to-add

කොවිඩ් 19 හමුවේ අදට යෙදෙන ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය



- විජයානන්ද ජයවීර -



ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය 

ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය (World Press Freedom Day) ජනමාධ්‍ය නිදහසට ගරු කිරීමට තමන් කැපවී ඇති බව ලොව පුරා ආණ්ඩු වලට මතක් කිරීමට ද ජනමාධ්‍ය නිදහස සහ ජනසමාජයේ ප්‍රගමනය අතර ඇති සහසම්බන්ධතාව එක්ව අන්තරාවලොකනය කිරීමට නැත්නම් සිහි කැඳවීමට ජනමාධ්‍ය වෘත්තිකයන්ට සහ ජන සමාජයට අවස්ථාවක් ලබා දෙන්නා වූද දිනයක්. ඒ වගේ ම ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය, තම සමාජයීය වගකීම වන නිරවද්‍ය පුවත් සහ තොරතුරු සැපයීමට තැත් කිරීමේ දී සිය ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු වූ ජනමාධ්‍යවේදීන් අනුස්මරණය කිරීමේ දිනයක් ලෙස ද සැලකෙනවා. ලොව පුරාම මෙවර ජනමාධ්‍ය දිනයේ තේමාව වන්නේ Journalism without Fear or Favour හෙවත් බිය නැති පක්ෂපාත නැති ජනමාධ්‍යකරණයයි. දැන් මේ කතාව පැවැත්වීමට නිදහස් මාධ්‍ය ව්‍යාපාරය මට කළ ආරාධනයට අනුව දී ඇති මාතෘකාව “කෝවිඩ්-19 අභියෝගය හමුවේ මාධ්‍ය නිදහස සහ සමාජ වගකීම” යන්නයි. ඉතින් මේ මාතෘකා දෙකට ම සාධාරණය ඉෂ්ට වෙන අන්දමට මගේ කරුණු ඉදිරිපත් කිරීම කරන්න මා අදහස් කරනවා.

ජනමාධ්‍යවේදීන් විසින් පිළිගනු ලැබූ වෘත්තීය ජනමාධ්‍ය ආචාරධර්ම වලින් කෙරෙන නියාමනයකට පරිබාහිර ව කෝවිඩ්-19 වැනි මහා වසංගතයක් පවතින කාලයක දී ජනමාධ්‍ය හැසිරිය යුතු ආකාරය ගැන විශේෂ විධි විධාන පැනවීමට රජයකට අවකාශය තිබිය යුතු ද? දැන් මේ ප්‍රශ්නය කෝවිඩ්-19 වසංගතය මැඩපැවැත්වීම සම්බන්ධයෙන් ඉන්දියාවේ ජනමාධ්‍ය වලට මෑත දී මුහුණ දීමට සිදු වූ වැදගත් කාරණයක්. ආණ්ඩුව අපහසුවට පත් කරන දේවල් වාර්තා වීම වැළැක්වීමට හැකි වීම තම කටයුතු පිළිබඳ විවේචන වලට බය බොහෝ ආණ්ඩු වලට සැනසිලි දායක කාරණයක්. එහෙත් අනෙකුත් සියලු ම කටයුතු වල දී මෙන් ම වසංගතයකට මුහුණ දීමේ දීත් ප්‍රමුඛ කාර්ය වන්නේ මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම නම් හුදෙක් ආණ්ඩුවල අභිමතය අනුව ජනමාධ්‍ය වලට හැසිරෙන්නට සිදුවීම කිසිසේත් ම මහජනතාවට වැඩ දායක දෙයක් නොවෙයි.

ට්‍රම්ප්ව විවේචනය කරන ඇමරිකානු මාධ්‍යයේ අදීන බව

දිගු කලක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ සම්ප්‍රදායක් පවතින අමෙරිකා එක්සත් ජනපදය වගේ රටක එවැන්නක් ක්‍රියාවේ යෙදවීමට කිසිසේත් ම ඉඩ ලැබෙන්නේ නැහැ. කොවිඩ්-19 වසංගතය සම්බන්ධයෙන් ජනාධිපති ට්‍රම්ප් ගේ ආකල්පය සහ ඔහුගේ වැඩ පිළිවෙළ යුක්ති යුක්ත ව නිතිපතා දැඩි ලෙස විවේචනයට ලක් කරන නිව්යෝර්ක් ටයිම්ස්, වොෂින්ටන් පෝස්ට් වැනි ප්‍රධාන ධාරාවේ වෘත්තීය පුවත් පත්වල අදීන බව, නැත්නම් බය පක්ෂපාත නැති කමට ප්‍රධාන හේතුව තම පාඨකයන්ගේ පූර්ණ අනුග්‍රහය ඇතිව එම ප්‍රජාතන්තුවාදී සම්ප්‍රදාය රැකීම සිය මූලික වෘත්තීය වගකීම ලෙස සලකන බොහෝ ඇමෙරිකානු ජනමාධ්‍යවේදීන්ගේ අධිෂ්ඨානශීලී කැපවීම යි.

එහෙත් පසුගිය (අප්‍රියෙල්) මාසේ මුලදී ලෝකයේ විශාලතම ප්‍රජාතන්ත්‍රවාදී රට වශයෙන් සැලකෙන අපේ අසල්වැසි ඉන්දියාවේ අගමැති මෝඩිගේ ආණ්ඩුව “හිතා මතා හෝ නො හිතා හෝ ජන සමාජයේ කැලඹීමක් ඇති කිරීමට තුඩු දෙන වැරදි හා බොරු වාර්තා පළ කිරීම වැළැක්වීම” සඳහා නියෝගයක් ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට විශාල උත්සාහයක් ගත්තා. “Prevent fake and inaccurate reporting whether intended or not” which could cause “panic in the society” එහෙමයි ඉන්දියානු ආණ්ඩුව ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණයට කළ ඉල්ලීමේ ඉංග්‍රීසියෙන් සඳහන් වුණේ. ඉන්දියානු ආණ්ඩුව ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මේ ඉල්ලීම කළේ ආණ්ඩුව විසින් හිටි හැටියේ පනවන ලද දින 21ලොක්-ඩවුන් කිරීම නිසා අතර මං වූ විශාල සංක්‍රමණික ශ්‍රමික සංඛ්‍යාවක් නව දිල්ලිය, බොම්බාය, කල්කටාව ඇතුළු ප්‍රධාන නගරවලින් පිටවී තම ගම් ප්‍රදේශ කරා යාමට දහස් ගණනින් පා ගමනින් යාම සම්බන්ධයෙන් නොයෙකුත් ප්‍රවෘත්ති වාර්තා ජන මාධ්‍යයේ පළ වීමෙන් පසුවයි.

එහෙත් ඉන්දියානු ආණ්ඩුව ඉල්ලා සිටි පරිදි වසංගතය පිළිබඳ නිදහස් සමාජ සාකච්ඡාවක් අවහිර කරන අන්දමේ කිසිදු විධි විධානයකට අනුමැතිය දීම ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ඉතා ඥානාන්විත ව ප්‍රතික්ෂේප කළා. ඒ වෙනුවට දැඩි වගකීමකින් යුතුව වසංගතය පිළිබඳ සිය වාර්තාකරණ කටයුතු කර ගෙන යන ලෙස ඉන්දියානු ශ්‍රේෂ්ඨාධිකරණය ජනමාධ්‍යයෙන් පොදුවේ ඉල්ලා සිටියා.

ජනමාධ්‍යයේ අවියෝජනීය වෘත්තීය කාර්යභාරය

බියකරු වසංගතයක් මර්දනය කිරීමේ සාමූහික සමාජ කර්තව්‍යයක දී ආණ්ඩුව ප්‍රමුඛ සියලු ම පරදු දරන්නන් තමන්ට පැවරෙන කාර්යභාරය නිසි ලෙස ඉටු කරන්නේ ද යන්න මහජනතාව වෙනුවෙන් තරයේ සංනිරීක්ෂණයට ලක් කිරීම ජනමාධ්‍යයේ අවියෝජනීය වෘත්තීය කාර්ය භාරයයි. without Fear or Favour හෙවත් බය පක්ෂපාත කම් නැතිව එය ඉටු කිරීමට නව කොරෝනා වයිරසය මුලින් ම ඇති වු චීනයේ ජන මාධ්‍යයට පූර්ණ නිදහසක් සහ අවකාශයක් තිබුණේ නැහැ. එසේ නිදහස තිබුණා නම් රටවල් 200කට අධික ගණනක දහස් සංඛ්‍යාත අහිංසක මිනිස් ජීවිත හානි නොවී සහ නො සිතූ විරූ ආර්ථික කඩා වැටීම්, ජීවනෝපායන් අහිමි වීම්, ආදායම් මාර්ග විනාශ වීම් වලින් තොරව කෝවිඩ්-19 රෝගය විනාශකාරී ලෝක ව්‍යාප්ත වසංගතයක් බවට පත් වීමට පෙර වළක්වා ගැනීමට අවශ්‍ය කරන පියවර කල් තියා ගැනීමට බොහෝ රටවලට ඉඩ තිබුණා. වෛද්‍ය පර්යේෂණ සම්බන්ධ ජාත්‍යන්තර කීර්තියක් ඇති ලාන්සෙට් (Lancet) සඟරා වෙබ් අඩවියේ සඳහන් වන අන්දමට චීනයේ වුහාන්හි සේවය කරමින් කෝවිඩ්-19 ආසාදනයට ලක් වීම නිසා පසුව මිය ගිය 33 හැවිරිදි වෛද්‍ය ලි වෙන්ලියාන්ග් නව ආකාරයක දරුණු ශ්වසන රෝගයක් බෝවෙමින් යන බවත් ඉන් ආරක්ෂා වීමට වග බලා ගන්නා ලෙසත් සිය වෛද්‍ය සගයන්ට 2019 දෙසැම්බර් 30 වැනිදා පුද්ගලික පණිවිඩයක් යැවුවා. ඉන් දින කිහිපයකට පසු වුහාන් නගරයේ ආරක්ෂක අධිකාරිය ඔහු කැඳවා මහජන කැලඹීම් ඇති කිරීමට තැත් කරන බවට ඔහුට චෝදනා කොට එයට සමාව අයදින ලියවිල්ලකට ඔහුගෙන් අත්සන් ගත්තා. ආණ්ඩුවේ අභිමතය අනුව කටයුතු කරන ජනමාධ්‍ය හැරෙන කොට එවැනි වැදගත් කරුණු ගැන බය පක්ෂපාත නැතිව ගවේෂණාත්මක ව විපරම් කොට වාර්තා කිරීමට තරම් නිදහසක් ඇති ස්වාධීන ජනමාධ්‍ය චීනයේ නැහැ. පොදු යහපත පිණිස අදීන ව ඇති තතු විපරම් කොට බය පක්ෂපාත නැති වාර්තාකරණයක් ඉටු කිරීමට ජනමාධ්‍යයට තිබිය යුතු අනුල්ලංඝනීය අයිතිය සාධාරණීකරණය කිරීමට මෙතරම් හොඳ තවත් උදාහරණයක් වෙන කොයින්ද?.

වෘත්තීය වාර්තාකරණය නුරුස්සන ආණ්ඩු

තම නොහැකියාවන් එළිදරව් වීම වැළැක්වීම සඳහා වෘත්තීය වාර්තාකරණය නුරුස්සන ආණ්ඩු වලින් මෙහෙයවන අධිකාරවාදී සංවෘත සමාජයක සහ ප්‍රජාතන්ත්‍රීය සමාජ සම්ප්‍රදායයන් සුරකින විවෘත සමාජයක වෙනස පිළිබිඹු කරන කදිම නිදසුනක් තමයි ඇමෙරිකාවේ නිදහස් විචාරාත්මක මාධ්‍ය සම්ප්‍රදාය. ඇමෙරිකාවේ ජනාධිපති ට්‍රම්ප්ට සහ ඔහුගේ මතවාද වලට පක්ෂපාත ජන මාධ්‍ය ද තිබෙනවා. එහෙත් ඒවා අබිබවා සිය වෘත්තීය භාවිතාව නිසාම මහජන විශ්වාසය දිනා ගෙන ඇති නිව්යෝක් ටයිම්ස් හා වොෂින්ටන් පෝස්ට් වැනි ප්‍රධාන ධාරාවේ මාධ්‍ය ඉන්ද්‍රකීලයක් සේ නැගී සිටින්නේ වාර්තාකරණයේ දී බය පක්ෂපාතීත්වය නොමැතිව කරුණු කාරණා හාරා අවුස්සා නිරවද්‍ය තොරතුරු පමණක් තම පාඨකයන්ට සැපයීමට ඒවා කැපවී සිටීම නිසායි.

මේ ප්‍රජාතන්ත්‍රවාදී විවෘත භාවය ඇමෙරිකානු ජන සමාජය තුළ ඉබේ තහවුරු වුවක් නොවේ. එය ඇමෙරිකානු විප්ලවයේ සිට මාටින් ලූතර් කින්ග් ගේ සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය දක්වාත් ඉන් ඉක්බිතිවත් සමාජ සාධාරණය සඳහා කරන ලද නිරන්තර අරගල නිසා බිහි වූවක්. කරුණුමය සත්‍ය ඉදිරියේ අපහසුවට පත් වන දේශපාලන නායකයන් සහ ඔවුන්ගේ සහචරයන් විසින් alternative facts, විකල්ප කරුණු, පශ්චාත් සත්‍ය ආදී වශයෙන් සමාජය මුලා කිරීමට යොදන නොයෙකුත් මනස් ගාත ගැටපද නොතකා සිය මූලික වගකීම ජන සමාජයට අවශ්‍ය නිරවද්‍ය තොරතුරු සැපයීම බව ඇමෙරිකාවේ බොහෝ වෘත්තීය ජනමාධ්‍යකරුවන් විශ්වාස කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන්, කිසිදු වසන් කිරීමකින් තොරව N-95 වර්ගයේ මුව වැසුම් වල හිඟය, වෙද හෙදකම් කරන කාර්ය මණ්ඩල වලට අවශ්‍ය කරන ආරක්ෂණ කට්ටල වල හිඟය, කොවිඩ්-19 වැළඳී ඇතිදැ’යි සොයා බැලීමට ප්‍රමාණවත් තරම් පරීක්ෂණ සංඛ්‍යාවක් නො කෙරීම, අවශ්‍ය තරම් වෙන්ටිලේටර් ප්‍රමාණයක් රෝහල් වල නො තිබීම ආදී වශයෙන් ඇමෙරිකාවේ කොවිඩ් -19 වසංගත මර්දන වැඩපිළිවෙළේ ඇති නොයෙකුත් දුර්වල කම් මහජන අවධානයට ලක් කිරීමටත් ලොව පුරා ප්‍රවෘත්ති මාධ්‍ය වලින් ප්‍රචාරය කිරීමට සැලැස්වීමට ජනමාධ්‍ය කරුවන්ට හැකි වුණා. මේ නිසාම ඒවාට පිළියම් යෙදීම පිළිබඳ වගකිව යුත්තන්ගේ අවධානය යොමු වුණා පමණක් නොව එකී අසමර්ථ කම් වලින් පාඩම් ඉගෙන ගැනීමට අනෙක් රටවලට ද හැකියාව ලැබුණා. ඇමෙරිකාව තමන්ට අවශ්‍ය කරන වෙන්ටිලේටර් සංඛ්‍යාව යුහු යුහුව නිපදවීමට කටයුතු යෙදුවේත් සුව සේවයේ නියුතු අයට ආරක්ෂණ කට්ටල ගෙන්වා ගැනීමට වහ වහා කටයුතු යෙදුවේත් ඇමෙරිකානු ජනමාධ්‍ය විසින් එවැනි කරුණු තදබල ලෙස ප්‍රශ්න කිරීමට පටන් ගත් පසුවයි.

කොවිඩ් 19 සම්බන්ධයෙන් නිදහස් වෘත්තීය වාර්තාකරණය 

ප්‍රජාතන්ත්‍රවාදී සමාජ ක්‍රම ඇති ඉතාලිය, ස්පාඤ්ඤය වැනි රටවල කෝවිඩ් වසංගතය නිසා ඇති වූ ඉමහත් ව්‍යසනය නො සඟවා අවශේෂ ලෝකයට වාර්තා කිරීමට හැකි වුනේ නිදහස් වෘත්තීය වාර්තාකරණය සඳහා ඒ රටවල සිටි දෙස් විදෙස් වාර්තාකරුවන්ට නිදහස තිබූ නිසයි. බය පක්ෂපාත කම් නැතිව වාර්තා කිරීමට ඒ රටවල ජන මාධ්‍ය වලට නිදහස නො තිබුණා නම් අද අපට කෝවිඩ් වසංගතයේ බියකරු යථාර්ථය පිළිබඳව ඇත්ත ඇති සැටියෙන් දැන ගැනීමට ලැබෙන්නේ නැහැ. නව කොරෝනා වෛරසය කෙතරම් විනාශකාරී දෙයක් විය හැකිද යන්න අවබෝධ කර ගැනීමට අවශේෂ ලෝකයාට හැකි වුනේ නො සඟවා කරුණු හෙළි කළ එකී මාධ්‍ය වාර්තා නිසයි.

නිදහස අහිමි චීන ජනමාධ්‍ය

එයට ප්‍රතිවිරුද්ධ ව චීනයේ ජනමාධ්‍ය වලට ඇති තතු නො සඟවා කීමට නිදහස නො තිබුණු බව චීනයේ නව කොරෝනා වෛරසය ආසාදිතයන්ගේ සංඛ්‍යාව චීනය නිල වශයෙන් ප්‍රකාශ කළ සංඛ්‍යාව මෙන් සිව් ගුණයක් වන්නට ඇති බවට හොංකොං විශ්ව විද්‍යාලයේ මහජන සෞඛ්‍ය අංශය විසින් කළ සමීක්ෂණයකින් තහවුරු වන බව මෑත දී ලාන්සෙට් (Lancet)සඟරාව එම සමීක්ෂණය පිළිබඳ පළ කළ ලිපියකින් හෙළිදරව් වෙනවා.

එහෙත් ඉන්දියාව, සම්ප්‍රදායික ව අධිකාරවාදී පාලන තන්ත්‍රයක් ඇති රටක් නොවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට ව්‍යවස්ථාපිත ව කැපවුණු ස්වාධීන අධිකරණයක් ඉන්දියාවට තිබෙනවා. එහෙත් ඉන්දියාවේ ප්‍රජාතන්ත්‍රවාදය අනුක්‍රමයෙන් අධිකාරවාදය දෙසට ඇද ගෙන යාමට අගමැති මෝඩිගේ ආණ්ඩුව උත්සාහ කරන බව කොවිඩ්-19 වසංගතය මුවාවෙන් ජනමාධ්‍ය වලට කටකලියාව දැමීමට තැත් කිරීමෙන් පෙන්නුම් කරණවා. මෝඩිගේ බීජේපී පක්ෂය සුලු ජාතික මුසල්මානයන්ට එරෙහිව ග්‍රාම්‍ය හින්දුත්ව ජාතික වාදය යොදා ගන්නේ ද එම අධිකාරවාදී ප්‍රවණතාවය පෝෂණය කිරීම සඳහායි. ජර්මානු පුවත්පත් සිය මතයට නතු කරගැනීමට හිට්ලර් විසින් මහා ජර්මානු-ආර්ය ජාතිකවාදය යොදා ගැනීම ඉතිහාසයේ ප්‍රකට උදාහරණයක්. එවැනි අධිකාරවාදී නායකයින් බලාපොරොත්තු වන්නේ තම ප්‍රකාශ සහ වැඩ පිළිවෙළවල් කිසිදු ප්‍රශ්න කිරීමකින්, විමසීමකට ලක් කිරීමකින් තොරව ප්‍රචාරය කිරීම තම රටේ ජනමාධ්‍යයේ ඒකායන වගකීම බවයි.

කෙසේ වෙතත් පුවත්පත් සාකච්ඡාවල දී ඇමෙරිකානු ජනමාධ්‍ය ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ප්‍රකාශ ඔහු ඉදිරියේ ම තියුණු ලෙස ප්‍රශ්න කරන ආකාරයට ඉන්දියානු ජනමාධ්‍ය කරුවන් අගමැති මෝඩි ගෙන් ප්‍රශ්න නො කිරීම වරදක් බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පතට කොළමක් ලියමින් විචාරකයෙක් ජනමාධ්‍ය කරුවන්ට පසුගිය දා චෝදනා කළා. කොරෝනා වයිරසයට එරෙහිව ඉන්දියාව කරන සටනේ අඩුපාඩු කම් පෙන්වා දුන්නොත් මෝඩිගේ ආණ්ඩුවට පක්ෂපාත සමාජ මාධ්‍ය බළඇණි එම විවේචකයා එල්ලා දැමීමට කැස කවන බවද එම විචාරකයා පෙන්වා දුන්නා. ජනමාධ්‍යයේ වගකීම පැහැර හැරීම පිළිබඳ එවැනි කරුණු ජනමාධ්‍ය තුලින් ම සාකච්ඡාවට ලක් කිරීම ජනමාධ්‍ය සිය අභිමතය පරිදි මෙල්ල කිරීමට බලා සිටින බලවේග අකර්මණ්‍ය කිරීම පිණිස අත්‍යවශ්‍ය දෙයක්.

ග්‍රාම්‍ය ජාතිකවාදී ආස්ථාන වලින් ඇතිවිය හැකි හානිය කොවිඩ් හමුවේ ප්‍රශ්න කිරීම

අන්‍ය අනන්‍යතා නො සලකන ග්‍රාම්‍ය ජාතිකවාදී වහන්තරාවකින් සිය නොහැකියාව වසා ගැනීමට තැත් කරන බලකාමී නායකයන්ගේ පිරිස් බලය හමුවේ ග්‍රාම්‍ය ජාතිකවාදයට අනුගත වීම වඩා ආරක්ෂාකාරී පියවරක් ලෙස ඇතැම් ජනමාධ්‍යවේදීන් ද සලකනවා විය හැකියි. එය අනුකම්පා සහගත තත්වයක් විය හැකි නමුදු ජනමාධ්‍යවේදය යනු මහජනයා වෙනුවෙන් කරුණු කාරණාවල නිරවද්‍යතාව සොයා බලා වාර්තා කිරීමේ වෘත්තීය ශික්ෂණයක් බවත් එය ඉටු කිරීම සම්බන්ධයෙන් ජනමාධ්‍ය වග කිව යුත්තේ හුදෙක් මහජනතාවට පමණක් බවත් අමතක කරන ජනමාධ්‍යවේදියා සිය වෘත්තීය වගකීම පාවා දෙන්නෙකු බව ස්වාධීන ජනමාධ්‍ය සංවිධාන වලින් එවැනි අවස්ථාවල දී නොපැකිළ ව පෙන්වා දීම අත්‍යවශ්‍ය කටයුත්තක්.

කෝවිඩ් වසංගතය වැනි අර්බුදකාරී අවස්ථාවල දී එවැනි ග්‍රාම්‍ය ජාතිකවාදී ආස්ථාන වලින් ඇතිවිය හැකි හානිය ප්‍රශ්න කිරීමේ වගකීම ප්‍රධාන ධාරාවේ ජනමාධ්‍ය විසින් නො තකා හැරීම සම්බන්ධ එක් උදාහරණයක් පමණක් දැක්වීමට මා මෙය අවස්ථාවක් කරගැනීමට කැමතියි.

කෝවිඩ් වසංගතයට ඇතැම් බටහිර රටවල් මුහුණ දී ඇති ව්‍යසනකාරී තත්ත්වය එක්තරා අන්දමකින් අවඥා වට ලක් කරමින් විවිධාකාර දේශීය වෛද්‍ය ක්‍රම අනුව කොරෝනා වෛරසයට සාර්ථකව මුහුණ දිය හැකි බවට මතයක් විෂය ප්‍රමාණිකයන් යැයි හඳුන්වා ගන්නා ඇතැම් පුද්ගලයන්ගේ අනුග්‍රහය ද ඇතිව ජනමාධ්‍ය මගින් සමාජගත කිරීමේ ප්‍රයත්නයක් මෑත දී අපට දැක ගන්නට ලැබුණා. වාසනාවට කොරෝනා වෛරසයට මුහුණ දීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා දැරූ වෛද්‍ය විද්‍යාත්මක මතයට වඩා බරපතළ ලෙස රටේ නායකයන් එම මතය සැලකූ බවක් දක්නට ලැබුණේ නැහැ. සම්ප්‍රදායික චීන ‍වෙදකම හෝ කටු චිකිත්සාව වෙනුවට කෝවිඩ්-19ට ප්‍රතිකාර කිරීමට චීනය යොදා ගත්තේ නූතන වෛද්‍ය ක්‍රමය බව දැන දැනත් ප්‍රධාන ධාරාවේ බොහෝ ජනමාධ්‍ය දේශීය වෛද්‍ය කර්මයකට තිබෙනවාදැ’යි කියූ එම හැකියාවේ වැරදි නිවැරදි බව ප්‍රශ්න කිරීමෙන් වැළකීමේ ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමෙන් තම සමාජ වගකීම ලැජ්ජා සහගත ලෙස පැහැර හැරියා. එ පමණක් නොව ඇතැම් ජනමාධ්‍ය සිය ග්‍රාහකයින්ට නිරවද්‍ය තොරතුරු සොයා දෙනවා වෙනුවට කිසිදු ප්‍රශ්න කිරීමකින් වග විභාගයකින් තොරව එවැනි අවිද්‍යාත්මක මතවාද සඳහා වේදිකාවක් සපයා දී අන් අයට තම ග්‍රාහකයින් මුලා කිරීමට ඉඩ දී නිහඬ වුණා.

පාරම්පරික ක්‍රම වලින් කොරෝනා සුව කරන්නේ කෙසේද ?

ශ්‍රිලංකාවේ නූතන වෘත්තීය සෞඛ්‍ය සේවාව විසින් මුලුමනින් මෙරටින් තුරන් කර ඇතැ’යි ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සහතික කරනු ලැබ ඇති වසූරිය, පෝලියෝ, මැලේරියාව, සරම්ප ඇතුළු වෛරස සහ පරපෝෂිතයන් ගෙන් පැතිරෙන වසංගතකාරී රෝග වලින් එකදු රෝගයක් වත් ඔය කියන විවිධාකාර දේශීය වෛද්‍ය ක්‍රම වලින් තුරන් කර නැති බැවින් නව කොරෝනා වෛරසය පමණක් එවැනි දේශීය වෛද්‍ය ක්‍රම වලින් හා යාතු කර්ම වලින් තුරන් කළ හැක්කේ කෙසේදැ’යි යන සරල ප්‍රශ්නය මතු කිරීමට ජනමාධ්‍ය අසමත් වුණා. එය වඩාත් ලැජ්ජා සහගත අසමත් වීමක් වන්නේ ප්‍රශ්න විරහිතව එවැනි ග්‍රාම්‍ය කතා සඳහා ඉඩ සලස්වා දීම නිසා කොරෝනා වෛරසය මර්දනය කිරීමට නිසි එන්නතක් සොයා ගන්නා තෙක් විශාල අවදානමක් ගනිමින් කොවිඩ්-19 වසංගත රෝගීන්ට වෙද හෙද කම් කිරීමට පෙරමුණ ගෙන සිටින වෙද හෙදවරු ඇතුළු සෞඛ්‍ය සේවකයන්ගේ වෘත්තීය කැපවීම අවතක්සේරු කෙරෙන බැවිනුයි.

මෙවැනි අවස්ථා වල දී එවැනි කෙප්ප ප්‍රශ්න කිරීම දේශීය වෙදකම හෙළා දැමීමක් නොවේ. ලෝකය පුරා ජපානයේ සිට මෙක්සිකෝව දක්වා හැම රටක ම දේශීය වෙදකම් එදත් පැවතුණා. අදත් යම් පමණකට පවතිනවා. ඇතැම් අය වෙනත් ආකාරයක දැනුම් ක්‍රම වශයෙන් හැඳින්වීමට වලිකන එවැනි බොහෝ දේශීය වෛද්‍යක්‍රම ප්‍රාථමික රසායන හා ශාක සංයෝග ආදිය යොදා ගත් තුන්දොස්, සතර ධාතු ආදී ප්‍රාග් විද්‍යාත්මක සංකල්ප මත ගොඩ නැගුණු ඒවා. ප්‍රංශ ජාතික ලුවී පාස්චර්ගේ නිරීක්ෂණ පාදක කොට 19 වන සිය වසේ දී Germ theory හෙවත් විෂබීජ පිළිබඳ නියාමය බිහි වෙන තෙක් වසර දෙදහසක් පුරා හිපෝක්‍රටික් විසින් හඳුන්වා දුන් බව සැලකෙන බටහිර වෙදකමට ද පාදක වූයේ ද අපේ දේශීය වෙදකම් වල එන තුන්දොස් කිපීම හා සමාන වූ රුධිරය, සෙම්, පිත් ආදී ශාරීරික ශ්‍රාව සමබර ව පවත්වා ගැනීම පිළිබඳව සංකල්පයක්. ක්ෂුද්‍ර ජීවීන් හඳුනා ගත හැකි පරිදි අන්වීක්ෂය නිපදවෙන තෙක් ම, බැක්ටීරියා හා වෛරස නිසා බෝවෙන රෝග ඇතිවෙන බව දැන ගැනීමට තරම් තාක්ෂණික ඥානයක් බිහි කර ගැනීමට එකී කිසිදු ප්‍රාග් විද්‍යාත්මක වෙදකමකට හැකියාවක් තිබුණේ නැහැ. ඒ අනුව අපේ සනීපාරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රාග් විද්‍යාත්මක දැනුම නූතන වෛද්‍ය විද්‍යාත්මක දැනුම ඉක්මවා යන්නක් යැ’යි යන කෙප්පය විශ්වාස කිරීමට මහජනයා පොලඹවන ප්‍රචාරවල නිරවද්‍ය ස්වභාවය එළිදරව් කිරීම ජනමාධ්‍යකරුවන්ගේ වෘත්තීය වගකීමක් ව තිබුණා. කිසිදු පදනමක් නැති ඕපදූප වලින් කොවිඩ්-19 වසංගතය නිසා බියට පත් වන සිටින අහිංසක ජනතාව මුලාවේ දැමීමෙන් වැළැක්වීම පිණිස ඇති තතු එළිදරව් කිරීම ජනමාධ්‍යයේ එක් වැදගත් කාර්ය භාරයක්.

කෙප්ප ඇදබෑමට වේදිකාවක් සැකසීම ජනමාධ්‍ය නිදහස නොවේ 

ජනමාධ්‍යකරු විසින් කිසිදු දැනුවත් නිරවද්‍යතා පිළි විමසුමකට ලක් නො කොට තමන්ට කැමති ඕනෑම කෙප්පයක් ඇද බෑමට යම් යම් අයට වේදිකාව සලසා දීම ජනමාධ්‍ය නිදහස යැයි සිතීම අමනෝඥ කමක්. ඕනෑම තත්වයක් යටතේ ජනමාධ්‍ය නිදහස සාධාරණීය කරණය කළ හැක්කේ මූලික වශයෙන්ම එම නිදහස තොරතුරුවල නිරවද්‍යතාව උරගා බැලීමට ජනමාධ්‍යකරුවන්ට අත්‍යවශ්‍ය වෙන නිසායි. එසේ නැතිව කිසිදු සහේතුක යුක්ති යුක්ත කිරීමකින් තොරව අභිමත ඕනෑම මතයක් ප්‍රවර්ධනය කිරීම බය පක්ෂපාත නැති වෘත්තීය ජනමාධ්‍යයක් විසින් නොකළ යුතු දෙයක්. යුදෙව්වන් හෙළා දැකීමට ඉඩ දීම හිට්ලර්ගේ ජර්මනියේ ජනමාධ්‍ය නිදහස පිළිබඳ හොඳම දර්ශකයකැ’යි ඔබට කිව හැකිද? ජනමාධ්‍යය නිදහසේ වපසරිය තීරණය විය යුත්තේ ආණ්ඩුවල හෝ බල කණ්ඩායම් වල සෘජු හෝ වක්‍ර අභිමතය ඉටු කිරීමට ලැබෙන ඉඩකඩ අනුව නොව තම ග්‍රාහකයන් වෙසෙන ජනසමාජය තුළ හැම කෙනෙකුගේ ම මූලික මිනිස් අයිතිවාසිකම් කිනම් තත්වයක් යටතේ වුවද ආරක්ෂා කර දීමට ජනමාධ්‍ය විසින් කළ යුතු කැපවීම අනුවයි.

ජනමාධ්‍ය නිදහස අදහස් ප්‍රකාශ කිරීමේ හා භාෂණයේ නිදහස පිළිබඳ මූලික මිනිස අයිතියේ ම ආනුෂංගික කොටසක්. එහෙත් ඒ නිදහස අනෙකුත් ජනවර්ග හෙලා දැකීමට, අනෙකුත් මිනිසුන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමට යොදා ගත හැකි නිදහසක් නොවේ. ඒ නිසාම ජනමාධ්‍ය නිදහස ආරක්ෂා කර ගැනීමට නම් භාෂණයේ නිදහස ද ඇතුළුව අනෙකුත් සියලු ම මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමටත් ප්‍රවර්ධනය කිරීමටත් ජනමාධ්‍යය සවිඥානික ව දායක විය යුතුය.

කොවිඩ් 19 ආසාදිතයින් අවනම්බුවට ලක් නොකිරීම 

කෝවිඩ්-19 ආසාදිතයන් අවනම්බුවට ලක් නො කිරීමද අවනම්බුවට ලක් කිරීමට ඉඩ නොදීම ද එකී මූලික අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට අදාළ ව ජනමාධ්‍යයට පැවරෙන වගකීමකි. කිසිදු ජන කොට්ඨාශයක් ඔවුන්ගේ ජාතිය. ආගම, වර්ණය ආදී අනන්‍යතා විභේදන වලට අනුව විෂම සැලකිල්ලකට ලක් නොකළ යුතුය යන මූලික අයිතිය විශේෂයෙන් වසංගතයක් වැනි ජාතියක් ජන්මයක් නො තකන අර්බුදකාරී අවස්ථාවල දී අවස්ථාවාදීන් විසින් උල්ලංඝනය කිරීමට තැත් කරන විට එහි සාධාරණත්වය ප්‍රශ්න කිරීම ජනමාධ්‍ය බිය විය යුතු නැත. තමන් කරන්නේ බය පක්ෂපාත නැති වාර්තාකරණයකයි කියා ගත හැකි වන්නේ එවිටයි. විශේෂයෙන් මෙවැනි අර්බුද උපයෝගී කර ගෙන මූලික අයිතිවාසිකම් පිටු දැකීමට වෛවාරන්න තර්ක ගෙන එන අවස්ථාවාදීන්ට තනිව ම බඩ පිනුම් ගැසීම පිණිස ප්‍රශ්න විරහිතව අවකාශය ලබා දීම ජනමාධ්‍ය විසින් නොකළ යුතු දෙයකි.

රටේ දේශපාලන නායකයන්ගේ සිට නොයෙක් ආකාරයේ බලලෝභී කට්ටඩිකම් කිරීමට ජන මාධ්‍ය යොදා ගැනීමට කැස කවන සියල්ලන් සම්බන්ධයෙන් වෘත්තීය ජනමාධ්‍ය හා ජනමාධ්‍යකරුවන් විසින් අනුගමනය කළ යුතු ප්‍රතිපත්තිය වන්නේ ජනමාධ්‍යයට අභිමුඛ වන සියල්ලන් ම කරුණුමය සත්‍ය ලෙස ඉදිරිපත් කරන දේවල් නිරවද්‍යතා පරීක්ෂණයට නිර්දය ව ලක් වන ලෙස ප්‍රශ්න කිරීමයි. ජනමාධ්‍යයේ ප්‍රධානතම සමාජ වගකීමක් වන්නේ එයයි. එපමණක් නොව එය ජනමාධ්‍යයේ අන්සතු කළ නොහැකි වෘත්තීය කාර්යභාරයයි. ඇමෙරිකානු ජනාධිපතිවරයා ට හෝ බ්‍රිතාන්‍ය අගමැතිවරයාට පමණක් නොව ඉන්දියානු අගමැතිවරයාට ද තමන්ගේ ම නිල උපදේශකයෙකු ලවා ප්‍රශ්න යොමු කරවා ගත් සම්මුඛ සාකච්ඡාවක් ප්‍රචාරය කරවා ගැනීමට ඇමෙරිකානු, බ්‍රිතාන්‍ය හා ඉන්දියානු ජනමාධ්‍ය තුළ ඉඩක් නැහැ. ඊට හේතුව ජන සමාජය වෙනුවෙන් ප්‍රශ්න කිරීම ජනමාධ්‍ය කරුවාගේ කාර්යභාරය මිස ජනාධිපතිගේ හෝ අගමැතිගේ නිල උපදේශකයන්ගේ හා ප්‍රවර්ධකයන්ගේ කාර්යභාරය නොවන බව ජනමාධ්‍ය මෙන් ම සමාජය විසින් ද පිළිගෙන ඇති නිසයි. අනෙක් අතට දේශපාලන නායකයන් ද තම කටයුතු පිළිබඳව ආත්ම විශ්වාසයකින් යුතුව ස්වාධීන ජනමාධ්‍යයට අභිමුඛ විය යුතුය. අර්බුදකාරී අවස්ථාවල දී වුවුද දේශපාලන නායකයන්ට මහජන විශ්වාසය දිනා ගත හැකි වන්නේ ජනමාධ්‍ය හා අවංකව ගනුදෙනු කිරීමෙන් පමණි.

