to-add

මිරුසුවිල් සංහාරයේ වැරදිකරුට ජනාධිපති සමාව දීම ගැන ට්‍රාන්ස්පේරන්සි ප්‍රශ්න කරයි


2000 වර්ෂයේ දෙසැම්බර් මස සිදු වූ මිරුසුවිල් සංහාරයේ වැරදිකරුට ජනාධිපති සමාව දීමට අදාළ සියලු ලේඛන ප්‍රසිද්ධියට පත් කරන මෙන් ට්‍රාන්ස්පේරන්සි ශ්‍රී ලංකා ආයතනය (TISL) ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉල්ලා සිටී. එසේ කිරීමට අපොහොසත් වුවහොත්, විධායකය හා අධිකරණය අතර බලය බෙදීමේ  ව්‍යවස්ථාමය ප්‍රතිපත්තියට සුව කල නොහැකි  හානියක් සිදුවනු ඇතැයි   TISL ආයතනය විශ්වාස  කරයි. විශේෂයෙන් මෙම නඩු තීන්දුව හා මහාධිකරණයෙන් ලබා දුන් දඬුවම, 2019 වර්ෂයේ අප්‍රේල් මස, බුවනෙක අලුවිහාරේ, නලින් පෙරේරා, සිසිර ද ආබෘ, ප්‍රියන්ත ජයවර්ධන හා මුර්ධු ප්‍රනාන්දු යන පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් සනාථ කර ඇති බැවින්  මෙම තත්වය වඩාත් බරපතල වේ.  

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන වගන්තිය මඟින්, ඕනෑම වරදකරුවෙකුට සමාව ප්‍රදානය කිරීමට ජනාධිපතිවරයාට බලය පවරා ඇත ද, එම වගන්තිය තුළම උක්ත බලයට යම් සීමා පනවමින් දක්වා ඇත්තේ "එසේ වූ යම් වරදකරුවෙකුට අධිකරණයකින් මරණ දඬුවම නියම වූ විටක ජනාධිපතිවරයා විසින් ඒ නඩුව විභාග කළ විනිශ්චයකාරවරයාගෙන් වාර්තාවක් ලබා ගැනීමට සැලැස්විය යුත්තේය. එම වාර්තාව ජනාධිපතිවරයා වෙත ලැබුණු විට, ඒ පිළිබඳව නීතිපතිවරයාගේ උපදෙස් දීමෙන් පසුව නීතිපතිවරයාගේ ඒ උපදෙස් සමඟ එය අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත යැවිය යුතු බව නියම කොට ජනාධිපතිවරයා විසින් එය නීතිපතිවරයා වෙත යැවිය යුත්තේය. ඉන්පසු ඒ අමාත්‍යවරයා විසින් සිය නිර්දේශද සමඟ එම වාර්තාව ජනාධිපතිවරයා වෙත යැවිය යුත්තේය” 

තව ද, තොරතුරු දැනගැනීමේ පනත යටතේ, 2017 පෙබරවාරි මස ප්‍රකාශයට පත් කරන ලද ගැසට් අංක 2004/66, රෙගුලාසි අංක  20/1/iv අනුව,සියලුම රාජ්‍ය ආයතන,"තීරණ හා ක්‍රියාකාරකම් - තීරණ හා විශේෂයෙන්ම පොදු ජනතාවට බලපාන සේ ගත්   ක්‍රියාමාර්ග, ඒවාට පදනම් කරගත් දත්ත ලියවිලි සමඟ ප්‍රගාමිව ප්‍රසිද්ධියට පත් කිරීම අවශ්‍ය වේ." TISL ආයතනය විශ්වාස කරන්නේ මරණ දඬුවම නියම වූ වැරදිකරුවෙකුට සමාව දීම,සහ සමාව දීමට අදාළ ලේඛනයන් යටපත් කිරීම, මෙම කාරණාව ජනතාවට ඍජුවම බලපාන බවට ඔප්පු කරන සාධකයන් වන බවයි. 

TISL ආයතනයේ විධායක අධ්‍යක්‍ෂ අසෝක ඔබේසේකර පැවසුවේ,"සමාව ලබාදීමේ නිසි ක්‍රියාවලියට  අදාළ ලිපි ලේඛන ප්‍රසිද්ධියට පත් නොකර ජනාධිපති සමාව  දීමේ බලය ක්‍රියාත්මක කළ අවස්ථාවන් දෙකක් අපි මෑත ඉතිහාසය තුළ අත්විඳ ඇත්තෙමු. මෙලෙස අධිකරණ ක්‍රියාපටිපාටිය යටපත් කරමින් විධායක බලතල ක්‍රියාවට නැංවීමේ ප්‍රවනතාවය ඉතා බාධාකාරී තත්වයක් ඇති කිරීමට හැකියාව පවතී.මක් නිසාද යත්,පවතින නිතිය යටතේ යුක්තියේ බේරුම්කරුවා ලෙස අධිකරණය  කෙරෙහි මහජනතාවගේ විශ්වාසය බිඳ වැටීමට එය හේතුවක් වන බැවිනි". 

ඔහු වැඩිදුරටත්  ප්‍රකාශ කලේ, මෑත කාලින සිදුවීම් දෙක සඳහාම රාජපක්‍ෂ සහ සිරිසේන ජනාධිපතිවරුන් සඳහා ලබා දුන් උපදෙස් ලේඛනයන් වහාම ප්‍රසිද්ධියට පත් කිරීම අත්‍යවශ්‍ය වන බවත් එලෙස තොරතුරු ප්‍රසිද්ධියට පත් කිරීම තුළින් ජනාධිපති රාජපක්‍ෂ මහතාගේ "තාක්ෂණික රාජ්‍ය පාලනය" ට ඇති කැපවීම ද ඉස්මතු කරනු ඇති බවත් ය. 

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සහ RTI පනතේ විධිවිධාන වලට අනුකූලව, නඩුව විභාග කල විනිසුරුවරයාගේ වාර්තාව, නීතිපතිවරයාගේ උපදෙස් සහ අධිකරණ අමාත්‍යවරයාගේ නිර්දේශය ප්‍රසිද්ධියට පත් කරන මෙන් TISL ආයතනය ජනාධිපති ලේකම් පී.බී.ජයසුන්දරගෙන් ඉල්ලා සිටී. 


Post a Comment

0 Comments