Hot!

බුද්ධාලම්භන ප්‍රීතිය දේශපාලන නාටකයක් කළ කැළණිය




- පෝද්දල ජයන්ත -



කැළණිය පුදබිම තරමට 'අභයාරාමය' කෙළෙසුණේ නැත.

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා බෞද්ධ සැදැහැවතුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය වංචනිකව ඩැහැ ගැනීමට ලක්කළ 'නාග ලෝක' ධාතු වන්දනාව තනිකරම අන්ත කුපාඩි රංගනයකි. මේ කුපාඩි රංගනය සම්පූර්ණයෙන්ම සැළසුම් කොට ඉදිරිපත් කර ඇත්තේ කැළණිය රජමහා විහාරයේ අධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන්ගේ මුලිකත්වයෙනි.

නාරාහේන්පිට අභයාරාමය සහ කැළණි රජමහා විහාරය

නාරාහේන්පිට අභයාරාමය අප දන්නා කාලයක් තිස්සේ තනිකරම දේශපාලන මධ්‍යස්ථානයකි. එහි අධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි දේශපාලන සත්වයෙකි. වර්තමානයේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ මූලස්ථානයට සමාන දේශපාලන ක්‍රියාකාරකම් අභයාරාමයේ සිදුකෙරුණු බව නොරහසකි. එහෙත් මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි අභයාරාමය කැළණිය රජමහා විහාර පුදබිම තරමට කෙළෙසුවේ නැත.

මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමි රාජපක්ෂ දේශපාලන කදවුර වෙනුවෙන් කළ හැකි සියල්ල කළේය. එහෙත් අභයාරාමයට වදින්න පුදන්න ආ බෞද්ධ බැතිමතුන් වංචනික ලෙස ඔවුන් තුළ ඇති බුද්ධාලම්බන ප්‍රීතිය ඡන්දවලට පරිවර්තනය කිරීම සදහා කුපාඩි රගපෑම් කළේ නැත. අභයාරාමයට ආ ගිය සැදැහැවතුන් දේශපාලනිකව පොළඹවා ගැනීමට අනේක දේශනා පවත්වන්නට ඇත. එහෙත් කැළණිය පුදබිම අසූචිවලින් නැහැවී යන තරමට සිදුකළ කුපාඩි ධාතු වන්දනාවන් වැනි තුච්ච ක්‍රියාකාරකම් තුළින් අභයාරාමය කෙළෙසුවේ නැත.

කැළණියට නාග ලොවෙන් සර්වඥ ධාතූන් වැඩම්මවීමේ මහා කෙබරය

ජනාධිපතිවරණයට තිබුණේ හරියටම දින හතරක් වැනි කාලයකි. ඉනිනුත් තවත් දිනකින් එනම් 13දා රාත්‍රී 12 න් පසු සියලු ප්‍රචාරණය කටයුතු අවසන් කළ යුතුව තිබුණි. නාගලෝක ධාතු වන්දනාව සැළසුම් කර තිබුණේ මැතිවරණය නීතියෙන් බේරී 15 රාත්‍රිය තෙක් රිසිසේ ප්‍රචාරණ කටයුතු සිදූ කිරීමටය. සතියකට පෙරාතුව පිටිසර පළාත්වලින් නෙළුම් පොහොට්ටු තොග ගණනින් රැස්කර තිබුණි.

ගුප්ත විද්‍යා විශාරද උදාර මධුශංඛ

'දෙරණ' රූපවාහිනිය සිය ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් කියා සිටි පරිදි ගුප්ත විද්‍යා විශාරද උදාර මධුශංඛ නමැත්තෙකුට නාග ලෝකයේ මණිඅක්ඛික නාග රාජයා විසින් පණිවුඩයක් ලබාදී තිබුණි. එනම් 12 වැනිදා රාත්‍රීයේ නාග ලෝකයෙන් සර්වඥ ධාතූන් රැගෙන එන බවයි.

පෙරකී මධුශංඛ නමැත්තා 'දෙරණ' රූපවාහිනීයට ප්‍රකාශ කර තිබූ පරිදි කැළණි ගං ඉවුරේ පුද පූජා පැවැත්වීමෙන් පසු තමා ගං පතුළට ගිය බවත් එහිදී 'මනිඅක්ඛිත' නාග රාජයා පැමිණ තමා ගං පතුළේ ගුහාවකට රැගෙන ගිය බවත්, පසුව නාග රාජයාගේ කටේ තිබූ සර්වඥ ධාතූන් සහිත කරඩුව තමන් දෝතින් ලබාගත් බවත් එසැණින් ගං දියෙන් උඩට මතුවී ආ බවකි.

මහින්ද සංඝරක්ඛිත හිමිගේ මහා කෙබරය

කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි 'දෙරණ' රෑපවාහිනීයට ප්‍රකාශයක් ලබා දෙමින් කියා සිටියේ උදාර මධුශංඛ මහතා වසර තුනක් තිස්සේ පුද පූජා පවත්වන බවත්, පසුගිය වෙසක් පොහොය දින සර්වඥ ධාතූන් ලැබෙන බව ප්‍රකාශ වී තිබුණද , නොලැබුණු බවත් එහෙත් මේ වතාවේ එම සර්වඥ ධාතූන් ලැබුණු බවත්ය.

කටේ දිවේ නොගෑවී සංඝරක්ඛිත හිමි තව දූරටත් මෙවැනි ප්‍රකාශයක් ද 'දෙරණ' රූපවාහිනීයට කර තිබුණි. "එදින ගග පැත්තෙන් ගගට විශාල යමක් වැටෙනවා වැනි ශබ්දයක්, ඝෝෂාවක් ඇසුණා. ඉන්පසු මධුශංඛ මහතා කරඩුවක් සමග ගෙන් උඩට මතුවුණා. මෙයින් හැගෙන්නේ 2020 දී අපට හොද නායකයකු ලැබී රටට යහපතක් උදාවෙන බව පෙනෙන්න තිබෙනවා" යනුවෙනි.

සර්වඥ ධාතූන් රැගෙන ගං දියෙන් උඩට ආ බව කියන මධුශංඛ තවත් අපූරු කතාවක් ඇද බායි. එනම් ඒ වෙලාවේ අපි සර්වඥ ධාතූන් වහන්සේලාට පුද පූජා පවත්වන විට ධාතූන් වදින්න තවත් නාගයෙක් ගං දියෙන් මතුවූණා යන්නයි. පසුව 'දෙරණ' රූපවාහිනියෙන් ම දකින්න ලැබුණු පරිදි එම නාගයා පැත්තක් තැලී ගිය හිස් ප්ලාස්ටික් බෝතලයකට දමා තිබුණි.

මධුශංඛට ගං පතුළේ දී මණිඅක්ඛික නාග රාජයා ලබා දුන්නේ යැයි කියන ධාතූන් වහන්සේලා දාහතර නම් මහින්ද සංඝරක්ඛිත හිමි සහ ගෝලබාලයන් විසින් කැළණිය විහාරස්ථානයේ ධාතු මන්දිරයේ තැන්පත් කරන ලදුව, දාන ගිලන්පස, මල් පහන්, සුවද දුම්වලින් ඇප උපස්ථාන කොට මහජන ප්‍රදර්ශනය සදහා සූදානම් කෙරුණු අයුරු ද විහාර පරිශ්‍රයේ සිට 'දෙරණ' සජීවීව විකාශනය කෙරුණි.

සැදැහැවතුන් දහස් ගණනින් පෙළ ගැසුණාහ

කැළණි රජමහා විහාරයට නාග ලෝකයෙන් සර්වඥ ධාතුන් වහන්සේලා දාහතර නමක් වැඩම කර ඇති පුවත කණ වැකුණු බෞද්ධ ජනතාව බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඔද වැඩී ධාතූ වන්දනාව පිණිස කැළණි රජමහා විහාරයට රොද බැන්දාහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සහ ශිරන්ති රාජපක්ෂ, එවකට ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ අයෝමා රාජපක්ෂ ඇතුළු පිරිවරද වහා කැළණි විහාරයට සැපත්ව ධාතූ වන්දනාවේ යෙදෙන අයුරු 'දෙරණ'වරින්වර විකාශනය කළේය. ගෝඨාභය රාජපක්ෂ මහතා නාග ලොවින් ගෙනා ධාතූන් තැන්පත් කිරීමට විශේෂ කරඩුවක් මහින්ද සංඝරක්ඛිත හිමියන්ට පූජා කරන දසුන්ද ඒ අතර විය.

ධාතු වන්දනාවට පැමිණි සැදැහැවතුන්ට රට වෙනුවෙන් 'නෙළුම් පොහොට්ටු'

ධාතූන් වහන්සේලා වැද පුදා ගැනීමට බැතිබරව දිගු වෙලාවක් තිස්සේ පෝළිම් ගැසී සිටින සැදැහැවතුන්ට කැළණිය විහාරස්ථානයේ හිමිවරුන් නෙළුම් පොහොට්ටු ලබා දෙමින් රට වෙනුවෙන් චන්දය දෙන ලෙස ඉල්ලීම් කරන දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වුවද, සියලු සිදුවීම් ඇසිල්ලකින් විකාශය කළ 'දෙරණ' රෑපවාහිනියේ එම දර්ශන ප්‍රචාරය නොවුණි.

"අනේ අපි ජීවමාන බුදුන් දැක්ක වගේ......."

දිගු පෝළිමේ සිට ධාතූන් වැද පුදා ගත් අයට රූපවාහිනී මාධ්‍යවල කැමරා යොමුවී තිබුණි. ඔවුන් ගෙන් සමහරු ඇතැම් විට හඩා වැටෙමින් ප්‍රකාශ කළේ අපිට ජීවමාන බුදුන් වහන්සේ දැක ගන්න ලැබුණා හා සමානයි යන්නය. වැඩිහිටි උපාසක උපාසිකාවෝ අතරතුර සිටි නව බදා යෞවන යෞවනියෝද බොහෝ දෙනෙක් මාධ්‍යයට ප්‍රකාශ කර තිබුණේ ජීවිතයේ කවදාවත් දක්නට නොලැබෙන අයුරින් ජීවමාන බුදුන් දැක ගත්තා හා සමාන බවයි.

මහින්ද සංඝරක්ඛිත හිමියෝ දේශපාලන අසූචි වළට ඇද දැම්මේ ඒ නිර්ව්‍යාජ මිනිසුන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය යි

බෞද්ධ සැදැහැවතුන්ට බුදුන් වහන්සේගේ හෝ රහතුන් වහන්සේලාගේ ධාතූන් වැද පුදා ගැනීමට අවස්ථාවක් ලැබෙන්නේ නම් එය තමන්ගේ මුළු ජීවිත කාලයටම ලැබෙන ඉතා දුර්ලභ, වාසනාවන්තම සහ නිවන් දකින්නට හැකියාව ලැබෙන හේතුවක් බව හිස් මුදුනින්ම විශ්වාස කරති. කොතරම් දුර බැහැර වුවද, ශරීර සෞඛ්‍ය තත්වයන් කොතෙක් පිරිහී තිබුණද, කොතරම් බාධක කම්කටොලු තිබුණද කවර හෝ විමසීමකින් තොරව එකී ස්ථාන කරා පෙළ ගැසෙති. එහිදී අවු වැසි දුක් පීඩා තුට්ටුවකටවත් ඔවුහු මායිම් නොකරති.

ගෝඨාභය ගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපෘතිය

ගෝඨාභය රාජපක්ෂගේ මැතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය කැළණිය රජමහා විහාරයේ විහාරාධිපති හිමි සමග එක්ව ක්‍රියාත්මක කළේ පෙරකී නිර්ව්‍යාජ බෞද්ධ සැදැහැවතුන්ගේ අති නිර්මල බුද්ධාලම්බන ප්‍රීතිය දඩමීමා කරගෙන වංචනික ලෙස ඔවුනග් ඡන්දය ඩැහැගැනීමේ කූට ක්‍රියාන්විතයයි. බුද්ධාලම්භන ප්‍රීතියෙන් සිටින පිරිස සැබෑ සිහිබුද්ධියෙන් දෑස් විවර කර බැලුවොත් මේ කූට රංගනය කොතරම් නීච ක්‍රියාවක්ද යන්න වැටහෙනු ඇත.

"උපන්දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ"

බෞද්ධ ජනතාවගේ පරම විශ්වාසයට අනුව කැළණිය රජමහා විහාරය යනූ බුදුන් වහන්සේ වැඩම කළ අති පූජනීය පින් බිමකි. එකී පුද බිමට නාග ලෝකයෙන් සර්වඥ ධාතූන් වැඩම කර ඇතැයි යන පුවත ඔවුන්ට ජීවිතයේ අසන්නට ලැබෙන අමරණීය ප්‍රවෘත්තියකි. එක් පුද්ගලයෙක් රටේ ජනාධිපති කරවීම පිණිස අසූචි වළකට ඇද දැම්මේ එකී බුද්ධාලම්බන ප්‍රිතියෙන් ඔද වැඩුණු මිනිසුන්ගේ ශ්‍රද්ධාවයි. බෞද්ධ බැතිමතුන්ට අනුව අමාමෑණි ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රි සද්ධර්මයෙන් ප්‍රමුදිත මිනිසුන් මුලාකර ඔවුන්ගේ ඡන්දය ඩැහැගැනීමේ මේ තුච්ච නාටකය හැදින්වීමට සිංහල භාෂාවේ වචන තිබේද..?

කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි අසූචි වළට ඇද දැම්මේ අනගි භවනීය බෞද්ධ දර්ශනයයි

මේ නරි නාඩගම සම්පාදනය කළේ සාමාන්‍ය භික්ෂූවක් නොව උගත් යැයි සම්මත මහාචාර්ය පදවියකින්ද පිදුම් ලබා සිටින ධර්ම කතිකයාණො කෙනෙකි. ඔහු තුච්ච දේශපාලනයක් වෙනුවෙන් අසූචි වළට ඇද දැම්මේ බුදුන් වහන්සේගේ අනගි භවනීය බෞද්ධ දර්ශනය යි. ඔවුන්ගේ කැත දේශපාලනය වෙනුවෙන් තවත් නොකළ හැක්කක් තිබේද..?




සබැඳි පුවත්



0 comments: