Hot!

‘‘මාධ්‍යවේදීන්ට විශේෂ පිළිගැනීමක් ඕන නෑ‘‘ - ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු



ඔහු ශමීන්ද්‍ර ෆර්ඩිනෑන්ඩු, ඔහු ‘ද අයිලන්ඞ්‘ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘවරයාය. මාධ්‍යවේදියෙකු ලෙස වසර තිස්තුනක අත්දැකීම් ඇත්තෙකි. මේ සංවාදය ඔහු ලබා ඇති අත්දැකීම්, පෞද්ගලික දිවිය ගැන අදහස්, මාධ්‍යවේදී වෘත්තිය ගැන අදහස් ආදි කලාප කිහිපයක් පුරා විහිදෙයි.


කතාබහට ආරම්භයක් විදියට මාධ්‍යවේදියෙක්ව ඔබ ලැබූ විශේෂ අත්දැකීමක් සිහිපත් කළොත් ?

අනූවේදී ඉන්දියන් හමුදාව ලංකාවේ ඉන්නකොට මම ‘මහත්තයා’ කියන එල්ටීටීඊ නායකයාව රහසින් හමුවෙන්න ගියා. වවුනියාවේ ඉඳලා බටහිරට තිබුණු කෝලියකුලම් කියන ගමේ. මම කෝච්චියෙන් ගිහින් වවුනියාවෙන් බැස්සා. මාව ගන්න එල්ටීටීඊ සාමාජිකයෙක් මෝටර් සයිකලයකින් ඇවිත් හිටියා. ඔහු අතේ තුවක්කුවක් තිබුණු නිසා මෝටර් සයිකලය මට පදින්නැයි කීවා. මහත්තයා ට‍්‍රැක්ටරයකින් ඇවිල්ලා බැස්සා. රබර් සෙරෙප්පු දෙකක් දාගෙනයි ඔහු හිටියේ. ඒ වෙලාවේ මහත්තයා එක්ක ගත්ත පින්තූර පවා මා ළඟ තියෙනවා. මට මහත්තයාව මුණගැහෙන්න අවස්ථාව දුන්නේ ඇන්ටන් බාලසිංහම්. ඔය සාකච්ඡාවට කලින් මම ඇන්ටන් බාලසිංහම්ව කොළඹ හිල්ටන් හෝටලයේදී කිහිප වතාවක්ම මුණගැහුණා. ඔහු නිරුපද්‍රිතව කොළඹ හිටපු බව මතක තියාගන්න ඕනෑ. ඔහු තමයි මාව මහත්තයාව මුණගැහෙන්න යොමුකළේ. මාත් එක්ක ඉන්දියන් මාධ්‍යවේදීන් කිහිපදෙනෙකුත් මහත්තයාව මුණගැහෙන්න ගියා. මහත්තයාව පසුව ප‍්‍රභාකරන් ඝාතනය කළා. චෝදනාව වුණේ රෝ ඔත්තු සේවය එක්ක සම්බන්ධතා පැවැත්වීම. මට නිකමට හිතෙනවා එදා මා එක්ක ගිය අයත් එක්ක රෝ ඔත්තුකාරයෙක් හිටියාදෝ කියලා.


මාධ්‍යවේදියෙක් වෙන්න හිතුවේ ඇයි ?


විශේෂ හේතුවක් නැහැ. මම මීගමුවේ. තාත්තා ලංකා බැංකුවේ කළමනාකරුවෙක්. නංගිලා හතරදෙනෙක් හිටියා. මම ඉගෙනගත්තේ මීගමුවේ මාරිස් ස්ටෙලා විද්‍යාලයේ. අසූපහේදී මම උසස්පෙළින් සමත්වෙලා ඉස්කෝලෙන් අයින් වුණා. මට විශේෂ ආසාවල් ඒ කාලයේ තිබුණේ නැහැ. අපේ තාත්තා ඬේලි නිව්ස් පත්තරේ තමයි ගත්තේ. තාමත් තාත්තා ඒ පත්තරේ ගන්නවා. මම උසස්පෙළ ඉවරවෙලා රැකියාවක් ගැන කතාකරන අතරේ තාත්තා උපාලි පුවත්පත් සමාගමේ හිටපු විධායක අධ්‍යක්ෂ ලෙස්ලි ධර්මරත්න මහතාව හඳුනන බව කීවා. ඒ මහත්තයා මගෙන් ඇහුව ප‍්‍රශ්නය මට හොඳට මතකයි. ඔහු ඇහුවේ දවස් පහේම හරි ? වුණත් වැඩ කරන්න පුළුවන්ද කියලා. අසූහතේ ජුනි මාසයේ මම ‘අයිලන්ඞ්’ පුවත්පතේ සේවයට සම්බන්ධ වුණා. අවුරුදු තිස්තුනක් තිස්සේ මේ ආයතනයේ වැඩ කරනවා. වෙනත් ආයතනවලට යන්න අවස්ථාව ලැබුණත් මම හිතුවා මෙතැන දිගටම ඉන්නවා කියලා.


මුල්ම කාලයේ වැඩ කළේ කොහොමද ?


අපි ආපු කාලයේ තාක්ෂණයක් තිබුණේම නැහැ. කර්තෘ මණ්ඩලයටම යතුරුලියන හයක් හතක් තිබුණා. අලූතින් ආපු සේවකයන් වූ නිසා අපට ටයිප් රයිටර් පාවිච්චි කරන්න බැරිවුණා. ඒ නිසා වෙලාවක් ලැබෙන තුරු බලාගෙන ඉඳලා අපේ කතා ටයිප් කළා. දැන් තාක්ෂණය එක්ක මාධ්‍යවල වැඩකිරීම පහසු වෙලා. ඉස්සර අපි වැඩකට යනවා කියන්නේම සම්පූර්ණ දවසක් වැය කිරීමක්. උදාහරණයකට කොළඹින් ඈත ප‍්‍රදේශයකට ගියොත් විශාල වෙලාවක් ඒකට ගතකරන්න ඕනෑ.


ඔබ විවිධ ප‍්‍රදේශවලට ඇවිදිමින් වාර්තාකරණයේ යෙදුණා නේද ?


මම පුවත්පතට සම්බන්ධ වුණාට පස්සේ ඉන්දියන් හමුදාව ලංකාවට ආවා. ඒ පිළිබඳ වාර්තා කරන්න මම උතුරු නැගෙනහිර පළාත්වලට ගියා. මහත්තයාව මුණගැහුණේ ඒ අතර. ඒ අතරේ ජේවීපී දෙවැනි කැරැල්ලත් ආරම්භ වුණා. ජේවීපීය ගැනත් වාර්තාකරණයෙහි යෙදෙන්න මට ලැබුණා. හම්බන්තොට ජවිපෙ නායකයෙක්ව සම්මුඛ සාකච්ඡා කරන්නට ලැබුණු අවස්ථාව මට මතකයි. අපේ ඇස් බැඳලා, වාහනයක දාගෙන තමයි එක්කාගෙන ගියේ. ඒ කාලසීමාවේ අපි රන්න, හුංගම ආදි ප‍්‍රදේශවලට ගියා. පාර දෙපැත්තේ මිනී ඔළු තිබුණා. හිතාගන්න බැරි විදියක මර්දනයක් තිබුණා. ශ‍්‍රී ලාංකික හමුදාවේ සීයට අනූවක් සිංහල බෞද්ධ. ඒත් ආගම හෝ ජාතිය ගැන හැඟීමක් නැතිව ඉතාම භීෂණකාරී විදියට කැරැල්ල මර්දනය කළා. ජේවීපීය භීෂණය වැපිරුවා. ඊට එහා ගිය භීෂණයක් හමුදාව ක‍්‍රියාත්මක කළා.


එකල භීෂණය වර්ධනය වෙද්දී මාධ්‍යවේදියෙකුගේ ජීවිතයට වුණත් වටිනාකමක් තිබුණේ නැති බව පෙනෙනවා. එක් නිමේෂයකින් ජීවිතයක් විනාශ වෙන්න ඉඩ තියෙනවා. ජීවිතය ගැන දැනුණේ මොකක්ද ?


අසූ ගණන්වල ක්ෂේත‍්‍ර වාර්තාකරණයේ යෙදුණු මාධ්‍යවේදියෙක් නිසා මට හිතෙනවා මෑතකාලීන මාධ්‍යවේදීන් භීෂණය දැකලාවත් නැති බව. දකුණේ කෙළවරේ තිබුණු භීෂණය ගැන හිතාගන්නවත් බැහැ. ඒත් අපි මතක තියාගන්න ඕනෑ ජේවීපීය ඇතිකළ භීෂණයට පිළිතුරක් වශයෙන් හමුදාව භීෂණය ගෙනා බව. අපේම ජීවිතවලට වටිනාකමක් තියෙන බව අපට දැනුණේ නැහැ. ලංකාවේ පළවැනි බිම් බෝම්බය පිපිරුණේ මාතර කප්පරතොට. මම ඒ ගැන වාර්තා කරන්න ගියා. එතකොට මේ බිම්බෝම්බ ගැන බය නිසා මිනිස්සු පාරට බහින්නත් බය වෙලයි හිටියේ. පසුව යුද්ධය පවතිද්දී ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව ආවරණය කළේ මම.


මාධ්‍යවේදියෙක් විදියට ලංකාව වටේ ඇවිදීම සහ විවිධ මිනිසුන්ව ඇසුරු කිරීම මොනවගේ අත්දැකීමක්ද ?


මිනිසුන් මුණගැසීම තරම් වටිනා දෙයක් නැහැ. එදිනෙදා ජීවිතයේදීත් මිනිසුන් ඇසුරු කරන්න මම උත්සාහ කරනවා. මම අදත් මීගමුවේ ඉඳලා වැඩට එන්නේ බස් එකෙන්. දැන් අධිවේගී මාර්ගය තියෙන හින්දා වඩා පහසුයි. අධිවේගී මාර්ගය කලින් හැදුණා නම් අපට මීටත් වඩා පහසුවෙන් එන්න තිබුණු බව මම හිතනවා. උපාලි පුවත්පත් සමාගමෙන් මට වාහනයක් දීලා තිබුණත් මම ඒකෙන් ගමන් බිමන් යන්නේ නැහැ. බස් එකේදී ඇහෙන දේවල් නිසාම විවිධ දේවල් ගැන අලූතින් හිතන්න ලැබෙනවා.


මාධ්‍යවේදීන්ට පමණක් නෙවෙයි, ලංකාවේ බොහෝ වෘත්තීන්වල යෙදෙන අයට තමන්ගේ පවුල මඟහැරෙනවා..


ඕනෑම රැකියාවකදී අපි කරන දේවල් තරම්ම පවුල් ජීවිතයක් හරිම වැදගත්. මගේ බිරිඳ වුණේ යාළුවෙකුගේ සහෝදරියක්. නම දිල්හානි. මගේ සියලූ වැඩකටයුතුවලට ලොකු සහයෝගයක් ඇගෙන් ලැබෙනවා. ඇය මගේ සන්නිවේදන කටයුතුවලදීත් උදව් වෙනවා. මගේ ළඟ තියෙන දුරකථනය සාමාන්‍ය එකක්. වට්ස්ඇප් හෝ වයිබර් ඒකේ නැහැ. ඇය ඒ පැත්ත ආවරණය කරනවා. සමහර අමාත්‍යාංශ, දේශපාලනඥයන් එක්ක සන්නිවේදන කටයුතු ඇය කරනවා. මහ ?ක එන ඇමතුමකට වුණත් ඇය උත්තර දෙනවා. මට තියෙන වැඩ ප‍්‍රමාණය කළමනාකරණයට ඇගෙන් ලැබෙන සහයෝගය නැතිනම් වැඬේ කරන්න බැරි බව මම හිතනවා. අපි දෙන්නා විවාහ වුණේ අනූඑකේදී. එතකොට මම මාධ්‍ය ජීවිතයට ඇවිල්ලා අවුරුදු හතරයි. මට දරුවෝ දෙන්නෙක් ඉන්නවා. පුතා සහ දුව. ඔවුන් යුද්ධයෙන් පස්සේ ඉපදුණ ළමයි. ඔවුන්ගේ සිතුම් පැතුම් මාපියන් වගේ විය යුතු නැහැ.


අසූ ගණන්වලදී පැවති මර්දනයට එරෙහිව මංගල සමරවීර සහ මහින්ද රාජපක්ෂ පෙනී සිටියා. ඔය කාලයේ අම්මාවරුන්ගේ පෙරමුණ කියලා එකක් තිබුණා. මම ඒ සංවිධානයට මාධ්‍යවේදියෙක් විදියට සහයෝගය දුන්නා. එතකොට මහින්ද රාජපක්ෂ මහතාව ඇසුරු කරන්න ලැබුණා. මම නිකමට විවාහය ගැන ඔහුට කීවා. ඔය කාලයේ මහින්ද රාජපක්ෂ විපක්ෂයේ සාමාන්‍ය මන්ත‍්‍රී කෙනෙක් විතරයි. විවාහය පෙබරවාරි මාසයෙ හතරවැනිදා තිබුණේ. නිදහස නැති කරගන්න නේද යන්නේ, එහෙනම් අපිත් එන්නම් කියලා මහින්ද රාජපක්ෂ මහතා කීවා. අන්තිමේදී ඔහු තමයි විවාහයට අත්සන් කළේ. ඔහු ජනාධිපති වුණාට පස්සේ අත්සන් කරන්නට ආරාධනා කිරීම මෝස්තරයක් වුණා. ඒත් ඔය කාලයෙ මන්ත‍්‍රී කෙනෙක් විදියට ඔහු මීගමුවට ඇවිත් කාලා, බීලා අපිත් එක්ක කාලය ගතකරලා ගියා. නෝනා මගෙන් ඇහුවා කවුද මහින්ද රාජපක්ෂ කියන්නෙ කියලා. මම උත්තර දුන්නෙ කවදා හරි රටේ ජනාධිපති වෙන කෙනෙක් තමයි කියලා. ඇත්තටම මහින්ද රාජපක්ෂ කියන්නේ ඉතාම විශේෂ චරිතයක්. මහින්ද රාජපක්ෂ වැනි චරිතයක් ලංකාවේ දේශපාලන ඉතිහාසයේම හිටියේ නැහැ. විශේෂයෙන්ම ත‍්‍රස්තවාදය අවසාන කළ නිසා මම ඔහුට ගෞරව කරනවා. ඒත් ඔහුව විවේචනය කරමිනුත් මම ඕනෑ තරම් ලියලා තියෙනවා. උදාහරණයක් විදියට ඔහු 2013දී මිල්රෝයි ප‍්‍රනාන්දු මහතාගේ බිරිඳට ජනාධිපති සමාව දුන් මොහොතේ මම ඊට විරුද්ධව ලීවා. ඇය මිනීමැරුමකට වරදකරු වූ කාන්තාවක්.


සෞඛ්‍ය තත්වය සහ ආහාර පාලනය ගැන හිතන්නේ කොහොමද ?


මගේ වයස අවුරුදු 52යි. අවුරුදු කිහිපයකට කලින් මගේ ඇස්වල අමාරුවක් ආවා. බලනකොට ඇස්වල සුද. ඒකට වෛද්‍ය පරීක්ෂණ කරනකොට දොස්තර මහත්තයා මම කන බොන විදිය ගැන ඇහුවා. මම කීවා ඩොක්ටර් මම බොනවා. ඒක නවත්වන්න අමාරුයි. මම කෑම පාලනය කරන්නම් කියලා. මම දැන් ගෙදරින් තමයි කෑම ගේන්නේ. පිටින් කන්නේම නැහැ. මත්පැනට අමතරව දුම්වැටියකුත් බොනවා. පාලනයක් ඇතිව ඔය දෙක කිරීම වරදක් විදියට මම දකින්නේ නැහැ. මහජන මුදලින් යැපෙන මිනිස්සු හොඳට කාලා බීලා ඉන්නවා. ඊට පස්සේ අපට ආදරේට වගේ දුම්වැටි නවත්වන්න යනවා.


මාධ්‍යවේදියෙක් වීම නිසා ඔබ අඳින විදිය වෙනස් වුණාද ?


මම අඳින විදිය නිසා සමහරු මාව දැක්කාම මාධ්‍යවේදියෙක් බව පිළිගන්නේත් නැහැ. ඒ ටෙලිනාට්‍යවලින් හෙම මාධ්‍යවේදීන්ව පෙන්වලා තියෙන විදිය හින්දා. මම හිතන්නේ මේ රස්සාවේදී හොඳට අඳින්න ඕනෑ බව. මාධ්‍යවේදීන් නාන්නෙ නෑ, කන්නෙ නෑ, වෙලාවක් නෑ, කොණ්ඩය අවුල් වගේ කතාවලට මම විරුද්ධයි. අපේ නෝනා මට වතාවක් කීවා මාධ්‍යවේදීන්ව දැක්කාම කළකිරෙන බව එයාගේ මිත‍්‍රයෙක් කී බව. බුලත් කාගෙන ඉන්න පිරිසක් යැයි සමහරු හිතන නිසා. මාධ්‍යවේදියා ඉන්න ඕනෑ ඉතාම වැදගත් විදියට. මම හැමදාම රැවුල කපන කෙනෙක් නෙවෙයි. ඒත් මාසෙට තුන්පාරක් රැුවුල කපනවා. මාධ්‍යවේදියෙක් වෙන්න හිතාමතාම අපිළිවෙළ වෙන්න ඕනෑ නැහැ.


කාර්යාලයට යන එන වෙලාව, කාලසටහන් ආදිය ගැන මාධ්‍යවේදීන්ට විශේෂයිද ?


මම නිතරම කියන්නේ හැම පුද්ගලයෙක්ම දවසට පැය අටක් කාර්යාලයට ඇවිත් වැඩ කරන්න ඕනෑ බව. අනෙක ඇතුළු වෙද්දී සහ පිටවෙද්දි කාඞ් එකක් ගහන්න ඕනෑ. අපේ සමාගමේ මානව සම්පත් කළමනාකරණ අංශයෙන් ඇතුළුවෙන සහ පිටවෙන වෙලාවට කාඞ් එකක් ඇතුළත් කරමින් පැමිණීම සලකුණු කළ හැකි යන්ත‍්‍රයක් සවි කළාම සේවකයන් ඒකට විරුද්ධ වුණා. වෘත්තිය සමිතියකින් කාඞ් එකතු කළා. ඒත් ඒ වෙලාවේ මම මගේ කාඞ් එක දුන්නේ නැහැ. මම කාඞ් එක ගහන බව කීවා. මම උදේ ආයතනයට ඇවිල්ලා, හවස් වෙන තුරු කාර්යාලයේ වැඩකරන කෙනෙක්. මාධ්‍යවේදීන්ට වෙනම නීති තියෙන්න බෑ. ඔවුන් ඉතාම පිළිවෙළ වෙන්න ඕනෑ. අද මම ප‍්‍රවෘත්ති කර්තෘ වුණත්, අනෙක් මාධ්‍යවේදීන් එක්ක මාධ්‍ය සාකච්ඡාවලට යනවා. ආයතනයේ වාහනය ප‍්‍රමාද වුණොත් ටිකක් අව්වේ ඉන්නවා, වැස්සට තෙමෙනවා. මම ලිපි ලියනවා. ලංකාවේ ඇතැම් කතුවරුන් සහ ප‍්‍රවෘත්ති කතුවරුන් ලියන්නේ නැහැ. මාධ්‍ය සාකච්ඡාවකට යන්නේ නැහැ. වෙලාවට කාර්යාලයට එන්නේ නැහැ. ඒත් මම හැමවිටම වෙලාවට ඇවිත්, වැඩකරන මාධ්‍යවේදියෙක්.


ලංකාවේ චිත‍්‍රපටිවල, ටෙලිනාට්‍යවල මාධ්‍යවේදීන්ව දැකලා ඇති. බොහෝ විට කොණ්ඩා රැවුල් වවාගත් අය. ටිකක් වාමාංශික අදහස් දරන අය. සහෝදරයා කියන ටෙලිනාට්‍යයේදී නම් හරිම භාවාතිශය උදවිය. ලංකාව ගැන හරි කළකිරීමෙන් කතාකරන, බලාගත්තු අතේ බලාගෙන ඉන්න මාධ්‍යවේදීන්ගේ චරිත පවා අපි දකිනවා. සමස්තයක් විදියට සාමාන්‍ය සමාජයට වඩා වෙනස් ජීවී කොට්ඨාසයක් ලෙසයි මාධ්‍යවේදීන්ව පෙන්වන්නේ. ඒවා දකිද්දී ඔබට හිතෙන්නේ මොකක්ද?

ලංකාවට වැරදුණ එක තැනක් තමයි ඒක. ජනමාධ්‍යවේදීන් දිහා බලන්නේ එක් විශේෂ විදියකට. දේශපාලනඥයන් දිහා බලන්නේ තවත් විශේෂ විදියකට. සියල්ලන්ම එක සමාන පිරිසක් විදියට නොසලකා, නොයෙකුත් පුද්ගලයන්ට නොයෙකුත් විශේෂ තත්වයන් ඇති කරන එක අසාර්ථක රටක එක ලක්ෂණයක් වෙන්න ඇති. මාධ්‍යවේදීන් පවා ඒක ඇඳගෙන ඉන්නවා. මාධ්‍යවේදීන් ආණ්ඩුවෙන් විවිධ දේවල් ඉල්ලන්නේ ඒ හින්දා. වාහන, ලැප්ටොප්, ගෙවල්, උපකරණ සඳහා ණය ලබාගන්නේ ඒක හින්දා.


තමන්ට විශේෂ පිළිගැනීමක් ඕනෑ බව මාධ්‍යවේදීන් පවා හිතනවා නේද ?


එවැනි විශේෂ පිළිගැනීමක් ඕනෑ නැහැ. යම්කිසි පුද්ගලයෙක් කරන දේ අවංකව කරමින්, එය විශේෂ ලෙස කිරීම හොඳයි. ඒකට විශේෂ පිළිගැනීමක් ලැබෙන්න පුළුවන්. ඒත් මම පත්තරේක හෝ රූපවාහිනියක වැඩකරපු පමණින්ම අපි විශේෂ වෙන්නේ නැහැ. අපේ සමාජයම දුෂිතයි. අපේ වෘත්තිය පමණක් පිරිසිදු නැහැ. මාධ්‍යවේදීන්ගේ ජීවිත විශේෂ විය යුතුත් නැහැ. මම ‘දි අයිලන්ඞ්’ පුවත්පතේ ප‍්‍රවෘත්ති කර්තෘ. මම ‘දිවයින’ පුවත්පතටත් ලියනවා. එදා ඉඳලාම මම පුවත්පත් සාකච්ඡුාවලට යනවා. අපි ආණ්ඩු මාරු වෙද්දී ඒ පුවත්පත් සාකච්ඡුාවල ඉඳගෙන හිටපු මාධ්‍යවේදියෙක් ඇමතිවරයෙකුගේ මාධ්‍ය ලේකම්වරයෙක් වෙලා එන බව දකිනවා. තවත් සමහරු මාධ්‍යවේදියෙක් විදියට ඉන්න ගමන්ම ඇමති මාධ්‍ය අංශයක වැඩ කරනවා. හිතවත් මාධ්‍යවේදීන්ට කීයක් හරි හොයාගන්න දෙන්නේ කොහොමද කියල ආණ්ඩු කල්පනා කරනවා. මාධ්‍යවේදීනුත් බලන්නේ කීයක් හරි හොයාගන්නයි. මාධ්‍යවේදීන් ප‍්‍රතිපත්තිමය වශයෙන් ආණ්ඩුවකට හිතවත් වෙන්න පුළුවන්. ඒත් ස්වාධීන මාධ්‍යවේදියෙක් විදියට තමන්ගේම මාධ්‍ය ආයතනයට වෙලා, ඒ හිතවාදී බව හෝ විරෝධය පළ කරන්නයි ඕනෑ.




තරිඳු උඩුවරගෙදරගේ සටහනකි 

2019. 01. 19 ‘අනිද්දා‘ පුවත්පතිනි 



0 comments: