Hot!

දුමාරයෙහි ගිලුණ පෙරහන් පංතිය




 - මහේෂ් හපුගොඩ - 



ජෝකර් මූවි එකේ ජෝකර් දාගෙන හිටියේ වෙස් මුහුණක්. තමන්ගේ ඇත්ත මුහුණ වෙනුවට, ඇත්ත වේදනාව වෙනුවට, ඇත්ත කඳුල වෙනුවට, ඇත්ත විගලිත බව වෙනුවට එයා හිනාවක් සහිත බාහිර වැස්මක් පාවිච්චි කළා. ඊට පස්සේ එයාගේ ඇත්ත පැවැත්ම වුනේ ඒ වැස්ම. ඒ කියන්නේ එයාගේ ඇත්ත කඳුල නොපෙනෙන ලෙස තිබුණ වැස්ම ම තමයි එයාගේ ඇත්ත පැවැත්ම වුණේ. එයා වෙඩිල්ල තියන්නේ ඒ ඇත්ත මුහුණ සමග අනන්‍යය වෙලා.

දැන් දිල්ලි නගරයේ ඉන්න අයටත් වෙස් මුහුණක් නොවුනත් මාස්ක් එකක් දාන්න වෙලා. ඒ කියන්නේ කාර්මීකරණය නිසා දුෂණය වුණ වායුවෙන් බේරෙන්න පෙරහණක් වගේ දෙයක් පාවිච්චි කරන්න බල කෙරිලා තියනවා ඒ අයට. මේ විදියම තමයි බිජිං නගරය ටික කලකට කලින්. වායු දුෂණය අහස උසට. මේ නගරවල සැරිසරන අය දැන් වෙස් මුහුණක් (වැස්මක්) දාගෙන යන්නේ යන යන තැන. මේ වෙනකොට නගරයේ ඉන්න ඕනි නම් එක්කෝ වෙස් මුහුණක් ඕනි අනන්‍යතාවය පැත්තෙන්. නැත්නම් පෙරහණක් (mask) ඕනි පරිසරය පැත්තෙන්. කොහෙන් ගත්තත් විසඳුමක් නැහැ මේ ක්‍රමය ඇතුලේ. ඒකයි කියන්නේ මේ දැන් අපි කරන එදා වේල දේශපාලනය තව දුරටත් නෛතික නැහැ කියල. මේ සංවර්ධන මොඩලය ලොකු ප්‍රශ්න ඇති කරලා ඉවරයි මුළු ලෝකයටම. එකක් පස්සේ එකක් ප්‍රශ්න මතු වෙමින් පවතිනවා.. එසෙක්ස් කන්ටේනරය, සුජිත් විල්සන්, දිල්ලි වායු දුෂණය ...හෙට?

නගරයේ සංකේත පිළිවෙල දැන් සකස් වෙන්නේ වෙස් මුහුණු හෝ පෙරහන් එක්ක. සියලු පංති වලට අයත් මිනිස්සුනට දැන් මේ වෙස් මුහුණ එක්ක අනන්‍යය වෙන්න සිද්ධ වෙලා. ඒ කියන්නේ අපි විසින්ම ඇතිකරපු සංවර්ධන රාක්ෂයා විෂ දුමාරයක් වගේ සියලු පන්තීන් ගිල ගනිමින් සිටිනවා (class sunk in the toxic smog). සියළු පන්ති වල ජනයා පෙරහණක් රැගෙන තමයි ඇතුල් වෙන්නේ නගරයට. ඒ කියන්නේ පන්ති භේදයකින් තොරව සියල්ලෝ ම පෙරහන් පළදිනවා. 

දැන් පෙරහණ පාර-පන්තික අවශ්‍යතාවයක්. බුර්කා (නිකාබ්) වෙනුවට පෙරහන් එක්ක බැඳුන 'නව අනන්‍යතා මුලධර්මවාදයක්' පැමිණ තියනවා අර පරණ සංස්කෘතික දේශපාලනයට විසඳන්න බැරි. ඒ කියන්නේ මේක සංස්කෘතික ප්‍රශ්නයකින් එහාට ගිහිල්ල ජීවිතය සහ මරණය වගේ ප්‍රශ්නයක් ගානට ඇවිල්ල. මේ නව තත්වයට අපි කියමු පෙරහන් දේශපාලනය කියල (mask politics). බුර්කා වලට විරුද්ධ වෙච්ච අයට මේකට විරුද්ධ වෙන්න බැහැ. නිකාබ් දාගෙන හිටපු අය සතුටු වෙනවා ඇති දැක්ක නේද ලෞකික වාදීන්ට දෙයියෝ (ස්වභාව ධර්මය) දඬුවම් දුන්න කියල.



 ඉතිං මේ මොහොත වෙනකොට සිස්ටම් චේන්ජ් එකක් ඉල්ලන්න වෙලා තියන්නේ අපි ගැන ම හිතල නෙවෙයි. අනාගත පරම්පරාව ගැන හිතල. අනාගත පරම්පරාව කියල කිව්වට මිනිසා වුනත් සදාකාලික නැහැ කියලයි මම හිතන්නේ. මනුෂ්‍ය වර්ගයා හැටියට අපිට මේ ලෝකයෙන් නික්මෙන්න වෙනවා කොයි යම් මොහොතක හරි. ඒත් අපි නික්මෙන්න ඕනි විදිය මේක නම් නෙවෙයි. මීට වඩා ලස්සනට අපිට මේ ලෝකයට ආයුබෝවන් කියන්න පුළුවන් නම් හොඳයි. ඒක නිකම් මගේ ෆැන්ටසි එකක් විතරයි. ඒත් අපිට ලස්සන ලෝකයක් දුන්න පෘතුවියෙන් අපි යන්න ඕනි එයා අපිට දුන්න ලස්සනටත් වඩා ලස්සනක් එයාට ඉතිරි කරලා. නියම හෙගලියානු බෞද්ධයෝ වෙන්නේ එතකොට.

නීල් ආම්ස්ට්‍රෝන් අභ්‍යාවකාශයට ගිහින් ඉතාම ඉහල වැන්ටේජ් පොයින්ට් එකක ඉඳල පෘතුවිය දැකල කියනවා 'ඇස් අදහාගන්න බැහැ' කියල First Man චිත්‍රපටයේ. ඒ වගේම ස්ටීවන් හෝකින්ස් දිගටම සිහින දැකපු විදියට මොකෙක් හෝ දියුණු ජීවියෙක් ඒ ආම්ස්ට්‍රෝන් හිටපු තැනට ඇවිල්ල බැලුවොත් මේ ලෝකේ දිහා අන්න එදාට එයාට 'වොව්' කියවේන්න ලෝකයක් අපිට ඉතුරු කරන්න බැරි වෙයිද කියන එක තමයි මගේ සයිකෝටික ප්‍රශ්නය?


0 comments: