to-add

දෙවන ලෝක යුද්ධය අවසානයේ සිට වසර හැත්තෑ පහක්

බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය ඔවුන් කියා සිටි පරිදි ෆැසිස්ට්වාදයට එරෙහිව යුද්ධයක් කලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නො වේ, ඒ වෙනුවට ලෝකයේ අධිරාජ්‍යවාදී යලි බෙදීම සඳහා ය.

පීටර් ෂ්වාස්

අදට වසර හැත්තෑපහකට පෙර, දෙවන ලෝක යුද්ධය යුරෝපයේ දී අවසන් විය. මැයි 7 වනදා සන්ද්‍යාවේ, කර්නල් ජෙනරාල් ඇල්බට් ජොඩ්ල් ප්‍රංශයේ රයිම්ස් හි දී ව’මාක් (නාසි) හමුදාවේ කොන්දේසි විරහිත යටත් වීමට අත්සන් තැබී ය. ඉදිරියට යන රතු හමුදාව හමුවේ, ඇඩොල්ෆ් හිට්ලර් සතියකට පෙර බර්ලිනයේ [ඔහු අවසානයට සැඟවී සිටි] ෆියුර’ බංකරයේ දී සියදිවි නසාගෙන තිබුනි. සියලු සටන් 1945 මැයි 8 වන දින මධ්‍යම රාත්‍රියේ දී අවසන් විය.

දෙවන ලෝක යුද්ධය මානව ඉතිහාසයේ වඩාත්ම ම්ලේච්ඡ හා ලේවැකි ගැටුම විය. සිදු වූ අපරාධ හා කුරිරුකම් එහි දරුනුතම බියකරු සිහින තුල මනුෂ්‍ය වර්ගයාට සිතාගත හැකි ඕනෑ ම දෙයක් අභිබවා ගියේ ය.

මිලියන 70 ක් පමන ජනයා මිය ගිය අතර, ඉන් තුනෙන් දෙකක් සිවිල් වැසියෝ: නිරායුධ පිරිමි, කාන්තාවෝ හා ලමයි වූහ. මේවා යුද්ධයේ අතුරුඵලයක් ලෙස වූ ව්‍යසනයන්ද නොවේ. ජනගහනයෙන් විශාල කොටසක් සමූලඝාතනය කිරීම නාසීන්ගේ මූලෝත්පාඨන යුද්ධය විසින් ප්‍රකාශයට පත් කරන ලද පැහැදිලි පරමාර්ථය වූ අතර එය යුදෙව්වන් මිලියන 6 ක් ඝාතනය කිරීමත් සමඟ එහි ලේවැකි කූටප්‍රාප්තියට පැමිනියේ ය.

(කොන්දේසි විරහිතව යටත් වීම 1945 මාර්තු 7 වන දින රීම්ස් හි දී අත්සන් කිරීම; ජෙනරාල් ජොඩ්ල් ඉදිරි වම්පස (රූපය: Musée de la reddition de Reims)
සෝවියට් සංගමයට පමනක් පුරවැසියන් මිලියන 27 ක් අහිමි වූ අතර ඔවුන්ගෙන් අඩක් සිවිල් වැසියෝ වූහ. නිල ඇඳුමින් සිටි මිලියන 13 න් මිලියන 3.3 ක් ජර්මානු යුද කඳවුරුවල සිර වී හෝ කුසගින්නෙන් මිය ගියහ. එය පමනක් දරුනු යුද අපරාධයක් ලෙස ගනන් ගැනේ. ජර්මානුවන් විසින් අල්ලා ගන්නා ලද කොමියුනිස්ට් පක්ෂයේ සාමාජිකයෝ, යුදෙව්වේ හෝ ආධාරකරුවෝ වහාම වෙඩි තබා මරන ලදී. මුළු දිස්ත්‍රික්කය ම කුසගින්නේ තබා,  බිමට සමතලා කර විනාශ කරන ලදි.

මෙම මිනීමරු භීෂනය ඉදිරි පෙලට පමනක් සීමා නො වී ය. යුරෝපය පුරා අවුෂ්විට්ස් වෙත ගෙන යන ලද යුදෙව්වන්ට අමතරව, සින්ටි හා රෝමා ජනයා දහස් ගනනක්, අනෙකුත් සුළු ජාතීන්ගේ සාමාජිකයෝ, බලහත්කාරයෙන් වැඩ ගත් කම්කරුවෝ හා දේශපාලන සිරකරුවෝ නාසීන් අතින් තම ජීවිත අහිමි කර ගත්හ. දුක් නො විඳ මරා දැමීමේ  වැඩසටහනේ කොටසක් ලෙස ආබාධිත පුද්ගලයෝ 200,000ක් පමන ඝාතනය කරන ලදහ. ජර්මානු හමුදා අධිකරනය විසින් ව’මාක් සොල්දාදුවෝ මිලියන 1.5 ක් යුද ප්‍රයත්නය කඩාකප්පල් කිරීම සම්බන්ධයෙන් වරදකරුවන් කෙරුනි. සිවිල් අධිකරන පද්ධතියේ වින්දිතයෝ කිසි විටෙකත් සම්පූර්නයෙන් වාර්තා නො කෙරුනි. මහජන අධිකරනය විසින් පමනක් මරනීය දන්ඩන 5,200ක් නිකුත් කෙරුනි.

මිත්‍ර පාක්ෂිකයෝ වැඩි වැඩියෙන් තම ක්‍රමවේදයන් ඔවුන්ගේ සතුරාගේ ක්‍රමවේදයන්ට අනුවර්තනය කලහ. නූතන යුද්ධයේ පලමු වතාවට දෙපාර්ශ්වයම විශාල නගරවල සිවිල් ජනගහනය හිතාමතාම මූලෝත්පාටනය කලහ. ව’මාක් හමුදා විසින් වසර දෙකක දීර්ඝ කාලයක් ලෙනින්ග්‍රෑඩ් නගරය වටලා සිටීම ජීවිත මිලියනයකට වඩා බිල ගත්තේ ය. මිත්‍ර පාක්ෂිකයෝ පෙරමුනෙන් ඈත ඩ්‍රෙස්ඩන්, හැම්බර්ග් හා වෙනත් නගරවලට ගිනි බෝම්බ දමා දස දහස් ගනනක් සිවිල් වැසියන් ඝාතනය කලෝ ය. 1945 අප්‍රේල් මාසයේ දී, එක්සත් ජනපද ජනාධිපති හැරී ටෘමන් හිට්ලර්ගේ ෆියුර’ බංකරයේ සිට කිලෝමීටර 30 ක් දුරින් පිහිටි පොට්ස්ඩෑම් හි දී, ජපානයට පරමානු බෝම්බය හෙලීමේ නියෝගයට අත්සන් තැබී ය.

දෙවන ලෝක සංග්‍රාමයේ සිදු කෙරුනු විස්තර කල නො හැකි අපරාධ හා කුරිරුකම් නිසා ඇති වූ කම්පනය, කෝපය හා පිලිකුල ජර්මානු හා ලෝක ජනගහනයේ පුළුල් කොටස්වල සන්තානයේ ගැඹුරින් නැංගුරම් ලා ඇත, “තවත් ෆැසිස්ට්වාදයක් එපා! තවත් යුද්ධයක් එපා! ” එහෙත් යුද්ධය අවසන් වී සියවස් හතරෙන් තුනකට පසු ෆැසිස්ට්වාදය හා යුද්ධය යලිත් වරක් ඉතා ආසන්න ගෝලීය අන්තරායන් බවට පත් වී ඇත.

මෙම අනතුරු ගෝලීය කොවිඩ්-19 වසංගතයට බොහෝ කලකට පෙර පැවතිය ද, වෛරසය ඒවා වේගයෙන් තීව්‍ර කර ඇත.

“පොකුරු ප්‍රතිශක්තිය” හා “ප්‍රතිකාර ලැබිය යුත්තන් ප්‍රමුඛතාගත කිරීම” වැනි සංකල්ප දෛනික භාෂාවට රිංගා ඇත. ඒවා “ආර්ථිකය”, එනම් කොටස් වෙලඳපොල සමපේක්ෂකයන් හා සුපිරි පොහොසතුන් වෙනුවෙන් මිනිස් ජීවිත කීයක් කැප කල යුතු ද යන්න පිලිබඳ සාකච්ඡාවේ කොටසකි. වෛද්‍ය විශේෂඥයින්ගේ හදිසි අනතුරු ඇඟවීම් නො තකා, මිලියන සංඛ්‍යාත කම්කරුවන්ට නැවත සේවයට යාමට බල කෙරෙමින් තිබේ. එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමරිකානුවන් විස්තර කලේ වඩාත් ශ්‍රේෂ්ට යහපත සඳහා තම ජීවිතය පිදීමට සූදානම් “රනශූරයන්” ලෙස ය

ජර්මානු ෆෙඩරල් පාර්ලිමේන්තුවේ සභාපති වුල්ෆ්ගැන්ග් ෂෝබල් ප්‍රකාශ කලේ, “ජීවිතය හා සෞඛ්‍යය ආරක්ෂා කිරීමට අන් සියල්ලට ම වඩා කොන්දේසි විරහිත ප්‍රමුඛතාවයක් ඇති බව පැවසීම නිවැරදි නො වේ” යැයි කියා ය. 

මානව ශිෂ්ඨාචාරයේ අවසානය අදහස් කරන තුන්වන ලෝක යුද්ධයක තර්ජනය අද තරම් කිසි දිනක එතරම් විශාල වී නො තිබුනි.

එක්සත් ජනපද ජනාධිපතිවරයා එක්සත් ජනපදයේ ෆැසිස්ට් මිලීෂියාවන්ට හා ලොව පුරා දක්ෂිනාංශික ඒකාධිපතියන්ට විවෘතව සහය දක්වනකරන අතර වෙනිසුවෙලාව, ඉරානය සහ න්‍යෂ්ටික ව සන්නද්ධ චීනයට පවා යුද තර්ජනය එල්ල කරයි. ඔහුට මේ සඳහා විපක්ෂ ඩිමොක්‍රටිකයෝ සහාය දක්වති. මේ වසරේ ඩොලර් බිලියන 738ක් වන, එක්සත් ජනපද ආරක්ෂක අයවැය හා සසඳන විට, තුන්වැනි රයිකයේ මිලිටරි වියදම් නොසකා හැරිය හැකි තරම් කුඩාය. යුද්ධයට පෙර අවසන් වසර වූ, 1938 දී හිට්ලර් හමුදාව සඳහා ජර්මානු මාක් බිලියන 17.5 ක් ආයෝජනය කලේ ය. අද මුදල් වලින් මෙය ඩොලර් බිලියන 78 කට සමාන වේ.

ජර්මනිය සෑම තැනක ම යුද්ධය හා ෆැසිස්ට්වාදය පුනරුත්ථාපනය කිරීමේ කේන්ද්‍රස්ථානයක් වී තිබේ. වෙනත් කිසිදු යුරෝපීය රටක් සිය ආරක්ෂක අයවැය මෙතරම් වේගයෙන් වැඩි කර නැත. 2019 දී පමනක්, එය සියයට 10 කින් වැඩි වී ආසන්න වශයෙන් ඩොලර් බිලියන 50දක්වා ඉහල ගියේ ය. මෙම ක්‍රියාවලියේ දී ජර්මනිය බ්‍රිතාන්‍යය අභිබවා ගිය අතර දැන් එයට ප්‍රංශයට පිටුපසින් ලෝකයේ හත්වන විශාලතම ආරක්ෂක අයවැය ඇත.

පාලක ප්‍රභූවේ ඉදිරිදර්ශනය හරිත පක්ෂයේ ජොෂ්කා ෆිෂර් විසින් සාරාංශ කරන ලද අතර, “ඔවුන්ගේ සාමවාදය පරාජය කිරීම සඳහා” මැයි 8වැනිදා යොදා ගන්නා ලෙස ජර්මානුවන්ගෙන් ඉල්ලා සිටියේ ය. රටට “එහි සාමවාදී උනන්දුවෙන් මිදීමට” අවශ්‍ය බව ඔහු ටැගස්පීගල් පුවත්පතේ සඳහන් කර තිබේ. එක්සත් ජනපද ආරක්ෂක බලයේ “මෘදු අනුග්‍රහයේ” අවසානය ලඟා වෙමින් තිබෙන්නේ “යුරෝපයට තමන්ගේ ම ආරක්ෂාව වැඩි වැඩියෙන් ආරක්ෂා කර ගැනීමට” බල කිරීමෙනි. එයට “ජර්මනිය නොමැති ව වැඩ කල නො හැක.” ඇමරිකානු ආරක්ෂාව දුර්වල හේතුවෙන් 1945 වසන්තයේ සිට අන් අය අප වෙනුවෙන් පිලිතුරු දී ඇති ප්‍රශ්න ජර්මනිය ඉදිරියේ මතු කරමින් තිබේ. වෙනත් වචන වලින් කිවහොත්: ආපසු 1945 ට පෙර යුගයට!

ජර්මනියේ ෆෙඩරල් පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක හා අන්ත දක්ෂිනාංශික ජර්මනිය සඳහා විකල්පයේ (ඒඑෆ්ඩී) ගරු සභාපති ඇලෙක්සැන්ඩර් ගෝලන්ඩ්, ජර්මනියට “න්‍යායපත්‍ර සැකසීමේ හැකියාව” අහිමි වූ, මැයි 8වැනි දින විස්තර කලේ “පරම පරාජයේ දිනයක්” ලෙස ය. මැයි 8 වන දින ජාතික නිවාඩු දිනයක් බවට පත් කරන ලෙස ඉල්ලා අවුෂ්විට්වලින් දිවි ගලවා ගත් එස්තර් බෙජරානෝ විසින් ආරම්භකත්වය ගන්නා ලද පෙත්සමක් ප්‍රතික්ෂේප කරමින් ඔහු මෙම ප්‍රකාශය කලේ ය. එය සිදු වන්නේ 1945 වර්ෂය “ව්‍යසනයක්” ලෙස ෂෝබල් විසින් විස්තර කිරීම  ආසන්නයේ දී ය.

දක්ෂිනාංශික අන්තවාදී මහාචාර්ය ජෝර්ජ් බාබෙරොව්ස්කි මීට වසර හයකට පෙර නාසීන්  පුනස්ථාපනය කිරීම ආරම්භ කලේ හිට්ලර් “කුරිරු නො වී ය” යන ප්‍රකාශය සමගිනි. විශ්ව විද්‍යාල කලමනාකරනය, මාධ්‍ය හා දේශපාලනඥයින් විසින් ඔහු ආරක්ෂා කරන ලද අතර, ඔහු ව විවේචනය කල සොසාලිස්ටිස් ග්ලීචයිට්පාර්ටෙයි (එස්ජීපී - සමාජවාදී සමානතා පක්ෂය) ඔත්තු සේවයේ ව්‍යවස්ථා විරෝධී සංවිධාන ලැයිස්තුවට ඇතුලත් කරන ලදී. දෙවන ලෝක සංග්‍රාමයේ අවසාන සැමරුමේ දී සැක්සනියේ ටෝර්ගෝ හි අනුස්මරන ශලාවේ දී දෙවැනි ලෝක යුද්ධයේ අවසානය පිලිබඳ ප්‍රධාන අනුස්මරන උත්වයේ දී බාබෙරොව්ස්කි ප්‍රධාන දේශනයක් පැවැත්වීමට නියමිතව තිබුනි. ඔහුගේ සහභාගිත්වය වලක්වනු ලැබුවේ, ඉසව්ව අවලංගු කිරීමට හේතුවූ කොරෝනා වෛරසය වසින් පමනී.

ජර්මනියේ හා ජාත්‍යන්තර ව ජනගහනයෙන් අති බහුතරය මිලිටරිවාදය හා ෆැසිස්ට්වාදය නැවත පැමිනීමට විරුද්ධ ය. නමුත් විරුද්ධත්වය තවත් ව්‍යසනයක් වැලැක්වීමට ප්‍රමානවත් නො වේ. ඒවායේ හේතු පිලිබඳ ව පැහැදිලි අවබෝධයක් මෙන් ම ඒවාට එරෙහි ව සටන් කිරීමට දේශපාලන ඉදිරිදර්ශනයක් තිබිය යුතු ය. දෙවන ලෝක යුද්ධයෙන් උගත හැකි පාඩම් වලින් පෙනී යන්නේ ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහි අරගලය ධනවාදයට එරෙහි අරගලයෙන් වෙන් කල නො හැකි බව යි. සමාජවාදී ක්‍රියාමාර්ගයක් සඳහා සටන් කිරීමට ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම අවශ්‍ය වේ.

නාසීන් හා දෙවන ලෝක යුද්ධය පිලිබඳ ඓතිහාසික, සමාජ විද්‍යාත්මක හා සාහිත්‍ය කෘති ගනනාවක් තිබේ. එහෙත් මානව ශිෂ්ඨාචාරය ම්ලේච්ඡත්වයට ඇද වැටීමෙන් පාඩම් උකහා ගැනීම බලවත් දේශපාලන හා සමාජ අවශ්‍යතා සමඟ වහාම ගැටුනි.

1945 න් පසු ජර්මානු ප්‍රභූහු මහා ව්‍යාපාර, ආන්ඩුව, ඔත්තු සේවා, අධිකරනය, පොලීසිය, විශ්ව විද්‍යාල හා හමුදාව යන අංශවල තම වෘත්තිය කරගෙන ගිය අතර, ආපසු හැරී බැලීමට කිසිදු උනන්දුවක් නො දැක්වූහ. ඔවුන් සේවය කර තිබූ හා වැලඳගත් හිට්ලර් හදිසියේ ම තමන් ව පොලඹවා අපයෝජනය කල බව ප්‍රකාශ කෙරුනි. නායකයා සෑම දෙයකට ම වග කිව යුතු වූ අතර, ඔවුන් සියල්ලෝම හුදෙක් නියෝග පිලිපදිමින් සිටියා පමනක් නො ව, රහස් ප්‍රතිරෝධයේ සටන්කරුවෝ වූහ. 1940 සිට 1945 දක්වා කාලය තුල මිලියනයකට අධික ජනතාවක් සමූල ඝාතනය කරන ලද අවුෂ්විට්ස් හි [හිට්ලර් යටතේ සිටි පැරා මිලිටරි බලකා සෙබලුන් වූ] එස්එස් ආරක්ෂකයින්ගේ පලමු නඩු විභාගයට පෙර වසර 18 ක් ගතවිය.

නියුරම්බර්ග් නඩු විභාගයේ දී නාසීන්ගේ අපරාධ ලොවට හෙලි කල එක්සත් ජනපද ආන්ඩුව, සීතල යුද්ධයේ දී නාසි විශේෂඥයින් අවශ්‍ය වූ විට, වේගයෙන් ගමන් මග වෙනස් කලේ ය. දරුනුතම අපරාධකරුවන් දුසිම් දෙකකට මරන දඬුවම නියම කිරීමෙන් හා පස් දෙනෙකුට පමන සිර දඬුවම් නියම කිරීමෙන් පසුව නඩු විභාග අත්හිටුවන ලදී.

සෝවියට් සංගමය හා නැගෙනහිර යුරෝපයේ ස්ටැලින්වාදී පාලකයන් තරමක් ක්‍රියාශීලී ව යුද අපරාධකරුවන් ලුහුබැඳ ගිය ද, ඓතිහාසික ප්‍රශ්න පැහැදිලි කිරීමට ඔවුන්ට කිසිදු උනන්දුවක් නො තිබුනි. දෙවන ලෝක සංග්‍රාමය ආසන්නයේ දී ස්ටැලින්වාදී නිලධරය ෆැසිස්ට්වාදයට හා යුද්ධයට එරෙහිව විශාල කොමියුනිස්ට් පක්ෂ අරගල අඩපන කොට මර්දනය කල විට, මෙය ඔවුන්ගේ ම අපරාධ භූමිකාව නො වැලැක්විය හැකි ලෙස හෙලිදරව් කර තිබෙන්නට ඇත.

ජර්මනිය තුල, 1932 වන තෙක් මෙම කම්කරු පක්ෂ දෙකම නාසීන්ට වඩා බොහෝ ශක්තිමත් වුවත් නාසීන්ට එරෙහිව එස්පීඩීය(ජර්මානු සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය) සමග එක්සත් පෙරමුනක් කැඳවීම කේපීඩීය (ජර්මානු කොමියුනිස්ට් පක්ෂ්‍ය)ප්‍රතික්ෂේප කලේ ය. ප්‍රංශයේ හා ස්පාඤ්ඤයේ, ස්ටැලින්වාදීහු ලිබරල් ධනේශ්වරය සමඟ මහජන පෙරමුනට කම්කරු පන්තිය යටත් කොට, විප්ලවවාදී කම්කරුවන් හිංසාවට ලක් කර ඝාතනය කර, ඒ මගින් ප්‍රතිගාමිත්වයේ ජයග්‍රහනයට පාර කැපූහ.

