to-add

ජපුර සරසවියේ සිංහල අංශය අනතුරේ


මහාචාර්ය විමල් ජී. බලගල්ල, මහාචාර්ය ඒ. වී. සුරවීර, මහාචාර්ය විනී විතාරණ, මහාචාර්ය තිස්ස කාරියවසම්, මහාචාර්ය සුනිල් ආරියරත්න වැනි උගතූන්ගෙන් පෝෂණයවූ ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිංහල අංශය වසර ගණනාවක් පුරා සිදු කරන ලද කූමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස අද වන විට විශාල අර්බුදයකට පත්ව තිබේ. ශාස්ත්‍රිය ආලෝකයක් නැති, අධ්‍යයනාංශය සිය පෞද්ගලික බූදලයක් යැයි සිතන කතිකාචාර්යවරු ඊට වගකිව යුතූ ය. ඔවුන් කල්ලියක් ලෙස අන් අයට කූමන්ත්‍රණය කරමින්, කැලෑ පත්තර ගසමින්, තම කල්ලියට එදිරි වන්නන්ගෙන් පළිගනිමින්,  තම කල්ලියේ අයගේ වැරදි සගවමින් අධ්‍යයනාංශයට සිදු කරන හානිය ස්වල්ප නොවේ. වසර ගණනාවක් පුරා දක්ෂයන් කපා හරිමින් සිය වන්දිබට්ටයන් ආරක්ෂා කරමින් ඔවුන් කළ කූමන්ත්‍රණයේ ප්‍රතිඵලයක් ලෙස අධ්‍යයනාංශය ශාස්ත්‍රිය ආලෝකයෙන් ඈත්වී පොර පිටියක් බවට පත්වී ඇත.


2020 විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයෙන් එම කරුණ වඩාත් තහවුරු වේ. මෙවර එහි සංවිධායිකාවගේ වැඩපිළිවෙල නිසා වසර ගණනාවක් පවත්වාගෙන ආ විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයත්, අධ්‍යයනාංශයත්,  විශ්වවිද්‍යාලයත් අපකීර්තියට පත්ව ඇත. පසුගිය දවසක දිවයින පුවත්පතට අදහස් දක්වමින් එම විශ්වවිද්‍යාලයේ මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨාධිපති ප්‍රකාශ කර සිටියේ රට තූළ යහපත් සාහිත්‍ය කථිකාවක් ඇති කිරීම මෙම සම්මාන ප්‍රදානයෙ අරමුණ බවයි. කෙසේ වෙතත් සම්මාන ප්‍රදානයෙන් දින කිහිපයකට පසු මහාචාර්යවරියක් මානව හිමිකම් කොමිෂන් සභාවේ සභාපති වෙත ලිපියක් ගොනු කරමින් කියා සිටියේ විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ සංවිධායිකාව තම විනිශ්චයට බලපෑම් කළ බවයි.  විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයෙ අවසන් වටයේ විනිශ්චය ඒකපාර්ශවිය වන අතර මුල් වටවල විනිශ්චය කරන්නේ බොහෝ විට එම විෂයට අදාළ අය නොවේ.


අවසන් වටයේ ගේය පද කෘති පහ ජනගත කිරීමෙන් සති දෙකකට පසුව එඞ්මන් පියතුමාගේ කෘතිය නිර්දේශ කිරීමට විරුද්ධව කථිකාවක් ගොඩනගමින් ඔවුන් සැබවින්ම උත්සහ ගත්තේ ආචාර්ය රත්නශ්‍රී විජේසිංහගේ සුවඳ මුවරද කෘතියට සම්මානය ලබා දීම වලකා වෙනත් අයෙකූට සම්මානය ලබා දීම නොවේද? මෙවර ගීත සම්මානය සඳහා සුදුසු කෘතියක් නැතැයි සම්මාන උළෙලේ දී ප්‍රකාශ කළ බව සමාජ මාධ්‍යයේ ප්‍රචාරය විය. මෙමගින් රත්නශ්‍රී විජේසිංහයන්ගේ ආත්ම ගෞරවයට හානි විය. ජවහර්ලාල් නේරු විශ්වවිද්‍යාලයෙන් දර්ශනපති, දර්ශනසූරී උපාධි ද, සංගීත විශාරද උපාධි ද ලබා ශාස්ත්‍රීය කෘති ගණනාවක් ලියා පළකොට, ගීත කලාව අධ්‍යයනය කර, සිසුන්ට උගන්වමින්, ශාස්ත්‍රීය කෘති සම්පාදනය කරමින් ගීත ක්ෂේත්‍රයකට සම්මාන නිර්දේශ කිරීම සඳහා අවශ්‍ය කරන සුදුසුකම් ලබා ඇති මහාචාර්යවරියක් ලබා දුන් තීන්දුව බාර ගත නොහැක්කේ කෙසේ ද ?


කේලාම් කියමින්, එකිනෙකා කොටවමින්, බොරු නිර්මාණය විද්‍යොදය සාහිත්‍ය සම්මාන ප්‍රදානයේ  සංවිධායිකාව ගෙන යන වැඩපිළිවෙල විශ්වවිද්‍යාලයේ පාලකයන්, මානව ශාස්ත්‍ර හා සමාජීය විද්‍යා පීඨාධිපතිතූමන් හා වැඩ බලන අධ්‍යයනාංශ ප්‍රධානියත් මුනිවත රකිමින් බලා සිටින්නේ ඇගේ කිනම් විශේෂත්වයක් නිසාදැයි නොවැටහේ. ඇය වෙනුවට මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි, ජනශ්‍රැතවේදී මහින්ද කූමාර දලුපොත, මාධ්‍යවේදී සමුද්‍ර වෙත්තසංහ හා මහාචාර්ය බිහේෂ් ඉන්දික සිටියේ නම් අද ජපුර සිංහල අංශය වැදගත් තැනක් වීමට තිබුණි. අවාසනාවට කූමන්ත්‍රණ හමුවේ ඔවුන් අද ජපුර හැර ගොසිනි.


ශිෂ්‍යයන්ගේ ජීවිත වලට ඔවුන් කරන හානිය ද ස්වල්ප නොවේ. ශිෂ්‍යයන් ශිෂ්‍යයන් අතරත්, ශිෂ්‍යයන් හා ආචාර්යවරු අතරත් බෙදීම් ඇතිකරමින් සිය අරමුණු ඉටු කිරීමට ශිෂ්‍යයන් යොදා ගනී. ඊට අමතරව ප්‍රතිඵල පමා කිරීම, උත්තර පත්තර අතූරුදහන් කිරීම, කිසිදු නිර්නායකයක් නැතිව ලකූණු හිතූමතේ ලබා දීමට තරම් ඔවුන් බංකොලොත්ය. ඒ සියල්ල කර සිසුන් ඉදිරියේ පරමාදර්ශි චරිත ලෙස රගපායි. කෙසේ වෙතත් තමන්ගේ දරුවන්ට රහසිගතව වරප්‍රසාද ලබා දීමටත්, ඔවුන්ට ඉහළ ප්‍රතිඵල ලබා දීමත්, කැමති විශේෂ උපාධියකට අවස්ථාව ලබා දීමටත්, තරග වලින් ජයග්‍රහණය කරවිමටත් හැකි සෑම දෙයක්ම සිදු කරයි. 

නවක කතිකාචාර්යවරු බදවා ගන්නා සම්මුඛ පරීක්ෂණ සම්පූර්ණයෙන්ම විෂය ප්‍රධානින්ගේ අභිමතය පරිදි සිදු වේ. මෙනිසා ඒ නිසා සම්මුඛ පරීක්ෂණ මණ්ඩලයක් සිටියත් අංශ ප්‍රධාන හෝ විෂය ප්‍රධානින්ගේ තීරණය අවසන් තීරණය වේ. ඒ නිසා නිරනිතරයෙන් දක්ෂයන්ට නඩු මගට යාමට සිදු වේ. මේ වන විටත් එබදු නඩුවක් ක්‍රියාත්මක වේ. ප්‍රධානින්ගේ සිත් දිනාගෙන සිටින සහකාර කතිකාචාර්යවරුන්ට සම්පූර්ණ විෂයක් ඉගෙන්විමට පවා ඉඩ ලබා දෙයි. විශේෂ අවසරයකින් තොරව එසේ සහකාර කතිකාචාර්යවරුන්ට සම්පූර්ණ විෂයක් ඉගැන්විය නොහැක.


පසුගිය දා අප අතරින් සමුගත් මහාචාර්ය දම්මික ගංගානාත් දිසානායක තානාපති සේවය අවසන් කර අධ්‍යයනාංශට පැමිණි පසු එතූමන්ට අසුන් ගැනීමට පුටුවක් පවා ලබා නොදී දින ගණනාවක් කාර්යාලයේ අසුන් ගැනීමට සැලසූ අතර ඒ පිළිබද එතූමන් කලකිරීමෙන් පසු වූ බව එතූමාගේ හිතවතූන් දනී. එතූමන් අසනීපවි නිවාඩු ගිය පසු එතූමන්ට අසුනක් වෙන් කිරීමට වැඩ බලන අධ්‍යයනාංශ ප්‍රධානීය කටයුතූ කළා ය. අපට අවශ්‍ය වන්නේ කිසිවෙකූටවත් මඩ ගැසීම නෙවේ. රටේ උගතූන් රැසක් බිහි කළ අධ්‍යයනාංශක්, පීඨයක්, විශ්වවිද්‍යාලයක් රැකගැනීමයි. ඊට බලධාරීන්ගේ දෑස් විවර වේවායි ප්‍රාර්ථනා කරම්හ.


සිංහල අංශයට හිතැති ආචාර්යවරු 


Post a Comment

0 Comments