to-add

''කොරෝනා වෙස් වළාගෙන එන ආශිර්වාදයක්‘‘ - ගල්කන්දේ ධම්මානන්ද හිමි



සාකච්ඡාව  - ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


කොවිඩ්-19 නැත්නම් කොරෝනා ගෝලීය වසංගතයක් බවට පත්ව තිබෙනවා. මෙවැනි අවස්ථාවක අපේ රටේ පූජ්‍ය පක්ෂයේ කාර්යය හා වගකීම විය යුත්තේ මොකක් ද?


අපි මේ මුහුණ දී තිබෙන ප්‍රශ්නයේ අංශ ගණනාවක් තිබෙනවා. එකක් භෞතික වශයෙන් මේ වෛරසයට අප විවෘත වූ විට සිදුවන ක්‍රියාවලියයි. එයින් ආරක්ෂාවීමට අවශ්‍ය දැනුම බෙදීමේ ක්‍රියාවලිය යි. එය අදාළ අංශ වලින් ඉතාම හොඳින් කරගෙන යනවා. අපිට කරන්න පුළුවන් දේ එයට සහාය ලබාදීම යි. අපි මේ වෙලාවේ ඒ සෞඛ්‍ය ක්ෂේත්‍රය ලබා දෙන පණිවුඩයට සියලුදෙනා අනුගත වෙන්න ඕනෑ. බුදුහාමුදුරුවෝත් වෛද්‍යවරුන්ගෙන් ප්‍රතිකාර ලබා ගත්තා. 

ඇත්තටම මේ වෙලාවේ පූජ්‍ය පක්ෂය වුණත් සමූහගත වීම උත්තරය නෙමෙයි. කළ යුතු වන්නේ වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම යි. මිනිස්සු ආගමික නායකන්ට සවන්දෙන තත්ත්වය මේ වෙලාවේ මේ වෛරසයට මුහුණදීමට අවශ්‍ය සෞඛ්‍යමය හා විද්‍යාත්මක පාර්ශ්වයෙන් ලැබෙන දැනුම සමාජගත කිරීමට පාවිච්චි කිරීම උචිත බවට මම යෝජනා කරනවා. එය පූජ්‍ය පක්ෂයෙන් කළ හැකි එක් සහයෝගයක්.


දෙවැන්න, නොයෙක් පුද පූජා වැනි දේට මිනිසුන් එක් රැස් නොකර සිටීම යි. එසේ නොකර ආගම පැත්තෙන් කළ හැකි දේ තිබෙනවා. දින ගණනාවක් පවුලේ අය ගෙවල් වලින් පිටතට යන්නේ නැතිව ඉන්නා විට විවිධ පීඩන මතුවෙන්න පුළුවන්. ඒවා වැළැක්වීමට එක් රැස්වීම් වලින් තොර යම් ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන්.


ඒ වගේම ආහාරවලින් සූදානම්වීමත් කළ හැකියි. අපි වීඩියෝ නොකළත් ගස්වල කොස් කඩලා අටුකොස් සෑදීම ආදී ලෙස ආහාර වලින් සූදානම් වීමේ කටයුතුත් සිදුකිරීමට කල්පනා කළා. එවැනි දේ වුවත් අපි මිනිස්සු අතරට ගෙන යා යුතුයි කියලා මම හිතනවා. ඒවා අපේ පරණ දැනුම. අපි ආහාර වර්ග කල් තබා ගැනීමේ ක්‍රම දැන සිටියා. කාලයත් සමග පැකට් කරන ලද සියලු දේ ගන්න අපේ ඔළුව හැදූ තත්ත්වයක් තුළ දැන් අපට එම දැනුම නැහැ. හැබැයි ඒ දැනුම තියන වැඩිහිටියෝ තවම ඉන්නවා. ඒ නිසා එවැනි අංශ ගණනාවකින් අපිට වැඩ කරන්න පුළුවන් කියලා මම හිතනවා.


දේශපාලන හෝ ජාතිවාදී අරමුණු වලින් විශාල හඬක් නගන ඇතැම් චීවරධාරීන් සිටියත් සැබෑ ලෙසම ජනතාව අර්බුදයකට මුහුණදෙන මේ අවස්ථාවේ ඔවුන් නිහඬතාව ආරක්ෂා කරන බව පෙනෙනවා.


දේශපාලනයට යොමුවූ සහ දේශපාලනඥයන් පාවිච්චි කරන හාමුදුරු පිරිසක් ඉන්නවා. මාධ්‍ය ආකර්ෂණය කරගෙන ඒ අයගේ පණිවිඩය දෙන්න ඒ අය දන්නවා. මේ වෙලාවේ ඒ අයට ඒ වැඬේ කරන්න අමාරු වෙන්න පුළුවන්. ඒ අය ගැන විශේෂයක් නොදක්වා අපි කටයුතු කරන එක තමයි මේ වෙලාවේ කළ යුතු වෙන්නේ කියලා මම හිතනවා.


මෙම අර්බුදය හමුවේ ආණ්ඩුව කටයුතු කරන ආකාරයේ සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ විවිධ මත පළවෙනවා. මෙවැනි වසංගත තත්ත්වයක් පැතිරෙන අවස්ථාවක කටයුතු සිදුවන කරන ආකාරය පිළිබඳ සෑහීමකට පත්විය හැකි ද, එසේ නොවේ නම් ඒවා විධිමත් කිරීම වෙනුවෙන් ප්‍රතිචාර දැක්විය යුතු වන්නේ කොහොම ද?


මේ වන විට රජය ස්ථාවර වුණු එකක් නෙමෙයි. ජනාධිපතිවරයා අලුත් කෙනෙක්. ඒක සකස්වෙමින් පවතින තත්ත්වයක තමයි මේ ගැටලුව මතුවන්නේ. ඒ අයත් ඉගෙන ගනිමින් මේ කටයුතු කරනව බව පෙනෙනවා. මුලින්ම ඇඳිරිනීති දාලා මේක නතර කරන අදහසක් තිබුණේ නැහැ කියලා මම හිතනවා. හැබැයි ඒකට ආ අනෙක් මත ඉදිරියේ ඒ අය නම්‍යශීලීව ඒ කටයුතු කිරීමට ඉඩ සලසා තිබුණා. ඒ වගේම ඊළඟට එන්න පුළුවන් ප්‍රශ්නය තමයි මිනිස්සුන්ට ආහාර ලබා ගැනීම. ඉදිරියේ දී ඒ යාන්ත්‍රණයන් විධිමත් ලෙස සකස් කරාවි කියලා මම හිතනවා. මේ වෙලාවේ මම විවේචනාත්මක වෙන්නේ නැහැ. මොකද අඩුපාඩු තිබුණත් මේක ඒවා හදාගෙන යන්න ඕනෑ තත්ත්වයක්. මේක මම දකින්නේ අපි ඔක්කෝම වගකීම බෙදාගන්න ඕනෑ තත්ත්වයක් විධියටයි. මේක පැතිරීම වැළැක්වීම ඇත්තටම රජයට විතරක් තනියම කරන්න බැහැ. අපි දින පහළොවක් විස්සක් පරෙස්සමින් කටයුතු කළොත් මම හිතන්නේ මේක වළක්වන්න වේවි. රජය කරන්න ඕනෑ මිනිස්සු එළියට යාමට බල කරන ආහාර, බෙහෙත් වැනි මූලික අවශ්‍යතා වෙනුවෙන් විධිමත් යාන්ත්‍රණයක් ගොඩනැගීම තුළින් ඒවාට පිළිතුරු සොයා දීමයි.

නිරෝධායනය වැනි කටයුතුවල දී පැන නැඟුණු ගැටලු සමග ඇතැම් පුද්ගලයන් මෙන්ම කුඩා දරුවන් පවා අපහසුතාවට පත්වන ආකාරයේ ද්වේශ සහගත ප්‍රතිචාර එල්ලවීම්, සදාචාරාත්මක නොවන ප්‍රචාරයන් සිදුවනු සමාජය තුළ දක්නට ලැබෙනවා. මේ තත්ත්වය ඔබ දකින්නේ කොහොම ද?


මේ පවතින තත්ත්වය අපට පළපුරුදු තත්ත්වයක් නෙමෙයි. ලංකාව විවිධ ගැටලු වලට මුහුණ දීලා තිබුණත් මෙම තත්ත්වය ඒවාට වඩා වෙනස් එකක්. එනිසා මෙවැනි අවස්ථාවක ගැටලු මතුවීම සාමාන්‍ය දෙයක්. ඒ කියන්නේ මේක කළමනාකරණය කරගන්න යද්දී කාටවත් අත්දැකීම් නැහැ. ඒකෙදී හැම පාර්ශ්වයක්ම නම්‍යශීලී වෙන්න ඕනෑ කියලා මම හිතනවා. ඒ වගේම මීට කලින් මොනවාහරි බෙදීම් තිබුණා නම් තවදුරටත් ඒ බෙදීම් මොන විධියට හෝ නඩත්තු වන දේ නොකළ යුතුයි. ඒ නිසා නිරෝධායනයට නොගිය අය සම්බන්ධයෙන්වත් මම හිතන්නේ අපි අහිතක් නොසිතා ඒ අයගේ හිත වෙනස් කර මේකට යොමුකරන්නේ කොහොම ද කියන දේ ගැන කටයුතු කළ යුතුයි. මොකද, මොකද්ද මේ වෙන්නේ කියලා ඒ මිනිස්සුත් හරියට දන්නේ නැහැ. ඒ නිසා ඒ ප්‍රවේශය ඉතාම වැදගත් කියලා මම හිතනවා.


වෛරසයට ජාති ආගම් භේද හෝ සමාජ තරාතිරම වැදගත් වෙලා නැති වුණත් වගකීමෙන් කටයුතු කළ යුතු පාර්ශ්වයන් පවා ඇතැම් අවස්ථාවල මේ තුළ බෙදීම් අමතක කර නැති බව පෙනෙනවා.


ඔව්. එක් පුවත්පතක් රෝගීන් පිළිබඳ හඳුන්වා දී තිබුණේ පළමු රෝගියා මත්තේගොඩ ප්‍රදේශයේ සංචාරක මගපෙන්වන්නෙක්, දෙවැන්නා ශ්‍රී ලාංකිකයෙක්, තුන්වැන්නා එංගලන්තයේ සිට පැමිණි මඩකළපුව ප්‍රදේශයේ අයෙක් බවත් ඔහුගේ ජාතිය කුමක් ද යන්නත් වාර්තා කිරීමෙනුයි. තවත් කොරෝනා වැළඳුණු රෝගියෙකු එය පිළිගන්නේ නැතිව වෛද්‍යවරු සමග රණ්ඩු වූ පුවතක් සම්බන්ධයෙනුත් පුවත්පතක් වාර්තා කර තිබුණේ ඔහුගේ ජාතිය කුමක්ද යන්නත් ඉස්මතු කරමිනුයි. මෙතරම් දෙයක් වුණාට පසුවවත් මේ මාධ්‍ය ආයතනවල අය අවදි වෙලා නැහැ. ඇත්තටම කොරෝනා ඉතාම හොද පණිවිඩයක් ගෙනෙනවා. නමුත් අපි තවම ඒකට අවදිවෙලා නැහැ.


ගෝලීය වසංගතයක් වන කොරෝනා සමාජ ආකල්පමය වෙනසක් ගෙනෙන පණිවුඩයක් බවට පත්කරගත හැකි වන්නේ කොහොමද ?


මේ තිබෙන අභියෝගය මුළු මානව වර්ගයාට එරෙහි අභියෝගයක්. ඒ නිසා ඒ ඉදිරිපිට ඉතාම ධනවත් පුද්ගලයා ද රජ කුමාරයා ද කියා එකක් නැහැ. ඒ අතින් මේක වෙස් වළාගෙන එන ආශිර්වාදයක් කියලා මම දකිනවා. අපි මවාගෙන සිටි ලෝක සම්පූර්ණයෙන්ම බිමටම කඩලා දාලා අපි මනුෂ්‍යයෝ හැටියට එකිනෙකා ගැන බලන්න ඕනෑ කියන පණිවිඩය එහි තියනවා. ඒ විතරක් නෙමෙයි, ලෝකයේ රටවල්වල රෝගීන්ට ලබාදෙන්න තරම් ඇඳන් නැති වුණත් මම හිතන්නේ ජනගහනයෙන් භාගයක් නසන්න තරම් ඒ හැම රටකම වගේ ආයුධ තියනවා. එතකොට අපි ආව පාර, ඒ ආ ගමන කොරෝනා විසින් බරපතළ විදියට අභියෝගයට ලක් කරලා තියනවා කියලා මම හිතනවා. ඒ නිසා මෙතැනින් එහාට මානව ශිෂ්ටාචාරය වෙනස් විය යුතුයි. ඒ සඳහා අපි වැඩ කරන්න ඕනෑ. මේක අවසන් වුණාට පස්සේ නැවත වෙළෙඳපොළ ආර්ථිකය හැකි තරම් ලාභ ලැබීම්, පරිසරය අසීමිත විදියට හූරාකමින් ඒ ගැන කිසිම හැඟීමක් නැතිව කරන විනාශය අවම වන ආකාරයෙන් කටයුතු කරන්නේ කොහොමද කියන දේ හිතන්න අවශ්‍යයි. මේ වෙලාවේ කුරුල්ලන්ට, අනෙක් සතුන්ට කොහොම දැනෙනවා ඇති ද කියලා අපි නිකමට හිතමු. මුළු ලෝකයේ ම මිනිස්සු වැඩ කළේ වෙන කිසිම ජීවියෙක් ඉන්නවා ද, ඒ අයත් එක්ක ඉන්න ඕනෑ කොහොම ද කියන හැඟීමක් නැතිව යි. අනෙක් අයත් ඉන්න ඕනෑ, ඒ අයට වදයක් නොවෙන විධියට අපි ඉන්නේ කොහොමද කියන දේ සහ පරිසරය විනාශ කරගෙන අපිට යන්න බැහැ කියන දේ අපි තේරුම් ගත යුතුයි. එවැනි දැවැන්ත වෙනස්කම්වලට මේක දොරටුවක් වේවි.


මේක පොදුවේ මුළු මානව සංහතිය සම්බන්ධයෙන් වන ප්‍රශ්නයක්. අපි ඒ විදියට මේක තේරුම් ගත යුතුයි. අපේ වගකීම් මොනවා ද කියලා ඒ අනුව තේරුම් ගත යුතුයි. මේකට නිකම්ම ඇවිත් යන්න නොදී මෙය ගෙන එන පණිවුඩය අපි වටහා ගන්න ඕනෑ. අපි එකිනෙකාට ආදරය කරුණාව දැක්විය යුතුයි. ඇයි අපිට අවි ආයුධ ඕනෑ වෙන්නේ, කොතැන හෝ මිනිස්සු මැරීමට නේද. තණ්හාව සහිත ගමනේ ප්‍රතිඵලය නිසා තමයි ආයුධ ඕනෑ කරන්නේ. බුදුදහම, කිතු දහම වැනි ඒවායේ ආගම් හරයන් ගත්තාම දුකට හේතුව තණ්හාව බව කියවෙනවා. අනෙක් ආගම් පිළිබඳ මම ගැඹුරට දන්නේ නැහැ. ඒ වගේම අල්පේච්ඡ බව පිළිබඳවත් එම ආගම් දෙකේම කියැවෙනවා. බෙදාහදා ගැනීම් ගැන සඳහන් වෙනවා. එහෙම නම් අපේ ජීවිත වලට ආයුධ ඕනෑ කරන්නේ නැහැ, මේ තරම් තරග නැහැ. අපේ රටේ ඉන්ධන භාවිත කරන වාහන වෙනුවට විදුලි වාහන පාවිච්චි කරන්න අපට බැරි ඇයි. අපේ සම්පත් හඳුනාගෙන පරිසරයත් රැකගෙන යන්නේ කොහොමද කියලා අපිට හිතන්න බැරි ඇයි. මෙහි ආකල්පමය වෙනසකට පාදක වෙන ගොඩාක් පැති තියෙන්න පුළුවන්. ඒ නිසා මේක නිකම්ම රෝගයක් වෛරසයකට වඩා මේක ඊට එහා ගිය එකක් කියලා මම හිතනවා.


මෙම දිනවල ගෘහස්ත ප්‍රචණ්ඩත්වයේ වර්ධනයක් ද වාර්තා වන බව සෞඛ්‍ය අංශ වාර්තා කර තිබුණා. නිවාස තුළ හිරවීම සමග ඇතිවන ආතතිය දුරලීම සම්බන්ධයෙන් ආගමික නායකයින්ට ගතහැකි ක්‍රියාමාර්ග මොනවාද ?


පිටතට යන්නේ නැතිව දින ගණනාවක් නිවෙස්වල රැඳී ඉන්නා විට විවිධ පීඩන මතුවෙන්න පුළුවන්. විශේෂයෙන් ළමයින්ට සෙල්ලම් කරන්න එළියට යා නොහැකියි. ඒ වගේම පවුලේ අය අතරත් ගැටුම් ඇති වෙන්න පුළුවන්. ඉස්සර නම් ගැටලුවක් මතුවන විට එක් අයෙක් එළියට ගිහින් ටිකක් ඉඳලා එද්දී ඒ ගැටලුව ඉවර වෙලා වෙන්න පුළුවන්. දැන් එසේ කළ නොහැකි වීමත් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය මතුවෙන්න එක් හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා යම් කිසි ආධ්‍යාත්මික වැඩපිළිවෙළක් දියත් කරන්න පුළුවන්. ඒ ඒ ආගම අනුව ඒවාට විවිධ ක්‍රමවේද තියනවා. බෞද්ධ ධර්මය පැත්තෙන් මෛත්‍රී භාවනාව හෝ සතිය පිහිටුවා ගැනීම වෙන්න පුළුවන්. මේ වෙලාවේ ඉතාම වැදගත් වෙන්නේ සතිය පිහිටුවා ගැනීමයි. තමන් ඇල්ලුවේ මොනවාද, තමන් තව කෙනෙක්ට කොතරම් දුරින් ද ඉන්නේ, තමන් දාගෙන ගිය පාවහන් එළියේ ගලවා ආවාද නැතිනම් එයත් සමගම නිවස තුළට ආවා ද ආදී ලෙස සතිය පිහිටුවා ගැනීම කියන දේ සම්පූර්ණයෙන්ම මේකට අදාළයි. ඒ නිසා අන්තර්ජාලය හරහා භාවනා වැඩසටහනක් පටන් ගැනීමටත් අප සැලසුම් කර තිබෙනවා. එවැනි දේ ආගම් පැත්තෙන් කරන්න පුළුවන්. ඒ වගේම ලෝකය පුරා තිබෙන බෞද්ධ ආගමික ස්ථාන පහළොවක් පමණ එකතුවෙලා එක් ආයතනයක් පැය බැගින් මාරුවෙන් මාරුවට විසිහතර පැය පුරා වන පිරිත් වැඩසටහනක් අන්තර් ජාලය හරහා සිදුකිරීමටත් කටයුතු සූදානම් කර තිබෙනවා. මේ වෙලාවේ අපටත් සීමාවල් තියනවා, එළියට බහින්න බැහැ. ඒ නිසා ආධ්‍යාත්මික කටයුතු සඳහා එවැනි ක්‍රම අනුගමනය කළ හැකියි.



(උපුටා ගැනීම - ‘රාවය‘ පුවත්පතිනි) 

Post a Comment

0 Comments