යමෙකුට දෙවන ලෝක යුද්ධය හා නාසි ආඥාදායකත්වය තේරුම් ගැනීමට අවශ්‍ය නම්, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී පරිහානියට එරෙහිව මාක්ස්වාදයේ උරුමය හා රුසියානු විප්ලවය ආරක්ෂා කල ලියොන් ට්‍රොට්ස්කිගේ ලේඛන, අදටත් වඩාත්ම වැදගත් මූලාශ්‍රය ලෙස සේවය සපයනු ඇත.

ට්‍රොට්ස්කි අවධාරනය කලේ පලමුවැන්න මෙන් ම දෙවන ලෝක සංග්‍රාමය ද එක ම හේතු වලින් ප්‍රේරනය කරන ලද බව යි: එනම් වඩ වඩාත් ඒකාබද්ධ වූ ලෝකයක ගෝලීය ආධිපත්‍යය සඳහා ප්‍රධාන ධනවාදී ජාතික රාජ්‍යයන් අතර අරගලය; ජාතික රාජ්‍ය පද්ධතිය හා ධනවාදය පදනම් වූ ලෝක ආර්ථිකය අතර ප්‍රතිඝතිතාව;  හා නිෂ්පාදන බලවේගයන්ගේ පෞද්ගලික අයිතිය සමඟ සමාජගත නිෂ්පාදන බලවේගයන්ගේ මූලික නොගැලපුම යි.

ඒ වන විටත් 1934 ගිම්හානයේ දී, දෙවන ලෝක යුද්ධයට වසර පහකට පෙර,ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවා තිබුනි:

අවසාන අධිරාජ්‍යවාදී යුද්ධය ඇති කල එකම හේතු නූතන ධනවාදයෙන් වෙන් කල නො හැකි සේ 1914 මැද භාගයට වඩා දැන් අසීමිත ලෙස වඩා විශාල ආතතියකට පැමින ඇත. නව යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ භීතිය අධිරාජ්‍යවාදයේ අභිමතාර්ථයට බාධා කරන එකම සාධකය යි. නමුත් මෙම තිරිංගයේ සඵලත්වය සීමිත ය. අභ්‍යන්තර ප්‍රතිවිරෝධයන්ගේ ආතතිය එකකට පසු තව රටක් ෆැසිස්ට්වාදයේ මාවතකට තල්ලු කරයි. මෙයට අනෙක් අතට ජාත්‍යන්තර පිපිරීම් සූදානම් කිරීම හැර බලය පවත්වා ගත නො හැක. සෑම රජයක් ම යුද්ධයට බිය වන නමුත් කිසිම රජයකට තේරීමේ නිදහසක් නැත. කම්කරු පංතික විප්ලවයක් නොමැති ව, නව ලෝක යුද්ධයක් නො වැලැක්විය හැකි ය.

හිට්ලර්ගේ පුද්ගලත්වය සිදුවීම්වල ගමන් මගට බලපෑම් කල නමුත්, එය යුද්ධයට හේතුව නො වීය. ඇසිය යුතු සැබෑ ප්‍රශ්නය වන්නේ, වියානාවේ ඈත අප්‍රසිද්ධ වීදිවල මුඩුක්කු පරිසරයක යුදෙව්-විරෝධී මනෝ ව්‍යාධියෙකු ජර්මනියේ නායකයා බවට පත්වූයේ කෙසේ ද යන්න යි. පිලිතුර පැහැදිලිය: කම්කරු පන්තියේ සමාජවාදී උත්සාහයන්ට පහරදීමට යුදෝපකරනයක් ලෙස හා දෙවන අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කිරීමට පාලක ප්‍රභූවට හිට්ලර් හා ඔහුගේ ෆැසිස්ට් ව්‍යාපාරය අවශ්‍ය විය.

“ඔහුගේ හිස් කබලේ ගනක යන්ත්‍රයක් හා අතේ අසීමිත බලයක් සහිත, මෙම ජර්මානු අපස්මාර රෝගියා අහසින් වැටුනේ වත් නිරයෙන් පිටතට පැමිනියේ වත් නැත:  ඔහු අධිරාජ්‍යවාදයේ සියලු විනාශකාරී බලවේගයන්ගේ පුද්ගලාරෝපනය මිස වෙන කිසිවක් නො වේ,” යැයි ට්‍රොට්ස්කි හිට්ලර් පිලිබඳ ව 1940 දී සඳහන් කලේ ය.

බ්‍රිතාන්‍යය හා එක්සත් ජනපදය ඔවුන් කියා සිටි පරිදි ෆැසිස්ට්වාදයට එරෙහිව යුද්ධයක් කලේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට නො වේ, ඒ වෙනුවට ලෝකයේ අධිරාජ්‍යවාදී යලි බෙදීම සඳහා ය.

යුද්ධය එය විසින් අවුස්සා තිබූ කිසිදු ගැටළුවක් විසඳුවේ නැත. එක්සත් ජනපදයේ ආර්ථික බලය හා කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරය මැඩපවත් වූ සහ ප්‍රංශය හා ඉතාලියේ ප්‍රබල විරෝධතා ව්‍යාපාර නිරායුධ කල ස්ටැලින්වාදයේ දේශපාලනය මත පදනම් ව අධිරාජ්‍යවාදී බලවතුන් අතර බිඳෙනසුලු ගිවිසුමක් ඇති විය. නැගෙනහිර යුරෝපයේ කිසිදු සමාජවාදී විප්ලවයක් සිදු නො වී ය. ඊනියා බෆර් රාජ්‍යයන්හි ස්ටැලින්වාදීන් පුළුල් ලෙස ජනසතුකිරීම් ආරෝපනය කිරීමට පියවර ගත්තේ, ධනේශ්වර කන්ඩායම් කවරදාකටත් වඩා බටහිර දෙසට ශක්තිමත් නැඹුරුවක් වර්ධනය කල අවස්ථාවේ දී ය. ඒ අතර ම, ඔවුහු 1953 දී නැගෙනහිර ජර්මනියේ ද 1956 දී හංගේරියාවේ ද ඇතුළුව කම්කරු නැගිටීම් මර්දනය කලහ.

1968 සිට 1975 දක්වා කාලය තුල ප්‍රංශය, යුරෝපයේ විශාල ප්‍රදේශ හා එක්සත් ජනපදය සොලවා දැමූ මහා වැඩවර්ජන හා ශිෂ්‍ය කැරලි, ප්‍රතිප්‍රහාරයක් දියත් කිරීමට හා මූල්‍ය වෙලඳපොල නියාමනහරනයක් දියත් කිරීමට පාලක ප්‍රභූව පෙලඹ වීය. ප්‍රතිඵල වූයේ පෙර නො වූ විරූ ලෙස ගෝලීය නිෂ්පාදනය  ඒකාබද්ධ කිරීම හා ලෝක ආධිපත්‍යය සඳහා අරගලය තීව්‍ර කිරීම යි.

1991 දී සෝවියට් සංගමය විසුරුවා හැරීම නියෝජනය කලේ, සමාජවාදයේ අවසානය නො ව, ඊට වෙනස් ව ස්ටැලින්වාදී නිලධරයේ ජාතිකවාදී පිලිවෙතේ බිඳ වැටීම යි. එය කල් තියා දැනුම් දුන්නේ, හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ,එකම දේශපාලන පක්ෂය ලෙස එම අවස්ථාවේ සඳහන් කල, අධිරාජ්‍යවාදී ගැටුම්වල නව අවධියක් මෙන් ම යුද්ධ හා විප්ලවයන්ගේ නව යුගයකි. 

අවුරුදු තිහකට පසු, මෙම විශ්ලේෂනයේ නිරවද්‍යතාවය සැකයෙන් තොර ය. ගෝලීය ධනවාදය තවත් ව්‍යසනයක් කරා ගමන් කරමින් සිටින අතර, වෙන කවරදාකටත් වඩා බොහෝ විශාල හා ජාත්‍යන්තර ව ඒකාබද්ධ ව සිටින කම්කරු පන්තිය වේගයෙන් පෙරලිකාරී වෙමින් සිටී. දැන් මතු කෙරෙන තීරනාත්මක ප්‍රශ්නය වන්නේ කම්කරු පන්තියේ අරගලයන්ට සමාජවාදී දේශපාලන දිශානතියක් ලබා දීම සඳහා හතරවැනි  ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා එහි ශාඛා වන සමාජවාදී සමානාතා පක්ෂ ගොඩනැගීම යි. දෙවන ලෝක සංග්‍රාමයේ පරිමානයේ තවත් ව්‍යසනයක් වලක්වා ගත හැක්කේ ධනවාදය පෙරලා දැමීමෙන් පමනි.

Post a Comment

0 Comments