to-add

ගෞතම බුදුන්වහන්සේ සමාජ විප්ලව වාදියෙක් ද?

 බුදුන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රථම ධර්ම දේශනාවෙන්ම අත්ථ දීපා විහරථ අත්ථ සරණා අණඥ්ඥ සරණා-ධම්මදීපා විහරථ ධම්ම සරණා අණඥ්ඥ සරණා’ යනුවෙන් දේශනාකර සිටියේ තමාට තමා පහනක් විය  යුතු බවත් අන් සරණක් නොව ධර්මය ඊට මාර්ගය වන බවත්ය.

ජ්‍යේෂ්ඨ නීතිඥ සුනිල් ජයරත්න

තෙමගුල් සමරන බොහෝ බෞද්ධයන් ආමිස පුජාවට බොහෝ ලැදිවෙති. එක් හේතුවක් ප්‍රතිපත්ති පිරීමට  හිත දමනය කරගැනීම පහසු නොවන නිසාය. අනෙක් හේතුව ආමිසයෙන් ලෞකික දියුණුව සඳහා තිසරණයේ හා  දෙවියන්ගේ පිහිටාධාරය ලැබෙතයි අදහන නිසාය.

ගෞතම බුදුන්වහන්සේ
සිද්ධාර්ථ කුමරු ඉපදුණේ බොහෝ චින්තාමය ප්‍රබෝධයක් තිබුණු යුගයක වන අතර වෛදික, උපනිෂද් වැනි බුද්ධි වාදී ඉගැන්වීම් මෙන්ම අන්ධ භක්තිය පෙරටුකොටගත් ඉගැන්වීම් වලින්ද අඩුවක් නොවූ එකල සංශයවාදී, උග්‍ර භෞතිකවාදී, නියතිවාදී, අනියතිවාදී වැනි බහුවිධ දෘෂ්ඨි වාදී ඉගැන්වීම් බහුලව තිබිණ. ෂඩ් ශාස්තෘන් වැනි  පිළිගත් මතධාරීන් හැම කෙනෙක්ම පාහේ තම ධර්මය නිවැරදි ශුද්ධ ධර්මය බව පැවසු නිසා හා අනුගාමිකයන් බොහෝ සිටි නිසා හුදී ජනයාට අද මෙන්ම කුමක් හරිදැයි යන්න තෝරා ගැනීම බෙහෙවින්ම අසීරුවූ බව බුදුන් හමු වී පැන විමසු සිඟාල, වච්ච, කාලාම වැනි තරුණයන් හා බුදුන් පැවැත් වූ සංවාදයන්ගෙන් පැහැදිලි වේ. 

 ඒ බොහෝ අවස්ථාවල බුදුන් කීවේ තම දහම ප්‍රඥාවන්තයන්ට මිස අන්ධ භක්තිකයන්ට නොවන බවයි.

අන්ධ භක්තිකයා හුදු පුද්ගල විශ්වාසය මත කරුණු පිළිගන්නා නමුත් ප්‍රඥාවන්තයා එසේ නොවේ. ඔහු යමක් විශ්වාසකිරීම හෝ නොකිරීම සිදුකරන්නේ බාහිර කරුණු නොසලකා කියනු ලබන දෙය පිළිබඳව නුවණින් විමසා  බැලීමෙනි.

 බුදුන් වහන්සේ තම විමුක්තිය තමා විසින්ම සොයා ගතයුතු බවත් බුදුන්ට පවා කියා දිය  හැක්කේ මාර්ගය  පමණක් බවත් දේශනා කළ සේක. “අත්ථ දීපා විහරථ අත්ථ සරණා-අනඥ සරණා, ධම්ම දීපා විහරථ ධම්ම සරණා-අනඥඥ සරණා” යනු කීවේ එයය.

බුද්ධ කාලීන භාරතීය සමාජයේ පුජක පන්තිය වූ බමුණන් වර්ණ ධර්මය දේශනා කරමින් මෝක්ෂය ලැබීම සඳහා බලි බිලි පුජාවන් පවත්වමින්, ආමිසය වඩමින් සිවුපසෙන් සංග්‍රහ ලැබු අතර රජුන්ද වැසියන්ද තම ග්‍රහනයෙහි තබාගැනීම සඳහා සමාජ චින්තනය හැසිරවීය.බමුණු දහමට අනුව මිනිසා දුක්  හෝ සැප විඳින්නේ පෙර කළ පව හෝ පින  (කර්මය)අනුව වන අතර මෝක්ෂය ලැබීමට ඇති එකම මග බමුණන්ට පුද පඬුරු දෙමින් දෙවියන් සතුටු කිරීම  සඳහා  යාග-හෝම, බලි  බිලි  පුජා පැවැත්වීම  බව ඔවුන්ගේ ඉගැන්වීම විය. උපතින්ම උරුම  වන කරුමය බමුණු දහමට අනුව නියත  වන  අතර එය වෙනස්  කළ හැක්කේ නොපෙනෙන දෙවියන්ට පමණි.

 සමාජයෙහි මිනිසුන්  දුක් විඳිද්දී බමුණන් විසින් අන්ධ භක්තිය මත  සමාජයක් නොමග යවමින් සැප විඳිනු ලබන බව දුටු බෝසතුන් ලෝසත වෙත පතල මහා කරුණාවෙන් තමා සොයා ගත් සත්‍යය දේශනා කරමින් මිනිසුන්ගේ විමුක්තිය තම වීර්යය හා  අධිෂ්ඨානය මගින් තමා තුලින් සොයා ගතයුතු බවත් එය  වෙනත්  දෙවියකුට හෝ බඹෙකුට හෝ සොයා දිය නොහැකි බවත් අවධාරණය කළේය.

තම ආත්ම ලාභය සඳහා අසත්‍යය වැපිරූ බමුණන් ගේ පැවැත්මට බුදුන් හෙළි කළ මෙම සරල සත්‍යය  නිසා මරු පහරක් වැදුණු අතර බමුණන්  බුදුන් නැසීමට පවා උපාය යෙදුයේ රජුන්ගෙන් හා හුදී  ජනයාගෙන් ලැබෙන ලාභ  සත්කාර නොලැ බීම නිසා හටගත් ද්වේශය හා වෛරය හේතුවෙනි.

 තිරසාර ලෙස  පවත්නා පුද්ගලයෙක් හෝ ලෝකයක් නැතැයි  අවබෝධ  කළ  බුදුන්ගේ දැක්මේ හැටියට සියල්ල අනිත්‍ය, දුකඛ, අනාත්ම වන බැවින් කිසිදු ආත්ම ලාභයක් ගැන නොසලකා එරෙහිව එන  බමුණන් අවිහිංසාවේ අවියෙන්  දමනය කොට රජුන්ගේ හා හුදී ජනයාගේ ඉමහත් ගෞරවයට, ආදරයට  හා ප්‍රශංසාවට පාත්‍ර  වූයේය.

මෙලොව සුගතිය උදෙසා පුද්ගල සමාජ විමුක්තියට මග කියා දුන් අතර මෙලොව සුගතියේ පාරප්‍රාප්තිය නිවීම බවත් නිවුණු පුද්ගලයා යලි පුනර්භවයක් නොලබන  බවත් කියමින් නියතිවාදයක් වූ ‘කර්මවාදය’ බිඳ හෙලුවේය.

 ලෞකික සැපයට බර වූ  රජ, මැති,සිටුවරුන්ට මෙන්ම හුදී ජනයාටද, ඇතැම් බමුණන්ටද ඉමිහිරි බවක් ගෙන දුන් මෙම දැක්ම සමාජයේ පිබිදීමක් ජනනය කළේය. 

ලෝභ, දෝස, මෝහ අකුසල  මුලයන් නැසීමට සීල, සමාධි ප්‍රඥා වැඩිය යුතු බව කී උන් වහන්සේ දිවියෙහි යථා ස්වභාවය චතුරාර්ය සත්‍ය මගින් පැහැදිලිකොට එම සත්‍ය දැකීමට ආර්ය අශ්ඨාංගික  මාර්ගය පෙන්වාදුන්නේය. ආර්ය මාර්ගයට පිවිසි පුද්ගලයා තුළ බෝජ්ජංග ධර්ම වැඩෙන බව කී උන්වහන්සේ ඉන් උතුම් නිවන අවබෝධ කර ගතහැකි බවත් නිර්වාණගාමී ආර්ය පුද්ගලයා තුළ ආත්මාර්ථය වෙනුවට පරාර්ථය ඉස්මතු වන බවත් එබැවින් ලෞකික මෙන්ම  ලෝකෝත්තර සැපයෙහි නොඇලෙන බවත් තම පැවැත්ම තුලින්ම පෙන්වා දුන්නේය. 

 ‘යථාවාදී තථාකාරී-තථාවාදී යථාකාරී’ ගුණයෙන් පිරි උන්වහන්සේගේ විමුක්ති මාර්ගය බමුණු දහමින් පීඩිත සමාජයේ දිළින්දන්ට, අසරණයන්ට,කුලහීනයන්ට හා  කාන්තාවන්ට නව ජීවයක් ගෙන  දුන් අතර  එම දහම වැළඳගත් සිවු වනක් පිරිස සීග්‍රයෙන් වැඩි දියුණු වුයේය. උන්වහන්සේ ද ගම් දනවු සිසාරා  යමින් තම දහම්  පණිවුඩය බෙදා දෙන අතර තම ශ්‍රාවකයන්ටද එසේ කරන ලෙස මග පෙන්වාදුන්නේය. රාෂ්ට්‍ර පාලකයන්ට ගුරු උපදෙස්  දුන් උන්වහන්සේ  මාලිගයේ  වසන දුසිල්වත් රජුන්ගෙන් ලබන දනට වඩා දුගී  පැළේ වාසය කරන සැදැහැවත් දුගියාගේ දානය උසස් කොට සැලකුවේය.

බුදුදහම අසුභ වාදයක්ද? යථාර්තවාදයක්ද?

ජීවිතයේ අතෘප්තකර බව නිසා එය දුකක්‌ බව කී බැවින් බුදු දහම අසුබ වාදයක්දැයි කෙනෙකුට සිතෙන්නට පුළුවන. අපේ ඇතැම්  බුද්ධ ශ්‍රාවකයන් වහන්සේලාද දුක ගැනත් කර්මය ගැනත් කරන දේශනා අනුව එබඳු දුර්මථයකට ඉඩ තිබේ. බුදු දහම අසුබ වාදයක් හෝ සුබ වාදයක් නොව යථාර්ත වාදයකි. එසේ වන්නේ ජීවිතයෙහි හා ලෝක ධර්මයන්හි අනිත්‍ය ස්වභාවය පෙන්වාදී ඇති බැවිනි.

අටලෝ දහම, තරාතිරම නොසලකා කාටත් පොදුවේ බලපාන බැවින් ඉන් කම්පා නොවී උපේක්ෂාවෙන් ඉවසීම හා ජීවිතාභියෝග වලදී දිරිමත් වීම මිස මිත්‍යා දිට්ඨියෙන් පිළිතුරු සෙවීම දුක වැඩි කරවන බව පෙන්වා දුන්නේය. 

 ලෝකය දෙවියන්ගේ නියමයකට අනුව ක්‍රියා කරන නියති වාදයකට යටත් වුවක් නොව නියාම ධර්මතාවන් අනුව පවතින්නා වූ  ධර්මතාවක් බව පටිච්ච සමුප්පාද ධර්මය තුලින් පෙන්වා දුන්නේය. මෙකී ධර්මතාව වටහා ගැනීම තුලින් තිර සාර වූ ආත්මයක් නොමැති අවබෝධ කර ගැනීම නිවනට හේතු වන  බවද, උපාදානය දුරු වීමෙන් සංස්කාර ධර්මයන්ගේ නිරුද්ධිය නිසා අනාත්ම වන බවද පෙන්වා දුන්නේය.මෙලෙස නිවන් දැකීමට දරන ව්‍යායාමයේදී පුද්ගලයා යහපතෙහි ගමන් කරන නිසා පුද්ගල විමුක්තිය තුලින් සමාජ විමුක්තිය උදාවීම බුදු මගෙහි අපේක්ෂාව  වීය.

ලෞකික ජීවිතය හා බුදුදහම

ලෞකික විමුක්තිය නොලබා ලෝකෝත්තර විමුක්තිය උදාකර ගත නොහැකි බව චක්කවත්ති සීහනාද, කුඨදන්ත ආදී සුත්‍ර  දේශනාවන්ගෙන් පැහැදිලි කර දී ඇති  අතර පුද්ගල විමුක්තිය සඳහා දුරචාරයන්ගෙන් මිදිය යුතු බව වසල, පරාභව ආදී  සුත්‍ර දේශනාවන්ගෙන් පැහැදිලි කර දී ඇත්තේය.

එක් එක් පුද්ගලයාගේ අධ්‍යාත්මික පරිවර්තනය මගින් සදාචාර සම්පන්න සමාජයක් ස්ථාපිත කිරීම බුදු දහමේ මාර්ගය බව තේරුම් ගැනීම වැදගත්ය. තම ඇතුළාන්තය පිරිසිදුකර නොගෙන බලි බිලි දෙවියන්ට තබා දෙවියන්ට ස්තෝත්‍ර ගායනා කිරීමෙන් මෙලොව පරලොව සුගතිය උදානොවන බව දෙසු  උන්වහන්සේ  අභ්‍යන්තරය අපිරිසිදු බමුණන්ගේ  බාහිර පාරිශුද්ධියද, වර්ණ ධර්මයද පිළිකෙව් කළේය.

 මිසදිටු බවින් මිදීම සඳහා යාග හෝම වෙනුවට සෙත් පිරිත් ශාන්තිකර්මයක් බව දෙසු උන්වහන්සේ බමුණු දහමින් වල්මත් වී සිටි තරුණයන් හරි මග යැවීම සඳහා ව්‍යග්ගපජ්ජ, කාලාම, සිඟාලෝවාද, වච්චගොත්ත, භාරද්වාජ ආදී සුත්‍ර දේශනා කළේය. ආත්මගත ස්ථිතික වූ  සත්වයකු ඇතැයි විශ්වාස කළ  සමාජ සන්ධර්භයක ස්ථිර ආත්මයක් හා ලෝකයක් පිලිබඳ අදහස මිසදිටු අදහසක්  බව කී  උන්වහන්සේ   එය  මනසේ සංස්කරණයක් බවත් සියලු සංස්කාර  ධර්මයන්ගේ  අනියත බව නොදකින්නේ උපදානයක් නිසා බවත් උපාදානයෙන් මිදීමට පටිච්චසමුප්පාදය හා සම්මාදිට්ටිය උපයෝගී කරගත යුතු බවත්  දේශනාකළේය. දම්සක් පැවතුම්, සතිපට්ඨාන,  මෙත්තානිසංස සුත්‍ර දේශනා මගින් සතර බඹ විහරණයෙහි යෙදෙන පවින් මිදුන යහපත් මිනිසකු තැනීම බුදුන්ගේ  අභිලාශය  වූ බව  පැහැදිලිය. 

කම් සැපෙහි ගිජු නොවූ මෙන්ම ශරීරයට දුක් දෙන තවුස් දම්හි නොඇලුණු මැදුම් පිළිවෙත අනුගමනය කරන දෙලොවට වැඩ ඇති ප්‍රයෝගික මිනිසකු තැනීම අරමුණු කරගත් බුදු දහම යහපත් සමාජයකට  මගකියන උපයෝගිතවාදයකි. සන්දෘෂ්ඨික  දහමකි. 

යහපත් සමාජයක් සමාජයක් තුළින් යහපත් පුද්ගලයෙක්ද, යහපත් පුද්ගල සදාචාරයක් තුළින් යහපත් සමාජ සදාචාරයක්ද බුදු දහමේ නිෂ්ඨාව බව රජුන්ට සිටුවරුන්ට ධර්ම රාජ්‍යයක් පිහිටුවන ලෙස කළ දේශනා වලින් පැහැදිලිවේ.

සිවුපස ලාභය අරමුණු කොටගත් බමුණු දහමින් මැඩුණු පන්ති සමාජයක් ස්ත්‍රී-පුරුෂ, සිටු-දිළිඳු, ජාති-කුල වශයෙන් බෙදා වෙනස්කමකට ලක්‌ නොකිරීම බුදුදහමින් අපේක්ෂා කළ බව අනේපිඩු සිටු මැදුරේ දනට නොවැඩ පුන්නා දාසියගේ නිවසට වැඩමවීම, සුනීත, සෝපාක පැවිදි  කිරීම වැනි කතාපුවත් වලින් පැහැදිලි වේ. අසරණයන්ට, ලෙඩුන්ට, අදමිටුවන්ට  පිහිට වීම සඳහා  ආත්ම පරිත්‍යාගයෙන් හා නොබියව  ආදර්ශමත් වූ අයුරු රෝගී පුතිගත්තතිස්ස තෙරණුවන්ට උවැටන් කිරීම, ආලවක, අංගුලිමාල දමනය  කිරීම ආදී බුදු චරිතාදර්ශයන්ගෙන් පැහැදිලි වේ. 

බුදුන් වහන්සේ සමාජ විප්ලවවාදියෙක්ද?

 බුදුන් සමාජ විප්ලවවාදියකු ලෙස සැලකිය හැක්කේ පැවති සාරධර්ම උඩු යටිකුරු කරමින් බමුණු අභියෝග ජය ගනිමින් බුද්ධ කාලීන සමාජයේ පරිවතනයකට මග පෑදූ නිසාය. බුදුන්ගේ විප්ලවයේ සුවිශේෂිත්වය වන්නේ එය වෛරය, මානය, ක්‍රෝධය හා හිංසනයෙන් තොර මහා කරුණාව හා මහා  ප්‍රඥාව අවියක් කොට ගැනීමෙන් සිදු කළයුත්තක් බව පෙන්වාදුන් නිසාය.

විප්ලවවාදියෙක් යැයි කී විට ධනේශ්වර චින්තනයට නතු වී ඉන් ප්‍රතිලාභ අපේක්ෂා කරන නිර්ධන පන්තියේ බොහෝ දෙනා පවා අද බියට පත්වේ.එසේ නොවන්නන් පවා බියට පත් වන හේතුව  වන්නේ මෑත කාලීන සන්නද්ධ අවි ගැටුම් හා අරගල වලින් පෞද්ගලිකවත් පොදුවේත් විඳින ලද පීඩා අනුව එයින් යළි පීඩා විඳීමට ඇති අකමැත්ත හා ඒ පිලිබඳ  සිත්හි  පැන නාගෙන ස්වභාවික  විරෝධය  නිසාය.

දෘෂ්ඨිවාද වෙනසක්‌  නිසා හෝ ජාති  ආගම්  භේදයන්  නිසා යුද්ධය  මගින් මිනිසා ජිවී අජීවී වස්තුන්  හා දේපල විනාශ කිරීම හරහා කරන සමාජ පරිවර්තනයක් ශිෂ්ඨ සම්මත සමාජය අනුමත නොකරයි. එහෙත්  ධනේශ්වර ක්‍රමය විසින් මිනිස් නිදහස හා ගරුත්වයට එරෙහිව මිනිසකු විසින් තවත්  මිනිසකු සුරා  කන විට හා ඒ සඳහා නීතිය දඩමීමා කරගෙන සමාජ බලවේග අවිබලයෙන් හා ආගම දහම උපයෝගී කරගනිමින් මැඬලන විට ඊට එරෙහි වීම ධර්ම සන්ස්තාපනයෙහි ලා කෙරෙන ධර්මයුද්ධක් ලෙස  සමාජය  අනුමත කරයි,  ඉපැරණි හින්දු දහම දහම මෙන්ම නුතන දේශපාලන දහමක් වූ මාක්ස් වාදයද එය අනුමත කරන නමුත් නිර්මල බුදු දහම එය කිසිසේත්ම  අනුමත නොකරයි, මාක්ස්ගේ දහම භාවිතයට  යෙදු ලෙනින් පන්ති  විරහිත පරමාදර්ශී  සමාජයක්‌ තැනීමේ උදාර අභිලාශය ඇතිව බටහිර වැඩවසම් සුරා කෑමට එරෙහි විප්ලය ජයගනු ලැබුවද ධනේශ්වර සමාජ ක්‍රමය විසින් අපේක්ෂිත පරමාදර්ශී සමාජයක  ප්‍රර්ථනා බොඳ  කළේය. 

මාක්ස්වාදය හා බුදුදහම

 ක්‍රමවේදයන්ගේ වෙනසක් වුවද  මාක්ස්  වාදයේ හා බුදු දහමේ අපේක්ෂාවන් අතර වෙනසක් නොවන  බැවින් හා සමාජ දර්ශනයේ පෙරලියක් ඇති කළ හෙයින් බුදු දහම මාක්ස්ගේ දහම හා සැසඳීමට කල්පනා  කළේ අද පවතින ධනේශ්වර සමාජ ක්‍රමයේ පීඩනයෙන් මිදී විමුක්තිය ලබා ගැනීමට බුදු දහමින් පිළිතුරු  ලබාගත  හැකිදැයි පරීක්ෂා කිරීමේ අපේක්ෂාවෙනි. 

මාක්ස්  වාදය ගැන  දීර්ඝ  සාකච්චාවක්  කිරීමට  අදහස් නොකළද  නුතන ලෝකයට මාක්ස්වාදී චින්තන දහරාව විසින් මහඟු බල පෑමක්  ඇති කර  ඇති බව ලෝකයේ  මානව හිමිකම්  හා කම්කරු අයිතිවාසිකම්  පිළිබඳව ඇති සාධනීය වර්ධනයන්ගෙන් පැහැදිලි වේ. 

 බුදු දහම ශ්‍රමය, ධනය හා දේශපාලනයට මුල් තැන් දුන්  දහමක් නොවුවද අර්ථක්‍රමය වෙනස් කිරීමෙන් සමාජ ක්‍රමය වෙනස් කිරීමට අපේක්ෂා කළ මාක්ස් වාදයට වඩා ප්‍රයෝගික හා සරල දහමක් බව පෙරදිග වැසියන් වන අපි කල්පනා කලද මාක්ස් වාදීන් එසේ කල්පනා නොකරයි. මාක්ස් දේවවාදී ආගම් දෙස  ‘බලා ආගම අබිං‘ යයි කීවද බුදුදහමින් මත් නොවූ ධර්මාශෝක බෞද්ධ දර්ශනය, ධර්මිෂ්ඨ සමාජයක් ස්ථාපිත කිරීමටද, බෞද්ධ සංස්කෘතියක්‌ බිහිකිරීමටද උපයෝගී කරගත්තේය. බුදු දහමේ සදාචාර  වටිනාකම්  අනුව යමින් සමාජ  සමානාත්මතාවය හා  යුක්තිධර්මය  ස්ථාපිත කරමින් ලෝක ඉතිහාසයේ කීර්තිමත් අධිරාජයකු ලෙස රන් අකුරින් ධර්මාශෝක නම ලියවී ඇති බව  ඉතිහාසඥයකු  වූ  බෂාම්  තම  ‘අසිරිමත් ඉන්දියාව‘ නැමති නිබන්ධනයෙහි සටහන් කර තිබේ. 

පැවිදි වෙස් ගත් සිව්පසට කෑදර බමුණන්  විසින් අද පාලකයන්ට බුදුන් අනු දැන නොවදාළ බෞද්ධ අධිපතිවාදයක් දේශනා කළද, ධර්මාශෝක මහණ  බමුණන්ට සැමටද නීතිය පොදුවේ ක්‍රියාත්මක කිරීමට කටයුතු කළ බව අදත් පවතින ටැම් ලිපි සාක්ෂි දරණ බව බෂාම් කියයි. මෛත්‍රිය භා කරුණාව පෙරදැරි  වු බුදු දහම ගඟින් එතෙරෙ වීමට පහුරක් සේ උපයෝගී කරගනිමින් ධර්මිෂ්ඨ සමාජයක් තැනුවද, ඔහු  අන්ධ බෞද්ධයකු නොවූ බව ධර්ම සංගායනාවක් පවත්වා ධර්මය හා සසුන පිරිසිදු කිරීමෙන්ද, පිරිවැජියන්ට ආරම තනවා දීමෙන්ද සතුරන්ගෙන් ආරක්ෂාවීමට යුධ ශක්තියෙන් සවිමත් වීමෙන්ද දැක්වු රාජ්‍යතානත්‍රික භාවය අගයන ඉතිහාසඥ රොමිලා තාපර්, රජු යනු ආගමික  නිදහස සහ චින්තන නිදහස ගරු කළ ප්‍රායෝගික මිනිසකු වූ බව කියයි. අශෝක  ටැම් ලිපි වලට අනුව ඔහු වැසියා පියකු හා භාරකරුකු  ලෙස ආරක්ෂා කළ බවත් එසේ කිරීමෙන් මිහිපිට දෙවියකු වීමට අපේක්ෂාකළ බවත් පවසන බෂාම් රජු සතා  සිව්පාවා ගහකොළ ඇතුළු පරිසරය ආරක්ෂාකිරීමට ප්‍රාදේශීය භාරකරුවන් පත් කොට පියවර ගත්බව සෙල් ලිපි හා ටැම් ලිපි වලින්  බව තහවුරු වන බව බෂාම් තවදුරටත් පෙන්වා දෙයි. අදත් දඹදිව වන්දනාවේ යෙදෙන බුද්ධිමත් බැතිමතෙකුට දක්නට ඇති නටබුන් තුලින් ධර්මශෝකගේ ධර්ම රාජ්‍යය කෙබඳු වීදැයි මනනය කලහැකි වේ.

එකල  තම්බපන්නිය ලෙස  අශෝක ටැම් ලිපි වල සඳහන් ලක්‌ දිවටද බුදු දහමේ දායාදය පරිත්‍යග කළ ධර්මාශෝකගේ පුතු හා ධර්මදුතයා වූ මිහිඳු හිමියන් දෙවනපෑතිස් රජුට අනුශාසනා කරමින් වදාලේ ගහ කොළ සතා සිවපාවාගේ පවා භාරකරු වන බැවින් මහපොළොව ඇතුළු සොබා සම්පත් ආත්ම ලාභය  උදෙසා නැසීමට රජුට අයිතියක් නොවන බවය. 

එහෙත් අද අධී සංකරගේ දහමින් මුලා වු ඇතැම් බෞද්ධ වෙස්ගත් බමුණන්, ඉන්දියානු උරුමයක් වූද,  ආසියාතික රටවල පැතිර පවත්නාවුද, නුතන ලෝකයට පහනක් බඳූ වුද, බුදුදහම සිංහල බෞද්ධයාව  පමණක් උරුම දේපළක් සේ විකුණාගෙන ආත්ම පෝෂණයෙහි යෙදීමට පමණක් නොව නොදැමුණු මිනිසුන් හා පාලකයන් නොමග යැවීමට උපයෝගී කරගන්නා සෙයක් පෙනේ. බුදු දහමට මුල්  තැන  දෙනවා නම් කළයුතු වන්නේ ධර්මාශෝක කළාක් මෙන් නුතන ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී මුලධර්ම  හා සැසැඳෙන බෞද්ධ මුලධර්ම අනුව යමින් රට පාලනය කිරීම මිස මාක්ස් කිව් පරිදි ආගම අබිං වලට හරවා  ජනයා  නිවනෙහි නිද්‍රෝපගත කොට ලෝක ධනේශ්වර අර්බුද මැද්දේ වරප්‍රසාද ලත් පන්තියේ ආත්ම පෝෂණය කිරීම නොව හුදී ජනයාට සතුට සමෘර්ධිය ගෙනදෙන අවට ලෝකය හා සුමිතුරු අදීන ධර්ම  රාජ්‍යයක් ගොඩ නැගීමය. 

 බුදුන්ගේ මයිලනුවන් වූද, පිනැති යශෝධරාවන්ගේ පව්කාර සොහොයුරා වුද, දෙවිදත් තෙරුන්  ඥාතිත්වය මත  බුදුන්ගෙන්  වැඩි සැලකිලි  හා තනතුරු ඉල්ලා නොදුන් ද්වේශය මත බුදුන් මරා  බුදු බව  ලැබීමට චණ්ඩ මිනිසුන් ලවා ගල් පෙරලුවේය. එනමුදු අවි බලයට වඩා ප්‍රබල බුදුන්ගේ පවිත්‍ර වූ අධ්‍යාත්මික බලය නිසා බුදුන්ගේ ජීවිතයට පීඩාවක් නොවීය. 

අද සමාජයේ  සිටින දෙවිදත්තෙරලා බුදු දහමට මුවා වී අහිංසක ජනයාට බේ-ගල් පෙරලමින් ධර්මයද  සමාජ සාරධර්මද විනාශ කරමින් තම කම්සැප තරකර ගැනීමට මාන බලන බව පෙනෙන අතර එයද බුදුන්  නැසීමට වෙර දැරීමේ පාපයට සමාන පාපයක්බවද  අවීඡී මහානිරයට වැටීම තරම් පාපයක්  බවද සිහිකට යුතුය.  
 බුදුන්වහන්සේ වදාළ නිවන්මග

නිවන් දැකීමට පිං පව් දෙකම ඉක්මවා යායුතු වන නමුත් කුසල් වඩා සදාචාර මාර්ගයේ ගමන් කිරීමෙන් තොරව අකුසලය හා දුරාචාරය පිටු දැකිය නොහැක්කේය. මෑත කාලයේ විසු හේන්පිටගෙදර ඥාණසීහ, වල්පොල රාහුල, ආනන්ද මෛත්‍රීය වැනි ධර්මධර ග්‍රාම වාසී බුදුපුතුන්ද, ඥාණපොනික, ඥණමෝලී, බෝධී වැනි ආරණ්‍යවාසී සුතධර බුදුපුතුන්ද මේ යුගයේ ඊට දායක වු බව යලි සිහියට නැගීම වැදගත්ය. 

බුදු දහම  අධික  ලෝභය  හා මසුරුකමද තණ්හාවද, කම් සැපද පිටු දකින අතර සොරකම, බොරුකීම, කාම මිත්‍යාචාරය වැනි දුරාචාර ධර්මයන් පිටු දකින නමුදු අද ඇතැම්  දුසිල්වත් භික්ෂුන් සිවුරේ ආවරණය  ලබමින් අදැහැමි පාලකයන්ට ප්‍රශස්ති ගායනා කරයි. අකම්පිත බුදුන් මෙකල වැඩියේ නම් පැරදවූ දසමරුන් රඟන දෙස බලා මහත් සේ කම්පා වනු ඇත.

බුදුන් ගැලවුම්කරුවකු නොව මාර්ගෝපදේශකයකු හා සමාජ විප්ලවවාදියකු වන්නේ දෙවියකුට හෝ අන් කිසිවකුට, කෙනෙකුගේ විමුක්තිය උදාකරදීමට නොහැකි බව මෙන්ම එය තම තමන්  විසින්  උදාකරගත  යුතු බව පැවසූ හෙයිනි. එහෙත් අද බුදු දහම යැයි රැවටී බමුණුදහම් අදහන බැතිමතුන් අධර්මයෙන් ජීවත් වෙමින් පිළිම හා ගස් ගල් ඉදිරිපිට පුද පඬුරු පුජා කොට වැඳ වැටී පිරිවැජි බමුණන්ගේ යාතු කර්ම මගින්  හා දෙවියන්ගේ පිහිටාධාරයෙන් මෝක්ෂය හා ගැලවීම ඉල්ලා සිටිති.

 බුදුන්ගේ ශ්‍රාවකයන්ට ප්‍රථම ධර්ම දේශනාවෙන්ම අත්ථ දීපා විහරථ අත්ථ සරණා අණඥ්ඥ සරණා-ධම්මදීපා විහරථ ධම්ම සරණා අණඥ්ඥ සරණා’ යනුවෙන් දේශනාකර සිටියේ තමාට තමා පහනක් විය  යුතු බවත් අන් සරණක් නොව ධර්මය ඊට මාර්ගය වන බවත්ය.

මාක්ස් සිය අරගලයේ නියමුවන් වැඩකරන පන්තියේ ජනතාව බව කී අතර බුදුන් කීවේ තම  අධ්‍යාත්මික  අරගලයේ නියමුවන් ශ්‍රාවකයන් වන බවය.ප්‍රථම රහතුන්  හැට නමට "චරත  භික්ක්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය අනුකම්පාය දේව මනුස්සානං" යනුවෙන් කීවේ බොහෝ දෙවි මිනිසුන්ගේ යහපත පිණිස, අර්ථ  සිද්ධිය පිණිස කටයුතු කල යුතු බව මිස තම කුල ගෝත්‍ර වශයෙන් බෙදා  පාලනය කරන ආත්මාර්ථකාමී පාලකයන් සතුටු කිරීම නොවන බව සිහි කටයුතුය. සැදැහැවත් බෞද්ධකම  යනු ආමිසය නොව ප්‍රතිපත්තිය රැකීම බවත් තේරුම් ගෙන ධර්මය රකින සමනත්තාව සුරකින යුක්තිය හා සාධාරණත්වය රජයන කීර්තිමත් රාජ්‍යයක් තැනීම ජනයාගේ වගකීම හා අයිතිය බව කවුරුත් දත යුතුය.

ඊට මග කියාදුන් ගෞතම බුදුන් සමාජ විප්ලව වාදියෙක් ලෙස මෙම මහා භද්‍ර කල්පය  තුළ වැජඹෙන අතර සදා පිදුම් ලබනු ඇත.

Post a Comment

0 Comments