Hot!

පිළිතුරක් නැති ප‍්‍රශ්නය





 - වික්ටර් අයිවන්  -




දෙමළ, මුස්ලිම් ජනයා අනාරක්ෂිතද ? 

මෙම ජනාධිපතිවරණයේදී දකුණේ සිංහල බෞද්ධ ඡන්දදායකයන්ගෙන් විශාල බහුතරය ගෝඨාභය රාජපක්ෂට ඡන්දය පාවිච්චි කරන විට උතුරේ දෙමළ ජනයා හා විශේෂ වශයෙන් නැගෙනහිර මුස්ලිම් ජනයා එක පොදියක් ලෙස සජිත් පේ‍්‍රමදාසට ඡන්දය පාවිච්චි කළේය. ඒ මගින් මෙම ජනාධිපතිවරණයේදීම ප‍්‍රධාන ජන වර්ග තුනක්, වර්ගය හා ආගම අනුව කල්ලි ගැසී ක‍්‍රියාකර තිබෙන බව පෙනේ. එම තරගයෙන් දෙමළ ජනයා හා මුස්ලිම් ජනයා පරාජය කොට දේශපාලන වශයෙන් ජයගැනීමට සිංහල බෞද්ධ ජනයා සමත් විය. ඒ ආශ‍්‍රයෙන් දැකිය හැකි තවත් ලක්ෂණයක් වනුයේ දෙමළ හා මුස්ලිම් ජනයා සිංහල බෞද්ධයකු වූ සජිත් පේ‍්‍රමදාසව දිනවන්නට උත්සාහ කරන විට සිංහල බෞද්ධ ජනයා එම උත්සාහය පරාජය කොට, තවත් සිංහල බෞද්ධයකු වූ ගෝඨාභය රාජපක්ෂව දිනෙව්වේය. මෙම ජනාධිපතිවරණ ප‍්‍රතිඵලය ආශ‍්‍රයෙන් ලංකාවේ සිංහල දෙමළ හා මුස්ලිම් යන ජනවර්ගවල දේශපාලන හැසිරීමේ විශේෂ ස්වභාවය හඳුනා ගත හැකිය. දෙමළ හා මුස්ලිම් ජනයාට තමන්ගේ අනාරක්ෂිතභාවය ගැන අසහනයක් තිබූ බව සියලූදෙනා දැන සිටියේය. ඊට අතිරේකව සිංහල බෞද්ධයන් අතරද සිය වර්ගයේ හා ආගමේ පැවැත්ම මුල් කරගත් අතිවිශාල බියක් තිබී ඇති බව මෙම මැතිවරණ ප‍්‍රතිඵලය ආශ‍්‍රයෙන් පැහැදිලිව දැකිය හැකිය.

දෙමළ හා මුස්ලිම් ජනවර්ග දෙක අතර තිබුණ බිය සැක තේරුම් ගත හැකි මානසික ස්වභාවයකි. එහෙත් සිංහල බෞද්ධයන් ඇති කරගෙන තිබුණු බිය සැක සාධාරණ හේතු මත ඇති කරගත් දෙයක් ලෙස සැලකිය නොහැකිය. ඒ වන විට එල්ටීටීඊය කුඩු පට්ටම් කොට වසර දහයක් ගෙවී තිබුණු අතර එල්ටීටීඊය නැවත නැගී සිටීමට දරන උත්සාහයන් ගැන විවිධ කතා තිබුණද ඒ කතා බොහොමයක සත්‍ය පදනමක් නොතිබුණි. පාස්කු ඉරිදා මුස්ලිම් තරුණ කල්ලියක් කරන ලද පහරදීම් භේදයකින් තොරව රටේ සියලූ ජනතාව ත‍්‍රස්ත කිරීමට හේතු වුවද සිදුවූ පහරදීම්වලින් පසුව හෝ එම ව්‍යාපාරය මුළුමනින් ක‍්‍රියාවිරහිත කිරීමට සමත් වී තිබුණි. මෙම ජනාධිපතිවරණයේදී ආරක්ෂක තත්ත්වය අවුල් කිරීමට හේතුවන කිසිම සිදුවීමක් සිදු නොවීය. ජනාධිපතිවරණයේදී සියලූ ජනාධිපති අපේක්ෂකයන්ට සෙසු පළාත්වල පමණක් නොව, උතුරු නැගෙනහිර පළාත් දෙකේද ජීවිත බියකින් තොරව සිය මැතිවරණ කටයුතුවල නිරතවීමට පුළුවන්කම ලැබී තිබුණි. නව ජනාධිපතිවරයා තනතුරට තේරී පත්වූ වහාම ගමන් බිමන්වලදී පාරවල් නොවසා ආරක්ෂක රථ දෙකකට සීමාවූ ප‍්‍රතිපත්තියක් අනුගමනය කළහැකි වූයේද ආරක්ෂාව පිළිබඳ ඇත්ත ප‍්‍රශ්නයක් රටේ නොතිබුණු නිසා හා ඒ බව නව ජනාධිපතිවරයාද හොඳින් දැන සිටි නිසා විය යුතුය.

කණ්ඩායම් හැසිරීම

ප‍්‍රජාතන්ත‍්‍රවාදී දේශපාලන ක‍්‍රමය තුළ කිසියම් සමාජ කණ්ඩායමකගේ පොදු යහපතට හේතුවන ක‍්‍රියාමාර්ගයක් සඳහා මැතිවරණයන්‍ වලදී සාමූහිකව ක‍්‍රියාකිරීමේ අයිතිය ඕනෑම සමාජ කණ්ඩායමකට තිබෙන්නේය. මෙම ජනාධිපතිවරණයේදී උතුරේ දෙමළ ජනයා ඡන්දය පාවිච්චි කර තිබෙන්නේ බෙදුම්වාදී වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටි දෙමළ අපේක්ෂකයකුට නොව සිංහල බෞද්ධ අපේක්ෂකයකුටය. මුස්ලිම් ජනයා ඡන්දය පාවිච්චි කර තිබෙන්නේද බෙදුම්වාදී වැඩසටහනක් වෙනුවෙන් පෙනී සිටි මුස්ලිම් අපේක්ෂකයකුට නොව සිංහල බෞද්ධ අපේක්ෂකයකු වූ සජිත් පේ‍්‍රමදාසටය. දෙමළ හෝ මුස්ලිම් අපේක්ෂකයකුට ජනාධිපතිවරණයට තරග කොට ජයගැනීමේ හැකියාවක් ලංකාවේ නැත. ඔවුන්ට කළහැක්කේ තරගයේ සිටින සිංහල අපේක්ෂකයන් අතුරින් තමන්ගේ ප‍්‍රශ්න සම්බන්ධයෙන් සහනශීලී ආකල්පයකින් ක‍්‍රියාකරනු ඇතැයි ඔවුන්ට පෙනෙන අපේක්ෂකයකුට ඔවුන්ගේ ඡන්දය පාවිච්චි කිරීමය. එය නීතියට පටහැනි, ප‍්‍රජාතන්ත‍්‍රවාදී ගුණධර්මවලට පටහැනි හෝ ගර්හාවට ලක් කළ යුතු ක‍්‍රියාවක් ලෙස සැලකිය නොහැකිය.

2015 ජනාධිපති මැතිවරණයේදී පොදු අපේක්ෂකයකු යොදාගෙන රාජපක්ෂ පාලනය පරාජය කළ යුතුයි කියන අදහස දේශපාලන කරළියට ගෙනාවේ සිංහල බෞද්ධයන් අතර පිළිගැනීමට හේතුවූ භික්ෂු නායකයකු ලෙස සැලකිය හැකි මාදුළුවාවේ සෝභිත හිමියන් විසිනි. උන්වහන්සේගේ එම දේශපාලන වැඩසටහන බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ බලවත් විරෝධයට හේතුවූයේ නැත. එම ජනාධිපතිවණරයේදීද දෙමළ හා මුස්ලිම් ඡන්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පරාජය කෙරෙහි තීරණාත්මක සාධකයක් ලෙස බලපෑවේය. එහෙත් එහිදීද දෙමළ හා මුස්ලිම් ජනයා පොදු අපේක්ෂකයාට ඡන්දය පාවිච්චි කළේ බෙදුම්වාදී වැඩසටහනක් සඳහා ඇති කරගත් එකඟතාවක් නිසා නොව ඔවුන්ට සහනශීලී පාලනයක් ලබාගැනීම සඳහාය.

යහපාලන ආණ්ඩුව අකාර්යක්ෂම මෝඩ ආණ්ඩුවක් ලෙස සැලකිය හැකි වුවද ප‍්‍රතිපක්ෂ කියන ලද ආකාරයට රණවිරුවන් විදුලි පුටුවට යැවීමක්වත් බෙදුම්වාදයට උඩගෙඩි දෙන ප‍්‍රතිසංස්කරණ ඇති කිරීමක්වත් එම පාලන කාලයේදී සිදු නොවීය. දෙමළ හා මුස්ලිම් ජනයා හිතාමතා පීඩාවට ලක් නොකරන ලිහිල් පාලනයක් පවත්වාගෙන යෑමට සමත් වුණා විනා අඩුම වශයෙන් ජාත්‍යන්තර ප‍්‍රජාවට සහතික වී තිබුණ පරිදි සම්ප‍්‍රාන්තික යුක්තිය ඉටුකිරීමක්වත් එම ආණ්ඩුව අතින් සිදු නොවීය. එසේ තිබියදී 2019 ජනාධිපතිවරණයේදීත් ඔවුන් ගෝඨාභය රාජපක්ෂට ඡන්දය නොදී සජිත් පේ‍්‍රමදාසට ඡන්දය පාවිච්චි කළේ සජිත් පේ‍්‍රමදාස එම ජන වර්ග දෙකේ ප‍්‍රශ්න විසඳන බවට සහතිකවීම නිසාවත්, ඒ සඳහා ඔවුන් සමග රහසිගත ගිවිසුමක් ඇති කරගෙන තිබුණ නිසාවත් නොව, අඩුම වශයෙන් තමන් පිීඩාවට පත් නොකරන ලිහිල් පාලනයක් ඇතිකර ගැනීමේ අභිලාෂය විය යුතුය.

ත‍්‍රස්තවාදය

මහජන ආකල්ප කෙරෙහි ත‍්‍රස්තවාදයද වැදගත් සාධකයක් ලෙස බලපා තිබෙන නිසා ලංකාවේ මොනයම් හෝ ජනවර්ගයක් ත‍්‍රස්තවාදී ජනවර්ගයක් ලෙස සැලකිය හැකිද යන ප‍්‍රශ්නයද මෙහිදී සලකා බැලීම වැදගත්ය.

ත‍්‍රස්තවාදී ව්‍යාපාර සිංහල, දෙමළ හා මුස්ලිම් යන ජන වර්ග තුනම ආශ‍්‍රයෙන් ඇතිවී තිබෙන දෙයක් ලෙස සැලකිය හැකිය. තවමත් එවැනි දෙයක් සිදුවී නැත්තේ උඩරට වතු කම්කරු ජන ප‍්‍රජාව ආශ‍්‍රයෙන් පමණය.

දකුණේ සිංහල තරුණයන් ආශ‍්‍රයෙන් කැරලි දෙකක් ඇතිවිය. 71 කැරැල්ල ඉතාමත් කෙටි කාලයක් තුළ පරාජය කෙරුණු කැරැල්ලක් ලෙස සැලකිය හැකිය. එහෙත් ඉන් අවුරුදු 16කට පසුව සිදුවූ දෙවැනි ජේවීපී කැරැල්ල මාස 27ක් තරම් කාලයක් අල්ලාගෙන සිටීමට සමත් වූ අතර කැරැල්ල පරාජය කරන ලද්දේ කැරලිකරුවන් බලය අල්ලා ගැනීමට ආසන්න තත්ත්වයකට පැමිණ තිබුණු අවස්ථාවකදීය.

එම කැරලි දෙකටම පන්සල් සමග සම්බන්ධයක් තිබුණ අතර පන්සල් කැරලිකරුවන් සිය ආවි ආයුධ සඟවා තැබීම සඳහා පාවිච්චි කෙරුණු ආරක්ෂිත ස්ථාන විශේෂයක් ලෙස ක‍්‍රියා කළේය. 71 කැරැල්ලේ භික්ෂූන් 500කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගන්නා ලද අතර, දෙවැනි කැරැල්ලේදී කැරැල්ලට තිබුණු සම්බන්ධකම් නිසා ඝාතනයට ලක්වූ භික්ෂූන් සංඛ්‍යාව 500කටත් වැඩිවිය හැකිය. කැරලිකරුවන්ද විරුද්ධවාදී භික්ෂූන් වහන්සේලා ඝාතනය කළේය. දකුණේ ඇතිවූ ජේවීපී කැරලිවලට භික්ෂූන් වහන්සේලා සුළු පිරිසක සම්බන්ධ වූ පමණින් ශාසනය ත‍්‍රස්තවාදී ආයතන ක‍්‍රමයක් ලෙස සැලකිය නොහැකි අතර සිංහල තරුණ කැරලි දෙකක් ඇතිවූ පමණකින් සිංහල ජන වර්ගය ත‍්‍රස්තවාදයට සම්බන්ධ ජනවර්ගයක් ලෙස සැලකිය නොහැකිය.

දෙවැනි කැරැල්ලේ ආරම්භය ලෙස සැලකිය හැකි 1987 තහනම් කරන ලද මැයි රැලිය ජවිපෙ විසින් පවත්වන ලද්දේ 2015 ජනාධිපතිවරණයේ පරාජයෙන් පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිගේ දේශපාලන මූලස්ථානය බවට පත්වූ නාරාහේන්පිට අභයරාමයයි. මාදුළුවාවේ සෝභිත හිමි හා මුරුත්තෙට්ටුවත්තේ ආනන්ද හිමි එම තහනම් මැයි රැලියේ ප‍්‍රධාන දේශපාලන කථිකයන් දෙදෙනා වූහ. එහිදී ඇතිවූ වෙඩි තැබීමකින් තෙල් සංස්ථාවේ සේවකයකු වූ ලෙස්ලි ආනන්ද ලාල්ද, ජයවර්ධනපුර සරසවියේ ශිෂ්‍යයෙකු වූ කිත්සිරි මෙවන් රණවකද මරණයට පත්වූහ. එම හිමිවරුන් දෙදෙනා ඒ අවස්ථාවේදී ජවිපෙට දෙන ලද එම සහයෝගය නිසා උන්වහන්සේලා ත‍්‍රස්තවාදීන් ලෙස සැලකුණේ නැත.

භාෂා අන්තවාදය

මෙම ධර්මතාව ලංකාවේ දෙමළ ජනතාවටද අදාළය. ලංකාවේ දෙමළ ජනයාගේ කතාන්දරය ඉතාමත් ඛේදජනක කතාන්තරයක් ලෙස සැලකිය හැකිය. දෙමළ දේශපාලන පක්ෂ දෙමළ ඊලමක් ගැන කල්පනා කරන තැනකට තල්ලූ කරන ලද්දේ බලලෝභී සිංහල පාලකයන් විසිනි. 1948දී නිදහස ලබා ගත්තද රජයේ සියලූ කටයුතු සිදුවූයේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. සිංහල හා දෙමළ භාෂාව කතා කරන ජනයාට විදුලි පුවතක් පවා ලැබුණේ ඉංග‍්‍රීසි භාෂාවෙනි. ඉංග‍්‍රීසි නොදත් සිංහල හෝ දෙමළ ගැමියෙකුට තමන්ට ලැබුණු විදුලි පුවත කියවා ගැනීම සඳහා ඉංග‍්‍රීසි දත් මහත්තයකු සොයාගෙන යාමට සිදුවිය. දීර්ඝ යටත්විජිත යුගය තුළ ස්වභාෂාවන්ට ලබාදී තිබුණු දෙවැනි පෙළේ පිළිගැනීම නැති කොට ස්වභාෂාවන්ට නිසි පිළිගැනීමක් ලබාදීමේ අවශ්‍යතාව නිදහසේ සිටම සාකච්ඡාවට ලක්වෙමින් තිබුණු අතර, රජයේ කටයුතු සිංහල හා දෙමළ භාෂාවෙන් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ලක්වෙමින් තිබුණි. 1956 දක්වාම සියලූම දේශපාලන පක්ෂවල පිළිගත් මතය වී තිබුණේ සිංහල හා දෙමළ යන ස්වභාෂා දෙකටම රාජ්‍ය භාෂා තත්ත්වයක් ලබාදිය යුතු බවය.

සිංහල හා දෙමළ යන භාෂා ස්වභාෂා දෙක වෙනුවට සිංහල භාෂාවට පමණක් රාජ්‍ය භාෂා තත්ත්වය ලබාදිය යුතුයි කියන අන්තවාදී භාෂා රැල්ල ඇතිවූයේ 56 පෙරළිය ආසන්නයේය. එස්ඩබ්ලිව්ආර්ඞී බණ්ඩාරනායක සැලකිය හැක්කේ මෙම අන්තවාදී භාෂා රැල්ලේ ගිනි පුපුරුවලට ගිනි පිඹින ලද නායකයා වශයෙනි. තමන් බලයට පත්වුවහොත් පැය 24ක් තුළ සිංහල භාෂාව පමණක් රාජ්‍ය භාෂාව කරන බවට ඔහු සහතික විය. ඒ සමග සිංහල පමණක් රැල්ල මහා ළැව් ගින්නක් සේ පැතිර ගියේය. ඒ සමග ශ‍්‍රීලනිපයට පමණක් නොව එක්සත් ජාතික පක්ෂයටද තමන් එතෙක් පවත්වාගෙන ආ භාෂා ප‍්‍රතිපත්තිය වෙනස් කොට සිංහල පමණක් ප‍්‍රතිපත්තිය පිළිගන්නට සිදුවිය.

ඒ දක්වා රටේ දෙමළ දේශපාලන පක්ෂ දෙකක් තිබුණද ශ‍්‍රීලනිපයට හා එක්සත් ජාතික පක්ෂයටද දෙමළ නියෝජනයක් තිබුණි. පක්ෂ දෙකේම ප‍්‍රධාන බල මණ්ඩලවල දෙමළ නියෝජිතයන් සිටියේය. සිංහල පමණක් ප‍්‍රතිපත්තිය පිළිගැනීමත් සමග එම පක්ෂ දෙකේ ප‍්‍රධාන බල මණ්ඩලවල සිටි දෙමළ නියෝජිතයන් එම පක්ෂ දෙක අතහැර ගිය අතර ඒ සමග එම පක්ෂ දෙකම කිසිදු දෙමළ නියෝජනයක් නැති පක්ෂ බවට පත්වූහ.

බිත්තියට හේත්තු කිරීම

තමන් බලයට පත්වුවහොත් පැය 24ක් තුළ සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරන බවට සහතිකවෙමින් 1956 බලයට පැමිණි බණ්ඩාරනායක සිංහල භාෂාවට ප‍්‍රබල ස්ථානයක් දෙන අතර අඩුම වශයෙන් දෙමළ ජනතාවට ඔවුන් ජීවත් වූ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල දෙමළ භාෂාවෙන් රජය සමග කටයුතු කරගැනීමට ඉඩදෙන ප‍්‍රතිපත්තියක් අනුගමනය කළේ නම් ලංකාවේ කතාව පමණක් නොව දෙමළ ජනතාවගේ කතාවද මීට බොහෝ වෙනස් වන්නට ඉඩ තිබුණි.

දෙමළ භාෂාව ලෝකයේ ඉපැරණිම භාෂා අතරට වැටෙන භාෂාවක් වන අතර ලංකාවේ දෙමළ මිනිසුන්ට දෙමළ භාෂාව සමග තිබෙන බැඳීම සිංහල මිනිසුන්ට සිංහල භාෂාව සමග තිබෙන බැඳීමටත් වඩා ප‍්‍රබල බැඳීමක් ලෙස සැලකිය හැකිය. දෙමළ ජනතාව ආගමික බෙදීම්වලට දෙන්නේ දෙවැනි තැනකි. එම ජනවර්ගය ඒකාග‍්‍රතාව පවත්වාගෙන යන ප‍්‍රධාන සාධකය ලෙස ක‍්‍රියා කරන්නේ භාෂාවය. මා රාවය බෙදාහරින ප‍්‍රවාහන නියෝජිතයකු සමග ඔහුගේ වාහනයේ ගමන් ගනිමින් සිටින අවස්ථාවකදී ඔහු අපූරු කතාවක් මට කීවේය. ඔහු සිංහල වාර්ගිකයෙකු වුවත්, 1983 කළු ජූලිය දක්වාම දීර්ඝ කාලයක් ජීවත් වී තිබුණේ මඩකළපුවේය. මඩකළපුවට දෙමළ පත්තර රැගෙන යන ප‍්‍රවාහන නියෝජිතයා ලෙස ක‍්‍රියා කර ඇත්තේ ඔහුය. සිංහල ප‍්‍රදේශවලදී රාත‍්‍රී කාලයේදී පත්තර මිටිය අදාළ පත්තර වෙළෙඳ සැල තුළට විසිකර ගෙන යෑමේ හැකියාවක් ඇතත්, දෙමළ ප‍්‍රදේශවලදී එසේ කළ නොහැකි බවත්, කඩහිමියා අවදි කොට ඔහුගේ අතට පත්තර මිටිය දිය යුතු බවත් පත්තර මිටිය බිමට විසිකර යෑම ඔවුන් සලකන්නේ භාෂාවට කරන ලොකු අගෞරවයක් ලෙස බවත් ඔහු කීවේය.

දෙමළ භාෂාව මුළුමනින් නොසලකා හරින ප‍්‍රතිපත්තිය ඔවුන් සලකන ලද්දේ ඔවුන්ගේ ආත්ම ගෞරවය අහිමි කිරීමක් ලෙසය. ඔවුන් එම අයිතිය හිමිකර ගැනීම සඳහා සාමකාමී ලෙස දරන ලද උත්සාහයේ ප‍්‍රමාණය හා ඒ වෙනුවෙන් මුදාහළ සාමූහික ශක්තියේ ප‍්‍රමාණය අතිවිශාලය. ඒ සඳහා බණ්ඩාරනායක සමග ඇති කරගත් ගිවිසුමට එරෙහිව සිංහල භාෂා පේ‍්‍රමීන්ගේ නැගී සිටීම නිසා ඉරා දමන්නට බණ්ඩාරනායකට සිදුවිය. ඉන්පසු 1960 ජනවාරි 1 වැනිදා සිට බලපාන පරදි සිංහල රාජ්‍ය භාෂාව පරිපාලන භාෂාව වශයෙන් රට පුරා ක‍්‍රියාත්මක කරවන ප‍්‍රතිපත්තියට එරෙහිව පෙඩරල් පක්ෂය අඛණ්ඩ සත්‍යග‍්‍රහ ව්‍යාපාරයක් ක‍්‍රියාත්මක කළ අතර එම සාමකාමී විරෝධතා ව්‍යාපාරය නිසා උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල රජයේ කටයුතු මුළුමනින් බිඳ වැටුණි. දින 50ක් තිස්සේ ඉදිරියට ඇදී ගිය සත්‍යග‍්‍රහ ව්‍යාපාරය නතර කිරීමට ඔවුන් ඉල්ලා සිටි ප‍්‍රධාන ඉල්ලීම් 4 මෙසේය.

(1) දෙමළ භාෂාව උතරු නැගෙනහිර පළාත්වල පරිපාලන භාෂාව විය. (2) එම භාෂාව එම පළාත් දෙකේ උසාවි භාෂාවද විය යුතුය. (3) සිංහල භාෂා නීතිය යටතේ දෙමළ රාජ්‍ය සේවකයන්ට මුහුණ දෙන්නට සිදුවී තිබෙන ගැටලූවලටද සාධාරණ විසඳුමක් දිය යුතුය. (4) උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලින් පිටස්තරව සිටින දෙමළ ජනයාගේ භාෂා අයිතිවාසිකම් ගැනද පැහැදිලි කිරීමක් කළ යුතුය.

ඊලමට තල්ලූ කිරීම

ඔවුන් එම අවස්ථාවේ ඉදිරියට ගෙනා මෙම ඉල්ලීම් හතර තුළ බෙදුම්වාදයක ඡායාවක්වත් තිබෙන්නේ යැයි කිව නොහැකිය. ඉතාමත් සරල තත්ත්වයක තිබූ එම ප‍්‍රශ්නය විසඳා ගන්නවා වෙනුවට සිරිමා බණ්ඩාරනායක ආණ්ඩුව කළේ හදිසි නීතිය පනවා ත‍්‍රිවිධ හමුදාව උතුරු නැගෙනහිර ප‍්‍රදේශවලට යවා පෙඩරල් පක්ෂයේ සියලූ පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ද සෙනට් මන්ත‍්‍රීවරුන්ද එම පක්ෂයේ මධ්‍යම කාරක සභිකයන්ද අත්අඩංගුවට ගෙන දින 170ක් පනාගොඩ හමුදා කඳවුරේ රඳවා තබන ප‍්‍රතිපත්තියක් අනුගමනය කිරීමය.

ලංකාව භාෂාව සම්බන්ධයෙන් අනුගමනය කරන ලද එම ප‍්‍රතිපත්තිය දෙමළ ජනයා කෙරෙහි පමණක් නොව, සිංහල ජනයා කෙරෙහිද විනාශකාරී ප‍්‍රතිඵල ඇති කිරීමට හේතුවූ පසුගාමී ප‍්‍රතිපත්තියක් ලෙස සැලකිය හැකිය. සිංගප්පූරුවේ රාජ්‍ය භාෂා තත්ත්වයක් හිමිකරගෙන තිබෙන භාෂා සංඛ්‍යාව 4කි. උතුරු අප‍්‍රිකාවේ භාෂා 11කි. ස්විට්සර්ලන්තයේ භාෂා 4කි. ස්විට්සර්ලන්තයේ රොමනේෂ් භාෂාව කතා කරන ජනගහනයේ ප‍්‍රමාණය සියයට 1ක් පමණය. එහෙත් 1938 සිට එම භාෂාවත් එහි රාජ්‍ය භාෂාවකි. ලංකාවේ සිංහල පමණක් ප‍්‍රතිපත්තිය (ඉන්පසු දෙමළ ශිෂ්‍යයන්ට බලපාන පරිදි විශ්වවිද්‍යාලවලට ඇතුළත් කරගැනීමේදී ක‍්‍රියාත්මක වූ ප‍්‍රමිතිකරණ ප‍්‍රතිපත්තිය) දෙමළ ජනතාව ඊලාම් අරගලයකට තල්ලූ කිරීමට හේතුවූ අතර සිංහල තරුණ පරපුරටද ඒකභාෂික පරපුරක් බවට පත්කිරීම මගින් ඔවුන්ට දියුණුවීමට තිබුණු හැකියාවද නැතිභංග කළේය.

සිංහල පාලකයන් පවත්වාගෙන ගිය අන්තවාදී ප‍්‍රතිපත්ති නිසා හෝ ඊලාම් සංකල්පය පිළිගැනීමෙන් දෙමළ නායකයන් දෙමළ ජනතාවට සේ ම රටටම කරන ලද්දේ විශාල හානියකි. එල්ටීටීඊය වැනි විනාශකාරී අන්තවාදී ව්‍යාපාරයකට හිස එසවීමට හැකිවූයේ ඒ නිසාය. එල්ටීටීඊය විනාශකාරී වූයේ සිංහල ජනයාට පමණක් නොවන බව අපි අමතක නොකළ යුතුය. එම ව්‍යාපාරය විසින් මරා දමන ලද දෙමළ මිනිසුන්ගේ සංඛ්‍යාව ඉතා විශාල වන අතර දෙමළ නායකයන්ගෙන් සියයට 99ක්ම මරා දමන ලද්දේ එම ව්‍යාපාරය විසින් මිස ආරක්ෂක හමුදා විසින් නොවේ. එල්ටීටීඊ ව්‍යාපාරය දෙමළ සමාජයට කරන ලද විනාශය අතිවිශාල වූවත් එම ව්‍යාපාරය යුද්ධමය වශයෙන් පරාජය කිරීමෙන් පසු දෙමළ ජනයා සම්බන්ධයෙන් සානුකම්පිත ආකල්පයකින් නොබලා ඔවුන් දෙස තවදුරටත් සැකයෙන් බලන ප‍්‍රතිපත්තියක් රටේ කාලකණ්ණිභාවය වර්ධනය කිරීමට හේතුවනු ඇතිවා මිස රටේ පොදු යහපතට හේතුවන්නේ නැත.

රටේ මුස්ලිම් ජනයා සම්බන්ධයෙන් කිවහැක්කේද ඒ දේමය. පාස්කු ඉරිදා දෝරේ ගලා ගිය මුස්ලිම් ත‍්‍රස්තවාදය කුඩා මුස්ලිම් අන්තවාදී තරුණ පිරිසකගේ විනාශකාරී ක‍්‍රියාදාමයක් වශයෙන් මිස මුස්ලිම් ජනතාවගේ අනුග‍්‍රහය මත සිදුවූ දෙයක් ලෙස සැලකිය නොහැකිය. කැබලි වී ගිය ජාතිය සමගි කොට ඒකාග‍්‍ර කිරීම මගින් නූතන ජාතිය ගොඩනගා ගැනීම ලංකාව අන් සියලූ දේට ප‍්‍රථම විසඳාගත යුතුව තිබෙන ප‍්‍රධානතම ප‍්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එම මූලික ප‍්‍රශ්නය විසඳා ගැනීමෙන් තොරව ලංකාවේ දියුණුව පිණිස කරන කිසිවක් සඵල විය නොහැකිය. 2019 පරිවර්තනය තුළ ඒ ප‍්‍රශ්නයට පැහැදිලි උත්තරයක් නැත. ජනාධිපතිවරණයට තරග කළ අන් අපේක්ෂකයන්ටද ඒ ප‍්‍රශ්නයට පැහැදිලි උත්තරයක් නොතිබුණේය.



0 comments: