Hot!

මාලදිවයින හා මෙරට අතර ආයෝජන ගිවිසුම් නුදුරේදීම



සමාජ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව දිගු කලක් තිස්සේ පවත්වාගෙන යන හවුල්කාරිත්වය තම රටේ ඇගයීමට ලක් වන බව මාලදිවයින් විදේශ අමාත්‍ය අබ්දුල්ලා ෂාහිඩ් පසුගිය බ්‍රහස්පතින්දා විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනට දැන්වූ අතර, මෙම සහයෝගීතාවය තුළින් මුල්බැසගත් මිත්‍රත්වය පිළිබිඹු වන බවත්, එමඟින් දෙරට අතර පවතින අන්‍යෝන්‍ය විශ්වාසය, ගෞරවය සහ හොඳ හිත ප්‍රාණවත් වන බවත් තවදුරටත් සඳහන් කළේය.

මේ වන විට ශ්‍රී ලංකාවේ තෙදින නිල සංචාරයක යෙදී සිටින මාලදිවයින් විදේශ අමාත්‍යවරයා, පසුගිය බ්‍රහස්පතින්දා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ  බැහැදුටුවේය.

කොළඹ විදේශ අමාත්‍යංශයේ පැවති රැස්වීමේ දී අමාත්‍ය ෂාහිඩ් වෙළඳ හා ආර්ථික, සංචාරක, තරුණ කටයුතු සංවර්ධනය, සමාජ ආරක්ෂණ, සංස්කෘතික කටයුතු, සෞඛ්‍ය, අධ්‍යාපනය සහ ධාරිතා සංවර්ධනය යන ක්ෂේත්‍රවල ශ්‍රී ලංකාව නියැලී සිටින කටයුතු පිළිබඳව සිය ප්‍රශංසාව පුද කළේය.

මෙම සාකච්ඡාවේදී අමාත්‍ය ගුණවර්ධන  ද්විපාර්ශ්වික, කලාපීය හා ජාත්‍යන්තර සංසදවල දෙරට අතර අඛණ්ඩ සහයෝගීතාවයේ වැදගත්කම අවධාරණය කළ අතර, මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා මාලදිවයින පොදුරාජ්‍ය මණ්ඩලයට නැවත ඇතුළත් කර ගැනීම සඳහා ශ්‍රී ලංකාව දැක්වූ සාමග්‍රිය සහ ශ්‍රී ලංකාව ලබාදුන් ශක්තිමත් සහයට අමතරව ශ්‍රී ලංකාව දැරූ එවැනි ඒකාබද්ධ ප්‍රයත්නයන් පිළිබඳව සතුට පළ කළේය.

සංස්කෘතික, ආර්ථික, වෙළඳ, ආයෝජන සහ ආරක්ෂක ක්ෂේත්‍රයන්හි දෙරට අතර කැපී පෙනෙන ද්විපාර්ශ්වික ගිවිසුම්වලට කඩිනමින් එළඹීමට ද අමාත්‍යවරු දෙපළ මෙහි දී එකඟ වූහ.



ශ්‍රී ලංකා – මාලදිවයින් ඒකාබද්ධ කොමිෂන් සභාව 2020 පළමු කාර්තුවේ දී කැඳවීමට අමාත්‍යවරු දෙදෙනා එකඟ වූහ. දෙරට අතර ආර්ථික සහයෝගීතාව සහ වෙළඳාම, ධීවර කටයුතු, අධ්‍යාපනය, සෞඛ්‍ය, සේවා නියුක්තිය, සංචාරක හා සංස්කෘතික සහයෝගීතාව යන අංශ මෙම කොමිෂන් සභාව මඟින් ආවරණය කෙරේ.

මාලදිවයිනේ සංචාරයක නියැලෙන ලෙස මෙහි පැමිණ සිටින අමාත්‍යවරයා විසින් අමාත්‍ය ගුණවර්ධන වෙත කළ ආරාධනය එතුමා විසින් පිළිගන්නා ලදී.

තානාපති ඕමාර් අබ්දුල් රසාක් සහ නියෝජ්‍ය දූත මණ්ඩල ප්‍රධානී කදීජා නජීහා මාලදිවයිනේ විදේශ අමාත්‍යවරයා සමඟ මෙම සාකච්ඡාවට සහභාගී වූ අතර, විදේශ ලේකම් රවිනාථ ආර්යසිංහ සහ අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීහු විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සමඟ එක් වූහ.


0 comments: