Hot!

මෙරට දේශපාලනයේ අශීලාචාරත්වයේ අත්තිවාරම්




- වික්ටර් අයිවන් - 




අරුණාචලම් පවා ලිබරල්වාදී නායකයෙකු නොවේ 

දියුණු දේශපාලන සවිඥානකත්වයක් හා ප්‍රජාතන්ත්‍රවාදී ශික්ෂණයක් නැතිකම ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය හා ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහි බලපා තිබෙන වැදගත්ම හේතුවක් ලෙස සැලකිය හැකිය. මෙය නිදහස ලැබූ කාලයේ සිටම පැවති තත්ත්වයක් ලෙස සැලකිය හැකිය.

ලංකාව නිදහස ලබාගත්තේ නිදහස දිනාගැනීම සඳහා කෙරෙන බලවත් සමාජ උත්සාහයක් නැතිවය. ලංකාව නූතන යුගයට පිවිසීමෙන් පසු බිහිවූ පුරෝගාමී දේශපාලන නායකයන් කිසිවෙක් ලිබරල්වාදී දේශපාලන න්‍යාය ධර්ම ගැන ගැඹුරු අවබෝධයක් තිබූ අය නොවීය. මාක්ස්වාදී පොත් සිය ගණනක් සිංහල භාෂාවෙන් පළවී ඇතත්, සම්භාව්‍ය ලිබරල්වාදී දාර්ශනිකයන්ගේ එකම පොතක්වත් අද දක්වා සිංහල භාෂාවට පරිවර්තනය වී නැත. ආචාර්ය චානක අමරතුංග 80 දශකය අවසානයේදී ලිබරල් පක්ෂය නමින් පක්ෂයක් ආරම්භ කළද එය ඉංග්‍රීසි කතා කරන ඉතා සුළු පිරිසකට සීමාවූ ව්‍යාපාරයක් විය. ලංකා ජාතික සංගමයේ නායකයන් අතර බටහිර රටවලින් අධ්‍යාපනය ලැබූ කිසියම් පිරිසක් සිටියද ලිබරල්වාදී න්‍යාය ධර්ම ගැන තියුණු අවබෝධයක් තිබූ එකම නායකයකුවත් නොසිටියේය. ඔවුන් අතර වැඩියෙන්ම උගත් පුද්ගලයා ලෙස සැලකිය හැකි පොන්නම්බලම් අරුණාචලම් පවා ලිබරල්වාදී නායකයකු ලෙස සැලකිය නොහැකිය.

සම සමාජ ව්‍යාපාරය

බුද්ධිමය වශයෙන් හොඳම එකතුව තිබුණේ සම සමාජ ව්‍යාපාරයටය. මික් මෝර් කියා තිබෙන ආකාරයට එය නුවණැත්තන්ගේ හෙවත් බහුශ්‍රැතයන්ගේ ව්‍යාපාරයකි. ඔවුහු සර්ව භෞමික ජාත්‍යන්තරවාදී පිරිසක් විය. ප්‍රධාන සියලුදෙනාම විදේශ අධ්‍යාපනයක් ලැබූ අය වූහ. සමකූල නොවන, ස්ව ජාතික නොවන අවාහ විවාහ කරගත් අය වූහ. නැත්නම් මිශ්‍ර විවාහවලින් පැවත එන්නෝ වූහ. වැඩි වශයෙන්ම ගොවිගම නොව අවශේෂ කුලවලට අයත් ආගමික විශ්වාසයන්ගෙන් තොර පිරිසක් වූහ. බුද්ධිමය වශයෙන් විශිෂ්ටයන් වූවා සේ ම දක්ෂ නායකයෝ ද, දක්ෂ කථිකයෝද, පාර්ලිමේන්තු දේශපාලන ක්‍රමය පිළිබඳ විශාරදයෝ ද වූහ. “අවාසනාවන්තම දේ ලෙස සැලකිය හැක්කේ ඔවුහු ලිරබල්වාදීන් නොවී මාක්ස්වාදීන් වීමය. ඔවුහු රාජ්‍ය හා පාර්ලිමේන්තුව වැනි දේවල් දැක්කේ මාක්ස් හෝ ලෙනින් ඒවා දකින ලද ආකාරයටය. ඔවුහු වඩා වැදගත් කොට සැලකුවේ පන්තිය මිස ජාතිය නොවේ.

ලංකාවේ සිංහලයන් කෙරෙහි චින්තනමය වශයෙන් වැඩිම බලපෑමක් කළ පුද්ගලයා ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලය. දෙමළ සමාජය කෙරෙහි නම් ආරුමුගම් නාවලර්ය. සිංහල ජනයා ධර්මපාල ද, දමිළ ජනයා නාවලර් ද සලකන්නේ මහා පුරුෂයන් ලෙස වුවත්. ඉන්දියානු ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ රාජ් රාම් මොහොන් රෝයි, අහමඞ් ඛාන් වැනි නායකයන් සැසඳූ විට චින්තනමය වශයෙන් ධර්මපාල හා නාවලර් සැලකිය හැක්කේ පටු චින්තනයක් තිබුණු පුංචි මිනිසුන් ලෙසය.

ඉන්දියාවේ ආගමික පුනර්ජීවන ව්‍යාපාරයේ සමාජ චින්තනයේ නිම් වළලු පුළුල් කිරීමෙන් පසු එය තර්කානුකූල අවසානයක් කරා ගෙන යන ව්‍යාපාරය බවට පත්වන්නේ නිදහස් ව්‍යාපාරයයි. එය ඉන්දියානු ජනයාට ප්‍රජාතන්ත්‍රවාදය හා ප්‍රජාතන්ත්‍රවාදී වටිනාකම් කියා දුන් ව්‍යාපාරය ලෙස සැලකිය හැකිය. එය අනාගමික වාදයට පූර්ණ වශයෙන් කැපවූ සියලු ආකාරයේ වර්ග, ආගම් හා කුලවාදයන්ට එරෙහිව බලවත් මතවාදී අරගලයක නිරත වූ ව්‍යාපාරයක් ලෙස සැලකිය හැකිය.

ගාන්ධිට බලවත් ආගමික පැත්තක් තිබුණද, ඔහු පෙනී සිටියේ ආගමික රාජ්‍යයක් වෙනුවෙන් නොව, අනාගමික රාජ්‍යයක් වෙනුවෙනි. ආගම පාසලේ ඉගැන්විය යුතු නැති විෂයක් බවද ඔහු කීවේය.

චින්තනයේ දුගී භාවය

ලංකාවේ නිදහස් ව්‍යාපාරයට චින්තනයක්ද නොතිබුණි. එසේම එය සමාජයට චින්තනමය වශයෙන් ඇති කළ බලපෑමක් නැති තරම්ය. ඉන්දියානු නිදහස් ව්‍යාපාරයට 1936 වනවිටත් මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියක් තිබුණේය. ඒ වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානයක් නොතිබුණි. ඩී.එස්. සේනානායක වයිට් හෝල් අධිකාරියට ඉදිරිපත් කරන ලද ව්‍යවස්ථාවේ කෙටුම්පත සකස් කරවා ගත්තේ අයිවර් ජෙනින්ස් ලවාය. ව්‍යවස්ථා කෙටුම්පතට මානව හිමිකම් ප්‍රඥප්තියක් ඇතුළත් කරනවාට ඩී.එස්. විරුද්ධ වූ බව කියනු ලැබේ. ජී.ජී. පොන්නම්බලම් මානව අයිතිවාසිකම් ප්‍රඥප්තියකට ලැබෙන වැදගත්කම ගැන යථා අවබෝධයක් තිබුණේ නම් පනහට පනහක් ඉල්ලනවා වෙනුවට ඔහු ඉල්ලනු ඇත්තේ මානව හිමිකම් ප්‍රඥප්තියකි.

ඉන්දියාවට 1936 වන විටත් මානව හිමිකම් ගැන අවබෝධයක් තිබුණි. ලංකාව මානව හිමිකම් ගැන කතා කරන තැනකට එන්නේ හැත්තෑවේ දශකයේදීය.

දේශපාලන සවිඥානකත්වයේදී ලංකාව හා ඉන්දියාව අතර පැවති පරතරයේ තරම ඉන් තේරුම් ගත හැකිය. නිදහස ලබාගැනීම සඳහා උද්ඝෝෂණ කරන කාලයේදී හා නිදහස ලැබීමෙන් පසු ඉන්දියාවේ පැවති දේශපාලන සවිඥානකත්වයට සමාන දියුණු සවිඥානකත්වයක් ලංකාවේ තිබුණේ නම් වර්ගය, කුලය හා ආගම මුල් කරගත් ප්‍රශ්න දියුණු මානව හිමිකම් ප්‍රඥප්තියක් ඇතිකර ගැනීම මගින් විසඳා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි. සවිඥානකත්වයේ පැවති එම නොදියුණුව සියලු වර්ගවලට අයත් දේශපාලන නායකයන් කෙරෙහි පමණක් නොව, රාජ්‍යය හා එහි ආයතන ක්‍රම කෙරෙහිද විශේෂ වශයෙන් ලංකාවේ අධිකරණ ක්‍රමය කෙරෙහිද බලපෑවේය.

ලිබරල්වාදය ගැන වැටහීමක් තිබීම අවශ්‍යවන්නේ නූතන ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය හා ඊට අදාළ සියලු දේ ලිබරල් සංකල්ප මත ගොඩ නගා තිබෙන නිසාය. නූතන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පවා ලිබරල් නිර්මාණයකි. ඒ අර්ථයෙන් ධනේශ්වර පැත්තක් තිබියදී ලිබරල්වාදය ප්‍රජාතන්ත්‍රවාදයේ දේශපාලන දහම ලෙස සැලකිය හැකිය. ලංකාවේ රුසියන් විප්ලවය, චීන විප්ලවය හා කියුබන් විප්ලවය ගැන කටපාඩමින් කියන්නට දැන සිටියද එංගලන්ත විප්ලවය, ඇමරිකන් විප්ලවය හා ප්‍රංශ විප්ලවය ගැන දැන සිටියේ නැත. මුලින් කී විප්ලව ගැන සිංහල භාෂාවෙන් ලියැවුණු හෝ සිංහල භාෂාවට පරිවර්තනය වූ පොත් විශාල ගණනක් ඇතත්, පොදු ඉතිහාස පොත්වල එන කරුණු හැර දෙවැනියට කී විප්ලව ගැන සිංහලෙන් ලියැවුණු හෝ සිංහලට පරිවර්තනය වූ පොත් ඇත්තේම නැති තරම්ය. මාර්ටින් වික්‍රමසිංහ වැනි වියතුන් පවා මාක්ස්වාදය හා සමාජවාදය ගැන ලියා ඇතත්, ලිබරල්වාදය ගැන ලියා නැත. චින්තනමය වශයෙන් පැවති මෙම ඌනතාව ලංකාවේ අසාර්ථකභාවය කෙරෙහිද වැදගත් සාධකයක් ලෙස බලපෑවේය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව

දේශපාලන අර්ථයෙන් ශීලාචාර රටවල් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සලකන්නේ ඉතා ගරු කටයුතු ලෙස ආරක්ෂා කරගත යුතු පූජනීය දෙයක් ලෙසය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා උල්ලංඝනයන් සැලකෙන්නේ සමූහ මනුෂ්‍ය ඝාතනයන් වැනි බිහිසුණු වරදක් ලෙසය. ශිෂ්ටසම්පන්න රටවල ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හෝ ආණ්ඩුක්‍රම සම්ප්‍රදායන් කලාතුරකින් හෝ උල්ලංඝනය කෙරුණු අවස්ථාවලදී හැකි ඉක්මනින් ඒ වරද නිවැරදි කිරීම සඳහා ක්‍රියා කරන්නේය.

ඉන්දියාවේ ඉන්දිරා ගාන්ධි පාලන කාලයේදී ඇයට තිබුණ බහුතර බලය ප්‍රයෝජනයට ගෙන ව්‍යවස්ථාවේ දර්ශනය හා ආකෘතිය වෙනස් කිරීමට හේතුවන ලෙස 1976දී 42 වැනි සංශෝධනය අනුමත කරගැනීමට සමත් විය. අධිකරණයෙන් ඊට බලවත් විරෝධයක් එල්ල වුවත් එම විරෝධය යටපත් කරමින් සිය අරමුණු සපුරා ගැනීමට ඉන්දිරා ගාන්ධි සමත් විය.

ඇය කළ එම සාහසික ක්‍රියාව ඉන්දියානු සමාජයේ බලවත් විරෝධයට හේතුවූ අතර එය ඇගේ කොංග්‍රසය 1977 මැතිවරණයෙන් ලද පරාජය කෙරෙහිද තීරණාත්මක ලෙස බලපෑවේය. එම මැතිවරණයෙන් ජනතා පක්ෂය ජයගැනීමෙන් පසුව 1978දී 43 වැනි හා 44 වැනි සංශෝධනය සම්මත කරගනු ලැබුවේ ව්‍යවස්ථාවේ ඇති කර තිබුණු විකෘතිය නිවැරදි කිරීම සඳහාය. ඒ සමග ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය ඉන්දියාවේ බලයට පත්වන ආණ්ඩු පක්ෂවලට ව්‍යවස්ථාවේ එන දර්ශනය හා ව්‍යුහය වෙනස් කිරීමට හේතුවන සංශෝධන ගෙන ඒම තහනම් කෙරෙන තීන්දුවක් ලබා දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් 13 දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් මගින් ලබාදෙන ලද එම තීන්දුව ඉන්දියාවේ බලයට පත් සියලු පාලකයන්ගේ විරෝධයට හේතුවී ඇතත්, කිසිම පාලකයකුට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඒ ගමන් මග වෙනස් කිරීමට හැකිවී නැත.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන රුවල් දූතයා ලෙස ක්‍රියාකළයුත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයයි. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය තමන් වෙත පැවරී තිබෙන එම වගකීම අකුරටම ඉටුකර තිබෙන්නේ යැයි කිව හැකිය.

ව්‍යවස්ථා උල්ලංඝනය

ව්‍යවස්ථා උල්ලංඝනයේදී ලෝකයේ අංක එක හිමිකරගත් රට විය හැක්කේ ලංකාවය. ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබෙන වාර ගණන විශාලය. ඒ කිසිම අවස්ථාවක් බලවත් මහජන විරෝධයට හේතුවී නැත. ලංකාවේ ව්‍යවස්ථා උල්ලංඝනයට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් වනුයේ ව්‍යවස්ථාව උල්ලංඝනය කරන අවස්ථාවලදී විධායකය ව්‍යවස්ථාදායකය හා අධිකරණය එකට එකතු වී ඒ දේ කිරීමය. ඊට ආවේණික තවත් වැදගත් ලක්ෂණයක් ලෙස සැලකිය හැක්කේ සිදුකර තිබෙන කිසිදු ව්‍යවස්ථා උල්ලංඝනයක් පසුව හෝ නිවැරදි කිරීමට ක්‍රියා නොකිරීමය. එය අපේ රටේ දේශපාලන ශීලාචාරත්වයේ තරම පෙන්නුම් කරන හොඳ කැඩපතක් ලෙස සැලකිය හැකිය.

පළමු ව්‍යවස්ථා උල්ලංඝනය සිදුවන්නේ 1956 සිංහල රාජ්‍ය භාෂා පනතිනි. සෝල්බරි ව්‍යවස්ථාවේ 29 (111) වගන්තිය අනුව කිසිදු වාර්ගික හෝ ආගමික කණ්ඩායමට වාසි හෝ අවාසි ඇති කිරීමට හේතුවන ලෙස නීති පැනවීම වළකා තිබුණි. තමන් කරන්නේ ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක් බව අගමැති බණ්ඩාරනයක නොදැන සිටියා විය නොහැකිය. නීතිපති හා කතානායකද එය නොදැන සිටියා විය නොහැකිය. සිංහල රාජ්‍ය භාෂා පනත සම්මතවීමෙන් පසු සිංහල ප්‍රවීණතා විභාගයෙන් සමත්වීමට අසමත් වූ කෝඬේශ්වරන් නමැති දෙමළ ලිපිකරුවකු තමන්ගේ උසස්වීම් හා වැටුප් වර්ධක අහිමි කිරීමට එරෙහිව රාජ්‍ය භාෂා නීතිය අභියෝගයට ලක්කරමින් දිසා අධිකරණයේ නඩු පැවරුවේය. රජයේ සේවකයකුට රජයට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයක් ගත නොහැකි නිසා නඩුව නිෂ්ප්‍රභ කළ යුතු බවට රජයේ නීතිඥයා තර්කය කළේය. කෝමේශ්වරන්ට පක්ෂව දිසා විනිසුරුවරයා තීන්දුව දුන්නත්, නීතිපති එම තීන්දුව අභියෝගයට ලක් කරමින් නඩුව අභියාචනාධිකරණය ඉදිරියට ගෙන ගියේය. අභියාචනාධිකරණය දිසා විනිසුරුගේ තීන්දුව නිෂ්ප්‍රභ කරනු ලැබුවද පැමිණිලිකරු ෆෙඩරල් පක්ෂයේ සහාය ඇතිව නඩුව රාජාධිකරණයට ගෙන ගියේය. සිංහල රාජ්‍ය භාෂා පනත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව රාජාධිකරණයේ තීන්දුව විය.

රාජාධිකරණය දෙන ලද එම තීන්දුවෙන් පසුවවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි එම භාෂා ප්‍රතිපත්තිය වෙනස් කළේ නැත. ඒ වෙනුවට කළේ 1972දී එම ප්‍රතිපත්තිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමය. 1978 ව්‍යවස්ථාව හදන විට ජේ.ආර්. ජයවර්ධන එම වරද නිවැරදි කළේය. එහෙත් එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන හා 19 වන වගන්තිවලින් සිංහල භාෂාවට පමණක් නොව දෙමළ භාෂාවටද රාජ්‍ය භාෂා තත්ත්වයක්ද එම භාෂා දෙකට ජාතික භාෂා තත්ත්වයක්ද ලබා දුන්නේය. වරද නිවැරදි කෙරුණේ දෙමළ තරුණ පරුපර දෙමළ ඊලාම් රාජ්‍යයක් වෙනුවෙන් සටන් කරන තැනකට තල්ලුවීමෙන් පසුවය.

සිංහල පමණක් ප්‍රතිපත්තියක් වෙනුවෙන් පෙනී සිටි සිංහල භාෂා ප්‍රේමීන් ජේ.ආර්. ජයවර්ධන ඇති කළ එම වෙනසට එරෙහිව නැගී සිටියේ නැත. මේ වරද ඊට පෙර නිවැරදි කරගැනීමට හැකිවී නම් හා ප්‍රශ්නය අධිකරණය ඉදිරියට පැමිණි අවස්ථාවේදී තමන්ගේ වගකීම හරියාකාරව ඉටුකිරීමට අධිකරණය සමත් වී නම් දිග් ගැසුණු දෙමළ කැරැල්ලක් ඇතිවීම වළකා ගැනීමට හැකිවන්නට ඉඩ තිබුණි.

ජේ.ආර්. ජයවර්ධන

ඊළඟ මහ ව්‍යවස්ථා උල්ලංඝනය සිදුවූයේ ජනාධිපති ජයවර්ධන පාලන කාලයේදීය. ඔහු තමන්ට හයෙන් පහක බලයක් තිබූ පාර්ලිමේන්තුවේ නිල කාලය තවත් අවුරුදු හයක් දීර්ඝ කරගැනීම සඳහා ව්‍යවස්ථා සංශෝධනයක් සම්මත කරගන්නා ලද අතර, දූෂිත ජනමත විචාරණයක් මගින් ඒ අරමුණ සපුරා ගත්තේය. එම ව්‍යවස්ථා විරෝධී ක්‍රියාමාර්ගය රට ප්‍රචණ්ඩත්වයට තල්ලු කිරීමට බලපෑ වැදගත් හේතුවක් ලෙස සැලකිය හැකිය. ව්‍යවස්ථානුකූලව පාර්ලිමේන්තු මැතිවරණයකට ගියේ නම් පාර්ලිමේන්තුවේ විරුද්ධ පක්ෂ නියෝජනය විශාල වන්නට ඉඩ තිබුණු අතර ජනතා විමුක්ති පෙරමුණටද කිසියම් පාර්ලිමේන්තු නියෝජනයක් ලැබීම මගින් ඔවුන්ට කැරැල්ලකට තල්ලුවීමට තිබෙන හැකියාව සීමා කරන්නට ඉඩ තිබුණි. උතුරේද ප්‍රචණ්ඩ මාවතකට තල්ලුවෙමින් සිටි තරුණ ව්‍යාපාර උතුරේ ප්‍රජාතන්ත්‍රවාදී දෙමළ දේශපාලන ව්‍යාපාර අතින් පරාජය වන්නට හෝ කැරලිකාර මාවත තෝරාගෙන සිටි සමහරෙක් පාර්ලිමේන්තු මාවතට තල්ලුවන්නට හෝ ඉඩ තිබුණි. ඒ අර්ථයෙන් 4 වැනි සංශෝධනය දකුණෙත් උතුරෙත් බිහිසුණු කැරලි දෙකකට උත්පත්තිය දෙන මව ලෙස ක්‍රියා කළේ යැයි කිව හැකිය.

එම ව්‍යවස්ථා විරෝධී ව්‍යවස්ථා සංශෝධනයට ඉඩදීම ගැන අධිකරණයත් වගකිව යුතුය. එම ව්‍යවස්ථා සංශෝධනය සලකා බැලූ විනිශ්චය මණ්ඩලයේ අගවිනිසුරු ඇතුළු තුන්දෙනකු එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි සංශෝධනයක් ලෙස තීන්දු කළ ද ඉතිරි හතරදෙනා එම බිහිසුණු රට ප්‍රචණ්ඩත්වයකට තල්ලු කිරීමට හේතුවූ එම ව්‍යවස්ථා සංශෝධනයට ඉඩ දුන්නේය. එය ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට සිටින රැකවල් දූතයා විසින්ම ව්‍යවස්ථාව දූෂණය කළ ඛේදජනක අවස්ථාවක් ලෙස සැලකිය හැකිය.

රණසිංහ ප්‍රේමදාස

ප්‍රේමදාස ජනාධිපතිගේ පාලන කාලයේදී තමන්ගේ තේරී පත්වීමට එරෙහිව ඉදිරිපත් වී තිබුණු ඡන්ද පෙත්සම අධිකරණ විෂයෙහි ජනාධිපතිවරයාගේ උනන්දුවට හේතුවී තිබුණ ලොකුම දේ ලෙස සැලකිය හැකිය. බලවත් කැරැල්ලක නිරත වී සිටි ජනතා විමුක්ති පෙරමුණ විසින් එම ජනාධිපතිවරණය තහනම් කර තිබීම නිසා ජනාධිපතිවරණය පැවතියේ බිහිසුණු හා ලේ වැගිරෙන පරිසරයකය. ඡන්දයට වැඩ කරන සැලකිය යුතු පිරිසක් මරා දමා තිබුණු අතර ඡන්දය පාවිච්චි කළ අනුපාතිකයේ ද ශීඝ්‍ර පහත වැටීමක් සිදුවී තිබුණි. ඡන්දය නොපවත්වා තිබුණු ඡන්ද පොළවල් සංඛ්‍යාවද විශාල විය.

කැරලිකරුවන් පනවන ලද තහනම නොසලකා ඡන්දය පැවැත්වීම යහපත් දෙයක් ලෙස සැලකිය හැකි වුවද ඡන්ද පෙත්සම සලකා බැලීමේදී අධිකරණය ජයග්‍රාහකයාගේ පැවැත්ම රැක දෙන පිළිවෙතක පිහිටා ක්‍රියා කළා විනා ජනාධිපතිවරණය පැවති බිහිසුණු වාතාවරණය හා එවැනි වටපිටාවක පැවැත්වෙන මැතිවරණයක් නිදහස් හා සාධාරණ විය නොහැකිය කියන කාරණය කෙරෙහි ප්‍රමාණවත් අවධානයක් යොමු කළ බවක් පෙනෙන්නට නැත.

අධිකරණය ජයග්‍රාහකයාගේ ජයග්‍රහණය ආරක්ෂා කර දෙන පිළිවෙතක් අනුගමනය කරනවා වෙනුවට කැරැල්ල පරාජය වී රටේ සාමකාමී වටපිටාවක් ඇතිව තිබූ වාතාවරණය සැලකිල්ලට ගනිමින් නැවත ජනාධිපතිවරණයක් පැවැත්වීමට තීන්දු කළේ නම් එම ජනාධිපතිවරණයෙන් කවුරු ජයග්‍රහණය කළද රටේ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමය ශක්තිමත් කිරීමට හේතුවන්නට ඉඩ තිබුණා සේ ම සමහරවිට ජනාධිපති ප්‍රේමදාස හා ලලිත් ඇතුළත්මුදලි ඝාතනය නොවන්නටද ඉඩ තිබුණි. එම පෙත්සම් විභාගයේදී අධිකරණය ලබාදෙන ලද පූර්වාදර්ශය ජනාධිපතිගේ පෙත්සමක් ජයගැනීම ඉතා දුෂ්කර දෙයක් බවට පත් කළේය.

අගවිනිසුරු සරත් නන්ද සිල්වාගේ සහාය ලබාගනිමින් මන්ත්‍රී ධුර අහිමි කරගැනීමකින් තොරව විරුද්ධ පක්ෂයෙන් ආණ්ඩු පක්ෂයට එකතුවිය හැකි ක්‍රමයක් ඇති කිරීම ජනාධිපතිනි චන්ද්‍රිකාගේ කාලයේදී සිදුවූ බිහිසුණුම ව්‍යවස්ථා උල්ලංඝනය ලෙස සැලකිය හැකිය. එම ක්‍රියාව ආණ්ඩුක්‍රමය විකෘති කොට එහි අත්තිවාරම මුළුමනින් බිඳ හෙළීමට හේතුවී යැයි කිව හැකිය.

අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක ධුරයෙන් පහකිරීම සඳහා යොදා ගත් නීති විරෝධී ගොරෝසු ක්‍රියාදාමය හා ඒ සඳහා පැවති පාර්ලිමේන්තු පරීක්ෂණය වළකමින් අධිකරණය දෙන ලද රිට් ආඥාවලට පයින් ගැසීම ජනාධිපති මහින්ද රාජපක්ෂ කාලයේදී සිදුවූ බිහිසුණුම ව්‍යවස්ථා උල්ලංඝනය ලෙස සැලකිය හැකිය. එංගලන්තයේ රාජාණ්ඩු කාලයක් පැවති යුගයේදී එහි සිටි රජවරුන් පවා රිට් ආඥාවන්ට ගරු කළේය. ව්‍යවස්ථාවට පටහැනිව හා අධිකරණය ලබාදෙන ලද මගපෙන්වීම්වලට පටහැනිව සටකපටකමෙන් සම්මත කරගත් 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය යහපාලන ආණ්ඩු කාලේ සිදුවූ බරපතළම ව්‍යවස්ථා උල්ලංඝනය ලෙස සැලකිය හැකිය. එහිදී යහපාලන ආණ්ඩුව ව්‍යවස්ථාව මරා දමන ලද්දේ පැණි තැවරූ වෙඩි උණ්ඩ යොදා ගනිමිනි.

මේ ආකාරයට විටින් විට කරන ලද ව්‍යවස්ථා උල්ලංඝනයන් මගින් කර තිබෙන විනාශය අතිවිශාල වුවත්, එවැනි වැරදි ගල් ගැසෙන්නට ඉඩ හැරියා මිස විධායකය, ව්‍යවස්ථාදායක හෝ අධිකරණය ඒවා ගැන සොයා බලා වැරදි නිවැරදි කරන කිසිදු උත්සාහයක නිරත වී නැත. වැරදි පූර්වාදර්ශ දීමට හේතුවන නීති විරෝධී හා ව්‍යවස්ථා විරෝධී නඩු නිෂ්ප්‍රභ කිරීමේ වගකීමක් අධිකරණයට ඇතත්, කිසිම අගවිනිසුරුවරයෙකු හෝ නීතිපතිවරයෙකු ඒ සඳහා උනන්දුවක් දක්වා නැති බවද කිව යුතුය. රටේ ඇතිවී තිබෙන මහා කුණුවීමට ව්‍යවස්ථාදායකය, විධායකය හා අධිකරණය සහ බලමණ්ඩල තුනම හරි හරියට වගකිව යුතුය.


0 comments: