to-add

මේ මැතිවරණය ඒදණ්ඩකි. පරිස්සමින් එගොඩ වන්න !




- ගාමිණී වියන්ගොඩ -



“මිනිස්සුන්ව ඇත්තටම නිදහස් කළොත්, නැත්නං මිනිස්සුන්ට ඇත්තටම නිදහස දුන්නොත්, මං හිතන්නේ ඒක දරාගන්න බැරි මහා අවුලක් වෙන්න පුළුවන්. ඒක මතක තියාගන්න. මිනිස්සු ඇත්තටම ආසා කරන්නේ නිදහස් නොවී ඉන්න.” - හරුකි මුරකාමි (ජපාන ජාතික නවකතාකරුවෙක්)




නිදහස එපා කී වහල්ලු 

ලෝකයේ වහල් ක්‍රමය පැවති කාලය අවුරුදු දහස් ගණනක් වෙයි. වහල් ක්‍රමය යනු, මනුෂ්‍යයන්, වහලුන් වශයෙන් විකිණීම සහ මිල දී ගැනීම අනුමත කෙරුණු සමාජ ක්‍රමයකි. මේ සමාජ ක්‍රමය මීට අවුරුදු දෙසීයකට පමණ පෙර මුල් වරට නීතියෙන් තහනම් කෙරුණු අවස්ථාවේ, බොහෝ වහල්ලු තමන්ට නිදහස එපා කියා නැවතත් වහල් හිමියන්ගේ භාරයට ගිය බව කියැවේ.

මුරකාමී කියන ඉහත සඳහන් අදහස අප සැලකිල්ලට ගත යුත්තේ, සාමාන්‍ය මිනිස් ස්වභාවයේ එක් මනෝභාවයක් පිළිබඳ දළ අදහසක් ඇති කර ගැනීමට විනා, ඔහුගේ මතය සදාතන සත්‍යයක් වශයෙන් භාර ගැනීමට නොවේ. ඇත්ත වශයෙන් අප උත්සාහ කළ යුත්තේ, ඔහු කියන අදහස ඇත්තක් නම්, ඒ තත්වය වෙනස් කරගැනීමට ය. 

ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ ඇති වැදගත්ම නිදහස, අවුරුදු පහකට වරක් එන මැතිවරණයකදී ඡන්දය පාවිච්චි කිරීමට ඇති නිදහස නොව. මැතිවරණයක් නැති අතරවාරයේ පාලකයන් කෙරෙහි බලපෑම් කිරීමට ජනතාවකට ඇති නිදහසයි. වෙනස් අදහස් දැරීමට සහ ඒවා ප්‍රකාශ කිරීමට, රැස්වීමට සහ සංවිධානය වීමට, විචාරයට සහ විවේචනයට ඇති අයිතීන් එම නිදහසට ඇතුළත් වෙයි. සමහරවිට, යම් මැතිවරණයකදී ජනතාවක් ඡන්දය පාවිච්චි කරන ආකාරය අනුව, ඉහත කී සියළු අයිතීන් තමන් විසින්ම අහිමි කර ගැනීමක් සිදු විය හැකිය. මෙවර ඒදණ්ඩෙන් එගොඩ විය යුත්තේ පරිස්සමින් යැයි මා කීවේ එබැවිනි.

“මට කාලා බීලා නිදහසේ ඉන්න තිබුණොත් ඇති” සමහරු නෝන්ජල්කමට කියති. “අපි හැදෙනවා මිසක් අපිට රට හදන්න ඕනේ නැහැ” සමහරු අවස්ථාවාදීව කියති. “මේ රට හදන්න පුළුවන් එකක් නෙවෙයි. ඒක නිසා අපේ වැඩක් බලාගෙන ඉමු” සමහරු කලකිරීමට පත්ව කියති. මේ මිනිසුන් කතා කරන්නේ කුටුම්බ නිදහසක් ගැනයි. ඔවුන් එසේ කියන්නේ, තමන්ගේ සෑම කුටුම්බ නිදහසක්ම, රටේ සමස්ත ආර්ථික, සමාජ සහ දේශපාලනික පැවැත්මට යටත් වන බව නොදැන විය හැකිය. එසේම, කුටුම්බයෙන් එළියට ගොස් පුළුල් නිදහස භුක්ති විඳීමට ගියොත්, අමතර වගකීම් සහ අවදානම් රාශියකටත් කරගැසීමට සිදු වන නිසාද විය හැකිය. ඉතිං ඔහු/ඇය කරන්නේ කුමක්ද? ඒ කියන අමතර වගකීම් රාශිය තමන් වෙනුවෙන් කරගැසීමට ඉදිරිපත් වන නායකයෙකුට, තමාගේ නිදහස බාරදීමයි. කොටින්ම, තමාගේ සිතීමේ නිදහස පවා එවැනි නායකයෙකුට බාර දීමට මොවුන් සූදානම් ය. ඒකාධිපතියා බිහි වන්නේ ඒ මහඟු අවසරයෙනි. 

නිදහස 

මට වයස දහයේදී, අම්මාගේ පාලනයට විරුද්ධව නැඟී සිටීමක් වශයෙන් මම මගේ නිදහස පතා ගෙදරින් පැන ගියෙමි. පැය දෙකක් පමණ පයින්ම ගොස් පිටකොටුවේ බස් නැවතුම් පොළේ තවත් පැය දෙකක් පමණ සිටිද්දී, බඩගින්න උහුලා ගන්නට බැරි තරම් විය. කළුවර වැටීගෙන එද්දී, බස් නැවතුම් පොළේ සිටි එක් කරුණාවන්ත පෙනුමක් ඇති ගැහැනියක් ළඟට ගිය මම, අනිත් මගීන්ට නෑසෙන සේ, ඇගේ නිවසේ වැඩකාරකමට මාව ගෙන යන්නැයි ඉල්ලා සිටියෙමි. මගේ ශ්‍රමය සඳහා මා බලාපොරොත්තු වුණේ තුන් වේලට කෑම පමණි. ඈ මගේ කතාවට කාරුණිකව සවන්දුන්නාය. මගේ ඉල්ලීම ප්‍රකාරව ඇගේ ගෙදරට මාව වැඩකාරකමට ගෙන යාමටත් ඈ එකඟ වූවාය. එහෙත්, මාරකැට්ටුවෙන් මිල දී ගැනීමට තිබූ යමක් තමන්ට අමතක වූ බව කියා, ඇගේ අතේ තිබූ මල්ලත් මට ටිකකට බලාගැනීමට දී, ඒ අමතක වූ බඩුව අරගෙන විනාඩියෙන් ආපසු එන්නෙමැයි කියා ඈ ගියාය. කී පරිදිම විනාඩියෙන් දෙකෙන් ඈ ආපසු ආවාය. ඒ, පොලිස්කාරයෙකු සමග ය.

පසු දා පාන්දර පොලීසිය මාව අපේ ගෙදරට ගෙන ගොස් බාර දෙන අවස්ථාවේ මට දැනුණු සහනය මට හොඳට මතකයි. එය, කලින් දා හවස් වරුවේ පිටකොටුවේදී මා අත්දුටු, එදා වේල සොයාගැනීම ඇතුළු දහසකුත් එකක් ‘වගකීමෙන්’ නිදහස් වීමට ලැබීම පිළිබඳ විශාල සහනයකි. එතැන් පටන්, අයාලේ යන නිදහස මොන වාගේදැයි මා අවබෝධ කරගත් අතර, දරුවන්ට දඬුවම් කිරීමට සහ සැරපරුෂ වීමට තමන්ට ඇති ‘නිදහසේ’ සීමාව කුමක්දැයි මගේ අම්මාද තේරුම්ගත්තාය. අප දෙන්නා කෙළේ, එකිනෙකාගේ නිදහසින් කොටසක් හුවමාරු කරගැනීමයි.

පාලකයෝ හා රටවැසියෝ 

ප්‍රජාතන්ත්‍රවාදය තුළ කියැවෙන නිදහසත් ඒ වාගේ ය. එහෙත් ඉහත කී මගේ කතාවේදී මෙන් නොව, මෙහිදී මේ නිදහස හුවමාරු කරගන්නා දෙන්නාම වැඩිහිටියන් ය. ඔවුන් හැඳින්වෙන්නේ පාලකයන් සහ රටවැසියන් යනුවෙනි. පාලකයන් දෙවර්ගයකි. ඒ, ප්‍රජාතන්ත්‍රවාදී පාලකයන් සහ දුර්දාන්ත පාලකයන් ය. රටවැසියන්ද දෙවර්ගයකි. ඒ, යටත්වැසියන් සහ පුරවැසියන් ය.

ප්‍රජාතන්ත්‍රවාදී පාලකයා තමන්ගේ පාලනයේ සීමාවන් ගැන අවබෝධයෙන් සිටී. ඔහු තමාගේ පාලන බලයෙන් තමන්ට පැවරෙන නිදහස සහ අයිතිය භුක්ති විඳින්නේ, තමන් රටකට සහ ජනතාවකට වගකියන්නට බැඳී ඇති බව හිතේ තියාගෙන ය. අධිකාරීවාදී පාලකයා තමන්ගේ පාලනයේ අයිතිය සීමාන්තික කරගැනීමට බලයි. ඔහු කිසිවකට හෝ කිසිවෙකුට වගකීමට හෝ වගවීමට කැමත්තක් නොදක්වයි.

අනිත් අතට යටත්වැසියා, වගකීම් දැරීමට ඇති අකමැත්ත නිසා ඊට හිලව්වක් වශයෙන් (ඉහතින් කී පරිදි) නිදහස අතහැරීමට සූදානම් ය. ලසන්ත වික්‍රමතුංග ඝාතනය වීම හෝ ළමයින් 11 දෙනෙකු පැහැරගෙන ගොස් ඝාතනය කිරීමට එරෙහිව පෙනී සිටීමට තමන්ට ඇති වගකීම සහ ‘නිදහස’ හෙතෙම පාවිච්චියට නොගනී.

ප්‍රජාතන්ත්‍රවාදයේ පරම හතුරා වන්නේ මේ කියන යටත්වැසියා ය. මේ යටත්වැසියා යනු ඉස්සර සිටි වහලා නොව. එදා වහලා නූගතෙකි. වර්තමාන යටත්වැසියා, මහාචාර්යවරයෙකු විය හැකිය. විශේෂඥ වෛද්‍යවරයෙකු විය හැකිය. ඉස්සර වහලා දුගියෙකි. වර්තමාන යටත්වැසියා, මොන්ටේරෝ වාහනයක ගමන් ගන්නා ප්‍රකෝටිපතියෙකු විය හැකිය. රටවැසියන්ගෙන් විශාල පිරිසක් මෙවැනි යටත්වැසියන් වශයෙන් සිටි අවස්ථාවන්හිදී, ප්‍රජාපීඩක ඒකාධිපතියෝ ජනතා කැමැත්තෙන්ම බලයට පැමිණ තිබේ.

මෙවැනි වැසියන් එක සමාන කරවන සාධක දෙකක් තිබේ. එකක් වන්නේ, ‘අනවශ්‍ය’ වගකීම්වලට උරදීමට ඇති නොකැමැත්ත නිසා, (කලින් කී පරිදි) නිදහස අතහැර ජීවත් වීමට ඔවුන් දක්වන කැමැත්තයි. දෙවැන්න වන්නේ, තමන් එසේ වන විට, තමා නොවන අනෙකාට පාලකයාගෙන් සිදු වන අසාධාරණයක් කිසි දවසක තමන්ට සිදු නොවෙතැයි වැරදියට ගණන් හදාගෙන සිටීමයි. (නොයෙක් වර කියා පට්ට ගසා ඇති මුත්, ජර්මානු ජාතික පියනමක් වන මාර්ටින් නියෝමලර්, හිට්ලර්ගේ රඟ සෝබාව ඉදිරියේ ජනතාව හැසිරුණු ආකාරය කවියට නැඟූ සැටි මේ අවස්ථාවේ නොකියා සිටිය නොහේ: “මුලින් ඔවුන් ආවේ සමාජවාදීන් සොයාගෙන ය. මම කිසිවක් නොකීවෙමි. මන්ද, මා සමාජවාදියෙකු නොවන හෙයිනි. ඊළඟට ඔවුන් ආවේ, වෘත්තීය සමිතිකාරයන් සොයාගෙන ය. මම කිසිවක් නොකීවෙමි. මන්ද, මා වෘත්තීය සමිතිකාරයෙකු නොවන හෙයිනි. ඊළඟට, යුදෙව්වන් සොයාගෙන ඔවුහූ ආහ. මම කිසිවක් නොකීවෙමි. මන්ද, මා යුදෙව්වෙකු නොවන හෙයිනි. අවසානයේ ඔවුහු මා සොයාගෙන ආහ. එවිට, මා වෙනුවෙන් කතා කිරීමට කිසිවෙක් ඉතිරිව නොසිටියහ.”) 

පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්ෂ වෙනුවෙන් ඡන්දය පාවිච්චි කළ 69 ලක්ෂයක ජනතාව යටත්වැසියන් (වහලුන්) වශයෙන් මම නොසලකමි. ඇත්ත වශයෙන්ම ඔවුන්ගෙන් විශාල පිරිසක් මා සලකන්නේ, වැරදි විනිශ්චයකට එළැඹුණු පුරවැසියන් වශයෙනි. යටත්වැසියන් වශයෙන් ගිණිය හැක්කේ, ඕනෑම දෙයක් ‘රාජපක්ෂවාදය’ තුළ සිදු වන්නේ නම් කිසි වරදක් නැතැයි සිතන අඳබාල බයියන් පමණි. උදාහරණයක් වශයෙන්, එම්.සී.සී ගිවිසුම, බුවනෙකබාහු සිද්ධිය, වැලි පර්මිට් ඉවත් කිරීම සහ කරුණා අම්මාන් ප්‍රකාශය ආදී දේවල් රාජපක්ෂලා යටතේ සිදුවන්නේ නම් වැරැද්දක් වශයෙන් නොදකින පිරිස් ය. මේ පිරිස ලක්ෂ 30 නොඉක්මවතියි යන්න මගේ විශ්වාසයයි. ගෝඨාභය රාජපක්ෂ ජයග්‍රහණය කෙළේ ඔවුන්ගෙන් නොව, ඉතිරි ‘දියුණු’ පුරවැසි පිරිසෙනි.

ගෝඨාභය රාජපක්ෂ දැඩි අධිකාරීවාදියෙකි. සෑම ප්‍රශ්නයක් දෙසම හමුදා මානසිකත්වයකින් බලන කෙනෙකි. ඔහුගේ විශ්වාසයේ හැටියට, රටක ඕනෑම ප්‍රශ්නයක් විසඳිය හැකි, මේ දක්වා මිනිස් වර්ගයා සොයාගෙන ඇති සාර්ථකම ක්‍රමවේදය වැටී ඇත්තේ හමුදාව තුළිනි. මේ වන විට රටේ ඉහළම පරිපාලන තනතුරුවලට සහ වෙනත් නොයෙකුත් ‘කාර්ය සාධක බලකායන්ට’ ත්‍රිවිධ හමුදාවට සම්බන්ධ පුද්ගලයන් පත්කර තිබීමෙන් එය මනාව ස්ඵුට වෙයි. මේ මැතිවරණයේදී ඔහුගේ පාර්ශ්වයෙන් අගමැති තනතුරට තරග කරන මහින්ද රාජපක්ෂ, ලාබ සහ ජනප්‍රිය දේශපාලනය තුළින් පන්නරය ලද, ගෝත්‍රික පවුල්වාදයට මුල් තැන දෙන දේශපාලනඥයෙකි. එබැවින් එවැනි සහෝදර සුසංයෝගයක් මේ මැතිවරණය ජයගත්තොත්, ප්‍රජාතන්ත්‍රවාදයට තර්ජනයක් විය හැකි සියලු අඩුමකුඩුම ඒ තුළින් ව්‍යුත්පන්න වනු සිකුරුයි.

එජාපය - සමගි ජන බලවේගය හා ජාතික ජන බලවේගය 

රාජපක්ෂ-සිරිසේන කඳවුරට අනිත් පැත්තෙන් සිටින, එක්සත් ජාතික පක්ෂය, සමගි ජනබලවේගය (සජිත් ප්‍රේමදාස) සහ ජාතික ජන බලවේගය (ජනතා විමුක්ති පෙරමුණ) වැනි පාර්ශ්ව පිළිබඳ නොයෙක් ප්‍රශ්න මේ ලියුම්කරුට ඇත. එක්සත් ජාතික පක්ෂය පිළිබඳ යම් විවේචනයක් ගිය සතියේ ඉදිරිපත් කොට ඇත. ඒ විවේචනය ඒ ආකාරයෙන්ම, සමහරවිට ඊටත් වඩා වැඩියෙන්, සජිත් ප්‍රේමදාසටත් වලංගුයි. ජනතා විමුක්ති පෙරමුණ තවමත් ආර්ථික ක්‍රමයක් වශයෙන් රටට යෝජනා කරන්නේ, යල්පීනූ අදහස් සමුදායකි. කොටින්ම, ජනතා විමුක්ති පෙරමුණ, විපක්ෂයේ තරුවක් වශයෙන් මිස, ආණ්ඩු පක්ෂයකට සුදුස්සන් වශයෙන් පෙන්නුම් කිරීමට තවමත් සමත්ව නැත. 

ඒ සියලු විවේචන තිබියදීත්, මේ මොහොතේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන් වෙනුවෙන්ද, අධිකාරීවාදයට එරෙහිවද දකුණේ පෙනී සිටින්නේ සහ රාජපක්ෂ කඳවුරේ පාර්ලිමේන්තු බලය දක්ෂිණ ලංකාවෙන් මැඩලිය හැකි උපරිම විභවය ඇත්තේද එම පාර්ශ්වවලට පමණි. ඇත්ත වශයෙන්ම, පසුගිය අවුරුදු දහයක පමණ කාලය තුළ, පාලකයන්ගේ දූෂණ, අපරාධ සහ අක්‍රමිකතා පිළිබඳ ජනතාව දැනුවත් කිරීම සහ පාලකයන්ව යම් තරමකට ඒ මාර්ගයෙන් මෙල්ල කරගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ කළ සේවය අද්විතීයයි. මෑතක් වන තෙක් එක්සත් ජාතික පක්ෂ සන්ධානයක් වශයෙන් සිටි (රනිල්-සජිත්-මංගල-රාජිත-රණවක) කඳවුර ගත වූ වසර පහක කාලය තුළ මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පද්ධතිය (රාජ්‍ය සේවය, පොලීසිය, අධිකරණය, ස්වාධීන කොමිෂන් සභා සහ ව්‍යවස්ථා සභාව) තර කරගැනීම සඳහා ගත් ප්‍රයත්නයන්, ඉදිරියටත් ආරක්ෂා කරගතහොත්, රටට සුගතියක්මයි. ඒ සියලු ජයග්‍රහණයන් ආපස්සට හැරවීමට මෛත්‍රීපාල සිරිසේන තැත් කළ අවස්ථාවේ, පාර්ලිමේන්තුව තුළ එය පරාජයට පත්කළ හිටපු කතානායක කරූ ජයසූරිය ඇතුළු සියලු ප්‍රජාතන්ත්‍රවාදී බලවේග රටක් වශයෙන් අගේ කළ යුතුය. උතුරේ සම්බන්ධන් සහ සුමන්දිරන් ඇතුළු ප්‍රජාතන්ත්‍රවාදීන්, යුද්ධය අවසානයේ පටන්, එක දිගටම ජාතික සමගිය තුළ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපනය කිරීමට ගත් ඓතිහාසික කාර්යභාරය ඇති දැවැන්තයි.   

එබැවින් ඉදිරි පාර්ලිමේන්තුව මේ කියන පිරිස්වලින් සන්නද්ධ කළ යුතුව තිබේ. මෙය, (ජනාධිපතිවරණයේදී මෙන්) එක පක්ෂයක් හෝ එක පුද්ගලයෙකු ජයග්‍රහණය කැරැවීමකට වඩා, එක පුළුල් කඳවුරක් ජයග්‍රහණය කැරැවීමේ අවස්ථාවකි. එය හඳුනාගත යුත්තේ ප්‍රජාතන්ත්‍රවාදී සාමූහික කඳවුරක් වශයෙනි. මෙහිදී පුරවැසි ඡන්දදායකයා මුලින්ම තෝරාගත යුත්තේ නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදයයි. දෙවැනුව, තම තම නැණ පමණින් සහ සිතැඟියාවන් පරිදි, එම ප්‍රජාතන්ත්‍රවාදී කඳවුරේ යම් පක්ෂයක් තෝරාගත යුතුය. තෙවැනුව, ඒ පක්ෂයෙන්, දූෂිතයන් පිටමං කොට, හැකිතාක් අදීන පුද්ගලයන් තෝරාගත යුතුය. අස්ගිරි මහා විහාරයෙන් ඉල්ලා සිටින හිට්ලර් පාලනයක් අගෝස්තු 5 වැනිදායින් පසු ඇති වීම වැළැක්විය හැක්කේ එමගින් පමණි.


Post a Comment

0 Comments