Hot!

කුල්මත් වීම තුළ වල්මත් වීම



- ගාමිණී වියන්ගොඩ -


‘දෙවැනි මනාපය පාවිච්චි කළොත් කිල්ලට හසුවෙයිද?’ මැයෙන්, (ජනතා විමුක්ති පෙරමුණේ සහෝදරාත්මක අවධානය පිණිසයි) නමැති වරහන්ගත අනුසිරස්තලය යටතේ මීට සති තුනකට කලින් මේ කොලමේ අදහස් දැක්වීමේදී ‘බූරු පිටියක චෙස් ඇදීම විකෘතියක්’ වන බව කියමින් ඒ ගැන පසුව විස්තරාත්මකව සාකච්ඡා කරන බව මා කියා ඇත. එදා සිට ගතවී ඇති සති තුනක පමණ කාලය තුළ අලුත් වෙනස්කම් ගණනාවක් ජනතා විමුක්ති පෙරමුණ පැත්තෙන් නිරීක්ෂණය කිරීමට අපට හැකි විය. ඉන් ප්‍රධාන වන්නේ, අනුර කුමාර දිසානායක වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන පුද්ගලයන් දෙවැනි මනාපයක් කිසිවෙකු සඳහා ලකුණු කළ යුතු නැති බව, අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණු නායකයන් කිහිප දෙනෙකුම ප්‍රසිද්ධියේ කියා තිබීමයි. මේ අතර, සිවිල් සමාජ සංවිධාන විසින් ජනතා විමුක්ති පෙරමුණ විවේචනය කිරීම හෝ ඊට පහර දීම නොමනා ක්‍රියාවක් බව කියා සිටි ලාල්කාන්ත, ගෝඨාභය පිළිබඳ බියක් ඇති කිරීම හරහා ජනතා විමුක්ති පෙරමුණ සඳහා වන ඡන්දදායක අනුග්‍රාහකත්වය සජිත් ප්‍රේමදාස වෙතට හැරවීමට උත්සාහ කිරීම සිවිල් සමාජ සංවිධානවල ‘ත්‍රස්තවාදයක්’ බව යම් පුවත්පතකට කියා තිබුණි.

‘බූරු පිටියක චෙස් ඇදීම විකෘතියකැ’ යි මා කීවේ මූලික කරුණු දෙකක් මුල් කරගෙනයි. පළමුවැන්න වන්නේ, බූරුවා ගැසීම යනු දෙකකින් එකක් තෝරා ගැනීමේ සෙල්ලමක් වන බවයි. එහිදී තුන්වැනි හෝ හතරවැනි වශයෙන් තේරීම් නැත. ලංකාවේ මේ මොහොතේ තේරීම ඇත්තේ, ගෝඨාභය රාජපක්ෂ ද, සජිත් ප්‍රේමදාස ද යන දෙන්නා අතරේ බව, අවංකව සහ හෘදසාක්ෂියට එකඟව බුද්ධිමත්ව සිතා බැලුවොත් ඕනෑම කෙනෙකුට අවබෝධ විය යුතු කාරණයකි. පුරවැසියන් වශයෙන් අපට සපයාගත හැකි හෝ අප සපයාගත යුතු හොඳම තේරීම් දෙක වන්නේ ඒ දෙන්නාගෙන් කෙනෙක් පමණක්මද යන්න, තරගය තුළ මේ මොහොතේ පවතින ගතිකත්වයන් තුළ අදාළ නොවන බවත්, බුද්ධිමත්ව සහ අවංකව කල්පනා කළොත් ඕනෑම කෙනෙකුට වැටහිය යුතු දෙයකි. (එසේ නොවෙතත්, එනම්, මේ මොහොතේ පවා අප සපයාගත යුතු හොඳම තේරීම අනුර කුමාර දිසානායක ඇතුළු ජනතා විමුක්ති පෙරමුණම යැයි කෙනෙකු කියන්නේ නම්, මේ ලියුම්කරු ඒ අදහස සමගද එකඟ නැත. ඒ ගැන පසු අවස්ථාවක විස්තරාත්මකව සාකච්ඡා කිරීමට තබා, දැනට, ආර්ථික සංවර්ධනය ගැන ජනතා විමුක්ති පෙරමුණ දරණ ප්‍රාථමික සහ සරළමිතික ප්‍රතිපත්තියත්, ජාතික ප්‍රශ්නයට අදාළව බලතල බෙදාහදා ගැනීමේ ඔවුන්ගේ දේශපාලනික මූලෝපාය තුළ තවමත් තිබෙන ‘ජාතිකවාදී’ නැඹුරුවත්, සංස්කෘතිකමය මතවාද තුළ දක්නට ලැබෙන ආචීර්ණකල්පික භාවයත් ගැන නොවිසඳී පවතින තව බොහෝ ප්‍රශ්න ඇති බව පමණක් මේ අවස්ථාවේ සටහන් කොට තබමි. තවත් වචනවලින් කිවහොත්, විජේවීරගේ පරම්පරාවේ පසුගාමී සමාජවාදයෙන් යම්තාක් කැඩී වෙන්වීමට අනුර කුමාරගේ ජනතා විමුක්ති පෙරමුණ ඇතැම් අංශවලින් මේ වන විට තරමක් සමත්ව තිබීම, පවතින පාලකයන් වෙනුවට ජනාධිපතිවරණයකින් තෝරාගත යුතු සාර්ථක විකල්පයක් වීමට තරම් ඔවුන්ට ප්‍රමාණවත් නොවන්නේය යන්නයි).

බූරුවා පිටිය පිළිබඳ සාදෘෂ්‍යයෙන් මා අදහස් කළ දෙවැනි කාරණය වුණේ, පරදුවට වැටී ඇති මාරක ඔට්ටුව දිනීම හෝ පරාජයට පත්වීම තීන්දු කෙරෙන සාධකය, දැරිය නොහැකි ක්ෂණික අහම්බයක් වන බවයි. බූරුවා පිටිය තුළ විචක්ෂණ භාවය නැත. බුද්ධිමය විනිශ්චය කියා දෙයක් නැත. දක්ෂතාව හෝ කුසලතාව කියා දෙයක් නැත. කොළේ වැටෙන්නේ ඉස්සරහටද පස්සටද යන්න මත පමණක් ජයග්‍රාහකයා සහ පරාජිතයා තීන්දු කෙරේ. (ජනාධිපති ක්‍රමයක් තුළ අනුර කුමාර දිසානායක කෙනෙකුට හෝ ආර්. සම්බන්ධන් කෙනෙකුට මේ රටේ කිසි දවසක ජනාධිපති වීමේ ඉඩක් නැතැයි අප කියන්නේ එබැවිනි). මේ අවස්ථාවේ ඔට්ටුව විශාල වන නිසාත්, බරපතල වන නිසාත් (ගෝඨා සහ ෆැසිස්ට්වාදය), එම අවදානමට යට වීමේ ඉඩක් හුදු අහම්බය විසින් සකසා දිය හැකි නිසාත්, එවැනි බූරු පිටියක් තුළ චෙස් ක්‍රීඩාවක ප්‍රමිතීන් සහ තරග කොන්දේසි කෙනෙකුට ඉල්ලා සිටිය නොහේ. උදාහරණයක් වශයෙන්, අනාගත වාම විකල්පයක් පෙළගස්වා ගන්නේ කෙසේද යන්න, ඒ පෙළගස්වා ගැනීම සඳහා ජනාධිපතිවරණයක් පාවිච්චියට ගැනීමේ හැකියාව ඇත්තේද  යන්න, පාවිච්චියට ගත හැකි නම් ඒ කෙසේද යන්න, රටේ දේශපාලනය තුළ ‘පක්ෂය’ පළමු පෙළට ඔසවා තබාගන්නේ කෙසේද යන්න, දූෂණය සහ නාස්තිය පිටුදකින අලුත් සංස්කෘතියක් සඳහා වන පෙරහුරුවකට ජනාධිපතිවරණයක් තුළින් ජනතාව සූදානම් කළ හැක්කේද, එසේ හැකි නම් ඒ කෙසේද යන්න ආදී න්‍යායික, ප්‍රතිපත්තිමය සහ ප්‍රායෝගික කරුණු සැලකිල්ලට ගැනීම චෙස් ක්‍රීඩාවකට සමාන ය. ඒ සියල්ල මේ අවස්ථාවේ ඉදිරියට දමා නොවැම්බර් 16 වැනි දාට ෆැසිස්ට්වාදියා ජයග්‍රහණය කැරැවිය හැකි අහම්බයකට රුකුලක් වීම, සමාව දිය නොහැකි දේශපාලනික අපරාධයක් වන බව පෙන්වා දීමයි, බූරුවා පිටිය සහ චෙස් ක්‍රීඩාව පිළිබඳ සාදෘෂ්‍යයෙන් මා අදහස් කෙළේ. 

තමා වෙනුවෙන් ඡන්දය පාවිච්චි කරන කිසිවෙකු වෙනත් කිසිවෙකු වෙනුවෙන් දෙවැනි මනාපයක් පාවිච්චි නොකළ යුතුව ඇතැයි අනුර කුමාර දිසානායක ප්‍රසිද්ධියේ කියා තිබීම නිරීක්ෂණය කිරීමේදී මගේ අවධානයට යොමුවන විශේෂ සිදුවීමක් තිබේ. එනම්, තමන් වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි මනාපය පාවිච්චි කළ හැකිදැයි බැසිල් රාජපක්ෂ දුරකථන ඇමතුමක් දෙමින් ජනතා විමුක්ති පෙරමුණු නායකත්වයෙන් විමසා තිබේය යන කාරණයයි. බැසිල් රාජපක්ෂට එවැනි ඉල්ලීමක් කිරීමට තරම් හයියක් ලැබුණේ කෙසේද යන්න මා වික්ෂිප්ත කරවයි. දෙවැනි මනාපය සජිත් ප්‍රේමදාස වෙනුවෙන් පාවිච්චි කරන්නැයි අප විසින් පුන පුනා ජනතා විමුක්ති පෙරමුණෙන්, ප්‍රසිද්ධියේ මෙන්ම පෞද්ගලිකවත් ඉල්ලා සිටියේ, යම් පූර්ව-අවබෝධයක් අප අතර පැවතීම නිසා ය. අප දෙගොල්ලන්ටම ගෝඨාභය රාජපක්ෂ පරාජය කිරීමේ අවශ්‍යතාවක් ඇතැයි යන විශ්වාසය එවැනි ඉල්ලීමක් කිරීමට තරම් හයියක් අපට සපයා තිබූ සාධකයයි. ඒ හා සමානවම, මහේෂ් සේනානායකගෙන්ද එම ඉල්ලීම අපට කළ හැකිය. එහෙත්, නැගෙනහිර හිස්බුල්ලාගෙන් එවැනි ඉල්ලීමක් කිරීමට මොන විදහකින්වත් අප පෙළඹෙන්නේ නැත. මන්ද යත්, ඔහුගේ එකම අභිප්‍රාය වන්නේම සජිත් පරාජය කොට ගෝඨාභය දිනවීම බව අප සක්සුදක් සේ දන්නා නිසා ය. 

ජනතා විමුක්ති පෙරමුණ සඳහා පාවිච්චි වෙන ඡන්ද ප්‍රමාණයෙන් සියයට 80 ක්වත් ගෝඨාභයට එරෙහිව පාවිච්චි විය හැකිව තිබූ ඡන්ද ප්‍රතිශතයක් බව කවුරුත් දනිති. එනම්, අනුර කුමාර දිසානායක තරගයට ඉදිරිපත් නොවූයේ නම්, ගෝඨාභයට විරුද්ධව පාවිච්චි විය හැකිව තිබූ ඡන්ද ප්‍රමාණයකි. එහෙත් අනුර කුමාර දිසානායක දෙවැනි මනාපයක් පාවිච්චි නොකරන්නැයි සිය අනුගාමිකයන්ගෙන් ඉල්ලා සිටීම නිසා, එම ඡන්ද ප්‍රමාණය දැන් ගෝඨාභයට විරුද්ධව පාවිච්චි වන්නේ නැත. එනම්, ජනතා විමුක්ති පෙරමුණ ජනාධිපතිවරණයේදී ලබාගන්නා සෑම ඡන්දයක්ම ගෝඨාභයටම මිස සජිත්ට වාසියක් නොවන බව ය. එම සාධකය මුල පටන්ම රාජපක්ෂ කඳවුර ස්වකීය ජයග්‍රහණයේ ගණනයන්ට ඇතුලත් කරගෙන සිටියේය. ඒ මගින්, පළමු වටයේදීම සියයට 50 කට වැඩි ඡන්ද ප්‍රතිශතයක් ලබාගැනීමෙන් ජයග්‍රහණය කිරීම ඔවුන්ගේ අභිප්‍රාය විය. 

එහෙත්, තමන්ට සියයට 50 සීමාව ඉක්මවා යා නොහැකි බව දැන් අවබෝධ කරගෙන සිටින රාජපක්ෂ කඳවුරට සිය ජයග්‍රහණය සඳහා දෙවැනි මනාපයත් තීරණත්මක වීමට පටන්ගෙන තිබේ.

ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය දෙස බැලීමේදී, මූලෝපාය සහ උපායමාර්ග අතර ගැළපීම හැමදාමත් පටලවා ගත් පක්ෂයකි. පෘථග්ජන අවබෝධය සඳහා ඉතා සිල්ලරට ඒ සංකල්ප දෙක විස්තර කළොත් මෙසේ ය: මේ අවස්ථාවේ ජනතා විමුක්ති පෙරමුණේ මූලෝපාය වන්නේ ඉදිරි මහ මැතිවරණයකදී පාර්ලිමේන්තුව තුළ වැඩිම නියෝජනයක් ලබා ගනිමින් මෙරටේ ප්‍රධාන ප්‍රවාහයේ බලකේන්ද්‍රීය පක්ෂයක් බවට තමන් ගොඩනැගීමයි. මේ ජනාධිපතිවරණයේදී ඊට අවශ්‍ය පරිසරය සකස් කරගන්නේ කවර නිශ්චිත පියවර ගැනීමෙන්ද යන්න, උපායමාර්ගයට අයත් වන්නේය. ඒ ආශ්‍රිතව සරල උදාහරණයක් ගෙනහැරපෑමට මා කැමති ය. 2015 ජනාධිපතිවරයා තෝරා ගැනීමේදී ජනතා විමුක්ති පෙරමුණේ අඩංගුව ගණනය කිරීමේ ක්‍රමයක් නොවුණි. එහි විශාල පංගුවක් එක්සත් ජාතික පක්ෂය අත්කරගත් අතර, ඉතිරි පංගුව, සුළු ජාතික පක්ෂ, සිරිසේනගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ජනතා විමුක්ති පෙරමුණ අතර අවිධිමත්ව බෙදී ගියේය. මේ ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ සියයට 48 ක් ද, සජිත් ප්‍රේමදාස සියයට 47 ක් ද ලබාගන්නා (හෝ ඒ හා සමාන) අවස්ථාවක් එළඹෙතැයි සිතන්න. එහිදී ජනතා විමුක්ති පෙරමුණේ දෙවැනි මනාපය නිසා සජිත් ප්‍රේමදාස සියයට 49 ක් දක්වා ගොස් ජයග්‍රහණය කරතියි සිතන්න. දැන්, ගෝඨාභයගේ ෆැසිස්ට්වාදය පරාජය කිරීමේ සහ සජිත් ප්‍රේමදාස හරහා ප්‍රජාතන්ත්‍රීය අවකාශය තවදුරටත් ආරක්ෂා කර ගැනීමේ නිශ්චිත තීරක බලවේගය වුණේ තමන් බව සංඛ්‍යාත්මකව රටට පෙන්වීමට ජනතා විමුක්ති පෙරමුණට හැකි වන්නේය. ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමගාමී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයකට ඊටත් වඩා සදාචාරමය හයියක් වෙන කොහෙන් ලබාගන්නද/ එය, ඊළඟට පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මොන තරම් ශක්තිමත් පදනමක් සහ අයිතියක් එම පක්ෂයට උදාකර දෙනු ඇත්දැයි මදක් සිතා බලන්න. 

ඊට ප්‍රතිපක්ෂව දැන් මෙසේ සිතා බලන්න: අනුර කුමාර දිසානායකගේ බහට කන් දී දෙවැනි මනාපය ඔහුගේ අනුගාමිකයන් පාවිච්චි නොකළොත්, ඉහත කී නිදර්ශනයට අනුව, ගෝඨාභය රාජපක්ෂ ජයගන්නේය. එහිදී ජනතා විමුක්ති පෙරමුණ වැනි වාමගාමී සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් මුහුණදෙන අබග්ගය, ලෝක ඉතිහාසයේ නොයෙක් අවස්ථාවල විවිධ රටවලට අත්කර දී ඇත්තේ විශාල වන්දියක් දැරීමට සිදුවන නීරස අත්දැකීම් සමුදායකි.
  
මේ අවදානම්කාරී තත්වය අප විසින් පෙන්වා දෙනු ලැබීම මගේ අතිජාත මිත්‍ර ලාල්කාන්ත පසුගිය දා විස්තර කොට ඇත්තේ, ගෝඨාභය පිළිබඳ බියක් පෙන්වා ජනතා විමුක්ති පෙරමුණු පාක්ෂිකයන් කෙරෙහි ‘ත්‍රස්තවාදයක්’ මුදා හැරීමක් (හෝ ඒ හා සමාන අදහසක්) වශයෙනි. වර්තමාන සමස්ත ජනතා විමුක්ති පෙරමුණු නායකත්වය, 1960-80 දශකයේ පසුගාමී විජේවීරවාදයේ සිට ඉදිරිගාමී ගමනක යෙදී සිටින බව පෙනෙන්ට තිබේ. අනුර කුමාර දිසානායක ඇතුළු වර්තමාන නායකයන් බහුතරයක් නූතනත්වයට අනුගත වීමට වෑයම් කරන බවත් පෙනෙන්ට තිබේ. ඒ අතරින් ලාල්කාන්තව මා සලකන්නේ දියුණු සංස්කෘතික මිනිසෙකු වශයෙනි. එබැවින් සහෝදරත්වයෙන් මට ඔහුට කීමට ඇත්තේ මෙවැන්නකි: ත්‍රස්තවාදය පිළිබඳ ඔබේ හැඳින්වීම, න්‍යායික අර්ථයෙන් ගත්තත්, ප්‍රායෝගික අර්ථයෙන් ගත්තත්, දෝෂසහිතයි. හුදු බිය දැනවීම ‘ත්‍රස්තවාදයක්’ වන්නේ නැත. හුදු සත්ව පැවැත්ම රඳා පවතින්නේද බිය මත ය. එය, අවදානම කෙරෙහි තිබිය යුතු පැවැත්ම පිළිබඳ බිය වශයෙන් හඳුනාගැනේ. වර්තමාන සන්දර්භය තුළ අප කියන්නේ ඉතා සරල කාරණයකි. පසුපසින් කෝච්චියක් පිම්මේ එද්දී රේල්පාරේ ‘සෙල්ෆි’ ගසන කුල්මත් පෙම්වතුන් යුවළක් දැක කෑගසා බිය වද්දා හෝ තර්ජනය කොට හෝ ඔවුන්ව රේල්පාරෙන් ඉවත් කිරීමට තැත් කිරීම ‘ත්‍රස්තවාදයක්’ නම්, එවැනි ත්‍රස්තවාදීන් වීම අපට ආඩම්බරයකි.

කෙසේ වෙතත්, අනුර කුමාර දිසානායකට වෙනස්ව, ලාල් කාන්ත දියාරු ආකාරයකින් වුවත්, දෙවැනි මනාපය පාවිච්චි කරන්නැයි පසුගිය දා ඉල්ලා ඇත. එය අපගේ පමණක් නොව, අනුර කුමාර දිසානායකට පළමු ඡන්දය පාවිච්චි කරන අතරේම, ෆැසිස්ට්වාදියාගේ අනතුරත් පරාජය කිරීමේ අධ්‍යාශයෙන් පෙලෙන කාගේත් ප්‍රශංසාවට ලක්වනු ඇත.  




සබැඳි පුවත් 



0 comments: