to-add

අන්ත දෙකක් ගැට ගැසුණු පාර අනුභූතික හුය ‘ශුන්‍ය බව‘



- මහේෂ් හපුගොඩ - 



විකල්ප දෙකෙන් ෆැන්ටසිය තෝරාගත් සිද්ධාර්ථ

අසිත නැත්නම් කාලදේවල තවුසා විසින් සිද්ධාර්ථ සම්බන්දයෙන් පුරෝකතනය කළ 'දෙය' සහ සුද්දෝදන රජතුමා සිද්ධාර්ථ ගැන සිතපු 'දෙය' අතර මූලික නොපෑහීමක් තිබුණ. සුද්දෝදන රජතුමාට ඕනි උනේ අසිත පවසපු එක්කෝ මේ කුමාරය 'චක්‍රවර්ති රජ වෙනවා' (wheel turning monarch) නැත්නම් 'ඉහල අවබෝධයක් සහිත ආගමික නායකයෙක් (Buddha) වෙනවා' කියන විකල්ප දෙකෙන් මුල් එක (ඒ කියන්නේ සක්විති රජ) කියන ෆැන්ටසි එක සිද්ධාර්ථ අත්පත් කර ගන්නවා දකින්න. මොකද ඒ පළමුවැන්න බලය සහ ලෞකික බව එක්ක යන එයාගේ දැන් පැවැත්මේ දිගුවක් වන නිසා සහ එය පරිකල්පනය කරන එක එයාගේ ලෞකික පැවැත්ම පැත්තෙන් පහසු නිසා. දෙවැන්න ගැන සිතන එක දුෂ්කර දෙයක් එයාගේ සන්දර්භයෙන් ගත්තම. හැබැයි ඉන්දියාව පුරා ඒ වෙනකොට මේ අධ්‍යාත්මය සොයන්නන් එක් එක් ආකෘති අනුගමනය කරමින් හිටිය. මේක සුද්දෝදන රජතුමා නොදැන හිටපු දෙයක් වෙන්න බැහැ.

අනෙක තමයි අසිත වගේ මිස්ටික් කෙනෙක් (mystic - ගුප්ත - අනාගතය දකින්නෙක්) ගේ කාර්යය. මිස්ටික් ල කළේ යම් කෙනෙක් ගේ පැවැත්ම පුරෝකතනය කරන එක. ඉතින් අදාල පුද්ගලයාට (පුරෝකතනය ට ලක්වූ විෂය - subject) පුළුවන් ඒ අනාවැකිය තමන් තුල සත්‍යයක් කර ගන්න (actualization) හෝ එහි නිශේධනය (negation) බවට පත් වෙන්න. ඒ කියන්නේ අසිත පුරෝකතනය කළ විකල්ප දෙකම නොවී ඉන්නත් කෙනෙක් ට ඕනිනම් පුළුවන්. ඒ කියන්නේ අසිත ගේ දැක්මෙන් (gaze) පුර්ණ ලෙස වෙන් වෙන්නත් පුළුවන් (departure). නමුත් එයා විකල්ප ලෙස දෙන්නේ ලෞකික අන්තයක් සහ අධ්‍යාත්මික අන්තයක් (forced choice) විතරයි. එයාගේ දැනුමට පෙනුණේ ඒ අන්ත දෙක විතරයි. සමහර වෙලාවට අසිත දැක්කේ සිද්ධාරථ ආගමික නායකයෙක් පමණක් වෙනවා කියන එක වෙන්නත් පුළුවන්. නමුත් එයා සුද්දෝදන රජ්ජුරුවන් ගේ ෆැන්ටසි එකත් එක්ක ඒක සම්බන්ද කළා වෙන්නත් පුළුවන්. එහෙම සම්බන්ද කරලා එයාට අවශ්‍ය වෙච්ච අධ්‍යත්මික අන්තයට සිද්ධාර්ථ යැව්වා වෙන්නත් පුළුවන් (මේක තව පොඩ්ඩකින් ලියවෙයි මීළඟ ඡේදයේ). කොහොම හරි එයා සිද්ධාර්ථ තමන්ගේ පැවැත්මේ කුමන හෝ අන්තය දක්වා යනවා කියන එක නිවැරදිව පුරෝකතනය කළා.

සක්විති රජවීමේ විකල්පය 

මේ නිසා සුද්දෝදන රජ්ජුරුවෝ එයාගේ පැත්තෙන් එක් විකල්පයක් තෝරනවා. ඒ තමයි සක්විති රජ කියන එක. ඒක එයා තෝරලා ඒ සඳහා ගැළපෙන පැවැත්මක් සඳහා අවශ්‍ය පැවැත්මේ කොන්දේසි ටික නිර්මාණය කරනවා. ටිකක් කෘතීම විදියට. මූලික අධ්‍යාපනය, රණශුර බව, විවාහය, භෞතික සම්පත්, රම්‍ය සුරම්‍ය සුභ යන මේ දේවල් එයා නිර්මාණය කරන කොට සිදුවෙන තව වැදගත් දෙයක් තියනවා. ඒ තමයි අර අසිත කියපු අනෙක් අන්තයට අවශ්‍ය භෞතික කොන්දේසි ටික ඉතාම සූක්‍ෂම ලෙස 'වාරණය' (repressed - අවරෝධනය or suppressed - යටපත් කිරීම) කරන එක (මම මේ කියන දේ ෆ්‍රොයිඩියානු අවිඥාණයෙන් වෙනස්). සිද්ධාර්ථට නොපෙනෙන්න ඈත් කරන එක. යටපත් කරන එක. 'යටපත් කරන දෙය' සත්‍යය ලෙස ඉස්මතු වෙනවා කියල මනෝ විශ්ලේෂණය උගන්වනවා. මම කියන්නේ දයලෙක්තික විදියට ගත්තම මේ කෘතීම පැවැත්මේ එක අන්තයක් තමයි සිදුහත් කුමාරයා ප්‍රතික්ෂේප කරන්නේ කියල. නැත්නම් ඉන් ඔබ්බට යන්න හදන්නේ කියල.

හැබැයි කොච්චර හැංගුවත් අධ්‍යාත්මික මෝක්ෂය (භෞතික විමුක්තිය වෙනුවට) හෙව්ව සිය දහස් ගණන් සන්‍යාසියෝ මගධය පුරාමත් මුළු දඹදිව පුරාමත් පාරේ ඇවිදිමින් ඉන්නවා කියන එක සුද්දෝදන රජ්ජුරුවෝ දැනගෙන හිටියා. නමුත් එවන් දෙයක් පවතිනවා කියන 'දැනුම' තමයි එයා සිදුහත් ට සම්ප්‍රේෂණය වෙන්න නොදෙන්නේ. ඒ සන්‍යාසියෝ මිනිස් පැවැත්ම ගැන වාද විවාද කලා. හැබැයි ගහ බැණ ගත්තේ නැහැ කියල සද්ගුරු කියනවා. සංජය බෙල්ලට්ථිපුත්ත ල, පකුධ කච්චායන ල, පූර්ණ කස්සප ල, මක්ඛලි ගෝසාල ල, නිගණ්ඨ නාථපුත්ත ල හෝ එයාලගේ ගුරුකුළ වල මුල් කාලීන අය වගේ ආත්මවාදීන්, ශුන්‍යතාවාදීන්, නාස්තිකවාදින්, සංශයවාදින් අවසානයක් නැතුව මහපාරේ වාද විවාද කර ගනිමින් ඒ වෙනකොට හිටියා කියන්න සුද්දෝදන රජතුමා දැනගෙන හිටියා. එයාට ඒක මහා අවුලක් වගේ පෙනුනද දන්නෙත් නැහැ. සක්විති රජ කෙනෙක් ඕනි උනේ ඒ මහා අවුල ලිහන්නද දන්නෙත් නැහැ (යහපාලන අවුල සහ ගෝඨාභය සක්විති රජ වීම නිකම් සිහිපත් කර ගන්න).

ජීවිතයේ අර්ථය සොයන නිශ්චිත ආකෘතියක් නැති සන්‍යාසින්

ඉතින් සිද්දාර්ථ කුමාරයා රම්‍ය සුරම්‍ය සුභ වල ඉන්නකොට එයින් එළියේ ඊට සම්පුර්ණයෙන් වෙනස් දෙයක් සිදු වෙමින් පවතිනවා. ඒ තමයි ජීවිතයේ අර්ථය සොයන, නිශ්චිත ආකෘතියක් නැති, සන්‍යාසින් පිරිසක් මහපාරේ සිටීම.

ඒ වගේම කොච්චර ලොකු ෆැන්ටසි ආකෘතියක් ඇතුලේ සිද්ධාර්ථ කුමාරයා හිටියත් ඒ ෆැන්ටසි ලෝකය මවන්න සුද්දෝදන රජතුමාට ඒ ෆැන්ටසි ලෝකයෙන් එළියේ ඉන්න චරිත අවශ්‍ය උණා. එයින් එක කොටසක් තමයි නාට්‍යංගනාවෝ (සාමාන්‍ය මිනිස්සු). ඉතින් දවසක් සිද්ධාර්ථ කුමාරයා දකිනවා ඒ ෆැන්ටසි ස්ත්‍රීන් කටවල් ඇරගෙන කුණු කෙළ පෙරාගෙන අඩ නිරුවත් ව නිදාගෙන ඉන්න ආකාරය. බුද්ධ චරිතය ලියපු හැමෝම වගේ මේ දර්ශනය දකින්නේ ක්ෂිතියක් විදියට. සිද්ධාර්ථ කුමාරය හිතන්න ගන්නවා මේ 'ලස්සන' කුමාරිකාවෝ වගේ ඉන්න ගැහැණු අය තුළ මොකක්දෝ 'ලස්සන නොවන දෙයක්' තියනවා නේද කියන එක. එයාලගේ ලස්සන කටවල් වලින් මොකක්දෝ කැත දෙයක් එළියට එනවා නේද කියන එක. සිද්ධාර්ථ කුමාරයා ට මේ තත්වය 'නව දැනුමක්' වෙන්නේ මෙතක් කල් ජීවිතයේ ඒක වාරණය කරලා තිබුණ නිසා (ඒකයි ඒ නව දැනුම දුක්ඛ සත්‍ය වෙන්නේ = යටපත් කරන ළද දැනුම). එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සු කරන්නේ ඒ කුණු කෙළ ටික උදේට හෝදලා දාල දත් මැදල කිස් එකක් දෙන එක. සමහරු කුණු කෙළ, දාඩිය එක්කම උනත් 'රැඩිකල් ලෙස' කිස් කරනවා. සෙක්ස් කරනවා. ඒවාත් වෙනස් මිනිස් ආකෘති.

‘ලෞකික චක්‍රය‘ නොව ‘ධර්ම චක්‍රය‘ කැරකීම 

දැන් සිද්ධාර්ථ කුමාරයාගේ ජීවිතය ඇතුලේ මේ 'නව දැනුම' එක්ක පෙරළුමක් (twist) සටහන් කරනවා. ඒ පෙරළුම තවත් තීව්‍ර වෙනවා ලෙඩෙක්, මළමිනියක් දැකල. ඒවත් එයාගේ ලෝකේ මෙතෙක් තිබ්බ දැනුම ඇතුලේ නොදැක්ක දේවල්. මේ දැනුම ලැබෙන්න ඕනි පුර්ව නිමිති පෙන්වන්නේ දෙවියන් කියලත් කියනවා. ඒ කියන්නේ පැවති ව්‍යාජ පිළිවෙල උල්ලංඝණය කරලා ඇත්ත පැවැත්මේ සිදුරු පෙන්නන්න දිව්‍යමය මැදිහත් වීමක් අවශ්‍ය වෙනවා. ඉතින් සිද්ධාර්ථ කුමාරය අභිනිෂ්ක්‍රමනය කරන්න හේතු වෙන්නේ වාරණය, මෙතක් නොපැවති දැනුමක් ලැබීම සහ ඒ දැනුම එක්ක මෙතෙක් ජීවත් වෙච්ච ලෝකයේ ෆැන්ටසි සිදුරු පෙනීම. ඊට පස්සේ මේ තමන් දන්නා 'සුඛය' කියන එකට ප්‍රතිපක්ෂ ලෙස තිබිලා තියන එහෙත් තමන් දැනගෙන නොසිටිය 'දුක' කියන එක තමයි එයාගේ ගවේෂණයේ වස්තු හේතුව (object cause of desire) බවට පත් වෙන්නේ. ඒ කියන්නේ සත්‍යය කියන එක සහ වාරණය කියන එක එකිනෙකින් මෙතැන වෙන් කරන්න බැහැ. මෙතැන දී අසිත ජය ගන්නවා. ඒ කියන්නේ චක්‍රවර්ති උගුල ඇතුලේ සුද්දෝදන රජතුමා හිර කරලා ඒ ෆැන්ටසි ආකෘතිය ඇතුලෙන්ම බුද්ධත්වයට අවශ්‍ය විෂය (subject of liberation) නිර්මාණය කරන්නේ අසිත කියල මම තර්ක කරනවා. ඒක ටිකක් අපහසු දිග්ගැස්සුන ක්‍රියාවලියක්. විමුක්ති විෂය නිර්මාණය කරන එක අමාරු වැඩක්. ග්‍රස්තික ක්‍රියාවක්. අසිත කියල තියනවා ඒ ආශ්චර්යය බලන්න මම ජීවත් වෙන්නේ නැහැ කියලත්. එයා දුක් වෙනවා මේ ධර්මය අහන්න නොලැබීම ගැන. ඒ කියන්නේ එයා දැනගෙන හිටියා මේ චරිතය ඔස්සේ 'ලෞකික චක්‍රය' නෙවෙයි 'ධර්මචක්‍රය' තමයි කැරකෙන්නේ කියල. ඒ වගේම එයා දැනගෙන හිටිය සුද්දෝදන රජ්ජුරුවන් ගේ ෆැන්ටසි එක වැඩකරන හැටිත්.

මෙතැනින් පස්සේ කතාව ඔයාල දන්නවා. ඒ නව දැනුම ඔස්සේ නේරංජනාව තරණය කරන සිද්ධාර්ථ ආළාර කාලාම සහ උද්දකරාම පුත්ත යන දෙදෙනා ළඟට ගියත් ඒ තැන් වල නතර වෙන්නේ නැහැ. මොකද ඒ දෙන්නම දුක කේන්ද්‍ර කරගෙන කතා කරපු අය නෙවෙයි. උද්දක රාම ගේ උපරිම අවබෝධය වෙච්ච පැවැත්ම සහ නොපැවැත්ම යන දෙකම එකට පැවතීම ගැන වූ සංජානනය ඇතුලේ වත් සිදුහත් නවතින්නේ නැතුව පස්වග මහණුන් සහ දුෂ්කරක්‍රියාව දක්වා ම ගියා. ඒ කියන්නේ 'සත්‍යය' අත්දකින තුරු ම ගියා. මොකක්ද සත්‍යය? තමන්ගේ මුල් කාලීන ජීවිතයේ නොතිබූ, වාරණය කර තිබූ (නො)දැනුම. දුෂ්කරක්‍රියාවේ අන්තිම මාරාන්තික නිමේෂයේ වේදනාව තුළින් උන් වහන්සේ අවබෝධකර ගන්නවා මේ අන්තය තුළත් අර පැරණි සුඛ අන්තයේ වගේම තේරුමක්, අර්ථයක්, සත්‍යයක් නැහැ කියල. මේක තමයි එතුමන් අපිට ගෙනෙන අවබෝධය. ඒ නිසා ආපහු පස්වග මහණුන් වෙත ගිහිල්ලා එයා බෙදා ගන්නේ ඒ ප්‍රත්‍යක්ෂ දැනුම. ඒ කියන්නේ ජීවිතයේ අර්ථය මේ සුඛ හෝ දුක්ඛ අන්ත දෙක ඇතුල් ම නැහැ කියන එක. ඒක මුලික අවබෝධයක්.

'දැනුමට පෙර දැනුමක්'

නමුත් බුදුන් වහන්සේ නන්ද කුමාරයා ට කියන කොට අර ඉන්නේ නව දැලි හේනක වැඳිරියක් කියල එතකොට ඒක 'පුර්ව දැනුමක්' බවට පත් වෙනවා. ඒ කියන්නේ ප්‍රත්‍යක්‍ෂයෙන් අවබෝධ කර ගත යුතු දෙයක් 'දැනුමට පෙර දැනුමක්' (knowledge prior to knowledge) බවට පත් කරනවා. ඉතින් ගොඩක් තරුණ කාලේ සසුනට සම්බන්ද වෙන සාමණේර භික්ෂුන් වහන්සේලා ට තියෙන්නේ 'බුද්ධ ප්‍රත්‍යක්ෂය' ගැන වූ පුර්ව දැනුමක් මිසක් බුද්ධ අවබෝධයක් නෙවෙයි. මම කියන්නේ මේ පුර්ව දැනුම 'ඇත්ත දැනුම' ලබා ගැනීමට බාධාවක් විය හැකියි කියල. කොහොම වුනත් මේ ඇත්ත දැනුම කියන එක දැනටමත් දැනුමක් (already existing knowledge). මොකද දැන් ඒක හොයාගෙන ඉවරයි.

වෙනත් විදියකට කිව්වොත් බුද්ධ දැනුම කියන්නේ (දැනුම සත්‍ය ට බාධාවක් වන 'අවිද්‍යා' අර්ථයෙන් නෙවෙයි) අන්තයන් දෙකක් අතර සිදුහත් කුමාරයා ගමන් කිරීම ඇතුලේ අවබෝධ කර ගත්ත දෙයක්. ඒ කියන්නේ දයලෙක්තික පදනමක් ඇතුලේ ලබා ගත්ත ඥාණයක් ඒ දයලෙක්තික අන්ත දෙක විසංයෝජනය කරන්න භාවිතා කරපු අවස්ථාවක් තමයි බුද්ධ ඥානය කියන්නේ. ඒ කියන්නේ මධ්‍යම ප්‍රතිපදාව. අධික සුඛය වෙතින් ඉවත් වෙලා සුඛය කියන්නේ 'සත්‍යයක්' (තව අන්තයක් යටපත් කිරීමක්) නොවන බවටත් අධික දුක්ඛය කියන එකෙන් ඉවත් වෙලා දුක්ඛය කියන්නේ 'සත්‍යයක්' (තවත් අන්තයක් යටපත් කිරීමක්) නොවන බවටත් වන ඥානය තමයි මැද මාවත කියන්නේ. අන්ත භජනය කියන්නේ දෘෂ්ටියක්, මායාවක්, අවිද්‍යාවක් කියන එක තමයි මෙයින් කියන්නේ. කෙසේ වුවත් බුදුන් සොයා ගිය සත්‍යය වෙන්නේ දුක හටගන්නේ කෙසේද කියන එක සහ එය නිරුද්ධ කරන්නේ කෙසේද කියන එක.

එයට හේතුව ලෙස උන් වහන්සේ දකින්නේ මම ය මගේ ය යනුවෙන් දේවල් අනන්‍ය කර ගැනීම. 'මගේ පෑන', 'මගේ සිතුවිළි' යනුවෙන් තේරුම් ගැනීම ඇතුලේ (මගේ) පෑන නැතිවීම මට දුකක් දනවන දෙයක් වෙනවා කියන එක. ඒ කියන්නේ මම යනුවෙන් දේවල් අල්ලා ගැනීම ඇතුලේ උපාදානයක් බිහි වෙනවා කියන එක. ඒ තමයි ආශාවේ මුල. නමුත් බටහිර මනෝ විශ්ලේෂණයේ ආශාවේ මුල වෙන්නේ 'තහනමේ ආරම්භය' (බුදුන් නම් විෂය බිහි වෙන දෙය). දැනට මේ ඇති. මොකද මේ මොහොතෙන් පස්සේ 'ආශාව' (desire) සහ මිනිස් විෂය (subject) බිහිවීම සාකච්චා කරන්න තව පුළුල් අවකාශයක් අවශ්‍ය වෙනවා.

අවසානයට නිෂිදා කිතරෝ උපුටා දක්වල මම මේ සටහන නතර කරන්නම්. 'ඕනෑම අන්ත දෙකක් ගැට ගැහිලා තියන පාර අනුභූතික හුය වන්නේ ශුන්‍යබව. හිස් බව. මේක ක්‍රිස්තියානියේ දෙවියන් සහ ආත්මය අතර දයලෙක්තික ආතතිය සඳහා ද පොදු ධර්මතාවයක්. ඒ වගේම සිතන විෂය (thinking subject) සහ ද්‍රව්‍යමය ලෝකය (objective reality) අතර ආතතිය සඳහා ද පොදු ධර්මතාවයක්. සිතුවිලි මේ ද්‍රව්‍යමය ලෝකයේ පතුලක් නැති කාබනික බව ඇතුලේ ගිලිල යනවා. ආපසු එන්නේ නැහැ. මේක තමයි වචන සහ පැවැත්ම අතර තියන ආතතිය. කොතරම් පාර භෞතික කවියකට වත් ඒ පතුලක් නැති පැවැත්ම මකන්න බැහැ. ඇත්තට ම ගත්තොත් කවිය කරන්න හදන්නේ භෞතික ලෝකය සහ මම අතර ගොඩනැගෙන හිඩැස් වහන්න උත්සාහ කරලා තියෙන එක. ඒ වහපු හැම තැනකම ආයේ ආයෙත් හිල් හැදෙනවා. ආයේ ආයෙත් අපි ඒ හිල් වහන්න හදනවා...මේ හිල් වහන ශිෂ්ටාචාරයේ වචන දිගින් දිගට පරම්පරාවෙන් පරම්පරාවට ගමන් කරනවා.



මූලාශ්‍ර

Siderits, Mark (2019) Buddha. Stanford Encyclopedia of Philosophy ://plato.stanford.edu/entries/buddha/

Nishida, Kitaro (1958). Intelligibility and the Philosophy of Nothingness. Honolulu. East-West Center Press.

Post a Comment

0 Comments