to-add

තුනෙන් දෙකක් නැතුව කොහොම කොරෝනා ඉවර කොරන්නද?



- ගාමිණී වියන්ගොඩ - 


කොරෝනා හා මහ මැතිවරණය 

කොරෝනා වෛරසය ලංකාවේ වසංගතයක් තත්වයට පත්වුණේ, වෛරසය නිසා නොව, මහ මැතිවරණයක් නමැති සොඳුරු සිහිනය සමග, අපේ අවාසනාවට, එය සමපාත වීම නිසා ය. මොහොතකට මෙසේ සිතන්න: කෝවිඞ් වෛරසය ලංකාවට පැමිණි අවස්ථාව මැතිවරණයක් නැති කාලයක් විණි නම්, මීට වඩා සාර්ථකව එය මර්දනය කිරීමට අපේ පාලකයන් සමත් විය හැකිව තිබුණා නොවේද ?

එක් තරුණ ස්වාමිදුවක් අයථා ආලයක විරහ වේදනාවෙන් හිසට වෙඩි තබාගෙන ජීවිතය නැති කරගත්තාය. ඇගේ මළ සිරුර මුලින්ම දකින එම නිවසේ නූගත් මෙහෙකාර කෙල්ල, ලේ හලාගෙන විරූපව සිටින ස්වාමිදුවගේ මළ සිරුර ඒ ආකාරයෙන් ගම්මුන් දකිනවාට නොකැමැති විය. එනිසා ඈ වහ වහා මිනිය පිරිසුදු කළාය. ලේ තැවරුණු ඇඳුම අහවර කොට අලුත් ලස්සන ඇඳුමක් ස්වාමිදුවට ඇන්දුවාය. ගම්මුන්ට මේ මරණය සැළවීමට කලින් මළමිනියේ මුහුණ පවා පියරු ගල්වා පැහැපත් කළාය. (මෙය, ඉස්බෙල් අයියන්දේගේ ‘ඊවා ලූනා’ නමැති නවකතාවේ එන එක් සිද්ධියකි).

පස්සට දැමුණු එම්.සී.සී ගිවිසුම 

වර්තමාන පාලකයෝ මාස හතක තමන්ගේ පාලනයේ අසාර්ථක කතාව රටවැසියන් දැනගැනීමට කලින් ඒ වැසියන්ගේ ඡන්දය ලබාගත යුතුව ඇතැයි සිතූහ. එහිදී, එම්.සී.සී. ගිවිසුම ටිකක් පස්සට තල්ලු කෙරුණි. හෝමාගම දැවැන්ත ක්‍රීඩාංගන හැදීමේ සැලසුම ටිකකට පැත්තකින් තැබුණි. සංගක්කාර සහ මහේලට විරුද්ධව ආරම්භ කළ පොලිස් පරීක්ෂණ හිටිහැටියේ වහා නතර කෙරුණි. මහා අපරාධයක් සම්බන්ධයෙන් චූදිතයෙකුව සිටින රංගජීව නමැති පොලිස් නිලධාරියෙකු ලවා මාධ්‍ය ප්‍රජාවෙන් සමාව ගැනීමට සැළැස්වුණි. එපමණක් නොව, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැන් පෙන්වා දෙන පරිදි, දවසට කොරෝනා ආසාදිතයන් 200 කට අධික සංඛ්‍යාවක් සොයාගත් අවස්ථාවේ පවා, එම ප්‍රමාණය 56 ක් පමණකියි රටට බොරු කීවේය. 

වෛරසයක් නතර කරගෙන තබාගැනීම හෝ දීර්ඝ කාලයක් වසං කිරීම උගහට ය. කන්දකාඩු මධ්‍යස්ථානයෙන් මේ වන විට 500 කට අධික ආසාදිතයන් සංඛ්‍යාවක් සොයාගෙන තිබේ. මීට මාස කිහිපයකට කලින් මේ වෛරසයේ ආසාදිතයන් ලංකාවෙන් සොයාගැනීමට පටන්ගත් දා සිට දින දෙක තුනක් ඇතුළත වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් එක ස්ථානයකින් සොයාගත් අවස්ථාව එයයි.     

යම් කාලයක් විදේශගතව සිට අප ලංකාවට ආවේ පසුගිය මාර්තු 3 වැනි දා ය. එසේ ලංකාවට ඒම සඳහා පිටත් වෙද්දී, අවසානයේ කටුනායකින් නිරෝධායනයට යාමට සිදු වේය යන බරපතල සැකයක් අප තුළ විය. එවැනි සැකයක් ඇති වුණේ, ඒ වන විට යුරෝපයේ කොරෝනා වසංගතය ඉතා උග්‍ර මට්ටමට පත්වෙමින් තිබුණු තත්වය තුළ ඕනෑම මොහොතක ලංකාව වැනි රටක් මේ ගෝලීයකරණය තුළ ඉතා පහසුවෙන් එම උවදුරට ගොදුරු විය හැකිය යන අවදානම පිළිබඳ නිසි තක්සේරුවක් අපේ පාලකයන් තුළ ඒ වන විට ඇතැයි අප විශ්වාස කළ නිසා ය.

අපේ ගමනේ අතරමැද ගුවන් තොටුපොළකදී ඉතාලියේ සිට ලංකාව බලා එමින් සිටි මගීන් තිහ හතළිහක්ද යානයට ගොඩ වූහ. ඒ වන විට ඉතාලිය පිළිබඳ පැවති ‘නරක නාමය’ නිසාම, කටුනායකදී අනිවාර්යයෙන්ම අපව නිරෝධායනයට ‘හසු වනු’ ඇතැයි යන සැකය තවත් වැඩි වුණි. අහස්යානාවේදී අපට පත්‍රිකාවක් බෙදා දුනි. එහි ප්‍රශ්න ගණනාවක් විය. උණ තිබේද, සෙම්ප්‍රතිශ්‍යාව තිබේද, කොරෝනා රෝග ලක්ෂණ තිබේද ආදී ප්‍රශ්න රාශියක් එහි විය. ඒ සියල්ලට අපේ උත්තරය වුණේ ‘නැත’ යන්නයි. මේ උත්තරය කෙනෙකුට බොරුවටත් දිය හැකිය. ඒ නිසා, අප ඒ පෝරමය නිවැරදිව සහ අවංකව පුරවා ඇත්දැයි කටුනායකදී පරීක්ෂාවට ලක්වෙනු ඇතැයිද අපි සිතුවෙමු.

එවැනි කිසිවක් සිදු වුණේ නැත. කටුනායක ගුවන් තොටුපොළේ එක ස්ථානයක සිටි නිලධාරීන් දෙන්නෙක් ඒ පෝරම අපෙන් එකතු කරගත්තා මිස ඒවායේ සඳහන් තොරතුරුවල නිරවද්‍යතාව නිකමටවත් සොයා බැලුවේ නැත. කෙසේ වෙතත්, කිසිවෙකුගේ ප්‍රශ්න කිරීමකින් තොරව, අප කටුනායකින් එළියට ආ විට, කරදරයක් නොවී එසේ ඒමට හැකි වීම ගැන හිතේ කොනක යම් සතුටක් තිබුණත්, අනිත් පැත්තෙන්, මේ සමස්ත ක්‍රියාවලිය තුළ භයානක අවදානමක්ද ඇති බව අපට වැටහුණි. 

අනතුරුව ආපසු පාරතොටේ යන විටත් කොරෝනා පිළිබඳ බරපතලකමක් පොදුවේ රට තුළ ඇති බවක් පෙනෙන්ට නොවුණි. හැම තැනකම පෙනෙන්ට තිබුණේ, ළඟ එන මැතිවරණය ගැන උණුසුමයි. ඒ නිසා, ඉස්සර වාගේම අපිත් යාළුවන් හමුවීමට, ප්‍රියසාදවලට යාමට, රැස්වීම් ආදිය පැවැත්වීමට යුහුසුලු වීමු. කොටින්ම, යුරෝපයෙන් එද්දී සිතින් ගත් ‘අධිශීලය’ ලංකාවට පැමිණ දවසකින් දෙකකින් අපේ සිතෙන් ඉබේ පවාරණය විය. අවසානයේ රීගල් සිනමාහලේ ‘ඇවිලෙනසුලුයි’ චිත්‍රපටයේ මංගල දර්ශනයට පවා ගියමු. 

ඊට පසුව දා මුළු රටම වසා දැමූ අවස්ථාවේ මෙවැනි ප්‍රශ්නයක් මට ඇති විය. ලංකාවට පැමිණ ගත වූ සති දෙකක පමණ කාලය තුළ, යම් හෙයකින් මා සහ මගේ බිරිඳ, දැනුවත්ව හෝ නොදැන්වත්ව කොරොනා ආසාදිතයන්ව සිටියේ නම්, මේ කාලය තුළ අඩු වශයෙන් තව තුන්හාර සීයකටවත් අප දෙදෙනාගේ මාර්ගයෙන් පමණක් සෘජුවම එය බෝ විය හැකිව තිබුණි.

මේ කියන කාලය වන විට ලංකාවේ කොරෝනා ආසාදිතයන් යම් ප්‍රමාණයක් සොයාගෙන තිබුණු අතර, ඒ අතරින් මියගිය කිහිප දෙනෙක්ද සිටියහ. එහෙත්, ඊළඟ මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරගන්නා දිනය වන තෙක්, කොරෝනා බෝ වීම ඉබේ වැළැක්වන හාස්කමක් ලංකාවට ඇතැයි පාලකයන් සිතා සිටි බවක් පෙනෙන්ට තිබුණි. රට වසා දැමීමට, නාමයෝජනා භාරගෙන අවසන් වන තෙක් සිටියේ එබැවිනි. 

කොරොනා වසංගතය ඉදිරියේ පාලකයන් සැලකිල්ලට ගත යුතු කාරණා බොහොමයකි. ඒවායේ වැදගත්කමේ අනුපිළිවෙළ අනුව, ඉන් මුල් තැනට ගැනෙන්නේ, සෞඛ්‍ය සහ ආර්ථික කාරණා ය. රටක් යනු, භෞතික අර්ථයකින් ගත් විට, මුලින්ම මිනිස් ජීවිත ය. දෙවැනුව, ඒ මිනිසුන් ජීවත් වන සහ ජීවත් කරවන ආර්ථිකයන් ය. සෙසු සියලු කරුණු, එනම් ආගමික, සමාජයීය සහ දේශපාලනික ආදී කරුණු ගැන සැලකිය යුත්තේ ඉන් පසුවයි. එහෙත්, ලංකාවේ කොරොනා වසංගතයේ ව්‍යාප්තිය ගැන සැලකීමේදී ලංකාවේ පාලකයන්ගේ ප්‍රමුඛතම අවධානය යොමු වුණේ, අන් සියල්ලට වඩා, දේශපාලනික කාරණාවකටයි. එනම්, මහ මැතිවරණය මොන කොරෝනාවක් අස්සේ වූවත් හැකි ඉක්මනින් පැවැත්විය යුතුය යන කාරණාවටයි.

ආසාදිතයන් තිහ හතළිහක් සිටි පමණින්, දෙතුන් දෙනෙකු මියගිය පමණින්, රටක් වසා දැමිය නොහැකි බව ජනාධිපතිවරයා වරක් කීය. ආර්ථීකය පැත්තෙන් ගත් විට ඒ කතාවේ ඇත්තක් තිබේ. එහෙත් ඒ, කොන්දේසි කිහිපයකට යටත්ව ය. ඒ කොන්දේසි මොනවාද? ඒ ආසාදිතයන් තිස් හතළිස් දෙනා මේ ප්‍රකාශය කරන අවස්ථාවේ හැම පැත්තකින්ම ආවරණය කොට, වෙන් කොට ඇතැයි යන්න, ඔවුන්ගෙන් හෝ ඔවුන්ගෙන් පිටස්තර වෙනත් මාර්ගවලින් තවත් පිරිස්වලට මේ වෛරසය ගමන් කොට නැති බව තිරසාරව සනාථ කරගෙන තිබීම, අලුතෙන් කොරොනා ආසාදිතයන් රටට ඇතුල් නොවන බවට වගබලාගෙන තිබීම සහ මේ ප්‍රකාශය කිරීමට අඩු වශයෙන් මාසයකට කලින් සිටවත් පිටරටක් සමග මොනම හෝ සම්බන්ධයක් පවත්වා ඇති සියලු දෙනා වෛද්‍ය පරීක්ෂණ මාර්ගයෙන් නිරෝගී යැයි සහතික කරගෙන තිබීම ආදියයි. මෙය ඉතා සංකීර්ණ අභියෝගයකි. උදාහරණයකින් පැහැදිලි කළොත් මෙසේ ය: කන්දකාඩු මධ්‍යස්ථානයේ සිට මාරවිල දක්වා ගමන් ගත් ඒ මධ්‍යස්ථානයේ සේවය කළ කාන්තාවක් තමන්ගේ ගමනාන්තයට ළඟා වීමට බස් රථ තුනක ගමන් කර ඇති බව හෙළි විය. පසුව මේ කාන්තාව කොරෝනා ආසාදිතයෙකු බව සොයා ගැනුණි. දැන්, ඇය එදා ගමන් ගත් බස් රථ තුනේ ගමන් කළ අනෙක් මගීන් අප සොයාගන්නේ කෙසේද? ඔවුන්ව සොයාගත්තත්, ඒ මගීන් ඊට පසුව ගමන් ගත් තවත් බස් ඇත්නම් ඒවායේ මගීන්ව අප සොයාගන්නේ කෙසේද? ඒ නිසා, ‘තිහ හතළිහක් සිටි පමණින්’ යන්න, තර්කයක් වශයෙන්, කොරෝනා වෛරසය පිළිබඳ තක්සේරුවකට කොහෙත්ම ගැළපෙන්නක් නොවේ. අනිත් අතට, ඔහු කියූ ‘තිහ හතළිහ’ යනු, ඒ වන විට ස්වකීය රෝගී තත්වය අදාළ බලධාරීන්ට දැනුම්දෙන ලද පිරිසකි. එහෙත් මේ වෛරසයේ තවත් විශේෂිත ලක්ෂණයක් වන්නේ, වෛරසය ශරීරගතව ඇති මුත්, ඒ බව නොදැන සිටීමේ විශාල ඉඩකඩක්ද තිබිය හැකි වීමයි. එසේ නම්, ‘තිහ හතළිහ’ සුළුවෙන් තැකීමේ කිසි අවසරයක් කෙනෙකුට ඉතිරි වන්නේ නැත.

ලංකාවේ කොරෝනා පාලනය කිරීමේ ‘හාස්කම‘ දේශපාලන ප්‍රචාරණයටත් 

ඊළඟට ලංකාවේ කොරෝනා පාලනය කිරීමේ ‘හාස්කම’ දේශපාලනික ප්‍රචාරණය සඳහාද යොදා ගැනුණි. එසේ කෙළේ වෙනත් රටවල් සමග ලංකාව සැසඳීමෙනි. යම් රටක පාලකයන්ගේ වරදින් අසාර්ථකත්වයකට මුහුණදී ඇති අවස්ථා මෙන්ම, ඒ රටවල සුවිශේෂී තත්වයන්ද ඒ අසාර්ථකත්වයන්ට බලපා තිබිය හැකිය. කැනඩාව ආසාදිතයන් 64 දෙනෙකු හමු වන තෙක් රට වසා දැමුවේ නැති බව, රාජපක්ෂ පාලනය ගැන කරන උජාරුවක් වශයෙන් අයෙක් පෙන්වා දී තිබුණි. කැනඩාව වැනි දියුණු රටකට වඩා කාර්යක්ෂමව, ඊට වඩා අඩු ආසාදිතයන් සංඛ්‍යාවක් සිටියදී ලංකාව ‘ලොක් ඩවුන්’ කිරීමට තරම් ජනාධිපතිවරයා දුරදක්නා නුවණින් යුක්ත වූ බව පෙන්වා දීම එම තැනැත්තාගේ අභිප්‍රාය විය. කැනඩාවේ ජනගහනය ලංකාවේ ජනගහනය මෙන් දෙගුණයකට ආසන්නයි. කැනඩාවේ ජනගහන ඝනත්වය (තදබදය) වර්ග කිලෝ මීටරයට මිනිසුන් 4 දෙනෙකු පමණක් වන විට ලංකාවේ ජනගහන ඝනත්වය වර්ග කිලෝ මීටරයට 341 කි. (බණ්ඩාරනායක පුරය?). එබැවින්, කැනඩාව ‘ලොක් ඩවුන්’ කිරීමට ආසාදිතයන් 64 දෙනෙකු සොයාගන්නා තෙක් සිටියේ නම් ලංකාව පළමු රෝගියා සොයාගත් දවසේම ‘ලොක් ඩවුන්’ කළ යුතුව තිබුණු බව, රටවල් දෙක සන්සන්දනයක් වශයෙන් ගන්නේ නම්, කෙනෙකු පැමිණිය යුතුව තිබූ නිගමනයයි. 

ඒ සියල්ල අපි පැත්තකින් තියමු. ජනාධිපතිවරයා එවැනි ප්‍රකාශයක් කරමින් ‘ලොක් ඩවුන්’ නොකර සිටියේ සද්භාවයෙන්ම රටේ ආර්ථිකය ගැන සිතාගෙන යැයි අපි සිතමු. ඇත්ත, රටක් මුළුමණින් වැසීම යනු, ජනතාව අපමණ පීඩාවට පත්කිරීමට අමතරව, සමස්තයක් වශයෙන් රටේ ආර්ථිකය අවුරුදු ගණනකින් ආපස්සට යැවීමකි. පොල් ගස් නඟින දෛනික කම්කරුවාගේ සිට ‘ඇවිළෙනසුලුයි’ සිනමාවේදියා දක්වා වන සියල්ලන්, එවැනි වැසීමකින් යනඑන මං නැති තත්වයට පත්කෙරුණු ඇත.

දැන්, ලංකාවේ කොරොනා වසංගතයේ ව්‍යාප්තිය දෙස ටිකක් ආපසු හැරී බලන්න. ලංකාව දූපතකි. එනම්, මුහුදෙන් වට වූ, අභ්‍යන්තර ගොඩබිම් දේශසීමා නැති රටක් බවයි. අද වන විට, කොරෝනා වසංගතය (සාපේක්ෂව) වඩාත් සාර්ථකව පාලනය කර ඇති රටවල් අතරින් පෙරමුණේ සිටින්නේ දූපත් රටවල් ය. ඒවා නම්, තායිවානය, නවසීලන්තය, ඕස්ටේ්‍රලියාව සහ ජපානයයි. ලංකාවේ ආසාදනය පැතිරීම පාලනය කරගැනීමට, එය කුඩා රටක් වීමත්, දූපතක් වීමත්, ලෝකය සමග (යුරෝපය සහ ඇමරිකාව තරමට) දැඩිව බද්ධ වී නොතිබීමත් යන සාධක, මෙය මැඩලීමේදී බොහෝ දුරට උපකාරී කරගත හැකිව තිබුණු සාධකයන් ය.

කොරෝනා නිසා ආර්ථිකයට සිදුවූ පාඩුව 

ආපසු හැරී බලන විට, මෙතරම් ආර්ථිකමය විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දුන් ලංකාවේ සමස්ත රෝග ව්‍යාප්තිය පසුපස ඇත්තේ, පැහැදිලිව හඳුනාගත හැකි සාධක දෙකක් පමණි. එකක්, පිටරටින් පැමිණි සීමිත ආසාදිතයන් සංඛ්‍යාවයි. දෙවැන්න, නාවුක හමුදාව නිසි පරීක්ෂාකාරීත්වයක් නැතිකමින් මේ රෝගය විහින් බෝ කරගැනීමයි. ගිය සතිය වනතෙක්, ආසාදිතයන්ගෙන් අඩක් පමණ සමන්විත වුණේ නාවුක හමුදාවෙනි.

දැන් මෙසේ සිතන්න: මාස දෙකකටත් වැඩි කාලයක් රට වසා දැමීමෙන් ජාතික ආර්ථිකයට සිදුවූ පාඩුව මෙතෙක් ගණන් බලා නැත. අනිවාර්යයෙන්ම එය රුපියල් ට්‍රිලියන ගණනක්වත් වනු ඇතැයි අනුමාන කළ හැක. අඩුම වශයෙන් මාර්තු 1 වැනිදා කටුනායක ගුවන් තොටුපොළ වසා දැමුවේ නම් සහ නාවුක හමුදාව අතින් අර විහින් කරගත් අත්වැරැද්ද සිදු නොවිණි නම්, ලංකාව අභ්‍යන්තරිකව වසා දැමීමට සිදු නොවනු ඇත. අභ්‍යන්තර ආර්ථිකය සාමාන්‍ය පරිදි කරගෙන යා හැකි වනු ඇත. අපනයන ක්ෂේත්‍රයට සිදු විය හැකි පාඩුව (එය අපේ තනි පාලනයෙන් පිටස්තර නිසා) තිබියදී වූවත්, අභ්‍යන්තර ආර්ථිකය සාමාන්‍ය තත්වයක පවත්වාගත හැකි වන්නට තිබුණි. ඒ සියල්ල වතුරේ ගියේය. කුමක් නිසාද? පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා භාරගැනීමේ නැකත දක්වා කොරෝනා අවදානම දරාගෙන සිටිය යුතු යැයි පාලකයන් තීන්දු කොට තිබුණු නිසා ය. අද පවා සෞඛ්‍ය මාර්ගෝපදේශ නීතිපති විසින් අනුමත කර තිබියදීත්, ගැසට් මගින් ප්‍රකාශයට පත්කර නීතිගත කොට නැත. හේතුව, එළැඹෙන මැතිවරණයේ තුනෙන් දෙකේ ප්‍රචාරක ව්‍යාපාරය කරගෙන යාමට එවැනි නීතිරීති මගින් බාධා එල්ල විය හැකි යැයි පාලකයන් සිතන බැවිනි. 


Post a Comment

0 Comments