Hot!

'ගාඩි' හදවතක් තියෙන චිත්‍රපටයක්‘ - ප්‍රසන්න



සංවාදය හා සටහන – සුදේශ් ද සිල්වා




ලංකාවේ සිනමාවේ ප්‍රවීණතම චිත්‍රපට අධ්‍යක්ෂකවරයා වන ප්‍රසන්න විතානගේ විසින් තමන්ගේ නමවන වෘත්තාත්ත චිත්‍රපටය වු ‘ගාඩි‘ මේ වසරේ දී එළිදැක්වීම ආරම්භ කළා. එහි පළමු ප්‍රදර්ශනය සිදුවූයේ පසුගිය ඔක්තෝම්බර් 03 වන දින සිට 12 වන දින දක්වා කොරියාවේ පැවති බූසාන් ජාත්‍යන්තර චිත්‍රපට උළෙලේදී. විවාදාත්මක තේමාවන් ස්පර්ශ කරමින් සමාජීය දේශපාලනික කරුණු ඉතා සියුම්ව තම නිර්මාණයන් තුළින් ප්‍රතිනිර්මාණය කරන ලද ප්‍රසන්න විතානගේ තමන්ගේ තව නිර්මාණය සම්බන්ධයෙන් තමන්ගේ ආත්මමගත ගමන ගැන පැහැදිලි කලේ මෙසේයි.



මෙම චිත්‍රපටය ඔබගේ දීර්ඝ කාලීන සිහිනයක්. කොහොමද ඔබ මෙම දීර්ඝ කාලීන සිහිනය සඳහා තිරනාටකයට ප්‍රවිශ්ඨ වන්නේ ?

දශක දෙක තුනක කාලයක් තිස්සේ මම මෙතෙක් නිර්මාණය කළ චිත්‍රපට අතරේ ගාඩි චිත්‍රපටයේ තිර රචනය ලියවිලා තියෙනවා. ඒ වගේම කාලයක් තිස්සේ චිත්‍රපටය සඳහා සූදානම් වී තිබුණා. විවිධ නළු නිළියන් රැසක්, නිෂ්පාදකයන් ගණනාවක් සමඟ මේ චිත්‍රපටය සැලසුම් කර තිබුණා. නමුත්, ඒ සෑම අවස්ථාවකදීම, ගාඩි නිෂ්පාදනය දැවැන්ත වීම හේතු කොට ගෙන, චිත්‍රපටය නිර්මාණය කිරීම කල් ගියා. නමුත් මම අද එක් පැත්තකින් සතුටු වෙනවා, ගාඩි නිෂ්පාදනය කල් යෑම ගැන. මම එය 1992 අධ්‍යක්ෂණය කරන්නේ නැතුව, 2019 දී කිරීම ගැන. සිනමා මාධ්‍ය සම්බන්ධයෙන් සහ ජීවිතය සම්බන්ධයෙන්, වසර ගණනක අත්දැකීම් ලැබීමෙන් පසුව මෙම චිත්‍රපටය නිර්මාණය කිරීමට ලැබීම සම්බන්ධයෙන්. කියමනක් තියෙනවා “චිත්‍රපටයක් ඔබ කළ යුත්තේ එය තවදුරටත් ඔබේ හදවතේ රඳවාගැනීමට නොහැකි නිසයි” කියලා. මේ චිත්‍රපටයේ ප්‍රස්තුත කතාන්තරය මේ පසුගිය දශක දෙක තුළම මම හිතුවා කියවිය යුතු කතාවක් කියලා. ගාඩි චිත්‍රපටයට පසුබිම් වෙන්නේ නුවර යුගය පමණක් නෙමෙයි, ජාතියක් ලෙස අප මුහුණ දුන්, ඉංග්‍රීසින්ට 1815 දී යටත් වීම සම්බන්ධයෙන්, ඒ වගේම ලංකාවේ සමාජ ධූරාවලි පිහිටීම, පොදු ජනයාගේ සංස්කෘතික ලක්ෂණ වැනි කරුණු ගැන මේ වසර ගණනාව තුළ මම කරුණු සොයා බැලුවා. ඒ ගැන මම ලැබූ අධ්‍යාපනය ඉතා පුළුල්. ඒ මගේ අධ්‍යයනයන් සියල්ල මා ගාඩි චිත්‍රපටයේ නිර්මාණය සඳහා ඇතුළත් කර ගත්තා.


තිරනාටකය සකස් කිරීමට පෙර විවිධ කණ්ඩායම් යොදවා. පුද්ගලික මට්ටමින් සහ විවිධ පුද්ගලයන් මාර්ගයෙන් සමාන්‍යයෙන් ලංකාවේ චිත්‍රපටයක් වෙනුවෙන් සිදු නොකරන අන්දමේ පර්යේෂණයක් සිදුකළේ ගාඩි චිත්‍රපටය සම්බන්ධයෙන් නේද ?

තිර රචනය ලියන්න පෙර චිත්‍රපටයක් කළා කීම සත්‍ය පිළිතුරක් නෙමෙයි. තිර රචනය ලියන අතරතුර අභියෝග මතුවෙනවා. අපි තිර රචනයක මතු කරන්න උත්සාහ කරන්නේ යම් සිදුවීමක, සත්‍ය විනිවිද දැකීමයි. සත්‍ය දකින්න නම්, සත්‍ය අපි අතර තියෙන දෙයක් නෙමෙයි, ගාඩි දෙස බැලුවොත් ගාඩි ඉතිහාසයට අයිති දෙයක්. ඒ සඳහා අපි මූලාශ්‍ර සොයා යෑමක් සිදුවෙනවා. එය මාවිසින් සිදු කරන ලද කැපවීමක් ලෙස පැවසීමට අකමැතියි. මන්ද, එය තිරනාටක රචකයාගේ කාර්යභාරය යි. තිර රචකයා තමාගේ තිර රචනය ලිවීම තමාගේ විෂය නිසා එය අතැඹුලක් සේ දැන ගත යුතුයි. එය ඔහුගේ වෘත්තියයි. ගාඩි තිරරචනයට දායකවූ පිරිස් විශාලයි. මා කැළණිය සරසවියේ සිසුන් සමඟ තිරරචනා වැඩමුළුවක් කළා මාස ගණනාවක් කළා. ඒ කාලය තුළ ඔවුන් සියළු දෙනා මේ සඳහා දායකත්වය දැක්වූවා. ඒ වගේම මගේ සහය තිරනාටක රචකයන්, සහය ශිල්පීන්, එපමණක් නොවෙයි ඉන්දියාවේ මේ තිරරචනය සඳහා දායක වුණු පිරිස් සිටිනවා. විශේෂයෙන්ම, ගාඩි වංශයේ සම්භවය සම්බන්ධයෙන්, ඔවුන්ගේ නැටුම් සම්බන්ධයෙන්, ඔවුන් කරුණු සෙව්වා. මේ සියළුම පර්යේෂණ කරුණු ප්‍රේක්ෂකයා අත්දැකීමක් ලෙස දැකිය යුතු වෙනවා. චිත්‍රපට ශාලාවට ඔවුන් යන්නේ රසවත් අත්දැකීමක් ලබන්න. ඔවුන් දකින ලෝකය නිර්මාණය කිරීමට, එය දැකීමට අවශ්‍ය වටපිටාව සැකසීම නිර්මාණකරුවන්ගේ යුතුකම.

තිරනාටකය සකස් කරන කාලය තුළ යම් යම් අභියෝගයන්ට මුහුණ දුන්නු ඔබ විශාල කාලයක් චිත්‍රපටය වෙනුවෙන් වැය කරලා පසුව චිත්‍රපටය නිර්මාණය කිරීමට සූදානම් කියලා තීරණය කළේ කොහොමද ?

‘ගාඩි‘ චිත්‍රපට තිරනාටකයේ යම් කිසි පරිවර්තනීය ක්‍රියාවලියක් සිදුවුණා. ඒ එහි ඉංග්‍රීසි පරිවර්තනය මා විසින් 2006 දී ‘මචං‘ චිත්‍රපටයේ අධ්‍යක්ෂ උබර්තෝ පැසලෝනි ට කියවීමට දුන් පසුව ඔහු දුන් උපදෙස් වලින් පසුව. උබර්තෝ ඔහුගේ කාලය අරගෙන මේ චිත්‍රපටය දෘශ්‍යමය වශයෙන් ලංකාවේ නුවර යුගය ගැන කිසිත් නොදන්නා, ලංකාව ගැන කිසිත් නොදන්නා, කුළ ක්‍රමය ගැන කිසිත් නොදන්නා, ප්‍රේෂකයෙක්ට රූපමය වශයෙන්, සන්නිවේදනය කිරීමේදී අවශ්‍ය වෙන ඉතාමත් වැදගත් වූ ඉඟි රැසක් ලබා දුන්නා. එලෙස තිරනාටකය සකස් කිරීමට ඔහු යම් යෝජනාවන් ඉදිරිපත් කළා. චිත්‍රපටයේ තිරනාටකය 2018 දක්වා නැවත නැවත ලියවුනා. ඒ කලින් කියූ පරිවර්තනයෙන් පසුව. මම චිත්‍රපටයක් නිර්මාණය කිරීමට ප්‍රථම එය මගේ මිතුරන්ටත්, විදේශීය මිතුරන් සමගත්, විශේෂයෙන් චිත්‍රපටයට සම්බන්ධවන කණ්ඩායම සමගත්, බෙදාහදා ගන්නවා. එතනදී සංස්කරණ ශිල්පී ශීකර් ප්‍රසාද් මට දුන්නා තහවුරු කිරීමක් දැන් හරි කියලා. ඒ වගේම අදහසක් දැරුවා ශබ්ද පරිපාලක ශිල්පි තපස් නායක්. ඒ මගින් මට තහවුරුවක් ඇති වුනා. ඒතනදී චිත්‍රපටයේ ආකෘතිය, වින්‍යාසය තිරණය වුනා. ඒනිසාම මම චිත්‍රපටයේ ආකෘතියට අගුළු දැම්මා. රූපගත කිරීම් අතරතුර දෙබස් වලින් කියු බොහෝ දේවල් මවිසින් රූපමය බසට පරිවර්තනය කරමින් වෙනස්කම් කළා.


මෙම කතාවේ මූල බීජය ඔබට දැනගැනීමට ලැබෙන්නේ අහම්බෙන්. අහම්බෙන් ලැබුණු කතාවකට ඔබේ අවධානය මේ තරම් යොමු වන්න හේතුව කුමක්ද ?

මූල බීජය මට දැන ගැනීමට ලැබුණේ කතන්තරයක් හැටියට නෙමෙයි. එය මට කිව්වේ අපේ රටේ සිටි ඉතා දුර්ලභ බුද්ධිමතෙකු වූ අප අතරින් වෙන්වුණු රෙජී සිරිවර්ධන මහතා විසින්. උඩරට තිබුණු නීතිය යටතේ ස්වාමි පුරුෂයන් රජුට විරුද්ධව කුමන්ත්‍රණය කරලා, රාජ උදහසට ලක් වී උඩරට රදළයන් පැන ගිය විට හෝ රජුට විරුද්ධ වූ අවස්ථාවක දී එම පවුලේ කාන්තාවක්ව එම කුළයෙන් පහළට හෙළනවා. ඒ සඳහා ඔවුන්ට රොඩීන් සමග සරණ පාවා ගැනීමට සලස්වනවා කියලා. ඔවුන්ට එක් අවස්ථාවක් ලබා දෙනවා කුළ ගෞරවය තියාගෙන සියදිවිහානි කරගැනීමට. මා දැනගත් සිදුවීම මෙපමණයි. එවැනි අදහසක් රොබට් නොක්ස් ගේ පොත් වලත් තිබෙනවා. හැම විටම නිර්මාණකරුවෙක් හැටියට මගේ අවධානය යොමු වන්නේ ක්‍රමයට පක්ෂ වු අය නෙමෙයි. ක්‍රමයට විරුද්ධව ගිය අයයි. සමහර වෙලාවට එම චරිතය නොදන්නවා වෙන්න පුළුවන් තමන් ක්‍රම විරෝධියෙක් බව. උදාහරණයක් හැටියට ‘පුරහඳ කළුවර‘ චිත්‍රපටයේ වන්නිහාමි. වන්නිහාමි ක්‍රම විරෝධියෙක් නෙමෙයි. ඔහු තම විශ්වාසය අනුව හිතනවා තමන්ගේ පුතා ජීවතුන් අතර ඉන්නවා කියලා. ගාඩි චිත්‍රපටයේ එන ප්‍රධාන කාන්තාවක ඇය ක්‍රම විරෝධියෙක් නෙමෙයි. හැමෝම කරන දේ නොකිරීම නිසා සමස්ත ක්‍රමයටම ඇය අභියෝගයක් එල්ල කරනවා. එතනින් ‘ගාඩි‘ චිත්‍රපටය නතර වෙන්නේ නැහැ.ඒ අභියෝගය ඇයටම එල්ල වෙනවා



චිත්‍රපටය විශාල නිෂ්පාදනයක් නිසා අයෝජකයන් හොයාගන්න අමාරු වුණා. මෙවැනි නිර්මාණයක් සිදුකරන විට එවැනි අභියෝගයක් ජයගත්තේ කොහොමද ?

‘ගාඩි‘ ලංකාවේ වැඩිම මුදලක් වැය කළ චිත්‍රපටය. එයට සම්බන්ධ වුණු ඉන්දීය ශිල්පීන්, ඔවුන් සාමාන්‍යයෙන් අය කරන මුදල අය කළා නම් මෙයට අනිවාර්යයෙන්ම වැඩිම මුදලක් වැය කළ චිත්‍රපටය වෙනවා. එහෙම වුනානම් ඒ මුදලට ලංකාවේ චිත්‍රපටයකට කිට්ටු වෙන්නවත් බැරි වෙනවා. ඒ ඉන්දීය ශිල්පීන් ගේ සහයෝගය නිසා තමයි මේ චිත්‍රපටය මේ මුදලට කරගන්න ලැබුණේ. ගාඩි සඳහා කලින් විවිධ නිෂ්පාදකයෝ ඉදිරිපත් වුනා. ගාඩි එකට මුලින්ම ප්‍රංශ නිෂ්පාදකයෙක් සූදානම් වුණා නිෂ්පාදනය කරන්න. ඔහු ලොකු උනන්දුවක් දැක්වූවා මේ චිත්‍රපටය නිෂ්පාදනය කිරීමට. නමුත් ඔහු සිටි සමාගම ඈවර කිරීම නිසා ඒ අවස්ථාව මඟ හැරුණා. පසුව ඉන්දීය කැමරා අධ්‍යක්ෂ රජීව් රවී (Rajeev Ravi) ඉදිරිපත් වුණා. ඔහු වැඩ කර තිබුණා බොලිවුඞ් සමාගමක් වන ජා චිත්‍රපට (Jar Pictures) සමාගමත් සමඟ. රජීව් රවී, අනුරාග් කාශ්‍යප් ගේ (Anurag Kashyap) ගැන්ඞ්ස් ඔෆ් වසීපූර් (Gangs of Wasseypur) කැමරා ශිල්පියා. ඩන්ගල් චිත්‍රපටයේ රේඛීය නිෂ්පාදකවරුන් වන ජා චිත්‍රපට (Jar Pictures) සමාගමත් සමඟ. රජීව් රවීගේ ඉල්ලීම මත ජා චිත්‍රපට සමාගම මෙම චිත්‍රපටයට එක් වුණා. හවුල් නිෂ්පාදන සමාගමක් වශයෙන් ඔවුන් ක්‍රියා කළා. ඉන්දීය ශිල්පීන්ගේ ගෙවීම්, පසු නිෂ්පාදන කටයුතු සඳහා නිෂ්පාදන දායකත්වය සැපයූවා. එයින් තමයි චිත්‍රපටයේ නිෂ්පාදන කටයුතු ආරම්භ කරන ලද්දේ. එය චිත්‍රපටයේ නිෂ්පාදනයට විශාල ශක්තියක් වූවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ෆිල්ම් අයිලන්ඩ් සමාගම මේ චිත්‍රපටය සඳහා ආයෝජකයන් එකතු කරගත්තා. පසුව මා සමග දෙවරක්ම චිත්‍රපට නිෂ්පාදනය කරපු එච්.ඩී ප්‍රේමසිරි මහතා එක් වුණා. පසුව මමත් නිෂ්පාදනයටත් සම්බන්ධ වුණා වැය ඉතා අධික නිසා.

දැන් ඔබ චිත්‍රපටය නිර්මාණයට සූදානම්. අධ්‍යක්ෂණයේ දී අධ්‍යක්ෂකවරයෙක් වශයෙන් සූදානම වෙනස් වූයේ කොහොමද ?

පළමුවෙන්ම මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම සඳහා ගත් කාලය ඉතා විශාලයි. ඒ වගේම මෙම චිත්‍රපටය අනෙක් චිත්‍රපට වලට වඩා විශාල පරාසයක දිවෙන චිත්‍රපටයක්. ඒවගේම පරිසරය, චරිත විශාලයි. කලින් චිත්‍රපට බොහෝමයක් චරිතයක් දෙකක් පදනම් කරගෙන කිසියම් ප්‍රදේශයක නිර්මාණය වු ඒවා. පවුරු වළලු ගත්තොත් ගාලු කොටුව තුළ, පුරහඳ කළුවර ගත්තොත් අනුරාධපුර ගමක සිදු සිදුවීමක්. ඉර මැදියම තමයි මම කරපු චිත්‍රපට අතුරින් කළ විශාලම චිත්‍රපටය. මම හොඳින්ම දන්නවා ලංකාවේ ගැටළුවක් තියෙනවා. ඒක තමයි චිත්‍රපටය ලොකු වෙනකොට, චිත්‍රපටයේ හදවත නැති වෙනවා. විශේෂයෙන්ම එම චිත්‍රපටය අතීතය ගැන කතා කරන චිත්‍රපටයක් නම්, එය අසාර්ථක වෙන්නටම නියමිතයි. හදවත නැතිවීමට නියමිතයි. තිර රචනය තිබුණට වචන වලින්, රූපය ගොඩනගන විට ලංකාවේ තියෙන යටිතල පහසුකම් එක්ක, එය කරගන්න බැරි වෙනවා. නැත්නම්, අධ්‍යක්ෂකවරයා ලංකාවේ තියෙන තත්ත්වයන්ට අනුගත වෙනවා. උදාහරණයක් වශයෙන් වේශ නිරූපනය. කොන්ඩ මෝස්තර වලදී අපේ තියෙන දුර්වල තත්ත්වයන් වලට අනුගත වෙනවා. ඒ වගේම තමයි දරා සිටීමේ හැකියාව. දින 50, 60 ක කාලයකදී, සිය ගණනක කාර්මික ශිල්පීන්, නළු නිළියන් දරා සිටීමේ හැකියාවත් නැති වෙනවා. එවිට චිත්‍රපටයේ තිබෙන කේන්ද්‍රීය අර්ථය ගිලිහෙනවා. ලංකාවේ සිනමාවේ දී සියයට අනූනමයක අවස්ථාවන් මම දැක තිබෙනවා. මම තිරනාටකය ලියන අවදියේ සිට ඇඳුම් සහ සියළුම දේවල් ගැන නිරීක්ෂණයක සහ අධ්‍යයනයක සිටිය නිසා එය පෙර නිෂ්පාදන අවදියේ දී යොදාගන්න. සැලසුම් කරන්න. ඒ සඳහා මට නිල පෙර සූදානම් කාලය මාස 08 විතර වුණා. ඒ කාලය තුළ සියළුම ශිල්පීන් වැඩ කළා. කැමරා ශිල්පීන්, කලා අධ්‍යක්ෂකවරුන් සියළුම දෙනා වැඩ කළා. ලංකාවේ පවතින නිෂ්පාදන දුර්වලතාවයන් මඟහරහා ගැනීමට ඔවුන් සියළුම දෙනාට වුවමනාව තිබුණා.

ඒ වගේම ඉන්දීය කැමරා ශිල්පී රජීව් රවී හා මා අතර පැහැදිලි අවබෝධයක් තිබුණා. මේ චිත්‍රපටයේදී අපි නුවර යුගය ගොඩගන්නේ කෙසේද ? පරිසරය කෙසේ දැකිය යුතුද ? නුවර යුගයේ ගෙවල්, වලව් ඇතුළ ගත්තොත් එහි තිබුණු ආලෝකය කෙසේද ? ඒ අලෝකය සඳහා කුමණ වර්ණයන් දිය යුතුද ? නුවර යුගයේ මිනිසුන් කාන්තාවන් ඇඳිය යුත්තේ මොනවද කියලා කලින් තීරණය කරලා තිබුණා. තමන්ට වුවමනා ආකාරයට අඳින්න බෑ. ඒ ඇන්ඳත් එය ඔවුන්ගේ කුළ ධූරාවලිය හා සමාජ ස්ථරයන් අනුව තීරණය කරලා තිබුණා. ඒ නිසා ඇඳුම, අඳින විදිය මෙන්ම අනෙක් සෑම දෙයක්ම දේශපාලනික වෙනවා. ඒ නිසා ඒ දේශපාලනික තත්ත්වයන් කොහොමද දෘශ්‍යමය වශයෙන් ඉදිරියට ගෙන එන්නේ කියලා අපි කල්පනා කළා. සැලසුම් කළා. ඒ වගේම කැමරා ශිල්පී රජීව් රවී ලංකාවේ දර්ශන තල බලන්න පැමිණි අවස්ථාවේදී අපේ ස්වභාවික පරිසරයෙන් ඔහු මත් වුණා. ඒ මත්වීම අපි භාවිතා කළා කිසියම් ආකාරයකට පැහැදිලි ලෙස, මේ ස්වභාවික පරිසරය එහි ආලෝකය භාවිතා කරන්නේ චිත්‍රපටයේ කතාව ගොඩනැගීමේදී කියන දෙය අපි කල්පනා කළා. ආරම්භයේ සිටින චරිත නෙමෙයි අවසානයේදී සිටින්නේ. ස්වභාවික පරිසරයේ දී අපි ස්වභාවික පරිසරය මත යැපෙනවද නැත්නම් මේ ස්වභාවික පරිසරය මේ මනෝභාවයන් මතු කිරීමට භාවිතා කරනවද ? කියන දේ අපි සැලසුම් කළා. ඒක හරිම අමාරු වැඩක්. ලංකාව අපි සමකයට ළගින් පිහිටලා තියෙන්නේ. ඒ නිසා අපේ ආලෝක තත්ත්වය බොහෝම පැතලියි උදේ අට පැන්නට පස්සේ. ඒ නිසා අපිට තීරණය කරන්න වුණා අපි කුමන කාලයක ද රූපගත කරන්නේ කියලා තීරණය කරන්න වුණා. මිනිසාට ආලෝකය පාලනය කරන්න බෑ. නමුත් අපි බලාගෙන හිටියොත් ඒ රූප රාමුව ගන්න අපිට ඒක ගන්න පුළුවන්. ඒක තමයි අපි අනුගමනය කළේ. ඒ නිසා තමයි මේ චිත්‍රපටය රූපගත කරන්න දින 60 ක් පමණ ගියේ.

ඒ වගේම මේ චිත්‍රපටය රූපගත කළේ අවදි තුනකින්. පළමුවන අවදිය සහ දෙවන අවදිය රූපගත කිරීමෙන් පසුව වැස්සෙන් ඇතිවුණු බාධාවන් නිසා අපි රූපගත කිරීම් නැවැත්තුවා. වර්ෂාව අපිට බාධාවක් වගේම අපි අපේ සාර්ථකත්වය සඳහා යොදා ගත්තා. අපි චරිතවල මනෝභාවයන් නිරූපනය වන පරිදි ස්වභාවික වැස්සත් යොදාගත්තා. ඒ වගේම වැස්ස නිසා අපේ රූපගත කිරීම් නැවැත්වීමෙන් පසුව මම චිත්‍රපටයේ ඒ වන විට සිදුකර තිබෙන රූපගත කිරීම් ශීකර් ප්‍රසාද් සමග සංස්කරණයක් සිදු කළා. අපි තිරනාටකයක් ලියද්දි සිදුවීමක් විස්තර කරන්න අපි බොහෝ සිදුවීම් භාවිතා කරන්න උත්සාහ කරනවා. සමහර විට රූපගත කිරීම් කරලා බලන කොට අපිට පේනවා එකම එක සිදුවීමකින් එම තත්ත්වයන් ගොඩනැගිලා ඉවරයි. ඊට නළු නිළියන්ගේ රංගනය ලැබීම හේතු කොටගෙන එය සම්පූර්ණ වෙලා තියෙනවා. ඒ නිසා අපි ඒ සංස්කරණයේදී සියළු තත්ත්වයන් සලකා බලලා තමයි අවසන් රූපගත කිරීම් වලට ගියේ. තමන්ගේ නිර්මාණය දෙස අන්තරාවලෝකනයකින් බලන්න චිත්‍රපටය රූපගත කිරීම් මැදදි. පසුව අපි අවසන් සංස්කරණයන් සිදු කළා.


චිත්‍රපටයේ සිටින්නේ දන්නා නළු නිළියන් කිහිප දෙනෙක් පමණයි. තිබෙන්නේ අඳුනගන්න අමාරු. අළුත් මුහුණු. ඒ මුහුණුවල ස්වභාවික ගතියක් ද තිබෙනවා. එවැනි පසුබිමක් ගොඩනැගීම පිටුපස විශාල කාර්යයක්  තියෙනවා නේද ?

චිත්‍රපටයේ ඉන්න සිය ගණනක් නළු නිළියන් අතරින් දෙදෙනෙකුට පමණයි කෘතිම රැවුල් සහ කොණ්ඩ භාවිතා කළේ. ඒ කෘතිම රැවුල් කොණ්ඩ රැවුල් භාවිතා කරපු දෙදෙනා සම්බන්ධයෙන් අපි, විශේෂයෙන් චිත්‍රපටයේ වේශ නිරූපන ශිල්පී සමරසිරි කඳනගේ අතිශයින් ප්‍රවේසම් සහගත ප්‍රවේශයක් ගත්තා. අතිශයින් බැරෑරුම් ප්‍රවේශයක් ගත්තා ඒ දෙදෙනා සම්බන්ධයෙන් නොපෙනෙන්න සහ එය කිසිඳු ආකාරයකින් මේක්අප් කියලා නොපෙනෙන්න. අනෙක් සියළුම දෙනා අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටියා චිත්‍රපටය වෙනුවෙන් මාස පහක් රැවුල් කොණ්ඩ වවන්න කියලා. ඒ නළු නිළියන් සියළුම දෙනා රැවුල් කොණ්ඩ වැවුවා. අපි දකින දෙයක් තමයි චිත්‍රපට වල ආලෝකයත් එක්ක, ස්වභාවික ආලෝකයට ගියාම, සැබෑ කොණ්ඩයයි, කෘතීම කොණ්ඩයයි පේනවා. ඒ වෙනස ප්‍රේක්ෂකයාට පේන විට ඔවුන් අපි ලබා දෙන අත්දැකීමෙන් එළියට පනිනවා. ඔවුන්ගේ අවධානය යනවා රැවුල් සහ කොණ්ඩයට. කෘතීම ස්වභාවයක් මතු වෙනවා. ඒ වගේම තමයි මේ චිත්‍රපටයට දායක කරගත්ත නළු නිළියන් තේරීමේදී නළුවරණය කළ දමයන්ති ෆොන්සේකාවත් ප්‍රවීනත්වය හෝ ආධූනිකත්වය ගැටළුවක් කරගත්තේ නැහැ. රූපවාහිනියේ. වේදිකාවේ සිනමාවේ රඟපෑ නැති පිරිසක් හිටියා, වේදිකාවේ පමණක් රඟපා ඇති පිරිසක් හිටියා. මෙතෙක් රඟපා නැති පිරිසක් එකතු වුණා. මිනිසුන් මේ යුගයේ ජීවත් වූවා යැයි තහවුරු කළ හැකි යයි මා දැක්කා නම් පොඩි තැනක් හරි රැවුල, කොණ්ඩය වැවීම සම්බන්ධයෙන් වු අපේ ඉල්ලීම කරලා ඔවුන් මේ චිත්‍රපටයට සම්බන්ධ කරගත්තා. අවසන් ප්‍රතිඵලය එන්නේ මගේ ප්‍රවේශයෙන් පමණක් නෙමෙයි, සියළුම දෙනා දුන්නු දායකත්වයෙන්.



චිත්‍රපට වල වර්ණ භාවිතය සම්බන්ධයෙන් ඔබගේ ‘සිසිල ගිනි ගනී‘ චිත්‍රපටයේ සිට සැලකිල්ලක් දක්වන්නෙක්, මේ චිත්‍රපටයේ මේ වන විට නිකුත් කරලා තියෙන ඡායාරූප වලින් අපි දැක්කේ ළා පැහැති වර්ණයන් භාවිතා වෙන බවක්. වෙනත් සිංහල ඓතිහාසික චිත්‍රපට වල දකින වර්ණ නෙමෙයි දුටුවේ. ඊට හේතුවක් තිබෙනවද ?

නුවර යුගයේ කාන්තාවන් ඇන්දේ සහ අඳින්න දුන්නේ සුදු පමණයි. නුවර යුගයේ වර්ණයන්ට කුල පදනමක් තිබුණා. ඒ අවදියේ දී රොඩී ජනතාවට අඳින්න දුන්නේ ඉනට රෙදි කඩක් පමණයි. නීතියෙන් පිරිමින්ට හා කාන්තාවන්ට උඩුකය වැසීම තහනම් කර තිබුණා. අදිකාරම් ගේ චරිතය නියෝජනය වන පරිදි තමයි ඔහුගේ තිබුණු හිස් වැසුමේ කුඩුම්බියේ තිබෙන මුළු ගණන නිර්මාණය වී තිබුණේ. කුළ කාන්තාවන් සියළුම දෙනා සුදු පැහැ ඇඳුම් තමා ඇන්දේ. සමහර අයට අවස්ථාව දීලා තිබුණා ඉරක්, රේඛාවක් මුසු කරන්න. ඔවුන්ගේ ඇඳුම් දේශපාලනිකයි. මම චිත්‍රපටයෙන් කතා කරන්න යන්නේ සමාජය විසින් උරුම කර දුන්නු අනන්‍යතාවයන් ප්‍රශ්න කරන චිත්‍රපටියක්. විෂම අනන්‍යතාවයන් වලින් තමයි සමාජ සැකැස්ම හැදිලා තිබුණේ. උපදින අවස්ථාවේදීම අනන්‍යතාවය තීරණය වී තිබුණා. මේ චිත්‍රපටයේ එන චරිත වලට තම අනන්‍යතාවය ප්‍රශ්න වෙනවා. ඒ අන්‍යතාවය නිරූපනය නොකර, එය ප්‍රශ්න කරන්න බැහැ. එයින් පිට පැන්නොත් ඒ අනන්‍යතාවය නිරූපනය වීමට හානි වෙනවා. මේ චිත්‍රපටයේ දී සැබෑව පසුබිම් කරගෙන, ඒ සැබෑව නිර්මාණාත්මක ලෙස භාවිතා කරනවා. මේ තත්ත්වය වෙනස් විදියට පසුබිය කාලයේ අපි ලංකාවේ චිත්‍රපට වල දැක්කා. ග්ලැඩියේටර් චිත්‍රපටයෙන් පසුව ලංකාවේ නිර්මාණය වුණු ඓතිහාසික කතාවන් මත නිපදවුනු චිත්‍රපට වල අපි දකිනවා ග්ලැඩියේටර් ලක්ෂණ. ඒ ග්ලැඩියේටර් ඇඳුමට සමාන ඇඳුමක් තමයි නිර්මාණය වුණේ. ලංකාවේ පමණක් නොවෙයි ඉන්දියාවෙත් ග්ලැඩියේටර් ලක්ෂණ තමයි මතු වුණේ. එය නිර්මාණය කිරීම පහසු වුණා. ග්ලැඩියේටර් වීඩියෝ එකක් ලැබුණා. ඇඳුම හදාගත්තා. අපිට ඇඳුමක් තියෙනවා. ඒත් ඒක මේ යුගය නිරුපනය වන ඇඳුමක් නෙමෙයි. යුගය නිරූපනය කරන අවස්ථාව මෙතනදි පැන නගින්නේ, චිත්‍රපටයේ කතා කරන දේශපාලනය පිළිඹිඹු වනවා හරහා. ඒ නිසා අපිට වෙනත් ඇඳුමකට යා නොහැකියි. අපිට සැබෑව මත පමණක්ව පදනම් වන්න සිද්ධ වුණා.

එම යුගය නිරූපනයේදී මුහුණදෙන්න වුණු තවත් අභියෝග ගැන කිව්වොත් ?

උඩුකය නිරුවත්ව සිටීම කෙහොමද නිරූපනය කිරීම කොහොමද ලංකාවේ පෙන්වන්නේ. ? ගාඩි චිත්‍රපටය නිර්මාණය වීම පස්සට යන්න එක හේතුවක් තමයි මේ උඩුකය නිරූපනය කිරීමේ ඇත්ත සැබෑව නිරූපනය කරන්නේ කෙසේද කීමේ ගැටළුව. මේ චිත්‍රපටය 2002 දී පමණ නිර්මාණය කිරීමට සූදානම් වූ මොහොතක, නිෂ්පාදකයාට තමන්ගේ බිරිඳගෙන් විරෝධයක් ඇතිවුණා මෙවැනි චිත්‍රපටයකට මුදල් ආයෝජනය කිරීම සම්බන්ධයෙන්. නම් වශයෙන් සඳහන් නොකළත්, ලංකාවේ දක්ෂ පළමු පෙළේ නිළියන් බොහෝමයකට ගාඩි හී රගපෑමට මම කතා කරලා තියෙනවා. චිත්‍රපටය රූපගත කරන්න කලින් අපිට පැහැදිලි නිරවුල් අවබෝධයක් තිබුණේ නැහැ කොහොමද මේ අභියෝගය ජයගන්නේ කියලා. අපි මේ අවස්ථාවේදී රෙදි කඩකින් වසා රූපගත කරමු කියලා. නමුත් මගේ මිතුරන් කිව්වා ඔබ කරන්නේ ඉතිහාසය වැරදි විදියට නිරූපනය කිරීමක් නේ කියලා. අපි එසේ නොකළොත් එය වැරදියි කියලා. එය ඔවුන්ට දීපු දඬුවමක්. ඒ දඩුවම නැති වෙනවා අපි වැරදි විදියට නිරූපනය කළහොත්. සමාජමය වැරැද්දක් සිනමා අධ්‍යක්ෂකවරයා විසින් ඉවත් කළ වෙනවා. අපිට තිබුණු ගැටළුව ඒ අභියෝගය ජයගන්නේ කෙසේද ? චිත්‍රපටය රූපගත කිරීමට ඉතාමත් ආසන්නයේදී පෙර, රූපගත කරන ආකාරය අනුව අපිට ජයගන්න කොහොමද කියන එක ගැන අදහසක් තිබුණේ නැහැ. රූපගත කරන ආකාරයෙන් අපි අභියෝගය ජයගත්තා. ඒ සඳහා ඇඳුම් නිර්මාණ ශිල්පීන් සියළුම දෙනා දායක වුනා. අතිශය අවධානයකින් යුතුව ඒ සඳහා ක්‍රියාත්මක වුණා. ඒ නිසා අභියෝග මැද සැබෑව අපි රූපගත කළා.



අවසාන මොහොත දක්වා නළු නිළියෝ වෙනස් වුණා. එයට විශේෂ හේතුවක් තිබුණාද ?

කැපවීම කියන වචනය මම භාවිතා කරන්නත් කැමති නෑ. මොකද අමුතු දෙයක් කරන්න අවශ්‍ය නෑ. ඒක තමන්ගේ ජොබ් එක. ඒක හරියට කරන එක තමන්ගේ රැකියාව. තමන්ගේ ලැබිලා තියෙන චරිතය සම ඇතුළට නළුවා හෝ නිළිය පිවිසෙයි කියලා. අධ්‍යක්ෂකවරයා නළු නිළියන් අධ්‍යක්ෂණය කරන්නේ දර්ශන තලයේදී පමණක් නොවෙයි. මාස 7, 8 තිස්සේ මේ සඳහා පුහුණුවීම් පැවැත්වුණා. ඒ පුහුණුවීම් වලදී කිසියම් ආකාරයකින් මට හැගුණා නම්, ඒ පුහුණුවීම් වලට සහභාගි වීමේ ගැටළුවක්, අපහසුවක් තිබේ නම්, තමන්ගේ කාර්යබහුලත්වය නිසා ඔවුන්ව මම ඉවත් කරනවා. අවසන් මොහොත දක්වා වෙනස්වීමට හේතුව ඒකයි. අපි චිත්‍රපටයක් කරද්දි අපට නළුවා හෝ නිළිය අවශ්‍ය වෙන්නේ ඇයි ? ඒ චරිතය නිරූපනය කිරීමටයි. ඉන්දීය නළු රැජිනි කාන්ත්ව, විජේව අපි චිත්‍රපටයකට ගන්නවා නම් ඒ මුළු නිෂ්පාදන පදනම් වෙන්නේ අර නළුවාගේ තරු ගුණය මත. ඔහු තමයි තරුව. එතකොට ඔහු වටා තමයි කතාව හා නිෂ්පාදනය ගොඩනැගෙන්නේ. නමුත් අපි නිර්මාණය කරන්නේ ඒ විදියට නෙමෙයි. අධ්‍යක්ෂකවරයා කියන්නේ හැම තිස්සෙම සැක සංකාවලින් මතුවන පුද්ගලයෙක්. විශේෂයෙන්ම මම. මට හරියටම ඒ චරිතයේ තියෙන හැගීම මේ නළු නිළියන් තුළින් මතු කරගත හැකිවේද කියන ගැටළුව නිතරම තියෙනවා. නිතරම සැක සංකාවෙන් පසුවෙන කෙනෙක්. දර්ශනයෙන් දර්ශනයට එවැනි හැගීමක් ඇතිවෙනවා. අපි වැඩ කරන්නේ එය ජයගන්නයි. අපි චිත්‍රපටි හදන්නේ අපේ දක්ෂතාවයක් පෙන්වන්න නෙමෙයි. මේ ජීවත්වන පාත්‍ර වර්ගයාගේ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට සන්නිවේදනය කරන්න. මට අවශ්‍ය දායකත්වය ඔවුන්ට දෙන්න බැරි නම්, ඒ මතුවන සැකය මතම අපිට වෙනත් විකල්පයකට යෑමට සිදුවෙනවා.

අත්දැකීම් සහිත නළු නිළියන් හා නවක නළු නිළියන් මෙහෙයවීම ගැන යමක් කියන්න පුළුවන් ද ?

මට වැදගත් වෙන්නේ කැමරාව ඉදිරියේ ඔහු ආධුනික වෙනවාද ප්‍රවීණ වෙනවාද කියන එක විතරයි. ප්‍රවීණ නළුවෙකුත් චරිත නිර්මාණයේ දී ආධුනික ලක්ෂණ පළ කළ හැකියි. ලංකාවේ ප්‍රවීණ නළු නිළියන්ගේ ආධුනික රංගනයන් අපි දකිනවා. ඒ වගේම ආධුනික නළු නිළියන්ගෙන් වෘත්තීය රංගනයන් ද අපි දකිනවා. මෙතනදී ඒ සියළුම දෙනාව අපි ඒ චරිතයට කිසියම් ආකාරයක නියාමනයක් දෙනවා මඟ පෙන්වීමක් කරනවා, අපි සියළුම දෙනාම වැඩ කරන්නේ එක දෙයක්, එක අරමුණක් වෙනුවෙන් කියලා. මේ සිය ගණනක් එකට බැඳෙන්නේ මේ අත්දැකීම කියන්න තියෙන වුවමනාව මතයි. ඒක තමයි සිනමාවේ තියෙන අපූර්වත්වය. වේදිකාවේත් මේ ගුණය සිනමාවටත් වඩා බෙහෙවින් තිබෙනවා. සියළුම දෙනා මාස 06 ක් තිස්සේ එකට බැඳිලා, පුහුණුවීම් කරමින් කරන්නේ, සියළුම දෙනා එක අරමුණකට ඇවිත් තමාට වඩා විශාල වූ අත්දැකීමකට චුම්භකයකට ඇඳෙනවා වගේ ගමන් කරනවා. ජීවිතයේ සියළුදේ ඒ හමුවේ යටපත් කරනවා. අපි හිතන්නේ මුළු ලෝකයම කැරකෙන්නේ මේ චිත්‍රපටය වටේ කියලා. නිර්මාණයක් කරනකොට අපි හිතන්නේ එහෙම තමයි. අපිට දැනෙනවා නම් අපි සියළුම දෙනා ඉන්නේ එක තැනක කියලා සියලූ දෙනා ඒකට වැඩ කරනවා. එය තමයි ආධුනික, ප්‍රවීණත්වය ජයගන්න පුළුවන් සාධකය.

ඒ වගේම අපි තෝරගන්න කොටම දන්නවා නළුවා හෝ නිළිය ආධුනික ද නැද්ද කියලා. ඔහුගේ හෝ ඇයගේ පෙනුම මට තහවුරු වුනානම් අපි තෝරගත්තා. දර්ශන තලයේදී නෙමෙයි මේ ප්‍රශ්නය එන්නේ. බොහෝ දේවල් සම්බන්ධයෙන් අපි පෙර සූදානමක් වෙලා තියෙනවා. කෙසේ වෙතත් ඒ පෙනුමම මම දකිනවා ඒ චරිතයට සාධාරණයක් ඉෂ්ට කරනවා කියලා.

ඩිනාරා පුංචිහේවා හමුවන්නේ ගාඩි චිත්‍රපටයට නළු නිළියන් තෝරා ගැනීමට සිදු කරන ලද සම්මුඛ පරීක්ෂණයකදී. එහිදී ඇයව දුටු මම ඇයව මේ චරිතය සඳහා තෝරාගත්තා. ඇය මෙම චිත්‍රපටයේ මාස 08 පුහුණුවීම් සඳහා නොකඩවා පැමිණියා. ඇය මෙම චිත්‍රපටයේ රගපෑමට එකගවුණේ නැත්නම් තවමත් ගාඩි චිත්‍රපටය තිරනාටකයක් පමණයි. හැමදාම මේ නිළිය සම්බන්ධයෙන් ප්‍රශ්නයක් මතු වුණා. සජිත අනුත්තර ගේ මේ චරිතයට අවශ්‍ය බාහිර සුදුසුකම මම දැක්කා. සජිතට බාහිර පෙනුම පමණක් නොවෙයි චරිතයට අවශ්‍ය අභ්‍යයන්තර හැගීමත් තිබෙන බව ඔහු රූපගත කිරීම් වලදී ඔප්පු කර පෙන්නුවා.

ඔබගේ මේ නිර්මාණයට ආභාෂයන්. අත්දැකීමක් ලබා ගත් නිර්මාණ තියෙනවද ?

අනිවාර්යයෙන්ම. ලංකාවේ පරිමාණයෙන් ගත්තොත් සුවිශාල ඒ වගේම ගාඩි හදවතක් තියෙන චිත්‍රපටයක්. එවැනි අත්දැකීමක් සහිත මට පෙර ප්‍රකාශ කළ චිත්‍රපටි මම නරඹලා තියෙනවා. නමුත් බොහෝ කලාතුරකින් තමයි සුවිශාල බවත්, හෘදයාංගම බවත් එකටම එන චිත්‍රපටයක් එන්නේ. කුරසෝවාගේ චිත්‍රපටි ගත්තොත් සිනමාත්මක බවින් පරිපූර්ණයි. ඉතිහාසය ගැන නිර්මාණ කරන කිසිවෙකුට ඉතිහාසය මඟ හැර යා නොහැකියි. ඒ වගේම ඓතිහාසික චිත්‍රපට මෙලෙස නිර්මාණය නොකළ යුත්තේ කෙසේද කියන අන්දමේ හොලිවුඞ් සමහර චිත්‍රපට තිබෙනවා. ගාඩි එහෙම චිත්‍රපටයක් නෙමෙයි. එහෙම අවශ්‍යතාවයක් තිබුණෙත් නැහැ. මෙම චිත්‍රපටය සමූහයකගේ වගේම දෙන්නෙක්ගේ කතාවක්. මෙම චිත්‍රපටය දෙන්නෙක්ගේ සංචාරයක්. සුවිශාල බවත්, හෘදයාංගම බවත් පෙන්වීමට කොහොමද පරිසරය භාවිතා කරන්නේ කියන දේවල් වලට අපිට ආභාෂයක් ලැබුණා. ස්ටැන්ලි කුබ්රික්ගේ බැරි ලින්ඩන් (1975) වලදි ඉටිපන්දම් එළියෙන් ගෘහස්ත ජවනිකා තුළ අලෝකය භාවිතා කළ අන්දම කැමරා ශිල්පී රජීව්ත් මමත් අධ්‍යයනය කළා. ඒ වගේම අපිට බලපෑවා චිත්‍රපට නොවන තවත් මූලාශ්‍රයක්. ඒක තමයි කොහොමද වර්ණ භාවිතා කරලා තියෙන්නේ නුවර යුගයේ චිත්‍රවල. විශේෂයෙන්ම දෙගල්දොරුවේ බිතුවම් කොහොමද නිර්මාණය වෙලා තියෙන්නේ. වර්ණ කිහිපයක් භාවිතා කර තිබෙන්නේ. ඒ සියල්ල නිර්මාණය වෙලා තියෙන්නේ බිත්තිවල.

නමුත් අපි ගෘහයෙන් එළියට යද්දි ඊට හාත්පසින්ම වෙනස් වර්ණාවලියක් අනුගමනය කළා. ලෝකයේ විශාල නිර්මාණ ශිල්පීන්ගේ නිර්මාණවල ආභාෂයන් ලැබුණත් අවසානයේ නිර්මාණය කිරීමට යන්නේ නුවර යුගයේ නිර්මාණයක් නිසා නුවර යුගයේ දී නිවෙස් ඇතුළට කුමන ආලෝකයක් භාවිතා කරන්නට ඇති ද යන්න අධ්‍යයනය කළා. අපේ නුවර යුගයේ චිත්‍රපටිවල තියෙනවා විදුලි ලාම්පු. ඒවා ඊට බොහෝම පස්සේ ඇති වෙන්නේ. ඒ වගේම නුවර යුගයේ ගෙවල් කියලා පෙන්වන්නේ පසුකාලීනව හදපු ඒවා. මේ කරුණු චිත්‍රපටයේ චරිත වලට බලපාන්නේ කොහොමද ? එම අත්දැකීම තීව්‍රර කරන්නේ කෙසේද ? කියන දේ තමයි අපිට වැදගත් වෙන්න ඕන.



මෙම චිත්‍රපයට පසුබිම් වුණු සමාජ දේශපාලන වටපිටාව ගැන යමක් කියන්න පුළුවන්ද ?

මට ඒක එක වාක්‍යයකින් කියන්න පුළුවන්. දිවංගත මහාචාර්ය සුචරිත ගම්ලත් වරක් කිව්වා ඉතිහාසය හරා ඇවිස්සිය යුත්තේ ඒ ඉතිහාස කතාවෙන් වර්තමානයට ආලෝක ධාරාවක් එල්ල කළ හැකි නම් පමණි.

අවසාන වශයෙන් කිව්වොත් ? 

මම මේ අවුරුදු ගණනාවක් මම මේ චිත්‍රපටය සඳහා වෙහෙස වුණේ ඒකේ තිබුණු කතා රසය බහුවිධ ප්‍රේක්ෂකයාට බහුවිධ වින්දනයන් ලබා දෙන චිත්‍රපටයක් හැටියටයි මම දකින්නේ.‌




0 comments: