to-add

කොරෝනා අර්බුදයේ මෑත සහ ඈත



- වික්ටර් අයිවන් - 



ඇතිවී තිබෙන වසංගත ප්‍රශ්නය කවදා කෙසේ විසඳා ගත හැකිවේද යන්න මේ මොහොතේ ලංකාව විසඳා ගත යුතු ළඟ ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එහෙත් අප මුහුණ දී තිබෙන අර්බුදය ඉන් අවසන් වන්නේ නැත. වසංගත තත්ත්වය මාස කිපයක් අල්ලාගෙන සිටිය හොත් ලංකාවේ ව්‍යාපාරවලින් කිසියම් ප්‍රමාණයක් බංකොලොත් තත්ත්වයකට පත් විය හැකිය. එ මගින් පුද්ගලික අංශයේ සේවකයින් විශාල පිරිසකට රැකියා අහිමි වන තත්ත්වයක් ඇතිවිය හැකිය. ලංකාවේ සේවානියුක්ති ජනගහනයෙන් සියයට 47 ක් පමණ දෙනා දෛනික වැටුප් ලබන කුලීකරුවන් හෝ ස්වයං රැකියා කරන්නන් ලෙස සැලකිය හැකිය. ලොතරැයි ටිකට් පත් විකුනන්නන්ගේ සංඛ්‍යාව පමණක් 5000 කි. දෛනික පඩියට මේසන් වැඩ, වඩු වැඩ, වෙනත් කාර්මික තාක්ෂණික හා කුලී වැඩවලින් ජීවත් වන්නන්ගේ සංඛ්‍යාව ඉතා විශාලය. ත්‍රීවීලර්වලින් ජීවත්වන්නන්ගේ සංඛ්‍යාව ලක්ෂ හතඅටක් විය හැකිය. ඒ සියලු දෙනාගේ ජීවිත දැනටමත් මහා අවුලක් බවට පත්වී ඇති බවට සැකයක් නැත.

සමෘද්ධිලාභීන්ගේ සංඛ්‍යාව පවුල් ලක්ෂ 24 ක් හෝ 27 කි. ඔවුන් සඳහා රුපියල් 10000 ක ආපසු අයකරගන්නා ණය මුදලක් අනුමත වී ඇතත් එය ලබා ගත හැක්කේ ඉතිරි කිරීමේ ගිණුම්වල රුපියල් 8000ක් ඇති අයට පමනක්‍ ය කියන කොන්දේසි ය දැනටමත් ඔවුන්ගේ බලවත් විරෝධයට හේතුවී තිබෙන බව පෙනේ. එය දෛනික පඩි ලබන්නන්ගේ හා දුප්පතුන්ගේ තත්ත්වයයි. පුද්ගලික අංශයේ මාසික වැටුප් ලබන්නන් සිටින බව පෙනෙන්නේද ලොකු අර්බුදයකය.

කටයුතු නවතා තිබෙන ව්‍යාපාරවල සේවකයින්ට වැටුප් ගෙවීමේ දුෂ්කරතා තිබිය හැකිය. යුරෝපයේ නම් බොහෝ රටවල් පුද්ගලික අංශයේ වැටුප් බිලෙන් සියට අසූවක් රජය මගින් ගෙවන බව ප්‍රකාශ කර තිබේ. 

එහෙත් ලංකාවට එවැනි ප්‍රතිපත්තියක් අනුගනය කිරීම පහසු නැත. එ නිසා පුද්ගලික අංශයේ විශාල පිරිසකගේ රැකියා අහිමි වන තත්ත්වයක් ඇති වීම නොවැලැක්විය හැකිය. දැනටමත් ඇගලුම් කර්මාන්තයේ දැවැන්තයෙකු ලෙස සැලකිය හැකි මාස් හෝල්ඩින් සමාගම, තම සේවකයින්ට වැටුප් ගෙවීමේ හැකියාවක් නැතැයි තීරණය කර ඇති බව නිල නොවන මාර්ගවලින් අසන්නට ලැබේ. කාර්ගිල්ස්, ජෝන් කීල්ස් හා ලාෆ් ගෑස් යන සුපර් මාර්කට් ජාලයද තාවකාලික ලෙස වසා දමන්නට තීරණය කර ඇති බවද නිල නොවන මාර්ග වලින් දැනගන්නට තිබේ. මේ අර්බුදය දිගු කාලීන අර්ථයෙන් ගමන් කළ හැකි දිසාව ඒ මගින් තේරුම් ගත හැකිය.

රටකට මනා කළමනාකරණයක් අවශ්‍ය වන්නේ සාමාන්‍ය කාලවලදීට වඩා අර්බුද කාලවල දීය. අර්බුදයක් විශාල, උග්‍ර හා සංකීර්ණ වන තරමට කළමනාකරණයද ඉතා දුෂ්කර දෙයක් බවට පත්වන්නේය. එවැනි අවස්ථාවකදී අර්බුදයේ හැම පැත්තක්ම සැලකිල්ලට ගෙන තීරණයන් ගැනීම අවශ්‍යවේ. එවැනි අවස්ථාවකදී එක පුද්ගලයෙකුගේ හෝ ඔහු වටා සිටින පුද්ගලයින් කිහිප දෙනෙකුට හෝ තීන්දු ගත නොහැකිය.

මේ ප්‍රශ්නය වසංගතයක් වන නිසා තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ වසංගත විද්‍යාඥයන් සිටිය යුතුය. ඒ සමගම මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් වන නිසා දොස්තර, හෙදි හා සුව සේවකයින් ද සිටිය යුතුය. ඒ සමගම මෙය සමාජ ප්‍රශ්නයක් වන නිසා සමාජ විද්‍යාඥයින් ද සිටිය යුතුය. කලමනාකරණය, ප්‍රවාහනය හා බෙදාහැරීම පිලිබඳ ප්‍රශ්නයක් වන නිසා ඒ අංශවල විශාරදයින්ද, නීතිය සාමයද ඊට අදාලවන නිසා ඒ අංශවල විද්වතුන්ද, ආර්ථික හා ව්‍යාපාර පැත්තක් හා අවසානයේ සමාජ මනෝවිද්‍යාත්මක හා අධ්‍යාපන ප්‍රශ්නයක් තිබෙන නිසා ඒ ඒ අංශවල උගතුන්ද තීන්දු ගැනීමේ ක්‍රියාවලිය තුළ සිටිය යුතුය. ඒ අංශ වෙන් වෙන්ව සාකච්ඡා කොට නැවත එකට එකතුවී තීන්දු ගත යුතුය. රාජ්‍ය නායකයා අවසාන වශයෙන් තින්දු ගත යුත්තේ ඉන් පසුවය.

එහෙත් තවම මෙම දැවැන්ත හා අති සංකීර්ණ අර්බුදයට මුහුණ දීම සඳහා එවැනි විධිමත් කළමනාකරණ ව්‍යුහයක් ඇති කර ගැනීමට ලංකාව සමත්වී තිබෙන බවක් පෙනෙන්ට නැත. ගෙන තිබෙන සමහර ප්‍රතිපත්ති අවිධිමත්ය. අතාර්කිකය. ප්‍රායෝගික බවෙන් තොරය.

ෆාමසි ප්‍රතිපත්තිය ඒ සඳහා දැක්විය හැකි එක නිදසුනකි. එය ගෙන හැර දක්වන්නේ බලාධාරීන් අපහසුවට පත් කිරීම සඳහා නොව ඒ කෙරෙහි අවධානය යොමු කිරීම සඳහාය. මුලදී සියලු ෆාමසි විවෘතව තබන්නට තීන්දු කළේය. ඉන්පසු ඔසුසැල් ෆාමසි හැර අන් ෆාමසි වසා තබන්නට තීරණය කළේය. සමහර විට මුලු දිස්ත්‍රික්කයකටම ඔසුසැල් ෆාමසි තිබෙන්නේ දෙකක් හෝ තුනකි. එයද ප්‍රධාන නගරවලය.

සමහර රෝගවලට නියම කරනලද බෙහෙත් නොකඩවා ගැනීම අත්‍යවශ්‍ය ය. හදවත් රෝග, පෙනහලු රෝග, වකුගඩු රෝග, පිලකා රෝග හා මානසික රෝග ඒ අතර ප්‍රධාන ‍ය. ඒ ගණයට වැටෙන රෝගවලට බෙහෙත් බොන රෝගීන්ගේ අනුපාතිකයද විශාලය. ආණ්ඩුවේ ෆාමසි ප්‍රතිපත්තිය සකසා තිබෙන්නේ එම රෝගීන් නොසලකා හැරෙන ආකාරයකටය. එය හිතාමතා කරන ලද වරදක් බව කිව නොහැකිය. එහෙත් තීන්දු ගැනීමේ ක්‍රියාවලියේ තිබෙන නොසැල්කිලිමත් කමේ තරම ඉන් පෙන්නුම් කරයි.

Post a Comment

0 Comments