වෘත්තීය ජනමාධ්‍යවේදියා ශික්ෂිතයි 

ජර්නලිසම් හෙවත් ජනමාධ්‍යවේදය යනු ජනතාවට සැපයෙන තොරතුරු වල නිරවද්‍යතාව අවංකව සහතික කිරීමේ ශික්ෂණයක්ය’යි යන්නෙන් අදහස් කෙරෙන්නේ අවශ්‍ය විමර්ශනාත්මක පරිචයෙන් යුක්ත ව ජනමාධ්‍යයට අභිමුඛ වන පුද්ගලයන්ගේ ප්‍රකාශ වල ඇත්ත නැත්ත හෙළිදරව් කිරීමයි.. තමන් වෘත්තීය ජනමාධ්‍යවේදියෙකු යැයි අවංකව හඳුන්වා ගත හැකි වන්නේ ඒ ශික්ෂණයෙන් ශික්ෂිත වීමට කැප වූ අයෙකුට පමණි.

කොරෝනා වෛරසය විසින් ඇති කර තිබෙන වර්තමාන අර්බුදය කළමනාකරණය කිරීමට අධිකාරවාදී පාලන තන්ත්‍රයක් අවශ්‍යයයැ’යි සිතන අයට, ඉදිරිපත් වන කරුණු කාරණාවල නිරවද්‍යතාව සොයන, හඬක් නැති අයගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනි සිටින ස්වාධීන ජනමාධ්‍ය හා වෘත්තීය ජනමාධ්‍යවේදීන් අනවශ්‍ය අකැප කරදරකාරී අයවලුන් වශයෙන් පෙනෙන්නට පුළුවන. එවැන්නන්ට ජනමාධ්‍යයේ භූමිකාව වන්නේ වසංගතයට එරෙහි ජයග්‍රහණය වශයෙන් හුවා දක්වන කරුණු කාරණා සියල්ල සම්බන්ධයෙන් බලාධිකාරීත් අපහසුවට පත් කරන ආකාරයේ කිසිදු විමර්ශනයක් සිදු කිරීමෙන් වැළකෙමින් ඔවුන්ගේ ක්‍රියා කලාපයට ජන ප්‍රසාදය වඩවන අන්දමින් කටයුතු කිරීම පමණි. මෙවැනි අර්බුදයක දී එවැනි ආකල්ප තේරුම් ගැනීමට අපහසු නොවනවා පමණක් නොව ග්‍රාම්‍ය ජාතිකවාදයෙන් කුල්මත් වූ පොදු ජනතාව අතර එය ජනප්‍රිය මතවාදයක් බවට පත් කිරීමට ද අපහසු නැත. එහෙත් ඒ අනුව කටයුතු කිරීමට ජනමාධ්‍ය සිදුවීම නිසැකව ම අතිශයින් විනාශකාරී ප්‍රතිඵල ළඟා කර දෙන්නක් විය හැකිය.

ඇමරිකානු ජනමාධ්‍යයේ හැසිරීම ඇගයිය යුතුයි

උදාහරණයක් ලෙස ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ග්‍රාම්‍ය ඇමෙරිකානු ජාතිකවාදයට අනුගත වී කොරෝනා මර්දනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ අමනෝඥ ප්‍රකාශ හා දුර්වල වැඩපිළිවෙළ ප්‍රශ්න විරහිතව අනුමත කරමින් කටයුතු කිරීමට ඇමෙරිකානු ජනමාධ්‍යයට සිදු වුනොත් ඇති විය හැකි ව්‍යසනය මීට වඩා කොතෙක් දරුණු විය හැකිදැ’යි කල්පනා කර බලන්න. එහෙත් ඇමෙරිකානු ජනමාධ්‍යයේ නිර්භයශීලි වෘත්තීය හැසිරීම නිසා ට්‍රම්ප්ගේ කොරෝනා මර්දන වැඩපිළිවෙළේ නොයෙකුත් අඩුපාඩු හඳුනා ගැනීමත් ඒවාට සුදුසු ප්‍රතිකර්ම යොදා ගැනීමත්, විශේෂයෙන් කොරෝනා මර්දන වැඩපිළිවෙළට ජාතික නායකත්වයක් නොමැති වීමේ හිදැස පුරවමින් ඉදිරියට ඒමට ප්‍රාන්ත රාජ්‍ය කටයුතු කිරීමත් සිදුවුණා. කොතරම් අකැමැති වුනත් ලෝකයේ බලගතු ම ජනාධිපතිවරයා ලෙස සැලකෙන ඩොනල්ඩ් ට්‍රම්ප්ට ඇමෙරිකානු ජනමාධ්‍යයේ ඒ අදීන භූමිකාව -භය පක්ෂපාත නැති වාර්තාකරණය- ප්‍රජාතන්තුවාදී සම්ප්‍රදායේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස පිළි ගැනීමට සිදුවී තිබෙනවා.

ජනමාධ්‍යයේ බය නැති පක්ෂපාත නැති වාර්තාකරණය ඇමෙරිකාවේ, ඉතාලියේ, දකුණු කොරියාවේ, ජපානයේ හා ස්පාඤ්ඤයේ පමණක් නොව හැම ප්‍රජාතන්තුවාදී රටක ම පොදු මහජන අභිලාෂය විය යුතුය. දුප්පත් පොහොසත් හැම රටක ම ජන ජීවිතයට පෙර නොවූ විරූ අන්දමේ දරුණු තර්ජනයක් එල්ල කර ඇති මේ මහා වසංගතය පරාජයට පත් කළ යුතුම ය. ඒ සම්බන්ධයෙන් ජනමාධ්‍ය සිය කාර්යභාරය බය පක්ෂපාත නැතිව ඉටු කරන්නේ නම් ආණ්ඩුවලට ද ජන සමාජයටද ඒ සටනේ දී ඇතිවිය හැකි අඩුපාඩු කම් ප්‍රමාද නොවී සපුරා ගත හැකියි.
ස්තුතියි


Post a Comment

0 Comments