to-add

කොවිඩ් 19 හා ප්‍රංශ සාහිත්‍ය කර්මාන්තය



- මංජුල සේනාරත්න - 


අද මැයි 11 වැනිදා, Covid -19 වසංගතයෙන් ගැලවෙනු පිණිස මාස දෙකකට ආසන්න කාලයක් වසා දමා තිබුණු ප්‍රංශය යළි විවිර වෙයි. තවමත් නො විසදුණු කරුණු රාශියක් තිබෙන මුත් මේ ලිපියේ අරමුණ ඒ ගැන ලිවිම නොවේ. මේ භීම සමයේ ප්‍රංශ සාහිත්‍ය ක්ෂේත්‍රය දිවි ගලවා ගන්නා ආකාරය ගැන යන්තම් සොයා බැලීමයි. තවත් අතකින් කියන්නේ නම් සාහිත්‍ය ක්ෂේත්‍රයේ අනාගත දිවිය වෙනුවෙන් රජය උදව් වන ආකාරය පෙන්වා දීමයි. මෙහි එන ඇතැම් කරුණු උපුටා ගනු ලැබුවේ Livres Hebdo වෙබ් අඩවියෙන් සහ ගිය සිකුරාදා සංස්කෘතික අමාත්‍යාංශය විසින් නිකුත් කරන්නට යෙදුණු මාධ්‍ය ප්‍රකාශයනය ඇසුරිනි.

ඊට පෙර මාස දෙකක් ආපස්සට යමු. මාර්තු මස 15 වැනිදා වසංගතයෙන් බේරීමට රට වසා දැමීමට තීරණය කළ මොහොතේ , එදිනෙදා ජීවිතයට අවශ්‍ය සියලු දේ අඩුවකින් තොරව ජනතාව අතට පත් කරන්නට කටයුතු යොදා ඇති බවත් කිසිදු අයුරකින් ආහාර හිගයක් උදා නොවන බවත් ජනාධිපති තුමා ප්‍රකාශ කළේය . ප්‍රංශ කාරයෝ යනු එක් කළෙක පොත් යනු තමන්ගේ කුස ගිනි නිවනා පාන් ගෙඩිය හා සමානව සැළකූ ජාතියකි. අද දවසේ ඒ පොත් පිපාසය තරමක් දුරට අඩුවී තිබුණත් , මිලියන 30 ජනතාවක් එදිනදා පුරුද්දක් වශයෙන් පොත් කියවති. කුසට කෑම වුවමනාය. එහෙත් පොත් කඩ වසා දැමූ විට මනස් ගින්න නිවා ගන්නේ කෙසේද..? පොත් සොයා යන්නට ජනතාවට නොහැකි නම් පොත් ජනතාව වෙත රැගෙන ආ යුතු නොවේද...?
මේ අනුව මාර්තු 20 වැනිදා ප්‍රංශයේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය එනම් Syndicat National de L'édition විසින් රජයෙන් ඉල්ලා සිටියේ වෙළඳ පොළ වසා දමා ඇති නිසා සිදුවන පාඩුව අවම කර ගැනීම සඳහාත් , පාඨකයින් තමන් කෙරෙහි රදවා තබා ගැනීම සඳහාත් පොත් අලෙවිය සඳහා විශේෂ තැපැල් ක්‍රමයක් සුදානම් කර දෙන ලෙසයි. ගැටළුවක් නොවේ. සංස්කෘතික අමාත්‍යංශය කියා සිටියේ පාඨකයන් හට තමන්ගේ පණිවුඩය යවා පොත් අලෙවි කර ගත හැකි නම් , පොත් තැපෑලෙන් යැවීමේ ගාස්තු සම්පුර්ණයෙන්ම ඉවත් කරන බවයි. එනම් රජය විසින් ගෙවන බවයි. තවද ප්‍රධාන නගර ඇතුලේ ප්‍රවාහනය සඳහා ඉඩ ලබා දෙන බවයි.

අනෙක් රටවල් ගැන නොදන්නා මුත් ප්‍රංශයේ පොත් ප්‍රකාශකයින්ගේ සංගමය වක්‍රාකාරයෙන් රාජ්‍ය අනුග්‍රහය ලබන බලවත් ආයතනයකි . ප්‍රංශය පුරා බිහිවී ඇති කුඩා සහ දැවැන්ත පොත් ප්‍රකාශන ආයතන 6246 කගේ කාර්යයන් ගැන ඔවුහු ඇස ගසා ගෙන සිටිති. සාහිත්‍ය කර්මාන්තයත් එසේමය. අධ්‍යාපන කටයුතු සදහා මුද්‍රණය වන පොත් අමතක කළෝතින් විවිධ ශානර වලට අයත් පොත් 90000 -120000 ප්‍රමාණයක් වසරකට එළි දකියි. ඉහත සංගමයේ වාර්ෂික වාර්ථාව දක්වන ආකාරයට ප්‍රකාශන ආයතන 2018 වසරේ ලබා ඇති අදායම යුරෝ මිලියන 2670 කි . (එය පෙර වසර වඩා 4.38%ක අඩු වීමකි )

තමන්ගේ වෙබ් අඩවි තුළින් හා වෙනත් සියලුම සමාජ ජාලා ඇසුරින් නිවෙස් වලට වී ගෙවන කාලය තුළ කියවීමට පොත් ලබා ගත හැකි බව ප්‍රකාශකයෝ පාඨකයන්ට දැන්වූහ . ඒ 30 % ක වට්ටමක් සහිතව තැපල් ගාස්තු ය කිරීමකින් තොරවය. අප්‍රේල් මාසය තුළ පමණක් Plon ආයතනය තම ප්‍රකාශන 66000 ක් අලෙවි කළ බව වාර්තා වෙයි. අනෙක් ආයතන හි අලෙවිය ගැන තවමත් නිල නිවේදනයක් නැත.

කෙසේ හෝ වේවා මේ අලෙවිය තුළින් පාඩු මකා ගන්නට සාහිත්‍ය කර්මාන්තයට නොහැකි විය. කර්මානත්යට අදාළ සෑම අංශයකම සේවකයන් හට තම වැටුපෙන් 84% ක් රජය ගෙවූ බව සැබෑවකි. එහෙත් යළි කර්මාන්තය යළි ගමන් අරඹන විට පොඩි තල්ලුවක් දිය යුතුය. එනම් රජයෙන් පොඩි ආධාරයක් කර්මානත්යට ලබා දිය යුතුය. ප්‍රංශය යනු කලා කරුවාට අත දෙන රටක් නොවේ. ප්‍රංශය ඇත දෙන්නේ කලාවටයි. එනම් කලා ක්ෂේත්‍රයටයි. කලාව රැකෙන්නේ නම් කලා කරුවා රැකෙන්නේ නිතැතින්මය . ප්‍රංශ රජයේ භාණ්ඩාගාරයත් හිස් තැනකි. මේ අවස්ථාවේ යම් අමාත්‍යාංශයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීම අති දුෂ්කරය. ගෙවුණු කාලයේ ආර්ථික පාඩුවෙන් ගොඩ ඒමට යුරෝ මිලියන 25 ක් මුදලක් සංස්කෘතික අමාත්‍යයංශය වෙනුවෙන් රජය වෙන් කර තිබේ. එය ඉතාම සුළු මුදලකි. නැති කමට එයත් වරදක් නැත. මෙයින් යුරෝ මිලියන් 05 ක පමණ ප්‍රමාණයක් සාහිත්‍ය ක්ෂේත්‍රයට වෙන් කර තිබේ.

මේ කුඩා මුදල වැඩි වශයෙන්ම වෙන් වන්නේ ස්වාධින ප්‍රකාශකයන්ගේ අගහිග කම් වෙනුවෙනි. විශේෂයෙන්ම පොත් සාප්පු විඳි පාඩු මකා ගැනීම සඳහාය. එපමණක් නොවේ. සාහිත්‍ය කර්මාන්තය ගොඩ නගනු පිණිස පහත සදහන් ක්‍රියාමාර්ග ගන්නා බව රජය (සංකෘතික අමාත්‍යංශය ) පවසා තිබේ.
- ප්‍රංශය පුරා ඇති ස්වාධින පොත් වෙළඳ සැල් 3000 ක ප්‍රමාණය වෙනුවෙන් විශේෂ ආර්ථික සහන සපයා දීම. (කුලී ගෙවීම් සහ වෙනත් වියදම් )
- කුඩා ප්‍රමාණයේ ප්‍රකාශකයින් අත්විඳි ආර්ථික පාඩු අවම කර ගැනීමට උපකාර වීම සහ විශේෂ බදු සහන ලබා දීම
- ප්‍රකාශන කාර්යයන් යථා තත්වයට පත් වන තුරු රජයට ගෙවන ඍජු බදු මුදල කපා හැරීම .
- පොත් බෙදාහරින ආයතන බදු ගෙවීම් වලින් නිදහස් කිරීම
- ප්‍රංශයේ සියලුම සාහිත්‍ය කටයුතු ගැන වග කියන ජාතික පොත් කේන්ද්‍රය Centre National du Livre කියා සිටින්නේ ඇතැම් ලේඛකයන් හට ආර්ථික පහසුකම් සළසන බවයි.
එය ඌ වන්නේ කොයි ආකාරයෙන්දැයි පැහැදිළි නැති මුත් මේ පැවසෙන්නේ සාහිත්‍යකරණයේ යෙදෙන, එහෙත් ලිවීමෙන් දිවි ගැට ගසා ගන්නට නොහැකි දස දහස් ගණනක් ලේඛක ලේඛිකාවන් වෙනුවෙන් රජයෙන් ගෙවනා දීමනාව සම්බන්ධයෙන් විය යුතුය.

වත්මන් ඇමති මණ්ඩලයේ සංස්කෘතික ඇමති ..... මහතාද මුල් අවදියේදීම කොරෝනා වෛරසයට ගොදුරු වී රෝගීව සිටි, නිතර ජන මාධ්‍යයන්හි දකින්නට නොලැබෙන අඩුවෙන් කතා කරනා අයෙකි. මේ කිවේ Covid 19 රකුසා ගෙන් පසුව සාහිත්‍ය ක්ෂේත්‍රය නංවන්නට රජය ගෙන ඇති ක්‍රියා මාර්ග කීපයක් වුනත් සියලුම කලා මාධ්‍යයන් කෙරෙහි මේ අත දීම විහිදී තිබේ. සංගීතය , සිනමාව , චිත්‍ර , මුර්ති ශිල්පය ආදී මෙකි නොකී සියලු කලාවෝ අද දිනයේ රජයේ සුරක්ෂිත හස්තයට යටව තිබේ. වෙන මොන අඩුපාඩුකම් තිබුණත් ප්‍රංශ රජය නම් කලාවට අත හිත දෙන දෙවියෙක් බව යළිත් කිව යුතුව තිබේ. අවි ආයුධ නිෂ්පාදනය කර ලෝකයට විකුණා ලැබෙන මුදලින් හෝ ඔවුහු කලාව රකිති. එය හරිද වැරදිද යැයි නොදනිමි

Post a Comment

0 Comments