to-add

බුදුන් දායාද කළ විමුක්ති දහම නැවත ගෙන ඒම




 -සුනිල් විජේසිරිවර්ධන - 



බුදුන් ගෙන ආවේ විමුක්ති මාර්ගයක්

බුදුන්ගේ කාලයේ බුද්ධාගමක් තිබුණේ නැහැ, වේගවත් සංක්‍රාන්තික යුගයකට ඇතුල් වී සිටි උතුරු ඉන්දියාවේ, පංචාල දේශයේ ව්‍යාප්තව තිබුණු දහසකුත් එකක් ආගම් හා විශ්වාස අතරට තවත් එකක් ඔවුන් යෝජනා කළේ නැහැ. එතුමන් ගෙන ආවේ විමුක්ති මාර්ගයක්. එය අත්‍යවශ්‍යයෙන්ම අවබෝධයෙන් ඇවිද බැලිය යුතු මගක්; වටහාගෙන පුහුණු විය යුතු දහමක් ; අවසානයේ, ඒ මග ඔස්සේ යන්නෙකු සඳහා, රෝගී සමාජ ජීවිතය සුවපත් කිරීමේ මැදිහත්කාරක ක්‍රියාකාරිත්වයකට මගපෙන්වනා වූ වැඩපිළිවෙළක්. නොඑසේව, සමාජීය වශයෙන් බලවත් පූජක පැලැන්තියක් විසින් මෙහෙයවන්නාවූ, අන්ධ චර්යාවන්ට රුකුල් දෙමින් සමාජීය වශයෙන් උත්පාදනය වූ සමාජ දුක - සාමුහික ඛේදයන්- කීකරුව බාරගැනීමට ජනයා තත්වාරෝපණය කරන ආගමක් නම් වුණේ නැහැ. උදාහරණ ලෙස, සමකාලීන සමාජයේ ගැඹුරු භේදකාරී ව්‍යුහයන්ගේ පැවැත්ම හා ඒවායේ සමාජ -ආධ්‍යාත්මික විපාක නිරාවරණය කොට පෙන්වීමත්, ඉන් ගොඩ එන හැටි පෙන්වීමත් බුදුන්ගේ ඉගැන්වීම් පද්ධතියේ ඓන්ද්‍රීය පාර්ශ්වයක් වුණා. (මිනිස්සු වනාහි දිට්ඨි ව්‍යාධියකින් - ඇහේ ලෙඩකින් - පෙළෙති. කුමක්ද එය ? එක් මිනිසෙකුට අනෙක් මිනිසා තමා සේම මනුෂ්‍යයෙකු ලෙස නොපෙනීමේ රෝගය. හේතුව ? කුල , ජාති ගෝත්‍ර භේදය ! කළ යුත්ත ? ලොව සුවපත් කළ යුතුය . කෙසේද එය කරන්නේ ? සුවපත් මිනිසුන්ගේ පූර්ණ කාලීන ක්‍රියාන්විතයක් අවශ්‍යයයි, භික්ෂූ සංඝය නිර්මාණය කිරීම ප්‍රායෝගික පිළිතුරයි.)

බුදුදහම උපදිනේනේම විශ්ව දහමක් විදියට

බුදුදහම උපදින්නේම විශ්ව දහමක් ලෙසින්. මේ අදහසට එකිනෙක හා ගැඹුරු ලෙස බැඳුණු අර්ථ දෙකක් තියෙන බව දකින්න පුළුවන්; එකක් නම්, බුදු දහම සමකාලීන සමාජයේ හුදෙක් කිසියම් එක් ප්‍රජාවක හෝ ගෝත්‍රයක යහපත සඳහා ඉදිරිපත් කළ දෙයක් නොවේය, ලොවේ ඇතිතාක් සියළුම මිනිසුන් ඊට අදාළයි. මේ කාරණයට පහසුවෙන් ඇතුළු වෙන්න දොරක් , බුදුන්ගේ විසින් භාවිත ‘‘බහුජන’’ පදයට අයිතිවෙන්නෙ කවුද කියල හොයන එක. මේ අර්ථ මානයේ උත්කෘෂ්ටබව හා ගම්භිරත්වය නිසිලෙස අගැයීමට නම් කෙනෙක් බුදුන්ගේ සන්දර්භයට යා යුතුයි.

සන්දර්භයට යන්න - බහුජන කියන පදයට ඇතුල් වෙන්න

ඇත්ත වශයෙන් බුදුන් විසින් ඉදිරිපත් කරන ලද වැදගත් දහම් කරුණු හරියට අර්ථකථනය කිරීම සඳහා පවතින බුද්ධාගම විසින් කිසිසේත් අනුගමනය නොකරන, එහෙත් සොයන්නෙක් විසින් අනුගමනය කළ යුතු එක් මූලධර්මයක් ගැන අදහසක් මුලින් කියන්න කැමතියි, සන්දර්භයට යන්න ! (Read text in context) බහුජන කියන පදයට ඇතුල් වෙන්න බුදුන්ගෙ සමකාලීන පංචාල දේශයට යන්න ඕන. බුදුන්ගේ යුගය මහා සංක්‍රාන්තික යුගයක්. සම්ප්‍රදායික ජනපද ආර්ථිකය හා සමාජය විනාශ කරමින් වාණිජ ලෝකයක් විවෘත වෙනව, ජාත්‍යන්තර වෙළඳාම ව්‍යාප්ත වෙනවා (උත්තරා පථය, දක්ෂිණා පථය ; මහා තවලම් මාර්ග, සාගර සේද මාවත , සෙට්ඨීන් (සිටුවරු -බැන්කු කරුවො ) . සරල ප්‍රජාතන්ත්‍රවාදී ජනපද -සොලොස් මහා ජනපද - මතුවන රාජාණ්ඩු විසින් සාහසික ලෙස විනාශ කරනව - මගධ අධිරාජ්‍යය බිහිවෙන්න ආරම්භ වෙනවා - මහා නගර බිහිවෙනවා. බිඳවැටෙන කෘෂි ජනපදවල සිට දුගී ජනයා සම්පත් ඒකරාශී වෙන මහා නගර කරා ඇදෙනවා ජීවිතය සොයාගෙන ; ලේ කඳුළු ගලන යුගයක් ; ලෝකය 'පුංචි' වෙනවා . එක් ජනපදයක/ ප්‍රජාවක මිනිසුන්ගේ ඇස නොගැටුනු වෙනත් මිනිසුන් සංක්‍රමණය වෙනව නගරවලට ; අපේ, අපේ කිව්වේ මීට කලින් තමන්ගෙ සනුහරේ , තමන්ගේ ප්‍රජාවෙ , තමන්ගේ ගණ සංඝයේ මිනිසුන්ටයි . අනික් අමුතු භාෂා කතාකරන අමුතු මිනිස්සු තමන් තරම්ම මිනිසුන්ද ? උතුරු ඉන්දියාවේ මේ වනවිට ගැඹුරට මුල් ඇදපු මහා භේදය වුනු ආර්ය -අනාර්ය භේදයෙන්, සහ එය ඇතුළේ නැගෙන කුල භේදයන්ගෙන් ඇස් අන්ධ වුනු මිනිසුන්ට අළුතින් මුණගැසෙන අනෙක් මිනිසුන් කොහොමටත් නියම මිනිස්සු නෙවෙයි ; අළුත් ගැටුම් මානයක් . ඔය වගෙයි මහා ගැටුම් සන්දර්භය. බුදුන් අන්න ඇවිත් කියනවා මේ අලුත් ලෝකෙට 'බහුත්ව වේශයෙන් ඉන්නාවූ නා නා විධ ජනයා සියල්ලෝම කිසිම වෙනසක් නැතිව මිනිස්සු කියලා ; ප්‍රථම වරට උතුරු ඉන්දියාවට /ලෝකයට ඉදිරිපත් වෙනවා විශ්ව මානව සංකල්පයක් . බහුජන හිතාය , බහුජන සුඛාය ' සූත්‍රය තුළ මේ සංකල්පය කැටිවෙලා තියෙනවා ; බහුත්ව වේශයෙන් ඉන්නාවූ සියළු මිනිසුන්ගේ හිත සුව පිණිස ! (අමතරව ;වාසෙට්ඨ සූත්‍රය ඇතුළු සූත්‍ර කිහිපකම විශ්ව මානවීයත්වය සංකල්පනය වෙන හැටි කියවගන්න පුළුවන්)

ලෝක යථාර්ථය තේරුම්ගන්න සත්භාවවේදී මෙන්ම ඥානමීමංසාත්මක පර්යාලෝකයක්

අනෙක් අර්ථ මානය නම්, ලෝක යථාර්ථය තේරුම් ගැනීමට සත්භාවවේදී මෙන්ම ඥානමිමංසාත්මක වශයෙන් විශ්ව පර්යාලෝකයක් බුදුන් විසින් විවෘත කිරීමට සම්බන්ධයි. මේ වනාහි සංකීර්ණ ඥාන ලෝකයක්. පිවිසුම් මාර්ග හා මංපෙත් රාශියක් සහිත මේ ලොවට එක් දොරක් හෝ හරින්නට සුළු උත්සාහයකි මෙහි මා දරන්නේ.

ලෝකය විස්තර කරන්නට යන කවර දර්ශනයක් නමුත් හේතු -ඵල ප්‍රවාදයක් ඉදිරිපත් කළ යුතුය . හේතු ඵල සන්තතිය ඒක මාර්ගිකව ධාවනය වීමේ ප්‍රවාදය බටහිරට පමණක් ආවේණික යැයි අප අතර ප්‍රචලිත සිතීම බලවත් මුලාවක් . ක්‍රි පූ දෙවෙනි හා පළවෙනි සහශ්‍ර තුළ තරම් ඈතක දී වේදයෙහි එවැනි ප්‍රවාදයක් පැහැදිලිව දකින්නට තියෙනවා . එහෙත් ඉන්පසු උපනිෂද් හා සාංඛ්‍ය දර්ශනයන් තුළ කරුණු ප්‍රශ්න වීමට ආරම්භ වුන බවක් පෙනෙන නමුත් පූර්ණ ලෙස නව්‍ය හේතුඵල විද්‍යාවක් ගෙන එන්නෙ ගෝතම බුදුන් විසින්; බුදුන් දකින ලෝකයේ නැවතුණු තනි තනි සංසිද්ධීන්/වස්තූන් /යථාර්ථයක් නැහැ . එසේම ගතික ලෝකයක් - සියල්ල චලනයක නිමග්නව ; සියළු දෙයෙහි පැවැත්ම ක්ෂණභංගුරයි. මේ දැක්මට අනුව යථාර්ථය වූ කලී එහි සියළු සංරචක , පාර්ශව , පැති අන්යෝන්‍ය සහසම්බන්ධිත - ජාලමය -තත්ත්වයක් පෙන්වන ගතික ප්‍රවාහයක් ලෙසයි පවතින්නේ . චෛතසික හෝ භෞතික ලෝකය වේවා - පුද්ගල ලෝකය හෝ සමාජ ලෝකය වේවා , සියලු සංස්කාරයෝ (සංස්කරණය ට ලක්වන සියලු දේ). මෙම ධර්මයට අනුකූලයි. පෘථග්ජන ඇසේ ගැටලුව වන්නේ ස්වභාවිකව ගලායන , ක්ෂණභංගුර යථාර්ථය නොදැක එහි තෝරාගත් ස්ථාන පරම ලෙස අල්ලා ගැනීමයි. බුදුන් තමන්ගේ කාලයේ වූ යථාර්ථය පිළිබඳ විවාදය කපා එතෙර යන්නේ ක්‍රියාත්මක වන බලය දෙස නොව ක්‍රියාදාමය දෙස බැලීමෙන් ; පැවැත්මේ කිසියම් එක් මූල ප්‍රභවයක් හෝ ජීවිතයාගේ මර්මස්ථානයක් හෝ බල කේන්ද්‍රයක් වෙනුවට බුදුන්ගේ ඇසට හමුවන්නේ ගතික සම්බන්ධතා ජාලයක් . ඵලයක් ඇතිවන්නේ හේතුන් නිසයි ; එහෙත් එය/ ඵලය පූර්වයෙන් නිර්ණය වී නැහැ . මන්දයත් හේතුප්‍රත්‍යයන් රාශියකි, ඒවා එකිනෙකා මත රඳා සිටින්නෝය . එබැවින් ලොව අළුත් වන අතරම අරාජිකද නොවේ ; කිසියම් රටාවක් දිගටම සැකසේ.

‘පටිච්ච සමුප්පාදය දකින්නා ධර්මය දකියි’ - විශ්වීයත්වයේ දාර්ශනික මානය 

බුදුන් ගේ දැක්ම තුළ ලෝකය වටහා හැනීමට අවශ්‍ය කේන්ද්‍රීය නිරීක්ෂණයක් තමයි මේ සංකීර්ණ හේතුඵල විද්‍යාව,  ‘පටිච්ච සමුප්පාදය දකින්නා ධර්මය දකියි’. විශ්වීයත්වයේ දාර්ශනික මානය.

පුද්ගල මානයේ සිට සමාජ /සාමුහික මානය හරහා විශ්ව මානය දක්වා යථාර්ථයේ තල මාන රාශියක් පවතිනවා. ඥානමිමංසාත්මකව දහමට අයත් වැදගත් මූලධර්මයක් වන්නේ යථාර්ථයේ එක මානයක් සමස්තයෙන් උගුලුවා අහකට ගන්නට බැහැ කියන කාරණය. එනමුත් , පසුගිය ශතවර්ෂ කිහිපය තුළ , විශේෂයෙන්ම 11 -12 ශතවර්ෂවල සිට ( අභයගිරිය බිඳවැටීමෙන්/මහායානය අතුරුදන් වීමෙන් පසු ) ලාංකික බෞද්ධ කතිකාව පුද්ගල මානය පිළිබඳ දහම් කොටස් තුළ හිරවෙනවා . ඒ සමග සිදුවිය යුතුසේම බෞද්ධ සමාජ කතිකාවන් පිරිහෙනවා. විශාල ප්‍රතිවිරෝධතා එය තුළ පැනනගිනවා.

කේවල පුද්ගල විමුක්ති දහමක් මුල් බෞද්ධ මාර්ගයේ නැහැ 

පුද්ගලයා පූර්ණ ලෙස තේරුම් ගැනීම පවා හුදෙක් පුද්ගල මානය තුළ ට පමණක් කොතරම් කිඳා බැස්සත් කරන්න පුළුවන් දෙයක් නෙමේ . පුද්ගලයා සමාජ යථාර්ථයේ අංශුවක් . එය පුද්ගලයාගේ උපරි යථාර්ථය. ඒ නිසා හුදෙක් කේවල පුද්ගල විමුක්ති දහමක් මුල් බෞද්ධ මාර්ගයේ නැහැ , සමාජ විමුක්ති දහම සමග බැඳුණු , එයට අදාළ මාර්ගයක් ආරම්භක භික්ෂූන් ට යෝජනා කෙරෙන්නේ . එක් උදාහරණයක් පමණක් - කුල සමාජයේ සාමාජිකයෙක් /සාමාජිකාවක් භික්ෂූ සංඝයට ඇතුල් වෙද්දී එවක කෙනෙකුට අනිවාර්යයෙන් හිමි කුල ලකුණු තුනම අයින් කෙරුණා ; කෙනෙක්ව හුදෙක් බාහිර රූපයෙන්- හිස කෙස් සැකැස්මෙන් , වස්ත්‍රයෙන් සහ ආභරණ වලින් - හඳුනාගන්න පුළුවන් සමාජයේ කවර තැනින්ද එන්නෙ කියලා . බුදුන් මේ භෞතික ලකුණු තුනම අයින් කරනවා . එවිට භික්ෂූවක් /භික්ෂුනියක් බාහිරව හුදෙක්ම මනුෂ්‍යභාවයට විතරයි අයිති . ( ඈතට ලිංහික වෙනසත් මැකෙනවා !) වැදගත්ම දේ රෝගීව ඇති අභ්‍යන්තර ඇහැ සුවපත් වීම ; ඔහුට / ඇයට දැන් මිනිස්සුන් පෙනෙන්නේ මිනිසුන් වශයෙන් ; සියළුම භේද (ලිංග භේදයත් ඇතුලත්ව) තුරන් වෙනව ; සම කරුණාවෙන් සියල්ලන්ට/ සියලු සතුන්ට එක සේ සලකන්නට තරම් ඉහළට පරිණාමය වූ විශ්වීය ඇහැක් ඇති මනුෂ්‍යයෙක් නිර්මාණය කිරීමයි මූලික ව්‍යාපෘතිය.

බුදුදහම විමුක්ති දහමක් ලෙස නැවත ගෙනඒම
එනමුත් පෙරදිග ජීවිතය තුළද යථාර්ථය ධුරාවලියක් ලෙස සංකල්පනය කිරීමේ, එකී අගැයුම් අනුව යථාර්ථය රාමු කිරීමේ චින්තනය රාජාණ්ඩු හා වැඩවසම් ක්‍රමයේ සමාජ -සංස්කෘතික අනුභූතීන් හේතුකොට අප අතරද පැලපදියම් වුණා. මේ නිසා එය අපගේ ආගමේ ක්‍රියාත්මක හේතුඵල චින්තනයද ඊට අනුගතව සංස්කරණය වුනා . එබැවින් අපේ සිංහල ජාතිකවාදීන් යෝජනා කරන අයුරින් ( ඩෙකාර්ට් විසින් පදනම නිර්මාණය කරන ලද ) ‘ බටහිර චින්තන ක්‍රමය’ බටහිරින් පැමිණ අපගේ ‘ විශිෂ්ට පෙරදිග චින්තන ක්‍රමය’ පරිහානියට ලක් කිරීමේ අමුතු අවශ්‍යතාවයක් නැහැ. අපටම රාජාණ්ඩු වටිනාකම් ආශ්‍රිතව අපූරුවට ඒක කරගන්න පුළුවන් වුණා. 

මුල් බුදු දහම ඒ සන්දර්භය ඇසුරින් වටහා ගෙන, අපේ කාලයේ ලෝකයට - සමාජ දුක්ඛයන් නිවාරණය පිණිස - පුද්ගල හා සමාජ පරිවර්තනය උදෙසා සාර්ථකව මැදිහත් විය හැකි විමුක්ති දහමක් ලෙස නැවත ගෙන ඒමේ ඉතා සාර්ථක ප්‍රයත්නයන් තියෙනවා. තායිලන්තයේ, වියට්නාමයේ, ජපානයේ, කොරියාවේ, යුරෝපයේ සහ අමෙරිකාවේ ‘මැදිහත්කාරක බුද්ධාගම ‘ Engaged Buddhism - නමින් මුල් අල්ලමින් මේ විමුක්ති දහම වේගයෙන් ව්‍යාප්ත වන බව පෙනීම බෙහෙවින් සතුටට කරුණක්. අපේ රටේ මේ සම්බන්ධ තත්ත්වය බෙහෙවින් දුබල නමුත් වල්පොල රාහුල තෙරුන්ගෙන් ඇරැඹුණු කුඩා ජීව දහරක් අද ජීවමානයි.

Post a Comment

0 Comments