Hot!

යටපත් කළ සියල්ල දෙබෑ කරගෙන යථාව මතුවූ කල ?




- මහේෂ් හපුගොඩ - 




කොරෝනා නිසා ගෘහීය ප්‍රචණ්ඩත්වය වැඩිවෙලා 

පුෂ්පා රම්‍යානි ද සොයිසා උපුටා දක්වමින් වෙබ් අඩවියක් වාර්තා කරලා තියනවා මේ කොරෝනා කාලේ බිරිඳ සහ ස්වාමියා වැඩිපුර එකට ඉන්න නිසා, සහ විශේෂයෙන් පිරිමියා වැඩි වෙලාවක් ගෙදර ඉන්න නිසා, ගෘහීය ප්‍රචණ්ඩ බව වැඩිවෙලා සහ ඒ ප්‍රචණ්ඩ ක්‍රියා නිසා රෝහල් ගතවෙන ස්ත්‍රීන් සංඛ්‍යාව වැඩියි කියල. මම සමාජ දුරස්තකරණය පිළිබද සටහන ලියන වෙලාවේ මේ තොරතුර තිබ්බේ නැහැ. ඒ වගේම චීනයේ වූහාන් වල දැන් ගොඩක් කාලයක් ගැහැණු පිරිමි එකට හිටපු නිසා දැන් එළියට එන්න ඉඩ දුන්න ගමන් එයාල කෙලින්ම යන්නේ දික්කසාද ගන්න අයැදුම් කරන ඔෆිස් එකට කියල. මේක අලුත් තත්වයක් නොවුනත් ඇත්තට ම අපි මේ යුගයේ ජිවත් වෙන්නේ කොහොමද කියන එක ගැන හොඳ නිර්ණායකයක් කොරෝනා සමීප බව (Corona proximity) විසින් සපයලා තියනවා.


ඒ කියන්නේ අපි එකට හිටියට ඉන්නේ ඇත්තට ම අනෙකාට සම්බන්ද වෙලා නෙවෙයි. බාහිර ලෝකෙට පේන්න ලොකු වෙඩින් අරගෙන, ලොකු ඇල්බම් සාලේ ටීපෝ එකේ තියල එකට ඉන්නවා තමයි. හැබැයි ඒ වගේම ලොකු මානසික කායික දුරස් බවකුත් ඒ වෙලාවෙම පවත්වා ගන්නවා. එහෙම නැතුව අනෙකාගේ බර අපිට උහුලන්න බැහැ. වෙන විදියකට කිව්වොත් අනෙකාගේ අතිසමීපතාවය අපිට දරන්න බැහැ. ඉස්සර රස්සාවට කියල එළියට ගිය නිසා ඒ දුරස් බව ඉබේම ඇතිවුණා. ඒ නිසා සියල්ල හොඳින් සිදුවුණා. දැන් උනේ මේ කවුරුත් නොසිතූ ආපතික නිමේෂයේ එකිනෙකාට සමීප වෙන්න බල කෙරෙනු නිසා සමීප වෙලා බලන කොට උනේ අමතක කරලා වගේ තිබ්බ ඒ කුණු කන්දල් ආපහු එකෙනිකාට පේන්න ගත්ත එක. එක අතකට ඒක හොඳ දෙයක්. දැන් අපි ගතකරන ජීවිතයේ ඇත්ත ම ඇත්ත මුණ ගැහුණා නේ.

ශරීර දෙකක් ළංකළාට එය සම්බන්ධයක් බවට පත්නොවේ 

ශරීර දෙකක් එකට ලං කළාට ඒක සම්බන්දයෙක් බවට පත් වෙන්නේ නැහැ. ඕක ගොඩක් කල් ආදරය කළා කියල උනත් හරියන දෙයක් නෙවෙයි. හඳුනා ගන්නවා කිව්වට අනෙකා කාල බලන්න බැහැනේ. මැරි කරන්න කලින් සෙක්ස් කළා කියලත් ලොකු යහපතක් වෙන්නෙත් නැහැ. එක එක විදියට තියල ඇක්රෝබැටික් විදියට සෙල්ලම් දැම්මත් මේ ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. නිකම් කොන්ද කඩා ගන්නවා විතරයි.

අපි අනෙකාට ලංවෙනවා වගේම අපේම වන නිස්කලංක මොහොතක් තියෙන්නත් ඕනි. ඒ කියන්නේ සමීප බව වගේම දුරස් බවත් එකවිටම පවතින්න ඕනි. ජපානේ ගැහැණු විශාල ප්‍රමාණයක් එයාලගේ හනිමුන් එකට හෝටල් බුක් කරද්දී වෙනම සෙපරේට් ඇඳන් තියනවා ද කියල අහල තමයි එන්නේ. එහෙම නැත්නම් එන්නේ නැහැ. එකට හිටියත් එයාලට වෙනම නිදාගන්න ඕනි. සමීප බව සහ දුරස් බව එකටම පවතිනවා. ඒක එයාල එළිදරව් කරනවා.

හැබැයි ලංකාවේ ගෘහස්ථ ප්‍රචණ්ඩ බවට හේතුව නම් මම මේ දේශනා කරන බණ නෙවෙයි. ඇත්ත ප්‍රශ්නේ සෙක්ස්. පිරිමියා බීලා ඇවිල්ලා තොයිල් නටනවා. සීමාවක් පිළිවෙලක් නැහැ. ඉතිං ගැහැණු කැමති නැහැ. එතකොට අතින් පයින් තමයි ප්‍රශ්නේ ඩීල් කරන්නේ. පස්සේ පොලිසි, ළමා සහ කාන්තා කාර්යාංශ සහ ඉස්පිරිතාල වල යනවා.

බටහිර ශිෂ්ටාචාරය ඇතුලේ වගේම දැන් ගොඩක් පෙරදිග රටවල් වල උනත් මේ සෙක්ස් ප්‍රශ්නේ ගණිකා වෘත්තීය, සමාජ ශාලා, ස්ට්‍රිප් ක්ලබ්, රෙඩ් ලයිට් කලාප හරහා විසඳලා තියනවා. විසඳලා කිව්වට ඒකත් විසඳුමක් ම නෙවෙයි.

අපි ගොඩක් වෙලාවට අනෙකා ගැන සිතින් මවන ෆැන්ටසි එක ඇත්තටම මායාවක්. එයා මෙහෙම ඇති.. එහෙම ඇති... කියල අපි හිතන්නේ අපේම ෆැන්ටසි එකක් මුදුන් පමුණුවා ගන්න. එහෙම නැතුව එයා තුල ඇත්තටම එහෙම තියන නිසා නෙවෙයි. ඒ උනාට සම්බන්දයේ මුල් කාලයේ අපි අනෙකාට ඇති තරම් එයාගේ ෆැන්ටසි සෙල්ලම කරන්න ඉඩ අරිනවා. ඒ කාලේ එයා මැඩෝනා වගේ...මම එල්විස් ප්‍රෙස්ලි වගේ. පාරේ යන්නේ මික් ජැගර් වගේ බොහීමියන් විදියට. ටිකක් දවස් ගිහිල්ලා, ෆැන්ටසි ලෙහිලා, ළමයි හම්බ වෙලා බලනකොට සිරිපාල සහ රන්මැණිකා...ෆැන්ටසි කුඩේ කුඩු...ඉන් පස්සේ ආතතිය...ඉනුත් පස්සේ මෝල්ගස් ප්‍රහාර...

ඇලෙන්කා සුපැන්ජිත් මෙතැනදී යෝජනා කරන්නේ මනෝ-දේවධර්මයක් (psycho-theology) අද දවසේ මිනිසාට අවශ්‍යයි කියල. ඒ කියන්නේ ලෝකයේ දියුණුම දාර්ශනික ව්‍යාපෘතිය දැන් ආගම අබිං කියන මාක්ස් ගේ තැනින් ක්‍රිස්තියානි දේව දර්මය පැත්තට ගමන් කරමින් පවතිනවා. මම මේක මීට කලින් අවධාරණය කරලා තියනවා. ඒ නිසා මම හිතමින් ඉන්නේ අනාගමික වෙනවට වඩා බෞද්ධ අනාගමිකයෙක් (secular Buddhist) වෙන එක වඩා යථාර්තවාදී කියල.

අන්තිමට සියල්ල දෙබෑ කරගෙන යථාව මතුවෙනවා

මනෝ-දේවධර්මයෙන් කියවෙන්නේ අපි අනෙකා දෙසට දමා ගසන ෆැන්ටසි එක කියන්නේ අපි තුලම තියන හිස් බවක ප්‍රථිපලයක් කියන එකත් (දෙවියන් මිය යාම) අනෙකා යනු ඩෙරීඩියානු අවතාරයක් (Derridian spectre) පමණක් විය හැකි බවත්. ඒ කියන්නේ සම්බන්දයක් යනු ගැඹුරු වසඟයක් කියන එක. අනෙකා අපි ඉදිරියේ නිරුවත් උනත් අනෙකා විසින් අපිට අරන් එන්නේ අපේම ෆැන්ටසි එකේ ආකෘතික නියෝජනයක්. මේ ගැඹුරු අවබෝධය නැතුව ඉදිරියේ ජීවත් වෙන්න බැරි වෙයි. මොකද දැන් අපි ඉන්නේ පට්ටම පට්ට අවුලක. මේ පශ්චාත් නූතන යුගයේ මේ වෙනකොට මුකුත් ඉතුරු වෙලා නැහැ. තියන්නේ වසඟය විතරයි. විශේෂයෙන් මිනිස් සම්බන්දතා කලාපය ඉවරෙටම ඉවරයි කියල දැන් කොරෝනා පෙන්නලා දෙමින් පවතිනවා. මේක තනිකර ප්‍රාග්ධනයේ ප්‍රශ්නයක් ම නෙවෙයි. මිනිස් අධ්‍යාත්මයේත් ප්‍රශ්නයක්.

ලකාන් ට පස්සේ ඇවිල්ල ඉන්න විශ්ලේෂකයෝ දැන් ඉන්න ස්ථාවරය තමයි ලෝකයේ පිළිවෙල සකස් කරන්න නම් ආපසු ආගම වෙතට යන්න වෙනවා කියන තැන. ඒක අර පරණ ආගම නම් නෙවෙයි. ඒක නව සංකේත පිළිවෙලක් සහිත එකක්. සමාජ අර්ථයන් සකස් කරන්න වෙන අධ්‍යාත්මික විදියක් එයාලටත් හොයාගන්න බැහැ. ඒකයි ප්‍රශ්නේ.

අන්තිමට යටපත් කළ දෙය සියල්ල දෙබෑ කරගෙන යථාව ලෙස මතුවෙනවා...



0 comments: