Hot!

බ්‍රෝදීලා හා යුවල් නෝවා හරාරිගෙන් උගනිමු




- ම‍හේෂ් හපුගොඩ - 



‘මුල් පිටපත‘ අහිමිවීම ගැන බ්‍රෝදීලාගෙන් දැනගනිමු

'මුල් පිටපත අහිමිවීම' ගැන මුලින් ම වගේ කතා කලේ ප්‍රංශ සමාජ විද්‍යාඥයෙක් වෙච්ච් ජීන් බ්‍රෝදීලා. ඒ කතා කලෙත් අසූව දශකයේ මුල් කාලයේ. දැන් සමාජ න්‍යාය පැත්තෙන් ගත්තම බ්‍රෝදීලා ගැන වැඩිය කතා කරන්නේ නැහැ. ඒ උනාට අපේ රටේ සමහර දේවල් තේරුම් ගන්න මෙයා තවම වැදගත් කියල මට හිතෙනවා. විශේෂයෙන් රන්ජන් හඬපට වල දැන් වෙනකොට තත්වය තේරුම් ගන්න බ්‍රෝදීලා අපට අදාළ කර ගන්න පුළුවන්.

දැන් මේ ඩිජිටල් අවකාශයේ තියන හඬ පට වල ඇත්ත එක කෝකද බොරු එක කෝකද කියන එක නෙවෙයි ප්‍රශ්නේ. මේ හඬ පට වල ඉන්න පාත්‍ර වර්ගයා කියනවා ඒවා එඩිට් කරලා තියෙන්නේ කියල. රන්ජන් වුනත් එහෙම කියනවා මම අහගෙන. විශේෂයෙන් හඬ පට වල 'අන්තර්ගතය' නිසා ඒ අයගේ පුද්ගලික ජිවිත වලට වෙන බලපෑම නිසා එහෙම කියනවා වෙන්නත් පුළුවන්. නැත්නම් ඇත්තටම එඩිට් කරලා තියන නිසා එහෙම කියනවා වෙන්නත් පුළුවන්. ඒ ගැන කියන්න තරම් තාක්ෂණික දැනුමක් මට නැහැ වගේම ඒ ගැන තවම යමක් පුළුල් සමාජය ඇතුලේ කතාබහට ලක් වෙලත් නැහැ. අවසානයට ආපු බි. බි. සි. එකේ මාධ්‍යවේදියා සම්බන්ද සිද්දියේ දී පවා පවා ඔය එඩිට් කතාව කියල තිබුණ මම දැක්කා.

‘මුල් පිටපත‘ ඉක්මවා ‘එඩිට් කළ පිටපත‘ ජනප්‍රිය වීම

දැන් ප්‍රශ්නේ තියෙන්නේ 'මුල් පිටපත' ට (original) වඩා ඔය කියන 'එඩිට් කරපු පිටපත' (simulacra) නැගලා යන එක. ඒක මේ තාක්ෂණික යුගයේ සිදුවන දෙයක්. අනික මේ හඬ පට එඩිට් කළා නම් ඒවාට මිනිස්සු අහන්න කැමති අශ්ලීල දේ අතුල් කරලා ඇති. ඒ නිසා මිනිස්සු අහනවා ඇති. පොස්ට් මොඩන් තත්වයක් තුල මේකෙන් ගැලවෙන්න දැන් කිසිම ක්‍රමයක් නැහැ. 'බොරු පිටපත' ඇතුලේ තියන බලය නිසා ඒක 'ඇත්ත පිටපත' ඉක්මවා නැගී සිටිනවා. ඒ නිසා බ්‍රෝදිලා කියනවා ගල්ෆ් යුද්ධය කියන දේ සිදුවුනේ නැහැ කියල (ඒක රූපවාහිනී ගේම් එකක් විතරයි කියල). මිනිස්සුට තමන්ට ඕනි ඕනි විදියට මේ දෙවැනි පිටපත අර්ථකතනය කර ගන්න පුළුවන් තමන්ගේ ෆැන්ටසි ලෝක වල. අනික කොහොමත් සාමාන්‍ය අසන්නෙකුට මේ 'ඇත්ත' 'බොරු' වෙනස හොයන්න බැහැ. ඒ නිසා හිරුනිකා වුනත් කියනවා 'මේවා හොඳට සංයමයෙන් අහන්න කියල'. එතකොට වෙනස තේරෙයි කියල. එහෙම එයා කිව්වට වැඩක් නැත්තේ ඇත්ත විනෝදය තියෙන්නේ එඩිට් කරපු එකේ නිසා.

හැමෝම අවධානය යොමු කරන්නේ මේ ඩිජිටල් දත්ත පිටවුණේ කොහොමද කියල. මේ යුගයේ ඒක අමාරු දෙයක් නෙවෙයි. හොඳ හැකර් කෙනෙකුට පුළුවන් ඕනිම ආරක්‍ෂිත කොම්පියුටරයකට රිංගන්න. එහෙම ඒවා ලෝකයේ වෙලා තියනවා දියුණුම ආරක්‍ෂිත තත්වයන් උඩ පවා. රන්ජන් සම්බන්දයෙන් නම් කියවෙන්නේ හිටපු සේවකයෙක් සම්බන්ද වෙනත් කතාවක්. කොහොම හරි මේවා එළියට යන්න ගොඩක් මාර්ග තියෙන්න පුළුවන් මේ ඩිජිටල් යුගයේ. අපි කිසි කෙනෙක් මේ යුගයේ ආරක්‍ෂිත නැහැ (No one is safe in this era). ඕනෑම මොහොතක ඕනෑම කෙනෙක් නිරාවරණය විය හැකියි. යුවල් නෝවා හරාරි මේ යුගය හඳුන්වන්නේ 'පශ්චාත් සත්‍යයේ යුගයක්' (era of post-truth) ලෙස. ඇත්ත නෙවෙයි අපි හඹා ගෙන යන්නේ ප්‍රබන්ධය. පශ්චාත් සත්‍යය. මුල් පිටපත නෙවෙයි වැදගත් අර එඩිට් කරපු සිමල්ක්‍රාව. විශේෂයෙන් හෝමෝ සේපියන් කියන තත්වයට ආවට පස්සේ මිනිසාට වැදගත් උනේ ඇත්ත නෙවෙයි ප්‍රබන්ධ (fictions). ඒකයි මිනිසා ආගමට එච්චර තැනක් දෙන්න ගත්තේ. ඉතිං හරාරි කියන්නේ මිනිස් මනස 'උසස්' තත්වයට ආවට පස්සේ පරිකල්පනය වඩා වැදගත් උනා ඇත්තම ඇත්ත ට වඩා කියල.

කරුණු වලට වඩා ප්‍රබන්ධය ඉදිරියෙන්

කරුණු වලට වඩා ප්‍රබන්ධය තියෙන්නේ ඉස්සරහින්. ගොඩක් ඉස්සරහින්. මේක දේශපාලනය ඇතුලේ පාවිච්චි කරන්න පුළුවන් කෙනා දිනනවා. හරාරි කියනවා ට්‍රම්ප් වගේ කෙනෙක් ෆේස් බුක් හරහා මේක ඔප්පු කරලා පෙන්නුවා කියල. නමුත් ලංකාවේ ප්‍රගතිශීලි කියල කියන දේශපාලනය විසින් මේ නව තත්වය තවම තේරුම් අරන් නැහැ. එයාල තවම සත්‍යය හොයාගෙන යනවා. අපි ජීවත් වෙන්නේ කොයිතරම් වෙනස් සහ පශ්චාත් අදහස් යුගයකද (post-ideas) කියනවා නම් බ්‍රෝදීලා කියනවා අපට අපේ පරණ අදහස් ඉවත දාන්නවත් කුණු බක්කියක් නැහැ කියල.

'ව්‍යාජ කතා වලට පුළුවන් මිනිසුන් එකට බන්ධන ගත කරන්න. එක මිටට තියා ගන්න. ඇත්ත කතා වලට ඒ හැකියාව නැහැ. ඒ නිසා බලය ගොනු වෙන්නේ ව්‍යාජ කතා වටා විතරයි' (යුවල් නෝවා හරාරි).



0 comments: