to-add

රන්ජන්ගේ දුරකථන සංවාද තුලින් වෑහෙන ධනේශ්වර දුර්ගන්ධය

රාමනායකගේ හඬ තැටි මගින් තවත් පිලිකුල් සහගත බොහෝ දෑ අනාවරනය වීමට නියමිතය. දැනට එලිමහනට පැමින ඇති කරුනු කීපයෙන් පවා ප්‍ර‍කාශයට පත් වනුයේ, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ඇතුලු‍ සමස්ත ධනපති සංස්ථාපිතයේ ආන්තික කුනු වීමයි.

පානි විජේසිරිවර්ධන විසිනි

පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක පසුගිය ආන්ඩුවේ රාජ්‍ය ඇමතිවරයෙකු ව සිටි අවධිය තුල, අධිකරනයේ, පොලීසියේ සහ රජයේ විවිධ නිලතල දරන්නන් සමග කරන ලද පුද්ගලික දුරකථන සංවාදයන් හි හඬ තැටි කීපයක් සමාජ මාධ්‍යයන්ට කාන්දුවීමේ සිද්ධිය මේ දිනවල සියලු‍ ධනපති මාධ්‍යයන්හි ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත.



මෙම හඬතැටිවල අඩංගු සංවාද අතරින් වඩාත් අවධානයට ලක්ව ඇත්තේ, මහාධිකරනයේ හිටපු විනිසුරුවරියක වන පද්මිනී රනවක සහ පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර සමග රාමනායක කල සංවාදයන් ය. රනවක යනු, අගමැති මහින්ද රාජපක්ෂ ඇතුලු‍ රාජපක්ෂ පවුලේ සමීපතමයෙකු වන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ට, භාරත ලක්ෂ්මන් පේමචන්ද්‍ර‍ ඝාතනය සම්බන්ධයෙන් මරන දන්ඩනය නියම කල විනිශ්චය මන්ඩලයේ සභාපතිවරියයි. මහින්ද රාජපක්ෂ පාලන කාලය තුල සිදු කෙරුනු සහ රාජපක්ෂ පවුලේ නම් ඈඳුනු සුප්‍ර‍සිද්ධ අපරාධ ගනනාවක් පිලිබඳ පරීක්ෂන භාරව සිටියේ අබේසේකර ය.

සිද්ධිය වහා ඩැහැගත් වත්මන් පොදුජන පෙරමුනු ආන්ඩුවේ මැති ඇමතිවරු රොත්තක්, රාමනායක අධිකරනයට සහ පොලීසියට අනිසි බලපෑම් කර ඇතිබවට හඬ තලමින්, ඔහුට එරෙහිව වහා නීතිමය පියවර ගන්නා ලෙස අධිකරනයෙන් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටින උද්ඝෝෂනයක් අරඹා ඇති අතර, එය වටා බෞද්ධ භික්ෂූන් ඇතුලු‍ සිංහල වර්ගවාදී කොටස් රොද බැඳ සිටිති.

මෙම හඬතැටි එලිමහනට පැමිනියේ, පසුගිය සතියේ, රාමනායකගේ නිල නිවාසය පොලීසිය විසින් වටලා ඔහු සතුව තිබූ ගිනි අවියක් සහ සංයුක්ත තැටි රාශියක් අත්අඩංගුවට ගැනීමත් සමගය. පොලීසියට මුද්‍රා තබා භාරදුන් එම තැටි සමාජ ජාලයන්ට කාන්දුවූයේ කෙසේදැයි රාමනායක ප්‍ර‍ශ්න කරන අතර, රාජපක්ෂ ආන්ඩුවේ මාධ්‍ය ප්‍ර‍කාශකයෝ ඒ සම්බන්ධයෙන් පරස්පර විරෝධී අදහස් ප්‍ර‍කාශ කරති.

රාමනායකගේ හඬ තැටි මගින් තවත් පිලිකුල් සහගත බොහෝ දෑ අනාවරනය වීමට නියමිතය. දැනට එලිමහනට පැමින ඇති කරුනු කීපයෙන් පවා ප්‍ර‍කාශයට පත් වනුයේ, ව්‍යවස්ථාදායකය, විධායකය සහ අධිකරනය ඇතුලු‍ සමස්ත ධනපති සංස්ථාපිතයේ ආන්තික කුනු වීමයි. ඉහත ත්‍රිත්වය සම්බන්ධයෙන් වැඩෙමින් පැවති මහජන අවිශ්වාසය සහ පිලිකුල දැවැන්ත පරිමාවකින් ඉහල නැංවීම සඳහා සිද්ධියෙන් ඇති කෙරෙන බලපෑම කෙරෙහි ධනපති මාධ්‍ය අටුවාකරුවන් දක්වන්නේ දැඩි උත්සුකයකි.

ජනවාරි 10 දිවයින කතුවැකිය මෙසේ පවසයි: “‍හෙට දිනයේ මෙම මිසයිල කොයි දිශාවකට, කාගේ හිසකට පතිත වේ දැයි කිව නොහැක. කාගේ හිස මත පතිත වුව ද එමගින් ඇති කරන විනාශකාරී බලපෑම රාජ්‍ය ශෝධන කි‍්‍රයාවලියක් වෙත හරවා ගැනීමට ආන්ඩුව උපක්‍රමශීලීව කටයුතු කල යුතුය.”‍

ධනපති පන්තිය සහ ඔවුනගේ කුලී ලියන්නන් කිසිසේත් අපේක්ෂා නොකල මෙම හෙනගෙඩිය මගින් ඇතිකොට ඇති අර්බුදය කෙතෙක්ද යත්, එය ‘බැලැස්ටික් මිසයිලයක්’ බවට පත් වී “දේශපාලන පිටියට පතිත”‍ වෙමින් පවතින බව ඉහත කතුවැකිය පවසයි.

එකට එක සමාන නොවුනත්, මෙවන් අර්බුදයක් 2000 වසරේ එක්සත් ජනපදය තුල ඇතිවිය. එම වසරේ ජනාධිපතිවරනයේදී වැඩි ඡන්ද ලබාගත් සැබෑ ජයග්‍රාහකයා වන ඩිමොක්‍ර‍ටික් පක්ෂයේ අල් ගෝර් වෙනුවට ජෝර්ජ් බුෂ් ට ජනාධිපතිත්වය ලබා දීම ට, පාලක ප්‍ර‍භූව විසින් අධිකරනය මෙහෙයවූ අවස්ථාවේ ඇති වූ අර්බුදය පිලිබඳව ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මන්ඩල සභාපති ඬේවිඞ් නෝර්ත් මෙසේ පැවසීය: “‍අව්‍යාජ අර්බුදයක වඩාත්ම කැපී පෙනෙන ලක්ෂනයක් වන්නේ එහි අනපේක්ෂිත බව සහ එහි රූපාකාරය පිලිබඳව අනාවැකි කිව නොහැකි වීමයි. මෙම අර්බුදය මුලුමනින්ම බලාපොරොත්තු නොවූ දෙයක් බව මින් අදහස් නොවේ. එක්සත් ජනපදයේ දේශපාලන ව්‍යූහය ගැඹුරු අක්‍රිය තත්වයකට එලඹෙමින් පවතින බව අවධාරනය කරමින් දේශපාලන විශ්ලේෂනයන් ඉදිරිපත් කල එක් වෙබ් අඩවියක් අවම වශයෙන් පැවතුනි. එය ලෝක සමාජවාදී වෙබ් අඩවිය යි.”‍

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් ද නෝර්ත්ගේ ප්‍රකාශය මුලුමනින්ම සත්‍ය වෙයි. ලංකාවේ පාලක පන්තිය ගැඹුරු දේශපාලන අර්බුදයකට මුහුන දී සිටින බවත් එය විවිධ රූපාකාරයෙන් පුපුරා යා හැකි බවත් දිගින් දිගටම අවධාරනය කලේ ලෝක සමාජවාදී වෙබ් අඩවිය පමනි.

ලංකාවේ අධිකරනයේ යම් හෝ ස්වාධීනත්වයක් පැවතියේ නම්, පසුගිය දශක කීපය තුල බලයට පැමිනි සෑම තන්ත්‍ර‍යක් විසින්ම සෘජුවම එයට අතපොවා එකී ස්වාධීනත්වය වලදමා ඇත. එවන් අතපෙවීම් අතරින් කැපී පෙනෙන කීපයක් මෙසේය:

1978 දී ජේ.ආර්. ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂ (එජාප) ආන්ඩුව විසින් යෝජනා කොට සම්මතකර ගත් ව්‍යවස්ථාව මගින් අගවිනිසුරු සහ ශ්‍රේෂ්ඨාධිකරන විනිසුරුවරුන් පත් කිරීමේ පූර්න බලය විධායක ජනාධිපතිවරයා අතට පත් කෙරුනි. එතැන් පටන් සෑම ජනාධිපතිවරයෙකු විසින්ම එම තනතුරු වලට පත්කර ගැනුනේ තම සමීපතමයන් ය.

ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග විසින් 1999 දී අගවිනිසුරු තනතුරට පත්කර ගැනුනේ ඇගේ සමීපතමයෙකු වන සරත් එන් ද සිල්වා වන අතර ඔහු, කුමාරතුංගගේ දේශපාලන න්‍යාය පත්‍ර‍ට අනුව සියලු‍ තීන්දු ලබාදුන් බව කුප්‍ර‍කටය.

2005 දී මහින්ද රාජපක්ෂ ජනාධිපතිත්වයට පත්වීමෙන් පසු ද, ද සිල්වා අගවිනිසුරු තනතුරේ රඳවා සිටියේ ඔහු රාජපක්ෂගේ ද සමීපතමයෙකු බැවිනි. 2004 සුනාමියෙන් ව්‍යසනයට පත්වූවන්ට ආධාර පිනිස ක්‍රියාත්මක වූ “හෙල්පින් හම්බන්තොට”‍ ව්‍යපෘතියේ මුදල් අපයෝජනය සම්බන්ධයෙන් රාජපක්ෂට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු නිදොස් කිරීම සම්බන්ධයෙන් තමා පසුතැවිලි වන බව, රාජපක්ෂ සමග විරසක වූ පසු කලෙක, ද සිල්වා ප්‍ර‍සිද්ධියේම පැවසීය.

එමෙන්ම තම දේශපාලන න්‍යාය පත්‍ර‍යන්ට අවනත නොවන විනිසුරුවරුන් දඩයම් කිරීම සම්බන්ධයෙන් ද මෙම ධනපති පාලකයන්ට ඇත්තේ කුප්‍ර‍කට වාර්තාවකි. මෙයට ආරම්භය ලබා දුන්නේ ජේ.ආර්. ජයවර්ධන විසිනි. 1983 දී විරෝධතාවයකට සහභාගිවූ ලංකා සම සමාජ පක්ෂයේ නායකත්වයේ දෛනෙකු වන ලෙස්ලි ගුනවර්ධන සහ විවියන් ගුනවර්ධන යන දෙදෙනා ජයවර්ධන ආන්ඩුව විසින් පොලීසිය යොදවා අත්අඩංගුවට ගැනුනි. එය නීති-විරෝධී ක්‍රියාවක් බවට අභියෝග කරමින් ගුනවර්ධන යුවල පැවරූ නඩුව විනිශ්චය කරමින්, එම ක්‍රියාව නීති-විරෝධී බවට තීන්දු කල විනිසුරුවරුන් තිදෙනාගේ නිවෙස් ඉදිරිපිට ”‍විරෝධතා”‍ දැක්වීමට ජයවර්ධන විසින් එජාප මැරයන් මෙහෙයවීය.

2012 දී, ජනාධිපති මහින්ද රාජපක්ෂ සමයේ, අගවිනිසුරු ශිරානි බන්ඩාරනායක පාර්ලිමේන්තු දෝෂාභියෝගයක් තුලින් තනතුරෙන් නෙරපා දැමුවේ, රාජපක්ෂ ආන්ඩුව ගෙන ආ “‍දිවිනැගුම”‍ සංවර්ධන පනත් කෙටුම්පත ව්‍යවස්ථා විරෝධී යැයි ප්‍රකාශ කිරීම හේතුවෙනි.

බන්ඩාරනායක තනතුරෙන් පහ කිරීමෙන් පසු අගවිනිසුරු ලෙස පත් කෙරුනු රාජපක්ෂගේ සමීපතමයෙකු වන මොහාන් පීරිස් රාජපක්ෂට අවශ්‍ය පරිදි කෙතරම් අධිකරනය නම්මා දුන්නේද යන්න, රාජපක්ෂගේ අනුප්‍රාප්තිකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන පත්වූ සැනින් ඔහුගේ නිල නිවසට බඩගා කල ප්‍ර‍කාශයෙන් පැහැදිලි වෙයි. “‍කියන ඕනෑම ආකාරයකට වැඩ කරන්නම්”‍ යැයි කියමින් තනතුරේ තවදුරටත් රැඳී සිටීමට ඉඩදෙන ලෙස පීරිස් ඉල්ලා සිටි බව සිරිසේන ප්‍ර‍සිද්ධියේම පැවසීය.

රාමනායකට එරෙහිව හඬ තලන මැති-ඇමති සියල්ලෝම ඉහත තන්ත්‍ර‍ නියෝජනය කරමින් අධිකරනයේ සහ පොලීසියේ ස්වාධීනත්වයට අතපෙවීම සම්බන්ධයෙන් කුප්‍ර‍කට වර්තාවන් සතු කර ගත්තෝ වෙති.

රාමනායක දඩයම් කිරීම, ජනාධිපති සමාවකින් දුමින්ද සිල්වා නිදහස්කර ගැනීම සහ පසුගිය ආන්ඩුව වඩාත් අපකීර්තියට පත් කරමින් නුදුරේ එන පාර්ලිමේන්තු මැතිවරනය තුල වාසි අත්කර ගැනීම මෙම උද්ඝෝෂනයේ අරමුනු අතර පවතින නමුත්, ප්‍ර‍ධාන අරමුන එය නොවේ.

දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුන දී සිටින ගෝඨාභය රාජපක්ෂ ආන්ඩුවට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ රුදුරු කප්පාදු විධානයන් වහාම ක්‍රියාත්මක කිරීමෙන් තොරව ඉදිරියට යා නොහැක. එම කප්පාදු වලට එරෙහිව පැන නගින කම්කරුවන්ගේ සහ අවශේෂ පීඩිතයන්ගේ අරගල තලා දැමීම සදහා ආඥාදායකත්වයක් දෙසට වේගයෙන් ගමන් කිරීම ආන්ඩුවේ න්‍යාය පත්‍රයේ ඉහලින්ම පවතී.

මිලිටරියේ නිලධාරීන්ගෙන් රජයේ ඉහල තනතුරු පුරවමින් සිදු කෙරෙන මිලිටරීකරන ක්‍රියාවලිය එහි අත්‍යන්ත අංගයකි. රාමනායකට එරෙහි කන් බිහිරි කරවන උද්ඝෝෂනයේ අතිමූලික අරමුන වනුයේ, ආන්ඩුවේ ප්‍ර‍හාරයන්ගෙන් සහ මිලිටරීකරන ක්‍රියාවලියෙන් මහජනතාවගේ දෑස් ඉවතට හැරවීමයි.

අධිකරනය ඇතුලු‍ සමස්ත ධනපති සංස්ථාපිතයේ පරිහානිය ලෝක පරිමාන ප්‍ර‍පංචයක් වන අතර, අතීතයේ යම් ආකාරයක ස්වාධීනත්වයක් සහිත අධිකරනයන් පැවති රටවල පවා එම තත්වය වේගයෙන් වෙනස් වෙමින් පවතී. එහි ගාමකය වනුයේ ධනේශ්වර පද්ධතියේ අභ්‍යන්තර ප්‍ර‍තිවිරෝධතාවන්ගේ පෙරනොවූවිරූ තීව්‍රතාවය යි. එවන් තීව්‍ර‍තාවයකට සමාජ ප්‍රතිවිරෝධතා වර්ධනය වී පවත්නා තතු තුල පවත්නා දේශපාලන හා ව්‍යවස්ථාමය රාමුව තුල ඒවා තවදුරටත් රඳවා තැබිය නොහැකි වෙයි.

පසුගිය දශකය තුල පාලක ප්‍රභූන් ඒකාධිපතිවාදී හා ෆැසිස්ට්වාදී පාලන විධික්‍රම කරා හැරී ගැනීම තුල ප්‍ර‍කාශයට පත්ව ඇත්තේ එයයි. “‍සමාජවාදී විප්ලවයේ දශකය ඇරඹෙයි”‍ යන හිසින්, ජනවාරි 3 වන දා ලෝසවෙඅ හි පලවූ ඉදිරි දර්ශනයෙහි මෙසේ සඳහන් වෙයි: “ඉන්දියාවේ නරේන්ද්‍ර මෝදි, පිලිපීනයේ රොඞ්රිගෝ දුතර්තේ, ඊස්‍රායලයේ බෙන්ජමින් නෙතන්යාහු, ඊජිප්තුවේ අබ්දෙල් ෆටා අල්-සිසි, බ්‍රසීලයේ ජයිර් බොල්සොනාරෝ, එක්සත් ජනපදයේ ඩොනල්ඩ් ට්‍රම්ප් හා එක්සත් රාජධානියේ බොරිස් ජොන්සන් වැනි අපරාධකාරී හා මනෝව්‍යාධික පවා පුද්ගලයන් බලය කරා නැඟීම වූ කලී, සමස්ත ධනේශ්වර ක්‍රමයේ පද්ධතිගත අර්බුදය පිලිබඳ රෝග නිමිති පල කිරීමකි.”‍

ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදය ස්ථාපිත කිරීමට නම්, පුද්ගලික දේපොල සහ ලාභය මත පදනම් වූ ගෝලීය ධනවාදය පෙරලා දමා, සමාජවාදී නිශ්පාදන සබඳතා යටතේ ලෝක ආර්ථිකය ප්‍ර‍තිසංවිධානය කල යුතු වෙයි. එය කල හැක්කේ රටක් රටක් පාසා කම්කරු පන්තිය තම අතට රාජ්‍ය බලය ගැනීමෙන් පමනකි.

Post a Comment

0 Comments