to-add

පාලකයන් වගේම ජනතාවත් පටු ආකල්පවලින් මිදිය යුතුයි

මෙය අප සැමගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදව නැවත වාරයක් සිතා කටයුතු කිරීමට ස්වභාවධර්මය විසින් ලබාදුන් අවස්ථාවක්. ආත්මාර්ථකාමීත්වය පසෙකලා අවංක පොදු හැඟීමෙන් යුක්තව ජනතාවත් රටත් මේ මොහොතේ ආරක්ෂා කරගත නොහැකි වුවහොත් එකී ස්වභාවධර්මයම අපට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න පුළුවන්. 

චිත්‍රාරත්න කළුආරච්චි 

ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම මගින් ඔවුන්ගේ ඵලදායීතාවය වර්ධනය කළ යුතුයි. මන්ද තවමත් අපේ රටේ ගොවීන්ගෙන් අතිබහුතරයක් ජීවත් වන්නේ ඉතා පහළ ජීවන මටිටමකයි. අතරමැදියන් විශාල වශයෙන් ගොවීන් සූරාකනු ලබනවා. ගොවීන් සදහා ලබා දෙන විවිධ සහන ක්‍රමවේද දේශපාලන අරමුණුවලින් තොරව මීට වඩා ක්‍රමවත් කළ යුතුයි.



රටතුළ ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියක් අවශ්‍ය බව පෙනී යනවා....

කොරෝනා වසංගතයක් සමග සමස්ත මිනිස් වර්ගයාටම තම ක්‍රියාකාරකම්, සිතුම් පැතුම්, ඇවතුම් පිළිවෙත් හා සිය ජීවන චර්යාවන් පිළිබදව නැවත සිතා බැලීමට බලගතු පෙළඹවීමක් කර තිබෙනවා. ගෝලීය වශයෙන් සෑම ජන සමාජයක්ම ක්ෂණිකව අක්‍රිය කරවීමට සමත් වූ මෙම තත්වය සමස්ත ලෝක වැසියන්ගේම සමාජ,සංස්කෘතික, දේශපාලන හා ආර්ථික චර්යාවන්ට මෙන්ම සමස්ත ජීවන පැවැත්මටම එල්ලවී ඇති තර්ජනය අතිමහත්.

ගෝලීය ආර්ථිකය අඩපණ වීම ලොව සෑම රටකම ආර්ථිකයන් කෙරෙහි අයහපත් බලපෑම් එල්ලවී තිබෙනවා. විශේෂයෙන් තුන්වන ලෝකයේ රටක් ලෙස ශ්‍රී ලංකා ආර්ථිකයට ද මෙම බලපෑමෙන් ගැලවිය නොහැකියි. ආනයන අපනයන ආර්ථිකය කෙරෙහි ඉතා දැඩි නැඹුරුතාවයක් යොමු කර ඇති ශ්‍රී ලංකා ආර්ථිකයට ගෝලීය ආර්ථික අවපාතයන් ඉතා තදින් බලපානවා. මෙම තත්වය හමුවේ සැලකියයුතු රැකවරණයක් දේශීය ආර්ථිකයට ලබා ගැනීමට නම් රට තුළ සිදු වන ස්වයං නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් හා විද්‍යානුකූල ලෙස පවත්වා ගැනීම ඉතා අවශ්‍යයි. මේ සදහා නව තාක්ෂණය සමග දේශීය අගයන් එකතු කර නව ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියක් කරා යොමු විය යුතු අතර රජය විසින් පටු අරමුණුවලින් තොරව අවංකව ඒ සදහා අවශ්‍ය සැලසුම් සැකසිය යුතුයි. ඒ සදහා අවශ්‍ය පහසුකම් සපයා දිය යුතුයි. ශ්‍රී ලංකාව කියන්නේ භෞතික හා මානව සම්පත්වලින් අනූන වූ රටක්. අවශ්‍ය වන්නේ ශක්තිමත් සැලසුම් හා නිසි ලෙස ක්‍රියාවෙහි යොමු වීම සදහා අවශ්‍ය අවංක නායකත්වයක් හා පාලන ක්‍රමවේදයක්.

ජනතාව ආරක්ෂා කරමින් රට ඉදිරියට ගෙන යන්න නම් ඔබගේ යෝජනා මොනවාද ?

මෙය අප සැමගේ අතීත ක්‍රියාකාරකම් පිළිබදව නැවත වාරයක් සිතා කටයුතු කිරීමට ස්වභාවධර්මය විසින් ලබාදුන් අවස්ථාවක්. ආත්මාර්ථකාමීත්වය පසෙකලා අවංක පොදු හැඟීමෙන් යුක්තව ජනතාවත් රටත් මේ මොහොතේ ආරක්ෂා කරගත නොහැකි වුවහොත් එකී ස්වභාවධර්මයම අපට නැවත අවස්ථාවක් ලබා නොදෙන්න පුළුවන්. සියඵ දේශපාලනඥයන් තමතමන්ගේ පෞද්ගලික අභිමතාර්ථ අනුව කටයුතු කිරීම නවතා අවංකව තම හදවත්වලට එකඟව රට දැය ජනතාව පිළිබදව සිතා කටයුතු කරන නව දේශපාලන සංස්කෘතියකට මූලාරමිභය සැලසිය යුතුය. මහ මැතිවරණයෙන් කුමන දේශපාලන පක්ෂය ආණ්ඩු පිහිටුවූවත් අඩුම වශයෙන් රට යම් ඉහල ආර්ථික සමාජ මට්ටමකට ළගා වන තෙක් වත් සියඵ දෙනා එක් අදහස් ඇතිව රාජ්‍ය නායකයා සමග එකතු වී සහයෝගයෙන් කටයුතු කළ යුතුයි.

මේ මොහොතේ රජය විසින් දරන වියදම් හැකි තරම් අවම කර ගනිමින් ඒවා ජනතාව යළි නගාසිටුවීම සදහා යෙදවිය යුතු අතර රටතුළ පවතින නිෂ්පාදන අවස්ථා තවතවත් පුඵල් කර අපනයන වර්ධනය කරගැනීමේ ක්‍රියාවලියකට වහ වහා යොමු විය යුතුයි. විශේෂයෙන් පාලකයන් මෙන්ම ජනතාව ද මේ අවස්ථාවේ තමා තුළ චින්තන විප්ලවයක් ඇතිකරගෙන නව ආකල්ප අනුව කටයුතු කළ යුතුයි. පටු ආකල්පවලින් අත්මිදිය යුතුයි.

ලංකාවේ පාසල් ඉක්මනට විවෘත කළ යුතුයැයි ඔබ හිතනවාද?

කොරෝනා වසංගතයත් සමග උද්ගත වූ මෙම තත්වය නිසා පාසල් අධ්‍යාපනයට සිදු වූ පාඩුව සුඵකොට තැකිය නොහැකියි. ක්‍රමවත් අධ්‍යාපනික ධාරාවට සැලකියයුතු පහරක් මෙයින් එල්ල වුණා. නමුත් රටෙහි සමස්ත අධ්‍යාපනය කඩාකප්පල් වීමට මෙය හේතුවක් නොවනවාසේම සමස්ත පාසල් දරු ප්‍රජාව මෙම වසන්ගතයෙන් ආරක්ෂා කර ගැනීම සැමගේ වගකීමයි. එම නිසා මේ මොහොතේ දී හදිසියේ පැසල් විවෘත කිරීම පිළිබදව වරක් දෙවරක් නොව තෙවරක් සිතිය යුතුයි. ඒ සදහා ප්‍රායෝගික වැඩපිළිවෙළක් සැකසිය යුතු අතර මේ වන විට බොහෝ පාසල්වල සිදු කරනු ලබන ඔන්ලයින් අධ්‍යාපන ක්‍රමවේදය තවම අපේ රටට නොගැළපෙන බවනම් කිවයුතුමයි.

රට පුරාම මේ වන විට නිවාස මුල් කර ගෙන ගෙවතු වගා වැඩසටහන ක්‍රියාත්මක වනවා එහි දකින අඩුපඩු සහ ගෙවත්තේ වටිනාකම සදහන් කළොත් ?

ස්වයං නිෂ්පාදන ක්‍රියාවලියකට යාමේදී තම අවශ්‍යතා තමා විසින්ම ඉටු කර ගැනීමට පෙළඹීම ඉතා හොද යොමුවීමක්. තමන්ගේ ගෙවත්ත තුළ තමාට අවශ්‍ය මූලික ආහාර ද්‍රව්‍ය වගා කර ගැනීම තුළින් පවුලේ ආර්ථිකයට විශාල ශක්තියක් ලැබෙනවා. එසේම එය ආර්ථිකමය වශයෙන්ද වාසිදායකයි. නැවුම් ආහාර තමගෙවත්තෙන් ලැබීමෙන් ජනතාවගේ සෞඛ්‍ය සම්පන්නභාවය ආරක්ෂා වෙනවා.

රට පුරාම ගොවි ජනතාව මේ වන විට වගා කටයුතු ආරමභ කර රටේ ආර්ථිකය ජය ගැනීමට මහත් වෙහෙසක් දරනවා. ඒ සේවාව දකින අයුරු හා දැනට ගොවීනට බලපා ඇති බාධක මොනවාද?

කුමන රජයක් පාලනයක් පැවතියත් ගොවි ජනතාව හා කෘෂිකර්මාන්තය රැකගැනීමටත් එහි අභිවෘද්ධියටත් මූලිකත්වයක් ලබාදී කටයුතු කළ යුතුයි. අතීතයේදීත් වර්තමානයේදීත් රජයන් විසින් ඒ වෙනුවෙන් බොහෝ දේ සිදුකළා. නමුත් ඒවා කොතරම් දුරට ප්‍රමාණවත්ද යන්න යළි සිතා බැලිය යුතුයි. ගොවීන්ගේ ජීවන තත්වය ඉහළ දැමීම මගින් ඔවුන්ගේ ඵලදායීතාවය වර්ධනය කළ යුතුයි. මන්ද තවමත් අපේ රටේ ගොවීන්ගෙන් අතිබහුතරයක් ජීවත් වන්නේ ඉතා පහළ ජීවන මටිටමකයි. අතරමැදියන් විශාල වශයෙන් ගොවීන් සූරාකනු ලබනවා. ගොවීන් සදහා ලබා දෙන විවිධ සහන ක්‍රමවේද දේශපාලන අරමුණුවලින් තොරව මීට වඩා ක්‍රමවත් කළ යුතුයි. ගොවියාට වටිනාකමක් ලබාදිය යුතුයි. දිවංගත ගාමිණී දිසානායක මැතිතුමාගේ කාලයේ මහවැලි ව්‍යාපාරයේදී ඇති කළාමෙන් ගොවියාට නිසි ඇගයීමක් නමිබුවක් ලබාදිය යුතුයි.

මේ අවස්ථාවේදී ජනතාව කියනවා හැකි ඉක්මනින් ලංකාවේ වැවි ටික ප්‍රතිසංස්කරණය කළ යුතු බව ඒ සදහා ලබා දෙන යෝජනා මොනවාද?

කෘෂිකර්මාන්තයේ සංවර්ධනයයක් අපේක්ෂා කරනවානමේ අනිවාර්යයෙන්ම වැව් ප්‍රතිසංස්කරණය කළ යුතුයි. එහි විවාදයක් නැහැ. කෘෂි ආර්ථිකයේ කොදු නාරටිය වාරි කර්මාන්තයයි. වැව් ඇළමාර්ග ක්‍රමවත් ලෙස ප්‍රතිසංස්කරණය කිරීම සදහා විද්‍යාත්මක කඩිනම් වැඩ පිළිවෙලකින් තොරව කෘෂිකර්මාන්තයේ දියුණුවක් අපේක්ෂා කිරීම සිහිනයක් පමණයි.

රජය යම් අයවැයක් ඉදිරිපත් කර මුදල් වෙන් කිරීමේදී වසර මැදදී තමයි සංවර්ධන කටයුතුවලට මුදල් ලැබෙන්නේ ඒ නිසා රටතුළ සංවර්ධන කටයුතු අඩාල වන බව ජනතාව පවසනවා. මේ සදහා කළ යුතු දේ කුමක්ද?

තවමත් අපේ රටේ නිසි විද්‍යාත්මක වූ සංවර්ධන සැලසුම් සැකසීමක්, ක්‍රියාත්මක වීමක් හා මෙහෙයවීමක් සිදුවන්නේ නැහැ. දේශපාලනික අරමුණු හා රාජ්‍ය නිලධාරීවාදය මූලික වනවා මිසක් සැබෑ සංවර්ධන අරමුණු දැකීම හරිම අඩුයි. උදාහරණයක් ලෙස ක්‍රමසම්පාදන විෂය සදහා ලංකාවේ ව්‍යවස්ථාපිත සේවාවක් පිහිටුවා ඇතත් එම කටයුත්තට ඔවුන් නිසි ලෙස යොදවා ගන්නේ ද නැතිනම් වෙනත් අය සංවර්ධන සැලසුම් හදනවාද යන්න සිතාගත නොහැකියි. දේශපානලඥයින් මෙතෙක් හදුනා නොගත් මෙවැනි සැඟවුණු තත්වයන් නිසි ලෙස හදුනාගෙන නිවැරදි කළ යුතුයි. දීර්ගකාලීන දැක්මක් සහිත විද්‍යාත්මක සංවර්ධන සැලසුම් ක්‍රමවේදයක් අපේ රටතුළ ඇති කළ යුතුයි.

සාමාන්‍යයෙන් වසරක කාලයක් සදහා සකසන සංවර්ධන වැඩසටහනකට එම වසර මුලදී මුදල් ලබාදිය යුතුයි. නමුත් අපේ බොහෝ වැඩසටහන්වලට මුදල් ලබාදීම පමණක් නොව අනුමැතිය හා ප්‍රතිපාදන ලැබෙන්නේද බොහෝ කල්ගතවීයි. මේ නිසා සංවර්ධන වැඩසටහන් බෙහෝමයක් අසාර්ථක වෙනවා. ජනතා මුදල් අපතේ යාමක් සිදුවනවා. එක් එක් සංවර්ධන ව්‍යාපෘති සදහා ගතවන කාලය නිවැරදිව තක්සේරු කර මුදල් ලබාදීම සිදු කළ යුතුයි. මේ තත්වය නිවැරදිව තේරුම් ගෙන නිසි පිළියම් ඉදිරි සංවර්ධන වැඩසටහන්වලදීවත් ක්‍රියාත්මක නොකළහොත් එය රටේ අවාසනාවක්.

Post a Comment

0 Comments