to-add

අධිකරණයේ පරිහානිය




 - වික්ටර් අයිවන් - 



මෙරට අධිකරණය 

ලංකාවේ අධිකරණයට පැවරී තිබෙන සමාජ වගකීම ගැන හරි දැක්මක් ඇති අධිකරණයක් තිබුණේ නම් ව්‍යවස්ථාදායකය හා විධායකය නොදියුණු හා දූෂිත තත්ත්වයක තිබුණද ලංකාව මේ සා විශාල කාලකණ්ණි තත්ත්වයකට පත් නොවන්නට ඉඩ තිබුණි. එහෙත් අවාසනාවකට ලංකාවට ලැබුණේ එවැනි අධිකරණයක් නොව ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ නොදියුණු බවේ තරමට ගැළපෙන පසුගාමී අධිකරණයකි.

මෙම සංවාදයේදී ලංකාව නිදහස දිනාගත් රටක් නොව. නිදහස තෑගි වශයෙන් දිනාගත් රටක් යන මුඛ්‍ය කාරණය අමතක නොකළ යුතුය. යහපත් ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් සඳහා අවශ්‍ය තරමේ දියුණු සවිඥානකත්වයක් සාමාන්‍ය සමාජයට පමණක් නොව රටේ ජාතික නායකයන්ටද නොතිබුණි.

ඒ වනවිට ඉන්දියාව ලංකාවට වඩා උගත්කමේ සාක්ෂරතාව අනුව නූගත් වුවද ලංකාවේ ජාතික නායකයන් සවිඥානක වශයෙන් සිටි නොදියුණු තත්ත්වයේ තරම සමග ගත් විට ඉතා දියුණු සවිඥානකත්වයක් සහිත ජාතික නායකත්වයක් ඉන්දියාවට තිබුණි.

අපේ රටේ නායකයන්ට වෙනස්ව ඉන්දියාවේ නායකයන් නිදහස දිනාගැනීමේ අරගලයට ඉන්දියානු සමාජය ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගත්තේය. නිදහස් අරගල ක්‍රියාවලිය තුළ ඉන්දියානු සමාජය නවීන ලෙස සිතන මතන සමාජයක් බවට පත් කළේය. ඊට අතිරේකව වර්ග, කුල. ආගම් භේදවලට තිබෙන පිළිගැනීම දුර්වල කොට නූතන ජාතිය ගොඩ නගා ගැනීමට අවශ්‍ය ශක්තිමත් අත්තිවාරමක් ඇති කරගත්තේය. ආගමික ගාන්ධිගේ සිට සියලුම නායකයන් දේශපාලනයේදී අනගාමිකත්වය වෙනුවෙන් ස්ථිරසාර ලෙස පෙනී සිටියේය.

ලංකාවේ දුප්පත්කම

නිදහස වෙනුවෙන් පෙනී සිටි ලංකාවේ නායකයන්ට තමන් වෙත බලය ලබාගැනීමේ ලොකු ආශාවක් තිබුණා මිස යහපත් ප්‍රජාතන්ත්‍රවාදී රටක් ගැන තියුණු දැක්මක් නොතිබුණි. නිදහස දිනාගැනීමේ උත්සාහයට සමාජය ක්‍රියාකාරී ලෙස සම්බන්ධ කරගන්නවාට විරුද්ධ වූවා පමණක් නොව සර්වජන ඡන්ද බලයට පවා තරයේ විරුද්ධ විය. බ්‍ර‍තාන්‍ය ඉන්දියාව අත්හරින්නට ගෙන තිබුණු තීරණය නිසා කිසිදු බලවත් සමාජ උත්සාහයකින් තොරව නිදහස හිමිකර ගැනීමට ලංකාවට හැකිවිය.

ඉන්දියාව ලංකාව මෙන් බ්‍රිතාන්‍යයන්ගේ ලැබුණු ආයතන ක්‍රමය ඒ ආකාරයෙන්ම ආරක්ෂා කරගෙන ඉදිරියට ගෙන ගියේ නැත. ඔවුන් ලංකාවට වෙනස්ව ඔවුන්ට ලැබී තිබුණු ආයතන ක්‍රමය නිදහසේ අවශ්‍යතාවන්ට ගැළපෙන ලෙස ප්‍රතිනිර්මාණය කරගත්තේය.

ගාන්ධි 1922දී ඉන්දියාව අපේක්ෂා කරන ස්වරාජ්‍ය තත්ත්වය පැහැදිලි කළේ එය බ්‍ර‍තාන්‍ය පාර්ලිමේන්තුව අපට දෙන දෙයක් නොවිය යුතු බව හා නිදහස් ලෙස තෝරා ගන්නා ඉන්දියාවේ ජනතා නියෝජිතයන් එකට එකතු වී සාකච්ඡා කොට ප්‍රකාශයට පත් කෙරෙන අභිලාෂයන් තුළින් ඇති කරගත යුතු දෙයක් බව කීවේය.

බ්‍රිතාන්‍යය ඉන්දියාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් දෙන්නට 1933දී දරන ලද උත්සාහයේදී ඒ සඳහා ඉදිරිපත් කළ ධවල පත්‍රිකාව පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින් ඉන්දියානු කොංග්‍රසය දැඩි අවධාරණයකින් කියා සිටියේ ඉන්දියාවට පිළිගත හැක්කේ විදේශ බලඅධිකාරියක කිසිදු මැදිහත්වීමකින් තොරව ඉන්දියාවේ මහජන නියෝජිතයන් සකස් කරගන්නා ව්‍යවස්ථාවක් පමණක් බවය.

ඉන්දියාවේ පොහොසත්කම

ඉන්දියානු ව්‍යවස්ථා සම්පාදනය සඳහාම ඒ සඳහාම පවත්වන මැතිවරණයකින් ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට නියෝජිතයන් තෝරාපත් කරගනිමින් ව්‍යවස්ථාව සම්පාදනය කරගනු ලැබූ ආකාරය ගැන මහාචාර්ය ග්‍රැන්විල් ඔස්ටින් ”The Indian Constitution” නමින් අගනා පොතක් ලියා තිබේ. ලංකාවේ මෙතෙක් සිදුවී තිබෙන සියලු ව්‍යවස්ථා සම්පාදනයන්ද සැලකිල්ලට ගනිමින් මේ මෙම පොත කියවන්නේ නම් ව්‍යවස්ථා සම්පාදන විෂයේදී ලංකාව ඉන්නේ කොතරම් නොදියුණු තත්ත්වයකද යන්න මනා ලෙස තේරුම් ගත හැකිය.

මේ පොතට ඉන්දියානු අධිකරණ ක්‍රමය ගොඩ නගා ගත් ආකාරය හා ඒ සඳහා කෙරුණු වාද විවාද ගැනද ඇතුළත්ය. ඉන්දියානු නායකයන් එහිදී අධිකරණය සලකා තිබෙන්නේ නිදහස් අරගලයෙන් ආරම්භ වූ සමාජ විප්ලවයේද, එම සමාජ විප්ලවය තවදුරටත් ඉදිරියට ගෙනයෑම සඳහා ඇතිකර ගන්නා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේද භාරකාරයා හා රැකවල් දූතයා වශයෙනි.

ඉන්දියානු ව්‍යවස්ථාව සම්පාදනය කරගනිමින් එය නීතිගත කරගැනීම සඳහා අවුරුදු තුනක් තරම් දීර්ඝ කාලයක් ගතවිය. ව්‍යවස්ථා සම්පාදනයට ගත කෙරුණු කාලයෙන් වැඩිම කාලයක් ගත කර තිබෙන්නේ සුදුසු අධිකරණ ක්‍රමයක් ගොඩනගා ගැනීම සඳහා කෙරුණු සංවාදයටය.

එම විෂයට අදාළ කාරක සභාවේ සභාපති ලෙස ක්‍රියා කළ නේරු ඒ සඳහා කෙරෙන සාකච්ඡාව ආරම්භ කර තිබෙන්නේ පාලක පක්ෂවල හා වෙනත් බලවේගයන්ගේ ග්‍රහණයට නතු නොවී ඉන්දියානු සමාජ විප්ලවය ඉදිරියට ගෙනයෑම සඳහා ක්‍රියා කරන සාධාරණව හා නීතියට අනුකූලව ක්‍රියාකරන ස්වාධීන අධිකරණයක් ඇති කරගන්නේ කෙසේද යන මූලික ප්‍රශ්නය ගැන කෙරෙන විග්‍රහයකිනි. ඉන්දියානු නායකයන් එහිදී බ්‍රිතාන්‍යය, ඇමරිකන් හා අයර්ලන්ත අධිකරණ ක්‍රම වෙන් වෙන්ව ගෙන සලකා බලමින් ඉන්දියාවට ගැළපෙන කදිම අධිකරණ ක්‍රමයක් නිර්මාණය කර ගත්තේය.

ඉන්දියානු අධිකරණයේ භූමිකාව

ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය අවුරුදු 70ක් තරම් කාලයක් උරගා බැලීමකට ලක්වූ අධිකරණ ආයතනයකි. එහි නිර්මාතෘවරුන් අපේක්ෂා කළ ආකාරයටම ඉන්දියානු සමාජ විප්ලවයේ ඉදිරි ගමන හා මහජන අයිතිවාසිකම් හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරන හොඳ රැකවල් දූතයන්ගේ භූමිකාව එය රඟපා තිබෙන්නේ යැයි කිව හැකිය. අද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය සැලකෙන්නේ ලොව තිබෙන හොඳම ශ්‍රේෂ්ඨාධිකරණවලින් එකක් ලෙසය.

අතිවිශාල බහුතර බලයක් ඇතිව ඉන්දිරා ගාන්ධි රට පාලනය කළ කාලයේදී අධිකරණය අතකොලුවක් කරගැනීමට ඇය දරන ලද උත්සාහයට එරෙහිව අධිකරණය සිය ස්වාධීනත්වය ආරක්ෂා කරගැනීම සඳහා බලවත් උත්සාහයක නිරත විය. ඉන්දිරා ගාන්ධි එම අරගලයෙන් තාවකාලිකව ජයගත්තද අධිකරණය සිය ගෞරවය හා ස්වාධීනත්වය සඳහා කෙරෙන සටන අතහැරියේ නැත. 1977දී ඇගේ පාලනය පරාජයවීමෙන් පසු ව්‍යවස්ථාවට ඇතුළත් කර තිබූ සියලු විකෘතීන් නිවැරදි කළා පමණක් නොව වැඩි බලයක් තිබෙන පාලක පක්ෂවලට ආත්මාර්ථකාමී වුවමනාවන් සඳහා ව්‍යවස්ථාව වෙනස් කිරීම සඳහා තිබෙන පුළුවන්කම නැති කිරීම සඳහා ව්‍යවස්ථාවේ ව්‍යුහය පිළිබඳව නීති සිද්ධාන්තයක් ඇති කොට එය ස්ථාපිත කළේය. ඒ නිසා දැන් පොදු යහපත වෙනුවෙන් මිස ආත්මාර්ථකාමී හේතු මත කිසිම පාලකයකුට ව්‍යවස්ථාව වෙනස් කළ නොහැකිය.

ඉන්දියාව ලංකාවට වඩා ආගමික රටක් ලෙස සැලකිය හැකි වුවද ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ආගම්වලට අධිකරණය සමග මුසු වෙන්නට ඉඩ දුන්නේ නැත. එම අධිකරණයේ අනාගාමික ස්වරූපය ආරක්ෂා කරගත්තේය. මීට වසර කිහිපයකට ඉහතදී මහාධිකරණයේ පැවති උත්සවයකට හින්දු ආගමික වත් පිළිවෙත් යොදා ගැනීම කටයුතු සූදානම් කෙරෙමින් තිබුණු අවස්ථාවකදී කවුරුන් විසින් හෝ එය ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළේය. එහිදී ශ්‍රේෂ්ඨාධිකරණය එම ක්‍රියාව තහනම් කළා පමණක් නොව, අධිකරණය තුළ ආගමික සංකේත යොදා නොගත යුතු බවටද නියෝග කළේය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය මේ මෑතකදී දෙන ලද තීන්දුවකින් අධිකරණයේ සිදුවන වැරදි ගැන විවේචනය කිරීමේ අයිතියක් මහජනයාට තිබෙන බව ප්‍රකාශ කළේය.

ඉන්දියාවේ දිළිඳු, අසරණ හා ආබාධිත පුද්ගලයකුට හෝ එවැනි පුද්ගලයන් සමූහයකට ඔවුන්ට සිදුවන අසාධාරණයකදී ලියුමක් මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කරන ක්‍රමයක් භගවතී අගවිනිසුරුවරයා විසින් ඔහුගේ පාලන කාලයේදී ඇති කරන ලදි. එවැනි පැමිණිල්ලක් ලැබීමෙන් පසු කිසිදු අයකිරීමකින් තොරව විමර්ශනයක් කොට යුක්තිය ඉටු කරන ක්‍රමයක් එහි ක්‍රියාත්මක වේ.

අයාලේ යෑම

ලංකාවේ අධිකරණයට තිබෙන්නේ ශක්තිමත් දර්ශනයකින් තොරව අයාලේ ගිය ඉතිහාසයකි. නීතිය ගැන දැනුමක් තිබෙනවා විය හැකි වුවත්, අධිකරණය වෙත පැවරී තිබෙන සමාජ කාර්යභාරය ගැන මනා දැනුමක් තිබෙන බව පෙන්නුම් කර නැත. ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය තමන්ගේ රටේ ජනතාව අතර සේ ම ජාත්‍යන්තර වශයෙන්ද විශාල පිළිගැනීමක් හා ගෞරවයක් හිමිකර ගැනීමට සමත් වී ඇතත්, ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සිටින්නේ ඒ පෝලිමේ හුඟාක් පසුපෙළ තත්ත්වයකය. ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය එම පිළිගැනීම හිමි කරගෙන තිබෙන්නේ ජනයා බියගැන්වීමෙන් නොව මහජනයාගේ ගෞරවයට හේතුවන පැවැත්මක් පවත්වාගෙන යාමට සමත්වීමෙනි. නැතහොත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හා මහජන අයිතිවාසිකම් ආරක්ෂා කරන පිළිවෙතක පිහිටා ක්‍රියාකිරීමෙනි.

ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය මහජන අයිතිවාසිකම්වලදී හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමේදී හොඳ රැකවල් දූතයෙකුගේ වගකීම ඉටු කිරීමට සමත් වී නැත. පාලකයන්ට ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමට ඉඩදී තිබෙනවා සේ ම සමහර අවස්ථාවල පාලකයන් සමග කල්ලි ගැසී ශ්‍රේෂ්ඨාධිකරණය විසින්ද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කර තිබේ. මන්ත්‍රීකම් අහිමි නොවන ලෙස පක්ෂ මාරුවට ඉඩදීම ඒ සඳහා දැක්විය හැකි එක නිදසුනක් පමණය. එය රටේ ආණ්ඩුක්‍රමය මුළුමනින් විකෘති කිරීමට හේතුවිය. එය ශ්‍රේෂ්ඨාධිකරණයට අවශ්‍ය නම් වහාම නිවැරදි කළ හැකිව තිබෙන බරපතළ වරදකි. එහෙත් සිදුකර තිබෙන එම බරපතළ වරද අද දක්වා නිවැරදි කිරීමක් කර නැත. ඒ නිසා එය අනාගතය කෙරෙහිද බලපානු ඇත.

ලංකාවට තිබෙන්නේ ලෞකික අධිකරණයක් නොව, ආගමට බර අධිකරණයකි. සමහර විනිසුරුවරුන් තමන්ගේ ආගමික බව ප්‍රදර්ශනය කිරීමටද මැලි නොවෙති. ඉන් පෙනෙන්නේ එය විනිසුරුවරයකුට තිබෙන නුසුදුසුකමක් බව ඔවුන් නොදන්නා බවය.

අධිකරණයේ ස්වාධීනත්වය 

අධිකරණයේ ස්වාධීනත්වය හා සදාචාරාත්මකභාවය අළලා 1999 සැප්තැම්බර්වලදී ඉන්දියාවේ හිටපු අගවිනිසුරුවරයකුද සහභාගි වූ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පවත්වන ලද සම්මන්ත්‍රණයකදී විනිසුරුවරුන් තුළ තිබිය යුතු සදාචාරාත්මකභාවය ගැන එච්.එල්. ද සිල්වා අපූරු කතාවක් කළේය. “ස්වාධීනත්වයේ කප්පාදුවත් සදාචාරාත්මක අවංකභාවයේ හීනතාවක් හේතු කොටගෙන සමස්ත අධිකරණ කාර්ය පද්ධතිය හරසුන් නාට්‍යයකදී විකාරරූපී රංගනයක යෙදෙන විකටයකුගේ තත්ත්වයකට පත්වෙමින් තිබේ යැයි ඔහු කීවේය. එච්.එල්. සිල්වාගේ එම අනාවකිය සනාථ කරමින් ඉන් අවුරුදු 4කට පසුව රටේ අගවිනිසුරුවරයා නීතිඥවරියක් සමග දියවන්නා ඔය අසල තිබූ වාහනයක අඩ නිරුවතින් සිටින අවස්ථාවකදී පොලිසියට හසුවිය.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව මූලික අයිතිවාසිකම් නඩු මාස තුනක කාලයක් තුළ විභාගයට ගෙන අවසන් කළ යුතුය. එහෙත් පවතින සැබෑ තත්ත්වය වනුයේ අවුරුදු දෙක තුනක් තරම් කාලයක් ඉක්මවා ගිය පසුත් විභාගයට නොගත් මූලික අයිතිවාසිකම් නඩු තිබෙන බවය. මට මේ මෑතකදී සමෘද්ධි නිලධාරි සංගමයකින් අසන්නට ලැබුණු කතාවක් අනුව අවුරුදු 5කට වැඩි කාලයක් ඇසුණු ඔවුන්ගේ නඩුව තීන්දුවක් ප්‍රකාශ කිරීමෙන් තොරව නිෂ්ප්‍රභ කර තිබෙන අතර නඩුව සඳහා නීතිඥයාට නීතිඥ ගාස්තු වශයෙන් ගෙවා තිබුණ මුදල පමණක් රුපියල් ලක්ෂ 56ක් විය.

ලංකාවේ නීති වෘත්තිකයන්ගේ භූමිකාව පවතින්නේද සේවාදායකයන් පීඩාවට හා ගසාකෑමට පත් කරන නිසි පාලනයක් නැති අරාජික තත්ත්වයකය. විෂමාචාර වැරදිවලදී ඉදිරිපත් වන පැමිණිලි සම්බන්ධයෙන් පවා කරුණු සොයා බලා ඔවුන්ට දඬුවම් කරන කාර්යක්ෂම ක්‍රමයක් ක්‍රියාත්මක නොවේ. නීති වෘත්තියේ සේ ම අධිකරණ සේවයේද පහළ අධිකරණවලද ගරු කටයුතු පුද්ගලයන් සිටියද පොදු විනය තිබෙන්නේ පිළිගත හැකි යහපත් තත්ත්වයක නොව, උපරිම මට්ටමකට පරිහානියට ගිය තත්ත්වයකය. අධිකරණය නීති වෘත්තිකයන් යහපත් තත්ත්වයකට තබා ගැනීමට වග බලාගත යුතු අතර අධිකරණය යහපත් තත්ත්වයක තබා ගැනීම නීති වෘත්තිකයන්ගේද වගකීමකි. එහෙත් ලංකාවේ මේ දෙපක්ෂය අතරම එවැනි පොහොසත් සම්ප්‍රදායක් තිබෙන බවක් පෙනෙන්නට නැත.

විනය පාලනය

අධිකරණ සේවයට විනිසුරුවරුන් බඳවා ගැනීම, ඔවුන්ට ලබාදෙන පුහුණුව හා විනය පාලනය යහපත් තත්ත්වයක නොපවතී.

ලෙනින් රත්නායක හා උපාලි අබේරත්න යන විනිසුරුවරුන් ඒ සඳහා දැක්විය හැකි මටද ලොකු අත්දැකීමක් තිබෙන නිදර්ශන දෙකකි. ලෙනින් රත්නායක අධිකරණ සේවයට එකතු වී සිටියේ මුදල් වංචා චෝදනාවකට රක්ෂණ සමාගම් සේවයෙන් පහකර සිටියදී එය වසන් කරමිනි. ඔහු අධිකරණ සේවයට නිර්දේශ කර තිබුණේ රටේ නාමධාරී නීතිඥයන් දෙදෙනෙකි. විධිමත් බඳවා ගැනීමේ ක්‍රමයක් අධිකරණයට නැති බව ඉන් පෙන්නුම් කරයි. ඔහු ගැන කතා කිරීමට තව බොහෝ ඇතත්, ඒ ගැන මා කතා නොකරන්නේ විශ්‍රාම ගොස් දැන් දේශපාලන පළිගැනීම් සොයා බැලීම සඳහා පත්කර තිබෙන ත්‍රිපුද්ගල කොමිසමේ ප්‍රධානියා ගැන කතා කිරීම වඩා වැදගත් නිසාය.

සරත් සිල්වා සම වගඋත්තරකරුවකු කරමින් රසායන ඉංජිනේරුවකු වූ ජයසේකර සිය බිරිඳට එරෙහිව පවරන ලද දික්කසාද නඩුවේ විනිසුරුවරයා වූයේ උපාලි අබේරත්නය. එම නඩුවට අදාළව මෙම විනිසුරුවරයාට එරෙහිව ජයසේකර අධිකරණ සේවා කොමිසමට කරන ලද පැමිණිල්ලක් අධිකරණ සේවා කොමිසම පරීක්ෂණයකට ලක් කළේය. එම පරීක්ෂණයේ පරීක්ෂකයන් ලෙස ක්‍රියා කළේ ශ්‍රේෂ්ඨාධිකරණයේ තිස්ස බණ්ඩාරනායක හා මාර්ක් ප්‍රනාන්දු යන විනිසුරුවරුන් දෙදෙනාය. දිසා විනිසුරු උපාලි අබේරත්නගෙන්ද ප්‍රශ්න කොට කටඋත්තරයක් ලබා ගත්තේය. මෙම එම පරීක්ෂණ වාර්තාව කියවීමෙන් පසු විනිසුරුවරයා පිළිබඳව මා තුළ ඇතිවූයේ පිළිකුළක් බව කිව යුතුය. ඔහු සරත් සිල්වාගේ ආරක්ෂාව සඳහා මෙම නඩුවේදී නීතිය උපරිම මට්ටමකින් උල්ලංඝනය කර තිබුණා පමණක් නොව, පැමිණිලිකරු පීඩාවට පත්කිරීම සඳහාද උපරිම මට්ටමකින් ක්‍රියා කර තිබුණි. ඔහු කවර මට්ටමකින්වත් විනිසුරුවරයෙකු වශයෙන් අධිකරණයක පැත්ත පළාතකවත් තබා නොගත යුතු කෙනෙක් ලෙස සැලකිය හැකිය.

උපාලි අබේරත්න විනිසුරුවරයා මෙම නඩුවේදී අනුගමනය කර තිබුණු නීතියට පටහැනි ක්‍රියාදාමය සලකා ඔහුට එරෙහිව චෝදනා ගොනු කොට නඩු පැවරීම සඳහා අධිකරණ සේවා කොමිසම එම පරීක්ෂණ ලිපිගොනුව නීතිපතිවරයා වෙත යැවීය. සරත් සිල්වා නීතිපති ධුරයට පත්වීමෙන් පසුව තමාගේ ආරක්ෂාව සඳහා තමාගේ උපදෙස් අනුව නඩුව විභාග කළ මෙම විනිසුරුවරයාගේ ආරක්ෂාව සඳහා පරීක්ෂණ වාර්තාව යටපත් කරගෙන සිටියේය. නීතිපතිගේ එම ක්‍රියාවට එරෙහිව මට හඬ නගා කෑගසන්නට සිදුවිය. එසේ එම හඬ නැගීම නිසා හා නීතිඥ සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ සම්මේලනය කරන ලද ඉල්ලීමක් අනුව උපාලි අබේරත්න විනිසුරුවරයාට මා එල්ල කරන ලද චෝදනා ගැන සොයා බලන්නට අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්නට අගවිනිසුරුවරයා ඇතුළු අධිකරණ සේවා කොමිසමට සිදුවිය. එම ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ අමීර් ඉස්මයිල් හෙක්ටර් යාපා හා පී. එදිස්සූරිය යන විනිසුරුවරුන්ගෙනි. එහිදී මෙම විනිසුරුවරයා තමන්ට එරෙහිව එල්ල වී තිබුණ චෝදනාවන්ට අභියෝග නොකර පිළිගැනීම නිසා මෙම විනිසුරුවරයාව අනිවාර්ය පදනම් මත සේවයෙන් විශ්‍රාම ගන්වන්නට නිර්දේශ කළ අතර ඒ අනුව අධිකරණ සේවා කොමිසම 1999.07. 31 සිට අනිවාර්ය පදනම මත විශ්‍රාම ගන්වන ලදි.

එහෙත් එම තීරණය අධිකරණ සේවා කොමිසම ඉක්මනින් වෙනස් කළේය. අනිවාර්ය විශ්‍රාමය වෙනුවට 1999.08.19 වැනි දින සිට මෙම විනිසුරුවරයාගේ උසස්වීම් අවුරුදු දෙකකට අත්හිටුවා 2001.01.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි මොනරාගල දිසා අධිකරණයට දඬුවම් මාරුවක් ලබා දුන්නේය.

ඉතා වැදගත් දේ සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්වීමෙන් පසුව දඬුවම් කාලය අවසන් වන්නට පෙර මෙම විනිසුරුවරයාට මහාධිකරණයට උසස්වීමක් ලබා දුන් අතර අගවිනිසුරුවරයා විශ්‍රාම යන්නට පෙර ඔහු අභියාචනාධිකරණයට පත් කළේය. සරත් සිල්වා තමන්ට උපකාර කළවුන්ට නිර්ලෝභීව ප්‍රතිඋපකාර කළේය. එය හොඳ ගුණාංගයක් ලෙස සැලකිය හැකි වුවත්, ඔහුගේ ප්‍රති උපකාර පිළිවෙත අධිකරණයට ඇති කළ විනාශය අතිවිශාලය.

මේ කතාව ඉන් නවතින්නේ නැත. තවත් කලකට පසුව මෙම අපකීර්තිමත් විනිසුරුවරයා අගවිනිසුරුවරියකගෙන් එල්ල වූ විරෝධය නොසලකා ජනාධිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට පත් කළේය. ඒ මගින් පහළ අධිකරණයේ දිසා විනිසුරු ධුරයේවත් තබා ගැනීමට සුදුසු නැති යැයි අභියාචනාධිකරණයේ විනිසුරුවරුන් තිදෙනකු තීරණය කළ මේ පුද්ගලයා අවසානයේ නතර වූයේ ශ්‍රේෂ්ඨාධිකරණයෙනි. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් විශ්‍රාම යාමෙන් පසු මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මෙම පුද්ගලයාව යහපාලන ආණ්ඩුවේ වැරදි සොයන කොමිසමක ප්‍රධානියා කළේය. ඉන්පසු වර්තමාන ආණ්ඩුව පළිගැනීම් ගැන සොයා බැලීම සඳහා පත් කරන ලද ත්‍රිපුද්ගල කොමිසමක ප්‍රධානියා කළේය.

දැන් එම විශ්‍රාම ගිය විනිසුරුවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන කොමිසම නඩුවක් සම්බන්ධයෙන් නීතිපතිවරයාට දෙන ලද නියෝගයක් පිළිපැදීම නීතිපතිවරයා විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා අලුත් ආකාරයක අර්බුදයක් ඇතිවී තිබේ. දේවල් සිදුවෙමින් තිබෙන ආකාරය කිසිසේත්ම සාමාන්‍ය නැත.



Post a Comment

0 Comments