Hot!

ඉතිහාසයේ ප්‍රහේලිකා තේරුම් ගැනීම



 - වික්ටර් අයිවන් - 



මෙරට ඉතිහාසය දෙස නැවත හැරී බැලීම 

ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය හා ලංකාවේ පරණ ඉතිහාසය අතර බලවත් සම්බන්ධයක් පවතී. වර්තමාන ලාංකිකයන් හිතන මතන විදිය කෙරෙහි රටේ සැබෑ ඉතිහාසයට වඩා ඉතිහාසයට ලබාදී තිබෙන විවිධ අර්ථකථන බලපා තිබේ. එම කාරණයද සැලකිල්ලට ගනිමින් ලංකාවේ ඉතිහාසය දෙස විවේචනාත්මකව හා විචාරාත්මකව ආපසු හැරී බැලීමක් කරන්නට මට අවශ්‍ය වූ අතර ඒ සඳහා දරන ලද දුෂ්කර උත්සාහය කෙළවර වූයේ මා අතින් ‘ශ්‍රී ලංකාව : ඉතිහාසයේ සභ්‍යත්වය’ යන හිසින් ලියන ලද පොතක්ද බිහිවීමෙනි.

එය ලංකාව ජනාවාස වූ මුල් අදියරයේ සිට බ්‍රිතාන්‍ය පාලනය අවසානය දක්වා වන දීර්ඝ කාලපරිච්ඡේදය අළලා කෙරුණු අධ්‍යයනයක් ලෙස සැලකිය හැකිය. එය ක්‍රමානුකූලව සිද්ධීන් පෙළගස්වා ලියන ලද්දක් නොව, ඉතිහාසයේ එන ප්‍රහේලිකා සැලකිල්ලට ගෙන එම ප්‍රහේලිකා විසඳා ගැනීමට දරන ලද උත්සාහයක් ලෙස සැලකිය හැකිය.

බොහෝ ප්‍රහේලිකා සම්බන්ධයෙන් මා ඉදිරිපත් කර තිබෙන නිරීක්ෂණ ජනප්‍රිය විශ්වාසයන්ට පටහැනිය. වංශකතාවලින් පළවී තිබෙන අදහස්වලට හා නිල ඉතිහාස පොත්වලින් පළවී තිබෙන අදහස්වලට වෙනස්ය. එහි එන මාගේ නිරීක්ෂණ ලංකාව වර්තමානයේ මුහුණ දී තිබෙන සංකීර්ණ අර්බුදය තේරුම් ගැනීම සඳහා ප්‍රයෝජනවත් වනු ඇතැයි මම විශ්වාස කරමි. මා එහිදී ලංකා ඉතිහාසය පූර්ව නූතන හා නූතන වශයෙන් අදියර දෙකකට බෙදා තිබෙන අතර පූර්ව නූතන යුගයට අයත් වන්නේ ලංකාවේ ජනාවාස ඇතිවීමේ ආරම්භයේ සිට බ්‍රිතාන්‍යය ලංකාව පූර්ණ යටත්විජිතයක් කරගැනීම දක්වා වන වැඩවසම් කාලයයි. නූතන යුගය ලෙස දක්වා තිබෙන්නේ ලංකාව බ්‍රිතාන්‍යය  යටත්විජිතයක් වීමෙන් පසු කාලයයි.

ජනවර්ග ඇතිවීම

තිබෙන ඓතිහාසික සාක්ෂි තර්කානුකූලව පෙළගැස් වූ විට පෙනී යනුයේ සිංහල වර්ගයාගේ ආදිතමයා ලෙස සැලකෙන විජය ප්‍රමුඛ ඔහුගේ පිරිස අහම්බෙන් මෙම දිවයිනට පැමිණ මෙම දිවයිනේ ආධිපත්‍යය හිමිකර ගන්නා අවස්ථාව වන විටත් මේ දිවයින කිසියම් ප්‍රමාණයකට ජනාවාස වී තිබී ඇති බවත්, එම ජනයා කිසියම් ප්‍රමාණයක දියුණු සභ්‍යත්වයකට හිමිකම් කී බවත්, පුරාවිද්‍යා පරීක්ෂණවලින් තහවුරු වී තිබේ. ශිරාන් දැරණියගල අනුරාධපුරයේ ඇතුළු නුවර කරවන ලද කැණීම්වලින් සොයා ගන්නා ලද කරුණු අනුව විජය කතා පුවතෙහි පිළිබිඹු වන කාලයට ශත වර්ෂ දෙකකට පමණ පෙර එනම් ක්‍රි.පූ. අටවන ශතවර්ෂයේදී පමණ වළං භාවිත කළ, වී වැනි ධාන්‍ය වගා කළ එක්තරා ප්‍රමාණයකට ශිෂ්ට වූ පිරිසක් මේ දිවයිනේ ජීවත් වී ඇති බව සනාථ වී තිබේ. සමහරවිට මහා වංශයේ සඳහන් යක්ෂ, නාග හා දේව යන ජන කණ්ඩායම් ඒ කාලයේ ලංකාවේ ජීවත් වූ ගෝත්‍රික ජන කණ්ඩායම් විය හැකිය.

විජය සහ පිරිස උතුරු ඉන්දියාවෙන් ලංකාවට එනවිට මෙහි සිටි අනෙක් ජන කණ්ඩායම් මෙහි එන්නට ඇත්තේ දකුණු ඉන්දියාවෙනි. අපට යකඩ තාක්ෂණය ලැබී තිබුණේ ඉන්දියාවෙනි. යකඩ තාක්ෂණය ලැබෙන්නට ඇත්තේ දකුණු ඉන්දියාවෙන් ලංකාවට පැමිණි ආදි මිනිසුන්ගෙනි. අනුරාධපුර කර තිබෙන කැණීම් අනුව මුල් යකඩ භාවිත කළ සංස්කෘතියේ ආරම්භය ක්‍රි.පූ. 950-800ත් අතර වන බව විකිරණ මාන දින නියම කිරීම් මගින් තහවුරු වී තිබේ.

ලංකාව ඉන්දියා අර්ධද්වීපයේ දකුණු කෙළවරින් වෙන්වී ඇත්තේ මන්නාරම් බොක්කෙන් හා පෝක් සමුද්‍ර සන්ධියෙනි. දෙරට අතර පරතරය සැතපුම් 20කි. එහි රාම සේතුව හෙවත් ආදම්ගේ පාලම ලෙස සැලකෙන මුහුද මාර්ගය හරහා ඇති ගල් මාර්ගය ස්වභාවිකව ඇති වූවක් නොව ඉන්දියාවේ මිනිසුන් විසින් තනන්නට ඇති මාර්ගයක් බව ඇමරිකාවේ නාසා ආයතනයේ මතය වී තිබේ. ඒ කාලයේදී මුහුදු මට්ටම පහළ මට්ටමක තිබෙන්නට ඇති අතර දකුණු ඉන්දියාවෙන් ලංකාවට සංක්‍රමණය වන්නන්ට මුහුද හරහා පයින් ඇවිද ගෙන ඒමට පුළුවන්කම තිබෙන්නට ඇත.

මේ නිසා යක්ෂ නාග හා දේව ගෝත්‍රිකයන් දකුණු ඉන්දියාවෙන් පැමිණි අය ලෙස සැලකිය හැකිය. උතුරු ඉන්දියාවෙන් විජය සමග පැමිණි පිරිසේ සංඛ්‍යාව මෙහි විසූ ආදිවාසීන්ගේ සංඛ්‍යාවට වඩා කුඩා වන්නට ඇතත්, ඔවුන්ට තිබූ සාමූහික බලය නිසා ලංකාවට පැමිණීමෙන් පසු ලංකාවේ සිටි ගෝත්‍රිකයන් අතුරින් ඔවුන් ප්‍රමුඛ ගෝත්‍රය බවට පත්වන්නට ඇත. ක්‍රමයෙන් එම ප්‍රමුඛ ගෝත්‍රය මුල් කොටගෙන ගෝත්‍ර එකතුවීම තුළ සිංහල ජනවර්ගය හැදෙන්නට ඇත.

ආගම් ඇතිවීම

පූර්ව රාජ්‍ය අවධියේ ගෝත්‍රවලට නායකයන් සිටින්නට ඇතත්, ඒ සියලුදෙනාගේ පිළිගැනීමට හේතුවූ ජාතික නායකයකු සිටින්නට නැත. එකල දිවයිනේ මිනිසුන්ට ඇදහිලි මිස ආගමක් තිබුණේ නැත. බුද්ධාගම එම අඩුපාඩු දෙකම සැපුරුවේ යැයි කිව හැකිය. ආගමක් නැතිකම නිසා ජනතාවගේ සිත් තුළ හිස් බවක් තිබුණේ නම් බුද්ධාගම විසින් ඒ හිස් බව නැති කළේ යැයි කිව හැකිය. ඒ සමග ඒ නිසා ගෝත්‍රික නායකයන් මිස, ජාතික නායකයකු නොසිටි රටට බුද්ධාගම නිසා රජෙකු ලැබුණේය. බුද්ධාගම රජුගේ හා රජ පවුලේ ආගම වීම නිසාත්, එය බුද්ධි ගෝචර ආගමක් වීම නිසාත්, වැදි ජනයා හැර රටේ සියලුදෙනා ඒ ආගම වැලඳ ගත්තේය. බුද්ධාගම ඒ සමග සිංහල වර්ගය, ගොඩ නගන හා සියලු ගෝත්‍රිකයන් එක වර්ගයක් බවට පත් කරන ආගම ලෙසද ක්‍රියාකරන්නට ඇත. ඒ සමග ලංකාව විශාල ප්‍රමාණයකට එක ආගමක් අදහන එක ජන වර්ගයක් සහිත රටක් බවට පත්වන්නට ඇත. ලංකාවට දකුණු ඉන්දියාවෙන් ඇදී එන සංක්‍රමණිකයන්ද බුද්ධාගම වැලඳගෙන බෞද්ධ සිංහලයන් බවට පත්වන්නට ඇත. රටේ රජවරුන්ද ඒක ආගමික ඒක වාර්ගික රජවරුන් වන්නට ඇත.

විවිධ හේතු නිසා ලංකාවට දකුණු ඉන්දියාවෙන් ගලා එන සංක්‍රමණිකයන්ගේ සංඛ්‍යාව විශාල වීම නිසාත්, එම සංක්‍රමණිකයන් තමන් ඇදහූ හින්දු ආගම අත්හැර බුද්ධාගම වැලඳ නොගැනීම නිසාත් එතෙක් පවත්වාගෙන ආ පිළිවෙළේ බිඳ වැටීමක් ඇතිවී බුද්ධාගම අදහන සිංහල භාෂාව කතා කරන ජන වර්ගයට අතිරේකව හින්දු ආගම අදහන දෙමළ භාෂාව කතා කරන ජනවර්ගයක්ද ඇතිවන්නට ඇත. එම වෙනස ඇතිවූ මුල් අවධියේදී එය රජවරුන්ට සේ ම භික්ෂූන් වහන්සේලාටද ප්‍රශ්නයක් වන්නට ඇත. එම ප්‍රශ්නය කරළියට එන්නට ඇත්තේ බෞද්ධයකු නොවූ සිංහලයකු නොවූ එළාර රජවී ඔහු දීර්ඝ කාලයක් රට පාලනය කරන රජෙකු බවට පත්වීමත් සමග විය යුතුය.

මෙම තත්ත්වය ඇතිවූයේ දේවානම්පියතිස්ස රජුගේ ඇවෑමෙන් බොහෝ කලක් යන්නට පෙරය. ඒ නිසා පැරණි රජ පවුලට දිවයිනේ උතුරු භාගයේ අයිතිය අහිමි වී රජකමේ ප්‍රමුඛත්වයද අහිමි කිරීමටද හේතුවී තිබුණි. පරණ රජ පවුලට තිබූ කනස්සල්ලට සමාන කනස්සල්ලක් භික්ෂූන් වහන්සේලාටද තිබුණු බව පෙනේ. එළාර බෞද්ධ විරෝධියකු නොවූවද භික්ෂූන් වහන්සේලාට සිංහල බෞද්ධ රජවරුන්ගෙන් ලැබුණු අනුග්‍රහයේ හා පිළිගැනීමේ තරමට සමාන අනුග්‍රහයක් හා එළාරගෙන් භික්ෂූන් වහන්සේලාට නොලැබෙන්නට ඇත. එළාර කොතරම් හොඳ යුක්තිසහගත රජකු වුවද ඒ හේතු නිසා ඔහුගේ පැවැත්ම භික්ෂූන් වහන්සේලාටද ප්‍රශ්නයක් වන්නට ඇත. මහාවංශය එළාර හඳුන්වා දී තිබෙන්නේ ස්වාභාවික පුත්‍ර සෙනෙහසටත් වඩා බලවත් යුක්තිසහගත භාවයක් පෙන්නුම් කළ රජකු වශයෙනි. එවැනි රජකු පරාජය කරන්නට නම් ඔහුට එරෙහිව කරන යුද්ධය බුද්ධාගමේ සුබ සිද්ධිය සඳහා කෙරෙන යුද්ධයක් බව මහජනයාට පෙනෙන්නට සැලැස්විය යුතු බව මේ දෙපක්ෂයටම පෙනෙන්නට ඇති අතර එම තුරුම්පුව පාවිච්චි කරමින් යුද්ධය ජයගන්නටද එම දෙපක්ෂය සමත් විය.

1 වන විජයබාහු හා 2 වන පරාක්‍රමබාහු

එහෙත් දුටුගැමුණුගෙන් පසු බලයේ සිටින විදේශ ආක්‍රමණිකයකුට එරෙහිව රජවරුන් කරන යුද්ධවලදී දුටුගැමුණු මෙන් වෙනත් රජවරුන් ආගම ආයුධයක් කරගත්තේ නැත. ඊට හේතුව සමාජය ද්වි ආගමික හා ද්වි වාර්ගික වීමක් සමග රජවරුන්ද ද්වි ආගමික හා ද්වි වාර්ගික රජවරුන් බවට පත්ව සිටීමය.

දුටුගැමුණුගෙන් පසු බලයේ සිටි බලවත් විදේශ ආක්‍රමණිකයෙකුට එරෙහිව සටන් කොට ජයගෙන රට එක්සේසත් කළ ඊළඟ රජු ලෙස සැලකිය හැක්කේ 1 වන විජයබාහු (1055-1100) රජුය. එම රජුට සටන් කරන්නට සිදුවූයේ එළාර වැනි රජකු සමග නොව එක දිගට අවුරුදු 77ක් තරම් කාලයක් බලයේ සිටි බෞද්ධ වෙහෙර විහාරවලට බලවත් හානි සිදු කළ බලවත් චෝල පාලකයකුට එරෙහිවය. එහෙත් විජබාහු රජු එම යුද්ධය ආගමික යුද්ධයක් බවට පත්කර ගත්තේ නැත. 1 වන විජයබාහු රජුගෙන් පසුව රටේ බලය අල්ලාගෙන සිටි බලවත් විදේශික ආක්‍රමණිකයෙකුට එරෙහිව යුද්ධ කොට ජයගෙන රට එක්සේසත් කළ අවසාන රජු ලෙස සැලකිය හැක්කේ දෙවන පරාක්‍රමබාහු (1236-1278) රජුය. එම රජුට සටන් කරන්නට සිදුවූයේ ලංකාව ආක්‍රමණය කළ සියලුම ආක්‍රමණිකයන් අතරින් බිහිසුණුම හා බෞද්ධ විරෝධී ආක්‍රමණිකයා ලෙස සැලකිය හැකි කාලිංග මාඝ සමගය. ඔහුද කාලිංග මාඝට එරෙහිව කරන යුද්ධය ආගමික යුද්ධයක් බවට පත්කර ගත්තේ නැත. මෙම රජවරුන් දෙදෙනා සේ ම විදේශ ආක්‍රමණිකයන්ට එරෙහිව කරන යුද්ධයක් නැතිව රට එක්සේසත් කළ ඉතිරි රජවරුන් දෙදෙනා වන 1 වන පරාක්‍රමබාහු (1153-1186) හා හයවන පරාක්‍රමබාහු (1415-1467) රජු යන රජවරුන් හතරදෙනාම බුද්ධාගමේ උන්නතිය පිණිස වෙහෙර විහාර ඉදිකර දෙන විට හින්දු ආගමේ උන්නතිය වෙනුවෙන්ද දේවාල ඉදිකර දුන්නෝය. බෞද්ධ විහාරවල පැවැත්මට ගම් බිම් පූජා කර දෙන විට හින්දු දේවාලවල පැවැත්මටද ගම්බිම් පූජා කර දුන්නෝය. කලාතුරකින් ව්‍යතිරේකයක් තිබිය හැකි වුවත් දුටුගැමුණුගෙන් පසු ලංකාවේ රජවරුන් සැලකිය හැක්කේ අඩු වැඩි ප්‍රමාණයකට ආගම් දෙකක් ඇදහූ රජවරුන් වශයෙනි. ප්‍රධාන ධාරාව එය විය.

රජවරුන් පවත්වාගෙන ගිය මෙම ද්වි ආගමික ප්‍රතිපත්තියට අනුකූලව ආගමික සිද්ධස්ථානවල ස්වරූපයද වෙනස් විය. බැතිමතුන් වන්දනාමාන කරන විදියද ඊට ගැළපෙන ලෙස වෙනස් විය. බෞද්ධ විහාර භූමි තුළම ශිව හා විෂ්ණු වැනි ප්‍රධාන හින්දු දෙවිවරුන්ද පරිවාර හින්දු දෙවිවරුන්ද වන්දනාමාන කිරීම සඳහා දේවාල ඉදි කරනු ලැබූහ. සිංහල බෞද්ධයෝ තෙරුවන් නමදින අතර හින්දු දෙවිවරුන්ගෙන්ද ආශිර්වාදය පැතූහ. බෞද්ධ භික්ෂූන් වහන්සේලාද දේවාලයට ගොස් රජුට පිරිත් කී පරිද්දෙන්ම පිරිත් කියා ඒ දෙවිවරුන්ට දිව්‍යානුභාවයෙන් වැජඹෙත්වා කියා ප්‍රාර්ථනා කළහ.

දකුණු ඉන්දීය ආක්‍රමණ

ලංකාව දකුණු ඉන්දියාවෙන් සැතපුම් 20ක පමණ පටු මුහුදු තීරයකින් වෙන්ව තිබුණු දිවයිනක් වීම නිසා දකුණු ඉන්දියාවේ කිසියම් රාජ්‍යයක් බලවත් වී එහි තිබෙන වෙනත් රාජ්‍යයක් අල්ලා ගනිමින් බලවත් වූ විට රීතියක් ලෙස එම දකුණු ඉන්දියානු බලවතා ලංකාවද ආක්‍රමණය කළේය. ඒ යුගයේ රාජ්‍යයන් අල්ලා ගැනීම සැලකුණේ නොහොබිනා දෙයක් ලෙස නොව එම රාජ්‍යයේ කීර්තියට හේතුවන දෙයක් ලෙසය. ලංකාව පුංචි රටක් වුවද ලංකාවද තමන්ට වාසිදායක වටාපිටාවක් තිබුණු අවස්ථාවලදී දකුණු ඉන්දියාවෙන් තෝරා ගත් රාජ්‍යයක් ආක්‍රමණය කරන්නට මැලිවූයේ නැත. දෙවැනි සේන (853-887) පළමුවන පරාක්‍රමබාහු (1153-1186) හා නිශ්ශංකමල්ල (1187-1196) යන රජවරුද එසේ කළෝය.

දකුණු ඉන්දියානු ආක්‍රමණිකයන් බෞද්ධ වෙහෙර විහාර කොල්ලකෑ අවස්ථා කොතෙක් තිබුණද ඔවුන් එසේ කරන ලද බව පෙනෙන්නේ බෞද්ධ විරෝධීභාවය නිසා නොව ධනවත් පන්සල්වල තිබුණු ධනය හිමිකර ගැනීම සඳහාය. භාණ්ඩාගාරය හිස්වූ විට ධනවත් පන්සල්වල තිබූ ධනය කොල්ලකෑ සිංහල බෞද්ධ රජවරුද සිටියෝය. 1 වැනි දඨෝපතිස්ස (639-650) 2 වැනි කස්සප (650-659) හා 1 වන වික්‍රමබාහු (1111-1132) ඒ සඳහා දැක්විය හැකි නිදර්ශනයන්ය.

දකුණු ඉන්දියාව හා ලංකාවේ බෞද්ධ සම්බන්ධය

දකුණු ඉන්දියාවෙන් එල්ල වන ආක්‍රමණ හා ඒවාට එරෙහිව කරන යුද්ධ ව්‍යාපාර තිබියදී දකුණු ඉන්දියාව හා ලංකාව අතර ඉතා බලවත් බෞද්ධ සම්බන්ධයක්ද තිබුණි. වට්ටගාමිණී රජුගේ (ක්‍රි.පූ. - 77) කාලයේදී ඇතිවූ බලවත් දුර්භික්ෂයේදී ලංකාවේ භික්ෂූන් වහන්සේලා රැකවරණය පතා ගියේ දකුණු ඉන්දියාවටය. කාලිංග මාඝ භීෂණ කාලයේදී සමහර භික්ෂූන් වහන්සේලා රුහුණු රටට හා මායා රටට පලා යන විට ප්‍රමුඛ තත්ත්වයෙහිලා සැලකිය හැකි භික්ෂූන් වහන්සේලා පලා ගියේ දකුණු ඉන්දියාවටය.

ලංකාවේදී අටුවා පොත් ලියූවෝ බුද්ධඝෝෂ, බුද්ධත්ත හා ධම්මපාල යන කීර්තිමත් අටුවා ඇදුරන් වහන්සේලා තුන්දෙනාම දකුණු ඉන්දියානුවන් වූහ. ශාසන සෝධක වැඩසටහන්වලදී ඒවාට නායකත්වය දෙන්නට සුදුසු සිල්වත් හා ධර්මධර භික්ෂූන් වහන්සේලා ලංකාවේ නැතිවිට රජවරුන් ඒ සඳහා අවශ්‍ය සිල්වත් හා ධර්මධර භික්ෂූන් වහන්සේලා ගෙන්වා ගත්තේද දකුණු ඉන්දියාවෙනි. 2 වැනි පරාක්‍රමබාහු රජු චෝල දේශයට තෑගි බෝග යවා ‘සීල තේජසින් බැබලුනු’ ධර්මකීර්ති මහා තෙරණුවන් ලංකාවට ගෙන්වා ගත් බව චූලවංශයේ සඳහන් වේ. හතරවැනි පරාක්‍රමබාහු රජුද චෝල මහා තෙර නමක් ගෙන්වා ගෙන රාජගුරු පදවියට පත් කරන ලද බවද එහි සඳහන් වේ.

ඉන්ද පෙනෙන්නේ දකුණු ඉන්දියාවෙන් එල්ල වූ ආක්‍රමණ ලංකාවේ පැවති බෞද්ධ හින්දු හෝ සිංහල දෙමළ සංහිඳියාව අවුල් කිරීමට හෝ වර්ග භේදවාදී තත්ත්වයන් රටේ ඇති කිරීමට හේතු නොවූ බවය. වර්ග භේද, ආගම් භේද නූතන යුගයේදී ඇති වූවකි. පූර්ව නූතන යුගයේදී තිබූ දෙයක් නොවීය. එහෙත් ඒ කාලයේදී කුලභේදයක් තිබුණි. පූර්ව නූතන යුගයේදී වංශකතා තිබුණා වුවත් ඒවා සිංහලට පරිවර්තනය වී මුද්‍රණ පොත් ලෙස මහජනයා අතට පත්වූයේ නූතන යුගයේදීය.

අතීත ශ්‍රී විභූතිය

සිංහල රාජධානිය රජරට වියළි කලාපයේ පැවති යුගය (දහතුන් වැනි සියවසේ මුල් කාලය දක්වා) සිංහල ශිෂ්ටාචාරයේ ස්වර්ණමය යුගය ලෙස සැලකිය හැකිය. අනුරාධපුරය, සීගිරිය හා පොළොන්නරුව යන නගර තුන බිහිවූයේ ඒ කාලයේදීය. රුවන්වැලිසෑය, අභයගිරිය, ජේතවනාරාමය, රන්කොත් විහාරය වැනි මහා ස්ථූපද, සමාධි පිළිමය, අවුකන පිළිමය, ගල්විහාරයේ ඇති පිළිම වැනි ගලින් නෙළන ලද මහා බුදු පිළිම තනන ලද්දේද ඒ කාලයේදීය. ඉංජිනේරු ශිල්පය අර්ථයෙන් පමණක් නොව, කලාත්මක අර්ථයෙන් ඉතාමත් සුවිශේෂ නිර්මාණයක් ලෙස සැලකිය හැකි සීගිරිය ගොඩ නගන ලද්දේද, කලාවැව, මින්නේරිය, පරාක්‍රම සමුද්‍රය වැනි මහා වැව් තනන ලද්දේද ඒ කාලයේදීය. ඒ කාලයේ ලංකාවේ දියුණු ශිෂ්ටාචාරයක් තිබී ඇති බවට සැකයක් තිබිය නොහැකිය. ඒ ගැන ආඩම්බරයක් ඇති කරගැනීමේද වරදක් නැත. එහෙත් එම ශිෂ්ටාචාරය ගැන අපට තිබිය යුත්තේ යථා තක්සේරුවක් මිස අධි තක්සේරුවක් නොවේ. එහෙත් එම උරුමය ගැන ලාංකිකයන්ට තිබෙන්නේ යථා තක්සේරුවක් නොව අධි තක්සේරුවකි. ඊට හේතුවී ඇත්තේ අනගාරික ධර්මපාල වැනි නායකයන් ඒ ගැන සමාජ ගත කර තිබෙන වැරදි අර්ථකථනයන්ය. ධර්මපාල ලංකාවේ ශිෂ්ටාචාරය හඳුන්වා තිබෙන්නේ පැරණි ලෝක ශිෂ්ටාචාරයක් අතර තිබුණු උතුම්ම ශිෂ්ටාචාරය වශයෙනි. ලංකාවේ ඉතිහාසඥයන් අතින්ද ඒ වරද නිවැරදි කිරීමක් සිදුවී නැත.

දියුණුම ඉපැරණි ශිෂ්ටාචාර 10 ලෙස හඳුනාගෙන තිබෙන ලැයිස්තුවට ලංකාව ඇතුළත් වන්නේ නැත. ඊට හේතුව ලංකාවේ ශිෂ්ටාචාරය ඉක්මවා ගිය දියුණුවක් එම ශිෂ්ටාචාරවලට තිබුණ නිසාය. ඒ හැම ශිෂ්ටාචාරයක්ම ලෝකයට නව දැනුම ලබාදෙන වැදගත් උල්පතක් ලෙස ක්‍රියා කර ඇතත්, ඒ අර්ථයෙන් ලංකාව ලෝකයට නව දැනුම ලබාදෙන උල්පත් ලෙස ක්‍රියාකර නැත. පූර්ව නූතන කාලය තුළ ලංකාවේ පොත් සැලකිය යුතු සංඛ්‍යාවක් ලියැවී ඇතත්, ව්‍යාකරණ පොත් හැරුණු විට අනෙක් සියලු පොත් සැලකිය හැක්කේ බුද්ධාගම ගැන ලියැවුණු පොත් වශයෙනි. ලෞකික දැනුම් ගණයෙහිලා සැලකිය හැකි ගණිතය, දර්ශනවාදය වැනි විෂයයන් ගැන තබා ජීවිතයේ පරමාර්ථ හා ලෝක ස්වභාවය ගැන එකම පොතක්වත් ලියැවී නැත. බුදුන් වහන්සේ ගැන හැර ඒ ශත වර්ෂයේ ජීවත් වූ සොක්‍රටීස්, ප්ලේටෝ, යුක්ලීඞ්, ආකිමිඩීස්, ඇරිස්ටෝටල් වැනි මහා ප්‍රාඥයන් කිසිවකු ගැනද ලංකාව දැන සිටියේ නැත. ඒවා ලංකාවේ ඓතිහාසික චින්තනයට ආවේණික බරපතළ සීමාසහිතකම් ලෙස සැලකිය හැකිය.

ඉතිහාසකරණය හා සංඝයා

එවැනි සීමාසහිතකම් තිබියදීත් චීනය හැරුණු විට අනෙකුත් ආසියානු රටවල් අතුරින් දීර්ඝ හා අඛණ්ඩ ලිඛිත ඉතිහාසයක් ඇති එකම රට ලංකාවය. ලංකාවේ ඉතිහාසය ගැන ලියවී තිබෙන ප්‍රධාන වංශකතාව ලෙස සැලකිය හැකි මහාවංශයේ එන දේවානම්පියතිස්ස රජු (ක්‍රි.පූ. 250-210) දක්වා වන තොරතුරු පිළිගත හැකි තත්ත්වයක නොපවත්නා වුවද එතැන් සිට ඇති තොරතුරු බොහෝ ප්‍රමාණයක් පිළිගත හැකි තත්ත්වයක පවතී. එම වංශකථාව මහා විහාරයේ ඉතිහාසය ගැන ලියන ලද ආගමික පොතක් වුවද එය සැලකෙන්නේ ලංකාවේ ඉතිහාසය ගැන ලියන ලද ප්‍රධාන පොත ලෙසය. ඒ ආකාරයෙන් හෝ ලංකාවේ අඛණ්ඩ ඉතිහාසය ලේඛනගත කිරීමේ ගෞරවය මහා විහාරයේ භික්ෂූන්ට හිමිවිය යුතුය.

පූර්ව නූතන යුගයේදී භික්ෂූන් බලයෙන් දෙවැනි වූයේ රජවරුන්ට පමණක් වුවද දුටුගැමුණු රජුගෙන් පසු කාලයේ රජවරුන් එක්තරා ප්‍රමාණයකට මිස මුළුමනින් මෙහෙයවීමේ බලයක් භික්ෂූන් වහන්සේලාට නොතිබුණෝය. භික්ෂූන් තමන්ට තිබෙන බලය සමහර අවස්ථාවලදී අනිසි ලෙස පාවිච්චි කිරීම හා බොහෝ රජවරුන් බෞද්ධයන් ලෙස පෙනී සිටියද බුද්ධාගමට අතිරේකව කිසියම් ප්‍රමාණයකට හින්දු ආගම ඇදහීමද ඊට හේතුවන්නට ඇත. රජවරුන් බෞද්ධ සිංහල ජනතාවගේ පක්ෂපාතීත්වය හිමිකර ගත්තේ භික්ෂූන් හරහාය. ඒ වෙනුවෙන් රජවරුන් භික්ෂූන්ට උපරිම මට්ටමකින් අනුග්‍රහය දක්වන පිළිවෙතක් අනුගමනය කළ ද දුටුගැමුණු කාලයෙන් පසුව තීන්දු ගැනීමේ ක්‍රියාවලියේදී රජවරුන් භික්ෂූන් මත යැපෙන තත්ත්වයකින් ක්‍රියාකර නැති බව පැහැදිලිව පෙනේ.

භික්ෂු ශාසනය ධාර්මික හා විනයගරුක තත්ත්වයක තබා ගැනීමේ වගකීම පැවරී තිබුණේද රජවරුන්ටය. එය රජවරුන්ට රට පාලනය කරනාවටත් වඩා දුෂ්කර කාරියක් වූ බවද පෙනෙන්නට තිබේ. පිළිකුල්සහගත චර්යා ධර්ම ඇති භික්ෂු වේෂයෙන් පෙනී සිටින දුගඳ හමන මළකුණු බඳු වූ දුශ්ශීල ශ්‍රමණයන් ගැන ‘දීපවංසයේ’ සඳහන් වේ. මේ තත්ත්වයට හේතු වූ බව පෙනෙන්නේ මහණකම තෝරා ගත් අය අතුරින් කිසියම් විශාල පිරිසක් ධාර්මික හේතු මත නොව ආර්ථික හේතු මත එසේ කිරීමය.

භික්ෂූන්ට දඬුවම් පැමිණවීම

මුල් කාලයේ මහණකම තෝරා ගත්තවුන්ට ගිහි ජීවිතයක් ගත කළ වුන්ට වඩා දුෂ්කර ජීවිතයක් ගත කරන්නට සිදුවිය. භික්ෂූන් ජීවත් වූයේ ගල්ලෙන්වල සකසා ගත් අවාසවලය. ආහාර සොයා ගත්තේ පිණ්ඩපාතේ යාමෙනි. කල්යාමේදී රජවරුන් විහාරවලට ඒවාහි පැවැත්ම සඳහා මහා පරිමාණයෙන් දේපළ පූජා කළෝය. ඒ නිසා පන්සල දේපළ හිමි ආයතන ක්‍රමයක් බවට පත්විය. ඒ සමග භික්ෂූන් ගිහියන් මත යැපෙන තත්ත්වයෙන් අත්මිදී ගිහියන් විහාර මත යැපෙන තත්ත්වයක් ඇතිවිය. ඒ සමග මහණකම දුෂ්කර ජීවිතයක් ගත කරනවාට වඩා සැපවත් ජීවිතයක් ගත කළ හැකි ජීවන මාර්ගයක් බවට පත්විය.

කොටගම වාචීස්වර හිමියන් පෙන්වා දී තිබෙන ආකාරයට පහළොස්වන සියවස වන විට මහණුන් අතර පිළිවෙත් පිරීමක් නොවීය. මහණුන් ස්ත්‍රීන් ලවා බත් උයවාගෙන පිඟානෙන් කෑවා මිස පිණ්ඩපාතේ යාමක් සිදු නොවූ හෙයින් බෞද්ධයෝද පිණ්ඩපාතය කුමක්දැයි දැන නොසිටියෝය. එකල මහණුන් වැඩි වශයෙන් කළේ පන්සල් ඉඩම් පාලනය කරමින් සිය අඹු දරුවන් හා නෑදෑයන් සමග ඒවාහි ආදායම් භුක්ති විඳීමය.

විටින් විට රජවරුන් සංඝ සංගායනා පවත්වා දුස්සීල භික්ෂූන් ශාසනයෙන් පලවා හැරියත්, ඒවා තාවකාලික විසඳුමක් වුණා මිස ප්‍රශ්නයට ස්ථිර විසඳුමක් වූයේ නැත.

සමහර භික්ෂූන්ගේ මේ හැසිරීම සමහර රජවරුන් භික්ෂූන්ට එරෙහිව අනුකම්පා විරහිතව ක්‍රියා කරන තත්ත්වයකට පවා තල්ලු කිරීමට හේතුවූ බව පෙනේ. කනීරාජානු තිස්ස රජු (ක්‍රි.පූ. 31-34) භික්ෂූන් හැටදෙනකු මිහින්තලාවේ උස් ගල් පරිවර්තයකින් බිමට පෙරළා දැමීමට සැලැස්සුවේය. ගෝඨාභය රජු (ක්‍රි.ව. 233-266) අභයගිරිවාසි භික්ෂූන් හැටදෙනකුගේ සිරුරවල ‘වෙර’ ඔබ්බවා රටින් පිටුවහල් කළේය.

මින්නේරියේ දෙවියන් ලෙස සැලකුණු මහසෙන් රජු පාපී භික්ෂූන් ලෙස සැලකුවේ මහා විහරවාසී භික්ෂූන්ය. එම රජු මහාවිහාරවාසීන්ට දානය පිරිනැමීම තහනම් කළේය. පිට පිට දින තුනක් නගරයේ පිඬු සිඟා කෑ භික්ෂූන් මහජනයාගෙන් කිසිදු ආහාරයක් නොලැබීම නිසා අනුරාධපුරේ සිටි මහා විහාර භික්ෂූන්ට රුහුණු හා මලය දේශයට පලා යන්නට සිදුවූහ. සිලාමේඝවණ්න (619-628) රජුගේ කාලයේදී භික්ෂූන් කිහිපදෙනකුගේ අත් කපා පොකුණු පල්ලන් හැටියට වැඩ කිරීමට නියම කැරිණි. තවත් භික්ෂූන් සියදෙනකු රටින් පිටුවහල් කළේය.

පූර්ව නූතන යුගයේදී කුලභේදයක් තිබුණද ආගම් හා ජනවර්ග අතර භේදයක් හෝ ගැටුමක් නොතිබුණි. එහෙත් සංඝ ශාසනයේ කණ්ඩායම් දෙකක් අතර නිරන්තර කටුක ගැටුමක් තිබුණ අතර ඒ ගැටුම්වලදී මනුෂ්‍ය ඝාතනද සිදුවිය. සමහරවිට රජවරුන් හා භික්ෂූන් අතරද කටුක ගැටුම් තිබුණි. එම ගැටුම්වලදීද මනුෂ්‍ය ඝාතන සිදුවිය.


0 comments: