to-add

වෛද්‍යවරු අතින් ලිංගික අපයෝජනයට පත් වන රෝගීන්

විධිමත් නීති පද්ධති සහ  රෙගුලාසි ඇති රටවල වාර්ශිකව ලිංගික අපයෝජනයට ලක් කරන ලද රෝගීන් පිලිබඳව වාර්තා වූවද ලංකාවේ එය ඉතා අවමය. ඊට මූලික හේතුවක් නම් රෝහල් බලධාරීන් විසින් ලිංගික අපයෝජන යට ගැසීමය. තවද රෝගීන් තමන් ගේ අයිතිවාසිකම් පිලිබඳ ඇති නොදැණුවත් භාවයද මීට හේතු කාරක වෙයි.

සමන්ත කෝණාර,  නෙත්මි පෙරේරා

ශ්‍රී ලංකාවේ බහුතරයක් වූ වෛද්‍යවරු වෘත්තීය ආචාර ධර්ම රකිමින් ගුණාත්මක රෝගී ප්‍රතිකාරයක් කලද සුළුතරයක්  වෛද්‍යවරු වෘත්තීය ආචාර ධර්ම බිඳ හෙලමින් රෝගීන්ව ලිංගික අපයෝජනයට කරන බව නොරහසකි. එහෙත් මේ පිලිබඳව කෙරෙන කතා බහ අවමය. රෝහල් බලධාරීන් ද මෙවැනි චෝදනා හමුවේ අපයෝජක වෛද්‍යවරයන්ට එරෙහිව පරීක්‍ෂණ පැවැත්වීම මඟ හරින අතර අගතියට පත් කාන්තාවන් ද බිය සහ ලැජ්ජාව නිසා අපයෝජන පිලිබඳව පැමිණිලි නොකරති. මෑත කාලයේදී රෝහල් වල ලිංගික අපයෝජන සිද්ධීන් රැසක්  වාර්තා වී ඇති  අතර ඉන් බොහොමයක් වෛද්‍යවරයාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමකින් තොරව නිමවී තිබේ. ලිංගික අපයෝජනයන්ගේ බලධාරීන්ට වාර්තා කැරෙන්නේ සුලු ප්‍රමාණයක් බව සමීක්‍ෂන වලින් පෙන්වා දී ඇත. එම නිසා මේ තත්වය අපයෝජකයන්ව වඩ වඩාත් දිරි ගන්වයි. 



 වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර ලිංගික සම්බන්ධතාවලට එරෙහි සදාචාරාත්මක තහනම අවම වශයෙන් හිපොක්‍රටික් දිවුරුම දක්වා දිව යයි. වෛද්‍යවරයකු රෝගියා සමඟ ශාරීරික ලිංගික සම්බන්ධතා වල යෙදීම  (සිප ගැනීම, ලිංගික සංසර්ගය හෝ විභාගයකට පිටින් ඇති අරමුණු සඳහා ලිංගිකව හැසිරුණු ඕනෑම ශරීර කොටසක් ස්පර්ශ කිරීම )  වෘත්තීය ලිංගික විශමාචාරයක් වෙයි.   වෛද්‍ය වෘත්තිකයෙකු විසින් ලිංගික අතවර කිරීම යනු විශ්වාසය, වෛද්‍ය ආචාර ධර්ම සහ නීතිය බරපතල ලෙස උල්ලංඝනය කිරීමකි. ලිංගික විෂමාචාරය මගින් රෝගියා වෛද්‍යවරයා කෙරෙහි තබා ඇති විශ්වාසය පළුදු වෙයි.   වෛද්‍යවරුන් සහ ඔවුන්ගේ රෝගීන් අතර ලිංගික සම්බන්ධතා රෝගීන්ට විනාශකාරී ප්‍රතිවිපාක ඇති කළ හැකි අතර රෝගී ප්‍රතිකාරයේදී , රෝග යාමන තීරණ ගැනීමේ වෛද්‍යවරුන්ට ඇති හැකියාවට හානි කළ හැකිය. 

2017 වසරේදී වොෂින්ටන් විශ්ව විද්‍යාලය  විසින් කරන ලද අධ්‍යනයකදී වෛද්‍යවරු විසින් ලිංගික අපයෝජනයට ලක් කරන ලද   කාන්තා රෝගීන්  101 දෙනෙකු හඳුනාගෙන තිබුණි.  කැලිෆෝනියාවේ ප්ලාස්ටික් ශල්‍ය වෛද්‍යවරයකු වන පීටර් ලී-චුවාන් චි  වයස අවුරුදු 16 සිට 57 දක්වා කාන්තා රෝගීන් ගනනාවකට ලිංගික අතවර කළ බවට චෝදනා එල්ල වූ අතර   2010 දී රෝගීන් 36 දෙනෙකු සම්බන්ධ චෝදනාවලට ඔහු වරද පිළිගත්තේය. පසුව වෛද්‍ය පීටර් ලී-චුවාන් චි හට වසර හයක සිර දඞුවමක් නියම කෙරුණි.   මිචිගන් හි නිර්වින්දන වෛද්‍ය ඩෙනිස් මයිකල් සිකොව්ස්කි රෝහලකදී රෝගීන් තිදෙනෙකුට ලිංගික අපයෝජන කල බවට  චෝදනා එල්ල විය. නඩු විභාගයෙන් පසු ඔහු දැන් ලියාපදිංචි ලිංගික අපරාධකරුවෙකි.  

විධිමත් නීති පද්ධති සහ  රෙගුලාසි ඇති රටවල වාර්ශිකව ලිංගික අපයෝජනයට ලක් කරන ලද රෝගීන් පිලිබඳව වාර්තා වූවද ලංකාවේ එය ඉතා අවමය. ඊට මූලික හේතුවක් නම් රෝහල් බලධාරීන් විසින් ලිංගික අපයෝජන යට ගැසීමය. තවද රෝගීන් තමන් ගේ අයිතිවාසිකම් පිලිබඳ ඇති නොදැණුවත් භාවයද මීට හේතු කාරක වෙයි.

 වෛද්‍යවරයෙකු විසින් රෝගියෙකු අපයෝජනය කිරීම පිලිබඳව ලංකාවෙන් වාර්තා වන ක්‍රෑරතම සිද්ධිය වනුයේ 2007 නොවැම්බර් 12 දින මීගමුව රෝහලේදී සුදර්ශන බාලගේ නම් සීමාවාසික වෛද්‍යවරයා විසින් තමාගෙන් බෙහෙත් ගැනීමට පැමිණි  මොණරාගල, දඹගල්ල ප්‍රදේශයේ පදිංචිකාරියක වූ චමිලා දිසානායක නමැති වෙළඳ කලාපයේ තරුණිය දුෂණය කොට රෝහලේ 6 වෙනි මහලින් බිමට ඇද දමා මරා දමන ලද සිද්ධියයි. එහෙත් චමිලාගේ ඝාතනයට ප්‍රථම   2007 අගොස්තු මාසයේදි වෛද්‍ය සුදර්ශන බාලගේ විසින් මීගමුව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි තරුණියක් වෛද්‍ය පරික්ෂණයකට යැයි කියමින් තමන්ගේ කාමරයට කැදවාගෙන ගොස් ලිංගික අතරවරයක් කිරිමට තැත් කළේය.  එම තරුණිය බියට පත්ව ඇය කැගසා කාමරයෙන් පැන විත් ඇගේ පෙම්වතාට දැනුම් දිමෙන් පසු අයගේ පෙම්වතා විසින් සුදර්ශන බාලගේ මීගමුව රෝහල් භූමිය තුලදිම පහර දෙන ලදී. මෙම ස්ත්‍රී දුෂණ තැත රෝහල් බලධාරීන්ට සහ පොලිසියට දැනුම් දුන්නද සුදර්ශන බාලගේට  එදිරිව නිතිය ක්‍රියාත්මක වුයේ නැත.  මේ දුෂකයා බේරා  ගැනීමට මීගමුව රෝහලේ ඇතැම් වෛද්‍යවරුන් පෙරට ආහ. ඔවුන් වින්දිත තරුණියගේ ඇද ඉහපත් වාර්ථාවල ඇය සිහිමද ගතියකින් පෙලෙන්නියක් ලෙසින් සදහන් කරමින් ස්ත්‍රී දුෂණය යට ගැසුහ.  මෙම අපයෝජන සිද්ධිය සම්බන්ධයෙන් වෛද්‍ය සුදර්ශන බාලගේට එරෙහිව රෝහල් බලධාරීන් විසින් යම් පියවරක් ගත්තේ නම් චමිලා දිසානායක තරුණියගේ ජීවිතය  අණතුරුදායක තත්වයට පත් නොවීමට ඉඩ තිබුණි. 

2014 වසරේදී පොළොන්නරුව රෝහලේ ප්‍රසව හා නාරිවේද ඒකකයේ ජේෂ්ඨ වෛද්‍ය සංජය චමින්ද සෙනෙවිරත්න ස්ත්‍රී දූෂණ චෝදනා ලැබ  රක්‍ෂිත බන්ධනාගාරගත විය. නමුත් එම වෛද්‍යවරයාට එරෙහිව වෛද්‍ය සභාව කිසිදු පියවරක් ගත්තේ නැත. තවද කෑගල්ල හෙම්මාතගම රෝහලේ උපුල් හැන්දලගේ නම් වෛද්‍යවරයා  බෙහෙත් ගැනීමට පැමිණි තරුණ රෝගී කාන්තාවන්ගේ නිරුවත් පින්තුර ගන්නා ලද  අතර  මාවනැල්ල ප්‍රධාන මහේස්ත්‍රාත් එන්.ඩී.ඩී. කරල්ලියද්ද මහතා විසින් ඔහුව රිමාන්ඩ් කරනු ලැබීය.   2009 සැප්තැම්බර් මාසයේ දිනෙක විෂාන් ජයශාන්ත පරනමාන  නමැති වෛද්‍යවරයෙකු විසින් දරු ප‍්‍රසූතිය සඳහා ජයවර්ධන රෝහලට ඇතුළත් කරනු ලැබ සිටි කාන්තාවකට අතවරයක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විෂාන් ජයශාන්ත පරනමානට එරෙහි ව කොළඹ මහාධිකරණයේ නඩු පැවරීය. දරු ප‍්‍රසූතිය සඳහා රෝහල් ගත කොට සිටි රූමත් තරුණ මවක පරීක්‍ෂා කිරීමට යැයි කියා අලූයම් කාලයේ දී ඇය රෝහල් කාමරයකට තනිව ගෙනගොස් වෛද්‍යවරයා ඇයට අතවර කළේ යැයි නඩු ගොනුවේ සඳහන් වේ. මේ වන විට මෙම වෛද්‍යවරයා පුද්ගලික සායනයක වෛද්‍ය වෘත්තියේ නියැලේ.

 2013 වසරේ අනුරාධපුර රෝහලේ කාන්තා වැසිකිළියක කැමරාවක්  සවි කිරීම නිසා  දිනුෂ සෙරංග විජේවර්ධන නම් වෛද්‍යවරයා අනුරාධපුර රෝහලේ කාර්‍ය මණ්ඩලය කල වර්ජන ක්‍රියාමාර්ගය හේතුවෙන් අත් අඩංගුවට පත්වී අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් රුවන්දිකා මාරපන මහත්මිය විසින් ඔහුව රිමන්ඩ් කරන ලද අතර  ඔහු  රිමාන්ඩ් ගතවී ඇප ලබා මේ වන විට නිරුපද්‍රිතව රෝගී සත්කාරයේ  යෙදෙයි.  

රෝගීන්ව අපයෝජනයට ලක් කල මෙම වෛද්‍යවරු පිලිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාව අනුගමනය කරන්නේ නිහඞ ප්‍රතිපත්තියක් වන අතර ඔවුන් විසින් යලිත් වරක් රෝගීන් අතවරයට ලක් කරයිදෝ කියා වත් බලධාරීන් නොබලති. දිසානායක දුෂණය කොට මරාදැමූ  සුදර්ශන බාලගේ ඇප පිට   සිටියදී පවා මීගමුව ප්‍රදේශයේ  පුද්ගලික සායනයක රෝගීන්ට ප්‍රතිකාර කල අතර මේ  සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය සහ වෛද්‍ය සභාව කිසිදු පියවරක් ගත්තේ නැත. 

2019 වසරේදී හෝමාගම මූලික රෝහලේ උගුර කන නාසය සායනයේදී ගොඩගම ප්‍රදේශයේ පදිංචි තරුණියක් එම රෝහලේ වෛද්‍යවරයෙකු වූ වරුණ ජයසිංහගේ ලිංගික අපයෝජනයට ලක් වූ අතර එම රෝගී තරුණියගේ ඥාතීන් ලිඛිතව හෝමාගම මූලික රෝහලේ වෛද්‍ය අධිකාරීවරයාට පැමිනිලි කලද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ගත්තේ නැත. තවද වෛද්‍ය අධිකාරීවරයා චූදිත වෛද්‍ය වරුණ ජයසිංහට වාසිදායක වන ලෙසින් පැමිනිල්ල යට ගසන ලදි. වෛද්‍ය වරුණ ජයසිංහ හෝමාගම මූලික රෝහලේ උගුර කන නාසය පිලිබඳ වෛද්‍යවරයා ලෙස නිරුපද්‍රිතව තවමත් සේවය කරයි. 

වෛද්‍යවරු විසින් රෝගීන් අපයෝජනයට පත් කිරීම ඉතා බරපතල කරුණකි. ලාංකික සමාජයේ තවමත් ඒ පිලිබඳව සංවාදයක් නොමැති අතර අපයෝජයකන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන්නේ නොමැත.  ලංකාවේ රෝහල් බලධාරීන් පුරුදුව ඇත්තේ  ලිංගික විෂමාචාර චෝදනවා වලට ලක් වන වෛද්‍යවරු පිලිබඳව විමර්ශණය කිරීමට වඩා එම චෝදනා යටපත් කිරීමටය.  මෙම ලිංගික අතවර වින්දිතයාට පමණක් නොව, වින්දිතයාගේ පවුලේ අයට සහ මිතුරන්ට මෙන්ම සමස්තයක් වශයෙන් සමාජයටද බලපායි. අපයෝජනයට ගොදුරු වූවන්ගෙන් බොහෝ දෙනෙක් වසර ගණනාවක කම්පනය හා  මානසික පීඩාවෙන් ජීවත් වන අතර සමහරු සිය දිවි නසා ගැනීමට පවා පෙළඹී සිටිති.  වෛද්‍ය වෘත්තිය සහ නීතියේ ආධිපත්‍යය පිළිබඳව ජනතාව තුල විශ්වාසයක් ඇති කළ යුතු   අතර ප්‍රතිකාර ගැනීමට පැමිණෙන රෝගියකු අපයෝජනයට ලක් වන්නේ නම් එය ඛේදජනක තත්වයකි. 

Post a Comment

0 Comments