to-add

කොරෝනා මැඩලන තෙක් තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක් ?



-  වික්ටර් අයිවන් - 



කොරෝනා වසංගතය කරගසාගෙන පාර්ලිමේන්තු මැතිවරණය කරා

ලංකාව පාර්ලිමේන්තු මැතිවරණයකට යමින් තිබෙන්නේ කොරෝනා වසංගත තත්ත්වයක්ද කර ගසා ගෙනය. ඇතිවිය හැකි අර්බුද කල්තියා දැකීමේ හැකියාව ලංකාවේ රාජ්‍ය අහිමි කරගෙන තිබුණේ බොහෝ කාලයකට ඉහතදීය. ඒ අර්ථයෙන් ලංකාවේ රාජ්‍යය සැලකිය හැක්කේ ඉදිරියේ ඇතිවන අර්බුද කල්තියා දැකීමේ හැකියාව මුළුමනින් අහිමි කරගත් අඥාන රාජ්‍යයක් ලෙසය.

2004 දෙසැම්බර් 26 වැනිදා සුනාමි තත්ත්වයක් ඇති වන්නට පෙරත් ඒ ගැන ලංකාවට ලැබී තිබුණු අනතුරු ඇඟවීම් හා දැනුම්දීම් කල්තියා ප්‍රශස්ත ලෙස ප්‍රයෝජනයට ගෙන ක්‍රියාකිරීමට ලංකාවේ භූ විද්‍යා දෙපාර්තමේන්තුව අසමත් විය. ඒ නිසා සුනාමියෙන් සිදුවන විනාශය අවම කරගැනීමට තිබුණු හැකියාව නැතිවී අතිවිශාල ජීවිත විනාශයක් සිදුවිය.

ඉන්පසු 2019 අප්‍රේල් 21 වැනිදා සිදුවූ පාස්කු පහරදීම් සිද්ධියේදී ද මුස්ලිම් අන්තවාදීන්ගෙන් පහරදීමක් සිදුවන්නට නියමිත බවට අවස්ථා තුනකදී තොරතුරු ලංකාවේ ජාතික බුද්ධි අංශයට ලැබී තිබුණද බුද්ධි අංශය ඒවා නිසි ලෙස ප්‍රයෝජනයට ගෙන සිදුවන පහරදීම් ව්‍යර්ථ කරන්නට අසමත්වීම නිසා විශාල ජීවිත විනාශයක්ද දේපළ විනාශයක්ද ඇතිවිය.

කොරෝනා වසංගතයද ලංකාවට එන්නට නියමිතව තිබෙන බව කල්තියා දැකීමේ හැකියාව ලංකාවට තිබුණ අතර මුහුදෙන් වටවූ දිවයිනක් වීමේ වාසිය ප්‍රයෝජනයට ගෙන වසංගතය ලංකාවේ පැතිරීමට තිබෙන හැකියාව පාලනය කිරීමේ හැකියාව ලංකාවට තිබුණද ඒ සඳහා අවශ්‍ය ප්‍රඥාව රටේ දේශපාලනතන්ත්‍රයට නොතිබීම නිසා එම වසංගතය ලංකාවේ පැතිරීම වැලකීමට තිබුණු හැකියාව නැතිකර ගත්තේය. ලංකාව ප්‍රදර්ශනය කර තිබෙන එම අඥානභාවය වෙනුවෙන් ලංකාවට ගෙවන්නට සිදුවන වන්දිය ඉතා විශාල විය හැකිය.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය

සාර්ස් වෛරසයට සමාන මිනිසුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන අලුත් වෛරසයක් ගැන චීනයේ වූහාන් ප්‍රාන්තයෙන් පළමුවරට වාර්තා වූයේ 2019 දෙසැම්බර් 03 වැනිදාය. 2020 ජනවාරි 07 වැනිදා සාර්ස් වෛරසයට සමාන වෛරස් තත්ත්වයක් එම ප්‍රාන්තයේ පවතින බව චීනය නිල වශයෙන් පිළිගත්තේය.

ජනවාරි 3 වැනිදා ඒ ගැන ලෝක සෞඛ්‍ය සංවිධානය නිල වශයෙන් නිවේදනයක් නිකුත් කරන ලද අතර වෛරසය නිසා චීනයේ ඇතිවූ පළමු මරණය වාර්තා වූයේද ඒ දිනයේදීය. ජනවාරි 22 වැනිදා වනවිට එම වෛරසය නිසා සිදුවුණු මරණ සංඛ්‍යාව 17ක් ලෙස වාර්තා වී එහි සිටින ආසාදිතයන්ගේ සංඛ්‍යාවද 550ක් බව වාර්තා විය. එදින වූහාන්වලට යන ගුවන් ගමන් හා දුම්රිය මගී සේවාවන්ද නතර කරන ලදි.

පෙබරවාරි 1 වැනිදා වනවිට වසංගතය ඕස්ට්‍රේලියාව, කැනඩාව, ජර්මනිය, ජපානය, සිංගප්පූරුව, ඇමරිකාව හා එක්සත් අරාබි එමිරේට්ස් රාජ්‍ය යන රටවලටද පැතිර ගොස් තිබුණි. පෙබරවාරි 9 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක් චීනයේ වූහාන්වලට යවන ලද අතර චීනයේ සිදුවී තිබුණ මරණ සංඛ්‍යාව 1010 දක්වාද ආසාධිතයන් සංඛ්‍යාව 42630ක් දක්වාද වර්ධනය වී තිබුණි. පෙබරවාරි 11 වැනිදා ලෝක සෞඛ්‍ය සංවිධානය මෙම වෛරසය ක්‍දඩසා 19 ලෙස හඳුන්වමින් මෙය ලොව පැතිර යන්නට තිබෙන හැකියාව ගැනද අනතුරු අඟවන ලදි. ඒ වනවිටත් ගෝලීය ආර්ථිකය කෙරෙහි එම වෛරසය විනාශකාරි ලෙස බලපා තිබුණු අතර ගමනාගමනයේ හා භාණ්ඩ ප්‍රවාහනයේ ඇතිවී තිබුණ බිඳ වැටීම් නිසා ගෝලීය ආර්ථිකයේ ලොකු කඩා වැටීමක් ඇතිවීම ආරම්භ වී තිබුණි.

ලෝක සෞඛ්‍ය සංවිධානය මාර්තු 12 වැනිදා මෙම වෛරසය නිසා ලෝක මට්ටමෙන් ඇතිවන වසංගත තත්ත්වයක් ප්‍රකාශයට පත් කරන ලද අතර ඒ වනවිට රටවල් 30ක වෛරසය පැතිරී තිබුණ අතර ලෝක මට්ටමෙන් සිදුවී තිබෙන මරණ සංඛ්‍යාව 46113ක් ලෙසත් ආසාධිතයන්ගේ මුළු සංඛ්‍යාව 125048ක් ලෙසත් වාර්තා වී තිබුණි.

ලංකාවේ අන්ධභාවය

කොරෝනා වසංගතය ලංකාවට එන්නට පෙරද ලංකාවේ සමාජය දේශපාලන ක්‍රමය හා ආර්ථිකය තිබුණේ උපරිම මට්ටමකට වර්ධනය වූ අර්බුදකාරී තත්ත්වයකය. 2019 නොවැම්බර් 18 වැනිදා පැවති ජනාධිපතිවරණය රටේ පැවති දේශපාලන අස්ථාවරභාවය වර්ධනය කිරීමට හේතුවූවා මිස ශක්තිමත් කිරීමට හේතු නොවීය. හේතුව එම ජනාධිපතිවරණයෙන් අතිවිශාල ජයග්‍රහණයක් හිමිකර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සමත් වුවත් 19 වැනි සංශෝධනය නිසා මහජනයා තෝරා පත් කරගත් එම විධායක ජනාධිපතිවරයාට විධායක බලයක් නොතිබීමය.

එම මැතිවරණ ප්‍රතිඵලයෙන් පසුව එම මැතිවරණ ප්‍රතිඵලයට ගරු කිරීමක් ලෙස ආණ්ඩු බලය හිමිකරගෙන සිටි එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සභාග ආණ්ඩුව ඉල්ලා අස්වී ජයග්‍රාහී පොදු ජන පෙරමුණට ආණ්ඩු බලය දුන්නද ආණ්ඩු බලය ලබා ගත් පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබුණි. ජයග්‍රාහී ජනාධිපතිවරයාට විධායක බලයක් නොතිබීම ආණ්ඩු පක්ෂයට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නොතිබීම යන සාධක දේශපාලන තලයේ තිබුණ අස්ථාවරභාවය වර්ධනය කරන සාධක ලෙස ක්‍රියා කළේය.

ගොඩ නගා ගෙන තිබුණේ පාර්ලිමේන්තු මැතිවරණය දක්වා වන තාවකාලික ආණ්ඩුවක් වීම හේතු කොටගෙන අයවැයක් සම්මත කරගැනීම අවශ්‍ය නොවූවත් පාර්ලිමේන්තු මැතිවරණය පවත්වා ඉදිරිපත් කෙරෙන අයවැය ලේඛනය දක්වා වන අතුරු කාලය සඳහා කළ යුතු වියදම් වෙනුවෙන් තාවකාලික පරිපූර්ක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම ව්‍යවස්ථානුකූල අර්ථයෙන් අත්‍යවශ්‍ය කොන්දේසියක් වී තිබුණි. නව ආණ්ඩුව රුපියල් කෝටි 36,000ක තාවකාලික පරිපූරක ඇස්තමේන්තුවක් සඳහා වන යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ද ඊට පාර්ලිමේන්තුවේ බහුතර අනුමැතිය ලබාගැනීමට අසමත් වෙතොත් ඇතිවිය හැකි දේශපාලන ප්‍රතිවිපාක සලකා ආණ්ඩු පක්ෂය එම යෝජනාව ඉවත් කර ගත්තේය. ඒ නිසා ඊළඟ අයවැය තෙක් ආණ්ඩුවට අමාත්‍යාංශවල කටයුතු කරගෙන යෑමට සිදුවී තිබෙන්නේ වෙන් කළ මුදල් නැතිවය. එය රටේ දේශපාලන අස්ථාවරභාවය වර්ධනය කිරීමට බලපෑ තවත් සාධකයක් විය. එම තත්ත්වය ලංකා ආණ්ඩුවේ දෛනික කටයුතු අමාරුවෙන් ගැට ගසාගෙන යන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය.

ආර්ථික අර්බුදය

කොරෝනා වසංගතය සමහර විදේශ රටවලට පමණක් සීමාවූ ලංකාවට නොපැමිණි දෙයක් ලෙස පවතින අවස්ථාවේදී පවා එම වෛරසය ගෝලීය ආර්ථිකය කෙරෙහි ඇති කර තිබුණු විනාශකාරී බලපෑම ලංකාවේ ආර්ථික අර්බුදය උපරිම මට්ටමකට වර්ධනය කොට ලංකාවේ ආර්ථික කටයුතු පාලනය කළ නොහැකි අවුල් තත්ත්වයක් බවට පත්කිරීමට හේතුවී තිබුණි. කොරෝනා ප්‍රශ්නය ලංකාවේ සංචාරක ව්‍යාපාරය මුළුමනින් බිඳ දමන තත්ත්වයක් ඇති කිරීමට හේතුවිය. විදේශ රටවල සේවය කරන ශ්‍රී ලාංකිකයන් නිසා ලැබෙන සංක්‍රාම ආදායමද අර්බුදයකට ඇද දැමුවේය. ආර්ථිකයේ ආදායම් උපයන වැදගත් මාර්ගයක් බවට පත්ව තිබුණ ඇඟලුම් කර්මාන්තයද අර්බුදයකට ඇද දැමුවේය. නව ආණ්ඩුව ලබාදෙන ලද බදු සහන බදු මගින් ඉපැයිය හැකි ආදායමේද ශීඝ්‍ර පහත වැටීමක් ඇති කිරීමට හේතුවනු ඇතැයි උපකල්පනය කළ හැකිය. තේ වගා කරන ප්‍රදේශවලට ඇතිවී තිබන වැසි නැති තත්ත්වය තේ කර්මාන්තයෙන් උපයන ආදායම්වලද ශීඝ්‍ර බිඳ වැටීමක් ඇති කරනු ඇතැයි උපකල්පනය කළ හැකිය.

ග්‍රාමීය ආහාර බෝග වගාව තිබෙන්නේද යහපත් තත්ත්වයක නොව, මුළුමනින් අවුලෙන් අවුලට ගිය තත්ත්වයකය. නව ආණ්ඩුව තෙත් කලාපයේ වගා නොකරන කුඹුරු ඉඩම් ඒවාට ආවේණික පහත්බිම් ස්වරූපයට වෙනස් නොවන ආකාරයට වෙනත් භෝග බගාවන් සඳහා යොදා ගැනීමට ඉඩදී ඇතත්, ඒ සඳහා අවශ්‍ය මගපෙන්වීම් නැතිකම නිසා ප්‍රකාශ කරන ලද එම අලුත් ප්‍රතිපත්තිය ග්‍රාමීය කෘෂිකර්මයේ දියුණුවක් ඇති කිරීමට හේතුවී නැත.

ආණ්ඩුවේ නිල ඇස්තමේන්තුවලට අනුව සත්ව හානි ග්‍රාමීය කෘෂිකර්මයට සිදුවන හානියේ ප්‍රමාණය 40%ක් තරම් අතිවිශාලය. පාලනය කළ නොහැකි සත්ව හානි ආහාර භෝග වගා කිරීමට තිබෙන උනන්දුව හීන කරන බලවත් සාධකයක් ලෙස ක්‍රියා කරයි. වඳුරන් හා රිලවුන් ගහණයෙන් ලොකු පංගුවක් ඉවත් කරදීමෙන් හා වන සතුන් දඩයම් කිරීමේ අයිතිය ගොවීන්ට ලබාදෙන ප්‍රතිපත්තියකින් පමණක් ග්‍රාමීය ආහාර භෝග වගා ක්ෂේත්‍රයේ ලොකු දියුණුවක් ඇති කළ හැකි අතර, ගොවීන් ඒ මගින් උපදවන ආදායම්වලද ලොකු දියුණුවක් ඇති කළ හැකිය. තිබුණු පරණ ආණ්ඩුව සේ ම තේරී පත්ව තිබෙන නව ආණ්ඩුවද ඒ සඳහා අවශ්‍ය ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කිරීමට සමත් වී නැත. ඇතිවී තිබෙන කොරෝනා වසංගත තත්ත්වයෙහි ව්‍යාප්තියක් ඇතිවුවහොත් ලොකු ආහාර හිඟයකට රට මුහුණ දීමේ හැකියාව පවතී.

කොරෝනා කළමනාකරණය

අඩුම වශයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය ජනවාරි 30 වැනිදා කොරෝනා වෛරසය මහජන සෞඛ්‍ය විෂයෙහි හදිසි තත්ත්වයක් ලෙස ප්‍රකාශ කළ අවස්ථාවේ සිටවත් ලංකාවේ බලධාරීන්ගේ පූර්ණ අවධානය කොරෝනා ප්‍රශ්නය වෙත යොමුවිය යුතුව තිබුණි. එහෙත් දේශපාලන බලධාරීන්ගේ ප්‍රධාන අවධානය යොමුවී තිබුණේ ඒ කෙරෙහි නොව පාර්ලිමේන්තු මැතිවරණය කෙරෙහිය. ඒ තත්ත්වය කෙරෙහි ජනාධිපතිට විධායක බලයක් නැතිකම, ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ බහුතර බලයක් නැතිකම වැනි ප්‍රශ්න බලපෑවා විය හැකිය.

ලංකාව දූපතක් වීම හේතු කොටගෙනම මුහුදින් හා අහසින් සිදුවන සංක්‍රමණය වැළකීම, පිටතින් රටට ඇතුළු වන හැම පුද්ගලයෙකුම නිරෝධායනයට ලක් කිරීම, මහජනයා දැනුවත් කිරීම වැනි ක්‍රියාමාර්ග මගින් වසංගතය ලංකාවේ අභ්‍යන්තරයේ පැතිරීම වළකා ගැනීමේ ඇත්ත හැකියාවක් ලංකාවට තිබුණි. එහෙත් ලංකාවට ඒ සඳහා ශක්තිමත් විධිමත් දැක්මක් තිබුණේ නැත.

ආණ්ඩුව මාර්තු 12 වැනිදා ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් ලංකාවට එන ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවන ලදි. එහෙත් චීන ගුවන් ගමන් අත්හිටවූයේ නැතිවා පමණක් නොව, නිරෝධායනයට ලක්වීමෙන් තොරවම ලංකාවට ඇතුළුවීමේ අතිවිශේෂ අවසරයද ඔවුන්ට ලබාදී තිබුණි. චීන ජාතිකයන්ට පමණක් බලපාන ලෙස පවත්වාගෙන යන එම විශේෂ ප්‍රතිපත්තිය සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා යුක්තිසහගත කරන ලද්දේ චීනය කොරෝනා ප්‍රශ්නය සාර්ථක ලෙස ජයගත් රටක් ලෙස සලකා එසේ කරන බවය. එහෙත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධි අවදානම් ලැයිස්තුවේ තිබෙන මුල්ම රට වනුයේ චීනයයි. යුරෝපා සංගමය ප්‍රකාශ කර තිබෙන අධි අවදානම් ලැයිස්තුවටද චීනය ඇතුළත්ය. ලෝකයේ බොහෝ රටවල් චීනය සඳහා පවත්වාගෙන යන ගුවන් ගමන් තහනම තවමත් ලිහිල් කර නැත.

ආණ්ඩුව චීනය සම්බන්ධයෙන් පවත්වාගෙන යන මෙම අතිවිශේෂ ප්‍රතිපත්තිය ඉදිරියේ ලංකාවට ලොකු ණයක් හෝ ආධාරයක් ලබාගත හැකි රටක් ලෙස සලකා පවත්වාගෙන යන ප්‍රතිපත්තියක් බව පෙනේ. මෙසේ ලංකාවට එන චීන ජාතිකයන් සියලුදෙනාම පාහේ ලංකාවේ ක්‍රියාත්මක වන චීන ව්‍යාපෘතිවල සේවය කරන්නන් බවද පෙනේ. චීන ජාතිකයන් සම්බන්ධයෙන් අනුගමනය කරමින් තිබෙන එම ප්‍රතිපත්තිය රටේ සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් ගත් විට යහපත් ප්‍රතිපත්තියක් ලෙස සැලකිය නොහැකිය.

පාර්ලිමේන්තු මැතිවරණය

ලංකාවේ පැවති සර්ව සුභවාදී විශ්වාසයන්ට පටහැනිව කොරෝනා වසංගතයේ බීජ ලංකාවට පැමිණ තිබෙන අතර පළමු රෝගියා හමුවීමෙන් පසු රෝග ව්‍යාප්තියේ සැලකිය යුතු තරම් වර්ධනයක් සිදුවී තිබෙන බවද පැහැදිලිව පෙනෙන්නට තිබේ. වෛරසය රටට පැමිණි පසු එය පැතිරීම වළකා ගැනීමට දියුණු රටවල් පවා අසමත් වී තිබෙන බවද අමතක නොකළ යුතුය.

මාර්තු 14 වැනිදා වනවිට එක්සත් රාජධානිය කොරෝනා ආසාදිතයන් 1140 ක් හඳුනාගෙන තිබුණද නියම සංඛ්‍යාව ඊට වඩා 15 ගුණයක් පමණ විය හැකි බව බලධාරීන්ගේ මතය වී තිබේ. හැමවිටම නිල වශයෙන් හඳුනාගෙන තිබෙන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් ආසාදිතයන් සිටිය හැකිය. මෙම ධර්මතාව ලංකාවටද අදාළය. හැම රටකටම පාහේ සිදුවිය හැකි හානියේ තරම ගැන ප්‍රක්ෂේපණයක් ඇතත්, තවමත් ලංකාවට එවැන්නක් ඇති බව පෙනෙන්නට නැත. එහිදී ලංකාව තවමත් ඉන්නේ අඳුරේ අතපතගාන තත්ත්වයකය.

වසංගත තත්ත්වයක තර්ජනයක් ඉදිරියේ තබාගෙන එම වසංගත තත්ත්වය වර්ධනය කිරීමට හේතුවිය හැකි පාර්ලිමේන්ත මැතිවරණයක් පැවැත්වීම යහපත් නොවන බව අමුතුවෙන් කිවයුතු නැත. රටේ පවතින කොරෝනා තත්ත්වය නොසලකා පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම ජනාධිපතිවරයාගේ අභිලාෂය වී තිබෙන බව පෙනෙන්නට තිබෙන අතර එය ජනතාවගේ ජීවිත සමග කරන බිහිසුණු සෙල්ලමක් බවට පත්විය හැකි බව ජනාධිපතිවරයා සේ ම ආණ්ඩුවද තේරුම් ගත යුතුය.

රටේ පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වේ නම් රට පාලනය කරන දේශපාලන අධිකාරියේ වැඩිම අවධානය යොමුවනු ඇත්තේ කොරෝනා වසංගතයට නොව, තමන්ට අදාළ දේශපාලන බලපොරයටය. එසේම මෙවැනි තීරණාත්මක අවස්ථාවකදී රටේ ඇතිවෙමින් පවතින වසංගත තත්ත්වය ජයගැනීමට අවශ්‍ය කරන පොදු ජාතික සමගිය දුර්වල කොට දේශපාලන අර්ථයෙන් පමණක් නොව වාර්ගික හා ආගමික අර්ථයෙන්ද ජනතාව භේදබින්න කරයි. අනෙක් අතට මෙම වසංගත තත්ත්වය පැතිරීම වළකා ගැනීමට සමත් වනු ඇත්තේ ජනතා ඒකරාශිවීම් වැළකීම මගිනි. පාර්ලිමේන්තු මැතිවරණයක් ජනයා ඒකරාශි කිරීම් වර්ධනය කරයි.

සිහි මොළේ තිබෙන මොනම රටක්වත් සුනාමියක් එන්නට නියමිත බව දැන දැන මැතිවරණ පවත්වන්නේ නැත. කොරෝනා ප්‍රශ්නයක් වසංගත තත්ත්වයක් වන අතර එය එන්න නියමිතව තිබෙන දෙයක් නොව දැනටමත් රටට පැමිණ තිබෙන ව්‍යාප්තියක ලක්ෂණ පෙන්නුම් කරමින් තිබෙන දෙයක් බව දේශපාලන බලධාරීන් සේ ම මැතිවරණ බලධාරීන්ද තේරුම් ගත යුතුය.

යළි පාර්ලිමේන්තුව කැඳවිය හැකිය. කොරෝනා වසංගතය ආශ්‍රයෙන් රටට මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝගය සේ ම ඉක්මනින් විසඳාගත යුතුව තිබෙන වෙනත් ප්‍රශ්නද එහිදී සාකච්ඡා කළ හැකිය.

තාවකාලික සර්ව පාක්ෂික ආණ්ඩුවක්

මෙම අර්බුදයට මුහුණදීමට තිබෙන හොඳම ක්‍රමය මැතිවරණයක් පැවැත්වීමට සුදුසු තත්ත්වයක් ඇතිවන තෙක් පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ ඇතුළත් වන ලෙස සර්ව පාක්ෂික ආණ්ඩුවක් ඇතිකර ගැනීමය. ඒ මගින් වසංගත තත්ත්වයට මුහුණදීමට අවශ්‍ය දේශපාලන ඒකාග්‍රතාව ඇති කරගත හැකිය. එසේම ඒ මගින් ජනාධිපතිවරයාට විධායක බලයක් නැතිකමෙන් හා ආණ්ඩුවට බහුතර බලයක් නැතිකමෙන් ඇතිවී තිබෙන අස්ථාවරභාවය නැති කළ හැකිය. එසේම වෙන් කළ මුදල් නැතිකම නිසා එදිනෙදා කටයුතු පවත්වාගෙන යෑමට අවශ්‍ය මුදල් නැතිකම නිසා අමාත්‍යංශ මුහුණ දී තිබෙන අර්බුදයද ජයගත හැකිය. අමාත්‍යංශ කටයුතුවලට අවශ්‍ය මුදල් වෙන් කිරීමක් නැතිව යන අවිධිමත් ගමන අවසන් කොට පරිපූරක ඇස්තමේන්තුවක් සම්මත කරගැනීම මගින් විධිමත් ගමනකට මුල පිරිය හැකිය.

ආහාර හිඟයක් ඇතිවීම වළකා ගැනීම මුහුණ දෙන්නට සිදුවී තිබෙන අභියෝග අතර තිබෙන ලොකුම අභියෝගය ලෙස සැලකිය හැකිය. පළමුවැනි හා දෙවැනි ලෝක යුද්ධ කාලයේදී මෙන් ආහාර නිෂ්පාදනයට ප්‍රධාන වැදගත්කමක් ලබාදිය යුතුය. හොඳටම බිඳ වැටී තිබෙන ග්‍රාමීය කෘෂිකර්මය නගා සිටුවීමට මෙය අවස්ථාවක් කරගත හැකිය. ගොවීන්ට පාලනය කළ නොහැකි තත්ත්වයක පවතින වඳුරන්ගෙන් හා රිලවුන්ගෙන් එල්ල වී තිබෙන අභියෝගය ලිහිල් කර දීම සඳහා වඳුරු හා රිලා ගහණය කිසියම් විශාල ප්‍රමාණයකින් හීන කිරීම සඳහා සුදුසු ක්‍රියාමාර්ගයක් ගත හැකි අතර, වගාවන්ට හානි කරන වෙනත් සතුන් දඩයම් කිරීමේ හා එම මස් ළඟ තබා ගැනීමේ, ප්‍රවාහනය කිරීමේ හා විකිණීමේ අයිතිය ගොවීන්ට ලබාදිය හැකිය. ඒ ක්‍රියාමාර්ගයෙන් පමණක් ලංකාවේ ආහාර නිෂ්පාදනයේ වටිනාකම දෙගුණ කළ හැකි අතර ගොවීන් ආහාර නිෂ්පාදනයෙන් උපයන ආදායම්ද දෙගුණ කළ හැකිය.

රජයේ ගොවිපොළවල් යටතේ තිබෙන ඉඩම් පූර්ණ වශයෙන් වගා කිරීම අනිවාර්ය කළ හැකිය. දැන් ඒවා තිබෙන්නේ නිසි ලෙස පරිහරණය නොකරන අනාර්ථික තත්ත්වයකය. රජයේ ගොවිපොළවල් වසාගෙන තිබෙන එම කාලකණ්ණි තත්ත්වය නැති කොට රජයේ සියලු ගොවිපොළවල් ඵලදායී තත්ත්වයකට ගෙනා කෘෂිකර්ම ඇමතිවරයා ලෙස සැලකිය හැක්කේ රන්ජන් විජේරත්නය. රජයේ ගොවිපොළවල් නැවත ඒ තත්ත්වයට ගෙනා යුතුය. තෙත් කලාපයේ වගා කිරීම අත්හැර තිබෙන කුඹුරු ඉඩම්ද ඒවාහි පහත්බිම් ස්වරූපය වෙනස්වීමට හේතු නොවන ලෙස වෙනත් භෝග වගාවන්ට හා සත්ව වගාවන්ට යොදා ගැනීමට අවශ්‍ය මගපෙන්වීම්ද ඒ සඳහා අවශ්‍ය සානු බලයන්ද ලබාදිය හැකිය.

ලංකාවේම නිපදවා ගත හැකි සරල බොහෝ දේවල් ලංකාව ආනයනය කරන අතර, ඒ ප්‍රතිපත්තියෙන් අත්මිදී ලංකාවේ නිපදවා ගත හැකි දේවල් හඳුනා ගනිමින් ඒවා ලංකාවේම නිපදවා ගන්නා තැනට යා හැකිය.

ආහාර භෝග වගාවන්ට බර තබා ක්‍රියාකරන ප්‍රතිපත්තියක් ආහාර හිඟයක් ඇතිවීම වළකා බිඳ වැටී තිබෙන ග්‍රාමීය කෘෂිකර්මයේ ලොකු දියුණුවක් ඇති කළ හැකිය.

Post a Comment

0 Comments