to-add

නිදහස් මාධ්‍ය ඉල්ලිය යුත්තේ කාගෙන්ද ? කොහොමද ?



- කුසල් පෙරේරා -

අද මැයි 03 වන දින “ලෝක නිදහස් මාධ්‍ය දිනය” වන්නේය. මෙවර එය සැමරීමට සුපුරුදු සංවාද, සම්මන්ත්‍රණ, රැස්වීම්, විරෝධතා සඳහා කෝවිඞ්-19 වයිරසයෙන් අවසර ලැබෙන්නේ නැත. එහෙත් අද දින ලෝක නිදහස් මාධ්‍ය දිනය අමතක නොවන්නට විවිධ දේශීය හා ජාත්‍යන්තර සංවිධාන විසින් මාධ්‍ය නිවේදන නිකුත් කර ඇත. ඉන් එක් නිවේදනයක් වන නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ නිවේදනයෙහි ඉංග්‍රීසි පිටපත මට ලැබිණ. මෙය එම නිවේදනය පදනම්ව නිදහස් මාධ්‍ය ගැන මගේ විවරණය දක්වන්නකි.

මෙවර පමණක් නොව, කාලයක් තිස්සේ කෙරෙන ප්‍රධාන ඉල්ලීමක් වනුයේ මාධ්‍ය සඳහා නිදහස් වාතාවරණයක් ලබා දෙන්නට යැයි බලයේ ඉන්නා ආණ්ඩු වලට ආයාචනා කිරීමය. එළෙස කෙරෙන ආයාචනයන්හි භාෂාව දිග පළලින් වෙනස්වන හැටිද දැකිය හැකිය. මෙවර එය කෝවිඞ්-19 හා ගැට ගසා ඇත. කෝවිඞ්-19 වයිරසය පැතිරීම පාලනය කිරීමේ රාජ්‍ය අංශ දායකත්වය විවේචනය නොකරන මෙන් පොලිස් මාධ්‍ය අංශය විසින් මාධ්‍යයෙන් කරනු ලැබූ ඉල්ලීම ඊට පාදක වන්නකි. එම ඉල්ලීම පැහැදිලිවම අනවශ්‍ය ඉල්ලීමකි. සමාජ සේවාවන්හි රාජ්‍ය අංශයේ දායකත්වය ඇගයීම යනු හොඳ නරක දෙකම කතා කිරීමය. එය මාධ්‍යයට පමණක් නොව, මේ සමාජයේ සියල්ලන් සතු අයිතියකි.

එහෙත් පොලිස් මාධ්‍ය අංශයේ එවැනි ඉල්ලීම් හා යෝජනා මාධ්‍යයට ඉදිරිපත් කෙරෙන්නේම, මාධ්‍යවේදීන් ආණ්ඩු පාලනයේ කැමැත්ත හා අකමැත්ත මත ක්‍රියාත්මක වීමේ සම්මත පුරුද්දක් හදා ගෙන ඇති බැවිනි. එය එවැනි තහංචි සහිත ඉල්ලීම් කරනවුන්ගේ ආකල්පමය දෝසයක් වාගේම, මාධ්‍යවේදීන්ගේද නිවට කමෙක ප්‍රතිපලයකි. මගේ අත්දැකීම් අනුව එවැනි ඉල්ලීම් නොතකා කටයුතු කර ඇත්තේ කර්තෘවරුන් දෙදෙනකි. ඔවුන් ප්‍රතිපත්තිමය වශයෙන් රැකගත් ඒ නිදහස ඔවුන්ගේ පුවත් පත්වලට සම්බන්ධ වූ මාධ්‍යවේදීන්ටද බුක්ති විඳින්නට හැකි වූ නිදහසකි.

ඉන් එක් අයෙකු වූයේ ලසන්ත වික්‍රමතුංගය. චන්ද්‍රිකා කුමාරණතුංග ජනාධිපති සමයේ මගේ මතකය නිවැරදි නම්, 1996 දී යුද්ධය සම්බන්ධ ප්‍රවෘත්ති පාලනයක් පැනවින. ප්‍රවෘත්ති පාලක වූයේ එවකට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂව සිටි ආරිය රුබසිංහ ය. ඔහු ඉතා දැඩිව යුද්ධයෙන් මිය ගිය සංඛ්‍යාවන් පිළිබඳ ප්‍රවෘත්තී කපා හැරියේය. එම වාර්තා ඔහු වෙත යොමුකර ඔහු විසින් කපා නොහැරි කොටස් පමණක් පළ කළ යුතු විය. (ඊට දසකයකට පමණ පෙර “ඇත්ත” පත්තරයේ එවැනි ප්‍රවෘත්ති පළ කිරීමේදී කපා හැරි කොටස හිස් තැනක් ලෙස තබා, වරහන් තුල ‘බල්ලා විසින් හපා කන ලදී‘ යැයි සඳහන් කිරීමේ පුරුද්දක් බී.ඒ. සිරිවර්ධන සතු විය)

ප්‍රවෘත්ති වාරණය සමග ලසන්ත ඔහුගේ “සන්ඬේ ලීඩ” වාර්තාකරණ ශෛලිය වෙනස් කර, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ වෙත ප්‍රවෘත්ති වාර්තා යොමු නොකර පළ කළේය. ඔහුගේ උපක්‍රමය වූයේ යුධ බිමේ කිසිවක් නොවූ ආකාරයෙන් ප්‍රවෘත්ති වාර්තා ලිවීම ය. එනිසා විශේෂයෙන් යුද පුවත් ලියූ “සන්ඬේ ලීඩ” පුවත් පතේ පර්ල් තේවනායගම් ගේ තොරතුරු ලසන්තගේ ශෛලියෙන් ලියවූනේ “පලාලි ගැටුමෙන් රජයේ හමුදා පරාජය වූයේ නැත. සොල්දාදුවන් 14 දෙනෙකු මිය ගියේ නැති අතර, 50 කු තුවාල ලැබුවේද නැත.” වැනි අභව්‍ය ශෛලියකිනි. එවැනි අනෙක් කර්තෘ වූයේ වික්ටර් අයිවන් ය. “රාවය” පුවත් පත ඔහුගේ කර්තෘත්වය යටතේ ඉතා ගවේශනශීලි පුවත් පතක් ලෙස පිළිගැනුණේ ඔහු කිසි විටක ආණ්ඩුවේ කැමැත්ත අකමැත්ත මත “රාවය” පුවත් පතේ නිදහස තීන්දු නොකළ හෙයිනි. එහි මාධ්‍ය නිදහස තීන්දු වූයේ නිවැරදි තොරතුරු සෙවීමේ ගවේශනාත්මක උත්සාහයන් හා තොරතුරු සමග ආණ්ඩුවේ ක්‍රියාකාරිත්වය ප්‍රශ්න කිරීමට ඇති අයිතිය මත ය.

මේ දෙදෙනම එක්තරා ආකාරයක අසම්මත, හිතුවක්කාර මාධ්‍යවේදීහු වූහ. සම්මතය වූයේ ආණ්ඩුවේ ඉල්ලීම් අනුව මාධ්‍ය හැසිරවීමය. එය රාජ්‍ය හෝ පෞද්ගලික අංශයේ යැයි වෙනසක් නොවූයේ මේ විවෘත වෙළඳපල ආර්ථිකයෙහි හඩු ජාවාරම්කාරයින්ට ආයෝජනය කළ හැකි එක් ක්ෂේත්‍රයක් මාධ්‍ය ක්ෂේත්‍රය වීමය. එබැවින් ඔවුන්ගේ මාධ්‍ය ආයතනවල මාධ්‍යවේදීන්ට කිසිදු ආකාරයක වෘත්තීය අයිතිවාසිකම් නොවුනි. ඒවායේ ඔවුන්ට වෘත්තීය සමිතියක් පිහිටුවා ගැනීමටද ඉඩ නොලැබුණි. එය අපගේ හාම්පුතුන් සතු අතිශය පෞරාණික වැඩවසම් කලමනාකරණ පිළිවෙතකි. එබැවින් ප්‍රධාන ධාරාවේ කිසිදු පෞද්ගලික මාධ්‍ය ආයතනයක පවා වෘත්තීය සමිති පිහිටුවා ගැනීමට මාධ්‍යවේදීන්ට අයිතියක් නැත.

මාධ්‍යවේදීන්ගේ අයිතීන් ගැන කතා නොකර, මාධ්‍ය සතු සමාජ මෙහෙවර ගැන කතා කරන නාගරික ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවකට ඒ හේතුවෙන් මාධ්‍ය නිදහස කොටුවී ඇත. එහි අවම තරමින් විද්‍යුත් සංඛ්‍යාත ජනතාවට අයිති සම්පතක් බව කීමට හා ඒවා පෞද්ගලික ආයෝජකයින්ට තාවකාලිකව කුලියට දීමේදී අදාල කෙරෙන කොන්දේසී කවරේදැයි සමාජයට ඇසෙන අයුරින් ඇසීමට, ඒ කතිකාවන්හි නිරතවන නාගරික මැද පංතිකයින් සූදානම් නැත. අනෙක් මග හැරීම වන්නේ මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී නොසිට, පොදු සමාජ කතිකා මතින් මාධ්‍ය සංවිධාන ලෙස පැවතීමේ රාජ්‍ය නොවන සංවිධාන සංස්කෘතියක් සක්‍රීය මාධ්‍ය සංවිධාන වෙනුවට ආදේශ කරගෙන තිබීම ය. ඒවායේ ක්‍රියාකාරිත්වයට මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන මාධ්‍යවේදීන් හවුල් නොවීමත් හවුල් නොකර ගැනීමත් එකිනෙකට ගැට ගැසුණු ලක්ෂණ ය.

මේ පසුබිමෙහි, අපේ රටේ වෘත්තීය මාධ්‍යවේදීන් නැත. හැදෙන්නේද නැත. අපට ඇත්තේ රජයේ මාධ්‍ය ආයතනවල සේවය කරන මාධ්‍ය සේවකයින් සහ පෞද්ගලික සමාගම්වල සේවය කරන මාධ්‍ය සේවකයින්ය. වෙනස ඇත්තේ හාම්පුතාගේ මිස මාධ්‍ය සේවකයාගේ නොවේ. ඒ වෙනසෙහිද එතරම් ලොකු වෙනසක් නැත. ආණ්ඩුවේ දේශපාලනඥයින් හා පෞද්ගලික ජාවාරම්කරුවන් වෙන්කර හඳුනා ගැනීමේ අසීරුවක්ද ඇති බැවිනි. එහෙත් “වෘත්තිකත්වය’ තීන්දු වන්නේ වෘත්තියට අදාල සමාජ වගකීම, එහි වගකීම් දරනවුන්ගේ වෘත්තීය පරිචය හා පරිණත බව වගේම වෘත්තිකයින් ලෙස බුක්ති විඳින මූලික හා ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ද මත ය. එවැනි කිසිදු අයිතියක් වගකීමක් නොමැති රැකියාවක වෘත්තිකත්වයක් තිබිය නොහැක.

අපගේ මාධ්‍ය පිරිහීමේ ප්‍රධානම හා මූලිකම අවුල ඇත්තේ තමන්ගේ වෘත්තිමය ස්වාධීන්තවය සඳහා මාධ්‍ය සේවකයින් පෙනී නොසිටීමෙහිය. අද මාධ්‍යයෙහි ඉන්නා සංස්කාරකවරුන්ගෙන්, විශේෂාංග ලිපි රචකයින්ගෙන්, ප්‍රවෘත්ති වාර්තාකරුවන්ගෙන්, පිටු සකසන්නන්ගෙන්, වැඩ සටහන් නිෂ්පාදකයින්ගෙන්, සංස්කරණ ශිල්පීන්ගෙන්, කැමරා ශිල්පීන්ගෙන්, නිවේදකයින්ගෙන් සහ මාධ්‍යයට සම්බන්ධවන එවැනි පිරිස් වලින් කී දෙනෙකු පත්වීමේ ලිපියක් හා ඊට අදාල රැකියා හා වගකීම් විස්තරයක් ලිඛිතව ලබා ගෙන සේවයේ යෙදී ඉන්නේද? මා දන්නා තරමින් විශේෂයෙන් පෞද්ගලික විද්‍යුත් මාධ්‍යයන්හි අති බහුතරයක් පත්වීමේ ලිපියක් දැකලාවත් නැත.

මේ මාධ්‍යයන්හි ඉන්නා තරුණ තරුණියන්ගේ ප්‍රධානම අරමුණවී ඇත්තේ සැළකිය යුතු ආදායමක් සහිත මාධ්‍ය තරුවක්වීම පමණි. ඔවුන්ගෙන් කී දෙනෙකු තම ආත්ම ගරුත්වය ඇතිව රැකියාවක් කිරීම ගැන සැළකිලිමත් වන්නේදැයි නොදනිමි. ඔවුන්ගෙන් කී දෙනෙකුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙහි 03 වන පරිච්ඡේදයේ 14 වන අනු ව්‍යවස්ථාව යටතේ ඇති මූලික අයිතිවාසිකම් පිලිබඳව අවබෝධයක් ඇති දැයි නොදනිමි. පුරවැසියෙකු වශයෙන් ඒවා තමන්ටද අයිති යැයි ඔවුන් දන්නේදැයි නොදනිමි. දන්නේ නම්, අනුන්ට සිදුවන අසාධාරණකම් වලට ප්‍රථම ඔවුන්ට සිදුවන අසාධාරණකම් හා ඔවුන්ට අහිමිකර ඇති අයිතිවාසිකම් ගැන ඔවුන් කතා කරනු ඇත.

වෘත්තියක නියැලීමේදී තමන්ගේ අයිතිවාසිකම් හා ස්වාධීනත්වය තහවුරු කර ගැනීමේ උත්සාහයක් නොමැත්තේ නම්, එහි ඇත්තේ වෘත්තිකයින් නොවේ. අයිතිවාසිකම් සහිත ස්වාධීනත්වයක් දිනා ගැනීමට නම්, මොවුන් සියල්ලට පෙර, ඔවුන්ට වෘත්තීය අයිතිවාසිකම් සඳහා සාමුහිකව කේවල් කිරීමට හැකි සංවිධානාත්මක ශක්තියක් හදා ගැනීම පිළිබඳව සිතිය යුතුය. එසේ තම අයිතිවාසිකම් ගැන උනන්දු නොවන්නේ නම්, ඔවුන් මාධ්‍ය නිදහස ගැන කතා කිරීම නවතා දමා තමන් වැටුපට වැඩ කරන සේවක පිරිසක් බව පිළිගෙන රැකියාවේ නිරත වීම වඩා යහපත්ය. වඩා අවංකය.

එවැනි කිසිදු අවබෝධයක් ඇතැයි නොපෙන්වන, එවැනි කිසිදු අවබෝධයකින් මාධ්‍ය නිදහස ගැන කතා නොකරන පිරිස් සමග ලබන වසරේද තවත් ලෝක නිදහස් මාධ්‍ය දිනයක මාධ්‍ය ගැන කතා කිරීමට මට අවසර නොලැබේවා යැයි ප්‍රාර්ථනා කිරීමට මට අවසර ඇතිදැයි නොදනිමි.


Post a Comment

0 Comments