Hot!

එජාපයේ අනාගතය - සිංහල බෞද්ධකරණය ද ? ජනප්‍රිය ජනතාවාදය ද?




- අතුලසිරි සමරකෝන් -



එජාප පරාජයට හේතුව කුමක්ද ? 

ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පෙරමුණ ලද පරාජයට මූලික හේතුවක් වශයෙන් සිංහල බෞද්ධ ඡන්ද කොට්ටාශය පිනවීමට ප්‍රමාණාත්මක ව සහ ගුණාත්මකව මැදිහත්වීමට එම පෙරමුණ අපොහොසත්වීම ප්‍රධාන තර්කයක් වශයෙන් මතුවී තිබෙන අතර එම තත්වය නිවැරදි කර ගැනීම සඳහාවන ක්‍රියා පිලිවෙතකට එළඹිය යුතුය යන ස්ථාවරයට බොහොමයක් දෙනා පැමිණ තිබෙන බව ද පැහැදිළිය.

එජාපය තුළ පවතින ජාතිකවාදී ප්‍රවණතාවයන් විසින් වඩාත් ඉස්මතු කොට දැක්විය හැකි මෙම තර්කය බැලු බැල්මට නිවැරදි සේ පෙනෙයි. මන්ද සිංහල ජාතිකයන් බහුතරයක් වසන බොහෝ දිස්ත්‍රික්ක සහ කොට්ටාශ වල දී ගෝටාභය සැමවිටම පාහේ ඉදිරියෙන් සිටීම සංඛ්‍යාත්මකව සත්‍යතාවයකි. නමුත් ජාතිකවාදීන් නඟන තර්කයේ පදනම වන්නේ ප්‍රධාන අපේක්ෂකයන් අතර පවතින පරතරයයි. එය එතරම් විශාල එකක් වශයෙන් ඔවුන් දකින අතර එයට හේතුව වන්නේ ජාතික-බෞද්ධවාදයට එරෙහිව මතුවූ බවට සැක කෙරෙන ප්‍රවණතාවයන් බවට ඔවුන් තර්ක කරයි. සරළව පැවසුවහොත් එජාපය සිංහල බෞද්ධ කඳවුරේ මතවාදීමය රාමුවට නැවත ආකර්ෂණය කරගත යුතුබවට ඔවුන් තර්ක කරන තර ඒ සඳහා පක්ෂ මතවාදයේ සහ භාවිතාවේ වෙනසක් කිරීමට යෝජනා කෙරේ.

මෙම තර්කය සමඟ එජාපය පිලිබඳ ඓතිහාසික මිත්‍යාමතික උපකල්පන කිහිපයක් නැවත බල ගැන්වී තිබේ. ඉන් එකක් වන්නේ ඓතිහාසිකව එජාපය වඩාත් ලිබරල් දේශපාලනික මඟක ගමන් කරන පක්ෂයක් මිස එම පක්ෂය තුළ ජාතික හෝ ජාතිවාදී ප්‍රවණතාවයන්ට ඉඩක් නැත යන්නයි. එසේම එම ලිබරල් ගමන් මඟේ උච්චතම අවදිය රනිල් වික්‍රමසිංහ ගේ නායකත්ව සමය බව ද, එම කාලය තුළ ආගමික සහ ජාතිකවාදී ප්‍රවණතාවයනට වඩා ගෝලීයකරණ ප්‍රවණතාවයන්ට සහ සිවිල් දේශපාලන නිදහස පිලිබඳ ප්‍රවණතාවයන්ට එම පක්ෂය නැඹුරු කරවූ බවට ද යමෙකුට තර්ක කළ හැක.

එජාපය ද ශ්‍රීලනිපය මෙන් සිංහල බෞද්ධ ජාතිකවාදී මාවතේ 

නමුත් ඒ කිසිදු තර්කණයකින් ඛණ්ඩනය නොවන සත්‍යක් වන්නේ එජාපය ද ශ්‍රීලනිපය මෙන්ම සිංහල බෞද්ධ ජාතිකවාදය සමඟ ඓතිහාසිකව ගමන් කරන පක්ෂයක් බවයි. එහි නායකත්වය, ඩී ඇස්, ඩඩ්ලි, කොතලාවල, ජයවර්ධන, ප්‍රේමදාස, විජේතුංග, දිසානායක, සහ වික්‍රමසිංහ යන සිංහල බෞද්ධ නායකයන් විසින් සැමවිටම උසුලා තිබෙන අතර ඔවුන් විසින් ඇතිකළ නායකත්ව ධුරාවලිය යනු කිසිසේත්ම බෞද්ධ හෝ ජාතික විරෝධී එකක් නොවුණි. නමුත් එජාපය ඓතිහාසිකව ජාතිකවාදී කඳවුරෙන් පිට පවතින සහ ඒ තුළට ජාතිකවාදී න්‍යායධරයන් විසින් කිසිසේත්ම වැද්ද නොගත් එකකි. ජාතිකවාදීන් ගේ ප්‍රමුඛතාව ශ්‍රීලනිපය වූ අතර බණ්ඩාරනායක ගේ සිංහල බෞද්ධ කැරැල්ල විසින් 1956 දී එජාපයට එල්ල කළ අභියෝගයේ මූලික තර්කයමත් එය බෞද්ධ විරෝධී බටහිරවාදී පක්ෂයකිය යන තර්කයම වීම අද සහ එදා අතර එජාපය පිලිබඳ නිර්මාණය වන මිත්‍යාමතික අනන්‍යතාවයන්ගේ පවතින සාම්‍යතාවය පැහැදිළි කර ගැනීමට උපකාරී වෙයි .

එජාපය සම්බන්ධයෙන් නැඟෙන ජාතිකවාදී විවේචනය සරළව පැහැදිළි කළ නොහැකිමුත් එහි දී ඒ තුළ අන්තර්ගතවිය හැකි මූලික ප්‍රතිවිරෝධයන් කිහිපයක් දළ වශයෙන් සටහන් කරමු. පලමුව එජාපය සම්ප්‍රධායික ප්‍රභූතන්ත්‍රය විසින් නායකත්වය සපයනු ලබන සහ ලිබරල් කොන්සර්වැටිව් ප්‍රවණතාවයන් විසින් මෙහෙයවෙන බල කේන්ද්‍රයක් වශයෙන් හඳුනා ගතහොත් එම පක්ෂය යනු දක්ෂිණාංශික ආර්ථික දර්ශනයක්, බටහිර ප්‍රමුඛ කොටගත් විදේශ ප්‍රතිපත්තියක් සහ දේශීය ධනපති සහ පහළ පංතික සහ සුළුජන කොටස්වල නියෝජනයකි. එහි භාහිර මතවාදීමය ප්‍රවේශය යටත්විජිත සහ තුෂ්ණි යුධ සමයේ දී වර්ධනය වූ ලෝක දේශපාලන බලකඳවුරු වාදයේ ප්‍රකාශනයක් වන විට අභ්‍යන්තරිකව 'ලංකා ජාතික කොන්ග්‍රසය', 'ජාතිකවාදී ව්‍යාපාරය' සහ 'කම්කරු ව්‍යාපාරයන්' ආදියෙන් බිඳී ආ නායකන් රැසකට එම පක්ෂය තුළ ස්ථාවර වීමටත් එහි නායකත්ව ධුරාවලියට ඇතුළත් වීමටත් හැකිවිය.

එජාපය ‘සංස්කෘතික ජාතිකවාදී‘ දේශපාලන ප්‍රවේශයක නොසිටීම 

නමුත් එහි ඓතිහාසික ගමන් මඟ තුළ එජාපය ශ්‍රීලනිපය පරිදි සිය දේශපාලන ප්‍රවේශය 'සංස්කෘතික ජාතිකවාදී' ප්‍රවේශයකට යටත් කළේ නැත. එසේම එය ශ්‍රීලනිපය පරිදි වාමාංශික ජනප්‍රියවාදී ප්‍රවේශයන් හරහා බලය ට පැමිණයේ ද නැත. ජාපයඒ වෙනුවට එජාපය සතුව පවතින මූලික ශක්තියක් වන්නේ සියළු ජනවර්ග සහ ආගම්වලට ඉඩසලසන ඒවායෙහි නියෝජනය හරහා ජාතික පක්ෂයක් වශයෙන් පැවතීමේ හැකියාවයි. වර්තමානයේ දී පොදුජන පෙරමුණ සිංහල වර්ගවාදී චින්තනයක් පසුබිම් කරගෙන සිය දේශපාලන මූලෝපාය නිර්මාණය කර ගන්නා විට එජාපය තවදුරටත් සර්වභෞමිකවාදයක් තුළම සිය පැවැත්ම තහවුරු කරගැනීමට වෙහෙස ගත් අයුරු පසුගිය සමය තුළ නැඟුණ ජාතිකවාදී රැල්ලට හසු නොවීමෙන් පෙනීයයි. ඉතාමත් දැඩි ලෙස අන්‍ය ජාතිකත්වයන් කෙරෙහි බිය වැපිරූ ව්‍යාපාර හරහා බලයට පැමිණීමේ මඟ සපයා ගත් පොහොට්ටුව අනුගමනය කිරීම වෙනුවට දැඩි ලෙස ජාති හා ආගම් උමතුවට එරෙහි පහර ගසන ජනප්‍රිය හා ඕලාරික ප්‍රකාශකයන් ගණනාවක්ම එජාපය සහ එහි සහයෝගීතා පෙරමුණු වලින් බිහිවිය. එසේම දැඩි ජාතිකවාදී අස්ථානයකින් දේශපාලනය ට ප්‍රවේශ වුණු හෙළ උරුම නායකයන් පවා එජාපය සමඟ සංධානගතවීමෙන් පසු සිය ජාතිකවාදයේ පැවති උච්චසීමාවන් පිලිබඳ මැදහත්භාවයන් ඇතිකර ගැනීමට තරම් මුලෝපායික වී ඇත්තේ එජාපයේ දෘෂ්ටිවාදීමය සහ ව්‍යුහාත්මක බලපෑම නිසා බව ට තර්කකල හැක. කෙසේනමුත් ජනාධිපතිවරණ ප්‍රතිඵලයෙන් පසු තත්වය වෙනස්වෙමින් පවතින අතර අදවන විට වික්‍රමසිංහ කඳවුර සිංහල බෞද්ධ කතිකාව වෙත සවිඥානක වීම අවශ්‍යය බවත් එය සිය ඉදිරි ජයග්‍රහණයට ඉතා අත්‍යවශ්‍යය බවත් පිළිගෙන තිබේ.

එජාපයේ සමහර නායකයන් දැඩිව විශ්වාස කරන මෙම ස්ථාවරය අනුව කටයුතු කිරීම යනු එක් පසෙකින් එජාපය එහි නෛසර්ගිකව පවතින නමුත් බාහිරව ප්‍රදුර්භුත නොකරන ජාතිකවාදී කටුව වෙත ඉතා දැඩිව පසු බැසීමකි. ආරම්භක යුගයේ පටන්ම එජාප නායකත්වයන් සහ ශ්‍රීලනිප නායකත්වයන් අතර ජාතිකවාදය තුළ පැවති තරඟයෙන් නිතරඟ ජයක් ජාතිකවාදී ශ්‍රීලනිපයට ලැබී තිබුණි. නමුත් 1980 දශකයේ දී විවෘත ආර්ථිකයේ මාර්ගයේ ගමන්ගැනීම ඇරඹු රාජ්‍යයක වාර්ගික ගැටුමක් ඇරඹෙන විට එහි පසුබිමේ පැවතියේ ජයවර්ධන විසින් අනුගමනය කළ සහ ඔහුවටා සිටි සමහර ජාතිකවාදී සහ වර්ගවාදී නායකන් විසින් අනුදත් එක්තරා ආකාරයක සිංහල බහුතරවාදී මානසිකත්වයයි.

උතුරේ ද්‍රවිඩයන් ගැන ජයවර්ධන අවධානය යොමුකළාද ?

එහි දී උතුරේ ද්‍රවිඩ නියෝජනය සීමාකිරීමේ අභිප්‍රායක් එකල ජයවර්ධනට තිබුණේද යන ගැටළුව අපට මතුවෙයි. කෙසේමුත් විශාල බහුතර බලයකින් ක්‍රියාත්මකවූ එජාප රජයක් යටතේ එකල වාර්ගික ආතතියක් විසින් මුළුරටම ඇවිලිණි. නමුත් එම එකද තත්වයක දී හෝ එජාපයට 'සිංහල - බෞද්ධ' ලේබලය ඇලනොවිණි. එම යුගයේ දී දේශපාලනය ක්‍රියාත්මක වූ ආකාරය අනුව වාර්ගික අනෙකා සමඟ සිදුකළ යුද්ධයම එම දේශපාලනයේ පැවැත්ම වී තිබුණි. එබැවින් ශ්‍රීලනිපය සහ එජාපය අතර යුද්ධය සඳහා ප්‍රතිපත්ති දෙකක් නොවිණ. එම පක්ෂ දෙක අතර පැවති ජාතිකවාදී ප්‍රවේශයන්ගේ මූලික බෙදුම්කඩනය සලකුණු වූයේ දේශපාලනික ප්‍රවේශයක් වූ බලය බෙදීම මත මිස බුද්ධාගමට හිමිවියයුතු තැන පිලිබඳ ගැටළුවට අනුව නොවේ. අප කැමති වුවත් අකමැතිවුවත් බුද්ධාගම ට ව්‍යවස්ථාව මඟින් උරුමව ඇති තත්වය පිළිබඳව සමාන වගකීමක් ප්‍රධාන පක්ෂ දෙකම සතුවෙයි.

අද දවසේ එජාපයට බෞද්ධ-ජාතිකවාදී කඳවුර එල්ල කරන ප්‍රහාරයන්ගේ සැබෑ පසුබිම පැවතිය යුත්තේ සංඝයාට අපහාස කිරීම හෝ ඔවුන්ගේ මතයට කන්දීම හෝ නොදීම යන කරුණු මත නොවෙයි. එය මතුවීමේ සැබෑ තත්වය ඇත්තේ නැවතත් ව්‍යවස්ථාමය ප්‍රතිසංස්කරණ පිලිබඳ යහපාලන සමයේදී එම පක්ෂය දැරූ විවෘතභාවය තුළය. එහිදී නව ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් ඇතිවූ මහජන විවාදයේ දී රාජ්‍යයේ ආගම හා එහි ස්වභාවය 'ඒකීය' හෝ 'ඔරුමිත්ත නාඩු' වීම ආදී කරුණු අරභයා ජනතාවගෙන් කරුණු විමසූ කොමිසම ඉදිරපත්කල වාර්තාව එජාපයේ මතවාදය වශයෙන් විකෘති කොට දැක්වීම එජාපයට විශාල බලපෑමක් ඇතිකළේය. යහපාලන ය තුළ සිදුවූ ප්‍රජාතාන්ත්‍රික පුනරුදය හා එහි ව්‍යවස්ථාමය නිරුපණය වූ 19 වන සංශෝධනය යනු ඉතා පළල් ආකාරයකින් සිංහල ස්වොත්තමවාදීන් විසින් හඳුනා ගන්නේ බෞද්ධ-ජාතිකවාදයට එල්ලවූ පහරක් වශයෙනි. මෙය අතිශය ව්‍යාජ මතවාදයකි.

එජාපය කෘතිම ආකාරයේ සිංහල බෞද්ධ මඟක ගැනීම අවශ්‍ය නොවේ 

කෙසේ නමුත් රාජ්‍යය හා එහි සදාකාලික ස්වරූපය පිළිබඳව ගොඩනැඟී ඇති පශ්චාත් නිදහස් යුගයේ කතිකාව තුළ පවතින අනම්‍ය සිංහල ජාතිකවාදී අස්ථානය එජාපයේ පාලනයක් තුළ දෙමළාට හෝ මුසල්මානුවාට වසියක්වන ආකාරයෙන් වෙනස්වෙය යන බියක් ජාතිකවාදීන් තුළ පවතී. ජයවර්ධනගේ පාලනය තුළ රාජ්‍යයේ බලය බෙදී යන ව්‍යුහයක් භාහිර බලපෑමෙන් ස්ථාපිතවුවත් රාජ්‍යයේ ආගම සහ ඒකීය භාවය තවදුරටත් බෞද්ධ-ජාතික අභිලාෂයනට අනුව පවතින බවට උපකල්පනයක් වෙයි.

නමුත් පොහොට්ටුව හා ජාතිකවාදී බල සංධානය විසින් පසුගිය සමයේ දී එජාපය දේශපාලනිකව පරාජය කිරීමට එම පක්ෂය වික්‍රමසිංහ යටතේ ආණ්ඩු බලය සහ රාජ්‍යය බලය නැවත සාකච්චා කිරීමට දැක්වූ විවෘතභාවය මුලිකව හේතුව විණි . නමුත් ජාතික පක්ෂයක් වශයෙන් පැවතෙමින් එජාපය දිගින්දිගටම සිංහල -බෞද්ධ ජාතිකවාදයේ අප්‍රකාශිත ආරක්ෂකයෙක් වශයෙන් පෙනී සිටීම පොදු ජන විඥානයක් බවට පත්කිරීමට වික්‍රමසිංහට නොහැකි විණි . සජිත්, කරු, හා චම්පික වැනි නායකයන්ට පොහොට්ටු නායකයන්ට වඩා සාමුහිකව ජාතිකවාදී සහ සර්වදේශීයවාදී නායකත්වයක් එකවර ප්‍රවර්ධනය කිරීමේ ශක්තිය තිබේ. ඔවුන් අතර වන බලය පිලිබඳ කඩිනම් අපේක්ෂාවන් යම් තරමකට මර්දනය කරගෙන ඉදිරියට යාමට ඔවුන් උගත යුතුය.

මේ මොහොතේ එජාපය කෘතීම ආකාරයෙන් සිංහල බෞද්ධ මඟට ගැනීමක් අවශ්‍යය නොවෙයි. ඒ වෙනුවට ඉතා ජනප්‍රිය ජනතාවාදී වැඩපිළිවෙලක් ඇති කරගෙන පොදු විපක්ෂයකට නායකත්වය සැපයීමේ අභියෝගය එජාපයට පවතී. බෞද්ධ රාජ්‍යය -ජාතිකවාදීන් දක්වන ආකාරයේ පටු මතවාදයකට ජාතික පක්ෂයක් හිරකල යුතු නැත. නමුත් සිංහල බෞද්ධ චන්ද කොට්ටාශය සහ අනෙකුත් සුළුජන පිරිස් ආකර්ෂණය කරගත හැකි ජනතාවාදයක් පිළිබඳව සාකච්චාව වහ ඇරඹිය යුතුව තිබේ. එම සකච්චාව සිදුවන් විට එජාපයේ ප්‍රභූවාදය, ජාතිකවාදය, සහ සමාජවාදය නැතිනම් සුබසාදන වාදයට නැඹුරු පිරිස් අතර සුමට එකඟතාවයන් ඇතිවීම අවශ්‍යය වෙයි. ජාතිකවාදී ව්‍යාජත්වය වෙනුවට ජනප්‍රියවාදී ජනතාවාදය බලය සඳහා සාධාරණ මාවතක දිශාව පෙන්වයි.

0 comments: