to-add

''නව දේශපාලන අත්තිවාරමක් දැමීම අත්‍යවශ්‍යයි'' - පාඨලී




හංසයාට ඡන්දේ දුන් අයට තුති 

පළමුව හංසයා ලකුණට සහ සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට ප්‍රජාතන්ත්‍රවාදී නිදහස වෙනුවෙන් ඡන්දය දුන් 5564235 ක් හෙවත් 42% ක ජනතාවට මාගේ ප්‍රණාමය පිරිනමමි. මෙය 2018 වසරේ පළාත් පාලන ඡන්දයේදී ඒජාපය ලබාගත් ලක්ෂ 36ක් නොහොත් 29%ක ප්‍රතිඵලය සමග සන්සන්දනය කරනවිට ප්‍රගතශීලී වර්ධනයක් බව ප්‍රකාශ කරමු. ඒ් පිළිබඳව වෙහෙස නොබලා මැතිවරණ ව්‍යාපාරයක නියැළුණු සජිත් ප්‍රේමදාස මැතිතුමන්ට අප සැමගේ ගෞරවය පිරිනමමු. ඒ් වගේම ජයග්‍රාහකයා වූ ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ට සුභාශිංෂණ පිරි නැමීමටද මෙය අවස්ථාවක් කර ගනිමු.

සිදුවූයේ කුමක්දැයි වටහා ගැනීමට නම් වසර 2015 දී නිකුත් වූ Our Brand is Crisis නම් වූ ගෝර්ඩන් ග්‍රීන්ගේ සිනමා පටයෙහි පණිවිඩය තේරුම් ගැනීම වටී. ඒකී සිනමා පටයෙන් කියැවුණේ ලතින් ඇමරිකානු රටක දුර්වල තත්වයක සිටි ජනාධිපති අපේක්ෂකයෙකු ජයග්‍රාහකයා කරලීම සඳහා සිදුකරන මාධ්‍ය හා මානසික මෙහෙයුමයි. රට ආර්ථික, සමාජයීය හා දේශපාලනික ලෙස අනාරක්ෂිත අර්බුදයක වෙලී ඇති බවත් ඒයට විසඳුම දැඩි සෘජු පාලනයක් බවත් අවධාරණය වන ලෙස සිදුවීම් ඇතිකිරීමටත්, අර්බුද ඇතිකිරීමටත්, සමාජය බියවැද්දීමටත් ඉන්පසු විසඳුම තමන් බව පෙන්වීමටත් මාධ්‍ය යුද්ධයක් ගෙන යන ආකාරයයි. විශේෂයෙන් IMF, WB වැනි ආයතන ඒක්සත් ජනපදයේ ව්‍යාප්තවාදී ආයතන ලෙස පෙන්වා ජනයා බියවැද්දීම සිදුකරනු ලබන ආකාරයයි. චිත්‍රපටය අවසාන කරනුයේ IMF බිල්ලා පෙන්වා බලයට පත්වූ ජනාධිපතිවරයා එයට රතු පාවාඩ දමා පිළිගෙන ඉදිරියට යනවිට තේමාව නිර්මාණය කළ මාධ්‍යවේදීන් ඔහුට රැහනිව යෑමට තීරණය කිරීම පෙන්වා දෙමිනි. මුළු දේශපාලන ප්‍රචාරක ව්‍යාපාරයම කූඨ නාටකයක් බව ඒයින් පෙන්වා දෙයි.


යහපාලනේ බලයට පත්වූදා සිට ෆැසිස්ට් මාධ්‍ය භාවිතාවන් ගෙන ගියා

යහපාලන ආණ්ඩුව බලයට පත්වූ දා සිට පුද්ගලික නාලිකා දෙකක් හා මුද්‍රිත මාධ්‍ය කිහිපයක්ද, මුදල් ගෙවා පුම්බන ලද සමාජ මාධ්‍ය ක්‍රියාකාරී පිරිසක්ද ෆැසිස්ට් මාධ්‍ය භාවිතාවත් ගෙනගියහ. ඔවුන් මුලින් පටන් ගත්තේ රණවිරුවන් පාවා දෙනවා, කොටි නිදහස් කරනවා ලෙසය. එකම රණවිරුවෙකු හෝ ත්‍රස්ත විරෝධී යුද්ධය නිසා නඩුවිභාග වලට මුහුණ නොදුන්නද, එකම කොටියෙක් හෝ නිදහස් නොකළද ආණ්ඩුවට මේ ඝෝෂාව පාලනය කළ නොහැකි විය. ඊළඟට ප්‍රායෝගිකව ඉටුකළ නොහැකි ව්‍යවස්ථා නිර්මාණයක් හරහා රට ඔරුමිත්ත නාඩුවක්, ෆෙඩරල් රටක් වීමට යන බවට මාධ්‍ය ප්‍රහාරයක් ඒල්ලවිය. ඊළඟට සහරාන්ගේ ප්‍රහාර සමග ඉස්ලාමීය ත්‍රස්තවාදයක් ගැන දරුණු භීතිකාවක් පැතිර ගියේය. ආණ්ඩුව තුළ සිට හෝ එයට සහාය දෙන ක්ෂුද්‍ර අනාගමික ලිබරල් ප්‍රචාරකයන් කළ කී දෑවලින් මේ බිය පතුරවන්නට තව තවත් පිදුරු ලැබිණි. ගින්න එවිට ලැව්ගින්නක් විය. බෞද්ධ ප්‍රජාවගේ අඩුම තරමින් 40%ක ඡන්දය අත්‍යාවශ්‍ය වී තිබියදී එය 25% දක්වා බිඳවැටී ඇති බව පූර්ව මත විමසුම් පෙන්නා දී තිබියදීත් එය වෙනස් කිරීමට ප්‍රායෝගික උත්සාහයක් ගැනුනේ නැත.

අපගේ ආණ්ඩුව සිය මූලික කර්තව්‍යයක් ලෙස දැක්කේ ජනාධිපතිධූරය අහෝසි කිරීම පිළිබඳවය. ඒ පිළිබඳව ජනමත විචාරණයකට නොගොස් කළ හැකි උපරිම දේ 19 වැනි සංශෝධනය හරහා සිදුවී තිබුනද දිගටම ඇතැම් ක්ෂුද්‍ර වාමාංශික පිරිස් ජනාධිපතිධූර අහෝසිය ඉදිරියට ගනු ලැබුවේ ජනාධිපතිවරයා දුර්වල කිරීමේ උපායක් ලෙසය. එය ආණ්ඩුවේ දේශපාලන ස්ථාවරත්වය බිඳදමා ජනපති - අගමැති අතර එළිපිට පෙනෙන ගැටුමක් වීමෙන් සියළු ජනයාගේ කලකිරීමට හේතුවිය. මහ බැංකු වංචාව විසින් එය පිළිකුලක් බවට පත්වූ අතර, පාස්කු ප්‍රහාර විසින් එය වෛරයක් බවට පරිවර්තනය කිරීමට විපක්ෂයට හැකිවිය.

රාජපක්ෂ යුගයේ දූෂණ වලට පියවර ගැනීම ඩීල් එකක් කරගත්තා 

2015 දී ආණ්ඩුවට ඡන්දය දුන් මධ්‍යම පන්තිය (ලක්ෂ 25) එසේ කළේ රාජපක්ෂ යුගයේ දූෂණ වලට පියවර ගනු ඇතැයි සිතමිනි. ආණ්ඩුවේ නායකයින් එය දේශපාලන ඩීල් එකක් කරගත් අතර, ඒතැනින් නොනැවතී ඔවුනද විවෘත දූෂණයට ගමන් කරවීමෙන් මධ්‍යම පන්තිය ආණ්ඩුවෙන් පලවා හරිනු ලැබීය. මෙය 2018 පළාත් පාලන මැතිවරණයේදී මනාව පැහැදිලි වුවත් කිසිදු නිවැරදි කිරීමේ පිළිවෙතක් අනුගමනය කළේ නැත.

එජාපය සිය බිම් මට්ටමේ යාන්ත්‍රණය ශක්තිමත් කළේ නැත. එය තිබුණේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට වඩා බොහෝ පසුපසිනි. ඒමෙන්ම, මැතිවරණයට පෙර හෝ මැතිවරණය තුළ දැන් පක්ෂය අලුත්වෙලා, ප්‍රතිව්‍යුහගත වෙලා ලෙස නැවුම් බලාපොරොත්තු ඇතිවූයේ නැත. මේ තරමට හෝ එජාපය ක්‍රියාකාරී වූයේ සජිත් ප්‍රේමදාස මහතා ජයග්‍රහණය කරවිය යුතුය යන මතය තුළය.

ආණ්ඩුව දරුණු ලෙසම අවුල්කර ගත්තේ ආර්ථික ක්ෂේත්‍රයයි. විදේශ ණය බර පාලනයට, දේශීය ආදායම් වැඩි කිරීමට, ආණ්ඩුවේ මූල්‍ය කලමනාකරණය විධිමත් කිරීමට, ආණ්ඩුවේ සංවර්ධන වියදම් හා සුභසාධන වියදම් වල සමාජ දේශපාලන හෝ මූල්‍ය ප්‍රතිලාභ සෙවීමට උනන්දුවක් නොවීය. ආණ්ඩුව 2015 සිට මූල්‍ය අර්බුදයක පැවතිනි. වර්ධන වේගය එකතැන පල් වෙන්නට විය. බදු බර ආදිය විසින් ව්‍යාපාරිකයන්, පාරිභෝගිකයන් දෙදෙනාම ආණ්ඩු විරෝධී කරනු ලැබීය.

ආණ්ඩුවේ පරාජයට මූලික හේතුව මතවාදී ක්ෂේත්‍රය පාලනය නොකිරීමයි

ආණ්ඩුවේ පරාජයට මූලිකව හේතුව මතවාදී ක්ෂේත්‍රය පාලනය නොකිරීමය. ලබාදුන් මාධ්‍ය නිදහස ෆැසිස්ට් ප්‍රහාරකයින්ගේ බර අවියක් විය. ආණ්ඩුවට එරෙහි ප්‍රචාරකයින්ට මූල්‍ය හා වෙනත් චෝදනා රැසක් තිබුණද “ඩීල්” මගින් ඒවා සමනය කර ගැනීමට ඔවුන් සමත්විය. ඡන්දය ගණන් කරන තෙක්ම ජනතාව බියවැද්දවීමට මේ ෆැසිස්ට් මාධ්‍ය ක්‍රියාකළ ආකාරය වැලැක්වීමට ආණ්ඩුව මෙන්ම මැතිවරණ කොමිසමද කළ දෙයක් නැත. වෙනදා මාධ්‍ය අවභාවිතා කළේ බලයේ සිටින ආණ්ඩුවයි. මෙවර එය කළේ විපක්ෂයයි.

එජාපය ප්‍රමුඛ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ මෙන්ම ජවිපෙ ප්‍රමුඛව ජාතික ජන බල වේගයද අර්බුදයට ගොස් ඇත. ඒ් සියලු ක්ෂේත්‍රවල ඉල්ලා සිටින්නේ පුළුල් අභ්‍යන්තර ප්‍රතිසංස්කරණයක් සහ බාහිර පුළුල් සන්ධානයකි.

ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය විය යුත්තේ ජයග්‍රාහී පාර්ශ්වයට ආණ්ඩුව බාරදීමයි

එමෙන්ම, රාජ්‍ය බලයේ එල්ලී නොසිට පාලනය රාජපක්ෂවරුන්ට බාරදිය යුතුය. රාජපක්ෂවරු උත්සාහ ගන්නේ ආණ්ඩුව එජාපෙට දී, මහ මැතිවරණයකට එකඟ වන්නේ නම් පමණක් ආණ්ඩුව බාර ගැනීමටය. මේ උපායට හසුවිය යුතු නැත. අනෙක් පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය විය යුත්තේද ජයග්‍රාහී පාර්ශ්වයට ආණ්ඩුව බාරදීමය. මොන ඩීල් ගහගෙන හරි 2015 දී මහින්ද රාජපක්ෂ සුළුතර ආණ්ඩුවක් තැනීමට රනිල් වික්‍රමසිංහට ඉඩ දුන්නේය. දැන් අපද එය සිදුකළ යුතුය.


එජාපය මෙන්ම ජවිපෙද චින්තනමය ලෙස සංවිධානාත්මක විය යුතුයි

මහ මැතිවරණයකට වහාම සූදානම් වන අතරේ ඉදිරි වසර 5 ක ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයකට ඔරොත්තු දිය හැකි සංවිධාන ව්‍යුහයක් ඇතිකර ගත යුතුය. තවදුරටත් සහන දේශපාලනය හෝ පොරොන්දු දේශපාලනය තම මූලික තේමාව කරගත යුතු නැත. එමෙන්ම, විවිධ ආගමික අන්තවාද වලින් රට දේශපාලනිකව බෙදීමට රාජපක්ෂලාගේ කූඨ මැතිවරණ නාටකය සමත් වී ඇත. ඔවුන් එය මහ මැතිවරණය දක්වාද රඟදක්වනු ඇත. එයට පිළිතුරු දිය යුත්තේ පටු ආගමික ලිබරල් ප්‍රතිචාරවලින් නොව, පුළුල් ජාතික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිචාරවලිනි. ඒකීය ශ්‍රී ලංකාවක් හා එක්සත් ශ්‍රී ලාංකිකයන් පිළිබඳ තේමාවන් ඉදිරියට ගැනීම මගිනි. ඒමෙන්ම, කඩිසර, නවීන දූෂිත නොවූ නව තරුණ පෙරමුණකට කාලය පැමිණ තිබේ. පරාජයේ නටඹුන් සුද්ධ බුද්ධ කර නව දේශපාලන අත්තිවාරමක් දමා ගැනීම අත්‍යාවශ්‍ය කරුණක් වී තිබේ. මහ මැතිවරණය ඒහි පළමු ඉලක්කයයි. දෙවැන්න පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී ජන අරගලයක් තුළින් බිහිවන නව ජාතික ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණයි. ඒ සඳහා එජාපය මෙන්ම ජවිපෙද චින්තනමය ලෙස සංවිධානාත්මක වෙනස් විය යුතුය. නිසි ලෙස එක්ව ඉදිරියට යා හැක්කේ එමගින් පමණකි.''


Post a Comment

0 Comments