයාවත් නොවන්නේය. කෙසේ වෙතත්, අලුත් ජනාධිපතිවරයා තේරී පත්වන අලුත් ජනාධිපති තනතුර, එහි බලතල සහ කාර්යයන් සම්බන්ධයෙන් ගත් විට අලුත් තනතුරක් වන බව බොහෝ දෙනා අවබෝධ කරගෙන නැති කාරණයකි. 

එය අලුත් තනතුරක් වන්නේ 2015 දී පාර්ලිමේන්තුව සම්මත කරගත් 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇතැම් විධිවිධාන නිසා ය. ඒ විධිවිධානවලට අනුව, මෛත්‍රිපාල සිරිසේනගේ අනුප්‍රාප්තිකයාට සිරිසේනට තිබූ ජනාධිපති ධුරයේ ඇතැම් බලතල පවා නොලැබී යන්නේය. 

එසේ වීමේදී, සමහරුන් කියන පරිදි, මේ අලුත් තනතුර 1972 පටන් පැවති නාමික ජනාධිපති තනතුරක් වන්නේය යන්න සාවද්‍ය මතයකි. මන්ද යත්, එක පැත්තකින්, තවදුරටත් ජනාධිපතිවරයා පත්කරගනු ලබන්නේ සෘජු මහජන ඡන්දයකින් වන නිසාත්, විධායකයේ ඇතැම් වැදගත් ව්‍යවස්ථාමය කාර්යභාරයන් තවදුරටත් එම අලුත් ජනාධිපතිවරයාට පැවරෙන නිසාත් ය.

ජනාධිපතිගේ බලතල

ජනාධිපති බලතල සම්බන්ධයෙන් 19 ව්‍යවස්ථා සංශෝධනය හරහා ඇති කරන ලද ඇතැම් මූලික වෙනස්කම් ගැන බොහෝ දෙනා දනිති. එහෙත් ඒ වෙනස්කම් කවරේද යන්නත්, ඒවායේ බලපෑම කුමක්ද යන්නත් පිළිබඳ යම් ව්‍යාකූලත්වයක් තවමත් තිබේ. කලක් සර්වබලධාරීව තිබූ ජනාධිපති තනතුර අලුත් වෙනස්කම් නිසා බලයෙන් හීන වී ගොස් ඇති බව බොහෝ දේශපාලඥයන් අවබෝධ කරගෙන ඇති බවක් නොපෙනේ. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය නිසා එතෙක් පැවති 1978 ව්‍යවස්ථාව කවර විපර්යාසයකට භාජනය වී තිබියේද යන්න පිළිබඳ රාජ්‍ය බල ව්‍යුහයේ ඇතැම් ඉහළ ස්ථාන හෙබැවූ පුද්ගලයන් තුළ තිබූ අල්ප අවබෝධය, 2018 ඔක්තෝබර්-නොවැම්බර් ව්‍යවස්ථා අර්බුදය පසුපස පැවති තත්වයටත් හේතු විය. ඒ නොදැනුම, මීළඟ ජනාධිපතිවරණයෙන් පසුවත් තවත් ව්‍යවස්ථා අර්බුදයක් ඇති කර ගැනීමට හේතුකාරණා විය යුතු නැත. එවැනි තවත් අර්බුදයක් අපේ ආර්ථිකය කෙරෙහි ඇති කළ හැකි විනාශය කෙතරම්ද යන්න ආර්ථික විද්‍යාඥයන් මේ වන විටත් පෙන්වා දී තිබේ.

පහත විස්තර කෙරෙන්නේ, මේ නොවැම්බරයේ පත්කර ගන්නා ජනාධිපතිවරයාට තිබෙන සහ නොතිබෙන බලතල සහ කාර්යභාරයන් පිළිබඳ දළ පැහැදිලි කිරීමකි. සාමාන්‍ය පාඨකයාට ගැටළුවක් නොවන පරිදි, ඒවාට අදාළ නෛතික විධිවිධාන සහ අධිකාරයන් පිළිබඳ දීර්ඝ විස්තර කිරීමෙන් මම වැළකී සිටිමි. ඒ වෙනුවට, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් පසුව, විධායක බලතල රාමුවේ මූලික ලක්ෂණ සහ ප්‍රතිපත්ති පිළිබඳ හැඳින්වීමක් පමණක් ඉදිරිපත් කරමි. එසේ කිරීමේදී, මේ ක්‍රමය තුළ පවතින සංකීර්ණතා අනවශ්‍ය පරිද්දෙන් සරල කිරීමෙන් වැළැකී සිටීමටත් මට සිද්ධ වෙයි. 

නොවැම්බර් 16 පසුව විධායක ජනාධිපති ක්‍රමයේ ප්‍රධාන ආයතනික ලක්ෂණ

මේ දවසෙන් පසුවත් සිටින්නේ, ජනතාව විසින් සෘජු ඡන්දයෙන් තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයෙකි. ඔහුගේ ධුර කාලය අවුරුදු 5 කි. එසේ වෙතත්, පළමු වරට එම ධුරය දරණ කෙනෙකුට තමන්ගේ අවුරුදු 5 අවසන් වීමට මාස 6 කට කලින් නැවත ජනාධිපතිවරණයක් කැඳවිය හැක්කේය. එක පුද්ගලයෙකුට ජනාධිපති ධුරයට පත්විය හැක්කේ දෙවරක් පමණි. 

ඡන්දයකින් තෝරා පත්කර ගැනෙන, මුළු රටෙන්ම ලැබෙන පුද්ගල වරමක් සහිත එකම පුද්ගලයා ජනාධිපතිවරයා ය. ඒ නිසාම, ස්වකීය ව්‍යවස්ථාමය කර්තව්‍යයන් ඉෂ්ට කිරීමේදී ස්වකීය බලතල සහ සුජාතකත්වයට අදාළ විශාල හයියක් එම තැනැත්තාට ලැබේ. 

ජනාධිපතිවරයා රාජ්‍යයේ නායකයා ය. ආණ්ඩුවේ නායකයා ය. ත්‍රිවිධ හමුදාවේ අණදෙන නිලධාරියා ය. මේවා හුදෙක් නාමික දේවල් නොවේ. මන්ද යත්, විධායකයේ සහ ආණ්ඩුවේ ප්‍රධානියා වශයෙන් ජනාධිපතිවරයා අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයෙකු සහ එහි ප්‍රධානියා ද වන බැවිනි. 

ශ්‍රී ලංකාවේ ආරක්ෂාව පිළිබඳ කාරණය, ජනාධිපතිවරයා හොබවන ස්වෛරී විධායක බලයේ කොටසක් වන බව විශේෂයෙන් සඳහන් කොට ඇති නිසාම, ආරක්ෂාව පිළිබඳව, හමුදාව පිළිබඳව, බුද්ධි සේවාවන් පිළිබඳව මෙන්ම, නීතිය ක්‍රියාත්මක කිරීමේ කර්තව්‍යයන් පිළිබඳවත් සෑහෙන අධිකාරයක් එම ජනාධිපතිවරයාට ලැබෙන්නේය.

එසේම, තවදුරටත් අමාත්‍ය මණ්ඩලයේ ලේකම්වරයා පත්කරන්නේ ජනාධිපතිවරයා විසිනි. අගමැතිවරයාගේ ලේකම්වරයා සහ සියලු අමාත්‍යාංශ ලේකම්වරුන් පත්කරන්නේ ජනාධිපතිවරයා විසිනි. අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා හැරුණු කොට ඉහත කී සියලු පරිපාලන නිලධාරීන් කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ හෝ ඒ ඒ අමාත්‍යාංශ භාර අමාත්‍යවරුන්ගේ මග පෙන්වීම යටතේ වුවත්, එම නිලධාරීන් සියලු දෙනා පත්කිරීමට ජනාධිපතිවරයාට ඇති බලය සෑහෙන වැදගත්කමකින් යුක්ත වෙයි. 

අවසාන වශයෙන්, අති විශාල සම්පත් ප්‍රමාණයක් සහ ආයතනික ව්‍යුහයක් සහිත ජනාධිපති ලේකම් කාර්යාලය පවතින්නේ මුළුමණින්ම ජනාධිපතිවරයා යටතේ ය. අමාත්‍ය මණ්ඩලය සහ පාර්ලිමේන්තුවේ දැඩි විරෝධයට ලක්වුණොත් මිස, වෙනත් සෑම අවස්ථාකදීම මේ කියන ජනාධිපති ලේකම් කාර්යාලය ජනාධිපති බලතල අවිධිමත් ආකාරයකින් අභ්‍යාස කළ හැකි මෙවලමක් සහ මූලාශ්‍රයක් වන්නේය. 

19 වැනි ව්‍යවස්ථා සංශෝධයන හරහා පනවා ඇති සීමාවන් ගැන සලකා බැලිය යුත්තේ ඉහත කී විධිමත් සහ අවිධිමත් ජනාධිපති බලතල පිළිබඳ කරුණු කල්පනාවේ තබාගෙන ය. 

ජනාධිපතිවරයා සහ ව්‍යවස්ථා සභාව 

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කවුරුන් අතරේත් වඩාත් දැනුවත් අංගය මෙය විය හැකිය. යහපාලනය සාර්ථක කර ගැනීමට අදහස් කෙරුණේ දේශපාලනීකරණයෙන් තොරව ප්‍රධාන ව්‍යවස්ථාමය ධුරවලට සහ ස්වාධීන කොමිෂන් සභාවලට පත්කිරීමේ ක්‍රියාවලියක් සකස් කර ගැනීමෙනි. වෙනත් වචනවලින් කිවහොත්, එවැනි ඉහළ තනතුරුවලට පුද්ගලයන් පත්කිරීමේ ක්‍රියාවලිය ව්‍යවස්ථා සභාවට භාර කිරීම, ජනාධිපතිවරයාගේ බලතල බොහෝ දුරට කප්පාදු කිරීමක් විය. එය දෙයාකාරයකින් සිදු කෙරේ. එක්කෝ එවැනි පත්කිරීම් ජනාධිපතිවරයා විසින් සිදු කරනු ලබන්නේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත ය. නැත්නම්, ජනාධිපතිවරයා කරනු ලබන පත්කිරීම් සඳහා ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය කරන්නේය. 

රාජ්‍ය සේවය, පොලීසිය, රාජ්‍ය අංශයේ විගණනය, මානව හිමිකම්, අල්ලස සහ දූෂණය, විමධ්‍යගත මූල්‍ය කළමණාකරණය, මැතිවරණ කොට්ඨාශ සීමානිර්ණය සහ රාජ්‍ය ප්‍රසම්පාදනය අධීක්ෂණය කිරීම ආදිය සඳහා ස්වාධීන කොමිෂන් සභා පත්කෙරේ. මේ ස්වාධීන කොමිෂන් සභාවලට පුද්ගලයන් පත්කළ යුත්තේ ව්‍යවස්ථා සභාවේ නිර්දේශ මත පමණි. එවැනි නිර්දේශ දින 14 ක් තිස්සේ ජනාධිපතිවරයා නොසලකා හැරියොත්, එම පත්වීම් ඉබේම නීතිගත වූවා යැයි සැළකේ.

වෙනත් ජ්‍යෙෂ්ඨ ව්‍යවස්ථාමය අධිකාරී ආයතන සඳහා වන පත්කිරීම් (සහ වැඩ බලන පත්කිරීම් පවා) ජනාධිපතිවරයාට කළ හැක්කේ ව්‍යවස්ථා සභාවේ අනුමැතිය යටතේ පමණි. එම තනතුරු වන්නේ, අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු පදවි, අභියාචනාධිකරණයේ සභාපති සහ වෙනත් විනිශ්චයකාර පදවි, අධිකරණ සේවා කොමිෂන් සභාවේ සාමාජික පදවි, නීතිපති පදවිය, විගණකාධිපති පදවිය, පොලිස්පති පදවිය, ඔම්බුඞ්ස්මාන් පදවිය සහ පාර්ලිමේන්තුවේ මහලේකම් පදවියයි. විනිසුරුවරුන් පත්කිරීමේදී ව්‍යවස්ථා සභාව විසින් අගවිනිසුරුවරයාගේ අදහස් ලබා ගැනීමත් අවශ්‍ය කෙරේ. 

ඒ අනුව බලන විට, මේ කියන අංශ කෙරෙහි ජනාධිපතිවරයාට තමන්ගේ තනි අභිමතය පරිදි කටයුතු කළ නොහැකි බව පැහැදිලි ය. ව්‍යවස්ථා සභාවේ සභාපතිත්වය කතානායකවරයා දරණ අතර, අගමැතිවරයා, විපක්ෂ නායකවරයා, තවත් මන්ත්‍රීවරුන් සහ පාර්ලිමේන්තුව මගින් අනුමත කෙරෙන, පක්ෂයකට අයත් නැති තවත් සිවිල් පුද්ගලයන් තුන් දෙනෙක් ඊට අයත් වෙති. 

ජනාධිපති, අගමැති සහ අමාත්‍ය මණ්ඩලය

එතෙක් පැවති ව්‍යවස්ථාව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා සංශෝධනය කෙරුණු ආකාරයත්, ජනාධිපතිවරයාගේ බලතල කප්පාදු කෙරුණු ආකාරයත් වඩාත් කැපී පෙනෙන අංශය වන්නේ විධායකය තුළ අගමැතිවරයාගේ ස්ථානය ශක්තිමත් කෙරුණු ආකාරයයි. එහිදී, එතෙක් ජනාධිපතිවරයා සතුව පැවති අසීමිත බලතල දෙවර්ගයක් එක්කෝ අහෝසි කෙරුණි. නැත්නම් අඩු කෙරුණි. 

පළමුව, අගමැතිවරයාගේ ධුරය ශක්තිමත් කෙරුණි. ඒ, අගමැතිවරයාව පත්කිරීමට සහ අස්කිරීමට ජනාධිපතිවරයාට එතෙක් පැවති බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා ඉවත් කිරීමෙනි. ඒ, පාර්ලිමේන්තුවේ වැඩිම විශ්වාසය දිනාගත හැකි පුද්ගලයා පමණක් අගමැති වශයෙන් පත්කළ හැකිය යන ප්‍රතිපත්තිය ශක්තිමත් කිරීමෙනි. තවත් විස්තරාත්මකව කිවහොත්, දැන් ජනාධිපතිවරයාට අගමැතිවරයාව ඉවත් කළ හැක්කේ, සමස්තයක් වශයෙන් ආණ්ඩුව කෙරෙහි වන පාර්ලිමේන්තුවේ විශ්වාසය බිඳ වැටුණු අවස්ථාවක, අගමැතිවරයාගේ මරණය හෝ ඉල්ලා අස්වීමක් සිදු වූ අවස්ථාවක හෝ ඔහු පාර්ලිමේන්තුවේ සාමාජිකයෙකු වීම අවසන් වූ අවස්ථාවක පමණි. 

දෙවැනුව, දැන් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ, කැබිනට් ඇමතිවරුන් සහ වෙනත් ඇමතිවරුන් පත්කිරීමේදී සහ ඉවත් කිරීමේදී ජනාධිපතිවරයා කටයුතු කළ යුත්තේ අගමැතිවරයාගේ උපදෙස් මත පමණි. එසේ වෙතත්, කැබිනට් අමාත්‍යවරුන් සංඛ්‍යාව තීරණය කිරීමේදී සහ ඒ ඒ අමාත්‍යවරුන්ට විෂයයන් පැවරීමේදී සහ විෂයයන් වෙනස් කිරීමේදී අගමැතිවරයාගේ අදහස් විමසීම පමණක් සෑහේ. ඒ අනුව, ජනාධිපතිවරයා විධායකය තුළ සෑහෙන බලයක් තවම අභ්‍යාස කරතත්, එම බලය ඔහු තනියෙන් දරණ සහ හොබවන බලයක් නොවන අතර, එය ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර බෙදාහදාගන්නා බලයක් බවට පත්වෙයි.

ජනාධිපතිවරයාගේ බලය සීමා කෙරෙන තවත් අවස්ථාවක් වන්නේ, ජනාධිපති සිරිසේනට පමණක් බලපවත්වන විධිවිධාන ඔහු ධුරයෙන් ඉවත් වීමත් සමග ඊළඟ ජනාධිපතිවරයාට නොලැබී යාමයි. ජාතික ආරක්ෂාව, මහවැලි සංවර්ධන සහ පරිසර අමාත්‍යාංශ තමන්ගේ යටතේ තබා ගැනීමට ජනාධිපති සිරිසේනට අවසර ඇතත්, ඊළඟ ජනාධිපතිවරයාට එම අවස්ථාව හිමි නොවේ. ඔහුගේ ධුර කාලය අවසන් වීමත් සමග ඊළඟ ජනාධිපතිවරයාට එකී අමාත්‍යාංශවලට පත්කළ හැක්කේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් අතරින් තෝරාගනු ලබන පුද්ගලයන් පමණි. එබැවින් නොවැම්බර් 16 වැනිදායින් පසුව පත්වන ජනාධිපතිවරයාට කිසි අමාත්‍යාංශයක් තමන් යටතේ තබා ගැනීමට හැකි වන්නේ නැත. 

ජනාධිපතිවරයා සහ පාර්ලිමේන්තුව 

අගමැතිවරයා පත්කිරීම සහ ඉවත් කිරීම ජනාධිපතිවරයාගේ අභිමතය මත සිදුවීම වෙනුවට පාර්ලිමේන්තුවේ විශ්වාසය මත තීන්දු වීමට සැලැස්වීමත්, (හරයාත්මකව ගත් විට පාර්ලිමේන්තු ආයතනයක් වන) ව්‍යවස්ථා සභාවේ භූමිකාව තුළ ජනාධිපති බලතල සීමා කිරීමටත් අමතරව, පාර්ලිමේන්තුවට අදාළ ජනාධිපති බලතල සම්බන්ධයෙන් කැපී පෙනෙන කප්පාදුවක් පෙන්නුම් කරන්නේ, පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට එතෙක් තිබූ බලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යටතේ ඉවත් කරනු ලැබීමෙනි. 

දැන් ජනාධිපතිවරයාට තමාගේ හුදු අභිමතය පරිදි පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ පස් අවුරුදු කාල සීමාවේ අවසාන මාස හය තුළදී පමණි. ඊට කලින් වසර හතර හමාරක කාලය තුළදී එය විසුරුවා හැරිය හැක්කේ පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් එසේ විසුරුවා හරින ලෙස ඉල්ලීමක් කළොත් පමණි. 

එසේ වෙතත්, ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශනයක් හෝ අයවැයක් පරාජයට පත්කිරීමෙන් ආණ්ඩුවක් පෙරලා දැමීමේ බලය පෙර පරිදිම තවදුරටත් පාර්ලිමේන්තුවට තිබෙන මුත් එය බලපාන්නේ අගමැතිවරයාට සහ කැබිනට් මණ්ඩලයට මිස ජනාධිපතිවරයාට නොවේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට වගකිව යුතු මුත් උත්තර දීමට බැඳී නැත. ඔහු උත්තර දීමට බැඳී ඇත්තේ, දෝෂාභියෝග අවස්ථාවක් වැනි විශේෂ කාරණයක් සම්බන්ධයෙන් පමණි.

පාර්ලිමේන්තුව වාරාවසාන කිරීමේ බලයත්, පෙර පරිදිම, තවදුරටත් ජනාධිපතිවරයාට තිබේ. එහෙත් ඒ බලය වක්‍රාකාරයෙන් සීමා කරනු ලැබේ. මුදල් වෙන් කර ගැනීම හෙවත් විසර්ජන පනත් සම්මත කර ගැනීම සඳහා පාර්ලිමේන්තුව කැඳවීමට සිදුවීම ඊට උදාහරණයකි. එසේම, පාර්ලිමේන්තු සැසි වාරවලට සහභාගී වීම, පාර්ලිමේන්තුව ඇමතීම සහ පාර්ලිමේන්තුවට සංදේශ යැවීම ආදී බලතලත් ජනාධිපතිවරයාට තිබේ. 

ජනාධිපතිවරයා සහ අධිකරණ

නිල මට්ටමෙන් හෝ පෞද්ගලික මට්ටමෙන් ජනාධිපතිවරයා කරනු ලබන හෝ නොකර හරිනු ලබන ක්‍රියාවන් සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට මුක්තිය හිමි වෙයි. එසේ වෙතත්, ජනාධිපතිවරයා කරනු ලබන හෝ නොකර හරිනු ලබන ක්‍රියාවන්ට අදාළ මූලික හිමිකම් පිළිබඳ පෙත්සම්, නීතිපතිවරයා වගඋත්තරකරු කරමින් අධිකරණයට ඉදිරිපත් කිරීමට දැන් කෙනෙකුට පිළිවන. එසේ කළ නොහැක්කේ, යුද්ධය හා සාමය ප්‍රකාශයට පත්කිරීමට අදාළ ජනාධිපති ක්‍රියාවක් සම්බන්ධයෙන් පමණි. 

අවසාන නිරීක්ෂණ

නොවැම්බර් 16 වැනි දායින් පසුව එළැඹෙන ජනාධිපති ධුරයට අදාළ ඉහත කී විස්තරය තුළ වැදගත් කරුණු කිහිපයක් අපට හමුවෙයි. මුලින්ම, ඊළඟ ජනාධිපතිවරණයෙන් පසුව එළැඹෙන ජනාධිපති ධුරය හුදෙක් නාමික ධුරයක් වන බවට, ව්‍යවස්ථා පඨිතය මත පමණක් පදනම්ව ඉදිරිපත් කෙරෙන තර්ක බරසාර නැත. 

දෙවැනුව සහ ඊට ප්‍රතිපක්ෂව, අලුතින් තෝරා පත්කරගන්නා ජනාධිපතිවරයා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ඇති කර ගැනීමට කලින් සිටි ජනාධිපතිවරයාට සමාන වෙතැයි කීමත් නීතිය ගැන නොදැනුමෙන් කියන කතාවකි. විශේෂයෙන්, අගමැතිවරයාගේ ධුරය අලුත් ජනාධිපතිවරයෙකු පත්කරගත් පමණින් අවසන් වන්නේ නැත. ඔහුව ධුරයෙන් ඉවත් කිරීමේ වෙනත් විවිධ මාර්ග ඇතත්, එය ජනාධිපතිවරයාට කළ හැකි දෙයක් නොවේ. 

තෙවැනුව, ඊළඟ වසරේ පෙබරවාරි මාසය වන තෙක්, එනම් වර්තමාන පාර්ලිමේන්තුවේ පස් අවුරුද්දෙaන් අවසාන හය මාසය ළඟා වන තෙක්, වර්තමාන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ බලයක්ද අලුත් ජනාධිපතිවරයාට නැත. ඊට කලින් එසේ කරන්නේ නම් ඒ සඳහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් එවැනි ඉල්ලීමක් සම්මත කරගත යුතු වන්නේය. 

සිව්වැනුව, විධායකය තුළ මෙන්ම විධායකය සහ ව්‍යවස්ථාදායකය අතරත් සම්බන්ධතා පාලනය කිරීමේ අලුත් ආයතනික යාන්ත්‍රණයක් දැන් තිබේ. ඒ මගින් අලුත් ජනාධිපතිවරයාගේ ව්‍යාප්තික බලය නොවළක්වන මුත්, එම පුද්ගලයා දේශපාලනයේ නෛතික පරාමිතීන් මනාව හඳුනාගෙන තිබීම, අවුල් වියවුල්, සංකූලතා සහ අර්බුද වළක්වා ගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇත.

   අවසාන වශයෙන්, පොදුවේ ගත් විට, 1978 ව්‍යවස්ථාව යටතේ පැවති ආණ්ඩුකරණය කෙරෙහි 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් මූලික වෙනස්කම් ගණනාවක් සිදුකොට ඇති මුත්, ඒ මගින් අර්ධ-ජනාධිපති පාලන ව්‍යුහය අහෝසි කොට නැත. එනිසා, ඇතැම් කාර්යයන් සඳහා තවදුරටත් ජනාධිපතිවරයා තෝරාගනු ලබන්නේ සෘජු ඡන්දයෙනි. අගමැතිවරයාගේ සහ අමාත්‍ය මණ්ඩලයේ ඇතැම් කාර්යයන් පාර්ලිමේන්තුව මගින් පාලනය කෙරෙනු ඇත. කාර්යක්ෂම ආණ්ඩුකරණයක් සහ කාර්යක්ෂම වගවීමේ ක්‍රියාවලියක් පවත්වාගෙන යාම සඳහා මේ ආයතන තුනම ව්‍යවස්ථාව යටතේ තම තමන්ගේ සුවිශේෂී කාර්යභාරයන් ඉටු කරනු ඇත.







(2019 ඔක්තෝබර් 30 වැනි දා Daily FT පුවත්පතේ පළවූ “The Powers and Functions of the New President", නමැති ලිපියේ සිංහල පරිවර්තනය, ‘යහපාලනය ලංකා’ අනුග්‍රහයෙනි)

0 comments: