to-add

යමක් උපදින්නේ එහි විනාශයත් අතේ දරාගෙනයි



- මහේෂ් හපුගොඩ - 



මළකඩ තියෙන්නෙත් යකඩ ඇතුළෙමයි 

යම් දෙයක ශක්තිය තුල ම එහි විනාශයත් ගැබ්ව පවතිනවා. ඒ වුණාට සාමාන්‍ය මිනිසා යමක් තුළ ම තියන නිශේධනය දකින්න අසමත් කියලත් කියනවා. එහෙම කියල තියෙන්නේ මට මතක විදියට හේගල් කියල දාර්ශනිකයා. යම් දෙයක් ශක්තිමත් කියල හිතන කොටම අපි නැවත කල්පනා කරන්න ඕනි ඒ ශක්තිමත් දෙය විනාශ වෙන්නත් ඒ දේ ඇතුළෙම තියෙන යම් නිශේධනයක් නිසා කියල. යකඩ කියන්නේ ගොඩක් හයිය දෙයක්. ඒ උනාට මළකඩ කියන්නෙත් ඒ යකඩ ඇතුලෙ ම හටගන්නා දෙයක්. යකඩ ගොඩක් කාලයක් වාතයට ජලයට නිරාවරණය වුණොත් අර යකඩ තුළ ම තිබ්බ එහෙත් එකපාරටම දකින්න බැරි උන 'යමක්' විසින් එයාටත් නොදැනීම ඒ ශක්තිමත් දෙය ක්‍රමානුකුලව විනාශ කරලා දානවා. ඒ නිසා යමක් දකිද්දී අපි ඒ දේ තුල අන්තර්ගත වෙලා තියන විනාශයත් දකින්න ඕනි.

ලංකාවේ තියන ශක්තිමත් පවුලක් තමයි රාජපක්ෂ පවුල කියන්නේ. අද පවා දේශපාලනයේ වැදගත් ස්ථානවල ඒ පවුලේ සාමාජිකයෝ ඉන්නවා. හැබැයි එයාලට ආව ලොකුම චෝදනාවක් උනේ 'පවුල් වාදය' කියන එක. 2015 පරාජයට හේතු උණේ ඒ ශක්තිමත් පවුල කියන එකේ තිබ්බ අවුල් ටිකක්. ශක්තිය ඇතුලේ ම ඒකෙ නිශේදනයත් තිබ්බා. හැබැයි එයාල නැවත ඉස්මතු වෙන්න අර පවුල ඇතුලේ ම කෙනෙක් පාවිච්චි කළා. ඒකත් හරි ගියා.

කොවිඩ් පාලනයට ත්‍රිවිධ හමුදාව යෙදෙව්වේ ඇයි ?

ඒ ආගමනය ඇතුලේ පැමිණි ගෝඨාබය රාජපක්ෂ චරිතයේ ශක්තිමත් ම සාධකය උනේ එයාගේ මිලිටරි පසුබිම. විශේෂයෙන් රටේ අවුල් වෙලා තිබ්බ විනය - පිළිවෙල කියන එක නැවත ගේන්න එයාගේ මිලිටරි වෘත්තියෙන් ආව 'තද ගතිය' තමයි ඒ වෙලාවේ මාකට් වුනේ. ඒකට සෞභාගය සහ සංවර්ධනය කියන එකත් ගැටගැහුණා. අනික් අතට තව අටෝරාසියක් අවුල් යහපාලනය ඇතුලේ තිබුණා. ඒ නිසා රටේ විනය - පිළිවෙල නැවත ස්ථාපිත කරන්න ගෝඨා ගේ මිලිටරි කැරිස්මා එක හුඟක් බලපෑවා. ඉතින් ආව ගමන් එයා මිලිටරි එකට සම්බන්ද කිහිප දෙනෙක් රජයේ උසස් තැන් වලට පත් කළා. අදටත් ඒ අය තමයි සෑහෙන බලපෑමක් කරන්නේ රටේ පාලනය ඇතුලේ.

ඒ ශක්තිය ගැන තිබ්බ සාමාන්‍ය මිනිස් ආකල්පය නිසාම වෙන්න ඇති කොවිඩ් වසංගතය ආව වෙලාවේ ඒක පාලනය කරන්න එයාල ත්‍රිවිධ හමුදාව යොදවන්න ඇත්තේ. අර ශක්තිය ගැන අපි හැමෝගෙම තිබුණ සාමාන්‍ය මතය එක්ක අපි හැමෝම ඒ උපනතිය අපි විශ්වාස කළා. හේගල් ඒක හඳුන්වන්නේ 'සාමාන්‍ය මනුෂ්‍ය සවිඥාණික බව' (layman consciousness) හැටියට. ආපතික දෙයකදී අපි විශ්වාස කරන්නේ අපේ ශක්තිමත් ම දෙය කෙරෙහි. ඒක තමයි සාමාන්‍ය ස්වභාවය. ඒක තමයි අපේ පරිකල්පනයේ සීමාව.

යකඩ දන්නේ නැහැ මළකඩ තියෙන්නෙත් ඒක ඇතුළෙමයි කියලා

නමුත් අද කොවිඩ් වසංගතය යම් සිතාගත නොහැකි පිම්මක් පනින්න අර ශක්තිමත් මිලිටරි සාධකය ම සෑහෙන දුරකට බලපෑවා. මිලිටරි එකේ තරුණ කොල්ලෝ දුවල පැනල මේක පාලනය කරන්න පටන් ගත්තා. එයාල ශක්තිමත් මොරාල් එක නිසාම එයාලගේ සෞඛ්‍ය ගැන උනත් හිතන්නේ නැතුව වැඩේ කරගෙන ගියා. වැඩේ නැගල ගියා. ඒක වෙලාවක වැඩේ සෑහෙන දුරට පාලනය උණා. ටිකක් මහන්සි උනාම නිවාඩු ලැබුණා. තියන මොකක හරි එල්ලිලා ගමේ ගියා. ගමේ ගිහිල්ලත් නිකම් හිටියේ නැහැ. වටේටම විද්දා. පොහොර බෙදුවා, ශ්‍රමදාන කළා, ගමේ වැඩ වලට උදව් කළා. සාමාන්‍ය ශක්තිමත් කෙනෙක් කරන වැඩ ටික ඔක්කොම කළා. නමුත් දැනගෙන හිටියේ නැහැ ඒ ශක්තිමත් සංචලනය ම (mobility) තමයි වඩාත් ශක්තිමත් වාහකය උනේ කියල. යකඩ දන්නේ නැහැ මළකඩ එය තුල ම පවතිනවා කියල. නේවි කොල්ලෝ දැනගෙන හිටියේ නැහැ එයාල මේ දුෂ්කර ම දුෂ්කර වැඩේ අති දුෂ්කර තැනකට ගෙනියනවා කියල. ඒ තමයි සාමාන්‍ය බුද්ධියේ හැටි. අපි සර්වතෝභද්‍ර නැහැ.

මේ ඇති වෙච්ච තත්වය විසින් ලොකු අභියෝගයක් ජනිත කරලා තියනවා. අපේ මිනිස්සු ඒ ශක්තිමත් මිනිස්සු ගැන දැන් සැක කරන්න පටන් අරන්. නේවි කෙනෙක් දැක්කොත් හතර වටේ කෝල් කරනවා කියල දැන් තුඩ තුඩ කියවෙනවා. ඒත් අර සාමාන්‍ය බුද්ධිය ම තමයි (සාමාන්‍යයෙන් මම මිළිටරි එක දිහා බලන්නේ නියුට්‍රල් තැනකින්. රණවිරු වගේ තැනකින් කවදාවත් බලන්නේ නැහැ. ඒක මේ සටහනට අදාල නැහැ).

මේ විශ්වාසය නැති වීම ඉතාම නරක තත්වයක් කරා මේ රට යන්න බලපානවා කියල මගේ සාමාන්‍ය බුද්ධියට හිතෙනවා. මේ වෙලාවේ තමයි අපේ ශක්තිමත් දේවල් ගැන වඩාත් විශ්වාස කරන්න ඕනි.

තමා තුල ම තියන දුර්වලතාවය දකින්න නම් ඉතාම ගැඹුරින් තමා දෙස බලන්න පුළුවන් වෙන්න ඕනි කියල විඥාණවාදියෙක් හැටියට හේගල් කියනවා (inward eye). මේක බුදුන් වහන්සේ කියපු දෙයින් මහා ලොකුවට වෙනස් කියල මම හිතන්නේ නැහැ.

මම හිතන්නේ යමෙක් තමන්ගේ ශක්තිය තුළින් ම මතුවන තමාගේ ම විනාශය (ශක්තියේ විනාශය) දකින්න නම් මනා සිහිය උපදවා ගන්න ඕනි. යමක විනාශය තියෙන්නේ බාහිර කොහේ හරි තැනක නෙවෙයි. තමන් ඇතුලේ ම යි.

යමක් උපදින්නේ එහි විනාශයත් අතේ දරාගෙන ම යි. මේක තමයි පෙරදිග අවබෝධයේ සාරය.

Post a Comment

0 Comments