to-add

සියදිවි හානි කරගැනීම

බුදුදහමට අනුව සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක්. මරණයේ ගුණ කීම, මැරෙන විදිය රඟපාල, විධික්‍රම කියන එක මේ හැමදෙයක්ම බුදු දහමට අනුව අමනුස්සයි. 

රුගොඩ සිරිවිමල

ෆේස්බුක් එකේ සියදිවි නසාගැනීම ගැන කතාවෙනව. මේක කරළියට ආවෙ සමහරවිට ඉන්දියානු නළුවෙකුගේ සියදිවි නසා ගැනීම නිසා වෙන්න ඇති. ඒ කොහොම වුනත් මේ සියදිවි නසාගැනීම් සම්බන්ධයෙන් මම අදහසක් ඉදිරිපත් කරන්නම්.



මෑතක (අවුරුදු 2ට විතර කලින්) මම පාංශුකූල කටයුත්තකට සහබාගී වුනා. මේ මරණය සියදිවි නසාගැනීමක් සහ ඔය ඉන්දියානු නළුවාගේ වයසම ඇති. පාංශුකූල අවස්ථාවෙන් පසු අහගෙන ඉන්න අමාරුම කොටස ගුණ කථන අවස්ථාවෙ මගෙ පෞද්ගලික හිතවතෙක් සහ පංසලේ දායකයෙක් වෙන පොත පත කියවන මහත්මයෙක් ගුණකථනයක් කරා. මම අමාරුවෙන් හරි ඔය කතා අහගෙන ඉන්නව. හේතුව මට ඒව නිර්මාණ සඳහා උදව් වේවි කියන අදහසින්. මේ අවස්ථාවෙ උඩදි කියපු මහත්තය කරපු ගුණ කථනයත් මම අහගෙන හිටිය. එයා කතාවේ මුල් හරියෙ අවසානයෙ කිව්ව මෙහෙම. "කෙනෙකුට අමාරුම අවස්ථාවකදි නිවැරදිම තීරණය ගන්න පුළුවන් නම් එයා ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක්" සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් සරළවම කියන්න තියෙන දේත් ගැඹුරින් කියන්න තියෙන දේත් දේ ඒ අදහස.

මම ඉන්බොක්ස් මැසේජ් කරල මැරෙන්න ගිය බොහෝ අයව ගොඩදාපු කෙනෙක්. එහෙම අය ඉන්නවනම් පාතින් කමෙන්ට් එකක් දැම්මත් කමක් නැහැ. හැබැයි එහෙම උපදෙස් දෙන මම වුනත් මැරෙන්නම නැතත් යම් යම් කඩාවැටීම් වලට ලක්වෙලා තියෙනව. මිනිහෙක්ගෙ ජීවිතය මරණයෙන් කෙළවර කරන්නැතිව එයාව මොහොතක් හරි ජීවත් කරවන්න වචනයකින් හරි උදව් වෙනවනම් එයා ලොකු පුණ්‍යකර්මයක් කරගත්ත කෙනෙක් විදියටයි මම සලකන්නෙ. ඒ කියන්නෙ නියමිත තත්ත්වයෙන් තොරව(වයසට ගිහිල්ල, ලෙඩ රෝගයක් නොහැදී, මේ වගේ දේවල්) කෙනෙක් මැරෙන්න අරිනවනම් මම හිතනව සමාජයක් විදියට අපි පරාජිතයි. තනි මිනිහෙක් විදියට ඒ පුද්ගලයා වුනත් පරාජිතයෙක්.

බුදුදහමට අනුව සියදිවි නසා ගැනීම ප්‍රාණඝාත අකුසල කර්මයක්. මරණයේ ගුණ කීම, මැරෙන විදිය රඟපාල, විධික්‍රම කියන එක මේ හැමදෙයක්ම බුදු දහමට අනුව අමනුස්සයි. සැබෑ බුදු දහමේ වින්දනය ලබන්නෙකුට මරණය කියන එක උත්කර්ෂවත් කරන්න බැහැ. ඒකට අනුබල දීමක්වත් කරන්න බෑ. අපිට මරණය කියන්නෙ සැපතක් නෙමෙයි. පෞද්ගලිකව මම ගඟේ පැනල මැරුණත්, වෙඩිතියන් මැරුණත්, පිරිසක් සාමුහිකව මරණයක් සිද්ධ කළත් විරුද්ධ වෙන්නෙ එය නැවත මේ භූමියේ නොවිය යුතුයි කියන අදහසින්. මිනිස්සු මිනිස් කමේ දුර්ලභ බව සහ වටිනාකම දැනගත යුතුයි.

කෙනෙක්ට සියදිවි නසා ගන්න මූලිකම වන දෙය මනෝ විද්‍යාත්මකව කියවාගත්තොත් මානසික දුර්වලතාවය. අනික භෞතික කාරනා. දුප්පත්කම, ණයකාරී වීම, වගේ දේවල් මේවත් දීර්ඝව කියවා ගත්තම මානසික කාරනා විදියට තමයි සියදිවි නසාගැනීම කියන අවස්ථාව තෝරාගන්නෙ. සියදිවි නැසිමේ එක් ක්‍රමවේදයක් මට මතකයි ගිය අවුරුදු වල වීඩියෝ ගේම් එකක් හරහා ක්‍රියාත්මක වුනා. ඒකත් මානසික ප්‍රතික්‍රියාවක් විදියට සිද්ධ වෙන දෙයක්. ඒ නිසා සියදිවි නසා ගැනීම හුදෙක්ම මානසිකයි. සංඛේතීයව නැතත් මානසිකව තමන්ට තමන් එපා කරගත්ත කෙනෙක් මානසිකව මරණයට පත්වෙලා ඉවරයි.

හැට හුටහමාරක් මානසික ලෙඩවලින් මමත් ඔබත් පීඩා විදිනව විය හැකියි. "මරණය මේ මොහොතේ සිද්ධ විය යුතුමයි" කියල ඒ අයට මනස විසින් පණිවිඩ ලබා දෙන්න පුළුවන්. මම ඒකයි නිතරම ලියද්දි කියද්දි මේ මනසේ පැවැත්ම යහපත් කරගන්න කියන කතාව මෙන්ෂන් කරන්නෙ. අපිට මනස කියන එක හරිම වැදගත්. මනසේ යහපත් පැවැත්මෙන් අපි නොවැටීම ඉන්නෑ. නමුත් අපිට හැම වෙලාවකම යහපත් උත්තරයක් තියෙයි.

ජීවිතය ඉදිරියේ පරාජිතයෙක් වුනාම තමන්ට ඉදල වැඩක් නෑ මැරිල යන එක හොඳයි කියල හිතෙන්න පුළුවන්. සමහර විට ආදරයෙන් පරාජිත වෙලා, එහෙම නැත්තං වෙනත් හේතුවක් නිසා අපිට මැරෙන්න හිතෙන්න පුළුවන්. විවාහය, රාජකා⁣රිය, පැවැත්ම, ඇතිවීම, නැතිවීම, රෝග මේ හැමදේම නිසා මනුස්සයෙක්ට මරණයට බලෙන් කැමැත්ත ඇති ⁣කරගන්න සිද්ධ වෙනව. මේ අවස්ථාවලට මුහුණ දෙන්න හොඳ මනසක අවශ්‍යතාවය පවතිනව. මනස යහපත්ව රැකබලා ගත යුතු වෙනව. ඇති වෙලා දමල ගහන එකත්, සියදිවි හානි කරගැනීමත් දෙකම එකවගේ කාරණා. දමල ගහන එකේදි සියදිවි හානිකර ගැනීම නොවුනත් යම් මට්ටමක මානසික දුර්වල බවක් එතනත් පවතිනව.

එහෙම මැරෙන්න හිතෙන හැම වාරයකම අපිට හොඳ සවන් දෙන්නෙක් විතරයි අවශ්‍ය වෙන්නෙ. තමන් වැටිච්ච වෙලාවට කතා කරන්න, අදහස් බෙදාගන්න ලගින්ම ඉන්න කෙනෙක් ඉන්නවනම් ඒක අපේ ජීවිතයේ ලබන වාසනාවන්තම දෙයක්. ඒ නිසා මැරෙන්න හිතෙන අයට මම කරුණු කීපයක් කියන්නම්.

* ⁣තමන්ගෙ ලගම කෙනාට ප්‍රශ්නය කියන්න.
* එයා හොඳ සවන්දෙන්නෙක් නෙමේ කියල ඔයාට තේරෙනවනම් කියන්න යන්න එපා. එහෙම කෙනෙක්ට කියන්න ගියොත් අනිවාර්යයෙන්ම ඔයාට මැරෙන්නම වෙනව.
* හිස් කොළයක් අරන් ලියන්න.
* ලියන්න බැරි කෙනෙක් වුනත් මොනා හරි ලියන්න, අඳින්න.
* සිංදු අහන්න.
* වෙනත් වැඩක යෙදෙන්න. (Busy වෙන්න.)

දැන් ඔබට හිතෙන්න පුළුවන් මැරෙන්න යන කෙනෙක් සිංදු අහන්න ලෑස්තිද තව කෙනෙක් එක්ක කතා කරන්න ලෑස්තිද කියල. ඇත්තෙන්ම මානසික ප්‍රශ්න නිසා මැරෙන්න යන කෙනෙක් මැරෙන්න යන්නෙ කැමැත්තෙන්ම නෙමෙයි. ඒ අය ඒක අකමැත්තෙන් කරන්නෙ. ඒක සිත් සමඟ කෙරෙන ගනුදෙනුවක්. යටිසිතේ ජීවත් වීමේ කැමැත්ත පැසවමින් තිබෙන වෙලාවක් මේ අවස්ථාව. සහ ඒ වගේ කෙනෙක්ගෙ හිත දුර්වල වුනත් ම්ලේච්ඡ අය නෙමේ. එයාට ගහක් කොලක් එක්ක හරි ප්‍රශ්නය විසදගන්න පුළුවන්. වැදගත්ම දේ අපි ඒකට සූදානම් වීම.

ඊළග එක තමයි වැදගත්ම කාරණය. අපි සමාජයක් විදියට අනෙකාට ඇහුම්කන් දෙන්න සූදානම්ද කියන ප්‍රශ්නය. ලංකාවේ ගත්තොත් දිනකට සියදිවි නසාගැනීම් කීයක් වෙනවද? මරණය කියන්නෙ ලේසි දෙයක් නෙමෙයි. මනුස්ස ජීවිතයක තියෙන වටිනාකම ගැන අපිට පාසල්වල උගන්වනවද? ජීවිතයට බිය වීම ලෙඩක් කියල උගන්වනවද? ප්‍රශ්න ඉදිරියේ නොවැටී ඉන්න උගන්වනවද?

මරණය වීරත්වයක් විදියට සමරන රටක මේව විහිළු විය හැකියි. අපිට ඉස්කෝලෙ, දහම් පාසලේ මද්දුම බණ්ඩාර හරහා උගන්වන්නෙ මරණයේ වීරත්වය මිසක්ක "නිර්භීත කම" නෙමෙයි. හැබැයි අපිට මද්දුම බණ්ඩාර හරහා ඉගෙන ගන්න තියෙන්නෙ නිර්භීත බව.(මේ ප්‍රශ්නය අපි වෙනම තැනකදි කතා කරමු.) එහෙම සමාජයක ජීවත් වෙන මිනිහෙකුට මානසික බිඳ වැටීමකදි මරණීය සංඥාවක් එද්දි ඒක වීරත්වයක් විදියට ක්‍රියාවට නංවන්න බැරි නැහැ.

මේ හැමදේටම අදාලව සමාජීය ප්‍රශ්නයක් පැන නැගෙනව. දේශපාලනික, අධ්‍යාපනික මුහුණුව⁣රයෙහි ප්‍රශ්නයක් ලංකාවට අදාලවත් ලෝකයේ බොහෝ රටවලටත් අදාලව පවතිනව. මරණය අවශ්‍යතාවයක් නොවන බව, දේශපාලනික, ආගමික සවිඥානික බව අපිට පාසලෙන්, පල්ලියෙන් පංසලෙන්, වගකිව යුතු කිසිම තැනකින් එන්නත් වෙන්නෙ නැහැ. යහළුවෙක් විදියට තමන්ගෙ යහළුවාට, පෙම්වතාට, පෙම්වතියට, සහෝදරයට, ඕනම කෙනෙකුට අපි හොඳ සවන් දෙන්නෙක්ද? එයාගෙ ප්‍රශ්නයට සමහරවිට අපිට උත්තර නැති වුනත් අහන්නවත් කෙනෙක් ඕන කියන එක ගැන ඔබ දැනුවත්ද? දැනුවත් කෙනෙක් ගාවට එයාව යොමු කරන්න ඔබ සූදානම්ද?

මේ රටේ ජනාධිපති වරයාගේ පටන් පල්ලෙහම ඉන්න පුරවැසියා දක්වා ; ගැහැණු පිරිමි ලෙස, පූජ්‍ය පූජක ලෙස, රැකියාව අනුව, ශරීර හැඩය අනුව, රෝග අනුව, ලිංගික කැමැත්ත අනුව ආදී සෑම ලෙසකින්ම එකිනෙකාට බුලි කරගන්නා වූ සමාජ වටපිටාවක අපිට කෙනෙක්ගේ සියදිවි හානිකර ගැනීම ගැන සංවේදී වෙන්න පුළුවන් ද? එය අයහපත්ය, එය වැරදිය, එයින් අනෙකා වලක්වාගත යුතුය යන පැහැබර බලාපොරොත්තු ගැන අදහසක් තබා ගත හැකිද?

සියදිවි නසා ගැනීමෙහි දේශපාලනික ප්‍රශ්නය, ආගමික ප්‍රශ්නය, සමාජීය ප්‍රශ්නය, දාර්ශනික ප්‍රශ්නය කියන හැම දෙයක් ගැනම පිටු ගනන් හෑලි ලිය ලිය ඉන්න පුළුවන් වෙලාවක මම මේ ටික විතරක් ලිව්වෙ.

මේ සමාජ ප්‍රශ්නය තියෙනකල් මේ සමාජයේ සියදිවි නසා ගැනීම් සිද්ධ වෙනව. මේක මුහුණපොතේ ශෙයා කරල සිහිකැඳවුමක් විදියට ලබන අවුරුද්දෙ එද්දිත් මේ භූමියේ හෝ පිටත සියදිවි නසා ගැනීමක් වෙලා. මේකට අපි වගකිව යුතු නැහැ. නැත්තේත් නැහැ. අනෙකා වෙනුවෙන් අපි කැප වෙන්න පුරුදු වෙමු. ගුණ ධර්මයක් ලෙස එය දියුණු කරගමු.

පසුගිය කොරෝනා සමයේ මම පෝස්ට් එකක් ලිව්ව. ඒකත් මෙතනම පේස්ට් කරන්නම්. ඔබට යම් අදහසක් ලබාගන්න හැකිවේවි. මම මේ ටික ලිව්වෙ ඉන්දියානු නළුවාගේ මරණය නිසාම නෙමෙයි.

"අනිත්‍යකාමයෙන් සහ සර්ව අසුභ වාදී දෘෂ්ටියෙන් පිරිච්ච මිනිස්සු කොයි වෙලෙත් උත්සාහ කරන්නෙ මැරෙන්න සහ මරන්න. තමන්ට පීඩා කරගන්න, අනුන්ට පීඩා කරගන්න. අපි කවදහරි මැරෙන බව ඇත්ත. නමුත් ලෙඩකට ගොඳුරු වෙලා, සිය දිවි හානි කරගෙන, අකාලයෙ බලෙන් මිය යා යුතු නැහැ, තව කෙනෙක්ට පීඩා කළ යුතු නැහැ.
තමන්ගෙ ජීවිතය තදින් අල්ල ගන්නැතිව මේ භෞතික දේහයට වගේම අපිව ජීවත් කරවන සිතිවිලි වලට නිර්භයව ආදරය කරන්න.
ඇත්තෙන්ම කොහේවත් තියෙන වෛරස් එකකට අපිව මරල යන්නවත් ලෙඩ කරල යන්නවත් දෙන්න අවශ්‍යය වෙන්නෙ නැහැ."

❝කෙනෙකුට අමාරුම අවස්ථාවකදි නිවැරදිම තීරණය ගන්න පුළුවන් නම් එයා ජීවිතය ජයග්‍රහණය කරපු කෙනෙක්.❞

Post a Comment

0 Comments