to-add

‘සිවරාම්‘ යුක්තිය නැතිව වසර 15 ක්



- සම්පත් සමරකෝන් - 



ධර්මරත්නම් සිවරාම් හෙවත් තාරකී ප්‍රවීණ ජනමාධ්‍යවේදියා, දේශපාලන විශ්ලේෂකයා, ඝාතනය කර වසර 15ක් ගෙවෙමින් තිබේ. 2005 අප්‍රේල් 28 වන දින බම්බලපිටිය පොලීසිය අසලදී වෑන් රථයකින් පැමිණි කණ්ඩායමක් විසින් සිවරාම් පැහැරගෙන ගොස් තිබිණි. ඊට පසු දින සිවරාම්ගේ මළ සිරුර අධිආරක්ෂිත කලාපයක් වූ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අසලින් සොයා ගත්තේය.

1959 අගෝස්තු 11වන දින මඩකලපුවේදී උපන් ධර්මරත්නම් සිවරාම්, ජනමාධ්‍යවේදියෙකු, ලේඛකයෙකු මෙන්ම ප්‍රවීන යුධපුවත් විශ්ලේෂකයෙකු සහ ප්‍රකට දේශපාලන විශ්ලේෂකයෙකු විය. 1982 ගාන්ධියන් ව්‍යාපාරයෙන් තම දේශපාලන දිවිය ආරම්භකල සිවරාම් ප්ලොට්, ඩීපීඑල්එෆ් වැනි දේශපාලන සංවිධානවල ක්‍රියාකාරිකයෙක් විය. ජනමාධ්‍යවේදියෙකු ලෙස ධර්මරත්නම් සිවරාම් හෙවත් තරාකී ප්‍රධාන ධාරාවේ මෙන්ම අන්තර්ජාලය පදනම් වූ ප්‍රවෘත්ති මාධ්‍යන් හි දේශපාලන සහ දේශපාලන විශ්ලේෂකයෙකු ලෙස ක්‍රියාකාරී විය.

මෙවන් ප්‍රවීණ ජනමාධ්‍යවේදියෙකු, දේශපාලන විශ්ලේෂකයෙකු ලංකාවේ පොලීසියක් ඉදිරිපිටදී පැහැරගෙන ගොස් ඝාතනය කලේ ය. එපමණක් ද නොව ඝාතනය කරන ලද සිවරාම්ගේ සිරුර හමුවුයේ රටේ උත්තරීතරම ආයතනය ලෙස හදුන්වා ගන්නා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව අභියස දීය. ඒ අධිආරක්ෂිත කලාපයක් තුළදී ය. පොලීසියක් අසලදී පැහැරගෙන ගොස් පාර්ලිමේන්තුවක් අසලදී මිනිසෙකු මරා දැමීමට තරම් ඝාතකයන් ශක්තිමත් වූයේ කෙසේ ද? අධිආරක්ෂිත කළාපයක මෙවන් සිදුවීමක් සිදුකරන්නට හැක්කේ කාටද?

ආරක්ෂක අංශවලට හෝ බලධාරීන්ට මෙතෙක් විසඳාගැනීමට නොහැකි වූ ගැටලුවද එය යි. එපමණක්ද නොව මේවන විට සිවරාම් මරා දැමූ ඝාතකයන් නීතිය හමුවට පැමිණවීමට ගන්නා කිසිදු උත්සහයක් අද දක්වාම දක්නට නැත. එයින් මතුවන තවත් කරුණක් ඇත. අධිආරක්ෂිත කලාපයක මෙවන් බරපතල දෙයක් සිදුවීමක්, විසදාගැනීමට බලධාරීන්ට නොහැකි වූයේ ඇයි ද යන ගැටලුවයි? ‘සීනි හොරෙන් කෑ අය විසින්ම, සීනි හොරෙන් කෑ අය සෙවීමට යාමේදී ‘සීනි හොරා‘ කිසිම දිනක හමුනොවනු ඇත‘ යන කියමන මෙහිදී ලියුම්කරුට මතක් වේ.

මෙවැනි අන්දමක ඝාතනයක් සිදු වසර 15ක් ගතවූවත් එම ඝාතනයට වගකිව යුතු ඝාතකයින් සොයා ගැනීමට නොහැකි රටක ‘සෞභාග්‍ය’ ගොඩනගන්නට හැකිවේද? කෙසේ නමුත් සුන්දර වචන ගොන්නකින් සරසා අපට තිළිණ කරන පතරාංග ප්‍රතිපත්තිවලට මහා වෙනසක් කළ නොහැකි බව පසුගිය කාලය පුරාම සිදුකර ඇති දේවල් වලින් මනාවට සනාථ වී හමාරය. එයින් කියැවෙන එක් දෙයක් නම් රටක ‘අභ්‍යන්තර යුක්තිය’ ඉටු නොකර කුමන සංවර්ධන මාදිලියක් හෝ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට අපහසු බවත්, එසේ කලත් එය තාවකාලික අස්වැසිල්ලක් ම පමණක් වන බවත්ය. එය, කොරෝනා වසංගතය හමුවේ ‘පාලකයන්’ කෙසේ වෙතත් සක්‍රීය පුරවැසියන් තේරුම් ගන්නේ නම් එය හෝ යම් පමණක ට මේ අවස්ථාවේ ප්‍රමාණවත් විය හැකිය. සිවරාම්ගේ ඝාතනයෙන් වසර 15ක් ගෙවෙන මේ මොහොතේෙ ත්, අධිකරණයෙන් වරදකරු වූ ‘ඝාතකයන්ට’ ජනාධිපති සමාව හිමිවන මේ රටේ, ‘අභ්‍යන්තර යුක්තිය’ ඉටු කිරීම පිළිබද කිසිදු බලාපොරොත්තුවක් නැති තත්ත්වයක් වුව ද, නමුත් ඒ අති බිහිසුණු ප්‍රශ්ණකාරී තත්ත්වයට පිළිතුරු ද සපයා දෙනු ඇත්තේ අපගේ ක්‍රියාකාරීත්වය තුළින් ම පමණක් බව ලියා තැබිය යුතු ය.

ජේඩීඑස් වෙබ් අඩවියේ, ‘සිවරාම්’ වියැකී නොයන සදාතනික මතකයන් පිළිබද සටහන් තුළ ඇති විරාජ් මෙන්ඩිස් ලියූ ‘ධර්මරත්නම් සිවරාම්: සන්සුන් චින්තකයෙකුගේ නික්ම යාම‘ නම් ලිපියේ පහත කොටස උපුටු ගනිමින් මේ සටහන අවසන් කරමු.

2003 ඔක්තෝබරයේදී හිරු කණ්ඩායම විසින් කොළඹ දී සංවිධානය කළ සිංහල – දෙමළ සංස්කෘතික සමුළුවේ කතා කළ සිවරාම්ගෙන් කෙනෙක් අසන ලද්දේ, ඔහුට එතරම් ජීවිත අනතුරක් ඇති කොළඹ නගරයේම ජීවත්වන්නේ මන්දැයි කියා ය. වෙඩි ප්‍රහාරයකට ලක්ව ඝාතනය වීමේ ඉරණමට ගොදුරු නොවී දෙමළ මාධ්‍යවේදියෙකුට කොළඹ සිට ක්‍රියා කළ නොහැකි නම්, දෙමළ ජනයාගේ වෙනම රාජ්‍යයක් සඳහා වූ අවසාන කොන්දේසිය ද සැපිරෙන බව සිවරාම් කීවේය. ජීවිතය කෙරෙහි එල්ල වූ බරපතල අවදානම මැද පවා කොළඹ ජීවත්වීමට තරම් එඩිතරවීම ඔස්සේ සිවරාම් සිය ජීවිතය තුළින් ප‍්‍රකාශයට පත් කිරීමට උත්සාහ කරන ලද්දේ සිංහල සහ දෙමළ ජනයා අතර සහයෝගීතාව සඳහා තවදුරටත් ඇති අවකාශයයි. ඔහුගේ ඝාතකයින් විසින් මෙය කළ නොහැක්කක් බවට පෙරළා ඇත්තේද ?





මේ සිවරාම් පිළිබද මංජුල වෙඩිවර්ධන ලියූ ජයතිලක බණ්ඩාරයන් ගායනා කරන ලද ගීතයක්..

නින්ද නොඑනා අන්ධකාරය රළ නඟයි
අන්ධකාරය බිඳී තරුවක් නුබ නැ‍‍ඟෙයි
සිංදු කියනා මාළුවෝ නුඹෙ නම කියයි
තරාකී නුඹෙ සරාගී කටහඬ ඇසෙයි

මන්ද මාරුතයේ එතී එන රුධිරයේ
සිංදු කියනා කටහඬක මතකය තියේ
චණ්ඩ මාරුත හමා ආ රුදු රාත‍්‍රියේ
මන්ද සකි සඳ නින්ද පතුළට ඔබ ගියේ

කිඹුල්වත් නගරයේ නිරුවත පෙනුනා
කිඹුල් ඇළ ඉවුරේ කිඹුල් දත් දිළුණා
තැවුල් හදවත් දොර පියන්පත් ඇරුණා
ඔබේ කටහඬ ඒ හදින් හද පිරුණා

(මංජුල වෙඩිවර්ධන)

උපුටාගැනීම ‘විකල්ප‘ වෙබ් අඩවියෙනි


Post a Comment

0 Comments