Hot!

හෙට කොච්චර කළුවර ද ?




- ගාමිණී වියන්ගොඩ -




ජයග්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි 


ජයග්‍රහණයක් තුළ සාමාන්‍යයෙන් ඇත්තේ අසිරියකි. එහෙත් ඇතැම් ජයග්‍රහණ තුළ මතුපිටින් පෙනෙන්ට ඇති ඒ අසිරිය අස්සෙන් අනාගත අසාර්ථකත්වයන්ද කෙටී තිබේ. ඒවා විටෙක දෘෂ්‍යමාන ය. විටෙක අදෘෂ්‍යමාන ය. 

2009 යුද ජයග්‍රහණයෙන් පසු ජාතිය එක්සේසත් කිරීමේ පෙර නොවූ විරූ මහඟු අවස්ථාවක් මහින්ද රාජපක්ෂට ලැබුණි. ජාතිය යනු සිංහල, දෙමළ, මුස්ලිම් යන ප්‍රධාන ජනවර්ගත්, බෞද්ධ, හින්දු, ඉස්ලාම් සහ ක්‍රිස්තියානි ආදී ආගම් අදහන සියල්ලන්මත් රාජ්‍යය නමැති ආයතනය ඔස්සේ ඒකාබද්ධ කෙරෙන මහා එකතුවයි. ලංකාව නමැති භූගෝලීය ප්‍රදේශය ජන්මභූමිය කරගත් සියලු වැසියෝ ඒ ‘ජාතියට’ හෙවත් රාෂ්ටී්‍රය සන්ධානයට අයත් විය යුත්තාහ. 


මහින්දගේ හා ගෝඨාගේ විජයග්‍රහණයේ වෙනස 

එහෙත් යුද ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂ සිතුවේ, සටන් බිමේ විජයග්‍රහණය විසින්ම ජාතිය ගොඩනගා දී ඇති බවකි. කෙනෙකුට එසේ සිතිය හැක්කේ, ජාතිය යනු සිංහල හෝ දෙමළ ආදී වශයෙන් එක ජනවර්ගයක් සේ ගතහොත් පමණි. වසර තිහකට ආසන්න කාලයක් තුළ යුද්ධය මොන ආකාරයකින් කෙරුණත්, එකී දීර්ඝ කාලය තුළ එය සමාජගත වුණේ ජනවර්ග දෙකක් අතර කෙරුණු යුද්ධයක් වශයෙනි. ඒ වූ කලී, ත්‍රස්තවාදයට එරෙහි යුද්ධයක් පමණක් බව කියාපෑමට පාලකයන් මොන තරම් උත්සාහ කළත්, දකුණේ මෙන්ම උතුරේත් සාමාන්‍ය ජනතා සිත්සතන් තුළ එය සනිටුහන් වුණේ ජාතීන් දෙකක් අතර කෙරෙමින් පැවති යුද්ධයක් වශයෙන් බව කවුරුත් දන්නා කාරණයකි. එබැවින්, සටන් බිමේ ජයග්‍රහණය විසින් ‘ජාතිය’ ගොඩනගා ඇතැයි එදා මහින්ද රාජපක්ෂ සිතන විට අනිවාර්යයෙන් එයින් ගම්‍ය වුනේ, යුද ජයග්‍රහණය තුළින් ගොඩනගා ඇත්තේ ඉහත කී පුළුල් ජාතිය නොව, සිංහල ජාතිය බවයි. ඒ කාසියේම අනිත් පැත්ත වන්නේ, දෙමළ හෝ මුස්ලිම් ජනවර්ග වෙනම ‘ජාතියකට’ ගැනෙන බවයි. ඒ නිසා, සියලු ජනවර්ග ඒකරාශී කරගත් සැබෑ ජාතිය ගොඩනැගීමේ අඩිතාලමක් දමා ගැනීමට 2009 සිට 2015 දක්වා ලැබුණු මහාර්ඝ අවස්ථාව මහින්ද රාජපක්ෂ පාලනය තුළ පාවිච්චියට නොගැනුණා පමණක් නොව, වාර්ගිකයන් අතර, විශේෂයෙන් සිංහල සහ මුස්ලිම් ජනවර්ග අතර, අලුත් විරසකයන්ද එකී කාලය තුළ ඇති කෙරුණි.   

2010 දී මහින්ද රාජපක්ෂ ලැබූ ජයග්‍රහණය සහ 2019 දී ගෝඨාභය රාජපක්ෂ මේ වන විට ලබා ඇති වර්තමාන ජයග්‍රහණය අතර ඇති සියලු සමානකම්වලට යටින් ඉතා වැදගත් හරයාත්මක වෙනසක් තිබේ. 2010 ජනාධිපතිවරණ ජයග්‍රහණය යනු, හමුදා ජයග්‍රහණයක් විසින් අත්කර දුන් මැතිවරණමය ජයග්‍රහණයකි. එය ලෝකයේ කොතැනක වුවත් සාමාන්‍යයෙන් දක්නට ලැබෙන තත්වයකි. ඊට ප්‍රතිපක්ෂව, 2019 ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය පසුපස ඇත්තේ, මුළුමණින්ම එක් වාර්ගික සහ ආගමික ජන රාශියක් විසින් ‘ශක්තිමත් නායකයෙකුගේ’ අවශ්‍යතාව ප්‍රජාතන්ත්‍රීය ආකාරයකින් ප්‍රකාශයට පත්කිරීමේ අවස්ථාවකි.


රාජපක්ෂගේ ජයග්‍රහණය ඔහුගේ ජයග්‍රහණයට බාධාවක් 

මා මෙයින් කියන්නට උත්සාහ කරන්නේ, 2010 ජයග්‍රහණයේ පසුබිම විසින් මහින්ද රාජපක්ෂ වෙත සපයා තිබූ නිදහසවත්, (ඉඩහසරවත්) 2019 ජයග්‍රහණය විසින් ගෝඨාභය රාජපක්ෂ වෙත සපයා නැති බව පෙන්වා දීමයි. මෙය තව ටිකක් පැහැදිලි කර ගත යුතුව තිබේ. එදා යුද ජයග්‍රහණයේ ආශීර්වාදයෙන් අත්කරගත් 2010 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු මහින්ද රාජපක්ෂට මෙසේ කිව හැකිව තිබුණි. “යුද්ධයෙන් අපි ත්‍රස්තවාදය පරාජය කළා. දැන් අපි ඒ ත්‍රස්තවාදයට හේතු වූ කරුණු පරාජය කළ යුතුයි. එසේ කිරීමට නම්, සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනවර්ග සහෝදරත්වයෙන් බැඳ තබාගත යුතුයි.” යුද්ධයේ ජයග්‍රහණය, එකී මාර්ගය ගැනීමට අනිවාර්ය බාධාවක් නොවිය යුතුව තිබුණි. එහෙත් සිදු වුණේ වෙන දෙයකි. මා දැන් තර්ක කරන්නේ, නොවැම්බර් 16 වැනි දා ගෝඨාභය රාජපක්ෂගේ ජයග්‍රහණය හෙවත් ඔහුගේ ජනප්‍රියත්වය, එකී ජාතිය ගොඩනැගීමේ කර්තව්‍යයට අනිවාර්ය බාධකයක් වීමට හොඳටම ඉඩ ඇති බවටයි.

ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කැරැවූ මහා පොදු සාධකය කුමක්ද? සුළු ජාතීන්ගෙන් මහජාතිය ආරක්ෂා කරගැනීමේ සමත් ‘ශක්තිමත් නායකයෙකුගේ’ අවශ්‍යතාවයි. සහරාන්ගේ බෝම්බ ප්‍රහාරය ඊට මනා පසුබිමක් සැපයීය. ඒ පසුබිම මත යැපෙමින්, ලංකාවේ ප්‍රධාන ප්‍රවාහයේ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය ජාල සහ ඇතැම් මුද්‍රිත මාධ්‍ය ආයතන ජාතිය පිළිබඳ මහා භීතියක් සමාජගත කෙළේය. ඒ භීතිය සමනය කිරීම සඳහා ‘ශක්තිමත් නායකයෙකුගේ’ අවශ්‍යතාව නිශ්චිත වශයෙන් සමාජගත කෙරුණි. 


'ශක්තිමත් නායකයන්' ගැන දැනගමු 


‘ශක්තිමත් නායකයන්’ පිළිබඳ මෑතකාලීන සාක්ෂි අපේ කලාපයෙන්ම සොයාගැනීමට තිබේ.
        
එවැනි නායකයෙකු සිංගප්පුරුව සොයාගත්තේය. ඒ, ලී ක්වාන් යූ ය. මැලේසියාවත් එවැනි නායකයෙකු සොයාගත්තේය. ඒ, මහතීර් මොහොමඞ් ය. එය ඒ රටවල සංවර්ධනය කෙරෙහි යහපත් ප්‍රවණතාවක් වූ බව ඉතිහාසයේ සටහන්ව ඇත. එබැවින්, ‘ශක්තිමත් නායකයෙකු’ පිළිබඳ ජනප්‍රිය මතවාදයක් අපේ කලාපයේ ශක්තිමත්ව ගොඩනැගුණි. ලංකාවේ ඊට අනුරූප චරිතය වුනේ ගෝඨාභය රාජපක්ෂයි. එහෙත් ඉහත කී නායකයන් දෙන්නා සහ ගෝඨාභය රාජපක්ෂ අතර එක් තීරණාත්මක වෙනසක් තිබේ. එම නායකයන්ගේ ජනප්‍රියත්වය සහ ගෝඨාභය රාජපක්ෂගේ ජනප්‍රියත්වය අනාගතයට බලපෑම සම්බන්ධයෙන් සිදුවිය හැකි මූලික වෙනස තිබෙන්නේ එතැනයි. 

ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඞ් ඒ රටවල විසූ සියලු ජනවර්ගවල ජනප්‍රිය නායකයන් බවට පත්වෙද්දී, (වඩාත් නිවැරදිව කිවහොත්, ඔවුන්ගේ ජනප්‍රියත්වයේ වළල්ල තුළ විවිධ ජන වර්ග සහ විවිධ ආගමික කොටස් මිශ්‍රණය වී පවතිද්දී) ලංකාවේ ගෝඨාභය රාජපක්ෂ බලයට පත්ව ඇත්තේ, එක් ජනවර්ගයක් තුළ පමණක් අධිකතර ජනප්‍රියත්වයට පත්වීමෙන් සහ පත්කැරැවීමෙනි. මේ නිසා, ‘ශක්තිමත් නායකයෙකු’ යන්න, සිංගප්පූරුවේ සහ මැලේසියාවේ ඇති වූ සාධනීය අර්ථයෙන් ලංකාවේදී ක්‍රියාවට නැගීමට ඇති ඉඩකඩ හොඳටම අඩු බව දත යුතුය. ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඞ් සියලු ජාතීන් නියෝජනය කරන ‘ශක්තිමත් නායකයන්’ බවට පත්ව තිබූ අතරේ, ලංකාවේ ගෝඨාබය රාජපක්ෂ සම්බන්ධයෙන් එය දක්නට ලැබෙන්නේ, එක ජාතියක් අධිකතරව නියෝජනය කරන නායකයෙකු වශයෙන් සෙසු ජාතීන් වෙතින් ඈත් කරවන සහ වියෝ කරවන නායකයෙකුගේ තත්වයට පිරිහෙලන තත්වයකි.

එක් ජනවර්ගයක හෝ එක් ආගමික ප්‍රජාවක අධිකතර ජනප්‍රියත්වයෙන් පමණක් බලයට පත්වීම තුළ, අනාගතය පිළිබඳ අනිවාර්ය අඳුරක් ගැබ් වේද ? නැත. ඒ සඳහා නූතන ඉතිහාසයේ වෙනස් උදාහරණයක්ද ගෙනහැර දැක්වීම මෙහිදී යෝග්‍ය ය. එනම්, රටේ මුළු ජනගහනයෙන් සියයට 90 කට ආසන්න කළු ජාතික ජනවර්ගයකගේ අසහාය ජනප්‍රියත්වයෙන් බලයට පැමිණි දකුණු අප්‍රිකාවේ නෙල්සන් මැන්ඬේලා ය. ඒ කළු ජාතික බහුතරයේ අපේක්ෂාව වුණේ, වසර සිය ගණනක් තිස්සේ තමන්ව පෙලූ, තමන්ව වධබන්ධනයට ලක්කළ සියයට 10 ක් තරම් වන සුදු ජාතිකයන්ගෙන් ඓතිහාසික ‘වන්දියක්’ (අවශ්‍ය නම්, පලිගැනීම යන වචනය පාවිච්චි කරන්න) ලබාගැනීමයි. නෙල්සන් මැන්ඬේලා එකී වධබන්ධනය යටතේ අවුරුදු 27 ක් තිස්සේ හිරබත්කෑ පුද්ගලයෙකු විය. ජනවර්ගය වශයෙන් ගත් විට හේ උපතින් කළු ජාතිකයෙකු විය. ඉහත කී අතිබහුතරයේ අපේක්ෂාවට යට වීමේ සෑම ‘සුදුසුකමක්ම’, ඒ අනුව, ඔහුට තිබුණි. එහෙත්, නෙල්සන් මැන්ඬේලා බාල දේශපාලඥයෙකු නොවී උසස් රාජ්‍යතාන්ත්‍රිකයෙකු වීමට තරම් හයියක් තිබූ මහා පුරුෂයෙකු වීමට ඉටාගත්තේය. ඒ නිසා අර කී අතිබහුතර කළු ජනවර්ගයේ ජනප්‍රිය මතවාදය වෙනස් කරගැනීමට හේ සමත් විය. පලිගැනීම වෙනුවට සංහිඳියාව ඇති කරගැනීමට හේ සමත් විය. 

ගෝඨාභය ශක්තිමත් නායකයෙකුද ? 

දැන්, ලී ක්වාන් යූ සහ මහතීර් මොහොමඞ් යන දෙදෙනාට තිබූ, සියලු ජාතීන්ගේ සම්මිශ්‍රණ ජනප්‍රියත්වයේ වාසිය ගෝඨාභය රාජපක්ෂට නැත. ඒ නිසා, ‘ශක්තිමත් නායකයෙකු’ වීමට ඔවුන්ගේ අඩිපාරේ යාමක් තුළ අපට දකින්ට ලැබෙනු ඇත්තේ, එක ජනවර්ගයක් සහ එක ආගමික ප්‍රජාවක් නියෝජනය කරන ‘ශක්තිමත් නායකයෙකු’ මිසක්, මේ ලිපියේ මුලින් කී පුළුල් ‘ජාතිය’ ගොඩනගන ‘ශක්තිමත් නායකයෙකු’ නොවේ.

ඒ පිළිබඳ සාක්ෂි කිහිපයක් මේ ගත වූ සති දෙකක කෙටි කාලය තුළ අපට දක්නට ලැබුණි. ඉන් එකක් පමණක් මෙහිදී දක්වමි. එනම්, තමන්ගේ ජනාධිපති දිව්රුම රුවන්වැලිසෑය අබියස කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමයි. එය ඉතා අශුභ පෙරනිමිතිකාරී වන බව කිව යුතුය. එකී වැදගත් උත්සවයට ආගමික මුහුණුවරක් ලබාදීම අත්‍යඅවශ්‍යම යැයි සිතුවේ නම්, ශ්‍රී මහා බෝධිය ඒ සඳහා තෝරාගත හැකිව තිබුණි. රුවන්වැලි සෑය යනු ආගමට වඩා ජාතිය (ජනවර්ගය) සංකේතවත් කරන්නක් බව සිංහලයාත් දනිති. දෙමළාත් දනිති. 

(මීට වෙනස් සාක්ෂියක්ද අපට හමුවෙයි. ඊයේට යෙදී තිබුණු උතුරේ මහවිරු සැමරුම බලධාරීන් විසින් මර්දනය කෙරුණු බවක් වාර්තා වී නැත. එසේම, ඒ සැමරුම වෙනත් අවුරුදුවලදී මෙන් දකුණේ විශාල විරෝධයකට මේ අවස්ථාවේ හේතුවක් වූයේද නැත. ‘මානුෂික හේතු’ මත ඊට විරුද්ධව පියවර නොගැනුණු බව ඇතැම් මාධ්‍ය වාර්තා කොට තිබුණි. කුමන හේතුවක් මත වූවත්, තමන්ගේ මියගියවුන් සැමරීමට ඕනෑම ජනතාවකට අයිතියක් තිබිය යුතුය. සෑම වසරකම ‘ඉල්විරු සමරුව’ ජනතා විමුක්ති පෙරමුණ උත්සවාකාරයෙන් පවත්වන බවත් අප මතක තබාගත යුතුය).


ගෝඨාභයට ජාතික සම්මිශ්‍රිත ජනකාන්තභාවයක් නැහැ

දැන් මගේ කතාවේ සාරාංශයට යළිත්: ගෝඨාභය රාජපක්ෂට, මහතීර් මොහොමඞ් කෙනෙකු හෝ ලී ක්වාන් යූ කෙනෙකු වීමට අවශ්‍ය කරන ජාතික සම්මිශ්‍රිත ජනකාන්තභාවයක් නැත. ඒ නිසා, බොහෝ විට සිදුවිය හැක්කේ, ඔහු එක ජාතියක ‘ශක්තිමත් නායකයෙකු’ පමණක් වීමටයි. අනිත් අතට, ජයග්‍රහණය කළ සැණින්, රුවන්වැලිසෑය වෙත යාමෙන් පෙන්නුම් කෙළේ, නෙල්සන් මැන්ඬේලා කෙනෙකු සතුව තිබූ වාර්ගික අදීනත්වය ඔහුට නැති බවයි.

ලංකාවේ අනාගත සුබසිද්ධිය සඳහා අවශ්‍ය කරන්නේ, සියලු ජාතීන් නියෝජනය කරන ‘ශක්තිමත් නායකත්වයක්’ මිස, එක ජාතියක් හෝ එක ආගමක් නියෝජනය කරන ‘ශක්තිමත් නායකත්වයක්’ නොවන බව ඔහු වටහාගත්තොත් රටට යහපති.    


0 comments: