Hot!

ඉතිහාසය මෙතැනින් අවසන් ද?

සියලු දෙනා පාහේ මෞන ව්‍රත පුරන්නට පටන් ගෙන තිබේ. සතියට මාධ්‍ය සාකච්ඡා දෙක-තුන කැඳවූ වාචාලයෝ දකින්නටවත් නැත. මහා චරිත ලෙස පෙන්වාගෙන සිටියෝ චූල බවට පත්ව තණපත් අතර සැඟවී ගොස් තිබේ. ගෝඨාභය වාරණයක් මර්ධනයක් ගෙනෙන්නට කල්පනා කරන්නට පවා ප්‍රථමයෙන් බොහෝ දෙනෙක් ස්වයං වාරණයක් දමාගෙන සිටිති.

සඳුන් ප්‍රියංකර විතානගේ 

මේ සටහන ලියැවෙන අද වන විට නව ජනාධිපතිවරයා ලෙස ගෝඨාභය රාජපක්ෂ දිවුරුම් දී වැඩ පටන්ගෙන ඉකුත්ව ගොස් ඇත්තේ සතියක් පමණ කාලයකි. ඉතා පැහැදිලිව නූතන සිංහල බෞද්ධ ජාතිවාදය සිය දෘෂ්ටිවාදය කරගනිමින් සටනට ආ ඔහුට එකී නියෝජනයේ බහුතරය ලැබුණේ ඉහටත් උඩිනි. යුද තත්වය සමහන් වී වසර 10 කට පසුව පවා මහින්ද රාජපක්ෂ ලබාගත් තරම්වත් ඡන්ද ප්‍රමාණයක් ඔහුට උතුරෙන් නොලැබීම කියාපාන්නේ ඔවුන් බලය පිණිස පැතිර වූ දෘෂ්ටිවාදයේ තරම මිස අනෙකක් නොවේ.

මේ සටහනේ අරමුණ මාධ්‍යකරුවන් ලෙස අප ගත යුතු මඟ ගැන මූලික වශයෙන් අවධානයක් යොමු කරන්නට ය. කවුරුත් දන්නා පරිදි අපේ මාධ්‍ය භාවිතය අභිරුචියෙන් අනතුරු වර්ණනා කිරීමක් හෝ වැනෙනවාට ඔහේ වැනෙනවා පන්නයේ සුමට එකක් නොවේ. කොයි කවර පාලනයක් යටතේ හෝ අප වෑයම් කළේ මාධ්‍යකරුවන් ලෙස අපගේ සැබෑ වගකීම ඉටු කරන්නට ය. මහින්ද පාලනය වේවා රනිල් මෛත්‍රී පාලනය වේවා අප කවදත් අපේ ස්ථානය සලකුණු කරගත්තෙමු. රට සහ ජනතාව ශිෂ්ටකරණයේ දිසාවට, පුරවැසිකරණයේ දිසාවට ගෙනයෑමේ වගකීම අප උරෙන් ගෙන සිටියෙමු. ගෝඨාභයගේ පාලනයේ වුව ද අපේ ස්ථානගත වීම සිදුවන්නේ එතැන ය. රෝසමල තැනෙක තිබෙද්දී අන්තැනක නටන භාවිතයක් අපට තිබුණේ නැත.



එහෙත් නව ජනාධිපතිවරයාගේ පාලනයේ ආරම්භයේ ම හෙවත් මේ සටහන තබන මොහොතේ ඇත්තේ අතිශය පුදුමාකාර තත්වයකි. කිසිවෙක් කටක් නාරින බවක් පෙනේ. අතිශය විශාල වැඩි ඡන්ද ප්‍රමාණයකින් ගෝඨාභය ජයගත් බවත් ඔහු ශ්‍රී ලංකාවේ ජනාධිපති බවත් අපි පිළිගත යුත්තෙමු. පිළිගනිමු. එහෙත් ඔහුට විපක්ෂව ද ගණනින් ලක්ෂ 60 කට ආසන්න පිරිසක් සිටියෝ ය. පුදුමයට කරුණ නම් මේ වන විට එවැනි පිරිසක් නොසිටියා සේ පෙනෙන්නට පටන් ගෙන තිබීම ය. මුළු සමස්ත ජනතාව ම ඒකමතිකව ගෝඨාභය බලයට ගෙනා බවක් පෙනෙන්නට තිබීම ය.

සියලු දෙනා පාහේ මෞන ව්‍රත පුරන්නට පටන් ගෙන තිබේ. සතියට මාධ්‍ය සාකච්ඡා දෙක-තුන කැඳවූ වාචාලයෝ දකින්නටවත් නැත. මහා චරිත ලෙස පෙන්වාගෙන සිටියෝ චූල බවට පත්ව තණපත් අතර සැඟවී ගොස් තිබේ. ගෝඨාභය වාරණයක් මර්ධනයක් ගෙනෙන්නට කල්පනා කරන්නට පවා ප්‍රථමයෙන් බොහෝ දෙනෙක් ස්වයං වාරණයක් දමාගෙන සිටිති. කොටින් ම යකා පනින්නටත් පෙර හැමෝම පාහේ ආරක්ෂාවට නූල් දමාගෙන ඔළුව වැසෙන්නට රෙදි පොරවාගෙන ආතුර චරිත රඟපාන්නට පටන් ගෙන තිබේ.

ගෝඨාභය යන ගමන දැන් නම් හෝදන්නට දෙයක් ඇත්තේ නැත. ඔහුගේ දිවුරුම් දීමේ කතාව ම සැරසී තිබුණේ සිංහල බෞද්ධ ස්වෝත්තමවාදයෙනි. අඩු ම තරමේ දෙමළ භාෂාවෙන් පරිවර්තනයක් පවා නොකරන්නට හේ මඟ බලාගත්තේ ය. ඔහුගේ කතාව සැදී තිබුණේ ෆුල්සූට් අඳින නමුත් ඉඩමේ මායිමට රණ්ඩු කරගන්නා මැදමුලන ගැමියෙකුගේ ආකාරයෙනි. සමස්ත ගමන ම මේ ආකල්පය මත සිදුවන බව දැනගන්නට මේ සඳුදා බිඟුන් මේනක ගමගේ විසින් ලංකාදීප පුවත්පතට ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා සමඟ කළ සම්මුඛ සාකච්ඡාව කියවීම සෑහේ. රාජ්‍ය සේවය දේශපාලනීකරණයෙන් තොරව පවත්වාගෙන යෑම වෙනුවෙන් අරගල කර පිහිටුවා ගත් ශිෂ්ට ලෝකයේ ඇගැයුමට ලක් වෙන කොමිසන් සභා සමඟින් වැඩක් කළ නොහැකි බව ඔහු ප්‍රසිද්ධියේ දැක්වූයේ ය. 19 සංශෝධනය පිළිකෙව් කළේ ය. ජනපතිවරයාට ද ඇඟිල්ල දිගු කෙරී තිබුණු පරීක්ෂණ ගණනාවක් මෙහෙය වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා පලිගැනීමක් යැ යි සිතිය හැකි පන්නයේ මාරුවකින් පිරිහෙළිණි. අධිකරණ නියෝගයකින් තොරව කළ නොහැකි වුවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 704කට රටින් පිටවීමේ වාරණ නියෝග පැණවූයේ ය. ආරක්ෂක අමාත්‍ය ධුරය දරන්නේ කවරෙක් දැ යි තවමත් දැනගන්නට නැත.

සතියක් තුළ සිදුවූ මේ සිදුවීම්වලින් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යන්නට හදන ගමන ගැන පුරෝකථනයක් කරගන්නට නොහැකි නම් එවුන් අඳ බාල අබබ්බයන් විය යුතු ය. මේ කෙළි කෙරුවේ ද භාරකාර ආණ්ඩුවක් සන්තකයේ තබාගෙන ය. ඉදිරි මැතිවරණයකින් බලයට පත් වෙන තමන්ගේ ම රජයකින් කවර දේ කෙරෙද්දැ යි ඉන් සිතාගත හැකි ය. මගේ ප්‍රශ්න කිරීම ගෝඨාභයගේ මේ ක්‍රියා පිළිවෙත නොවේ. මේ ගෝඨාභය රාජපක්ෂ යි. ඔහු තම පාරේ ගමන යමින් සිටියි.

මගේ ප්‍රශ්න කිරීම ඔහුගේ ප්‍රතිපක්ෂය යි. එක්සත් ජාතික පක්ෂය ගැන කතා කරන්නට දෙයක් ඇත්තේ නැතුවා සේ ම අපට උන්ගෙන් වැඩක් ද නැත. ජනතාව ගැන හෝ ශිෂ්ටකරණය කෙරෙහි ලේශමාත්‍ර හැඟීමක් හෝ මේ දියාරු දක්ෂිණාංශය වෙතින් ලැබෙන්නේ නැත. සිවිල් සමාජය කියා උඩ පැන නැටූ පිරිස කොහි ද? මෙතරම් සිදුවීම් ප්‍රමාණයක් සිදු වෙද්දී කටක් ඇරි එක සිවිල් සමාජ මහතෙක් සිටිත් ද? සරත් විජේසූරිය, ගාමිණී වියන්ගොඩ, චන්ද්‍රගුප්ත තේනුවර, ධර්මසිරි බණ්ඩාරනායක ආදී වශයෙන් නැතක් සිවලුන් සමාවෙන්න සිවිලුන් වචනයක් කතා කළ අවස්ථාවක් වේ ද? ජනතා විමුක්ති පෙරමුණ? අප මාධ්‍ය මිතුරන් "අනුර අයියා" කියා ආදරයෙන් අමතන අනුර කුමාර දිසානායක ජවිපෙ නායකයා ස්වාධීන කොමිෂන් සභා ගැන ආණ්ඩුවේ ආකල්පය, ශානිගේ මාරුව, අනීතික රටින් පිටවීමේ වාරණ, ජනාධිපතිවරයාගේ ස්වෝත්තම කතාවන් ගැන තම අදහස පළ කළ තැනක් හෝ එසේ නැත්නම් ජනතා විමුක්ති පෙරමුණ ලෙස උක්ත කරුණු හෝ එක් කරුණක් අරභයා එක් පුවත්පත් නිවේදනයක් නිකුත් කළ තැනක් හෝ වෙත් ද? සිංහල බෞද්ධ ඡන්ද ගොඩේ තමන්ගේ කොටස ගැන වදවෙන උහු මේවාට කටක් නාරින බව සහතික ය. නැතක් බලගතු මාධ්‍ය සංවිධාන, මහා බලගතු මාධ්‍ය ශ්‍රේෂ්ඨයෝ කොහි සැඟවුණි ද? අඩු ම තරමේ මේ "හැදෙන ගහේ දෙපෙත්ත" ගැන පෙරටුගාමී සමාජවාදී පක්ෂය පවා යමක් කිව්වෙ නැත.

මෙවැනි සන්දර්භයක "මාධ්‍යකරුවන්" ලෙස අප කළ යුත්තේ කුමක් ද? සැබෑ ප්‍රශ්න වෙත අභිමුඛ නොවී "ඌරන් පොලු ගසා මැරූ අබිලිංට අවසානයේ දී පඩිසන් දුන් හැටි" ජාතියේ ලිපි ලියන්නට අප තීරණය කළ යුතු ද? අපේ මාධ්‍ය භාවිතයත් විලංගුවල කැටයම් කපනා තැනට තල්ලු කරගත යුතු ද?

ශ්‍රී ලංකාවට අප තවදුරටත් අවශ්‍ය ද? ඉතිහාසය මෙතැනින් අවසන් ද?”

0 comments: